25 October, 2020

Blog

සියවසේ සමුළුව: මහ පෙළහරේ සාරයක් තියේවිද?

අමීන් ඉසදීන් –

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උං අතර පසුගිය දා පැවති හමුව පිළිබඳ අදහස් දක්වන බොහෝ විචාරයකයන් කියා සිටියේ මේ නායකයන් දෙන්නාගේ ප‍්‍රදර්ශනය යථාර්ථයක් කර ගැනීම සඳහා දෙන්නාම එක සේ කටයුතු කළ යුතුව ඇති බවයි. උතුරු කොරියානු නායකයා, මේ විචාරකයන්ටත් ප‍්‍රතිචාරයක් වශයෙන් සලකාගෙන දෝ, මෙය හිතළුවක් හෝ විද්‍යා ප‍්‍රබන්ධනයක් හෝ නොවන බව ඇමරිකානු ජනාධිපතිවරයා අමතා කීය. මැලේ භාෂාවෙන් සාමය සහ සමථය යන අරුත් දෙන ‘සෙන්ටොසා’ නැමැති, සිංගප්පූරුවට අයත් දූපතේ පසුගිය අඟහරුවාදා පැවති අදහාගත නොහැකි ඒ රාජ්‍ය නායක හමුවේ වැදගත් කම ඒ සා ප‍්‍රබල එකකි.

කෙලෙසකින්වත් සිදුවිය නොහැක්කක් යැයි මීට මාස කිහිපයකට කලින් කවුරුත් සිතූ දෙයක් දැන් සිදුව තිබේ. මීට මාස දෙක තුනකට පෙර මේ නායකයන් දෙන්නා සිටියේ, එකිනෙකාට අවලාද නගමිනි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඉතිහාසය තුළ, මේ සිංගප්පූරු සමුළුව දැන් ඓතිහාසික සිදුවීමක් බවට පත්ව ඇත. සමහර විට මෙය දෙවැනි වනු ඇත්තේ, 1972 ඇමරිකානු ජනාධිපති රිචඞ් නික්සන් සහ චීන නායක මා ඕ සේතුං අතර හමුවට පමණක් විය හැකිය.

කෙසේ වෙතත්, බලාපොරොත්තු දල්වා ගැනීමේදී තරමක් පරිස්සම් විය යුතුව තිබේ. රටවල් දෙකක් අතර වසර 65 ක් තිස්සේ පැවති ඓතිහාසික විරසකයක්, මේ සාකච්ඡාවෙන් පසු සමනය වී, කොරියානු අර්ධද්වීපයට වහා සාමය උදා වෙනු වෙතැයි දැන්ම කිව නොහේ. ඒ සඳහා ඇති ඉදිරි මාර්ගය බොහෝ බාධකවලින් පිරී පවතී. කෙසේ වෙතත්, ඒ ගැන සාකච්ඡාවට පෙර, මේ ප‍්‍රශ්නයේ ඉතිහාසය පිළිබඳ වචනයක් කීම වැදගත් වෙයි.

1950 ජුනි 25 වැනි දා ආරම්භ වූ කොරියානු යුද්ධය, 1953 ජුලි මාසයේ සිට සටන් විරාමයකට අවතීර්ණව ඇතත්, තාක්ෂණිව ගත්තොත්, තවම එම යුද්ධය අවසන්ව නැත. 1953 දී සක‍්‍රීය යුද්ධය අවසන් වුණේ කිසි පාර්ශ්වයකට පැහැදිළි ජයක් අත්කර දෙමින් නොවේ. එසේ වෙතත්, සදාචාරමය ජය හිමි වුණේ උතුරු කොරියාවටයි. දකුණු කොරියාවේ සහායට එදා ඇමරිකාව ඉදිරිපත් නොවුණි නම්, එම යුද්ධය අවසන් වනු ඇත්තේ උතුරු කොරියාවට ජයග‍්‍රහණයක් ලබා දෙමිනි.

