19 April, 2024

Blog

දරුවන්ගේ අනුර

අරුන්දතී සංගක්කාර –

“දරුවන්ට ගහන්න එපා!” ඒ අනුරගේ පණිවුඩයයි. 

එයම ඇති.

ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයෙක් දරුවන්ට අත ඔසවා පහර දෙන්නට එපා යයි අද දින පැවසුවේය.

එයම ඇති.

ළමා හිංසනය සම්පුර්ණයෙන්ම පිටුදකින බව  ප්‍රතිපත්තිමය වශයෙන් ඔහු ප්‍රකාශ කළේය. එයම ඇති. 

ළමා දරිද්‍රතාවයට එරෙහිව කතා කළේය.

 එයම ඇති.  

දරුවකු යනු හොද්දක්ද? 

දරුවන්ගේ දරිද්‍රතාවය, දරුවන් කෙරෙහි කෘරත්වය  තරම් හදවත දවන, ඇසට කඳුලක් උනන අන් දෙයක් මිහි පිට තිබිය නොහැක. අපගේ ජාතියේම දරුවන්ව අපි අපගේ අතීත කාමයේ , සංස්කෘතියේ රැහැන් වලින් බැඳ දමා ඔවුන්ට පහර දෙන කුරිරු ජාතියක් වෙමු. 

කිසිදු ශිෂ්ට සමාජයක නොඉවසන ළමා හිංසනය ප්‍රස්තාව පිරුළු, උපමා, රූපක වලින් වසා, පණ ගැහෙන නොදරුවෙකුව, ලිප මත තැබූ හොද්දකට සමාන කර, හොද්ද හැඳි ගාන හැඳි මිටෙන්ම දරුවන්ට තැලිය යුතුයි අභිමානයෙන් දේශනා කරන අඥාන ජාතියක් සිය ජනාධිපතිවරයා තෝරන මැතිවරණයේදී ඉන් එක අපේක්ෂකයකුට හෝ ඊට එරෙහි වීමට තරම් හර්ද සාක්ෂියක් තිබීමම කෙතරම් ගෞරවනීයද? 

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පසුගාමී සමාජයක පමණක් ඉවසන ළමා දරිද්‍රතාවයට , ළමා හිංසනයට එරෙහි වීමට ඔහුගේ , ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෝ පෞද්ගලික ජයග්‍රහණයක් නොව, මනුෂ්‍යත්වයේ සහ ශීලාචාරභාවයේ ජයග්‍රහණයකි. එය මවක් ලෙස මා ලැබූ ජයග්‍රහණයක් ලෙසද මම සිතමි. 

ළමා හිංසනය සම්පුර්ණයෙන්ම පිටු දැකීම සමාජයක් හදනවා 

ශ්‍රී ලංකාව වනාහි දුප්පත් පොහොසත් , නාගරික , ග්‍රාමීය භේදයින් තොරව දරුවන්ට ගහන රටකි; ශාරීරික හිංසනය කරන රටකි; ලිංගික හිංසනය කරන රටකි. දරුවන් ට ලිංගික අඩම්තේට්ටම් කරන දේශපාලකයන්, නළුවන්, අපරාධකරුවන් නිදැල්ලේ යන රටකි. 

අපේ රටේ නීතියෙන්, ළමා ප්‍රඥප්තියෙන්, ලෝක ගේ ළමයින් උදෙසා වන සියලු ප්‍රඥප්ති වලින් දරුවන්ට ශාරීරික හිංසනය කිරීම, තලා පෙලීම, මානසික හිංසනය කිරීම සපුරා තහනම් වෙයි. දරුවන්ට හිංසා කිරීම අපගේ ව්‍යවස්ථාවෙන් තහනම් වෙයි. එය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

අනුර මෙම ඛේදවාචකය දකියි. 

එයම ඇති. 

අපේ රටේ පළමු පුරවැසියා වන ජනාධිපති “මම ගුටි කෑවා- ඒ නිසා දරුවන්ට ගහන්න” කියයි. ගුටි බැට දීල හදන දරුවෙක් ලොකු මහත් වුනාම වෙන්නේ අපේ රටේ ජනාධිපති වගේ වැඩිහිටියෙක් නම් , එකම ඇති ළමයින්ට නොගහ ඉන්න උදාහරණය !” ඒ අනුරගේ  වචන වල සාරාංශයයි. 

සත්‍යය එයම නොවේද? 

