19 June, 2026

Blog

බලාපොරොත්තුවේ කාලයක් සහ ඉටුකිරීමට පොරොන්දුවක්

ජෙහාන් පෙරේරා – 

ජෙහාන් පෙරේරා

පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැවැති ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදුවූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සංක්‍රාන්තිය, මෙතෙක් නොසළකා හරින ලද ප්‍රශ්න විසඳීමට ප්‍රධාන අවස්ථාවක් ලබාදී තිබේ. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල කතාවේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය සහ ආගම්වාදය වැළැක්වීම සඳහා කැපවන බව අවධාරණය කළේය. ජාතිවාදී දේශපාලනයට යළි හිස එසවීමට තම ආණ්ඩුව ඉඩ නොතබන බව ප්‍රකාශ කළ ඔහු, බියෙන් හා සැකයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ස්ථාපිත කිරීමට ප්‍රතිඥා ලබාදුන්නේය. නීතියේ ආධිපත්‍යයේ වැදගත්කම පෙන්වාදුන් ජනාධිපතිවරයා, කිසිදු පුද්ගලයකු හෝ දේශපාලනඥයකු ඊට ඉහළින් නොසිටින බවට සහතික විය. මතභේදාත්මක අපරාධ විමර්ශනය කිරීම, වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සහ නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීම යන පොරොන්දු ද ඔහුගේ කතාවට ඇතුළත් විය.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ මහජන මුහුණුවර ලෙස, ජනාධිපති දිසානායක බලාපොරොත්තු ඉක්මවා ගොස් ඇත. ඔහු ආණ්ඩුවේ ප්‍රධාන සන්නිවේදකයා වන අතර, ඔහුගේ ඇඳුමින් පැළඳුමින් හා හැසිරීමෙන් පමණක් නොව ඔහුගේ ප්‍රතිපත්තිවලින් ද පෙනෙන පරිදි ජනතාව සහ ඔහු අතර සමීපභාවයක් පවතී. ජාතිවාදය සහ වාර්ගික වෛරය යළිත් රට තුළ මුල් බැසගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයාගේ සහතිකය, ඔහු හැදී වැඩුණු හර පද්ධතියට තවත් සාක්ෂියකි. කලක් සිංහල බෞද්ධ රාජධානිවල මර්මස්ථානය වූ උතුරුමැද පළාතේ ගොවි කලාපයක සිදුව ඇති ඔහුගේ සම්භවය, දිළිඳුකම සමඟ ඔහුගේ පෞද්ගලික අරගල සහ ශ්‍රී ලංකාවේ මුල් පාලනයන් විසින් ක්‍රියාත්මක කරන ලද සමාජ සුබසාධන ක්‍රමයේ සහාය ඇතිව එය ජයගැනීම, ඔහු ශ්‍රී ලාංකේය ජයග්‍රහණය පිළිබඳ විශිෂ්ටතම කතාවයි.

දශක ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ තවත් නායකයෙක් “වෛරයෙන් වෛරය නොසන්සිඳේ ” යන බෞද්ධ ඉගැන්වීම උපුටා දැක්වූ අතර, වත්මන් ජපන් තානාපතිවරයා සිය නිල නිවසේ පිළිගැනීමේ කතාවේදී එය නැවත නැවතත් සිහිපත් කළේය. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මෙම වචන ප්‍රකාශ කළේ, ජපානය දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජයට පත් වූ පසු වන්දි ගෙවීමට ලක්වීමෙන් ආරක්ෂා කර ගැනීමටය. ප්‍රශ්නය වන්නේ, වචන හුදු ප්‍රකාශ බවට පමණක් පත්වීමයි. අවාසනාවට ජයවර්ධන ජනාධිපතිවරයාට තමන්ගේ රටට පැමිණි පසු, තමා ප්‍රකාශ කළ වචන ක්‍රියාවෙන් ලෝකයට ගෙනයෑමට නොහැකි විය. ජවිපෙ සහ එල්ටීටීඊ කැරලි වලදී ඔහුගේ පාලනය කැරලිකාර කණ්ඩායම්වල රුදුරු ප්‍රචණ්ඩත්වයට රාජ්‍යයේ දරුණු ප්‍රචණ්ඩත්වය සමඟ ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

