18 April, 2025

Blog

නීතිය, සිවුර සහ ‘තලගොයි න්‍යාය’

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

ගලගොඩඅත්තේ ඥානසාර නම් ශ්‍රමණ වේශධාරියාට සිර දඩුවම් නියම වීමේ සිද්ධියෙහි වැදගත් අතුරු ඵලයක් නම් රාජ්‍යය සහ ආගම අතර ඇති විකෘති කසාදය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට කොතරම් හානිකරද යන්නත්, ලොව විශිෂ්ටතම දර්ශනයක් ලෙස පෙරපර දෙදිගම පිළිගැනෙන බෞද්ධ දර්ශනය ඉතාම පහත් ලෙස අවභාවිත කරමින් සිවුර තම එදිනෙදා බඩවියත රැකගැනීමේ පළිහක් ලෙස යොදා ගන්නා ඊනියා භික්ෂූන් පිළිබඳවත් කතා කරන්නට කදිම අවස්ථාවක් උදා වීමය. එපමණක්ද නොව, රාජ්‍යය කිසියම් ආගමක ආධිපත්‍යයට නතු වූ කල්හි පුරවැසි නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සහ එය සුරැකීම පිණිස පවතින නීතිය වැනි කතිකා හුදු වචන මාත්‍ර බවට පත්ව විහිළුවට ලක් වන ආකාරයත් ඒ සමගම කතා කළ යුතුව ඇත. බෞද්ධ දර්ශනය ගැඹුරින් පිළිගන්නා කිසි කෙනෙකුට එකඟ නොවිය හැකි, සිතින් මවාගත් ‘සිංහල-බෞද්ධ’ වාර්ගිකාගමික මිථ්‍යා මනසක් තුළ බුදුසමය පවා කැත අරමුණු පිණිස පාවා දෙමින් පාදඩ ජීවන වෘත්තයක නියැළෙන චීවරධාරීන් හා ඔවුන්ගේ මෝඩ අනුගාමිකයන් මිනිස් සමාජයට සිදු කරමින් සිටින හානිය ගැන මීට පෙරද අප විසින් පුන පුනා ලියනු ලැබ ඇත. මේ සිද්ධිය ආශ්‍රිතව සමාජ මාධ්‍යවල මේ මොහොතේ හුවමාරු වන දෙස් දෙවොල් තැබීම් පමණක් වුවද අප මතු කළ කාරණාවලට සාක්ෂි දරයි. 

පොලීසි, හමුදා, අධිකරණ, බන්ධනාගාර ආදී ආයතන රාජ්‍ය මර්ධක උපකරණ ලෙස භාවිත වීම සම්බන්ධයෙන් අපට විචාරාත්මක කියවීමක් ඇති බව කලින් ලිපියකදීත් සඳහන් කර ඇතත් ඥානසාර හිරේ යාම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක “නීතිය නැමීමක්” සිදුව ඇති බවට කිසිවෙකුට තර්ක කළ නොහැක. සිදුව ඇත්තේ ඥානසාර පමණක් නොව චීවරය ඉදිරියට දමාගෙන ඕනෑම ජඩ වැඩක් කිරීමට පෙළඹෙන ඇතැම් අවස්ථාවාදී මුද්ධ චීවරධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම අනවශ්‍ය තරම් පමා වීමක් පමණි. මීට පෙරද මොහු පමණක් නොව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මඩකලපුවේ සුමන ඇතුළු තවත් බොහෝ මේ කියන ‘දේවදත්තලාගේ අප්පච්චිලා’ ප්‍රසිද්ධියේ මිනිස් සංහාර සහ ජන පීඩන සිදු කරන විටත්, සිවිල් ජනයාට පමණක් නොව පොලීසි වැනි නීති ක්‍රියාත්මක කරන ආයතනවලට පීඩා කරන විටත් ක්‍රියාත්මක විය යුතුව තිබුණ නීතිය නිහඬ වීම ගැන අප කොතෙකුත් විරුද්ධ වී ඇත. නීතිය වරද්දා ගත්තා නම් වරද්දා ගත්තේ ඥානසාර හිරේ යැවීමෙන් නොව ක්‍රියාත්මක විය යුතුව තිබුණු අවස්ථාවේ පසුබැසීමෙන් පමණි. එය එසේ නොවුණා නම් ඉතාම මානුෂික ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවක් වන කිවිසුම් යාම වැනි දේවලට පවා දැඩි පියවර අනුගමනය කරන අධිකරණ පරිශ්‍රයක් තුළ මෙහෙව් රස්තියාදුකාරයෙකු පිස්සු නටන්නේ නැත. මහේස්ත්‍රාත්වරයා ලබා දුන් මෙම තීන්දුව ගැන අප ඔහුට ගෞරව කළ යුත්තේ පමා වී හෝ සිදු විය යුතු දෙයක් සුළුවෙන් හෝ ඉටු කරමින් නීතිය ගැන අප තුළ නැවත නැවතත් තහවුරු වන්නට ඉඩ තිබුණු අවිශ්වාසය තරමක් දුරට හෝ තුරන් කිරීම නිසාවෙනි. 