උතුරු කොරියාව විසකුරු රටක් වශයෙන් ඇමරිකාව විසින් හඳුන්වනු ලැබුවත්, ඇමරිකාවත් විවිධ අවස්ථාවල යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනාවට ලක්වෙයි. උතුරු කොරියාවේ වර්තමාන නායකයාගේ සීයා වන, උතුරු කොරියාවේ අසහාය නායකයා වශයෙන් සලකණු ලබන කිම් ඉල් සුං, දුරදක්නා නුවණින් යුක්ත වූවෙකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පැවති සීතල යුද්ධ කාලයේ බටහිර ධනපති කඳවුර සහ සෝවියට් සමාජවාදී කඳවුර අතර පැවති තරගයේ ප‍්‍රතිඵලයක් වශයෙන්, 1948 දී කොරියාව නැමැති රට 38 වැනි සමාන්තර රේඛාව ඔස්සේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව වශයෙන් රටවල් දෙකකට බෙදා වෙන් කෙරුණි. ඉන් පසු උතුරු කොරියාව සෝවියට් දේශයේ අනුග‍්‍රහයත්, දකුණු කොරියාව ඇමරිකාවේ අනුග‍්‍රහයත් ලැබීය. මෙසේ රට දෙකට බෙදීමෙන් පසු, උතුරු කොරියානු නායක කිම් ඉල් සුං, වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ, සමාජවාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ මාලාවක් ඔස්සේ එම රට සමෘද්ධිමත් රටක් බවට පත්කෙළේය. ඉන් පසු, බෙදී පැවති කොටස් දෙක එක රටක් වශයෙන් එක්සේසත් කිරීම සඳහා උතුරු කොරියාව විසින් 1950 දී දකුණු කොරියාව ආක‍්‍රමණය කරනු ලැබීය.

කඩිනම් ජයග‍්‍රහණ කිහිපයක් අත්කර ගනිමින් උතුරු කොරියානු හමුදා කොරියාවේ දකුණු තුඩුවේ පිහිටි පුසාන් නැමැති ප‍්‍රදේශයටත් ළඟා විය. එහෙත් ඇමරිකානු හමුදා එහිදී මෙම යුද්ධයට මැදිහත් විය. ඒ වන විට, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පරාජයට පත්ව යටත්ව සිටි ජපානයේ පිහිටා තිබූ ඇමරිකානු හමුදා ක‍්‍රියාන්විතය භාරව සිටි ඇමරිකානු ජෙනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ නායකත්වය යටතේ කොරියානු යුද්ධයට අවතීර්ණ වූ ඇමරිකාව, උතුරු කොරියානු ආක‍්‍රමණය, පුසාන් ප‍්‍රදේශයෙන් නතර කිරීමට සමත් විය. මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හසුරුවා ගනිමින් සහ රුසියානු නියෝජිත මණ්ඩලය පවා නොමග යවමින්, කොරියානු යුද්ධයට ජාත්‍යන්තර හමුදාවක් මැදිහත් කැරැුවීමට ඇමරිකාව සමත් විය. එයින් පසු යුද්ධයේ ඉරණම මුළුමණින්ම අනිත් පැත්තට හැරුණි. යුද්ධය අවුරුදු තුනක් දිග්ගැස්සෙන අවස්ථාව වන විට, ඇමරිකානු සහ මිත‍්‍ර පාර්ශ්ව හමුදාවන්ට උතුරු කොරියාව සමතලා කර දැමීමට හැකි විය. උතුරු කොරියානු ජනගහනයෙන් සියයට 20 ක් එහිදී විනාශයට පත්වූහ. කෙසේ වෙතත්, යුද්ධයේ අවසාන අදියරේදී උතුරු කොරියාව වෙනුවෙන් චීනය කෙලින්ම යුද්ධයට ඉදිරිපත් වීම නිසා, 38 වැනි සමාන්තර රේඛාව ඔස්සේ රටවල් දෙක වෙන් කරමින්, සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීමට හැකියාව ලැබුණි. තවමත් උතුරු කොරියාව සහ දකුණු කොරියාව යන රටවල් දෙක වෙන් වන්නේ ඒ රේඛාවෙනි.

එදා පටන් උතුරු කොරියානුවන් තමන්ගේ අබග්ගයට හේතු වූ ඇමරිකාව දෙස බලන්නේ තමන්ගේ පරම හතුරෙකු වශයෙනි.

