Colombo Telegraph

මේ ආණ්ඩුව මහින්ද දෘෂ්ටිවාදයේ දිගුවක්ද?

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට සිදු වෙමින් පවතින ඇතැම් දේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ වේදිකාවල සහ ප්‍රචාරණ මාධ්‍යවල “මහින්ද රෙජීමයේ ලක්ෂණ” ලෙස සලකා ඔවුන් විසින් දැඩි ලෙස විවේචනය කරමින් සහ හෙළා දකිමින් සිටි දේවල්ම බව අපට පෙනේ. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පැවැති පසුගිය රෙජීමයේ තිබුණු මූලිකම නිර්වචනීය ලක්ෂණ දැන් දැන් වත්මන් ආණ්ඩුව කෙරෙන්ද අපි දකිමු. මේ අතරින්ද දැඩි ලෙස කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ පුරවැසියා පිළිබඳ කිසිදු අදාළතාවක් නොමැතිව හුදෙක්ම තම පැවැත්ම වෙනුවෙන් ඕනෑම ක්‍රියාවක් වෙත යොමු වීමට තිබූ සූදානමයි.

පොදු අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කරන්නට මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවූ මාධ්‍ය හමුව සිතේ තබාගෙන ලිපි කිහිපයක්ම මා විසින් ලියා තිබේ. එදින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුහුණේ සහ කටහඬේ තිබුණු හැඟීම්බර ආවේගශීලීත්වය මට මේ දැනුදු මැවී පෙනේ. එතුමා එදා පළ කළ අදහස් ඇතුළත් එම වීඩියෝ පටයක් අද ඒ මහතාටම නිවී හැනහිල්ලේ නරඹන්නට සලස්වන්නට ඇත්නම් කදිම යැයි නිකමට සිතේ. තවදුරටත් ඒ භීෂණය, දූෂණය සහ මර්ධනය දරා ගැනීමට බැරි තැන මේ එඩිතර තීරණය ගැනීමට තමන් ඉදිරිපත් වූ බවත්, එය තම ජීවිතය සහ මරණය අතර සෙල්ලමක් බවත් එදින එතුමා අපට ගම්‍ය කළේය. මේ හා සමානම අදහස් රාජිත සේනාරත්න මහතාද කියාගෙන ගිය සැටි මට මතකය.

මෙම පසුබිම තුළ ලංකාවේ අති බහුතර පුරවැසියන්ට සහ සමාජ ක්‍රියාධරයන්ට තිබුණු බරපතල අවශ්‍යතාවය වූයේ එලෙස උදා වූ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යය යොදා ගෙන දූෂිත මහින්ද රෙජීමය පන්නා හැරීම මිස හුදෙක් පුටු මාරුවක් සිදු කිරීම නොවීය. මහින්ද පරාජය කිරීමට කැප වීම යන්නේ එදින අප අදහස් කළේ මෛත්‍රී ජනාධිපති කිරීමටත් වඩා එවැනි දුෂ්ට පාලනයක් නැවත් උදා නොවන තැනට අඩිතාලම දැමීමට දායක වීමයි. මේ පොදු ඉලක්කය නිසාම බොහෝ අයගේ දායකත්වය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් දැවැන්ත සමාජ රැල්ලක් ගොඩ නැගිණ. එහෙත් එය ඉබේ හටගත්තක් නොව කැප කිරීම් කළ අයගේ මහන්සියෙන් ගොඩනගන ලද්දක් බව අවධාරණය විය යුතුය. එසේ අවධාරණය විය යුත්තේ බලයට පත්ව කෙටි කලකින්ම වත්මන් ආණ්ඩුවටද එවැනි වැදගත් කරුණු ‘අමතක වීමේ ලෙඩේ’ හැදෙන්නට පටන් ගත් හෙයිනි.

