12 February, 2026

Blog

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතන ජනමත සමීක්ෂණයේ මිත්‍යාව සහ මුළාව

මහාචාර්ය ආනන්ද ජයවික්‍රම

මහාචාර්ය ආනන්ද ජයවික්‍රම

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (කෙටි යෙදුම IHP) යනු කොළඹ කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා සමාජ ක්‍රමයන්හි වැඩිදියුණුව උදෙසා ගුණාත්මක පර්යේෂණ විශ්ලේෂණ හරහා ක්‍රියාකරන ස්වාධීන පර්යේෂණ ආයතනයකි. ආයතනයෙහි බලාධිකාරයට සෘජුවම අදාළ නොවුණ ද මෙම ආයතනය මඟින් ජනාධිපතිවරණයේ ජනමත හැසිරීම පිළිබද ශ්‍රී ලංකා ජනමත විමසුම් සමීක්ෂණය නමින් සමීක්ෂණයක් සිදු කරයි. මෙම සමීක්ෂණය මඟින් එහි කාල ශ්‍රේණි ප්‍රතිඵල 2021 ඔක්තෝබර් සිට මාසිකව වාර්තා කරන නමුත් ආයතනයෙහි වෙබ් අඩවියෙහි සමීක්ෂණය සම්බන්ධ මාධ්‍ය නිවේදන පත්‍රිකා පවතින්නේ 2022 වර්ෂයේ අගෝස්තු, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස සඳහාත් 2023 වර්ෂයේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස සඳහාත් පමණි. ඒ අනුව ෂ්‍යඡ ආයතනය මෙම සමීක්ෂණය නිතිපතා මාසිකව සිදු කරන්නේ ද නැතිනම් සමහර මාස සඳහා තොරතුරු අතීතය හඹා යෑමේ ක්‍රමයට සොයන්නේ ද යන්න පැහැදිලි නැත. මෙම සමීක්ෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ සජිත් ප්‍රේමදාස (සජිත්), අනුර කුමාර දිසානායක (අනුර), රනිල් වික්‍රමසිංහ (රනිල්) සහ පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂකයා (පොහොට්ටුව) යන අපේක්ෂකයන්ට පවතින ජනප්‍රියතාව මැන බැලීමය.