තත්වය එසේ වුව ද, පසුගිය දා පැවති සමුළුවේදී, උතුරු කොරියානු නායක කිම් ජොං උං, ඇමරිකානු ජනාධිපති ඩොනලඞ් ට‍්‍රම්ප් අමතා මෙසේ කීය: ‘‘මේ තත්වයට එන එක ලේසිපාසු දෙයක් වුණේ නැහැ. අපේ අතීතය අපිට ඉඩ දුන්නේ නැහැ මේ වගේ දේකට. අතීතයේ වෙච්ච දේවල්වලින් සහ අගතීන්වලින් අපේ ඇස් කන් වැහිලයි තිබුණේ. ඒත් ඒ හැම දෙයක්ම ජයගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.”

යමක් කරනවාට වඩා කීම පහසු ය. හැත්තෑ වසරක කෝන්තරයක නීරස අත්දැකීම්වලින්, සාමයේ දොරටුව ඇර ගත හැකි යතුරක් කපා ගත හැකි වේ නම්, එය ලෝක පුදුමයක් වනු ඇත. එහෙත් සැතපුම් දහස් ගණනක ගමනක් වුව ආරම්භ කළ යුතු ප‍්‍රථම අඩියක් තිබිය යුතු බව කෙනෙකු මෙහිදී කියනු ඇත. මිදුණු අයිස් කුට්ටිය කඩා තිබෙන බව ඇත්ත. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, එම අයිස් දිය වීමේ ක‍්‍රියාවලිය පටන් ගෙන ඇත් ද යන්නයි.

සිංගප්පූරු සමුළුව යනු, හාද්දක් දී සියල්ල බේරුම් කර ගත හැකි අවස්ථාවක් නොවේ. ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙන්ම කිම් ජොන් උං ද දැඩි මතධාරීන් ය. මේ සමුළුව, වැඩකාරයන් දෙන්නෙකුගේ තියුණු සටනක් බව පෙනෙන්ට තිබේ. එහිදී, සාමාන්‍යයෙන් ට‍්‍රම්ප්-විරෝධී ඇමරිකානු මාධ්‍යයේ අදහස වන්නේ, දැනට කිම් ජයගෙන ඇති බවයි. අතට අත දීම්, පිටට තට්ටු කර ගැනීම් සහ වෙනත් රාජ්‍ය තාන්ත‍්‍රික සුකුමාරකම් අස්සේ, අන්‍යොන්‍ය අවිශ්වාසයේ සේයාවක් සහ තමා මුදුනා වීමේ ප‍්‍රයත්නයක් ඇති බව, තියුණු නිරීක්ෂකයෙකුට පෙනී යනු ඇත. එකිනෙකා අනිකා දෙස හොරැුහින් බලන ආකාරය අනුව- විශේෂයෙන් කිම් ජොන් උං අනෙකා දෙස හොරෙන් බලන ආකාරය අනුව සහ සමුළුවෙන් පසුව නිකුත් කළ නිල නිවේදනවල දක්නට ලැබෙන නොපැහැදිළි වචන සහ යෙදුම් අනුව, යටින් ඇති යථාර්ථයන් පෙන්නුම් කෙරේ. කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික-හරණය (න්‍යෂ්ටික බලය අතහැර දැමීම) කරන බවට කිම් ප‍්‍රතිඥා දෙන අතරේ, ට‍්‍රම්ප් එම අර්ධද්වීපයේ ආරක්ෂාව සහතික කර දෙන බවට ප‍්‍රතිඥා දෙයි. එහෙත් ඒ තුළ, නිශ්චිත වූත්, සංයුක්ත වූත් දෙයක් දක්නට නැත.

ඔවුන්ගේ පොදු ප‍්‍රකාශය තුළ අන්තර්ගත කිසිවක් අලූත් දේවල් නොවේ. මේ හා සමානම පොරොන්දු මීට පෙර 2005 පැවති සාම සාකච්ඡා තුළදීත් දක්නට ලැබුණි. එහෙත් ඒ සාම ගිවිසුම අත්සන් කළ තීන්ත වේලීමටත් කලින් ඒවා උල්ලංඝණය කෙරුණි. මේ සමුළුව අවසන් වී පැය කිහිපයක් ගිය පසු දෙපාර්ශ්වයම, එකිනෙකාට වෙනස් අර්ථකථන දෙමින්, විසඳුම දුෂ්කර කෙරෙන කතා කීමට වන්හ. උදාහරණයක් වශයෙන්, තමන් සිංගප්පූරුවේදී එකඟ වුණේ, කොන්දේසිවලට යටත්ව, පියවරෙන් පියවර කෙරෙන න්‍යෂ්ටික-හරණයකට බව උතුරු කොරියාවේ එක් ප‍්‍රකාශයකින් කියැවුණි.

