19 April, 2024

Blog

මහින්ද, එන්න කිරි බොන්න!

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

“උණහපුළුවාට උගේ පැටියා මැණිකක්” කියා කතාවක් සිංහල ව්‍යවහාරයේ තිබේ. මේ තර්කය තුළ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහ ඊට නොදෙවෙනි තවත් බරපතල වැරදි සහ අපරාධ කිහිපයක්ම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින යෝෂිත රාජපක්ෂ වන තම පුත්‍රයා වෙනුවෙන් හිටපු ජනපති මහින්දගේ හද කම්පා වීම අරුමයක් නොවේ. එහෙත් එය අස්වභාවික සංසිද්ධියක් වන්නේ තම රෙජීමය යටතේ හුදෙක්ම ‘මහින්ද දෘෂ්ටිවාදය ප්‍රතික්ෂේප කිරීමේ’ වරදට පැහැරගෙන ගොස් වධබන්ධනයන්ට ලක් කළ හා මරා දමනු ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන්ටද අඩුම තරමින් දුක් වීමටවත් ඇති අයිතිය ඔහු අමු අමුවේම පාගා දැමීමේ පසුබිම තුළය. ඊයේ පෙරේදාද හෝමාගම අධිකරණයේදී තම ආදරණීය සැමියා මෙන්ම තම දරුවන්ගේ ආදරණීය පියා (නාමල්ට, යෝෂිතට හා රෝහිතට මහින්ද සේම) වූ ප්‍රගීත් වෙනුවෙන් පෙනී සිටි සන්ධ්‍යා එක්නැලිගොඩට ඉතාම පහත් අයුරින් බැන වැදී හිංසනයට ලක් කළ ඥානසාර නම් චීවරධාරී රස්තියාදුකාරයා එලියට පැන්නේද මහින්දගේ සාටකය ඇතුළින් බව මහින්දට කෙසේවෙතත්, අපට අමතක කළ නොහැක.

මේ කිසිවක් පාලනය කරන්නට, එනම්, මරා දැමීමෙන් පසුව හෝ පවුලේ සාමාජිකයන්ටවත් හැකි අයුරින් හිත හදා ගන්නට ඉඩ තියන්නට මහින්දට අවශ්‍ය නොවූ බව ඔහු සහ ඔහුගේ හෙංචයියන් අවස්ථා කිහිපයකදීම ඔප්පු කර ඇත. තම දුෂ්ට රෙජීමය යටතේ මරා දමනු ලැබූ බොහෝ අය සම්බන්ධයෙන් මහින්ද සහ ඔහු වෙනුවෙන් දුර්මත වැපිරීමෙහි නිරත අය අනුගමනය කළ පිළිවෙත වූයේ එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීමයි. කෙනෙකු මරා දැමීමෙන් පසුව එම මළ කුණින්ද පළිගැනීම කිසි දා මනුෂයෙකුට කළ නොහැක්කකි. ඒ අතින් තම අමනුස්ස ගතිය ඔහු අවස්ථා කිහිපයකදීම ඉතාම පැහැදිලිව පෙන්නුම් කළේය. පියෙකු සහ පුතෙකු අතර ඇති සම්බන්ධයට නිසි අර්ථයක් හා ගෞරවයක් ලබා නොදුන් එහෙව් මහින්ද සිය පුත්‍රයා වෙනුවෙන් කඳුළු පෙරාගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කර අනුකම්පාව දිනා ගැනීමට තැත් කිරීම මධ්‍යස්ථ රටවැසියාට හුදෙක්ම විසුළු රංගනයක් වන්නේ එබැවිනි.