මළවුන් අනුස්මරණය කිරීම

මේ වන විට පෙනීයන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමන් කතාකරන සාරධර්ම අනුව ජීවත් වෙමින් ක්‍රියාකරන බවයි. ඔහු ජනාධිපති ධූරයට පත් වී මාස දෙකක් පමණක් ගත වී ඇත. එබැවින් එය නිශ්චිතවම පැවසීමට කල් වැඩි විය හැකි නමුත්, අවංකභාවයේ සලකුණු ඔහුගේ වචනයෙන් සහ ක්‍රියාවෙන් හා ඔහු ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට උත්සාහ කරන ආකාරය තුළින් දැකගත හැකිය. මහජනතාවට දැරීමට සිදුවන බරක් පවතින නමුත් වර්තමානයේ ඒ සඳහා සුදුසු වෙනත් විකල්පයක් නොමැති බැවින්, පසුගිය ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ප්‍රායෝගික ආර්ථික ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීමට ඔහු ජාතික ජන බලවේග ආණ්ඩුවේ මාක්ස්වාදී-ජවිපෙ හරය මෙහෙයවා ඇති ආකාරයෙන් මෙය පෙනේ. තමන් බලයේ සිටියා නම් මීට වඩා කිසිසේත්ම වෙනස් ආකාරයකින් වෙනස්ව කටයුතු නොකරන පිරිස් විසින් ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව විවේචනයට ලක්කරන නමුත් පැහැදිලි හේතූන් මත ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කළහ.

සාමකාමීව සහ ප්‍රජාවක් ලෙස මහවිරු දිනය ලෙසින් හඳුන්වනු ලබන, මියගිය පුද්ගලයන් අනුස්මරණය කිරීම පිළිබඳ ආන්දෝලනයට තුඩුදී ඇති අවස්ථාව සැමරීමට අවස්ථාව ලබාදීමට රජය ගත් ප්‍රවේශය ද, ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව, ඔවුන්ගේ සාරධර්ම මත සිට තම මියගිය දූ පුතුන් සැමරීමට කැමති, දශක තුනක යුද්ධයකට මුහුණදුන් දෙමළ ජනතාවට ලබාදුන් අවස්ථාවකි. මෙය සත්‍ය වශයෙන්ම, 2018 අංක 34 දරන වන්දි ගෙවීමේ කාර්යාල පනත මගින් නීතියෙන් අනුමත කර ඇති අතර, එමඟින් පුද්ගල සහ කණ්ඩායම් අනුස්මරණය සඳහා ඉඩ ලබාදේ (27 වගන්තිය). ජනතා විමුක්ති පෙරමුණ දිගු කලක් තිස්සේ, කොළඹට පමණක් නොව ‘ගමටද කිරි’ ලබාදීම සඳහාත්, සමාජ වෙනසක් සඳහාත්, විප්ලවය සඳහාත් සටන් කළ මියගිය ඔවුන්ගේ වීරයන් අනුස්මරණය කර ඇත. තම අයිතීන් සඳහා වූ අරගලයේදී ජීවිත අහිමිවූවන් සැමරීමට දෙමළ ජනතාවට සමාන අයිතියක් ඇති බව රජය පිළිගනිමින් සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.

ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වූයේ, “ටී සෙල්ලතුරෙයි සහ ඔහුගේ බිරිඳ යාපනයේ කොඩික්කාමම් හි පැවති උත්සවයට පැමිණ සිටියේ ඔවුන්ගේ පුතුන් දෙදෙනෙකුගේ මරණ අනුස්මරණය කිරීම සඳහා වන අතර, ඔවුන්ගේ දේහයන් එක් කාලයක සුසාන භූමියක් වූ, දැන් හමුදා කඳවුරක් බවට පත්කර තිබෙන භූමියක තැන්පත් කර ඇත” යනුවෙනි. ඔවුන්ගේ සංකේතාත්මක සැමරීම සංවිධානය කර තිබුණේ හමුදා කඳවුර ඉදිරිපිට පෞද්ගලික ඉඩමකය. “අපට අවශ්‍ය වන්නේ අපගේ පුතුන් සිහිපත් කිරීමට පමණයි, අපි ඔවුන්ගේ ප්‍රියතම ආහාර සමඟ යාඥා කිරීමට පැමිණියෙමු.” මාපියෝ පවසා ඇත. මෙම අවස්ථාවේ දී රජයේ ස්ථාවරය වූයේ, මියගිය ජනතාව සැමරිය හැකි නමුත්, ඔවුන් සම්බන්ධවූ සංවිධානය සැමරීමට නොහැකි බවයි. තවත් ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වූයේ, “යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ 29 හැවිරිදි තරුණයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ සතියේ පොලිස් අත්අඩංගුවට පත් වූ බවයි. පසුගිය සතියේ මහවිරු දින උත්සවයේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පණිවිඩ සම්බන්ධයෙන්, අදාළ තරුණයා ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ජවිපෙ නායකයන්ගේ පින්තූර ආවරණය නොකරන තරමටම, සමහර විට ඉදිරියේදී එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ පින්තූර ආවරණය කිරීමටද පොලිසිය මැදිහත් නොවනු ඇත.

එල්.ටී.ටී.ඊ. සැමරුම් පැවැත්වීමට රජය අවසර ලබාදුන්නා යැයි පවසමින් මෙම සමරුම්වලට විපක්ෂ දේශපාලනඥයන්ගේ දැඩි විවේචන එල්ල වී තිබේ. වාර්ගික ජාතිකවාදය පුනර්ජීවනය කිරීමට ඇති බලය අවතක්සේරු කළ නොහැකිය. කෙසේවෙතත්, රටේ උතුර-නැගෙනහිර ප්‍රදේශවල සැමරුම් උත්සව සඳහා රජයෙන් අවසර දීම අලුත් සංසිද්ධියක් නොවේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ පසුගිය ආණ්ඩු විසින්ද මෙවැනිම අවසරයක් ලබා දී ඇති අතර, එහිදී ජාතිවාදී නොවන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනීසිටීම අගය කළ යුතුය. ආණ්ඩු වාර්ගික ජාතිකවාදී නායකයන්ගේ පිටුබලය ලබන විට, ඇදහිය නොහැකි තරම් බලවත් වන තරඟකාරී ජාතිකවාදයන්ගෙන් වරින්වර මෙම සැමරුම් යටපත් වී ඇතත්, හිටපු ජනාධිපතිවරයා දිගු කලක් තිස්සේ ශ්‍රී ලාංකීය සමාජයේ විශ්වීය, බහුවාර්ගික සහ බහුවිධ ස්වභාවය නියෝජනය කර ඇත. ජනතා විමුක්ති පෙරමුණ සාම්ප්‍රදායිකව මෙම පසුකාලීන චින්තනයට සමීප වී ඇති අතර, අද ධණාත්මක වෙනසක් සඳහා වැඩි ගෞරවය දිසානායක ජනාධිපතිවරයාට හිමිවිය යුත්තේ එබැවිනි.

මුස්ලිමුන් බැහැර කිරීම

පාලනය තුළ ජාතිවාදී නොවන බවට ලබාදෙන සිය ප්‍රතිඥාවට අනුව, ජාතික ජන බලවේග ආණ්ඩුව සිය පළමු අමාත්‍ය මණ්ඩලයට මුස්ලිම් ජාතිකයකු ඇතුළත් කර ගැනීමට අසමත් වීම නිවැරදි කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටී. රජයේ ඉහළම මට්ටමේ තීරණ ගැනීමේ කොටස්කරුවන් වීමෙන් මුස්ලිම් ප්‍රජාව බැහැර කළ පළමු අවස්ථාව මෙයයි. මුස්ලිම් ජාතිකයකු නියෝජ්‍ය කථානායක ලෙසත් තවත් අයෙකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් පත්කර තත්වය නිවැරදි කිරීමට ආණ්ඩුව උත්සාහ කළද, විශේෂයෙන් එම ප්‍රජාවගෙන් සැළකිව යුතු පිරිසක් ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කිරීම නිසා, තමන්ව බැහැර කිරීමේ හැඟීම මුස්ලිම් ප්‍රජාවට දිගින් දිගටම කරදර කරමින් ඇති බව පෙනේ.