බුද්ධාගමද? “සිංහලබුද්ධාගමද?”

ඥානාසාර වැනි අබෞද්ධයෙකුට ලැබුණු මෙම දඬුවම නීතියේ ආධිපත්‍යයේ නාමයෙන් අනුමත කරන අප “බෞද්ධ විරෝධීන්” ලෙස හංවඩු ගැසීමෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බව එසේ කරන නෝනාමහත්වරුන් දත යුතුය. මන්ද, මේ අඳබාල තර්කයට අප සියලු දෙනාම ඕනැතරම් උත්තර ලබා දී ඇති හෙයිනි. කෙසේ වෙතත්, අප පිළිගන්නා බුද්ධ දර්ශනයට අනුව “සිංහල” හෝ වෙනත් වාර්ගික විශේෂණ පදයක් ඉදිරියෙන් මූට්ටු කරන ලද බුද්ධාගමක් තිබිය නොහැක. ඉතාම සරල ලෙස ලියන ලද පොඩි පන්තියේ දහම් පාසල් පොත්වල පවා එසේ කියන්නට තුඩු දෙන කාරණා ඇතුළත්ව ඇත. සමහර විට මේ රස්තියාදුකාර සාදුලාත්, ඔවුන්ගේ දායක සභාවනුත් මේ සා විශාල ආසාසයකින් මේ මිථ්‍යාමය “සිංහල-බෞද්ධ” විහිළුව වෙනුවෙන් ගිරිය පුප්පාගෙන, අම්මා අප්පා පාවාදෙමින් නසින්නට හදන්නේ ඒ තරම් ‘බේසික්’ බුද්ධාගමවත් නොදන්නා නිසා විය හැක. 

බුද්ධ කාලීන භාරතයේ තවත් ආගම් දර්ශන හා ඇදහිලි පද්ධති රාශියක් තිබුණද, සිවුර කරට ගෙන ඒ ආගම් අදහන අය මරා දමන්නට සිය අනුගාමිකයින් කුලප්පු කරමින් මහපාරේ බයිලා ගැසීම බෞද්ධ භික්ෂුවකගේ කාර්යභාරය විය යුතු බවට බුදුන්වහන්සේ දේශනා කළ බවක් බෞද්ධ ඉතිහාසයේ කොතැනකින්වත් හමු නොවේ. එහෙත්. “බුද්ධාගම බේරගන්න පුළුවන් ඩෝ, රට ජාතිය බේරාගන්න මිනීමරන්න වුණත් වරෙං ඩෝ” යි කෑමොර දෙන මෙරට ‘පොප්-(අ)බුද්ධාගමේ’ ‘තග්ස්ලා’ මේ දැන් බුදුන් ලංකාවට වැඩියත් මහාමායා දේවියටද ‘බැල්ලකට’ සේ අවලාද නගමින් ‘බුදුන් මරන්නට’ පෙරමුණ ගැනීමට ඉඩ ඇති හේතුවද සමහරවිට මෙයම විය හැක. 

හිඟනකම සහ මහණකම?

