Colombo Telegraph

නීරස අත්දැකීම් පරයන අපේක්ෂාවේ ජයග‍්‍රහණයක්? ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ මාර්ග සිතියම ගැන මූලික අදහස් දැක්වීමක්

අසංග වැලිකල

අසංග වැලිකල

මෑත කාලයේ ප‍්‍රවෘත්ති ලෝකය තුළ එක් දර්ශනයක් කැපී පෙනුණි. ඒ, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඉලක්ක කරගත් මාර්ග සිතියමක් එළිදක්වමින් පසුගිය ජුලි 24 වැනි දා නවනගර ශාලාවේ පැවැත්වූ රැුස්වීමයි. සභාවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටියෝ, රනිල් වික‍්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ආර්. සම්බන්දන්, සරත් ෆොන්සේකා, ශිරානී බණ්ඩාරනායක සහ සුනිල් හඳුන්නෙත්ති ය. මේ පුද්ගලයන් නියෝජනය කරන දේශපාලනික වර්ණාවලිය අනුව බැලූවොත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ඉල්ලීම ඊළඟ ජනාධිපතිවරණයේ දී සෑහෙන බහුතරයක කැමැත්ත දිනා ගැනීමට සමත් වනු ඇතැ යි සංකල්පීයව අපට සිතිය හැකිය. අයාලේ යා හැකි බොහෝ දේවල් එහි ඇති මුත්, සමහර විට එය, අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී උරුමය හෝදාපාළු කරන රාජපක්ෂගේ ගොබ්බ නඩය අවසානයේ දි නතර කළ හැකි යැයි සිතෙන අපේක්ෂාවක ප‍්‍රථම මන්දාලෝකයක් ද වන්නේය.

මෙය පාරට ගෙන ඒම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, මාර්ග සිතියමේ මූලික ලක්ෂණ ගෙනහැර පෑවේය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ‘පොදු අපේක්ෂකත්වයක්’ තිබිය යුතුය. මේ මූලික ව්‍යවස්ථාමය වෙනස වටා ඇති පොදු අවශ්‍යතාව පිළිබඳ අදහස ඇඟවීම සඳහාත්, 2010 දී කළා සේ සම්ප‍්‍රදායික අර්ථයේ විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ පූර්වාදර්ශයෙන් වෙන් කොට දැක්වීම සඳහාත්, ‘අපේක්ෂකයා’ යන්න වෙනුවට එය හැඳින්වෙන්නේ, ‘අපේක්ෂකත්වය’ යනුවෙනි. මේ පොදු අපේක්ෂකත්වය පදනම් වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය යළි ස්ථාපනය කිරීමක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය වන්නේය යන අවම පිළිගැනීම මතයි. එය අත්පත් කරගත හැක්කේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට, රාජ්‍ය සේවය තුළ නිර්-දේශපාලනීකරණය ස්ථාපිත කෙරෙන, නිසි ලෙස සංශෝධිත 17 වැනි ව්‍යවස්ථා සංශෝධන රාමුවක් ඇති කළහොත් ය.

තුලන සහ සංවරණයන් මෙන්ම, බල විභේදනය සහ නීතියේ ආධිපත්‍යයත් දුර්වල කරමින්, පෙර නොවූ විරූ තරමේ දූෂණයකට සහ නාස්තියකට පාර කපමින් සිවිල් සමාජය මැඩලමින් තිබෙන අධිකාරීවාදය පිළිබඳ ප‍්‍රශ්නයට මේ මූලික ප‍්‍රතිසංස්කරණ ද්වය හරහා ආමන්ත‍්‍රණය කෙරෙනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ බහුත්වවාදය සහතික කෙරෙන වෙනත් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් ආරම්භ කළ හැක්කේ, අධිකාරීවාදයේ මේ උල්පත වසා දැමීමෙන් විවර කරගන්නා ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශයක පමණි. නීතිමය ලියවිල්ලක් වශයෙන් සකස් කෙරෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන ව්‍යවස්ථාමය සංශෝධනය, පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප‍්‍රකාශනයේ කොටසක් වනු ඇත. එය, මැතිවරණය ජයග‍්‍රහණය කළහොත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන සෘජු වරමක් වෙනවා පමණක් නොව, ජනාධිපතිවරණයෙන් මසක් ඇතුළත එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජයග‍්‍රාහී අපේක්ෂකයාව බැඳ තැබීමක් ද වනු ඇත.

