24 October, 2017

දේශපාලනික උණ්ඩුක පුච්චවලින් හෙට දිනවත් නිදහස් කළ යුතුය

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

එස්. මහින්ද හිමියන්ගේ කවි අප කියවිය යුත්තේ ඒවා ලියැවුණු සමාජ-ඓතිහාසික සන්දර්භය මත පිහිටා ය. ඒ අනුව ගත් විට අදහස් කෙසේ වෙතත් උන්වහන්සේගේ කවිවලින් අපූරු කවිත්වයක් ඉස්මතු වන බව නොරහසකි. කෙසේ වෙතත්, විමල් වීරවංස රිමාන්ඩ් කිරීමේ ව්‍යාජ රංගනය (මේ ආණ්ඩුවද දේශපාලඥයන් රිමාන්ඩ් කිරීම් සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශ කිරීමට අපට ඕනෑ තරම් හේතුසාධක සපයා තිබේ) පදනම් කරගෙන උන්වහන්සේගේ “ඉටු කොට කළ යුතු යුතුකම්” කවිය පෝස්ටර්වල පට්ටා ගසා තිබීම එක අතකින් මේ මවාගත් ඊනියා දේශප්‍රේමයේ සෙළුව නිරාවරණය කරන්නකි. විමල් හිරේ ගියේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කොට නොව තම පවුලේ අය සහ සහචරයන් වෙත රාජ්‍ය දේපල පාවා දීමේ චෝදනාව මත බව නොපිළිගන්නා කෙනෙක් නැත (ඔවුන් සහ පවුලේ අය හැර). සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා නම් හේතුසාධක සහිතවම හොරා කෑ බව හසු වීම මත ය. එස් මහින්ද හිමි යුතුකම් ඉටු කරන්නට කීවේ රට වෙනුවෙන් මිස පවුලේ හෙංචයියන් වෙනුවෙන් නොවේ. ඕනෑම පල් හොරෙකුගේ අවසන් ආවරණ රෙදිකඩ ජාති+දේශප්‍රේමය නිසා විමල් වැනි අයට තවත් බොහෝ කාලයක් මේ බොරුව පවත්වාගෙන යා හැක. මේ අතරම, විමල් පාර්ශ්වය පසුගිය “යුද්ධය අවසන් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ නිසා” අදාළ වාහන පැවරීම ඒ කාර්යය වෙනුවෙන් කළ බවට ඔහුගේ සමීපතමයෙකු සිදු කර තිබුණු ප්‍රකාශයක් උපුටා දක්වමින් සමාජ මාධ්‍යවල පළ කෙරුණු එක් අදහසක් වූයේ “යුද්ධ ටැංකි වෙන්න ඇති දෙන්න ඇත්තේ” යන්නයි. මේ එක සිදුවීමකි.

විමල් වීරවංසලාගේ විකාර රංගන හැරුණුකොට මේ දිනවල කතා කළ යුතු මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ අතුරලියේ රතන හිමි “ස්වාධීන” (?) වෙන්නට ගත් තීරණයයි. උන්වහන්සේද මේ ආණ්ඩුව පිහිටුවීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ පිරිසෙන් අයෙකි. කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව යහපාලනය යන සමස්ථ දේශපාලනික සංකල්පයම උල්ලංඝනය කරනු දැක දැක උන්වහන්සේ අවංකව ගත යුතු වඩාත් බුද්ධිගෝචර තීරණය නම් “ස්වාධීන” වී කට පියාගැනීම නොව ආණ්ඩුව තුළම හිඳ ආණ්ඩුවට බලපෑම් කිරීමය. එසේ කිරීම අසීරු කාර්යයක් බව අපි දනිමු. එහෙත් මේ අමාරුම මොහොතේ එවැනි දායකත්වයක්වත් ලබා දීමට හිත හදාගත නොහැති රූකඩ නඩත්තු කිරීමට පුරවැසි අප වෙහෙසිය යුතුද?

