18 July, 2025

Blog

මා විසින් අත්හදා බැලූවේ මට මේ රට පිළිබඳව තිබූ අවසාන බලාපොරොත්තුවයි

අමිල මුතුකුට්ටි

පසු ගිය සැප්තැම්බර් 21 පැවැත්වූ ජනාධිපතිවරණදී අනුර කුමාර දිසානායක වෙත “බය නැතුව 21 අනුරට ඡන්දය දෙන්න” යනුවෙන් උවිඳු කුරුකුලසූරිය විසින් කළ සටහන මා විසින් ද යළි යළිත් අවධාරණය කරමින් “යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද?” යන මැයෙන් ලියූ ලිපියේ දිගුවක් ලෙස මෙසේ සටහන් කරමි. ලක්ෂ 57 ක් වූ ඡන්ද දායකයින් විසින් අනුර කුමාර දිසානායක සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ විධායක ජනාධිපතිවරයා ලෙස පත් කොටගෙන තිබීම ඊට හේතුවයි. නව දේශපාලන අත්හදා බැලීමකට නොයන ලෙසට ජනතාව තුළ භීතියක් ඇති කළේය. එහෙත් ජනතාව ඒවාට නොරැවටෙන බව සහ කිසිදු දේශපාලන පක්ෂයකට අනාගතයේ දී ස්ථීර ඡන්ද පදනමක් නොමැති වන තරමට තමන්ගේ පරමාධිපත්‍ය බලයේ තරම ජනතාව විසින් අවබෝධ කොටගෙන තිබීම සතුටට කරුණකි. එය ජනතාවට දැනෙන්නට පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් එළවා දැමූ පසුවය. එහි දෙවන පියවර ජනතාව විසින් පසුගිය 21 වන දා ව්‍යවස්ථානුකූලව ගනු ලැබුවේ ය.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් මිනිත්තුවේ සිට මේ ලිපිය ලියන මොහොත වන තෙක් තමන් සහ තම පක්ෂය පිළිබඳව විරුද්ධ දේශපාලන බලවේග විසින් ජනතාව තුළ ඇති කළ බොහෝ දුර්මතයන් දුරු කර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සමත්ව ඇති බව මගේ අදහසයි. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවීමත්, ඉතා චාම් සහ අඩු වියදමකින් තමන්ගේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමත්, දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් බෞද්ධාගමික සහ අන්‍යාගමික කටයුතු වලට මුල් තැන දී රාජකාරී කටයුතු ආරම්භ කිරීමත්, රවී සෙනෙවිරත්න වැනි අවංක නිළධාරීන් තනතුරු වලට පත් කිරීමත් ඔහුට ඡන්දය නොදුන් පුද්ගලයන්ගේ ද ප්‍රසාදයට හේතු වී තිබේ.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණි මුල් කාලයට සාපේක්ෂව ඔහු එන්න එන්නම තරුණ වී ඇත්තේ ගතින් පමණක් නොව ආකල්ප වලින් ද තරුණ වී ඇති බව ඊයේ දිවුරුම් දීමේ උත්සවයේදී කළ කතාවෙන් ම අවබෝධ විය. ඔහු දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් ද ඇති බවත් හැකියාවන් මෙන්ම නොහැකියාවන් ද ඇති බවත් ඔහුගේ දක්ෂතාවය වන්නේ දන්නා අයගෙන් එම දැනුම උකහා ගැනීමත්, ඔවුන් ලවා ඒම කාර්ය කරවා ගැනීමත් බව ඔහු වරෙක ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය කොතරම් නිහතමානී මෙන්ම ප්‍රායෝගික එකක්දැයි අමුතුවෙන් සටහන් කළ යුතු නොවේ.

ඊයේ දිනයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් කළ කතාව ඇසූ මට, දිවුරුම් දුන් අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ කළ කතාව නැවත සොයා බැලීමට සිත් වූයේ මාගේ මිතුරෙකු අනුර කුමාර දිසානායක “ගෝඨාභය II” ලෙස හඳුන්වා දීම නිසාය. එම කතා දෙකෙහි සංසන්දනයක් මම මෙසේ ඔබට ඉදිරිපත් කරමි. මේ BBC සිංහල සේවය වාර්තා කොට තිබූ ආකාරයෙන් උපුටා ගැනීමකි.

අනුර කුමාර දිසානායක තවත් එක් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු ලෙස අර්ථකථනය කරන පුද්ගලයෙකුගෙන් ඔවුන් දෙදෙනාගේ සමානකම් පහක් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිය ද ඔහු එසේ නොකළේය. එහෙත් දිගින් දිගටම අනුර තවත් එක් ගෝඨාභය කෙනෙකු බව කියමින් සිටී. එහෙත් ඉහත ප්‍රකාශයන් දෙක සංසන්දනාත්මකව විමසා බැලු විට ඕනෑම අයෙකුට බොහෝ දේ තේරුම් ගත හැකිය. පවතින දේශපාලන සංස්කෘතියේ දැවැන්ත වෙනසක් බොහෝ පිරිසක් විසින් අපේක්ෂා කරන ලදී. තට්ටු මාරු ක්‍රමයට මේ රට විනාශය නොහොත් ආර්ථික බංකොලොත් බාවය කරා මෙහෙය වූයේ පවුල් කිහිපයක් සහ බල කඳවුරු දෙකක් විසිනි. එහි විපාක සියලු දෙනාටම අත් විඳින්නට සිදු වී තිබේ. තරුණ තරුණියන්ගේ සිහින විනාශ කොට තිබේ. තමන්ගේ නොව අඩුම තරමේ තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යැයි කියමින් වෘත්තියකයෝ රට හැර යති. කිසිවෙකුට ශ්‍රී ලංකාව පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් පාදඩ දේශපාලන ක්‍රමය විසින් ඉතිරි කොට නැත. ඉතිරි වූ ජන කොටසේ බහුතරයක් දෙනා හට අත්හදා බැලීමට ඉතිරි වූ අවසන් විකල්පය බවට පත් වූයේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ කණ්ඩායමයි.