එම සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත් පසු එය මාස හයක් ඇතුළත ක‍්‍රියාවට පෙරලෙනු ඇත. පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දය ලබා ගැනීම අසීරු නොවනු ඇත. අනිත් අතට, මේ සංශෝධනය සඳහා ජනමත විචාරණයකුත් අවශ්‍ය වෙතැ යි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත්, ඉහත කී හය මාසයක කාලය තුළ එය ද කළ හැකිය. සංශෝධනය බලාත්මක වීමත් සමග පොදු අපේක්ෂකයාගේ කාර්යභාරය අවසානයට පත්වනු ඇත. ඒ අනුව, නාමික ජනාධිපතිවරයෙකු පත්කරගන්නා අතර, කැබිනට් මණ්ඩලය මගින් විධායකය හොබවනු ඇත. නව ව්‍යවස්ථාමය රාජ්‍ය නායකයා පාර්ලිමේන්තුව මගින් පත්කරගනු ලැබෙන අතර, පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා අගමැතිවරයා සහ ආණ්ඩුවේ ප‍්‍රධානියා බවට පත්වෙනු ඇත. පෙනෙන්ට ඇති පරිදි, මෙය ප‍්‍රායෝගික සැලස්මකැ යි පෙනේ. එහෙත් එය ජයග‍්‍රහණයේ ශක්‍යතාව සහිත එකක් දැ යි බැලිය යුතුය.

මාර්ග සිතියමේ ශක්තිමත්ම අංගය වන්නේ එය තුළ ඇති සරළ භාවයත්, නිරාකූල භාවයත් ය. ප‍්‍රධාන තනි කාරණයක් කෙරෙහි අවධානය රැුඳවීම මගින් විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ ඉතා අවශ්‍යව පැවති මහජන සංවාදයකට දොරටු විවර කරයි. ඒ ගැන මහජන මතය පළ කිරීමට අවස්ථාව සලසයි. එවැනි අවස්ථාවක්, බාගෙ විට, 1977 මහ මැතිවරණයේ දී මිස මේ රටේ ජනතාවට කිසි විටෙකත් ලැබී නැත. ඒ, එවකට දිග හැරෙමින් පැවති බියකරු සිහිනය කිසිවෙකු විසින් අවබෝධ කර ගැනීමට මත්තෙනි.

විධායක ජනාධිපතිගේ බලතල සහ බල පරිමාව වඩාත් සාතිශය සහ විනාශකාරී ලෙස යොදා ගැනුණේ 2010 දී සම්මත කර ගත් 18 වැනි ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයෙනි. එය හඳුන්වා දෙන ලද්දේ හොරෙනි. එය හඳුන්වා දුන් ජනාධිපතිවරයාටවත්, ඊට ඡන්දය ප‍්‍රකාශ කළ මන්ත‍්‍රීවරුන්ටවත්, එවැන්නක් සම්මත කර ගැනීමට කිසිදු බලයක් හෝ අයිතියක් තිබුණේ නැත. ශිරානී බණ්ඩාරනායකගේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉතා බියගුළුව ඊට අනුමැතිය පෑවේය. ඒ, එහි අස්වැන්න ඇය විසින්ම නෙළා ගැනීමට මත්තෙන් බව අමුතුවෙන් කිව යුතු නැත.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන අතීතයේ දී දෙන ලද අනියතාකාර පොරොන්දු මෙන් නොව, මෙම වැඩපිළිවෙල ඡන්දදායකයාට ඉදිරිපත් කෙරෙන්නේ පැහැදිළි නීති කෙටුම්පතක් වශයෙනි. එසේම ඒ ක‍්‍රියාවලිය සඳහා පැහැදිළි කාල පරාසයක් ද තිබේ. ඔවුන් තමන්ගේ වරම සපයන්නේ ඒ කාලය සඳහා ය. ඊළඟ ජනාධිපතිවරණය, ජනාධිපති ක‍්‍රමය පිළිබඳ ජනමත විචාරණයක් බවට මෙසේ සූක්ෂමාකාරයෙන් පත් කිරීම හරහා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විපක්ෂයට බොහෝ කලකින් කළ නොහැකි වූ යමක් සිදු කෙරේ. එනම්, තමන්ම මුල පිරීමක් ගනිමින්, සාමාන්‍යයෙන් බලය හොබවන ජනාධිපතිවරයාගේ වාසියට ඇති තරගයේ කොන්දේසි, ඔහුගේ අභිමතයට නොව, තමන්ගේ අභිමතයට සම්පාදනය කර ගනු ලැබීමයි.

