20 April, 2024

Blog

ගාලු මුවදොර වෙරළින් ඇසුණු අනුර 

අරුන්දතී සංගක්කාර –

හිස් නැති හිස් ගොඩක් පිරුණු ගාලු මුවදොරක් කෙදිනක වත් නොවූ විලසින් අද පෙනුනි. දෛවයේ සරදමක් ලෙස අනුර කුමාර දිසානායකගේ දර්ශන පථයට දිස් වන්නේ ගාලු මුවදොරට එපිටින් දිස් වෙන පෝට් සිටි නගරයයි. ජනතාව බලා සිටියේ ජවිපෙ නායකයන් සහ ජාතික ජනතා බලවේගයෙහි පාර්ශවකරුවන්ගෙන් සැදුම්ලත් වේදිකාව දෙසය. ජවිපෙ ඔවුන්ගේ මෑත ඉතිහාසයේ පැවැත්වූ සාර්ථකම ජන බල ඒකරාශී කිරීම අදදින සිදු කළේය. ගාලු මුවදොර මිනිස් හිස් වලින්පිරවීම යනු මායාමය බලයක් ඇති රාජපක්ෂ මැජික් කරුවන්ට කල හැකි ප්‍රාතිහාර්යයක් පමණක් බව ජනතාවට ඒත්තු ගැන්වීම ජීවිතය කැප කර ඇති මැදමුලන වහල්ලුන්ට සහ ගොටාභයට හොර පාස්පෝට් එකක් සහ හොර ජාතික හැඳුනුම් පතක් සකස්කර දුන් යූ යූඑන්පී ආණ්ඩුවට අද අඳුරු දිනයකි. “ලක්ෂ පහේ ජවිපෙ” අද දින ඔවුන්ගේ ජන බලය කවරක් දැයි පෙන්වා ඇත. එහි සිය කර මත දරුවන් තබා ඇඟිල්ලක් දිගු කරපෙන්විය හැකි නායකයෙක් පෙන්වූ පියවරුන් වුහ. දුර බැහැර සිට පැමිණි ගැමියෝ වුහ. අත දරුවන්ට කිරි පොවමින් අද දින දෑස් ඉදිරියේ දිග හැරුණු ජන බලය දෙස බලාසිටි ගැහැණුන් වුහ.

යූඑන්පී – පොහොට්ටු පොදු කඳවුරේ බංකොලොත් සමාජ මාධ්‍ය කුලී කරුවෝ දහවල පුරාවට ගාලු මුවදොර තණ නිල්ල මත තැබූ ප්ලස්ටික් පුටු වල, දුර බැහැර සිට පැමිණි මිනිසුන්ට කවුරුන් හෝ දුන් ආහාර පැකට් කිහිපයක ඡායාරුප පවා ෆේස්බුක් හරහා බෙදාගනිමින් සමච්චල් කිරීමෙන් ම තේරුම් ගත යුත්තේ විකල්පක කඳවුරක නැගීමට මොවුන් කෙතරම් බිය වී ඇතිද යන්නයි. 