කොළඹ රාජකීය විද්‍යාලයෙන් පටන් ගෙන ලංකාවේ ඕනෑම කොනක අප නමවත්  අසා නැති කුඩා පාසල් වලද  අපේ රටේ නිධානය- අපේ දරුවන්ට- ශාරීරික දඬුවම් දෙයි. කොළඹ සුපිරි ජාත්‍යන්තර පාසල් වල පවා මෙවැනි හිංසනයන් සිදු වෙයි. මෙසේ ශාරීරික දඬුවම දී, පරුෂ වචනයෙන්  සිත තලා, මානසිකව සුණු වුණු විසුනු කර, පෞරුෂය හීන කර හදන දරුවා කොයි වැනිද?

මිතුරනි, අනුරගේ වචන නැවත නැවතද අසන්න. 

ඒ වචන හඬක් නැති, හඩන්නටවත් අයිතියක් නැති, පීඩනයෙන් මිරිකෙන, වැඩිහිටියන්ගේ පීඩනය පිට කරගන්නට තලන අපේ ජාතියේම මුව හම වන අපේ දරුවන් වෙනුවෙන් නගන හඬයි. 

අනුරගේ වචන තවදුරටත් විශ්ලේෂණය කරමු. 

“හිංසනයෙන් හදන දරුවා දරුවා හැදෙන්නෙම තමාට වඩා වයසින් වැඩි, බලයෙන් වැඩි , ශක්තියෙන් වැඩි කෙනාට බයාදු වීමටය; බිය ගුළු වීමටය; බල අධිකාරියට අවනත වීමටය”.  ඒ දරුවා හැදී වැඩි  අයුක්තියට, බලය අවභාවිතාවට එරෙහි නොවෙයි. දරුවා හදා ඇත්තේ ම කොඳු ඇට පෙළ කඩා ,බිය කර,  පෞරුෂය සිඳ-බිඳය. එසේ හදන දරුවා වැඩිහිටියකු වූ විට ඔහුව ඇමති කෙනෙක් ගස් බැන්ද විට තමන් ගස් බැඳ ගත්තා කියයි. ජ්‍යෙෂ්ට උත්තමයකු නිරුවත් කළ විට සිය ඇඳුම් උනා නිරුවත් වෙයි. 

ළමා හිංසනය ජීවිත චක්‍රය පුරාවටම කෘර සෙවනැල්ලක් ව අපව පෙළයි. ළමා හිංසනය පීඩිත යාව දිනක පීඩකයකු කරයි. 

මේ කෘරත්වයේ චක්‍රය බිඳීමට නොබියව කතා කරන අනුර දේශපාලනයේ භාෂාවම වෙනස් කරයි. 

පීඩකයන්ගෙන්  පිරුණු අපගේ සමාජයේ දේශපාලකයන් සියුමැලි දරුවන්ට තලා පෙළීම වෙනුවෙන් පෙනී සිටින්නේ “අපේ ළමයට අපි ගැහුවම මොකද” කියා සිතන පටු සමාජයේ චන්ද එකතු කිරීමටය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ළමා හිංසනයට  එරෙහිව කතා කරන විට යුඑන්පියේම බුද්ධික පතිරණ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වේවැල් මිලදී ගෙන දරුවන්ට තලන්නට බෙදා හරිය යුතු බව කියන්නේ බුද්ධික පතිරණ වැනි මුග්ධ පීඩකයන්ගෙන් සමාජයම පිරී ඇති බැවිනි. “අපි මෙතනට අවේ අපට ගහල හදපු නිසා කියලා” යයි පවසන්නේ දරුවන්ගේ පිපිරුණු කම්මුල් මතින්, පැලුණු කන් අඩි තුලින් , බිඳුණු හදවත මතින් චන්ද සොයන අමානුෂික දේශපාලකයන්ය. ළමයින්ට හිංසා කිරීම දේශනා කරන එකදු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දරුවකුට ගුරුවරයෙක් අත කැඩෙන්න, කණ පැලෙන්න ගහන්නේ පහර නොදෙති.  එසේ ගුටි කන , හිංසනයට ලක්වන ළමයින් අතරින් බහුතරය දුප්පත් පාසල් වල දරුවෝ වෙති. වැඩිහිටියා පහර දීමට අත ඔසවන්නේ දරුවාට පමණක් නොවෙයි- දරුවාගේ දුප්පත් කමටද ය. 

ඛේදවාචකය නම් 2019 වසරේදී ද ළමා හිංසනය පිටු දැකීමට ඉදිරිපත් වීම “උඩුගං බලා පිහිනීමක් වීමය” 

අනුර, ඔබට මගේ ආචාරය !