සංග‍්‍රාම අඩවිය පිහිටා ඇත්තේ දකුණේ බව පිළිගැනීම, තිත්ත ඇත්තට කෙලින්ම මුහුණදීමක් වශයෙන් සැළකිය හැකිය. ඒ නිසා, සමීකරණයේ සෙසු අංගෝපාංග කල්තියාම ඉවත් කරනු ලැබේ. වෙනත් ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ කාරණා, විශේෂයෙන් වාර්ගික ප‍්‍රශ්නයත් බදා ගැනීම වැන්නකින් සිදුවිය හැක්කේ, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ප‍්‍රධාන කාරණයෙන් ඉවතට අවධානය විතැන් වීමකි. එසේම, දකුණෙ ඇති විය හැකි පුළුල් එකඟත්වය ද, ඒ මගින් කැබලි විය හැකිය. කෙසේ වෙතත්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයේ සහ හමුදාකරණය වූ අධිකාරීවාදයේ ආයතනික ක්ෂේමස්ථානය වශයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය පවතින තාක් කල්, වඩාත් පුළුල් ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සාධාරණ සංවාදයක් ඇති වීමට කිසි ඉඩක් නැති බව අප අමතක නොකළ යුතුය. සුළු ජාතීන්ගෙන් මේ සඳහා ලැබෙන සහාය වෙනුවෙන්, වඩාත් විවෘත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක ශක්‍යතාව මිස, වෙන කිසිවක් පොදු අපේක්ෂකත්වය විසින් ඔවුන්ට පොරොන්දු වන්නේ නැත.

කෙසේ වෙතත්, මාර්ග සිතියම තුළ දුර්වලතා කිහිපයක් ද තිබේ. ඒ කිසිවක් බරපතල ඒවා නොවේ. එහෙත් මෙහෙයුම ඉදිරියට යද්දී පිලිසකර කරගත යුතු හිස් තැන් ය. එයින් ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට ඇති කරගන්නා ඊළඟ ක‍්‍රමය කුමක් ද යන්නයි. මාර්ග සිතියම කියාපාන්නේ, ‘පාර්ලිමේන්තු ක‍්‍රමයකට’ ආපසු යන බවකි. එහෙත් ඇත්තෙන්ම එයින් අදහස් වන්නේ කුමක්ද? නව ව්‍යවස්ථාවකට පාදක විය හැකි ආනුශංගික සංශෝධනවලට නොගොස් 78 ව්‍යවස්ථාවේ මුඛ්‍යාර්ථයම උගුල්ලා දැමිය හැකි වෙතත්, පාර්ලිමේන්තු විධායකයක නිශ්චිත ස්වභාවය විදාරණය කළ යුතුව තිබේ. එසේ කිරීම දෙයාකාරයකින් වැදගත් වන්නේය. එක පැත්තකින්, ජනාධිපති අධිකාරීවාදය අහෝසි කිරීම, පාර්ලිමේන්තු ඒකාධිපතිත්වයකට යොමු විය හැකි ඕනෑ තරම් ශක්‍යතා, පාර්ලිමේන්තු විධායකයක් තුළ ද තිබේ. ඇත්තෙන්ම, සම්භාව්‍ය ජනාධිපති ක‍්‍රමයක් තුළ බල විභේදනය කෙරෙහි ඒ සා ප‍්‍රබල අවධාරණයක් කරන්නේම, පාර්ලිමේන්තු ආකෘතිය තුළ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඌනතාවකට පිළිතුරක් වශයෙනි.

