18 June, 2026

Blog

පාලන මිල අසාර්ථක වෙළඳපල මැදිහත් වීමක් වන්නේ ඇයි?

අමිල මුතුකුට්ටි –

අමිල මුතුකුට්ටි

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින හාල් සහ පොල් හිඟය හේතුවෙන් නව රජය සහ නව ජනාධිපතිවරයා වෙත චෝදනා එල්ල වෙමින් පවතී. අනෙක් අතට නැගෙන තර්කය වන්නේ ඔවුන්ට මෙවැනි ගැටළු සඳහා පිළියම් සෙවීමට සැලකිය යුතු කාලයක් ලබා දිය යුතු බවයි. ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබා දුන් සහ නොදුන් පිරිස් විසින් එසේ තමන්ගේ මතය වෙනුවෙන් තර්ක ගොඩනගද්දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පරණ අඩි පාරේම ගමන් කරන්නේ ය යන චෝදනාව මදක් විමසා බැලිය යුතුය.

හාල් හෝ පොල් පමණක් නොව කිසිම වෙළඳ භාණ්ඩයක මිල පාලනය කිරීම රාජ්‍ය මැදිහත් වීමකින් සිදු කළ හැකිද? පිළිතුර එසේ කළ නොහැකිය. දෙවැනි ප්‍රශ්නය වන්නේ එසේ නම් වෙළඳපල බලවේග වන ඉල්ලුම සහ සැපයුම මගින් භාණ්ඩයේ මිල තීරණය වන්නට ඉඩ හැර රජයක් බලා සිටිය යුතුද? පිළිතුර නැත යන්නයි. තවත් සවිස්තරාත්මකව දක්වන්නේ නම්, හාල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බැවින් සැපයුම සීමා කර ඉල්ලුම වර්ධනය වන්නට ඉඩ හැර එයින් ගොවියාත්, පාරිභෝගිකයාත් යන දෙදෙනාම අගතියට පත් වෙද්දී අතරමැදි සහල් වෙළෙන්දන් අධික ලාභ උපයන තත්ත්වයකට රට පත් වීම එහි අවසාන ප්‍රතිඵලයයි.

තවද ඉල්ලුමක් නිර්මාණය වීමට නම් පාරිභෝගිකයාගේ මිලදී ගැනීමට ඇති කැමැත්ත පමණක් නොව ඒ සඳහා අවශ්‍ය මුදල් තිබීම ද වැදගත් වේ. කෙසේ වෙතත් රජයක් කිසියම් වෙළඳ භාණ්ඩයක් සඳහා උපරිම මිලක් පනවන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ අදහසිනි. එහෙත් උපරිම මිල පැනවීම මගින් වෙළඳපල තුළ භාණ්ඩ හිඟයක් නිර්මාණය වන්නේ කෙසේද යන්න පහත රූප සටහනින් පැහැදිලි කරගත හැකිය.

උපරිම මිලක් පැනවීම පාරිභෝගිකයාට වාසිදායක බැවින් එම මිලට භාණ්ඩ මිලට ගැනීම සඳහා ඉල්ලුම ඉහළ යයි. ඒ අනුව Q2 සිට Q3 දක්වා ඉල්ලුම වර්ධනය වී ඇති ආකාරය පැහැදිලිය. එසේම සමතුලිත මිලට වඩා පහලින් භාණ්ඩ අලෙවි කිරීම වෙළෙඳුන්ට අවාසිදායක බැවින් ඔවුන් විසින් Q2 සිට Q1 දක්වා සැපයුම අවම කරන ආකාරය පැහැදිලිය. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ Q1 සිට Q3 දක්වා වන ප්‍රමාණය වෙළඳපල හිඟයක් බවට පරිවර්තනය වීමයි.

