27 April, 2024

Blog

බල්ලාගේ වැඩේ කරන බූරුවන්ගෙන් ‘නිදහස්’ වෙමුද?

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

පෙබරවාරි 04 දිනය මහත් උත්කර්ෂයෙන් රාජ්‍ය උත්සවයක් ලෙස සමරනු ලබන්නේ සුද්දාගෙන් නිදහස ලැබීම ගැන සඳහන් කරමින් වුවද මේ මොහොතේ මට එය වැදගත් වන්නේ සුද්දාගේ වැඩේ ස්වදේශික බහුතර ප්‍රභූන් අතට ගැනීම සම්බන්ධයෙන්ද එය වැදගත් වන හෙයිනි. බටහිර අධිරාජ්‍යවාදීන් ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් තම ආධිපත්‍යයට නතු කර ගැනීමට භාවිත කළ දෘෂ්ටිවාදයම කෙටි සංස්කරණය කිරීම් සහිතව බහුතරය විසින් සුළු ජාතීන් පාගා නැගී සිටීම සඳහා, එනම්, ‘සුද්දාට එරෙහිව සුළුතරයෙන් ගේම ඉල්ලීම’ වෙනුවෙන්, අභ්‍යන්තරීකරණය කර ගැනීමෙන් බහුවාර්ගික ශ්‍රී ලාංකික ජාතිය නිදහස් කිරීමේ අවශ්‍යතාව ගැන සිතා බලන්නට එය අප පොළඹවන හෙයිනි.

බටහිර අධිරාජ්‍යවාදීන් තම යටත්විජිතවාදී ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමට යොදාගත් උපායමාර්ගය වූයේ එය ‘පසුගාමී හා අපරිණාමිත අර්ධ-මානවයන් ශිෂ්ටාචාරවත් කිරීමේ මෙහෙයුමෙහි’ අනිවාර්ය අවශ්‍යතාවකි යන මතවාදය පතුරුවා හැරීමයි. යටත්විජිතවාදය සාර්ථක ලෙස ව්‍යාප්ත කිරීම උදෙසා ඔවුන් විසින් අනුගමනය කරන ලද සාර්ථක උපක්‍රම අතරින් කැපී පෙනෙන එකක් වූයේද අල්ලා ගනු ලැබෙන රටවල පොදු ජාතිකත්වයක් ඇති වීමේ අවකාශ අහුරාලමින් අභ්‍යන්තරික බෙදීම් පවත්වා ගැනීමට උත්සාහ ගැනීමයි. තම දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා සාර්ථක ලෙස ඉටුකර ගැනීමටත්, යටත් විජිතයන්හි තමන් සතු ආධිපත්‍යය අභියෝගයට ලක් වීම වැළැක්වීම සඳහාත් ඔවුහු එසේ කළහ. එය ප්‍රබල දෘෂ්ටිවාදී පද්ධතියක් විය.

Tamil Version of National Anthem of Sri Lankaමීට ප්‍රතිපක්ෂ යටත්විජිත විරෝධී ජාතිකවාදී ව්‍යාපාරවල පොදු ලක්ෂණයක් වූයේ බටහිරට අදාළ සියල්ල දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම තුළින් ස්වදේශීයවාදයක් උලුප්පා දැක්වීමට වෑයම් කිරීමයි. අධිරාජ්‍යවාදීන් විසින් විනාශ කර දමන ලද තම රටේ ප්‍රෞඩ අතීත අභිමානය පුන පුනා සිහිපත් කරමින් ස්වදේශික ජනයා තුළ ‘ජාතික කැක්කුම’ අවදි කිරීමට උත්සාහ කිරීම, පූර්ව-විජිත සංස්කෘතික කතිකාව ප්‍රතිස්ථාපනය කිරීමේ වෑයම ඇතුළු බොහෝ ලක්ෂණ ‘නව-යටත්විජිත ජාතිකවාදයට’ ​(neocolonial nationalism) පොදු විය. පූර්ව-විජිත යන්න මෙම සන්දර්භය තුළ අර්ථගැන්වූයේ ‘අවශ්‍යයෙන්ම බහුතර නියෝජනය කරන’ ලෙසින් බවද අපගේ නිරීක්ෂණයට හසු විය යුතුය. මුලදී, හුදෙක්ම යටත්විජිත විරෝධී ව්‍යාපාරයක් ලෙස නැගී එන්නට වූ නව-යටත්විජිත ජාතිකවාදය ආශ්‍රිතව පසුකාලීනව දැකිය හැකි වූ මූලික ලක්ෂණයක් නම් පොදුවේ එක් ජාතියක් ලෙස බටහිර අධිරාජ්‍යවාදය ප්‍රතික්ෂේප කිරීම වෙනුවට ආගම, භාෂාව, සංස්කෘතික, වාර්ගිකත්වය වැනි සාධක මත පදනම්ව සුළුතරය, බහුතරය ආදී වශයෙන්ද පෙර නොවූ විරූ ස්වරූපයකින් අභ්‍යන්තරික බෙදීම් ඇති කිරීමයි. සුද්දා තම යටත් විජිතවලට ‘නිදහස’ දී යන්නට ගියේ දේශීය වශයෙන් තමන්ගේ තැන ගන්නට හැකි ස්වදේශික ප්‍රභූ පැළැන්තියක් නිර්මාණය කිරීමෙන් අනතුරුව බව කියන්නට සිදු වන්නේ එහෙයිනි. මේ තත්ත්වය නිදහස ලැබූ බොහෝ රටවල සමාජ-දේශපාලනික ප්‍රශ්න රැසක් මතු කරන්නට හේතු වූවක් බව අද පිළිගැනේ.