දේශපාලන රික්තකයක අභියෝගය  

වර්තමාන ගෝලීය දේශපාලනය තුල “ජනතාවාදය” හෙවත් සම්ප්‍රදායික දේශපාලනය සහ දේශපාලකයන් ප්‍රතික්ෂේපකිරීම සහ ජනතාව තුලින් නැගී එන “නව නායකයන්ට“ ඇති ඉල්ලීම ප්‍රවණතාවයකි. ජනතාවාදය ඇමරිකා එක්සත් ජනපදයට දුන් ත්‍යාගය ඩොනල්ඩ් ට්‍රම්ප් ය. එය යුක්රේනයට දුන් ත්‍යාගය නම් සෙලනෙස්කි නම් ප්‍රහසන ශිල්පියා ජනාධිපති වීමය. සෙලනෙස්කි යනු යුක්රේනයේ ප්‍රසිද්ධ රූපවාහිනි විකට වැඩසටහනක ජනාධිපතිගේ චරිතය රඟපෑ ප්‍රහසන නළුවෙකි (මොහු ඇතැම් විට වඩාත් හොද නායකයකු විය හැක). ශ්‍රී ලංකාවට ගොටාභ්ය කෙනෙක් ලැබී ඇත. සමාජ මාධ්‍ය තුල කතිකාවට ලක්වූ නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත අජිත් රෝහණ කොලොන්නේ, ගාමිණී විජේසිංහ, වැන්නවුන් ගේ නැගීම සැබෑවක්ද, අන්තර්ජාල ප්‍රපංචයක් යන්න අපට මෙම වියවුල තුල හරි හැටි තේරුම් ගත නොහැකිය. එහි ලිට්මස් පරීක්ශාව වනු ඇත්තේ මෙම චරිත ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ පරීක්ෂාව වන මැතිවරණයකට ඉදිරිපත් වීමය. 

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය සහ දේශපාලනික විපරීතය සහ උභතෝකෝටිකය තුළ තනි පක්ෂයකට හෝ තනි පක්ෂයක සම්ප්‍රදායික පාර්ශවකරුවන්ට මැතිවරණයක ජය සනාත කිරීමට නොහැක. ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසුරිය වැන්නවුන් හට සමාජ මාධ්‍ය තුල සිදුවී ඇති සයිබර් ගරාවැටීම කෙතෙක් ද යත් අද වන විට පොදු ජනතාව සිවිල් සමාජය නමැති ඉතා වැදගත් සමාජ ප්‍රපංචය කුණුහරුපයකට සමාන පදයක් ලෙස සලකති. 

ඒකල​​ සංකල්පයක් ලෙස ජනාතාවාදයට ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යභාරය තනිව කළ නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ජනතාවාදයෙන් තොරව තව දුරටත් විවෘත සයිබර් සමාජයෙන් නියාමනය වන සංකීරණ දේශපාලන ලෝකයේ ජයග්‍රහණය කල නොහැක. 

ජනතාවාදය විසින් සම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරනුයේ දේශපාලකයන් යනු පොදුවේ ස්වායත්තය පමණක් පතන හොර තක්කඩි රැලක් බැවිනි. ශ්‍රී ලංකාවේ අලි-හංස-පොහොට්ටු-අත්-පුටු-බුලත් කොළ- ටීඑනඒ-මුස්ලිම් කොන්ග්‍රස් ආදී සියලු දේශපාලනඥයින් සැලකු විට මෙය සත්‍යයකි. ජනතාවාදය තුලින් නැගී එන නායකයින් බලය ලබා ගත් විට රටවල් කබලෙන් ලිපට වැටෙන්නේ වෘත්තීය මට්ටමේ, බැරෑරුම් දේශපාලනයෙන් තොරව රජය කෙසේ වෙතත් රාජ්‍යය පවත්වාගෙන යා නොහැකි බැවිනි. 

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ගැඹුරු වී ඇති මෙම රික්තකයට ආමන්ත්‍රණය කල හැක්කේ කා හටද?

