8 February, 2026

Blog

මවකගේ විලාපය හෙවත් “රාණි”

අමිල මුතුකුට්ටි –

අමිල මුතුකුට්ටි

පෑන අතට ගත් මාධ්‍යවේදීන් තුවක්කු අතට ගත් දේශපාලකයන්ගේ ගොදුරු බවට පත් වූයේ අද ඊයේ නොවේ. එය එදා මෙන් අදත්, අද මෙන් හෙටත් යන තුන් කාලයටම වලංගු වූවකි. ඒ කිසිවකට නීතිය හමුවේ යුක්තිය ඉෂ්ඨ නොවූවද සොබා දහම හමුවේ අඩු වැඩි වශයෙන් යුක්තිය හිමි වූ බව පුරවැසියන් ලෙස අපි සැවොම දනිමු. මේ අදහස් මගේ සිතට ගලා ආවේ අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළරාණිචිත්‍රපටය නැරඹීමත් සමඟය. එය මේ දිනවල තිරගත වන බැවින් එහි කතා රසයට හානියක් නොකොට ඒ සම්බන්ධව වචන කිහිපයක් සටහන් කිරීමට සිතුවෙමි.

දක්ෂ ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදකයෙකු වූ රිචඩ් ද සොයිසා අලුත් පරම්පරාව විසින් හඳුනා ගන්නේ යුගාන්තය චිත්‍රපටයේ මාලින් කබලාන ලෙසය. ඒ රඟපෑමම ඔහු පිළිබඳව බොහෝ දේ කියන බව මගේ අදහසයි. එවකට ප්‍රේමදාස රෙජීමය විසින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නිර්දය ලෙස මර්දනය කිරීමට ක්‍රියා කළ ආකාරයත් ඒවා නිර්භය ලෙස වාර්තා කළ මාධ්‍යවේදීන්ට ලැබුණු දඬුවමත් චිත්‍රපටය පුරාවටම නිරූපණය වේ. රෝහණ විජේවීරගේ මරණයෙන් පසුව පවා එකී මර්දනය දියත් වීමේ වපසරිය රිචඩ් ද සොයිසා ඝාතනයෙන් පිළිබිඹු වේ.

අශෝක හඳගම කියන ආකාරයට මව්වරුන්ගේ පෙරමුණ නිර්මාණය කිරීම සහ එය දේශපාලනිකව භාවිත කිරීමට පුරෝගාමී වන්නේ මහින්ද රාජපක්ෂ සහ මංගල සමරවීරය. රිචඩ්ගේ මව වන මනෝරාණි සරවනමුත්තු එකී පෙරමුණට එකතු කරගැනීමට ගන්නා ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙයි. මව්වරුන්ගේ පෙරමුණට පාටක් පක්ෂ භේදයක් තිබුණේ නැත. තම දරුවන් අහිමි වූ මව්වරුන්, ඇතැම් විටෙක ඔවුන්ගේ මළ සිරුර පවා දක ගැනීමට නොහැකි වූ මව්වරුන් මේ පෙරමුණ වටා ඒකරාශී වීම අනූ හතරේ බල පෙරළියට ප්‍රධාන හේතුවක් වූ බව පැහැදිලිය. එහෙත් හාස්‍යට කරුණ වන්නේ ප්‍රේමදාස රෙජීමය යටතේ ඝාතනය වුණු රිචඩ් ද සොයිසා වෙනුවෙන් පෙනී සිටි මහින්ද රාජපක්ෂ රෙජීමය යටතේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීමයි. දේශපාලකයන් කෙතරම් කපටි ලෙස සමකාලීන සිද්ධීන් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගන්නේ ද යන්න නිරුපණයට හඳගම සමත් වී ඇති බව මගේ අදහසයි.

චිත්‍රපටයේ වස්තු බීජය වන්නේ රිචඩ් ද සොයිසාගේ ඝාතනය වූවද අවසන් තත්පරය දක්වා ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට සමත් වන්නේ ස්වර්ණා මල්ලවආරච්චිගේ රංගන හැකියාවයි. වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු තුළින් පිළිබිඹු වූ අද්විතීය කාන්තා පෞර්ෂත්වය හා දරුවෙකුගේ වියෝව හමුවේ අම්මා කෙනෙකුගේ හදවතේ බුර බුරා දැවෙන දාරක ස්නේහයේ ගිනි දැල් ඊට හසුවන ඕනෑම කෙනෙකු දවා අළු කිරීමට සමත් වන බව ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වීමට ඇයගේ රංගන හැකියාවට හැකි වී තිබේ. ඊට සීමා මායිම් නැත. වසර ගණනාවක් බල පිපාසයෙන් පෙළුණු විපක්ෂයේ අත කොලුවක් වී හෝ දරුවන් අහිමි වූ මව්වරුන් වෙනුවෙන් පෙනී සිටින්නට මනෝරාණි තීරණය කරන්නේ ඒ අනුවය.