අපේ දේශපාලන සංස්කෘතිය තුළ, විශේෂයෙන් නායකයා කේන්ද්‍ර කරගත් සංස්කෘතිය තුළ, ලොකුම ප‍්‍රශ්නය වන්නේ විධායක බලයේ ආයතනික ආකෘතියට වඩා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක තිබිය යුතු වඩාත් සූක්ෂම සම්ප‍්‍රදායන් සහ සම්මුතීන් නැති කම ය. දේශපාලන සංස්කෘතිය තුළට කාවැදී ඇති මේ ගැඹුරු ප‍්‍රශ්නවලට නීතිමය ප‍්‍රතිසංස්කරණවලින් සැපයිය හැකි සේවය අල්ප ය. සමානුපාතික නියෝජනයත්, ඒ මගින් ඇති කෙරෙන ඛණ්ඩනය වූ ව්‍යවස්ථාමය නියෝජනයේ බහුද්‍රැවීයත්වයත් මගින් පාර්ලිමේන්තු අධිකාරීවාදයක පදනම වන ඒකීය බහුතරයේ ගැටළුව මගහරවා ගත හැකි වන්නට පුලූවන. එයාකාරයෙන් මෙයම අනිත් පැත්තට, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එරෙහි වන්නන්ටත් පාවිච්චි කළ හැකි ශක්තිමත් තර්කයක් වන්නේය. එනම්, නව පාර්ලිමේන්තු විධායකය, සභාග දේශපාලනයන් තුළින් සුළුතර පක්ෂවල හිතුමතයට අවනත වන සහ ඒවායේ ප‍්‍රාණඇපකරුවෙකු වන තරම් දුර්වල එකක් විය හැකි බව ය. ඒ ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කිරීමටත්, විධායක ජනාධිපති ක‍්‍රමයේ ආයතනික විකල්පය ගැන වඩාත් විස්තරාත්මකව පැහැදිළි කිරීමටත්, ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යපාරයට’ සිදු වනු ඇත.

එසේම, පොදු අපේක්ෂකත්වයේ මැතිවරණ ප‍්‍රකාශනයේ කොටසක් වන නීති කෙටුම්පත හෙවත් ව්‍යවස්ථාමය සංශෝධනය ගැන ප‍්‍රශ්නය ද තිබේ. එය ප‍්‍රසිද්ධියට පත්කරන තෙක් අපට කළ හැක්කේ ඒ ගැන පොදුවේ සාකච්ඡුා කිරීම පමණි. උපකල්පනය කළ හැකි පරිදි, එහි අඩංගු වනු ඇත්තේ, අනාගත නාමික ජනාධිපතිවරයාට චාරිත‍්‍රානුකූල කෘත්‍යයන් පැවරෙන ආකාරයෙන් සහ ප‍්‍රධාන පෙළේ විධායක බලතල ඇමති මණ්ඩලයට පැවරෙන ආකාරයෙන්, ප‍්‍රධාන වශයෙන්, ව්‍යවස්ථාවේ 7 වැනි පරිච්ෙඡ්දයට කෙරෙන සංංශෝධනත්, විධායක ජනාධිපතිවරයෙකු සිටි නිසා පමණක් අවශ්‍ය කළ ප‍්‍රතිපාදනයන් අහෝසි කිරීමත් ය.