Wimal Weerawansaඅනෙක් අතට රතන හිමිගේ “ස්වාධීන”කමේ දිග පළල කොතෙක්ද යන්නද අපට නම් ප්‍රශ්නකාරීය. අතුරලියේ රතන යනු එක කකුලත් හෙළ උරුමයේ තබාගෙන සිටින්නෙකි. උන්වහන්සේගේ මේ කියන ‘ස්වාධීනකම’ ගැන මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නවලට හෙළ උරුමයෙන් ලබා දී ඇති ප්‍රතිචාරවලින්ද මේ බව ගම්‍ය වෙයි. හෙළ උරුමයේ දේශපාලනික දැක්ම, පවතින වාතාවරණය තුළ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයකට බාධාකාරී විය හැක. මීටත් වඩා භයානක කාරණය නම් පාඨලී චම්පික රණවකගේ 2020 ජනපති සිහිනය පිළිබඳ ඉඟියයි. මේ කරුණු කියවන කෙනෙකු “ඇයි පාඨලී ජනාධිපති වුණොත් බයද?” යන ප්‍රශ්නය මගෙන් ඇසුවහොත් මා දෙවරක් නොසිතාම දෙන උත්තරය “ඔව්, සහතිකේටම බයයි” යන්නයි. පාඨලීලා නියෝජනය කරන දෘෂ්ටිවාදීමය පසුබිම ඇතැම් විට මහිද රෙජීමයට වඩා භයානක වීමේ අවදානමක් ඇතැයි විශ්වාස කිරීමට අපට අයිතියක් ඇත. හේතුද ඇත. අනෙක් අතට, මහින්ද රෙජීමයේ මිනීමරු සම්ප්‍රාප්තියේ සාක්ෂිකරුවෙකු ලෙස දැනටමත් හංවඩු ගැසී සිටින, ආයතන සංග්‍රහයට පවා නිගා දුන් දූෂිත රාජ්‍ය නිලධාරියෙකු බව ක්‍රියාවෙන්ම ඔප්පු කළ, එහෙත් කිසිදු වගවිභාගයකින් තොරව අදටත් යෙහෙන් වැජඹෙන ගෝඨාභය රාජ්‍ය පාලනයට රිංගවා ගැනීමේ කූඨ උපක්‍රමය දැනටත් යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් විසින්ම අරඹන ලදුව ඇති බවද අපි දනිමු. මේ තවත් සිදුවීම් කිහිපයකි.

ශ්‍රී ලාංකේය දේශපාලනික සන්දර්භය තුළ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යන වචනයම අවලංගු අකුරු ගැලපුමකි. අප දන්නා පරිදි ගෝලීය දේශපාලනය තුළ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ (democracy), ‘යහපාලනය’ (good governance) වැනි සංකල්පවලට අඩුම තරමින් න්‍යායික තෙරුම්වත් තිබෙන නමුදු ශ්‍රී ලංකාවේදී ඒවා හුදෙක්ම මැතිවරණ ගුංඩු පමණක් බවට ලඝු වේ. මේ බවට 2015 ජනවාරි 08 සිට මේ දක්වා කාලයම නිදසුන් සපයයි. සාමාන්‍ය ව්‍යවහාරයේ වචනවලින් කියනවා නම් හුදෙක්ම ‘ගොන් පාට්’ ය.

පවතින මෙවැනි තත්ත්වයන් තුළ 2015 ජනවාරි 08 ජනපතිවරණයෙන් රැවටුණු පුරවැසි බහුතරය 2020 ජනපතිවරණය ගැන බරපතල සිහින මැවිය යුතු නැත. මේ දැනටමත් පාවා දී තිබෙන්නේ මෑත කාලීන දේශපාලනික ඉතිහාසය තුළ අපට හමු වූ වැදගත්ම හා තීරණාත්මකම ඓතිහාසික හැරවුම්කාරකයකි. එක්තරා වාමාංශික චින්තකයෙකු මෑතකදී ජනවාරි 08 හැරවුම්කාරකය “මහා ලොකු එකකැයි” සිතා සිටින පිරිස් විවේචනය කළද අපට නම් ඇත්තටම එය මහා ‘ලොකු’ එකක් ම විය. මන්ද, එවැනි පුරවැසි පුබුදුවක්, පොදු නැගිටීමක් සෑහෙන කාලයකට උදා නොවනු ඇති හෙයිනි. එවැන්නක් උදාකර ගැනීමට නම් අවශ්‍ය වැදගත්ම පූර්ව-කොන්දේසියද මහින්ද වැනිම (හෝ ඊටත් වඩා දූෂිත) පාලකයෙකුට වසර ගණනාවකට රට පාවා දීමද වන බැවිනි. ඉතිහාසය සෑම විටම අවස්ථා උදා කර දෙන්නේ නැත. ලැබෙන අවස්ථා අවප්‍රයෝජනයට නොගෙන වැඩ කළ යුත්තේ එබැවිනි.