එහෙත්, බලයට පත් වන්නට පෙර එසේ කී ඔවුන් ඉතාම කෙටි කාලයකින් මහින්ද දෘෂ්ටිවාදයේ බිත්තර තැන තැන පැළ කරන්නට අමතක කළේ නැත. මැතිවරණවලින් ජනතාව තම පරමාධිපත්‍යය භාවිත කොට පරාද කරන අය වෙනත් අයථා ක්‍රමවලින් පෙරළා රාජ්‍ය පාලන යාන්ත්‍රණය තුළට පස්සා දොරෙන් රිංගවා ගන්නා ප්‍රයත්න අප ‘යහපාලන ආණ්ඩුවෙන්’ බලාපොරොත්තු වූයේ නැත. ඉතාම අප්‍රසන්න සිදුවීම නම් පුරවැසියන් “එපා” කියමින් පරාජය කළ මහින්ද රෙජීමයේ දූෂිතයන් රැසක්ම ආදරයෙන් වැළඳ ගෙන තනතුරු තාන්න මාන්න දෙන තැනට වත්මන් ආණ්ඩුවද ඇද වැටීමයි. මේ ආණ්ඩුවත්, පැවැති ආණ්ඩුවත් අතර වැඩි වෙනසක් නැතැයි මා කියන්නේම එවක සිටි සුපුරුදු දූෂිතයන් දැන්ද යෙහෙන් වැජඹෙමින් සිටීම මතය. මෛත්‍රීපාල මහතාට ජනාධිපතිවරණයෙන් පසුව ජනවාරි 08 ට පෙර තමා කළ කී දෑ සහමුලින්ම අමතක වූ බවත්, දැන් ඔහුට අවශ්‍ය වී ඇත්තේ ‘රට’ නොව ‘පක්ෂය’ වෙනුවෙන් පෙනී සිටීම බවත් මා විසින් ලියන ලද්දේ ඒ දිනවලමය. නැවත වරක් ජනාධිපති ධුරය භාර ගන්නේ නැති බව ශපථ කරමින්, මහින්ද රෙජීමය අප්‍රසන්න වූ බව කවර හෝ හේතුවක් මත ගම්‍ය කරමින් බලයට පැමිණි ජනාධිපතිවරයෙකු සහ ලිච්ඡවි පාලනයක් ගැන නිතර කී අගමැතිවරයෙකු යටතේ පාලනය වන ආණ්ඩුවකින් මෙවැනි ප්‍රවණතා දකින්නට සිදු වීම ඛේදයකි.

මා දකින පරිසි මෙහි භයානකම සහ පිළිකුල්සහගතම කාරණය නම්, මහින්ද රාජපක්ෂගේ මැර පාලනය පැවති කාලයේම වුවද විවිධ අභියෝග, තර්ජන සහ පහරදීම්වලට මුහුණ දෙමින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ශ්‍රීලනිප මහ ලේකම්වරයා ජනාධිපති පුටුවේ වාඩි කිරීමට මහමගට බට අයට පහර දුන් පුද්ගලයන්ට සංතෝසම් වශයෙන් තනතුරු ලබා දෙමින් මේ ආණ්ඩුව ප්‍රකට කරන කෘතගුණ විරහිතභාවයයි. මෙය, ඉතාම පහත් හා භයානක තීරණයක් ලෙස අප වටහා ගත යුත්තේ මේ ආණ්ඩුව පවා සමාජ ක්‍රියාධරයන් සහ පොදුවේ පුරවැසි අපේක්ෂා වටහා ගන්නේත්, ඒවා තැකීමට ලක් කරන්නේත් කවර මට්ටමින්ද යන්න ගැන කදිම ඉඟියක් එමගින් සැපයෙන හෙයිනි.

මේ බව කදිමට ප්‍රකට වන ප්‍රකාශයක් ඊයේ දින පැවැත්වුණු එක්තරා මාධ්‍ය හමුවකදී දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන දේශපාලඥයන් සිදු කර තිබේ. මා යෝජනා කරන්නේ පාඨකයා ඒවා බරපතල ලෙස භාර ගත යුතු බවයි.