මේ සඳහා ජනමත විචාරණයක අවශ්‍යතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රකාශයට පත්වෙති යි ජයම්පති නොසිතයි. එහෙත් එවැන්නක් නියම වෙතත්, ඒ සඳහා අදාළ කාල පරාසය ඒ අවශ්‍යතාවටත් ප‍්‍රමාණවත් වනු ඇතිය යන්න ඔහුගේ මතයයි. ඔහුගේ දැනුවත් මතය සැක කිරීමට හේතුවක් මට නැත. එහෙත් එක කාරණයක් ගැන තිබෙන අඩමානයක් ගැන කිව යුතුව තිබේ. ජනාධිපතිවරයා විධායක බලය අභ්‍යාස කරනුයේ ජනතා ස්වෛරීත්වයේ අංගයක් වශයෙනියි කියැවෙන (ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු ක‍්‍රමයක දී වුව, රාජ්‍ය නායකයාගේ කාර්ය භාරය නිරූපණය කෙරෙන්නේ එසේය), ව්‍යවස්ථාවේ 40 (ආ) වගන්තිය, යෝජිත සංශෝධන මගින් බරපතල වෙනසකට ලක්වන බවක් බැලූ බැල්මට නොපෙනේ. එයින් කියැවෙන්නේ, 1978 ව්‍යවස්ථාව යටතේ පත්කරගන්නා ජනාධිපතිවරයා කෙලින්ම ජනතා ඡුන්දයෙන් පත්කර ගන්නා කෙනෙකු මිසක් නාමමාත‍්‍ර නායකයෙකු නොවන බව ය. එය ද, යෝජිත සංශෝධන යටතේ, තුනෙන් දෙකක වැඩි ඡුන්දයකින් සංශෝධනය කරගත හැකි බවක් පෙනෙන්ට තිබේ. මන්ද යත්, 4 වැනි වගන්තිය, 83 වැනි වගන්තියෙන් ප‍්‍රකාශිතව ආරක්ෂා නොවන බැවිනි. එහෙත් 4 වැනි වගන්තිය කියැවිය යුත්තේ, 3 වැනි වගන්තියේ අත්‍යාවශ්‍ය අංගයක් වශයෙන් යැයි, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දු ගණනාවක්ම තිබේ. (එනම්, සංශෝධනය කිරීම සඳහා තුනෙන් දෙකේ ඡුන්දයට අමතරව, ජනමත විචාරණයක් ද තිබිය යුතු බව ය). 4 (ආ) වගන්නියත් එසේ ව්‍යංගයෙන් ආරක්ෂා කරනු ලැබ තිබේ නම්, එය සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයකුත් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ හැක. කෙසේ වෙතත්, නැවත බලන විට පෙනී යන්නේ, පොදු අපේක්ෂකයා සතු වරමේ විශේෂ ස්වභාවය, ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් ගන්නා තීරණයකට බලපානු ඇති බව ය. එසේම, ජනාධිපතිවරණයෙන් පසු ජනමත විචාරණයකුත් පැවැත්වෙන්නේ නම්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කඳවුරට එම මැතිවරණයෙන් ද පහසුවෙන් ජයගත හැකිය.

ඊළඟට, දේශපාලනික ප‍්‍රශ්න කිහිපයක් ද තිබේ. මේ ව්‍යපාරයට චන්ද්‍රිකා කුමාරණතුංග සහභාගී වීමේ සංකේතාත්මක වැදගත්කමක් ඇති බවට සැකයක් නැත. ඒ මගින්, අඩු වශයෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ඡන්දදායකයන් යම් ප‍්‍රමාණයක්වත් මේ අරමුණ සඳහා දිනා ගැනීමට හැකි වනු ඇත. එසේම, ආණ්ඩුවේ සිටින රාජපක්ෂවාදීන් නොවන්නන් අතරේ ද යම් මතයක් ඇති කැරැුවීමටත්, පාලන තන්ත‍්‍රය තුළ යම් බිඳවීමක් ඇති කිරීමටත් හේතු විය හැකිය. එසේ වෙතත්, මේ ක‍්‍රමය අහෝසි කිරීමට ඇය දී ඇති පොරොන්දු ඉතිහාසය තුළ ඇති අපකීර්තිමත් භාවය, ආණ්ඩුවේ ප‍්‍රතිප‍්‍රහාරක ආයුධයක් වනු ඇත. දැනටමත්, ඇතැම් ආණ්ඩු ගැති විචාරකයන් ඒ බව පෙන්වා දී ඇත.