අනුර සහ ජවිපෙ 

වර්තමාන ලෝකයේ කිසිම දේශපාලකයෙක් සමාජ මාධ්‍ය හංවඩු ගැසීමෙන් ආරක්ෂා වීමට දේශපාලන ප්‍රතිශක්තිකරණ එන්නතක් සතු වුවෝ නොවෙති. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල සිදු වන නාටකීය තක්කඩි කම් අභියසදී ප්‍රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිට ඇත. ආසන්නතම උදාහරණය නම් 2019 ඔක්තෝම්බර් ව්‍යවස්තා අර්බුදයයි. රතු අලියා යයි යමෙකු හංවඩු ගැසීම පහසුය. ප්‍රතිපත්තියක් මත පිහිටා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් රනිල් වැනි නව ලිබරල් නිර්දයෙකු විකට තක්කඩි ජනපතියෙකුට බිලි දෙනවාද? එසේ නැතහොත් ඒ දෙකම නොකර රාජපක්ෂ රෙජීමයක් පිහිටුවා ගැනීමට ඉඩ හැර අත්දෙක බැඳ බලාසිටිනවාද? මකර කටට පනිනවාද? ගැඹුරු මුහුදට පනිනවාද? රතු සීනුවක් වෙනවාද? රතු අලියා යන අවමානය තාදී ගුණයෙන් ඉවසනවාද? ජවිපෙ උභතෝකෝටිකය එවැනිය.

නමුත් අප එක දෙයක් අමතක නොකළ යුතුය .

වසර හතරක සැබෑ විපක්ෂය ජවිපෙය 

හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා වසර තුනක් කල අරුම පුදුම විපක්ෂනායක කම කෙසේද යත් ඔහු යූඑන්පී ආණ්ඩුවට ප්‍රතිමල්ලවයකු වූ දිනයක් හැන්සාඩ් සියයක් පීරුවද ඔබට සොයා ගත නොහැකි වනු ඇත. සියලු ආයතන, මුල්‍ය පරිපාලනය බිඳ වැටුණු මේ අසාර්ථක රාජ්‍යයේ හොර මැර කම් ගැන පාර්ලිමේන්තුවේ හඬක් නැගුයේ නම් ඒ ජවිපෙ මන්ත්‍රීවරුන්ය. 

ඔවුන්ට වෛර කරන්නෝද ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව අදහති. 

දේශපාලන සඳ මෝරන විට සිහි විකල් ප්‍රකාශ නිකුත් කිරීමටම මෙලොවට දෙවියන් විසින් එවා ඇති රනිල් වික්‍රමසිංහ මෑතදී ප්‍රකාශ කලේ ඔහුගේ ඊළඟ යූඑන්පී ආණ්ඩුවේ ඇමතිකම් අනිවාර්යයෙන්ම ජවිපෙ අවංකයින් දැරිය යුතු බවය. ජේආර් ගේ මුණුබුරාගෙන් ඊට වඩා කුමක් බලාපොරුත්තු වන්නද? ජවිපෙ හිස අතගාමින් ඔහු ජවිපෙ-යූඑන්පී හවුලක් ඇති බව ගම්‍ය කරවමින් තැත් කරන්නේ තව තවත් ජවිපෙ පාක්ෂිකයන්ව ඛාදනය කිරීමයි. 

නමුත් තමා සමාජයේ “ඉහල  පන්තියට“ අයත් යයි සිතා සිටින මග වැරදුනු යූඑන්පී කාරයන් සහ පොහොට්ටු වහලුන් සිතා සිටින්නේ මහා බැංකුවේ සිට තේ කඩය දක්වා ජාතියේ ඉහ මොළ ලේ මස් සූරා කා, රටම වැනසීම ඔවුන්ගේ දේශපාලකයන්ගේ ජන්ම අයිතියක් බවත් ඒ කුණු පාර්ලි‌‌මේන්තුව දෙවනත් කරමින් හෙළි කිරීම ජවිපෙ ජන්ම රාජකාරියක් බවත්ය. තමා හිත හදාගෙන පැරණි පුරුද්දට හෝ පෞද්ගලික වාසියට පැරණි සොරුන්ට චන්දය දුන් පසු ඔවුන්ගේ දේශපාලන, මුල්‍යමය අතවර වලින් තමාව ගලවා ගත යුත්තේ ජවිපෙය. 