නියැඳිය සහ දත්ත

ෂ්‍යඡ ආයතනයට අනුව මෙම සමීක්ෂණය වයස අවුරුදු 18 සහ වැඩි අයගේ ජාතික නියැඳියක් භාවිතා කරයි. මෙහි දත්ත ලබාගැනීම සසම්භාවි අංක කරකැවීම මඟින් තෝරාගත් ජංගම දුරකථන සංවාද හරහා සිදු කරයි. මෙම දුරකථන සංවාද නියැදිය සසම්භාවි තේරීම යටතේ ලබාගත් වෙනත් නියැදියක් සමඟ බද්ධ කරන බව ද මෙම ආයතනය කියයි. IHP ආයතනයේ ක්‍රියාකාරිත්ව රාමුව අනුව මෙම දෙවන නියැඳි කොටස වෛද්‍ය සායන තුළින් ලබාගත් නියැඳි ඒකක විය හැකිය. නමුත් විද්‍යාත්මක පරීක්ෂණයක දී එවැනි නියැඳි කොටස් බද්ධ කිරීම් කළ නොහැකිය. එයට හේතුව දුරකථන සංවාද නියැඳිය හා වෙනත් ක්‍රමයකට ගත් නියැඳි කොටස්වල සංගහනයන් වෙනස් වන බැවිණි. එමෙන් ම මාසික නියැඳි ආශ්‍රයෙන් ලබාගත් සමුච්චිත නියැඳියේ දත්ත ජනාධිපතිවරණ ජනමත විමසුම් ප්‍රතිඵල නැවත ගැළපීම සඳහා යොදාගන්නා බව ද සඳහන්ය.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට අනුව 2022 දී රට තුළ ලියාපදිංචි ඡන්දදායකයන් එක් කෝටි හැටහය ලක්ෂ අනුදෙදහස් තුන්සිය අනුඅටක් (මිලියන 16.69ක්) විය. IHP ආයතනයේ තොරතුරු අනුව ඔවුන්ගේ මාසික නියැඳියේ සාමාන්‍ය නියැඳි තරම පුද්ගලයන් 553.37ක් වේ. එය රටෙහි මුලු ඡන්දදායකයන්ගෙන් 0.0033%ක් නැතිනම් ඡන්දදායකයන් ලක්ෂයකට ඡන්දදායකයන් 3.3ක් වේ. මෙම නියැඳිය මඟින් රටෙහි සමස්ත ජනගහනයේ ලාක්ෂණික නියෝජන නොවන බැවින් මෙවැනි කුඩා නියැදීන්හි ප්‍රතිඵල වඩාත් පරිස්සම් සහගතව කියැවිය යුතුය. එමෙන් ම ජනමත සමීක්ෂණයක දී වඩාත් වැදගත් වන්නේ රටේ සමස්ත ජනගහනයේ පවතින භූගෝලීය හා ජනවිද්‍යාත්මක සාධක හා ඒවායේ සාපේක්ෂ අගයයන් වඩාත් හොදින් නිරුපණය වන නියෝජන නියැඳියක් තිබීමය. ජනාධිපතිවරණක දී තමන්ගේ තේරීම පිළිබදව දකුණේ හා උතුරේ ජනතාව දක්වන ප්‍රතිචාර වෙනස් විය හැකි අතර ඒ පිළිබද නිවැරදි තොරතුරු විශ්ලේෂකයා සතු විය යුතුය. නමුත් මෙම IHP ජනමත විමසුම තුළ පුද්ගලයාගේ වයස, ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ බව, සමාජ ආර්ථික තත්ත්වය, භූගෝලීය වෙනස්කම්, ආදිය පිළිබද සුදුසු බර තැබීමක් කරන බව පෙනෙන්නට නොමැත. එමෙන් ම එකම නියැඳි ඒකකය වෙනත් මාසවල නියැඳියට ඇතුළත් වීමට ඇති හැකියාව හෝ නොහැකියාව පිළිබඳ සාකච්ඡාවක් මෙම වාර්තා තුළ දක්වා නොමැත. නමුත් එකම නියැඳි ඒකකයට විවිධ මාසවල නියැඳියට ඇතුළත්වීමේ හැකියාවක් පවතින්නේ නම් කාලීනව නියැඳි ඒකාබද්ධ කිරීම මුලධර්මීය වශයෙන් වැරදි සහගතය. එමෙන් ම එවැනි ඒකාබද්ධ නියැඳියක් තුළ පුද්ගලයෙකුට බහුඡන්ද බලයක් ලැබෙන බව තහවුරු වේ.

එමෙන් ම මාසික නියැඳීන් අන්‍යොන්‍ය වශයෙන් බහිස්කාරි වන විට ද ඒකාබද්ධ සමුච්චිත නියැඳියේ නැවත මත විමසීමක් කිරීම අවශ්‍ය වේ. එයට හේතුව කාලීනව පුද්ගලයෙකුගේ මතය වෙනස් විය හැකි බැවිණි. මෙම සමීක්ෂණයේ ක්‍රමවේදය අනුව මට හැඟී යන කරුණක් වන්නේ ෂ්‍යඡ ආයතනය මාසික නියැඳිය මුලික තීරණ ගැනීමේ නියැඳිය ලෙසත් සමුච්චිත නියැඳිය පරාමීතීන් හා නිමානක ගැළපීමේ සංගහනය ලෙසත් භාවිතා කරන බවය. ඒ අනුව නැවත මත විමසීමකින් තොරව සමුච්චිත නියැඳිය උපයෝගී කරගනිමින් පරාමිතීන් ගැළපීම සිදුකරන්නේ නම් එයින් සංඛ්‍යාන විශ්ලේෂණ ක්‍රමවේදයට සහ පුද්ගලයන්ගේ ප්‍රජාතන්ත්‍රික ඡන්ද බලයට බරපතල අගතියක් සිදු කරන්නේය.

විශ්ලේෂණාත්මක ක්‍රමවේදය

අදාළ සමීක්ෂණ වාර්තාවෙහි දැක්වෙන ආකාරයට බහුමට්ටම් ප්‍රතිපායන සහ පශ්චාත්ස්තරීකරණ ආදර්ශය (multilevel regression and poststratification-MRP model) ඡන්දදායක වරණය නිමාණය කිරීම සඳහා IHP ආයතනය යොදාගනී. MRP ආදර්ශය එකිනෙක වඩාත් සමීපව බැදුණු අවශ්‍යතා දෙකක් නිසා බහුලව යොදා ගනී. ඒ ජාතික සමීක්ෂණයක් මඟින් පළාත් හෝ ආංශික ක්ෂේත්‍රයක ජනමතය නිමාණය කිරීමට අවශ්‍ය විට සහ ජනමත සමීක්ෂණ නියැඳිය සංගහනයේ නියෝජිත නියැඳියක් නොවන විටය. මෙම සමීක්ෂණයේ දී MRP ආදර්ශය යොදාගැනීමට වඩාත් ම බලපාන ලද හේතුව විය හැක්කේ IHP නියැඳිය නියෝජිත නියැඳියක් නොවීමයි.