දේශපාලනික වශයෙන් පසුව මහත් වියවුල් රැසකට මුල් වූ කාරණය වූයේ ‘සුද්දා විසින් අල්ලාගනු ලැබුවේ කාගේ රටද?’ යන ප්‍රශ්නය වෙත අභිමුඛ වන තැනට ස්වදේශික තල්ලු වීමට නව-යටත්විජිත ජාතිකවාදී කතිකාවට සිදු වීමයි. මේ නිසාම, යටත්විජිතවාදය විසින් විනාශ කර දමන ලද රටක් යළි පැවැති තත්ත්වයට ප්‍රතිස්ථාපනය කළ යුතු නම්, ඒ සඳහා තෝරාගත යුතු ඓතිහාසික මොඩලය කාගේ එකද යන ප්‍රශ්නය විසඳාගත යුතු විය. මෙහි ප්‍රතිඵලය වූයේ සංඛ්‍යාත්මක හා බලාත්මක අතින් සුළුතර තත්ත්වය නියෝජනය කළ වාර්ගික කණ්ඩායම්වලට බහුතරයේ අභිමතයට ඉඩ දී බලා සිටින්නට සිදු වීමයි. එනම්, එවැනි කණ්ඩායම් ජාතිකවාදී කතිකාව තුළින් නියෝජනය නොවීමයි. ජාතිකවාදයේ මේ පරිණත අවධියේදී ප්‍රහාරය එල්ල වන්නට පටන් ගැනුණේ බටහිරට අයත් සංස්කෘතිකාංග වෙත පමණක් නොවේ. බහුතරය නොවන වෙනත් ඕනෑම ජනවර්ගයක් ජාතික කතිකාවෙන් ඉවත් කර තබන තැනට එය ඔඩු දුවන ලද බවට ඕනෑතරම් ප්‍රායෝගික උදාහරණ ඇත. පරිස්සමට කල්පනා කර බැලුවහොත්, අද අප අත්විඳින ජාතික-දේශපාලනික අර්බුද රැසක මූලබීජ මෙකී (නව)යටත්විජිත චින්තන පද්ධතිය තුළ හඳුනා ගැනීම අසීරු නැත.

ඊයේ (04) දින ජාතික නිදහස් සැමරුම් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබීමට එරෙහිව එල්ල වූ අතාර්කික විරෝධය මෙන්ම නැවත වරක් චීවරධාරී මැරයන් කිහිපදෙනෙකු ප්‍රමුඛ මූලධර්මවාදීන් පිරිසක් ලංකාවේ ව්‍යවස්ථාපිත ජාතික කොඩියද විකෘති කරමින් මහපාරට බැස අසාර්ථක විරෝධයක් දියත් කරන්නට තැත් කිරීමද මේ මොහොතේ තීරණාත්මක කාරණයකි. මෙයද, නිදහසින් පසුව බිහි කර ගැනීමට අප වළිකන්නේ කාගේ රටද යන ප්‍රශ්නයට අතිශයින් අදාළ කාරණයකි.