නාඩු කිලෝවක සිල්ලර මිල රු. 230 ලෙසද සුදු සහල් කිලෝවක සිල්ලර මිල රු.220 ලෙසද, සම්බා කිලෝවක සිල්ලර මිල රු.240 ලෙසද, කීරි සම්බා කිලෝවක මිල රු.260 ලෙසද උපරිම සිල්ලර මිල නියම කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ උපරිම මිලට අනුගත නොවන සහල් වෙළඳුන්ට දැඩි දඩුවම් පමුණුවන බවයි. එහෙත් කිසිදු වෙළඳසලක උපරිම මිලට යටත්ව සහල් ලබා ගැනීමේ හැකියාවක් නොමැත. සතොස හරහා උපරිම මිලට යටත්ව සහල් අලෙවිය සිදු කළ ද ඒ සඳහා දිගු පෝලිම් නිර්මාණය වන්නේ වෙළඳපල සමතුලිත මිලට පහලින් උපරිම සිල්ලර මිල පනවා තිබීම නිසාය. එසේ නම් සහල් සඳහා පමණක් නොව ඕනෑම වෙළඳ භාණ්ඩයක් සඳහා උපරිම මිලක් පැනවීම මගින් ඇතිවන්නේ තිබුණාටත් වඩා සංකීර්ණ අවුල් ජාලයක් නිර්මාණය වීමයි. කෙටි කාලීන විසඳුමක් ලෙස සහල් ආනයනය කොට බෙදා හැරීම මගින් සැපයුම ඉහළ ගොස් සහල් මිල ඉහළ යාම යම් තරමකට පාලනය කරගත හැකි වනු ඇත. සැපයුම ධෛර්යමත් නොකොට පාලන මිල පැනවීම මගින් විසඳුම් සෙවීමට යාම ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට ගැළපුනද අනුර කුමාර දිසානායක වැන්නෙකුට තරම් නොවන බව ද සඳහන් කළ යුතුය.

අප අද මේ භුක්ති විඳිමින් සිටින්නේ වී අලෙවි මණ්ඩලය ඇතුළුව වී මිලදී ගැනීමේ සහ ගබඩා කිරීමේ රාජ්‍ය යාන්ත්‍රණය කඩා බිඳ දැමීමේ ප්‍රතිඵලයි. රජය සතුව ප්‍රමාණවත් වී තොග නොමැති තාක් සහල් මිලට බලපෑම් කිරීමට රජයට නොහැකි වන බව වරක් අනුර කුමාර දිසානායක ද ප්‍රකාශ කළේය. සහල් සැපයුමේ සැලකිය යුතු භූමිකාවක් රජය විසින් අත්පත් කරගන්නා තෙක් සහල් මෝල් හිමියන් කැඳවා පාලන මිලට සහල් ලබා දෙන ලෙසට ආයාචනා කිරීම ද ඇතැම් විටෙක තදින් කියා සිටීම ද කිසිසේත්ම ප්‍රයෝජනවත් වන්නේ නැත. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන අන්දමට රජය විසින් වී වගාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ සිට පොහොර සහනාධාරය ලබා දීම දක්වා වූ ක්‍රියාවලියේ රාජ්‍ය භූමිකාව විශාල එකක් වන බැවින් සහල් සැපයුමට බලපෑම් කිරීමේ සදාචාරාත්මක අයිතිය රජය සතු වේ. එහෙත් ඒ සඳහා නෛතික බලයක් ඇත්ද යන්න ගැටළුකාරී එකකි. වෙළෙන්දාගේ අරමුණ ලාභ ලැබීම වන අතර ඊට නෛතිකව මැදිහත් වීම කිසි සේත්ම අනුමත කළ නොහැකිය. එනිසා සහල් ආනයනයෙන් තොරව කෙටි කාලීන විසඳුමක් පෙනෙන තෙක් මානයේ නැත. අඩුම තරමේ ලබන වසර වන විට හෝ වී අලෙවි මණ්ඩලය හරහා ප්‍රමාණවත් වී තොග පවත්වා ගැනීමට රජය සමත් වූවහොත් අපට මෙම ගැටළුවට විසඳුමක් දැකිය හැකිය.