MRP නිමානක ක්‍රමයෙහි ප්‍රධාන පියවර දෙකක් ඇත. පළමුව කුඩා පර්යේෂණ නියැඳිය ආශ්‍රයෙන් පුද්ගල ප්‍රතිචාර ආදර්ශය නිමාණය කිරීමයි. එහි දී බහු මට්ටම් ලොජිස්ටික් ආදර්ශයක් මඟින් පුද්ගල ප්‍රතිචාර භූගෝලීය හා ජනවිකාශ සාධක මත නිමාණය කරයි. දෙවන පියවර යටතේ පුද්ගල ප්‍රතිචාර ආදර්ශයේ පරාමිතික නිමානක සංගහන ආදර්ශයේ තොරතුරු අනුව බරතැබීමක් සිදු කොට ගැළපීම සිදු කරනු ලබයි. මෙම කාර්යය වඩාත් සාර්ථක වීමට නම් යම් සාධකයකට අදාළ තොරතුරු කුඩා පර්යේෂණ නියැඳියෙහි හා සංගහනයේ තිබීමත් එම අගයන් හි සමානතාවක් තිබීමත් අවශ්‍යය. එසේ නොවන්නේ නම් දෝෂ ගැළපීමේ පියවර රාශියක් යටතේ විෂමතාවන් අවම කළ යුතුය. කුඩා පර්යේෂණ නියැඳියෙහි තොරතුරු හා සංගහනයේ තොරතුරු වඩාත් විෂමවන්නේ නම් MRP නිමානකයන්හි නිරවද්‍යභාවය අවශේෂ වේ. එබැවින් තොරතුරු ගැළපීම හා නිමානක ආදර්ශයේ යෝග්‍යතාව පිළිබද පරීක්ෂණ රාශියක් සිදු කළ යුතුය. ඒ අනුව MRP ක්‍රමවේදය වඩාත් සංකීර්ණ වන අතර දත්ත නොගැළපෙන අවස්ථාවන්හි එහි යෝග්‍යතාව පහත් වේ.

IHP ආයතනය මෙම සමීක්ෂණයේ දී MRP ක්‍රමවේදය යොදාගන්නා බව පැවසුව ද එය තහවුරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු හෙළිදරව් කර නොමැති බැවින් මෙම ආදර්ශය යොදාගත්තා ද යන්න සැක සහිතය. එමෙන් ම මට හැඟෙන ආකාරයට IHP ආයතනය මෙම පර්යේෂණයේ මාසික නියැඳිය කුඩා පර්යේෂණ නියැඳිය වශයෙන් ද මාසික නියැඳීන්ගේ එකතුව සංගහනය වශයෙන් ද යොදාගෙන ඇති බවට ද සැක පහළ වේ. එය එසේ නම් IPH ආයතනයෙහි මෙම ජනමත සමීක්ෂණය පැහැදිලි ලෙස ම සාවද්‍ය වන අතර එහි පුරෝකථන හිතළු පමණක් වනු ඇත.