Mahinda on Yoshithaලොව ආගම් සියල්ලම ඉක්මවන ඉහළ තලයක පිහිටන සදාකාලික දහමක් ඇත. සෑම ආගමක්ම පාහේ බිහිව ඇත්තේ එහි රටාවන් හා නියතීන් විවිධාකාරයෙන් අර්ථකථනය කිරීමට දරනු ලැබූ ප්‍රයත්නයන්හි ප්‍රථිපල ලෙසය. මේ සියලු ආගම් අඩු වැඩි වශයෙන් තෝරාගත් දේශපාලනික න්‍යායපත්‍රවල බර ඇදීමට යොදා ගැනෙන උපකරණ වුවද මේ කියන දහමට උඩින් පිහිටන කිසිවක් මෙදියත නැත. අපි එයට සොබා දහම යැයි කියමු. අද මහින්ද අභිමුඛ වී සිටින්නේ සොබා දහම වෙතයි. ජනතාවගේ හැඟුම් කුපිත කර දෙමළාට හා මුසල්මානුවාට එරෙහි පහත් ජාතිවාදී වෛරය පතුරුවමින් බොරු දේශප්‍රේමයක් මවා ගෙන තම බල කෑදරකම සන්සිඳුවා ගැනීමේ අරමුණින් දේශපාලන වේදිකාවල මෙන්ම පන්සල්වල අගුපිල් ගානේද ලගිමින් ඕනෑම දෙයක් කියන්නට මහින්දගේ ඇට නැති දිවට බාධාවක් නැත. ඔහු කට ඇරි සැණින් කුණුහරුප කියාගෙන රනිල්ට හා මෛත්‍රීට සාප කරන අතරම සුළු ජාතීන් ඉතාම පහත් ලෙස අවමානයට ලක් කරමින් කෑ කෝ ගසන නල්ලමලේ බත්බැල බැටෑලියන් එකක්ද ඔහුට ඇත. එහෙත්, සොබා දහම ඉදිරියේ මහින්දට කට උත්තර නැති වීම අරුමයක් නොවේ. මහින්ද වැනි උග්‍රතර ඒකාධිපති ප්‍රජා පීඩකයෙකුට දරාගත නොහැකිම තැන මෙතැනය. මන්ද එහිදී අදාළ වන එකම නීතිය හෘද සාක්ෂිය පමණක් හෙයිනි. සීඅයිඩී එකටත් එෆ්සීඅයිඩී එකටත් කියන කතා හෘද සාක්ෂියට කිව නොහැක්කේ ක්ෂිකවම ‘අනේ පලයං මහින්ද, මටද උඹ මේ කියන්නේ’ යන පිළිතුරු වාක්‍යය ඇසෙන හෙයිනි. “ඒක තමයි, කෝ ඇත්තට එක්නැලිගොඩ?” කියා රූපවාහිනියේදී බබා පාට් දැම්මාට හෘද සාක්ෂියෙන් එසේ ඇසීමෙහි තේරුමක් නැත. උත්තරය එතුළම ඇත. අද මහින්ද කියන කතා අසන අපට ඔහු පත්වී සිටින මානසික වියවුල තේරුම් ගැනීම අසීරු නැත. ඒ සොබා දහමේ හැටි ය.

අද අප අත්දකිමින් සිටින්නේ මහින්ද බබා වීමේ අවධියයි. අද සිටින මහින්ද තොත්ත බබෙකි. වචනයෙන් හෝ කෙනෙකුගේ සිත් රිදවා නැති සද්ගුණවත් බෞද්ධයෙකි. ඔහු හරිම එඩිතර හා උපේක්ෂාසහගත අයෙකි. මැරකම, හොරකම ඇත්තේම නැති අතර පළිගැනීම නම් කොහොත්ම අල්ලන්නේ නැත. ඔහු තම පුතුන්ට ජීවත් වීමේ පාඩම කියා දුන්නේ දුරවබෝධ න්‍යායයන් ආශ්‍රයෙන් නොව ක්‍රියාවෙනි. ඔහුගේ දරුවන්ට එකී ජීවන පාඩම් ඉතාම ඉක්මනින් හා අංගසම්පූර්ණව උගත හැකි වූයේද එම ඉගැන්නීම් ක්‍රමවල පැවැති ප්‍රායෝගිකත්වය හා සරල-සුගම ගතිය හේතුවෙනි. මහින්ද කිසි දා ජාතිවාදය ප්‍රිය නොකළෙකි. මේ නිසාම ඔහු ජාතියේ පිනට පහළ වූ ‘අප්පොච්චෙකු’ ලෙස අදහන අනුගාමිකයන් පිරිසක්ද බිහිව සිටී. අද මේ විවිධ චෝදනා එල්ල කරමින් කුදලාගෙන ගොස් ‘බොරුවට’ හිරේ දමන්නේ එහෙව් අප්පොච්චාගේ සුජාත පුත්‍රයන්ය. අප්පොච්චාගේ දේශමාමක අඩිපාරේ ගමන් ගත් පුත්‍ර රත්නයන්ය. මේවා දරාගත නොහැකි තැන මහින්දට ඉතිරිව ඇත්තේ හැඬුම්බර මුහුණින් මාධ්‍ය ඉදිරියේ දුක කීම පමණකි. තමන්ට වැඩ ‘වරද්දන’ විට ඔය කියන සොබා දහම සිටියේ නිදි වර්ජිතවදැයි ඇසීම හැර අන් විකල්පයක් අද ඔහුට නැත.

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.