
අමිල මුතුකුට්ටි
පුද්ගලයෙකුට හෝ වේවා රටකට හෝ වේවා කිසියම් අත්හදා බැලීමක් හෝ කිසියම් වෙනසක් සිදු කිරීමට අවශ්‍යතාවයක් මතු වන්නේ පවතින තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි නම් පමණි. පුද්ගලයෙකු දැනට කරන රැකියාව වෙනුවට වෙනත් රැකියාවකට අයදුම් කරන්නේ හෝ ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කරමින් ඔහුගේ ව්‍යවසායකත්ව කුසලතා අත්හදා බලන්නේ ඔහුගේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව ඔහු සතුටු නොවන හෙයිනි. එය රටකට ද එක සේ අදාල කරගත හැකිය. වර්තමාන බංග්ලාදේශය මෙන් ශ්‍රී ලංකාව ද සිවිල් අරගලයක් තුලින් පැවති පාලනය පෙරලා දැමුව ද එය සාර්ථක වූයේ අර්ධ වශයෙනි. ඊට හේතුව වූයේ පුරවැසි අරගලයේ අපේක්ෂිත ප්‍රතිඵල සඳහා ව්‍යවස්ථානුකූල බාවයක් හිමි නොවීමයි. එවැනි ව්‍යවස්ථානුකූල බාවයක් සහිතව දේශපාලන අත්හදා බැලීමක් කළ හැක්කේ මැතිවරණයක දී පමණි. විශේෂයෙන්ම එළඹෙන ජනාධිපතිවරණය වැනි අතිශයින්ම තීරණාත්මක මැතිවරණයක දී පමණි.
පසුබිම
පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත් වීම හේතුවෙන් පුරවැසියන්ට විඳින්නට සිදු වූ දුක්ඛ දෝමනස්සයන් මෙහි සටහන් කිරීම අවශ්‍ය නොවන්නේ මෙය කියවන පාඨක ඔබ සියලු දෙනාම අඩු වැඩි වශයෙන් එහි වින්දිතයන් වූ නිසාය. අවම ජීවන තත්ත්වයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා ඉටු කරගැනීම වෙනුවෙන් පවා පෝලිම් වල වරු ගණන් නොව දවස් ගණන් ගත කරන්නට සිදු විය. උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන සිසුන් වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීම් කනකට නොගත් පාලකයන් විදුලි බිල වැඩි කිරීමත් සමඟම අඛණ්ඩ විදුලි සැපයුමක් වෙත යොමු වීම ම ඔබට බොහෝ දේ ඒත්තු ගන්වන බව පැහැදිලිය. මෙම අතීතය කිසිවෙකුට අමතක ඇතැයි නොසිතමි.
අනතුරුව බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ සිදු කළේ විදුලිය සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම මගින් පාරිභෝගික ඉල්ලුම අධෛර්යමත් කිරීමයි. තවත් භාණ්ඩ රැසක මිල පැවති හිඟතාවය හේතුවෙන් නිරායාසයෙන්ම ඉහළ ගියේය. මෙමගින් ඇති වූ අතිශය ඉහළ උද්ධමනය පාලනයට පොලී අනුපාත ඉහළ දැමීම සහ බදු අනුපාත ඉහළ දැමීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආශිර්වාදය ද සහිතව තිබූ එකම විකල්පය බවට පත් විය. මෙයාකාරයට දැඩි ලෙස පාරිභෝගික ඉල්ලුම අධෛර්යමත් කළ පසුබිමක භාණ්ඩ මිල දී ගැනීම වෙනුවෙන් පෝලිම් වල කාලය ගත කිරීම වෙනුවට තිබෙන දෙය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ජනතාව යොමු විය. සරලවම පෝලිම් නැති වූයේ එලෙසිනි. මෙම වසරේ පළමු කාර්තුවේ දී ඩොලර් මිලියන 706 ක වර්තන ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. ආනයන මුළුමනින්ම පාහේ නවතා දැමූ පසුබිමක මෙය අරුමයක් නොවේ.