ක්‍රියාපිළිවෙල හා විශ්ලේෂණ ගැටලු

ෂ්‍යඡ ආයතනය දක්වන ආකාරයට ඔවුන් මෙම ජනමත සමීක්ෂණය 2021 ඔක්තෝබර් මාසයේ සිට 2023 දෙසැම්බර් අවසානය දක්වා මාස 27ක් සිදු කර ඇති අතර මේ දක්වා සමීක්ෂණය කර ඇති මුලු නියැඳි ඒකක (පුද්ගලයන්) ප්‍රමාණය 14,941ක් වේ. ඒ අනුව මාසිකව සමීක්ෂණයට ලක්වන පුද්ගලයන්ගේ සාමාන්‍යය 553.37කි. මෙහි ඇති විශේෂ කරුණක් වන්නේ සජිත්, අනුර, රනිල් සහ පොහොට්ටු අපේක්ෂකයා යන මේ අපේක්ෂකයන් හතරදෙනා සඳහා සෑම මාසයකම ලැබෙන වරණ ප්‍රතිශතය හරියටම 100ට සමාන වීමය. එයින් පෙන්නුම් කරන්නේ ප්‍රතිචාරකයන් කැමති වෙනත් අපේක්ෂකයන් නොමැති බවත්, අතීරණ ඡන්දදායකයන් නොමැති බවත්, සමීක්ෂණයට ප්‍රතිචාර නොදක්වන්නන් නොමැති බවත්, ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරන ජනතාව නොමැති බවත් ය. මෙය අසාමාන්‍ය තත්ත්වයකි. සාමාන්‍යයෙන් නියැඳි සමීක්ෂණවල දී විශේෂයෙන් ම ජනමත සමීක්ෂණවල දී මෙසේ ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින පිරිස සැළකිය යුතු තරම් ඉහළ අගයක් ගනී. එමෙන් ම ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයා පිළිබඳ 2021 ඔක්තෝබර් මාසයේ පුද්ගලයෙකු දැක් වු අදහස් ඊට පසු මාසයක වෙනස් විය හැකිය. මෙම තත්ත්වය සඳහා IPH ආයතනය නියැඳිය තුළ ඉඩක් වෙන් කළා ද යන්න පැහැදිලි නැත. එමෙන් ම මෙහි නියැඳි ප්‍රමාණය ඉතාමත් කුඩා වන අතර එය ජාතික භූගෝලීය හා ජනවිද්‍යාත්මක වෙනස්කම් ප්‍රමාණවත් පරිදි නිරූපණය කිරීමට තරම් තරම් නොවන නියැඳියකි.

අපගේ අවධානය යොමු විය යුතු තවත් විශේෂිත කරුණක් වන්නේ ජනමත සමීක්ෂණ ප්‍රතිඵලයන්හි උස් පහත් වීම් මඟින් යම් අපේක්ෂකයෙකුට ලැබෙන ඡන්ද ප්‍රමාණයේ අඩුවැඩි වීම් පෙන්නුම් කිරීමය. යම් මාසික නියැඳියක අපේක්ෂකයෙකුට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩු වැඩි විය හැකි අතර නැවත සමීක්ෂණයක් නොමැති තත්ත්වයක් තුළ අපේක්ෂකයෙකුට ලැබෙන ඡන්ද ප්‍රමාණය සමුච්ඡිත නියැඳිය තුළවත් සෘණ අගයක් ගත නොහැකිය. නමුත් IPH සමීක්ෂණයේ මෙය එසේ සිදු නොවේ. උදාහරණයක් ලෙස මාසික සාමාන්‍ය නියැඳි ඒකක ගණන යොදාගනිමින් සිදුකළ ගණනයන්වලට අනුව 2023 නොවැම්බර් මාසයේ දී සජිත් අමතර ඡන්ද 454ක් ද අනුර අමතර ඡන්ද 427ක් ද ලබාගන්නා අතර රනිල්ට ඡන්ද 460ක් ද පොහොට්ටු අපේක්ෂකයාට ඡන්ද 100ක් ද තමන් කලින් ගත් ඡන්දවලින් අහිමි වේ. එයින් කියැවෙන්නේ සමුච්ඡිත නියැඳියේ ඡන්දදායකයන් 321ක් තම වරණය 2023 නොවැම්බර් මාසයේ දී වෙනස් කර ඇති බවය. එමෙන් ම 2023 දෙසැම්බර් මාසයේ දී සජිත් අමතර ඡන්ද 327ක් ද පොහොට්ටු අපේක්ෂකයා අමතර ඡන්ද 188ක් ද ලබා ගන්නා අතර අනුරට ඡන්ද 12ක් ද රනිල්ට ඡන්ද 94ක් ද අහිමි වේ. එයින් කියැවෙන්නේ සමුච්චිත නියැඳියේ ඡන්දදායකයන් 153ක් තම වරණය දෙසැම්බර් මාසයේ දී වෙනස් කර ඇති බවයි. නමුත් මෙම හැසිරීම සමීක්ෂණය තුළ අධ්‍යයනය නොකරයි. එවැනි විමසීමක් සසම්භාවි අංක කරකැවීමේ ක්‍රමය හරහා ලබාගත් නියැඳිකින් කිසිසේත් ම කළ නොහැකිය.

