7 December, 2025

Blog

යුද්දෙට​ නැති කඩුව කොස් කොටන්නද?

අමිල මුතුකුට්ටි –

අමිල මුතුකුට්ටි

ජනාධිපතිවරණය පැවැත්වීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි. මේ වන විට ජාතික ජන බලවේගය තමන්ගේ ජනප්‍රියත්වය ඉහළම ස්ථානයක රඳවා ගැනීමට සමත් වී ඇති අතර එනිසාම ප්‍රතිවිරුද්ධ පාර්ශව විසින් එල්ල කරන මඩ ප්‍රහාරයන්හි ද අඩුවක් නොවේ. එම මඩ ව්‍යාපාරය පරිණාමය වූ ආකාරය සිත් ගන්නා සුළුය. රට පාලනය කිරීමට ඔවුන්ට කිසිදු වැඩපිළිවෙලක් නැතැයි යන ප්‍රකාශයේ සිට ඔවුන්ගේ වැඩපිළිවෙල තමන්ගේ වැඩපිළිවෙල සමඟ අනෙකුත් අපේක්ෂකයන් විසින් සංසන්දනය කරන තැනකට පරිණාමය වී ඇත. කිසි දිනෙක ඔවුන්ට ආණ්ඩු බලය ලබා ගත නොහැකිය යන ප්‍රකාශයේ සිට ආණ්ඩු බලය ලබා ගත්ත ද මාස හයක් වත් කරගෙන යාමට නොහැකිය යන තැනට එය පරිවර්තනය වී තිබේ. අනුර වටා රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය කණ්ඩායමක් නොසිටීය යන ප්‍රකාශය ඔහු වටා සිටින කණ්ඩායමේ අඩුපාඩු සහ ඔවුන්ගේ කතා හරි මැදින් කපා විකෘති කොට සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම දක්වා පරිණාමය වී තිබේ. මෙම රසවත් සංසන්දනයට එකතු කිරීමට තවත් බොහෝ දේ ඇතත් ලිපිය ලියවෙන්නේ ඒ වෙනුවෙන් නොවන බැවින් එම අදහස් යටපත් කර ගන්නෙමි.

අනුර කුමාර දිසානායක සහභාගී වූ සිරස නාලිකාව ඔස්සේ විකාශනය වූ “සටන” වැඩසටහන නොබැලූ කෙනෙක් නැති තරම්ය. එහෙත් එහිදී ඔහු කළ එක කතාවක් මෙහි සටහන් කිරීමට මම ඔබෙන් අවසර ඉල්ලන්නේ එකම දේ නැවත නැවතත් ඇසීමේ මානසික තෙහෙට්ටුව හොඳින්ම දන්නා බැවිනි. ඒ තෙහෙට්ටුව කෙතරම් ද යත් රූපවාහිනී නාලිකාවන්ගේ ප්‍රවෘත්ති විකාශනයන් නැරඹීම අත්හැර දමා දැන් වසර කිහිපයකි. අනුර අප වෙත ඉදිරිපත් කරන්නේ යුග දෙකක සංසන්දනයකි. එය මෙසේය. එදා රාජපක්ෂවරු නොමැති වූවහොත් රට අනතුරේ බවත්, යුද්ධය දිනූ රණ විරුවන් යුද්ධාධිකරණ වෙත ගෙන යන බවත්, විදුලි පුටු සහ තවත් කොටි නැගිටීම් පාදක කොටගත් කතන්දර බොහොමයක් ජනතාව හමුවේ තිරගත විය. එහෙත් අද වන විට රාජපක්ෂ පාලනය හමාර වී ඇති බවත් ඉහත කී කිසිවක් සිදු නොවුණු බවත් අපි දනිමු. එම පන්නයේම තවත් ජවනිකාවක් මේ දිනවල තිරගත වෙමින් පවතී. එනම් රනිල් වික්‍රමසිංහ නැවත බලයට පත් නොවුණ හොත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම් යළි ඇතිවන බවත් ඩොලරය රුපියල් හාර සියය දක්වා ඉහළ යන බවත් ඔහුගේ සෑම වේදිකාවකම ජප කරන මන්තරයක් බවට පත්ව තිබේ. ඒවා අසන විට අපට සිතෙන්නේ ගෑස් හා තෙල් නිධි සොයා ගැනීමේ පේටන්ට් අයිතිය ඔහු සතු වූවක් දෝ යන්නයි.