නව ලිබරල්වාදී ප්‍රතිපත්ති අනුව යමින් රජය සංකෝචනාත්මක ෆිස්කල් ප්‍රතිපත්තියකට යොමු විය. එම ප්‍රතිපත්තියේ දී සිදු වන්නේ රජයේ වියදම් අවම කිරීම සහ බදු අනුපාත ඉහළ දැමීමයි. එහෙත් ඒ වෙනුවට රජය සිදු කළේ බදු අනුපාත ඉහළ දැමීම පමණකි. දියුණු රටවල බදු ප්‍රතිපත්තිය සමඟ ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය සංසන්දනය කළ අමනෝඥ පාලකයන් සිතුවේ රටේ බහුතරයක් දෙනා තවමත් ළිං මැඩියන් කියාය. දියුණු රටක බදු ගෙවන්නෙකුට ලැබෙන ප්‍රතිලාභ සහ රජය කොතරම් විනිවිද බාවයකින් යුතුව එම බදු මුදල් හසුරුවන්නේ ද යන්න පිළිබඳව යම්කිසි අවබෝධයක් සෑම පුරවැසියෙකුම සතුය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ පාලකයන් බදු ගෙවන ජනතාවගේ උග්‍ර වෛරයට පාත්‍ර වීම පමණකි. බොහෝ වෘත්තිකයන් රට හැර යන්නට එයම හේතු විය.
ඉහත සඳහන් කළ සියල්ල ඔබ මා හොඳින්ම දන්නා සහ හොඳින්ම මතකයේ රැඳුණු කරුණු කිහිපයකි. එහෙත් එය නැවතත් සටහන් කරන්නට සිදු වූයේ නව දේශපාලනික අත්හදා බැලීමක අවශ්‍යතාවය සාමාන්‍ය පුරවැසියාට කොතරම් උග්‍ර ලෙස දැනෙන්නේ ද යන්න ඔප්පු කිරීමට ය.
මම පොර වීම
රටේ අවාසනාවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට පත් වූ සහ පත්වීමට උත්සාහ දරන බොහෝ පුද්ගලයෝ දරුණු හීනමානයකින් පෙළෙන්නෝ වෙති. එහි ඛේදවාචකය වන්නේ ඒ වෙනුවෙන් රටේ මුදල් හා සම්පත් වැය කිරීම සහ රටේ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් තිබෙන කාලය පෞද්ගලික ඇරියස් පිරිමසා ගැනීම වෙනුවෙන් යෙදවීමයි. රට අගාධයට ගිය විට “වටේ ඉන්න අය කරන්න දුන්නෙ නෑනෙ” යන සම්ප්‍රදායික වාක්‍ය ඔස්සේ අනෙකාට වරද පැටවීමටත්, කිසියම් පිළියමක් සොයා ගත් කල එය තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස ජනතාව ඉදිරියේ හුවා දැක්වීමටත් ඔවුන් පෙළඹෙන්නේ ඒ හේතුව නිසාය.
රටකට අනෙකුත් රටවල් ඉදිරියේ ලැබෙන පිළිගනිම හේතු කිහිපයක් මත රඳා පවතී. ආර්ථික ශක්තිය ඉන් ප්‍රධාන වන අතර ඒ ඔස්සේ ඇතිවන විද්‍යා හා තාක්ෂණ අංශයේ දියුණුව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව, ලෝකය පිළිගත් වෙළඳ සන්නාම අපනයනය කරන රටක් වීම ද වැදගත් වේ. අප වැනි කුඩා රටකට යුධමය සාධක වැදගත් නොවන බව ද සඳහන් කළ යුතුය. එදා ජේ.ආර් ජයවර්ධන සහ සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායකයන්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුනේ ඔවුන්ගේ පෞද්ගලික පෞර්ෂත්ව ගුණාංගයක් නිසා නොව එවකට ශ්‍රී ලංකාවේ තිබු සමාජීය හා ආර්ථික දියුණුව නිසාය. එසේ නම් රටක අන්තර්ජාතික සබඳතා එක් පුද්ගලයෙකු වටා කේන්ද්‍රගත වන්නේ යැයි හෝ රඳා පවතින්නේ යි සිතීම පවා විහිළුවකි. එනිසා තමන් ගැන අධිතක්සේරුවෙන් කටයුතු කරන නායකයෙකු වෙනුවට කණ්ඩායමක් ලෙස එම අභියෝගයට මුහුණ දිය හැකි නායකයෙකු අපට අවශ්‍ය වේ.