බොහෝ කාලයක් තිස්සේ ජනාධිපති ක‍්‍රමය වෙනුවෙන් පෙනී සිටි වික‍්‍රමසිංහ මහතා දැන් එය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටීම, එක දිගටම පරාජය වීම නිසා ක‍්‍රීඩාවේ නීති වෙනස් කර ගැනීමට පෙළඹවීමක ලක්ෂණ පෙන්නුම් කරයි. ඔහුගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයට රක්තපාතය වැළඳී ඇත. තමන්ගේ පක්ෂය, ආණ්ඩු කරන පක්ෂයක් වශයෙන් දැකීමට පුරුදුව සිටි එක්සත් ජාතික පාක්ෂිකයාට, ජනාධිපතිවරණයක් සඳහා තමන්ගේම වන අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන්නේ මන්දැ යි ඇත්තටම සිතෙන්නට පුලූවන. ඇත්ත වශයෙන්ම, පොදු අපේක්ෂකයා පිළිබඳ මේ සමස්ත කතිකාවම අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්ව ඇත්තේම, අපේ දේශපාලන ක‍්‍රමය තුළ ප‍්‍රධාන විපක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ කාර්යභාරය නිසියාකාරයෙන් නොකරන නිසාම ය. එය විසින් කළ හැකි සහ කළ යුතු ඒ කාර්යභාරය එම පක්ෂයෙන් මගහැරෙන්නේ, වික‍්‍රමසිංහගේ පක්ෂ නායකත්වයත්, මොන වියදමක් දරා හෝ එම නායකත්වයේ එල්ලී සිටීමට ඔහු ගන්නා උත්හාසයත් නිසා ය. පක්ෂයේ මෙන්ම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවශ්‍යතාවන්ට ඉහළින් ඔහු තමාගේ නායකත්ව අවශ්‍යතාවට මුල් තැන දෙන නිසා ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, පොදු අපේක්ෂකත්වය වෙනුවෙන් ඡුන්ද මට්ටමින් එක්සත් ජාතික පක්ෂයට දිය හැකි සහාය, විය යුතු තරමේ හෝ හිතන තරමේ විශාල එකක් නොවිය හැකිය.

අපේක්ෂකත්වය සහ අපේක්ෂකයා අතර වෙනස වැදගත් වෙතත්, ඇත්තෙන්ම අපේක්ෂකයා වන්නේ කවුද යන ප‍්‍රශ්නය අහෝසි වන්නේ යන්නේ නැත. එම අපේක්ෂකයා සෝභිත හිමියන් වන්නේ නම්, වඩාත් බරපතල ප‍්‍රශ්න ගණනාවක් මතු වෙයි. තමන්ගෙන් ඉටු විය යුතු කාර්ය භාරය එක්සත් ජාතික පක්ෂයෙන් ඉටු නොවීම හේතුවෙන් පැන නැගී ඇත්තේ පොදු අපේක්ෂකත්වයක අවශ්‍යතාව පමණක් නොව, එම පොදු අපේක්ෂකයා බෞද්ධ භික්ෂුවක වීමේ අවකාශයක් ද විවර වී ඇත. මෙසේ සිදුවන්නේ, දේශපාලනය තුළ භික්ෂුවගේ කාර්ය භාරය සමාජයේ දැඩි නොසන්සුන්තාවක් ද ඇති කෙරෙමින් තිබෙන මොහොතක ය. මේ වෙනුවෙන් අපට පෙනී සිටිය හැකි ප‍්‍රතිපත්තිමය ස්ථාවරය කුමක් ද? අප කරන්නේ අපේ දේශපාලනය කරන භික්ෂූන්ව පිළිගන්නා අතරේ අප ආශා නොකරන දේශපාලනයක් කරන භික්ෂුන්ව හෙලාදැකීමක් ද? එසේ නම්, ලෞකික ස්වභාවය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා තවදුරටත් අවශ්‍ය නොකෙරෙති යි අපි විශ්වාස කරමුද? එක පැත්තකින්, දකුණේ මැතිවරණයක ජයග‍්‍රහණය සඳහා භික්ෂුවක් අපේක්ෂකත්වයට පත්කර ගැනීම මුළුමණින් ප‍්‍රායෝගික වෙයි. රාජපක්ෂ මැතිවරණ උපාය මාර්ගයේ මූලාධාරය වන දේශපේ‍්‍රමී/දේශද්‍රෝහි වර්ගීකරණට, අඩු වශයෙන් සංකල්පීය වශයෙන්වත්, නායක ස්වාමීන් වහන්සේ කෙනෙකු වන සෝභිත හිමියන්ව හසු කර ගැනීම සාපේක්ෂ අරුතකින් අසීරු ය. ඉතිං, අපට කළ හැක්කේ, තමන්ගේ මෙහෙවර තුළ උන්වහන්සේ දියසේන කුමරෙකු නොවී, චිංචිනාතුස් (මෙහෙවර අවසන් කළ පසු රජ කම හැර ගිය රෝම අධිරාජයෙකි) කෙනෙකු වේවා යැයි අපේක්ෂා කිරීම පමණි.