වෙළඳපල තුළ පවතින පොල් හිඟයේ ද ගැටළුව ඇත්තේ පොල් සපයුමේය. සහල් වලට මෙන් පොල් සැපයීමේ ඒකාධිකාරයක් දකින්නට නැතත් පොල් වගාව සම්බන්ධයෙන් පවතින ගැටළු පොල් සැපයුම සීමා කොට තිබේ. රිලවුන් සහ දඬුලේනන් විසින් පොල් වගාවට කරන හානිය මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. දඬු ලේනා ශ්‍රී ලංකාවට ආවේණික ක්ෂීරපායි සත්වයෙකු වීම නිසා ම පසුගිය දිනෙක කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත ප්‍රකාශ කළ අන්දමට වගා භූමිය තුළ දී තමන්ගේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවියාට බලය ලබා දෙන බව කොතරම් ප්‍රායෝගික වේ දැයි ප්‍රශ්න කළ යුතුය.

ශ්‍රී ලංකාවේ සුළු පොල් ත්‍රිකෝණය ඇත්තේ තංගල්ල, රන්න සහ මිද්දෙණිය යන නගර යා කරමිනි. මිද්දෙණිය කේන්ද්‍ර කරගනිමින් පොල් පර්යේෂණ ආයතනයක් පවා පිහිටුවා තිබුණ ද ඒ ආශ්‍රිතව ඇති පොල් වගාවන් සඳහා පොහොර යෙදීමට පවා ගොවියන් දක්වන්නේ මැලිකමකි. ඊට ප්‍රධානම හේතුව වන්නේ පුරුද්දක් නොමැති කමයි. කෙසේ වෙතත් පොල් සැපයුමේ වර්ධනයක් අත්පත් කරගැනීමට නම් මෙම සම්ප්‍රදායික මානසිකත්වයෙන් පොල් ගොවියා එළියට ගත යුතුමය. පොල් වගාවට පොහොර යෙදීමේ වැදගත්කම පිළිබඳව ගොවියා දැනුවත් කිරීම , පොහොර නොමිලේ හෝ සහනාධාර ක්‍රමයක් යටතේ ලබා දීම වැනි ක්‍රියාමාර්ග ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතුය. දැනටමත් හානි වූ පොල් ගස් සඳහා වන්දි ලබා දීම, සහ නොමිලේ පොල් පැළ බෙදා දීම වැනි සම්ප්‍රදායික ක්‍රම ඔස්සේ මීට පිළියම් සෙවිය නොහැකිය. පොල් ගෙඩියකින් පොල් පැළයක් සකසා ගැනීම වන තෙක් වූ ක්‍රියාවලිය එතරම් සංකීර්ණ වූ එකක් නොවන නිසා ම ඕනෑම කෙනෙකුට ගෙදර දී ම එම කාර්ය කළ හැකිය. එනිසා සම්ප්‍රදායික පොල් පැළ බෙදා දීමේ උත්සව දේශපාලකයන්ට ප්‍රචාරමය වටිනාකමක් ලබා දුන්න ද එයින් පොල් වගාවට එතරම් වටිනාකමක් එකතු කරන්නේ නැත. එසේම අඩු කාලයකින් ඵල හට ගන්නා පොල් ප්‍රභේද තිබුණ ද ඒවායේ ජීව කාලය කෙටි වීම නිසා ගොවියන් ඒවා වගා කිරීමට දක්වන්නේ අඩු උනන්දුවකි.

සහල් හා පොල් හිඟයට ඇත්තේ අඩුම තරමේ අවුරුද්දක් හෝ ගතවන ආකාරයේ විසඳුම්ය. අප අද භුක්ති විඳින්නේ ද පසුගිය පාලකයන් විසින් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටීමට ඉඩ දීම හේතුවෙන් ඇති වූ ඵල විපාකය. ඒවා එක රැයින් විසඳිය නොහැකිය. ඒ අනුව මෙකී ගැටළු විසඳීම සඳහා රාජ්‍ය මැදිහත් වීම සිදු විය යුත්තේ පාලන මිලක් පැනවීම හරහා නොව සැපයුම් අංශයේ වඩා වැඩි පංගුවක් රජය සතු කරගනිමින් ඒ හරහා වෙළඳපල මිලට බලපෑම් කරමිනි.