මාලිමාව අද නොවේ හෙට යන මැයෙන් සමිත් බෝධිපක්ෂ විසින් ෆේස්බුක් හි තැබූ සටහනක් මිතුරෙකු විසින් මා වෙත එවා තිබිණ. එහි සටහන් වන්නේ මාලිමා ආණ්ඩුවකට දැන් මේ කාලය නොවන බවයි. තවද ඔහු සටහන් කරන්නේ “අනුර ඇතුළු NPP එකේ බොහෝ සාධනීය දේවල් තියෙනවා. හැබැයි ආර්ථික ඇතුළු සමහර කාරණා ප්‍රැක්ටිකලි ⁣ගොඩදාන විදිය ගැන NPP එකට නිශ්චිත අදහසක් හෝ වැඩපිළිවෙළක් තියෙන බවක් පේන්නවත් බෑ. එකම කාරණාව උදෙසා එක එක අය එක එක තැන කියන්නෙ එක එක කතා. එහෙම වාතාවරණයක අපි පිළිගන්න ඕන මොන කතාවද කියලා පැහැදිලි නෑ” යනුවෙනි. මගේ අදහස වන්නේ එවැනි අවස්ථාවක අප පිළිගත යුත්තේ ජනගත කොට ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අදාල අපේක්ෂකයා විසින් ප්‍රකාශ කරනු ලබන්නක් පමණි. එසේ නොමැතිව කිසියම් පක්ෂයකට සහාය දෙන්නෙකු ලෙස පෙනී සිටින කලාකරුවෙකු හෝ විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් අප එකී පක්ෂයේ අදහසක් ලෙස වටහා නොගත යුතුය. මෙම කරුණ ජාතික ජන බලවේගයට පමණක් නොව ඕනෑම පක්ෂයකට අදාල බව ද සඳහන් කළ යුතුය. එය එසේ නොවුණහොත්, වර්තමානයේ බොහොමයක් භික්ෂූන්ගේ ධර්ම දේශනාවන්ට සවන් දෙන අපට සිදුවන්නේ බුදුන් වහන්සේ දෙසූ ධර්මය පිළිබඳව පවා සැක කිරීමටයි.

එම ලිපිය කියවා අවසන් කළ මට මතක් වූයේ අනුර කුමාර දිසානායක විසින් පසුගිය දා අකුරැස්සේදී ජන රැළියක් අමතා කළ ප්‍රකාශයයි. ඒ “යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද?” යන්නයි. එයින් බොහෝ දේ කියැවෙන බව හැඟුන නිසා ම එය මේ ලිපියේ සිරස්තලය ලෙස මා විසින් යොදා ගන්නා ලදී. ඔහු තවදුරටත් කියා සිටියේ “අපි මේ වෙලාවෙ බලය ඉල්ලන්නෙ බලය ගන්න පුළුවන් අවස්තාව හැදිලා තියෙන නිසා. ඒ වගේම අපි රට බාර ගන්නේ රට විශාල ලෙස ප්‍රපාතයකට වැටිල තියෙන වෙලාවක. ඒ නිසා මේ වෙලාව තමයි ජාතික ජන බලවේගය ජනතාව වෙනුවෙන් බලය ලබා ගත යුතුම වෙලාව. මේ වෙලාවේ නැත්නම් අපි මොකටද?”