හිත රිදෙන්නට ඉඩ ඇතත් නොකියාම බැරි, කවුරුත් පිළිගන්නා සත්‍යයක් වන්නේ මේ චණ්ඩි සාධුලා අති බහුතරය ශාසනයට ඇතුළු වී ඇත්තේ බෞද්ධ ඉතිහාසය තුළ අපට හමුවන සිද්ධාර්ථ කුමාරයා මෙන් ගිහිගෙය කලකිරීමෙන් හෝ සංසාරයෙන් එතෙර වීමට හැකි විමුක්ති මාර්ගයක් සෙවීමේ අභිලාෂයෙන් හෝ නොවන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ අයට බුදුන් අනුදැන වදාළ මග යනවාට වඩා දේශපාලනාධිකාරිය සමග සිවුරට ඇති හෙජමොනික බල කතිකාව යොදා ගනිමින් බඩගෝස්තරවාදය උපයා ගැනීම ඉහළම ප්‍රමුඛතාව බවට පත් වී ඇත්තේද ඒ නිසාය. මෙවැනි බොහෝ චීවරධාරීන් ඇත්තටම ශාසනයට ඇතුළු වී ඇත්තේ බුද්ධ දර්ශනය කෙරෙහි ඇති වූ කිසිදු පැහැදීමකින් නොව හුදෙක්ම තම පැවැත්ම පිණිස කරන ‘ජොබ්’ එකක් සේ සලකාය. 

සාමාන්‍යයෙන් දරුවන් වැදීමෙන් පසුව හදාවඩා ගැනීමට නොහැකි වූ විට ශාසනයට “පූජා කිරීමේ” පුරුද්ද ගැන කිසවෙකුට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැත. මෙය ජනප්‍රිය සත්‍යයකි. ඊනියා භික්ෂූන් බිහි වීමට බලපාන තවත් හේතු ඇතත් මේ හේතුව නම් ප්‍රමුඛ ලෙසම ඇති බව මේ අයගේ වත්මන් හැසිරීම බලන විට පෙනී යයි. මුල් කාලීනව අනුකම්පා කළ යුතු තත්ත්වයක් වුවද ආයතනගත ආගමික සංස්ථා තුළ, අවස්ථාවාදී දේශපාලනයේද සහායෙන් පැලපදියම් වීමෙන් අනතුරුව කරන මුග්ධ වැඩ බලන විට නම් දැඩි පිළිකුළෙන් හෙළා දැකීම හැර විකල්පයක් ඇතැයි අපට නම් නොපෙනේ. මීට වඩා මහමග හිඟාගන යාචකයන් උත්තම වන්නේ අඩුම තරමින් හැකි අයුරින් සින්දුවක් හෝ ගායනා කොට කීයක් හරි හොයාගෙන වේල සරිකරගන්නා ඔවුන් මෙන් නොවන මේ අය මිනිසුන් මුළා කරමින්, ඔවුන්ගෙන්ම බඩගෝස්තරේ රැකගනිමින්, ඔවුන්ටම ‘කෙළවීම’ නිසාය. 

ඥානසාරට සිර දඬුවම් නියම වූ මොහොතේ සිටම අධිකරණයටත්, නීතීයටත්, කාන්තාවන්ටත් ඉතාම නින්දිත ලෙස අපහාස කරමින් ෆෙස්බුක්හි තටමන “දූෂණ විරෝධී” උලපනේ සුමංගලාදී දේවදත්තලා වැටෙන්නේද මේ ගණයටමය. ගෑනුන්ම උයන බත් ගිල ගැහැනියක්ම වන සන්ධ්‍යා එක්නැලිගොඩට “වේසි”, “හැමනියං”, “කොටි දෙන” ආදි නොයෙකුත් අපහාසාත්මක වැකි ඇතුළත් සටහන් තබමින් මොහු ඇතුළු තවත් ‘සිවුරු හොරුන්’ හැසිරෙන අන්දම මේ මොහොතේත් මේ අයගේ ප්‍රොෆයිල් නිරීක්ෂණය කරන්නෙකුට දත හැකිය. මේ අයගේ අනුදැනුම මත අප “බල්ලන්ට ජාතක වූ සමනලුන්” වැනි සංසර්ගීය මූලධර්ම පවා කිචි කවමින් හිනස්සන අමණ තර්ක ගෙන එය මෝඩ උපාසකලා පිළිගත්තත් නැතත්, ‘හිඟනකමට මහණ කරන’ මෙවැනි තක්කඩින්ගෙන් තරම් වෙන කිසිම තැනකින් බුද්ධාගමට තර්ජනයක් නැති බව ප්‍රබුද්ධ සමාජය පිළිගන්නා බවට සැකයක් අපට නැත. 