 අල්ලට සිඟා වත්  රස නැති කැවිලි කකා

අනුර දුප්පත්කමින් උපන් දේශපාලන දරුවාය. ඔහු තඹුත්තෙගමදී “කෝච්චියේ ටොපි චොක්ලට් විකුණමින් ගත කල “ සිය ළමා වියේ දරිද්‍රතාවය පිළිබඳව කල අවංක කතාව අපේ හර්ද සාක්ෂිය අවදි කරවයි. අපට අපේ සඳලු තල වලින් බැස මනුෂ්‍යත්වයේ ඇස මත ඇස තබා දුප්පත්කමේ පීඩනය දෙස බැලීමටම එම හද දැදුරු කරවන එම  කතාව සමත් ය. 

දුප්පත්කමේ පීඩනය විෂම චක්‍රයකි. දුප්පත් වෙන්නේ දුප්පත් අයමය. සම්ප්‍රදායිකව අපිට උගන්වා තියෙන්නේ :

“අල්ලට සිඟා වත්  රස නැති කැවිලි කකා

වල් කොළ බිම ඇතිර නිදි නැතිව දුක් තකා 

කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා 

ඇල්මෙන් අකුරු උගනිවු  ඉදිරි වැඩ තකා” ආදී වශයෙනි. 

නමුත් යතාර්ථය කුමක්ද? 

සැබෑ ලෝකයේදී අල්ලට සිඟා කන ළමයි ඇල්මෙන් අකුරු ඉගෙන නොගනිති.  ඇල්ම තිබ්බත් ඔවුන්ට ඉගන ගන්න අපහසුය. වැරහැලි අඳින ළමයින්ට මේ නූතන සමාජයේ පාසලක් තුල හිමි වන්නේ කවර පාසල් ජීවිතයක් දැයි අපි දනිමු. ඔවුන්ට ඉස්කෝලේ යන්න හිතෙන්නේ නැත. ඒ දරුවන්ට අධ්‍යාපනයේ පිරිවැය දරා ගන්න අපහසුය. මේ  සියලු දුක් කරදර මැඩ ගෙන මඩෙන් පිපුණු නෙලුම් වගේ සමහර දරුවෝ මතු වෙති. නමුත් එසේ මඩෙන් පිපෙන සෑම මලකටම තව නෙලුම් මල් දහස් ගණනක් ළමා දරිද්‍රතාවය නැමති මඩේ එරි, යටවී අපට නොපෙනීම ගිලී යති. 

එසේ දුප්පත් කමේ මඩ ගොහොරුවේ ගිලී ගිය ,අධ්යාපනෙන් ගිලිහී   ගිය දරුවෝ වැඩිහිටියන්ව විරකියා පෝලිම් වල, අගු පිල් වල , ගැට කපන්නන් අතර, සමාජ විරෝධීන් අතර අපට හමු  වෙති. 

අනුර කතා කරන්නේ මේ ළමා දරිද්‍රතාවයේ පීඩනය පිලිබඳවය. 

ඔහු  ඉහත සංවාදයේ පුන පුනා පවසන ආකාරයට, ඔහු ළමා දරිද්‍රතාවය දකින්නේ නොමිලේ දෙන කිරි වීදුරුවකින්, මවුපියන්ට දෙන පෝෂණ මල්ලකින් නොසන්සිදෙන ගැඹුරු සමාජ ප්‍රශ්නයක් ලෙසය. 

අඩුම වශයෙන් දරිද්‍රතාවයේ සංකීර්ණත්වය දකින එක අපේක්ෂකයෙන් වෙයි.

එයම ඇති. 

ඉහත රුපවාහිනි සාකච්චාවේ ජන සංඛ්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් අනුර විසින් ඉදිරිපත් කල දත්ත වලට අනුව 2012/2013 ශ්‍රී ලංකාවේ ජන සංගණනයට අනුව ලංකාවේ අවුරුදු 5ත් 14 ත් අතර ළමයින් මිලියන 3.5 ක් සිටිති. 

ඒ අය අතරින් 11.3% ක් , එනම් හාර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පෙළෙති. එ හාර ලක්ෂයෙන් 6.2% ක් පාසල් නොයති.

දුප්පත් දරුවෙක් පාසල හැර යාමේ සම්භාවිතාව  දුප්පත් නොවන දරුවෙකුට වඩා 8 ගුණයක් වැඩිය. 

මේ දරුවන් කවුරුන්ද? 

ඔවුන් කොහි සිටිත්ද? අනුර නොකියූ ඉතිරි දත්ත ටික අප සෙවිය යුතුය. 