මිනිස් සිරුරේ ඇති අවයවයක් වන උණ්ඩුකපුච්චය ගැන බොහෝ අය දරන මතය වන්නේ එය සිරුරට අවශ්‍ය කොටසක් නොවන බවයි. ඇතැම් වෛද්‍ය මතයන්ට අනුව එහි සත්‍යාසත්‍යතාව ප්‍රශ්න කළ හැකි වුවත් මිනිස් ව්‍යවහාරයේ පවතින සෑම දෙයම සත්‍යෙක්ෂණයට ගෝචර නොවේ. ඇතැම් දේවල් මිනිසුන් වහරන්නේ හුදෙක්ම ‘කතාවට ය’. එවැනි අපූරු කතාවක් සේපාල අමරසිංහගේ Alchemist සඟරාවෙහි එයි. උදය ගම්මන්පිලගේ පින්තූරයකට කැප්ෂන් එකක් වශයෙන් එහි මෙම පාඨය සඳහන් වෙයි: “උණ්ඩුක පුච්චය” (Appendix): ශරීරයට අවශ්‍ය කොටසක් නොවේ….”. ගම්මන්පිල, වීරවංස වැනි දේශපාලනික කිනිතුල්ලන් පමණක් නොව බොහොමයක් යහපාලන හවුල්කරුවන්ද නිර්වචනය කිරීම සඳහා යොදා ගත හැකි අපූරු පාඨයකි, එය. ‘දත් දොස්තරලා’ කුමක් කීවද මෙම උණ්ඩුකපුච්චවලින් අපේ දේශපාලනික ශරීරය නිදහස් කිරීම එළැඹෙන 2020 ජනපතිවරණයෙන් හෝ ආසන්නතම අනෙකුත් මැතිවරණවලින් හෝ සිදු කළ හැකි යැයි සිතීම හිතළුවක් වනු ඇත. එහෙත්, කෙසේ හෝ අප එය ඉටු කරනු තුරු මේ ගෝත්‍රිකත්වය එලෙසම පවතිනු ඇත.

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    4

    ශ්රී ලංකාව අරබයා අශාන් වීරසිංහලාගේ “ඇන් ජී ඕ” මතවාදී උවමනාව මෙම පල් හෑල්ලෙන් ද පැහැදිලි වේ. එක තැන පල් වෙන, දූෂණය ඉහ වහා ගිය බොල් යහපාලනය ගැන වගේ වගක් නැතුව, ” ආයතන සංග්‍රහයට පවා නිගා දුන් දූෂිත රාජ්‍ය නිලධාරියෙකු බව ක්‍රියාවෙන්ම ඔප්පු කළ” ගෝටෙක් ගැන මනස්ගාත දොඩවන පුස්සන්ට මාතෘකා සපයන විමල් වීරවංසලාට ද ටොකු ඇනිය යුතුය.

  • 2
    1

    ගෝඨා කරලියට ගෙන ඒම පොල් පොට් ට රට භාර දීමක් වැනිය.ඊනියා ජාතිකවාදීන් ගේ පටු අරමුනු මුදුන් පත් කරවීමට ගෝඨා සිහිනය වලංගු නමුත් එය රට තවත් වලපල්ලට ඇද ගෙන යන අනුවන ගෝත්‍රික ක්‍රියාවලියක්ම වනු ඇත.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.