මා විසින් පසු ගිය 21 දින අත්හදා බලන ලද්දේ පෞද්ගලිකව මට මේ රට පිළිබඳව තිබූ අවසාන බලාපොරොත්තුවයි. ඒ පෞද්ගලික අපේක්ෂාවන් නොව නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කොට නීතිය ඉදිරියේ සැවොම සමාන වන රටක් නිර්මාණය කිරීමටයි. දේශපාලකයන්ට කප්පම් නොගෙවා පුද්ගලයෙකුට ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමට ඇති හැකියාව ස්ථාපිත කිරීමටයි. උපාධිධාරියෙකුට දේශපාලකයන් පසුපස ගොස් රජයේ රැකියාවක් ලබා ගන්නවා වෙනුවට තමන්ගේ උගත්කමට ගැළපෙන රැකියාවක නිරත වීමට තරමේ ශක්තිමත් පෞද්ගලික ව්‍යාපාර ජාලයක් රට තුළ නිර්මාණය කිරීමටයි. රාජ්‍ය වියදම් අඩු කොට බදු බරින් ජනතාව යම් තරමකට හෝ ගලවා ගැනීමටයි. ගුණාත්මක අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීමටයි. මේ සටහන් කරන ලද්දේ අපේක්ෂාවන්ගෙන් කිහිපයක් පමණි.

ඉහත අපේක්ෂාවන් ජනාධිපති අනුර කුමාර සහ ඔහුගේ කණ්ඩායමට ඉටු කිරීමට නොහැකි වූවහොත් එය මා විසින් පෞද්ගලිකව ද පොදුවේ ලක්ෂ 57 වූ ඡන්ද දායකයින් විසින් ද ඔවුන් පිළිබඳව තැබූ බලාපොරොත්තුව විනාශ වී යාමකි. එමෙන්ම මා සහ අනෙකුත් තරුණ තරුණියන් විසින් ශ්‍රී ලංකාව පිළිබඳව තැබු අවසන් බලාපොරොත්තුව ද විනාශ වී යාමකි. එසේ අවසන් බලාපොරොත්තුව ද විනාශ වී යාමෙන් පසුව මා හට ඇත්තේ විකල්ප දෙකකි. එකක් නම් කිසි දිනෙක ඡන්දය භාවිතා නොකොට මේ රට තුළම කෙසේ හෝ ජීවිතය ගත කොට මිය යාමයි. නැතහොත් වෙනත් දියුණු රටකට සංක්‍රමණය වීමයි. පෞද්ගලිකව මා විසින් ද පොදුවේ අනෙකුත් තරුණ තරුණියන් විසින් ද තෝරා ගනු ලබන්නේ දෙවෙනි විකල්පය බවට සැකයක් නැත. එනිසා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇත්තේ විශාල අභියෝගයකි. එම අභියෝගයේ දිග පළල ඔහු  විසින් මැනවින් අවබෝධ කොටගෙන තිබීම සතුටට කරුණකි. එනිසා පතන්නට ඇත්තේ ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට ශ්‍රී ලාංකේය ජනතාවගේ පොදු බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා යන්නයි.

Latest comment

  • 0
    0

    ඔව්, ඔහු දුන් පොරොන්දු වෙනුවෙන් ක්‍රියා කිරීමට අපි සැවොම ඔහුට යම් කාලයක් ලබා දිය යුතුයි. ගිලා බසින ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රශ්න ඔහු විසින් ගනු ලබන පියවරත් සමඟ ඔහු හසුරුවන ආකාරය විනිශ්චය කළ හැක්කේ එවිට පමණි.

    ආර්ථික පුනර්ජීවනයට ප්‍රමුඛත්වය දිය යුතු අතර, සියලු දෙනාටම විනය ආරක්ෂා කරන සහ හඳුන්වා දෙන දැඩි නීති ක්‍රියාත්මක කිරීමෙන් අපට බොහෝ දේ අත්කර ගත හැකිය: මම හිතන්නේ: මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නොවේ, ජාතියක් ලෙස අපට වැරදී ඇත, අප කළ දේ එය යකඩින් ඉවත් කර ඉදිරියට බලන්න අවශ්යයි.
    .
    මගේ ප්‍රාර්ථනය ඔහු තේරී පත්වන්නේ කවුරුන් වුවද, මේ රටේ සෑම පුරවැසියෙකුටම එක හා සමානව සැලකීමට ඔහු ඉහළම ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර, දේශපාලනයේ සහ “භික්ෂුව ඇතුළු වෙනත් ක්ෂේත්‍රවල පෙර තරාතිරම නොබලා අපරාධකරුවන්ට එරෙහිව පොලිසියට වැඩ කිරීමට ඉඩ දීමයි. “. youtubers සහ ටියුෂන් මාස්ටර්වරුන් දැඩි නීති යටතේ ක්‍රියාත්මක කළ යුතු බව අපි දනිමු, එවිට සමාජයට යහපත් අනාගතයකට නිවැරදිව මඟ පෙන්විය හැකිය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.