කෙසේවෙතත්, අතීතයේ ආණ්ඩුවල විව්ධාකාර මුස්ලිම් කැබිනට් ඇමතිවරුන් සිටියද, මුස්ලිම් ප්‍රජාවට සිදු වූ සැළකිවයුතු අසාධාරණයන් ඉන් වැළැක්වූයේ නැති බව ද සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම ‘දෙමළ ප්‍රජාව’ ප්‍රධාන චරිතය වූ දශක තුනක යුද්ධය අවසන් වීමෙන් පසු, ජාතිකවාදී කණ්ඩායම්වල ප්‍රධාන ඉලක්කය බවට පත්වූයේ මුස්ලිම් ප්‍රජාවයි. මුස්ලිම්වරුන්ට එරෙහිව බිහිසුණු කෝලාහල ඇති වූ අතර, ඔවුන්ගේ දේපළ කොල්ලකා විනාශ කරන ලද අතර, සමහරක් ඝාතනය කෙරිණි. අනතුරුව අපරාධකරුවන්ට බේරීයෑමට අවසර දෙන ලදී. කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ඇමැතිවරු සිටීමෙන් මේ අපරාධ නතරවූයේ නැත.

රට ණය උගුලක පැටළීමට බොහෝ කලකට පෙර, රට පුළුල් දූෂණයෙන් පිරුණු රටක් බවට පත්වීමට පෙර පවා, රට තුළ සමගියේ ආත්මය වියැකී ගිය වාර්ගික භේදය ඇතිවිය. රටට නිදහස උදාවෙත්ම, ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාට (මලයාහ දෙමළ) ඔවුන්ගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර දේශපාලනයෙන් බැහැර කරන ලදී. ඉන් පසුව ‘සිංහල පමණක්’ යන ප්‍රතිපත්තිය හරහා දෙමළ කතාකරන සියලුම ජනයාට සමාන භාෂා අයිතිය ප්‍රතික්ෂේප කිරීම, එකල වඩාත්ම උගත් ප්‍රජාවක් වූ බර්ගර් ප්‍රජාව විදේශ රටවලට සංක්‍රමණය වීමේ, ශ්‍රී ලාංකික පුරවැසියන් රටෙන් පිටවන පළමු මහා සංක්‍රමණයට හේතුවිය. අද රටේ සතර දිග්භාගයේ ජනතාව වෙනසක්, සමගිය, අලුත් ආරම්භයක් වෙනුවෙන් ඡන්දය ලබාදී තිබේ. ජාතික ජන බලවේග ආණ්ඩුවට ඇති සුවිශේෂී අවස්ථාව සහ ඔවුන් විසින් ඉටුකළ යුතු පොරොන්දුව මෙයයි.

Latest comments

  • 0
    0

    Dear readers,
    .
    “ඉන්පසු ‘සිංහල පමණක්’ ප්‍රතිපත්තිය හරහා දෙමළ කතා කරන සියලුම ජනයාට සමාන භාෂා අයිතිය ප්‍රතික්ෂේප කිරීම එකල වඩාත් උගත් ප්‍රජාව වූ බර්ගර් ප්‍රජාව විදේශ රටවලට සංක්‍රමණය වීමට හේතු වූ අතර එය පළමු මහා සංක්‍රමණයට හේතු විය. විදේශගත ශ්‍රී ලාංකීය පුරවැසියන් අද ජාතික ජන බලය රජයක් සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත, එය වෙනසක්, සමගිය සහ නව ආරම්භයක් සඳහා වූ සුවිශේෂී අවස්ථාවක්.