මූලික වශයෙන්ම මෙවර නිදහස් දින සැමරුමට එල්ල වූ බරපතල විවේචනය වූයේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ඉඩ හැරීමයි. යටත්විජිතවාදය තුළ බටහිර ජාතීන් සතු වූ ආධිපත්‍ය ‘තනතුර’ නව-යටත්විජිත ජාතිකවාදී ව්‍යාපාර තුළ ස්වදේශික බහුතරය අතට පත්ව ඇති බවට එය කදිම නිදසුන් සපයයි. මේ නිසාම, ලංකාව නිදහස් කර ගැනීමට උර දුන් ‘රණවිරුවන්’ පුන පුනා වර්ණනා කරමින්, සංස්කෘතික අභිමානය උලුප්පා දැමෙන සංදර්ශන මැද මහත් පුරාජෙරුවෙන් ‘නිදහස’ ගැන කතා කළද සමස්ථ ජාතියක් වශයෙන් අප කොතෙක් නම් යටත්විජිත ගැතිද යන වග කල්පනා කරන්නට හොඳම කාලය මෙයයි. ලංකාවේත් සිංහලකමේත් අභිමානය හා ආරක්ෂාව වෙනුවෙන් රටේ සිවිල් නීතිය පවා නොතකමින් මහා ‘ජාතික අවශ්‍යතාවක්’ මවාගෙන මොර දෙන සිංහල-බෞද්ධ අන්තවාදී මානසිකත්වය සහිත අය දැන හෝ නොදැන කඩේ යන්නේ බටහිර යටත්විජිතවාදී දෘෂ්ටිවාදයට බවත්, තම දේශීය සංස්කෘතික අන්‍යයාට එරෙහිව පාවිච්චි කරන්නේම පරගැති තර්ක පද්ධතියක් බවත් වටහාගත නොහැකි වීම ඔවුන්ගේ පසුගාමීත්වයේ ලක්ෂණයකි.\

ප්‍රකට විචාරක පර්තා චැටර්ජි විසින් නව-යටත්විජිත ජාතිකවාදය පිළිබඳව සිදු කරන ලද අගනා විග්‍රහයකදී ඉතාම නිවැරදිව සඳහන කර ඇති පරිදි, කිසිදු අවස්ථාවක තම යටත් විජිතවල පොදු ජාතිකත්වයක් වර්ධනය වීමට යටත්විජිතවාදියා ඉඩ තැබුවේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ රුචිකත්වය වූයේ එකිනෙකට වෙනස් ‘ප්‍රජාවන්’ සහිත පාලිත රාජ්‍යයන් පවත්වා ගැනීමටයි. (Chatterjee, 1993: 223). මේ අතරම මීට ප්‍රතිගාමී ජාතිකවාදී ව්‍යාපාර ආශ්‍රිත ප්‍රවණතාව වූයේ පශ්චාත්-යටත්විජිත රාජ්‍යයේ හිමිකාරත්වය සහිත ‘ජාතිය’ වශයෙන් බහුතර වාර්ගික කණ්ඩායම හඳුනාගෙන සුළු ජාතීන්ගෙන් එය ‘බේරා ගැනීම’ වෙනුවෙන් කැප වීමයි. නව-යටත්විජිත ජාතිකවාදය විසින් ඇත්තෙන්ම සිදු කෙරුණේ යටත්විජිතවාදයෙන් මිදී සම්පූර්ණ නිදහස හා ස්වෛරීභාවය අත්කර ගැනීමට අරගල කිරීමටත් වඩා යටත්විජිත චින්තනයම මත පිහිටා සුළු ජාතීන් සමග ‘ආරාවුල් විසඳා ගැනීමට’ තැත් කිරීම බවට උදාහරණ රැසක් අපි මෑත අතීතය පුරාවට දුටුවෙමු.

මේ නිසාම, සුපුරුදු ජාතික අභිමාන පම්පෝරිය ගැසීම වෙනුවට ලංකාව ස්වාධීන පැවැත්මක් සහිත බහුවාර්ගික ශ්‍රී ලාංකික ජාතියක් බවට පත් කිරීමේ මූලික අඩිතාලම හෝ වැටෙන තුරු සාම්ප්‍රදායික නිදහස් මංගල්ලය මට නම් සපුරාම විහිළුවකි. ‘හිත හැදෙන්නට මෙන්’ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් යැයි සිතීමට අප ඉක්මන් නොවිය යුතුය.

මූලාශ්‍ර:
Chatterjee, P. (1993), Nation and Its Fragments: Colonial and Postcolonial Histories, New Jersey: Prinston University Press

Gandhi, L. (1998), Postcolonial Theory: A Critical Introduction, India: Ofxord University Press

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.