Latest comments

  • 2
    0

    ඔබේ විග්‍රහය සාම්ප්‍රදායික ආර්ථික විද්‍යානුකූල මිල පාලනය ගැන ලියා ඇති ඉතා සුපුරුදු තර්කයන් වේ. ඒවා බොහෝ විට නිවැරදි වන අතර සමහර විට නිවැරදි නොවන බවත් කිව යුතුයි. අපි මෙහෙම බලමු, ඔබේ වගුවේ දක්වා ඇති පරිදි මිල පාලනයක් මගින් Q3 සැපයුම Q1 දක්වා අඩු වන බව සත්‍යයක්, එය සිදු වෙනවා බොහෝ විට. එසේම, ඔබට සඳහන් කිරීමට අමතක වූ කාරණයක් නම් සැපයුම Q1 දක්වා සංකෝචනය වූ විට පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන මිල P1 ටත් වඩා ඉහල මිලක් (අපි කියමු P3 කියලා – Q1 ප්‍රමාණය D රේඛාවේ චේදනය වන ලක්ෂ්‍යය) දක්වා ගමන් කරන බවයි. මේ සියල්ල න්‍යායාත්මකව නිවැරදි වන අතර බොහෝ විට ප්‍රායෝගිකව ද සිදුවන බව පිලිගත යුතුයි. නමුත් මෙහිදී බැලිය යුතු ප්‍රධාන කාරණයක් නම් සාම්ප්‍රදායික ආර්ථික විද්‍යානුකූල මිල පාලනයත් මේ සහල් මිල පාලනයත් අතර ඇති වෙනසයි. ඔබ දක්වා ඇති උදාහරණයේ තත්වයන් එම සැපයුම ඒකාධිකාරී හෝ කතිපයාධිකාරී තත්වයක දී සිදුවන ඒවායි. ලංකාවේ සහල් මාෆියාව නමින් හඳුන්වන්නේ සහල් ආනයනය තහනම් හෝ ඉතා සීමා කර වාතාවරණයක් යටතේ තිබූ අතලොස්සක් ලාංකික මෝල් හිමියන් ඇති කර තිබූ කතිපයාධිකාරයයි. මෙතනදී සිදු වී ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. අද රජය විසින් ගෙන ඇති පියවරයන් තුල ඇත්තේ වෙළඳ පොළ පූර්ණ තරඟකාරී තත්වයක් නිර්මාණය කිරීමයි. එනම් සහල් ආනයනය මගින් ඔබ පෙන්වා ඇති අර Q3 සහ Q1 අතර ඇති රික්තය පිරවීමටත් කටයුතු කිරීමයි. එමගින් සිදු වන්නේ P 3 දක්වා මිල ගමන් කිරීමේ අවදානම ඉවත් වන බවයි. ලංකාව වැනි අර්ධ වීවaථ ආර්ථිකයකට මෙලෙස රජයේ මැදිහත්වීමකින් සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ තර්කයන් වෙනස් කල හැකියි, වෙනස් කල යුතුයි. නමුත් දිගු කාලීන විසඳුම නම් දේශීය සහල් නිෂ්පාදන පුරෝකථන සමග ආනයනික නිදහසත් මිශ්‍ර කල එකක් විය යුතයි. වී අලෙවි මණ්ඩලය සක්‍රිය ලෙස මිලදී ගැනීම් වලට යා යුතුම අතර අවම වශයෙන් කාර්තුවකට සරිලන ආපදා තොගයක්වත් (Buffer stock) වී අලෙවි මණ්ඩලයේ නිතරම තබා ගැනීමත් විසඳුම් වලට අඩංගු විය යුතුයි.