අවසාන වශයෙන්, මේ ව්‍යාපාරයේ නියමුවන් සිතා බැලිය යුතු අභියෝග කිහිපයක් වෙයි. පළමු වැන්න වන්නේ, සැමට එක සමාන අවස්ථා සැලසෙන සටන් බිමක අඩුවයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිඵලයක් වශයෙන්, පවතින පාලන තන්ත‍්‍රයට වාසිදායක අන්දමින් මැතිවරණ රාමුව ඇදේට ගොඩනැගී ඇතිවා පමණක් නොව, මහජන දේපළ සහ සම්පත් ඔවුන්ගේ වාසියට යොදා ගැනීමටත්, විපක්ෂ ව්‍යාපාරයට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය මුදාහැරීමටත් හැකියාව පාලකයන්ට ලැබී තිබේ. එය පැහැදිළිව දන්නා කරුණක් නිසා මේ ව්‍යාපාරයේ නියමුවන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු වී ඇතිවාට සැකයක් නැත. එහෙත්, අඩු වශයෙන් තව අභියෝග දෙකක්වත් ජය ගැනීමට තිබේ. සිටින රාජ්‍ය නායකයා, දකුණේ මහජන සහාය ඇති ජනකාන්ත චරිතයකි. ඒ ජනතාව අතරේ පාලකයාගේ අධිකාරීවාදය බරපතල ප‍්‍රශ්නයක් වශයෙන් නොසැළකේ. අශෝක පන්නයේ රාජකීයත්වයක්, රටේ නායකයා සම්බන්ධයෙන් පිළිගැනීමට මැළිකමක් එහි නැත. මේ නිසා, විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රශ්නයක් වන බව පමණක් නොව, එසේ ප‍්‍රශ්නයක් වන්නේ කෙසේද යන්නත් පිළිබඳ පුරවැසි වැටහීමක් ජනතාවට ලබා දීම ද පොදු අපේක්ෂකයා ඉදිරියේ ඇති අභියෝගයකි. මෙය, උඩුගං බලා පිහිනීමකි. එය, පාලකයාට සහ විපක්ෂට ඇති සම්පත්වල අසමානත්වය විසින් පමණක් නොව, මුහුණදීමට සිදුවන විකෘති කිරීම් සහ අවලාද ගැරහීම් විසින් ද වඩාත් අසීරු කටයුත්තක් බවට පත්කරන්නේය. බිම් මට්ටමෙන් ජනතාව බලමුලූ ගැන්වීමට ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට ඇති සංවිධාන ශක්තිය මෙහි දී ඉතා වැදගත් විය හැකිය. එහෙත් කලින් ද කී පරිදි, එක්සත් ජාතික පක්ෂ යාන්ත‍්‍රණය එදා තිබූ ජවසම්පන්න යාන්ත‍්‍රණය නොවේ. මේ අභියෝගයට මුහුණදීමට නම්, වහාම අතුකෝරාලලා, දිසානායකලා, පණ්ඩිතරත්නලා සහ විමලසේනලාගේ නව පරම්පරාවක් ඇති කරගත යුතුව ඇත.