එමෙන් ම මෙම සමීක්ෂණ දත්ත විශ්ලේශන රාමු දෙකක් යටතේ වැඩිදුරටත් විශ්ලේශණය කළෙමු. නියැඳියේ දෝෂ තිබුණ ද මෙහි පළමු රාමුව යටතේ අප සලකා බලනුයේ සමුච්ඡිත නියැඳියයි. එම නියැඳියේ දැක්වෙන ආකාරයට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 10 ක් අනුරගේ ජනප්‍රියතාවය 2023 දෙසැම්බර් මාසය වන සියයට 50 දක්වා වැඩි වී ඇත. 2023 නොවැම්බර් මාසයේ එහි උපරිමය වු සියයට 52 වාර්තා කර ඇත. එම දත්ත මඟින් පැහැදිලි වන ආකාරයට IPH ආයතනය දෙසැම්බර් මාසයේ වාර්තා වු අවසාන වරණ අනුපාතය වන සියයට 50 අතීතයට ගළපා සමුච්චිත නියැඳිය වන පුද්ගලයන් 14,941න් ඡන්ද 7,470ක් (සියයට 50ක්) අනුරට වෙන් කරයි. මෙම ගණනය මඟින් 2021 ඔක්තෝබර් මාසයේ දී පුද්ගලයන් 553ක් අතරින් 55 දෙනෙක් අනුරට දැක්වු වරණය (සියයට 10) ද ඇතුළත්ව 2023 දෙසැම්බර් මාසයේ දී පුද්ගලයන් 14,941ක් අතරින් පුද්ගලයන් 7,470ක් (සියයට 50ක්) අනුරට වරණය දක්වන ආකාරයට පරිවර්තනය කර ඇත. ඒ අනුව අනුරට ලැබෙන ඡන්ද ප්‍රමාණය 2021 ඔක්තෝබර් සිට 2023 දෙසැම්බර් වන විට සියයට 13,482කින් ඉහළ ගොස් ඇත. මෙය අතිශයින් ම විශ්වාස කළ නොහැකි පුදුම සහගත ජනමතය වෙනස් වීමක් නිරූපණය කරයි. මෙම වර්ධන වේගය 2019 ජනාධිපතිවරණයේ දී අනුර ලබාගත් 418,553ක් වු ඡන්ද ප්‍රමාණය හා ගැළපු විට 2023 දෙසැම්බර් මාසයේ දී අනුරට ලැබිය හැකිව තිබු ඡන්ද ප්‍රමාණය මිලියන 56කට වැඩි වේ. නමුත් 2023 අවසානය වන රටේ සිටින සමස්ත ඡන්දදායක ප්‍රමාණය මිලියන 17ක් පමණක් වේ. ඒ ආකාරයෙන්ම IPH ආයතනයේ සමුච්චිත නියැඳියේ ප්‍රතිඵලය 2019 ජනාධිපතිවරණයේ දී සජිත් ලබාගත් ඡන්ද ප්‍රමාණය වන 5,564,239 සමඟ ගැළපු විට ප්‍රායෝගික නොවන යෝද ඡන්ද පදනමක් සජිත් ට පුරෝකථනය වේ. මෙම ප්‍රායෝගික නොවන පුරෝකථන මඟින් පෙන්නුම් කරන්නේ මෙම ජනමත සමීක්ෂණයේ දී IPH ආයතනය අනුගමනය කළ ක්‍රියාපිළිවෙලහි පවතින සාවද්‍ය බවයි. සමුච්චිත නියැදිය මඟින් ඡන්ද පදනම විශාල කොට පෙන්වීමක් සිදු කරන අතර එය එසේ සිදු වන්නේ එකම ඡන්දදායකයා නැවත නැවත තේරීමට ඇති ඉඩකඩත් අලුත් නියැඳියක වරණය අතීත නියැඳීන්ට ආරෝපනය කිරීමත් නිසාය.