අනිත් අතට, උතුරු කොරියාව මත පනවා ඇති ආර්ථික සම්බාධක වහා ඉවත් කිරීමේ තීරණයක් ඇමරිකාව පැත්තෙන් ගැනුණේ නැත. මේ සමුළුවේ සාර්ථකත්වය රඳා පවතින්නේ, එකිනෙකා කෙරෙහි අනිත් පාර්ශ්වය සපයන සහනයන් මත වන බවත් මතක තබා ගත යුතුය. උතුරු කොරියාව සම්බන්ධයෙන් ගත් විට, තමන් මත පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කරවා ගැනීම ඔවුන්ට අතිශය වැදගත් දෙයකි. දැන් ප‍්‍රශ්නය වන්නේ, මුල්ම පියවර ගන්නේ කවුද යන්නයි. තමන්ගේ රටේ තිබූ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කෙරෙමින් පැවති පර්යන්තයක් උතුරු කොරියාව ගිය මාසයේ ගළවා ඉවත් කොට ඇති නිසා, එය තමන් දැනටමත් ගෙන ඇති ප‍්‍රථම පියවරක් වශයෙන් උතුරු කොරියාව පෙන්වා දිය හැකිය. ඒ මත පදනම්ව, තමන් මත ඇමරිකාව පනවා ඇති ආර්ථික සම්බාධක කිහිපයක්වත් අඩු වශයෙන් දැන් ඉවත් කළ යුතුව ඇතැයි ඔවුන් ඉල්ලා සිටින්ට පුළුවන. එහෙත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මේ සමුළුවෙන් පසුව දකුණු කොරියානු සහ ජපාන රාජ්‍ය ලේකම්වරුන් දෙන්නා සමග පැවති සාකච්ඡුාවකදී කියා ඇත්තේ, උතුරු කොරියාව පැත්තෙන් ‘පූර්ණ න්‍යෂ්ටික-හරණයක්’ පෙන්වන තෙක් කිසි ආර්ථික සම්බාධකයක් ඉවත් කිරීමට ඇමරිකාව සූදානම් නැති බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ එම ප‍්‍රකාශය, ඇමරිකානු ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයක අඩංගු අදහසට වෙනස් ය. සමුළුව අවසන් වීමෙන් පසුව, ආපසු සිය රට පැමිණි සැණින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ‘‘ආපහු රටට ගොඩබැස්සා. දිග ගමනක්.. ඒත් මං ජනාධිපති ධුරයට පත්වෙච්ච දවසට වඩා අද කාටත් පුළුවන් ආරක්ෂාව පිළිබඳ හැඟීමකින් ඉන්න. දැන් උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික තර්ජනයක් නැහැ.’’

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මේ පණිවිඩයෙන් පෙනෙන්නේ, ජාත්‍යන්තර සාමයකට වඩා තමන්ගේ රටේ ඡන්ද පදනම ගැන ඔහු සැලකිලිමත් වන බවයි. එම ඡන්දදායකයන් අතරේ මේ සමුළුව ඔහු සම්බන්ධයෙන් වැදගත් තැනක් ගත්තේය. වෙනත් ඇමරිකානු ජනාධිපතිවරුන් කිරීමට පස්ස ගැසූ දෙයක් ඔහු කළ බව ඔවුන්ගේ අදහසයි. ගිය සතියේ කැනඩාවේ පැවති ‘හත් දෙනාගේ කණ්ඩායමේ’ (ලෝකයේ පොහොසත් රටවල් හතේ- ඇමරිකාව, ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, ජපානය, කැනඩාව සහ එක්සත් රාජධානිය ඇතුළත්) සමුළුවේදී ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙවැනිම දැඩි තීරණයක් ගෙන තිබුණි. එම කණ්ඩායමේ අනිත් සාමාජික රටවල් ඇමරිකානු වෙළඳ කොන්දේසි සහ තීරුබදු ප‍්‍රතිපත්ති ලිහිල් කළ යුතුව ඇතැයි උදක්ම ඉල්ලා සිටියදීත් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්තිය වී තිබුණේ, ‘මුලින්ම ඇමරිකාව’ යන ප‍්‍රතිපත්තියයි.