මේ අභියෝග සියල්ල ජයගත හැකි යැයි මොහොතකට උපකල්පනය කරමු. ඊළඟ ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජය ගනු ඇතැ යි ද සිතමු. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විඳවන රෝග මොන තරම් ඇතත්, අපේ එක සාර්ථකත්වයක් වුණේ, ප‍්‍රජාතන්ත‍්‍රීය ආකාරයකින් ආණ්ඩු වෙනස් කර ගැනීමට තිබූ හැකියාවයි. පරාජය වූවෝ ජනතා තීන්දුව භාරගෙන ගෙදර ගියහ. පොදු අපෙක්ෂකත්වයක ජයග‍්‍රහණයකදීත් එසේම සිදුවේ නම් වෙනත් කියන්නට දෙයක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඒ ගුණාංගය ගැන අපට ආඩම්බර විය හැකිය.

එසේ වෙතත් යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහයේ යම් කිසිවක් බරපතල වෙනසකට ලක්ව ඇති බව දක්වන අනිටු ලක්ෂණ පෙනෙන්ට තිබේ. අධිකාරීවාදයේ සහ හමුදාකරණයේ දෘෂ්‍යමාන සංඥාවන්ගෙන් කියාපාන්නේ, වාර්ගික දෘෂ්ටිවාදී පදනම් මත ඉදි වන අදෘෂ්‍යමාන ගොඩනැංවීමකි. මුක්තිය සහ දණ්ඩමුක්තිය, විශේෂයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සහ යුද අපරාධ නඩු පරිපාටිවලට එරෙහි මුක්තියක් සහ දණ්ඩමුක්තියක් සහතික කෙරෙන කොන්දේසියක් වශයෙන් රාජ්‍ය බලය හැසිරවීම එම ගොඩනැංවීම තුළ ඇත. අපගේ වන් පශ්චාත්-යුද කාලීන වෙනත් රටවල වාගේම, හමුදා නිලධර තන්ත‍්‍රයේ අවශ්‍යතා සහ වඩාත් ලෞකික වරප‍්‍රසාද සුරැුකීමේ අවශ්‍යතාව ඒ තුළ ඇත. එවැනි ගැඹුරු රාජ්‍යයක් – ඇත්තෙන්ම එවැන්නක් ඇත්නම්-, පරාජයක් ඉදිරියේ ජනතා කැමැත්තට හිස නමා අතීතයේ බලය අතහැර ගිය ආකාරයෙන් මත්තටත් යාවි දැ යි බලාගත හැක්කේ අනාගතයේදී ය. එය රැුඳී සිටින ආයතනික අවනීතිය බිඳවැටීමේ දී ඊට ඉඩහැර එය කැමැත්තෙන් බලා සිටී යැයි විශ්වාස කළ හැකිද? සත්තකින්ම මෙහි ඇති උත්ප‍්‍රාසය වන්නේ, මේ ගැඹුරු-රාජ්‍යයේ සැබෑ ස්වරූපය එළියට එනු ඇත්තේ, පොදු අපේක්ෂකත්වයේ ජයග‍්‍රහණයක් ඉදිරියේම පමණක් වීමයි. මේ අවදානම මොන විදිහකින්වත්, ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’ මගින් දියත් කොට ඇති ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා වන ප‍්‍රයත්නය අත්හැරීමට හේතුවක් නොවිය යුතු බව අවධාරණයෙන් කිව යුතුය. ඇත්තෙන්ම මෙය, සාමය, නීතිය හා යහපාලනය යළි ස්ථාපිත කෙරෙනු දැකීමට කැමැත්තක් දක්වන සියල්ලන් විසින් සහාය දැක්විය යුතු, ප‍්‍රයත්නයක් සහ මුලපිරීමකි.

*2014 ජුලි 28 වැනි දා ‘ග‍්‍රවුන්ඞ්වීව්ස්’ වෙබ් අඩවියේ පළවූ “A Triumph of Hope over Experience? A Preliminary Comment on NMSJ’s Road Map”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page