දෙවන විශ්ලේෂණ රාමුව යටතේ අප යොදාගන්නේ IHP ආයතනයේ මාසික නියැඳිය පමණි. මාසික නියැඳිය තෝරාගැනීමේ ගැටලු තිබුණ ද මෙම විශ්ලේෂණයේ දී ඒවා නොසලකා හරින ලදී. 2021 ඔක්තෝබර් මාසයේ පුද්ගලයන් 553ක නියැඳියකින් අනුරට සිටි ඡන්දදායකයන් ප්‍රමාණය 55කි. එය සියයට 10කි. 2023 දෙසැම්බර් මාසයේ පුද්ගලයන් 553ක නියැඳියකින් අනුරට සිටින ඡන්දදායකයන් ප්‍රමාණය 277ක් දක්වා වැඩි වී ඇත. එය සියයට 50කි. ඒ අනුව 2021 ඔක්තෝබර් මාසයේ සිට 2023 දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ දී එක සමාන නියැඳියකින් අනුරට තිබෙන ඡන්ද ප්‍රමාණය සියයට 404කින් වැඩි වී ඇත. 2019 ජනාධිපතිවරණයේ දී අනුර ලබාගත් ඡන්ද ප්‍රමාණයට මෙම වර්ධනය ආරෝපිත කළ හොත් 2023 දෙසැම්බර් මාසය වන විට අනුරට ඡන්දදායකයන් 2,109,507 (මිලියන 2.11)ක් වරණය දක්වනු ඇත. 2023 අවසානයේ දී සිටින සමස්ත ඡන්දදායකයන් මිලියන 17.07න් සියයට 80ක් පමණ වු වලංගු ඡන්ද ප්‍රමාණයක් ගත් විට අනුරගේ ඡන්ද ප්‍රතිශතය වන්නේ සියයට 15.4ක් පමණකි. ඒ අනුව 2023 අවසානය වන විට සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් අනුරට ලබාගත හැකි වන්නේ සියයට 15ක් පමණි. දැනට IHP ආයතනය තමන්ගේ නියැඳිය තුළින් අනුරට වෙන් ඇති සියයට 50ක ප්‍රතිශතය 2024 ඔක්තෝබර් දක්වා පැවතුන හොත් ජනාධිපතිවරණයේ දී අනුරට මෙම ඉලක්කය කරා ළගාවිය හැකි වනු ඇත.

අනෙක් අතට IPH ආයතනය 2021 ඔක්තෝබර් මාසයේ පුද්ගලයන් 553 නියැඳියකින් සජිත්ට වරණය දක්වන පුද්ගලයන් 172ක් (සියයට 31) සිටි බවත් 2023 දෙසැම්බර් වන විට පුද්ගලයන් 553ක නියැඳියකින් සජිත්ට වරණය දක්වන පුද්ගලයන් 182ක් (සියයට 33ක්) සිටින බවත් වාර්තා කර ඇත. ඒ අනුව 2021 ඔක්තෝබර් සිට 2023 දෙසැම්බර් කාලය තුළ දී IHP නියැඳිය තුළ සජිත්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි වී ඇත්තේ සියයට 5.81කින් පමණි. මෙම වර්ධන අනුපාතය 2019 ජනාධිපතිවරණයයේ දී සජිත් ලබාගත් ඡන්ද ප්‍රමාණයට ආරෝපිත කළ විට 2023 දෙසැම්බර් වන විට සජිත්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය 5,887,762 (මිලියන 5.89) කි. 2023 පැවතිය හැකි වලංගු ඡන්ද ප්‍රමාණයෙන් එය සියයට 43.2ක් වේ. නමුත් මෙහි දී දැක්විය යුතු වැදගත් කරුණ වන්නේ ජනාධිපතිවරණයක දී සියයට 50ක සීමාව පසුකිරීමට මෙවැනි තමන්ට එරෙහිවු අභිනත නියැඳියක දී සජිත්ට අවශ්‍ය වනුයේ සියයට 38-39ක වරණයක් පමණි. මෙම කරුණ පිළිබද මනා අවබෝධයකින් යුතු IHP ආයතනය සජිත්ගේ ජනප්‍රියතාව සියයට 33ක් හෝ ඊට වඩා අඩු මට්ටමක වාර්තා කිරීමට 2023 ජුලි සිට කටයුතු කර ඇති බව පෙනී යයි.