“සජින් වාස් කියන්නේ ඉන්න සංවිධායකවරයෙක්. අපි ඉවත් කර තිබුණු කෙනෙක් නොවෙයි. ඔවුන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපේ පක්ෂයේ කමිටුවක් තිබෙනවා සංවිධායකවරුන් තෝරන්න. ඉන්දික කියන පුද්ගලයා ගැන තීරණ ගන්නේ එක් පුද්ගලයකු නොවෙයි. චෝදනා බැලුවොත් කාටද චෝදනා නැත්තේ? මොහුටත් පහරදීමක් ගැන චෝදනාවක් තිබෙනවා. නමුත් ඔහු වැරදිකරුවකු වෙලා නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලන්නේ දිනන්න පුළුවන් කෙනෙක් දාන්න ඕනා. පහරදීමක් ගැන චෝදනාවක් තිබූ පමණින්ම පුද්ගලයකු ඉවත් කරන්න පුළුවන් කමක් නෑ.” (ලංකාදීප)

කෙසේ වෙතත්, මා මහින්ද අමරවීරගේ එක කතාවකට එකඟය. “චෝදනා බැලුවොත් කාටද චෝදනා නැත්තේ?” ලංකාවේ දේශපාලනය පිරී ඇත්තේත්, එහි රැඳී සිටිය හැක්කේත් හොරුන්ට, මැරයන්ට සහ තක්කඩින්ට පමණක් බව ඒ මහතා ඉතාම නිවැරදිව ගම්‍ය කිරීම පිළිබඳව අපි තුති පිදිය යුත්තෙමු. ලංකාදීපය වාර්තා කරන පරිදි එම මාධ්‍ය හමුවේදීම මහින්ද අමරවීර නැවතත් මෙසේ කියා ඇත: “මහා පිරිමාණයෙන් මහජන දේපොළ කොල්ල කාලද?  මිනී මරලද? එහෙමෙ නෙමේනේ. මේ පහරදීමක් ගැනනේ.”

මේ ආණ්ඩුවටද කලින් මෙන්ම පහර දීම් වැනි දේවල් හරිම ‘සූපින්’ බව පැහැදිලි වේ. එහෙත්, අපට වටහා ගත නොහැකි උභතෝකෝටිකය නම් එදා ජීවිත තර්ජන ගැන පවා සඳහන් කරමින් පැවති පාලනයේ දූෂිතකම මවා පෙන්වමින් ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයා වෙනුවෙන් පහර කමින්, මැර තර්ජනවලට ලක් වෙමින් ක්‍රියා කළ පිරිසකට පහර දුන් මැරයෙකු ඉහළට ඔසවා තනතුරු දීමෙන්ද නොනැවතී, මෙවැනි උද්දච්ඡ ප්‍රකාශ නිකුත් කරන තැනට පිරිහුණු ආණ්ඩුවක් බිහි වීමේ ඛේදවාචකයයි.

මෑතකදී ලංකා නිවුස් වෙබ් පුවත් අඩවියෙහි පළ වූ එක්තරා ලිපියක සඳහන් වුණාක් මෙන්, මේ ආණ්ඩුවට වඩා වටින්නේ කමල් ඉන්දික මිස අලුත් පරපුර නොවේ. සාපේක්ෂව කමල් ඉන්දික සමග බැලීමේදී අලුත් පරපුරින් තවදුරටත් කරගත හැකි ඉලව්වක් නැත. වඩා පුළුල් ලෙස කල්පනා කිරීමේදී, මහින්ද රෙජීමයේ දිගුවක් බඳු ආණ්ඩුවකට වඩා හොඳ සමාජයක් වෙනුවෙන් කැප වුණු බලවේග සමග එකට විසීමේ අපහසුවක් ඇති වීම අසාමාන්‍ය දෙයක් නොවන බවද අප විසින් තේරුම් ගත යුතුය.

ashanweerasinghe@gmail.com

Back to Home page