

අමිල මුතුකුට්ටි
“Clean Sri Lanka” ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව සංස්කෘතිකමය වෙනසකට භාජනය වෙමින් තිබේ. ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුව සම්ප්‍රදායික දූෂිත දේශපාලනඥයන්ගෙන් පිරිසිදු කළ අපි දේශපාලන සංස්කෘතියේ වෙනසක් අපේක්‍ෂා කළෙමු. එය සාධනීය මට්ටමකට ළඟා කරගත හැකි වීම සම්බන්ධයෙන් අප සතුටු විය යුතුය. පැවති තත්ත්වය හා සංසන්දනය කිරීමේදී දිනා ගත් නව දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය යුතුය. පවුලේ සාමාජිකයන් පිරිවරාගෙන ජනාධිපතිධුරය, ඇමති ධූර සහ අමාත්‍යංශ ලේකම් ධූර ආදී තනතුරුවල වැඩ භාරගැනීම පුරුද්දක් වී තිබූ රටකට අදාළ පුද්ගලයා පමණක් ගොස් වැඩ භාරගැනීමේ නවමු අත්දැකීම අපි අත් වින්දෙමු. මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මැර කණ්ඩායම් විසින් පරාජිතයන්ට පහර දීමේ සංස්කෘතිය ද, හංදියක් හංදියක් ගානේ කිරිබත් කමින් පරාජිතයන් මානසිකව රිදවීමේ සංස්කෘතියේ සිට අඩුම තරමේ රතිඤ්ඤාවක් පත්තු නොකිරීමේ සංස්කෘතිය රට තුළ ස්ථාපනය වන අයුරු අත්දැක්කෙමු. එහි වෙනස වඩාත් දැනුණේ බටහිර රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටය. දේශපාලන සංස්කෘතියේ ඇති වූ සාධනීය වෙනස්කම් තව බොහෝය.
“පිරිසිදු කිරීම” යන වචනය ඇසෙත්ම අපට මතක් වන්නේ පාරිසරික පිරිසිදුකම සම්බන්ධයෙනි. පසුගිය ආණ්ඩු විසින් ද පාරිසරික පිරිසිදුකම ඇති කිරීමෙහි ලා බොහෝ සාධනීය පියවර ගනු ලැබුවේය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති විය යුතු යැයි ඇතැම් පිරිස් සිතන්නට වූයේ ඔහුගේ නගර පිරිසිදු කිරීමේ හා අලංකරණය සම්බන්ධයෙන් ඇති වූ පැහැදීම නිසාය. එහෙත් එම පරිසර අලංකරණය සමාජීය වශයෙන් හා ආචාර ධර්ම වශයෙන් ව්‍යාප්ත වූයේ නැත. ඒ නිසා මෙම “Clean Sri Lanka” ව්‍යාපෘතිය අංශ තුනක් ඔස්සේ විහිදුණු පුළුල් ව්‍යාපෘතියක් බව පෙනෙන්නට තිබේ.
මේ රට බංකොලොත් බාවයට ඇද දැමුවේ දේශපාලකයන්ය යන ආකල්පයේ ඇලී ගැලී සිටි බොහෝ දෙනා ඡන්ද දායකයන් සහ පුරවැසියන් වශයෙන් තමන් අත ඇති වරද හඳුනා ගත්තේ නැත. සියල්ලටම දේශපාලකයාට දොස් පවරා අත පිසදා ගත් එකී පුරවැසියන් සමාජීය වශයෙන් සහ ආචාර ධර්ම අතින් තමන් වෙනස් විය යුතු බව කියන විට එයට කැමති නැත. කොටින්ම ඔවුන්ගේ අදහස වන්නේ “අපි නොහදා රට හදන්න” යන්නය.
මඩිහේ පඤ්ඤාසීහ නා හිමියන් ප්‍රකාශ කළේ “මිනිසා නොහදා රට හදන්න බෑ” යනුවෙනි. එහෙත් දැන් මිනිසුන් කියන්නේ තමන් හදන්නට එන්නේ නැතුව රට හදන්න කියාය. කාර්යාල වල ද, ගමේ කඩ පිළේ ද, වෙනත් පෞද්ගලික සාද වලදී ද ඉඩක් ලැබෙන හැම මොහොතකම “මේ රට දියුණු කළ හැක්කේ කෙසේද?” යන මාතෘකාව යටතේ වාද විවාද පවත්වන බොහෝ දෙනා පුරවැසි වගකීම අමතක කොට ඇති බව පෙනේ. කහ ඉරෙන් පාර මාරු වීමට තරම් විනයක් හා ඉවසීමක් නොමැත්තා දේශපාලකයා පාරේ සුදු ඉර කපාගෙන යෑම පිළිබඳව කෝප වන්නේය. දෝෂාරෝපණය කරන්නේය. එහෙත් දැන් අප වෙනස් වීමට කාලය එළඹ තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිසුන් බලෙන් ශිෂ්ඨ සම්පන්න කිරීම තරමක් දුෂ්කරය. එහෙත් සමාජය විසින්ම ඊට බලපෑමක් කරන සේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම තුළින් පමණක් මෙම කාර්ය ඉටු කරගත හැකිය. බස් රථ තුළ හා ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රසිද්ධියේ පිරිමින් දුම් බීමට පුරුදුව සිටි කාලයක් අපට තිබිණ. එහෙත් දැන් කෙනෙකු ප්‍රසිද්ධියේ දුම් බොන්නේ නැත. එසේ කරන්නේ නම් සමාජයේ අනිත් අය ඊට විරුද්ධ වන්නේය. බස් නැවතුමක දී හෝ නගරාශ්‍රිත ප්‍රදේශයක දී හුදෙකලාව සැඟවී නැතිනම් කිසියම් ආවරණයකට මුවා වී දුම් බොන පුද්ගලයන් අපි දැක ඇත්තෙමු. තමන් සිදු කරන්නේ වරදක්ය යන වරදකාරී හැඟීම පුද්ගලයා විනයවත් කරනු ඇත. “Clean Sri Lanka” ව්‍යාපෘතිය මගින් පොලීසිය ලවා බලෙන් කරවන්නට යන දේ කාලයත් සමඟ අපගේ සංස්කෘතියේ කොටසක් බවට පත් විය යුතුය. අනවශ්‍ය ලෙස විදුලි බල්බ සහ නොයෙකුත් සැරසිලි එල්ලා ඇති බස් රථයකට වඩා ඒ කිසිවක් නොමැති නිෂ්පාදකයා නිපද වූ ආකාරයෙන්ම ධාවනය වන බස් රථය ලස්සන බවට මිනිසුන් අතර කතිකාවක් නිර්මාණය විය යුතුය. එවිට නීතිය ක්‍රියාත්මක කොට ඒවා ඉවත් කිරීමට පොලීසියට සිදු නොවනු ඇත. එහෙත් මෙම ආකල්පමය වෙනස සඳහා කිසියම් කාලයක් ගත වනු ඇත. එතෙක් නීතිය ක්‍රියාත්මක කොට එය සිදු කිරීම වරදක් නොවේ. ඊට සියලු පුරවැසියන්ගේ සහයෝගය හිමි වීම අනිවාර්ය වේ. එසේ නොමැතිව තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දී අප අපේක්‍ෂා කළ අරමුණු ඉටු කරගැනීමට අපට නොහැකි වනු ඇත.