අගතිගාමි වාර්තාකරණය

තමන්ගේ ස්වාධීන බව නිසා හෝ තමන් ස්වාධීන යැයි පෙන්වීමට අවශ්‍ය නිසා ජනමත විමසුම් පර්යේෂකයන් හා ආයතන ජනමත විමසුම් ප්‍රතිඵල පිළිබද අගය විනිශ්චයන් ඉදිරිපත් කිරීම සහ පක්ෂග්‍රාහී බවකින් කටයුතු කිරීම සිදු නොකරයි. මෙම අපක්ෂපාතීත්වය අදාළ පර්යේෂණයට ලක්වන සියලුම පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනාගැනීමට අවශ්‍ය වේ. මත විමසුමට ලක් වන පාර්ශවකරුවන්ට ප්‍රගතිගාමි හෝ අගතිගාමි ආකාරයෙන් බලපාන අගය විනිශ්චයන් ඉදිරිපත් කිරීමෙන් පර්යේෂණ ආයතන වැළකිය යුතු වුවත් IHP ආයතනයේ ජනමත සමීක්ෂකයන් මෙම මුලික පර්යේෂණ ආචාරධර්ම බිඳ දමා ඇති බව පෙනී යයි.

2023 නොවැම්බර් ජනමත සමීක්ෂණයේ මාධ්‍ය පත්‍රිකාව තුළ සමීක්ෂණයේ අධ්‍යක්ෂවරයා දක්වා තිබුණු පහත අදහස සැලකිල්ලට ගන්න. “ … එයින් පෙනී යන්නේ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණයක් තිබුණා නම් SJB UNP එකතුවකට එරෙහිව වුවත් AKD ට ජයග්‍රහණය කිරීමට හැකියාව තිබුණ” බවය (2023 නොවැ මාධ්‍ය පත්‍රිකාවේ 02 පිටුව බලන්න). මෙම නිගමනයට එළඹුනේ කෙසේ ද යන්න ජනමත සමීක්ෂණයේ අධ්‍යයක්ෂවරයා ද වන IHP ආයතනයේ අධ්‍යක්ෂවරයා පැහැදිලි කළ යුතුය. එමෙන් ම ජනමත සමීක්ෂණයක දී ජනතාව SJB UNP එකතුවක් සහ SJB හා UNP වෙන වෙනම තරඟ කිරීම දකින්නේ ආකාර දෙකකින් විය හැකිය. ජනමත විමසුමට එවැනි විකල්පයක් ඉදිරිපත් නොකර තම සිතැඟි පරිදි අදහස් ප්‍රකාශ කිරීම පර්යේෂණ ආයතනයක අධ්‍යක්ෂවරයෙකුට තරම් වන්නේද යන්න විමසා බැලිය යුතුය. එමෙන් ම 2023 නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන මාධ්‍ය පත්‍රිකාවේ සදහන් පහත ප්‍රකාශය තුළින් ද මෙම පර්යේෂණ ආයතනයේ හෙළුව නිරූපණය වේ. “NPP සමඟ තරඟකිරීමට අවශ්‍ය (ස්ථාවර වු) පක්ෂ තමන්ගේ ක්‍රියාපිළිවෙළ නැවත විමසා බලා සකසා ගැනීම අවශ්‍ය වනු ඇත.” “Establishment parties wanting to compete with NPP probably need to be doing some serious soul-searching”. අධ්‍යක්ෂවරයාගේ මෙම ප්‍රකාශයෙන් NPP ය කෙරෙහි ඔහුගේ පක්ෂග්‍රාහි බව හෙළිදරව් වේ. ඡන්දය දීමේ කැමැත්තට හේතු පිළිබද විමසීමක් නොකරන සමීක්ෂණයක දී අනෙක් පක්ෂවලින් ඔවුන්ගේ ක්‍රියාපිළිවෙළ පිළිබද නැවත සිතාබැලීමට ඉල්ලීමක් කිරීමට තරම් පර්යේෂකයන් NPP වැඩපිළිවෙල ඉහළින් පිළිගෙන ඇත. මෙවැනි ප්‍රකාශ තුළින් IH Pආයතනය පර්යේෂණ ආචාරධර්ම පැහැදිලිව බිඳදමා ඇති අතර ඒ මඟින් ආයතනයට බද්ධ වී ඇති දේශපාලනික කුහකත්වය හා පක්ෂග්‍රාහි හෙළිදරව් වේ.

භූමියේ යථාර්තය

IHP ආයතනය සමීක්ෂණයයේ ප්‍රතිඵල එසේ වුව ද භුමියේ යථාර්ථය වෙනස් එකකි. අනුර සහ ඔහුගේ NPP පක්ෂයට ඔවුන්ගේ අතීත මැතිවරණ උත්සාහයන්ට සාපේක්ෂව මේ අවස්ථාවේ දී දිරිමත් කරන සහයෝගයක් ඇති බව පැහැදිලිය. එයට හේතුව වන්නේ ගෝඨාභයට ඡන්දය දී කළකිරීමට පත් වි සිටින පිරිසෙන් කොටසකට අනුර සහ NPP ය තමන්ගේ ගැළවුම්කරුවන් වශයෙන් පෙනීමය. නමුත් ගැටලුව වන්නේ මෙම වර්ධනය අනුරට ජනාධිපතිවරණයක සියයට 50 බාධකය පසු කිරීමට ප්‍රමාණවත් ද යන්නය.