තලගොයි න්‍යායය සහ දේශපාලනික මුග්ධකම

කන්ට ගියාම කබරගොයාත් තලගොයා බවට පත් වෙනවාය යන්න අපේ සිංහල ව්‍යවහාරයේ අනාදිමත් කාලයක සිට ජනප්‍රිය යෙදුමකි. ප්‍රගීත් “කොටියෙකි” යන තර්කය ඇදබාමින් ඔහු අතුරුදන් කරවීම සාධාරණීකරණය කරන කබරගොයි කරුණා අම්මන් වැනි හිටපු කොටින් හුරතල් කරන විට අපූරු තර්ගයක් ගෙන එති. එනම්, කරුණා “හිටපු” කොටි සාමාජිකයෙකු බවත්, යුද්ධය ජය ගැනීමට උපායමාර්ගික සහායක් ලබාදුන් බවත්ය. ‘රණවිරුවන්’ වෙනුවෙන් යැයි කියමින් කුණුහරුප වපුරුවන මේ අය, ආරක්ෂක අංශ සාමාජිකයින් ලවා කරුණාට “සර්” කියවමින්, සැලියුට් ගස්සට විට මීක් නොකීවේ මන්දැයි ප්‍රශ්නයකි. ප්‍රගීත් “කොටියෙකු” නම් කළ යුතුව තිබුණේ නිසි නෛතික පියවර ගැනීමද? හිටිගමන් අත්තනෝමතික ලෙස අතුරුදන් කරවීමද? මේ ප්‍රශ්නය දැන් මේ මහත්තුරුන්ගෙන් අහලාම ඇති වෙලාය. කරුණා සම්බන්ධයෙන් මේ අය ගෙන එන තර්ක හරිහමන් ‘රණවිරුවෙකුට’ ඇසුණා නම් මල්ටි බැරල් හයිකරන්නේ මේ අයගේ අධෝ මාර්ගයේ බවට සැකයක් නැත!

මේ අතරම, “භික්ෂූන් අත්අඩංගුවට ගැනීමේදී අදාළ පාර්ශ්වයේ මහ නා හිමිවරුන් දැනුම්වත් කළ යුතු” බව පාඨලී චම්පික ප්‍රකාශ කර ඇත්තේ කොහෙන්දැයි අපි නොදනිමු. පළමු ප්‍රශ්නය නම් ඥානසාර භික්ෂුවක්ද? එසේ නම් එම තර්කය තුළ ගෞතමයන් කවුද? යන්නයි. දෙවැන්න, චීවරධාරීන් පාදඩ වැඩ කරමින් බුද්ධාගම විනාශ කරන විටත්, අපරාධ කරමින් සමාජයට වින කරන විටත් මහනායක හිමිවරුන්ගෙන් අවසර ගෙන ඇතිද? යන්නයි. පාඨලී, ගම්මන්පිල, වීරවංස වැනි අය අතරේ මට නම් ඇත්තේ නූල් කීපෙක පරතරයක් නිසා ඒ ගැන මහන්සි වී උත්තර හෙවීම අවශ්‍ය නැතත් මේ ප්‍රශ්න නොඅසාම බැරිය. 

මේ සිංහල-බෞද්ධ දායක සභාවේ මහත්තුරු සහ නෝනලා උදේ වැඩට ගොස් හවස ගෙදර නොඑන දිනක ඒ අය වෙනුවෙන් දුක් නොවන අය  මේ ලිපිය නැවත කියවන්න!

Latest comments

  • 2
    5

    Ashan Weerasinghe: In the past, bhikkus had been shot by the british. Sinhala ministers and kings had been killed by the colonials. they said the same thing. You do not know the sinhala buddhist civilization as you are foreign to that, you write this way.

  • 1
    0

    Only escape is defeat the anti-buddhist politicians. This time Maithripala sirisena also will go. Get closer to China. So, west can not force us things.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.