සිංගප්පූරුවේ සහ කැනඩාවේදී ට‍්‍රම්ප් අනුගමනය කළ මේ ත‍්‍රාසජනක ක‍්‍රියා ඔහුගේ ඊළඟ ජනාධිපතිවරණයේදී (2020) ඔහුට වාසියක් විය හැකිය. එහෙත් එසේ වූ පමණින් ඔහු ලෝකයේ සාම කුරුල්ලෙකු බවට පත්වන්නේ නැත. මීට පෙර, ජාත්‍යන්තර නීතියත් කඩ කරමින් ඊශ‍්‍රායලයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය යෙරුසලමට මාරු කිරීම, සාමයට ආදරය කරන රාජ්‍ය නායකයෙකු කරන දෙයක් නොවේ.

ඇමරිකාවෙන් සැපයෙන ඩොලර් බිලියන කිහිපයක් සඳහා හෝ දැනට දකුණු කොරියාව සමග එක්ව ඇමරිකාව කරගෙන යන සංග‍්‍රාම අභ්‍යාස නතර කිරීමේ පොරොන්දුව සඳහා, තමන් සතු උපාය මාර්ගික අවි පහසුවෙන් පසෙකින් තැබීමට තරම් උතුරු කොරියානු නායකයා නෝන්ජල් නොවේ. මේ ගිවිසුමෙන් තමන්ට ලැබෙන ප‍්‍රතිලාභ, තමන් අතහරින දේවල්වලට වඩා වටිනාකමින් වැඩි විය යුතු යැයි ඔහු සිතනවා නොඅනුමානයි. ඒ නිසා, පරදුවට ඇති දේවල්වල වටිනාකම අධික ය. දැනට උතුරු කොරියාවට කවුරුත් සලකන්නේ ඔවුන් සතු න්‍යෂ්ටි අවි ශක්තිය නිසා ය. එම හයිය පාවිච්චි කරමින් ඔවුන් ඇමරිකාව සමග තවදුරටත් තරගයේ යෙදෙනු ඇත. එහෙත් ඒ සමගම, තම රටේ ආර්ථිකය සංවර්ධනය කර ගැනීමේ අර්බුදයටත් උතුරු කොරියාව මුහුණදී සිටී.

අනිත් පැත්තෙන් ඇමරිකාව සහ චීනය අතර සීතල යුද්ධ තත්වයක් ඉන්දු-ශාන්තිකර කලාපයේ මේ වන විට උත්සන්න වෙමින් පවතින තත්වය තුළ, ඇමරිකාව සහ උතුරු කොරියාව අතර පැවති මේ සමුළුව, කඳවුරු දෙකක් අතර සංහිඳියාවක් වශයෙන් සරළව ගිණිය නොහැක. උතුරු කොරියාවට ලෝකයේ සිටින එකම විශ්වාසවන්තයා චීනය වන තත්වයක් තුළ, දීර්ඝ කාලයක් තිස්සේ චීනයෙන් සැපයෙන ඒ ජීවනාලියට පස්ස හරවා, ඇමරිකාව සමග නොදන්නා ගමනක් යාමට උතුරු කොරියාව ඉදිරිපත් වෙතැයි සිතීම උගහට ය.

*2018 ජුනි 15 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Summit of the Century: Will there be Substance from the Show-Piece?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    US was spending money to protect a falling down empire. They wasted money by trying to be the only police for the world. Otherwise, they would have beena very rich country. Western media doe snot inform. Otherwise, TRUMP took some good decisions recently. USA is decided by not going to direct wars with any country. they did that after the vietnam war. In that sense, instead of destroying small countries, harassing bigger nations, they should have worked in a different way. that is christian thinking. ALmighty is all powerful. Look china. Live and let live.

  • 0
    0

    I heard for some mock attacks for an intended war games, Humongous loaed plained flew six hours to korean peninsula just to drop the load of bombs to the sea. that is stupid.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.