මැතිවරණ කොමිසමේ දත්ත අනුව මෙරට ලියාපදිංචි ඡන්දදායකයන් පිරිස 2020 සහ 2022 අතර කාලයේ දී වර්ෂයකට සියයට 2.07ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර ඇත. එම වර්ධනය 2023 දීත් පැවතුන හොත් 2023 අවසානයට ලියාපදිංචි ඡන්දදායක ප්‍රමාණය 17,037,374ක් වේ. එයින් සියයට 80ක් 2024 ජනාධිපතිවරණයේ දි වලංගු ඡන්ද බවට පත් වුව හොත් වලංගු ඡන්ද ප්‍රමාණය 13,629,899ක් වේ. එයින් සියයට 50ක් යනු 6,814,950කි. 2024 ජනාධිපතිවරණය ජයගැනීමට නම් අපේක්ෂකයෙකු ඡන්ද මිලියන 6.82ක් පමණ ලබාගත යුතුය. එමෙන් ම සජිත් හා අනුර තමන් 2019 දී ලබාගත් ඡන්ද ප්‍රමාණය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නේ යැයි සිතුව හොත් 2024 ජනාධිපතිවරණය ජයගැනීමට සජිත්ට තවත් ඡන්ද 1,250,711ක් ද (මිලියන 1.26ක්) සහ අනුරට තවත් ඡන්ද 6,396,711ක් (මිලියන 6.4ක්) පමණ අවශ්‍ය වේ, එයින් කියවෙන්නේ අවශ්‍ය අවම සීමාවෙන් සියයට 18.5ක පමණ ඡන්ද සජිත් අලුතින් සොයා ගත යුතු බවත් අනුර අවශ්‍ය අවම සීමාවෙන් තවත් සියයට 94ක් පමණ ඡන්ද සොයාගත යුතු බවත්ය. ඒ අනුව සජිත් ප්‍රේමදාසට සාපේක්ෂව ජනධිපතිවරණය ජයගැනීම අනුර කුමාරට 1:5ක අසීරු කාර්යයක් බවට පත්ව ඇත. තමන්ගේ කලින් උත්සාහයට සාපේක්ෂව සියයට 1524ක වේගයෙන් හෝ 15 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක ඡන්ද NPP ය සොයා ගත යුතුය. අනෙක් අතට සමගි ජන බලවේගයෙහි නායක සජිත් ප්‍රේමදාසට 2019 ඡන්ද පදනමට සාපේක්ෂව තමන්ගේ ඡන්ද ප්‍රමාණය සියයට 23කින් පමණ වැඩි කරගත යුතුය. එහි ගුණාකාරය 1.15ක් වැනි කුඩා අගයකි. මෙය වෙනත් ආකාරයකට පවසන්නේ නම් 2019 දී අනුර කුමාරට ඡන්දය දුන් සෑම අයෙක් ම තනි තනිව අලුත් ඡන්ද 15ක් එකතු කළ යුතුය. අනෙක් අතට 2019 දි සජිත් ප්‍රේමදාසට ඡන්දය දුන් සෑම හත් දෙනෙකුගේ කණ්ඩායමක් ම එක් අලුත් ඡන්දයක් සොයා ගත යුතුය. මෙම කාර්යයන් අතරින් වඩාත් පහසු කටයුත්ත විසින් රටේ ඊළග ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තීරණය කරනු ඇත. ජනමත විමසුම් සමීක්ෂණකරුවන් හා ආයතන මෙම සරල සත්‍යය අවබෝධ කරගැනීමත් ඒ අනුව තම ජනමත විමසුම් ක්‍රමවේදය ගළපා ගැනීමත් අවශ්‍ය වන්නේය.

මෙහි විස්තාරාත්මක ඉංග්‍රීසි ලිපිය සදහා බලන්න;

Myths & Delusions Of IHP’s ‘Sri Lanka Opinion Tracker Survey’

*මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යානය දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.