    තේරී පත් වූ අපේක්ෂකයින්ට හැකි ඉක්මනින් තම කාර්යය කිරීමට බල කළ යුතු අතර, සමහර අපේක්ෂකයින්ගේ අක්තපත්‍ර පිළිබඳ සැකයන් ජනතාව ඔවුන් කෙරෙහි ඇති බැඳීම නැති වීමට පෙර දුරු කළ යුතුය. අවාසනාවකට මෙන්, මාධ්‍ය, අධ්‍යාපනය, ආගම, දේශපාලනය, ආර්ථික විද්‍යාව හෝ කුමන ක්ෂේත්‍රයක වේවා, විශාල පොරොන්දු සහිත විශ්වාසනීය රැස්වීමක් ලෙස සැලකිය හැකි කිසිවක් ඔවුන් ලබා නොදේ. ඔවුන් දැන් පෙනෙන්නේ හරි දේ කිරීමට බලය ලබා ගැනීමට පෙර ඔවුන්ගේ ගෙදර වැඩ කිරීමට අසමත් වූවාක් මෙනි. පසුගිය ආණ්ඩුවලට එරෙහිව නැඟී සිටි ඒ ජනතාව දැන් විටෙක නිහඬය. ඉස්සර වගේ විරෝධයක් නෑ, පත්වෙන ආණ්ඩුව ඔක්කොම ඉවර කරනවා වගේ. ඇත්ත කතාව නම් රට පුරා පොල් සහ සහල් මිල පාලනය කිරීම වැනි සුළු ප්‍රශ්න පවා විසඳා ගැනීමට තේරී පත් වූ ජනතාවට නොහැකි වී තිබීමයි.

    • 0
      0

      LM , ඔබ හොඳටම දන්නවා මේ ප්‍රශ්න දශක පනහක හැටක විතර කාලයක් තිස්සේ ගොනු වූ ඒවා කියල. මේ සියලු ප්‍රශ්න වලට උත්තර මාස තුනකින් ඔබ බලාපොරොත්තු වන්නේ මොන තර්කයක් උඩද? පසු ගිය මාස තුන තුලදී ඔබ post කල සියලු comment වල ඇත්තේ යහපත් දේශයක් වෙනුවෙන් කරන බලාපොරොත්තු වීමක් නොව අර සුචරිත ගම්ලත් 1980 ගණන් වල දිගටම මෙහෙයවූ ‘දෙන්ඥම් බැටේ’ කියන භාවිතයයි! රනිල් හැරෙන්ට වෙන කවුරුත් කරන මොන දේ කලත් වැරදියි කියන තර්කයයි ඔබේ සියලු comment වල තියෙන්නේ. රනිල් යනු මේ සිරි ලංකාවේ ඉතාම පහල බිංදුවේ, මහ ජනතාව සුනඛ මට්ටමට දාපු චරිතයක් කියල ඔබට තවමත් නොවැටහීම ඉතාම කනගාටුදායක තත්වයක්! අනේ ඔහුගේ චන්ද ප්‍රතිපල දිහා බලන්නකෝ!! ඔබේ අධ්‍යාපන දැනුම අනුව මීට වඩා ඉතා ඉහල මට්ටමේ, උසස්, තර්කානුකූල comments ඔබෙන් ලැබිය යුතුයි කියල මම හිතනවා. ඉතාම කනගාටුයි කියන්න, නමුත් ඔබ ඒ ගැන කිසිම අවබෝධයක් නැතුව ඔහේ නන්නත්තාර comments දමනවා. කරුණාකරලා මේ රටේ පසුගිය දශක පහක හයක පමණ කාලයක් තුල සිදු වූ සියල්ල අවබෝධ කරගෙන දේශපාලන පක්ෂ හෝ නායකයින් ගැන නොව රටක් වශයෙන් ලංකාව ඉදිරියට ගෙන යා යුත්තේ කොහෙටද කියන එක ගැන අවබෝධ කර ගන්න! මේ රජයට යම් කිසි කාලයක් දෙන්න මොනවා හරි කරලා පෙන්වන්ට. ඒක මාසෙන් දෙකින් කොරන්ට පුලවන් දෙයක් කියල ඔබ නොදන්නවා නොවෙයිනේ??

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.