අත්හදා බැලීමේ අවශ්‍යතාවය
ශ්‍රී ලාංකේය ඡන්ද දායකයා ඉතිහාසයේ සෑම මැතිවරණයකදී ම පාහේ සිදු කළේ අත්හදා බැලීම්ය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ලෙස ජනතාව විසින් තෝරා ගන්නේ ඇය බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ලෙස කටයුතු කළ පසුබිමකය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස ජනතාව විසින් තෝරා ගන්නේ ඔහු සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ පසුබිමකය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස ජනතාව විසින් තෝරා ගන්නේ ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ පසුබිමකය. අමාත්‍ය ධූර දරමින්, විපක්ෂ නායක, අග්‍රාමාත්‍ය සහ ජනාධිපති ලෙස පිළිවෙලින් අත්දැකීම් එක්රැස් කරගනිමින් ජනාධිපති තනතුරට පත් වූයේ මහින්ද රාජපක්ෂ පමණකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ ව්‍යවස්ථානුකූලව මිස රටේ ජනතාවගේ ඡන්දයෙන් නොවේ. ඒ සම්බන්ධයෙන් ජනතාවට වරණයක් තිබුණේ නැත. ඉහත සියල්ල කිසියම් ආකාරයක දේශපාලන අත්හදා බැලීම් වූ අතර ඒ කිසිදු අවස්ථාවක දී අලුත් මුහුණු අත්හදා බැලීමට නොයන ලෙසට ෆෝබියාවක් සමාජගත කිරීමට කිසිවෙකු උත්සාහ දැරුවේ නැත. ඊට ප්‍රධානතම හේතුව ලෙස නිරීක්ෂණය වන්නේ ඒ සියලු අත්හදා බැලීම් ප්‍රධාන කඳවුරු දෙක අතර දෝලනය වීමයි.
මෙවර තෙවන කඳවුරක් ඉස්මතු වීමත් සමඟ නව දේශපාලනික අත්හදා බැලීම් වලට නොයන ලෙසට ජනතාව අතරේ කිසියම් බියක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව පෙනේ. ගැටළුව නිර්මාණය කළ පාර්ශවයකට එම ගැටළුව සඳහා පිළියම් සෙවිය නොහැකි බවත්, එකී ගැටළු සඳහා නිවැරදි පිළියම් සෙවිය හැක්කේ වෙනත් පාර්ශවයකට බවත් අනුර කුමාර දිසානායක විසින් නිතර පවසන කරුණකි. ප්‍රධාන පක්ෂ දෙක විසින් තට්ටු මාරු ක්‍රමයට මෙහෙය වූ ආර්ථිකය තල්ලු වී ඇත්තේ බංකොලොත් බාවටය. එසේ නම් නව දේශපාලනික අත්හදා බැලීමක් නොකිරීමට හේතුවක් කිසිදු පුරවැසියෙකු සතු නොවිය යුතුය. එකම වෛද්‍යවරයාගෙන් දිගින් දිගටම ප්‍රතිකාර ලබා ගත්ත ද ලෙඩේ සුව නොවන්නේ නම් වෙනත් වෛද්‍යවරයෙකු වෙත යෑම ඕනෑම අයෙකු විසින් කරනු ලබන්නකි. එහිදී ඔහුගෙන් ලබා ගන්නා ප්‍රතිකාර අනුව රෝගය ඉක්මනින්ම සුව වීමේ හෝ තවත් උග්‍ර වීමේ අවදානම පවතී. එය ඕනෑම නව අත්හදා බැලීමක ඇති අවදානමකි. එහෙත් එක දෙයක් අපට ස්ථීර වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වී තිබේ. එය නම් දැනට ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාගෙන් මිය යන තෙක් ප්‍රතිකාර ලබා ගත්ත ද රෝගය නම් සුව නොවන බවයි.
ජාතික ජන බලවේගය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ දැනට පවතින එකඟතා වලින් මුළුමනින්ම ඉවත් නොවන බවත් තමන්ගේ ප්‍රතිපත්ති අනුව අරමුදල සමඟ සාකච්ඡා කොට ඇතැම් එකඟතා වෙනස් කරගත හැකි බවට ප්‍රකාශ කොට තිබේ. එය ඔවුන්ගේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ලබා දෙන්නේ ඉලක්ක මිසක ඉලක්ක වෙත ළඟා වන මාර්ග සිතියම නොවේ. මාර්ග සිතියම අපට අවශ්‍ය පරිදි සකසා ගත යුතුය. අසාමාන්‍ය සහ අසාධාරණ බදු ප්‍රතිශත පැනවීමෙන් අපේක්ෂිත ආදායම් ඉලක්ක වෙත ළඟා විය නොහැකි බව බැලු බැල්මටම පෙනෙන කරුණකි.