ලංකාවේ දුප්පත්ම ළමයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක්, එනම් 79.2% ක් ගම්බදව ජීවත් වෙති. ඉන් 13.0 % ක් සිටිනුයේ වතු ප්‍රජාව තුල. ඉතිරිය නාගරිකව වෙසෙති. ශ්‍රී ලංකාවේ දුප්පත් දරුවන් ගේ ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කයේ සිට අඩුම දිස්ත්‍රික්ක මෙසේය: .මුලතිවු, මන්නාරම,මඩකලපුව,මොනරාගල ,බදුල්ල, කිලිනොච්චි , රතනපුර, නුවර එලිය, යාපනය සහ ත්‍රිකුණාමලය එම දිස්ත්‍රික්කයි. 

සිරුර අත හැර නොයන දුප්පත්කම 

“ඇල්මෙන් ඉදිරි වැඩ තකා’ උගත් විට උගත්කම අපව සිහසුනක හිඳුවන බව අපට උගන්වා ඇත.  එහි යම් සත්‍යයක් ඇතද එය පොදු යතාර්ථය නොවෙයි.  දුප්පත්කමේ ප්‍රතිවිපාක පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙයි. 

දුප්පත්කම නිසා ශරීරයේ ඇතිවන ජීව විද්‍යාත්මක වෙනස් කම් නිසා ඒ දරුවන් වැඩිහිටියන් වන විට විවිධ නිදන්ගත රෝග වලට ගොදුරු වෙති. 

දුප්පත්කමටත් වඩා භයානක දුප්පත් කම නිසා  ඇතිවන අසමාන්තාවයයි. අසමානතාවය ළමා මනස පෙලයි. අසමානතාවය නිසා ඇතිවන මානසික සහ ශාරීරික ආතතිය මනුෂ්‍ය ජාන වෙනස් කිරීමට තරම් බලවත් වෙයි. විද්යාඥයින්, වෛද්‍යවරුන් මේය ශරීරාරුඩ වුනු අසමානතාවය (embodied inequality) නමින් හඳුවති. හාවඩ් විශ්වවිද්‍යාලයේ විශ්ව කීර්තියට පත් මහාචාර්ය නැන්සි ක්රෙගර් සිය අධ්‍යයන ජීවිතය කැප කළේ මේ සමාජ ව්‍යාධිය විශ්ලේෂණය කර ඇමරිකාවේ ජාතික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීමටය.  

අනුරාධපුරයේ ෆ්ලොරිසියාවෙන් කහ ගැහුණු දත් තියන දරුවෙක්ගෙන්, නුවර එළියේ බර අඩු දරුවෙක් ගෙන්, කිලිනොච්ච්චියේ ගැබ් ගත් අවුරුදු 13ක දැරියකගෙන් පෙන්නන්නේ ලස්සන සෞඛ්‍ය දර්ශක, හොඳ සාක්ෂරතා දර්ශක වලින් වැසුණු අපේ රටේ දරුවන්ගේ ශරීරාරුඩ වුනු අසමානතාවයි- දුප්පත් කමයි.  අපේ රටේ දරුවන්ගේ දුප්පත් කමේ ඛේදවාචකයයයි.

මේ ඛේදවාචකය ගැන දේශපාලකයන් කතා නොකරන්නේ දරුවන්ට චන්ද නැති බැවිනි; දරුවන්ට තලන, හිංසා කරන වැඩිහිටියන්ට චන්ද ඇති බැවිනි. 

අනුර චන්ද නැති දරුවන් වෙනුවෙන් කතා කරයි.

එයම ඇති. 

ඒ ඛේදවාචකය අපේ දේශපාලකයන් නොමිලේ බෙදන කිරි වීදුරුවෙන්, නොමිලේ දෙන නිල ඇඳුමෙන්, ටැබ් එකෙන් පමණක් සමනය නොවෙයි. දරුවන්ට උගැන්වීමෙන්, උපාධියක් දීමෙන් පමණක් එය තුනී නොවෙයි. මේ පිළිබඳව විචක්ෂණ බුද්ධියෙන් දරුවන් වෙනුවෙන් නැගී සිටින අනුර ගේ මැතිවරණ ප්‍රතිපලය කෙසේ වුවද, ජාතියක හර්ද සාක්ෂියේ ජයග්‍රහණය ඔහුට හිමිය.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ළමා වියේ  අමිහිරි ඛේදවාචකයද සමසිතින්, සුවඳ  මල් මෙන් සිප වැළඳ ජාතියක දරුවන් වෙනුවෙන් නැගී සිටින අනුර, ඔබ මේ දරුවන්ගේය. 

දරුවන් අනුරගේ ය.   

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.