අප දන්නා මෑත ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ වෙත ජනතාවගේ සැලකීම මෙසේ විය. අයුක්තියක් අසාධාරණයක් වූ කලෙක ඊට මැදිහත් වෙමින් එකී ජන කණ්ඩායම වෙත ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ ද ඉල්ලීම් දිනා ගැනීමෙන් අනතුරුව ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දුන්නේ නැත. ඔවුන්ගේ තර්ක විතර්ක මුසු රසවත් කතා ඇසීමට කැමති වූවද ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දුන්නේ නැත. ගෙදරට කැන්වසින් ආ “ජේවීපී කාරයන්ට” හැත්තෑ ගණන්වල අසූ ගණන්වල තමන්ගේ තාත්තා හෝ සහෝදරයෙකු මරා දැමීම පිළිබඳව බැන වැදී ශාප කොට නිවසින් පන්නා දැමුවේය. එවැනි අවස්ථා ඇසු දුටු මගේ සිතට ආ එක් ගැටළුවක් වූයේ බටලන්ද වධකාගාරයේ වධ හිංසනයන්ට ලක්ව මිය ගිය, එසේම ඒ යුගයේ දේශපාලනයට සම්බන්ධ නොවුණු තරුණයන් පවා හමුදාව හා පොලිසිය විසින් මරා දැමුණු පුද්ගලයන්ට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් නොව අඩුම තරමේ දුරින් හෝ ප්‍රශ්න කරන්නට ඥාතියෙකු නොසිටියේද යන්නයි.

නමුත් මෙපමණ කලක් තිස්සේ පාලකයන් තමන්ව රැවටු බව දැන් රටේ බහුතරයක් දෙනාට අවබෝධ වී හමාරය. එනිසා ඔවුන් කලින් ජෙප්පන්ට සැලකු ආකාරයට මාලිමාවෙන් ගෙදරට කැන්වසින් එන අයට සලකන්නේ නැත.

මට උසස් පෙළ විභාගය සඳහා දේශාපලන විද්‍යාව ඉගැන්වූයේ චන්ද්‍රසිරි වටගෙදර ය. ඔහු සිසුන් අතරේ ජනප්‍රිය වූයේ “වටගෙදර සර්” ලෙසිනි. ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා මහ මැතිවරණයක දී තරග කළ අයෙකි. මෙම පසුබිම් තොරතුරු මා විසින් ඔබට සැපයුයේ ඔහු කළ එක් ප්‍රකාශයක් මගේ මතකයට ආ බැවිනි. “ජනතාව සත්‍ය තේරුම් ගෙන අප කරා පැමිණෙන තෙක් අපි මේ දේශපාලන ව්‍යාපාරයේ නිරත වන්නෙමු” එය අද සිදුව තිබුණ ද එය දකින්නට ඔහු අද ජීවත්ව නැත.

පුද්ගලයන් පවතින තත්ත්වයන් විශ්ලේෂණය කරන්නේ තමන් උගත් විෂයන් සහ අත්දැකීම් පාදක කොට ගෙනය. ඔවුන්ගේ දෘෂ්ටි කෝණයන් එකිනෙකින් වෙනස් වන්නේ ද රසවත් වන්නේ ද ඉහත කී විවිධත්වය නිසාම ය. ඒ අනුව සමිත් බෝධිපක්ෂ පළමු ජවනිකාව ලෙස දකින කිසියම් දෙයක් වේ ද එය දෙවන ජවනිකාව ලෙස ලක්මාල් ධර්මරත්න විසින් මීට වසර පහකට පෙර සටහන් කොට ඇති බව මගේ අදහසයි.

ඒ අනුව නැවත නැවතත් සටහන් කරන්නට ඇත්තේ “යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද?” යන්නයි. 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ එක් සටන් පාඨයක් වූයේ “මේක රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව” යනුවෙනි. මම විහිළුවට මෙන් මිතුරෙකුට එදා කියුවේ “අන්තිම එකට කලින් එක” කියාය. එය තවදුරටත් විහිළුවක් නොව සත්‍යක් බවට පත්ව ඇත. උවිඳු කුරුකුලසූරිය විසින් අනුර කුමාර දිසානායක හට ඡන්දය දිය යුත්තේ ඇයිද යන ප්‍රශ්නයට කරුණු දහයක් ඉදිරිපත් කොට තිබේ. එහිදී ඔහු ලිපිය අවසන් කළ ආකාරය මගේ සිත් ගත්තේය. ඒ “බය නැතුව 21 අනුරට ඡන්දය දෙන්න!” යනුවෙනි. මට ද සටහන් කිරීමට ඇත්තේ එපමණකි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.