  • 0
    0

    විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබන, ප්‍රමාණවත් තරම්, හසුරුවන ලද සහ දූෂිත යැයි ඔවුන් සැමට සමච්චල් කළ අතර ඔවුන් බොහෝ ආකාරවලින් පරිපූර්ණවාදීන් යැයි සිතූහ. විලිලැජ්ජා නැති වසන්ත සමරසිංහ (අපහාස කටහඬ), වෙළඳ ඇමතිවරයා තවමත් පසුගිය රජයන් සහ ඇමතිවරුන් ගැන විහිළු තහළු කරන්නේ ඔහුගේ ක්‍රියාකාරීත්වය එසේ කිරීමට තරම් දක්ෂ නැතත් ය. වැඩිකල් නොගිය නමුත් වාචාල කතා සහ ප්‍රායෝගික දේශපාලනය අද ඔවුන්ට බාධාවක් වී ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද වන විට බාලාංශයක මෙන් හැසිරෙති.
    .
    නමුත් මාස 3ක් වත් ගත වී නැතත් අද බොහෝ දෙනා නගන ප්‍රශ්නය නම් 3 වැනි පුරවැසියාගේ සුදුසුකම් හෝ AKD සභාපතිගේ කතානායකවරයාගේ සුදුසුකම් ප්‍රදර්ශනය කළ පුද්ගලයාගෙන් කිසිදා ප්‍රශ්න නොකළේ මන්ද යන්නයි. අගමැතිනි හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ තම සගයන්ගේ අධ්‍යයන අක්තපත්‍ර පරීක්ෂා කිරීමට උත්සුක නොවූයේ ඇයි? අලුතින් තේරී පත් වූ නායකයින් බොහෝ ප්‍රශ්න ගැන නොසැලකිලිමත් වන අතර එමඟින් ජනතාව ඔවුන් විශ්වාස කරති. අද මිනිසුන් සාමාන්‍යයෙන් රූපවාහිනියේ හෝ යූ ටියුබ් හි විකාශය වන ඕනෑම දෙයක් මිලදී ගනී.
    TBD

    • 0
      0

      Cont.
      එමෙන්ම ආචාර්ය අමරසූරිය අද කැබිනට් මණ්ඩලයේ අගමැති පමණක් නොව අධ්‍යාපන අමාත්‍යවරයා ද වේ.
      .
      එක් මන්ත්‍රීවරයෙකු පමණක් නොව උපාධිධාරීන් යැයි කියාගන්නා තවත් කිහිප දෙනෙකු සිටින නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් කාර්මික ශිල්පීන් පවා නොවන බව ආරංචි මාර්ග වාර්තා කර ඇත. නරකම දෙය නම් වත්මන් රජය මෙම ප්‍රශ්නය සෑම දෙනාම බැරෑරුම් ලෙස සලකන බවක් නොපෙනීමයි.

      මේ රටේ බොහෝ දෙනෙක් AKD සහ ඔහුගේ හැකියාවන් අධිතක්සේරු කිරීමට පනිමින් සිටිති, කෙසේ වෙතත්, පැහැදිලිව පෙනෙන දෙය නම්, AKD හෝ HA ට එම කාර්යය කිරීමට ප්‍රමාණවත් අත්දැකීමක් නොමැති බව පෙනේ.

      AKD පෞද්ගලිකව සහල් මිල සාකච්ඡාවට සම්බන්ධ වූ ආකාරය එම කාර්යය කිරීමට බලධාරීන් සිටින ශිෂ්ට රටක සිදු නොවිය යුතුව තිබුණි. මේක මෙහෙම ගියොත් ඉදිරි දින වල පොලිස් රාජකාරි පවා කරන්න පටන් ගන්නවා.
      .
      මම සම්පූර්ණයෙන්ම කම්පනයට පත්වුණා, හරිනි ප්‍රසිද්ධ රැස්වීමක කතා කළා, නමුත් වැරදි ප්‍රකාශ සමඟ. ඒ සියල්ල එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි ඊනියා යුද ජයග්‍රහණ වසරක් ගැනයි, එය 2011 බව ඇය පවසයි. මම පසුගිය වසර 35 තුළ විදේශගතව සිටිමි, ප්‍රශ්නවලදී එවැනි වැරදි කිරීමට මට අවශ්‍ය නැත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.