අපේක්ෂිත වෙනස
ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු වන ආකාරයේ වෙනසක් අත්‍යවශ්‍ය බවට විවාදයක් නැත. එම වෙනස ආරම්භ විය යුත්තේ ධුරාවලියේ ඉහළ සිට පහළටය. එනම් ජනාධිපතිවරයා දුෂණය හා නාස්තිය පිටු දකින්නෙක් නම් පමණක් ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස දුෂණය පිටු දකින්නෙකු බවට පත්වේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වෙත අල්ලස් හා දුෂණ චෝදනා එල්ල වූ අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම්ය. ඇමතිවරයා දුෂිතයෙකු නම් අමාත්‍යංශ ලේකම් දුෂිතයෙකු වීමේ ඉඩකඩ වැඩිය. ඒ සඳහා ද ඉතිහාසයේ සාක්ෂි ඕනෑ තරම්ය. එනිසා නාස්තිය අවම කිරීම හා වංචාව පිටු දැකීම රාජ්‍ය ධුරාවලියේ ඉහළ සිට පහළට ගලා ආ යුතු දෙයකි. එනිසා අත්හදා බැලිය යුතු අපේක්ෂකයා කිසිදු දුෂණ චෝදනාවක් නොමැති කෙනෙක්ද යන්න සම්බන්ධයෙන් ඡන්ද දායකයා විමසිලිමත් විය යුතුය.
වංචාව දුෂණය අවම කළ පමණින් රටක් සංවර්ධනය කළ නොහැකි බවට බොහෝ දෙනා තර්ක කරති. එය සත්‍යකි. එය හරියටම බිම සැකසූ පමණින් අස්වනු නෙළීමට සිතීමක් වැනිය. එනිසා අපගේ සාපේක්ෂ වාසීන් (Comparative Advantage) හඳුනා ගනිමින් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ පැහැදිලි වැඩපිළිවෙලක් සහ ඒ සඳහා කුසලතා පිරි කණ්ඩායමක් එම අපේක්ෂකයා සතු විය යුතුය. ජාතික ජන බලවේගය විවිධ ක්ෂේත්‍ර සඳහා ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙන වෙනම එළි දක්වා තිබේ. විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය, ජාතික බලශක්ති ප්‍රතිපත්තිය, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සමුළුව, ඉංජිනේරු වෘත්තිකයන්ගේ සමුළුව ඔබ සවන් දිය යුතු ඒවායෙන් කිහිපයක් ලෙසට යෝජනා කරමි. ඔවුන්ගේ සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශය එළඹෙන 26 දා එළිදක්වන බවට සන්නිවේදනය කොට තිබේ. එහිදී අපේක්ෂිත වෙනසේ සෑම අංශයක්ම පාහේ ආවරණය වන බවට සහ බලයට පැමිණීමෙන් පසු ඒවා ක්‍රියාත්මක වන බවට පුරවැසියන් ලෙස අපි තරයේ විශ්වාස කරමු.
ඉහත කරුණු සලකා බලන කල පෙනී යන්නේ නව දේශපාලන අත්හදා බැලීමක් සිදු කිරීමට සුදුසුම කාලය එළඹ ඇති බව සහ ඒ සඳහා සුදුසුම පුද්ගල කණ්ඩායම ඉදිරිපත් වී ඇති බවයි. පිරිහී ගිය දේශපාලන සංස්කෘතියේ ශ්‍රී ලංකා මාතාවගේ සාරය උරා බීමෙන් ඉදිරියට නෙරා ආ උදරයන් සහිත සම්ප්‍රදායික පාලකයන් පිරිසක් වෙනුවට ඒ ඒ ක්ෂේත්‍රයන්හි සුදුසුකම් සහ පළපුරුද්ද සහිත වෘත්තීමය කණ්ඩායමකට ආර්ථික කළමනාකරණය පැවරිය යුතුය. ජාතික ජන බලවේගය සමන්විත වන්නේ එවැනි කණ්ඩායමකිනි. අපේක්ෂිත වෙනස එයයි. රටේ බහුතරයක් දෙනා අත්හදා බැලීමට සූදානම් වන නව දේශපාලන පරිවර්තනය ද එයයි.