සාමාන්‍ය සමාජයේ අභව්‍ය සිදුවීම් අතිශය සාමාන්‍යකරණයට ලක් කිරීමට හඳගම ඔහුගේ අනෙකුත් චිත්‍රපට වලදී මෙන්මරාණිචිත්‍රපටයෙන් ද උත්සාහ ගෙන තිබේ. සිගරට් පැකට්ටුවෙන් එකක් ගෙන තම දෙතොල් අතරේ රුවා ගන්නා මනෝරාණි සිගරට් පැකට්ටුව තම පුතු රිචඩ් වෙත විසි කරන්නීය. ඇතැම් විට බලෙන්ම විස්කි පොවන්නීය. කොතරම් බටහිර අනුකරණවාදී සමාජ ස්ථරයක ජීවත් වන මවක් වූවද එසේ තම පුතුට බලෙන් සිගරට් හා විස්කි පෙවීම අභව්‍ය නොවන්නේද? තම දරුවන් හා මිතුරන් සේ ඇසුරු කරන දෙමාපියෝ සමාජයේ ඕනෑ තරම් සිටිති. එහෙත් මවකගේ ගරුත්වයට හානි වන සේමචංලෙවෙල් එකෙන් දරුවන් ඇසුරු කරන මවක් පිළිබඳව මට නම් සිතා ගැනීම අසීරුය.

බොහෝ දෙනාගේ විවේචනය වී ඇත්තේෆිල්ම්එකක් කරනවාට වඩා හඳගම විසින් සිදු කොට ඇත්තේඩොකියුමන්ට්‍රියක්කිරීම බවය. ඉතිහාසයේ සියලු දෙනාම දන්නා සත්‍ය සිදුවීම් ඇසුරෙන් සිංහල සිනමාවේ සැකසුණු සියලුම චිත්‍රපටවල මෙම ලක්ෂණය දැකිය හැකි බව මගේ අදහසයි. සැවොම දන්නා ඉතිහාසය එසේම යළිත් ප්‍රතිනිර්මාණය කිරීමට නිර්මාණකරුවා ප්‍රයත්න දැරීම ඊට හේතුවයි. එවිට එහි පරිකල්පනයට හිමි තැන අහිමිව ගොස් හුදෙක් වාර්තාකරණයට නැඹුරු වීම වැළක්විය නොහැකිය. මෙම ලක්ෂණය මෙසේ මගින්නෙන් උපන් සීතලචිත්‍රපටයේ ද දැකිය හැකිය. අතීතය විකෘති නොවීමට වග බලා ගන්නා සිනමාකරුවා අතින් ඔහුවත් නොදැනීම පරිකල්පනය ගිලිහෙන්නේය.

රිචඩ් ද සොයිසාගේ ඝාතනයේ අණ දෙන්නා කවුද, සහ ඔහුට සොබා දහමෙන් දඬුවම් ලැබුණු අයුරු නිර්මාණාත්මකව ඉදිරිපත් කොට තිබේ. එහෙත් “somewhere in Colombo” කියමින් චිත්‍රපටය අවසානයේ එහි එල්ලන ලද කොටසින් සමස්ත චිත්‍රපටයේ ම කතා රසයට හානි වී තිබේ. ඇතැම් විටෙක අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකයාගේ සීමා මායිම් වල සිරගත වීම ඊට හේතුවදැයි නොදනිමි. එල්ලන ලදකොටසින් කියවෙන්නේ රිචඩ් ද සොයිසා ඝාතනය කිසිවෙකුගේ නියෝගයක් මත සිදු වූවක් නොව එය හුදෙක් බීමත්ව සිටි මැර කණ්ඩායමක් විසින් මහ පාරේදී අහඹු ලෙස ගන්නා තීරණයක ප්‍රතිඵලයක් බවයි. ඇත්තටම එය එසේද?

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.