වමේ දේශපාලනය නොවන්නට අප ප්‍රාර්ථනා කරන සමාජයශිෂ්ට සම්පන්න වන්නේ නැත. ජනාධිපතිවරයෙක් බිහි වුවද, නොවුවද – රජයක් පිහිටුවුවද, නොවුවද -වමේ දේශපාලනය නොවන්නට අපේ නිදහස වෙනුවෙන්, අපේ මහජන ධනය වෙනුවෙන්, අපේ ගැහැණිය වෙනුවෙන්, අපේ ලිංගික නිදහස සහ අනන්‍යතාවයන් වෙනුවෙන්, සුළු ජන කොටස් වල සැබෑ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්නට සමත් නායකයන් නොමැත. 

ගැහැණිය දකින ජවිපෙ 

අද දින මහා ජන ගඟක් අභියස පැවැත්වූ ජන රැලියේද ඉතා බුද්ධි ගෝචර සහ හර්දය ගෝචර කතා කිහිපයක් පවත්වමින් ඒ රැලියට කාන්තාවන් දැක්වූ දායකත්වය ඉතා ප්‍රශස්තය. ගැලරිය පිනවීමට කුනුහරුප දේශපාලනයේ නොදෙන එම කාන්තාවන් දෙස බලා ඉගෙනීමට යමක් ගැහැණු පිරිමි භේදයකින් තොරව සැමට ඇත. වසර හැත්තාවක පුරා සිරිමාගේ සහ චන්ද්‍රිකාගේ රදල සාරි පොටේ කතාවෙන් සිත පිනවා ගෙලසිර කර දමා ක්ෂය කළ දේශපාලනයේ කාන්තාවගේ අධ්‍යාත්මයට හුස්මක් පිඹීමට මේ බැරෑරුම් වේදිකාව තුලද ජවිපෙ අවකාශය සපයා තිබිණ.

ලංකාවේ Grand Old පක්ෂය වන යූඑන්පියේ මල්සැරසිලි කාන්තාවන්ට සහ තීරණ ගන්නන්ට හෝ පොහොට්ටුවේ නින්දගමේ සාමාජිකයන්ට හදවතට එකඟව ශ්‍රී ලංකාවේ ගැහැණිය ගෙන යාමට නොහැකි දුර ජවිපෙ ගෙනවිත් ඇත. 

මොනවා වෙයිද?

“මොනවා වෙයිද?” යනු අද ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන සවිඥානික සෑම කෙනෙක්ම අසන ප්‍රශ්නයයි. අනුරගේ ජනපති අපේක්ෂකත්වයෙන් ගෝ ගොටාභයගේ අපේක්ෂකත්වයෙන් හෝ සජිත්ගේ හෝ රනිල්ගේ අපේක්ෂකත්වයෙන් නොසන්සිදෙන ජනතාවාදයේ බැරෑරුම් සෙවනැල්ල ශ්‍රී ලංකාව මත වැටි ඇත. 

ජයගනු ඇත්තේ දේශපාලනය සහ ජනතාවාදය හරි හැටි කළමනාකරණය කර ගන්නා තැනැත්තන්ය. මේ දේශපාලන විපරීතය තුළ යුක්තිය පතන්නවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් වමේ දේශපාලනය නොනැසී ම පමණක් නොසෑහෙයි; එය විකසිත විය යුතුය.

ගාලු මුවදොර වෙරලින් ඇසුණු අනුරගේ හඬ අවම වශයෙන් එම බලාපොරොත්තුව කුළු ගන්වයි. 

මොනවා වෙයිද නොදන්නා සමාජයේ බලාපොරොත්තුවම බලාපොරොත්තුව ඇති කරයි!

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    7

    සියල්ල මහජනයාගේ හිතසුව පිණිස සිදුවන ආකාරයක් පෙනි යයි.ජනාධිපති තුමා ශ්‍රිලාංකික විවාහකයෙකු විය යුතුය .⁣ගෝඨා ගේ පුරවැසිකම සේම අනුර විවාහකයෙකු ද නැද්ද යන්න පිලිබදව නිතිමය ගැටලුවක් පෙනි යයි

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.