26 October, 2020

Blog

පොලීසියේ ප්‍රජාපීඩකත්වය හෙළා දකිමු!

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අතුරුදන් කරවන ලද තම සැමියා වෙනුවෙන් වහා යුක්තිය ඉටු කරවා ගැනීම නිමිති කරගෙන මයුරි ජයසේන ගෝෆ්ෆේස් හි නිහඬ, සාමාකාමී විරෝධයක නියැළීම, ශ්‍රී ලංකාවට පැමිණි ජගත් මහ ලේකම් බැන් කී මූන් මහතාට තර්ජනයක් වන ආකාරයට ඔහු නතර වී සිටි තරු පහේ හෝටලයට බලෙන් කඩා වැදීමට තැත් කිරීමක් ලෙස සාවද්‍ය අර්ථ නිරූපණයකට ලක් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමේ අමනෝඥ පුවතක් පුවත්පතක වාර්තා වී තිබේ. මේ සමස්ථ සිද්ධියම පොලීසියේ ප්‍රජා පීඩකත්වය මොනවට පැහැදිලි කරන්නකි. මීට අමතරව “කුඩා දරුවන් ක්‍රෑරත්වයට පත් කිරීම” යන චෝදනාවද පොලීසිය ඇයට එල්ල කර ඇත. මයුරිට මහ පාරට බසින්නට සිදු ව ඇත්තේම තම සැමියා අතුරුදන් කිරීමට අදාළ පරීක්ෂණ කාර්යක්ෂමවත්, අපක්ෂපාතීවත් ඉටු කරන්නට පොලීසිය අසමත් වීම හෝ මග හැරීම මත පිහිටාය. මේ නිසා පොලීසිය මේ මොහොතේ කළ යුත්තේ තම නොහැකියාව වසා ගැනීමට පුරවැසි හඬ මර්ධනය කිරීම සහ ‘කොහෙද යන්නේ මල්ලේ පොල්’ පන්නයේ ප්‍රතිචාර තුළින් කතාව වෙනතකට හරවමින් බබා පාට් දැමීම නොවේ. යුක්තිය වෙනුවෙන් ඇය නගන හඬ මර්ධනය නොකර සිටීමය.

mayuriමීට පෙර අවස්ථා කිහිපයකදීම රාවණා බලය, බොදු බල සේනාව, සිංහලේ ආදී මූලධර්මවාදී ජාතිවාදී මැර කල්ලි මහ පාරට බැස ප්‍රසිද්ධියේ සාපරාධී (ඇතැම් විට මිනීමරු) ප්‍රකාශ කරමින්, ජාතිවාදය වපුරමින් මහජනයාගේ සිවිල් ජීවිත පවා අඩාළ වන පරිදි වියරු නටන විට පොලීසිය ඇඹරුණු ඇඹරිල්ල අපට අමතක නැත. ඒ බොහෝ අවස්ථාවලත්, ඉන් පසුවත් ඔවුන් අනුගමනය කළේම “ශේප්” න්‍යායයි. මීට පරස්පරව යමින් සිවිල් සංවිධාන පොදු අරමුණු දිනා ගැනීම වෙනුවෙන් සාමකාමී ලෙස හඬ නගන විට පවා පොලීසිය ඉතාම ඉක්මනින් ඒවා මැඩ පවත්වන්නට ඉදිරිපත් වූ අවස්ථා අපට අමතක නැත. ජාතිවාදී මැර කල්ලි මහ පාරේ පිස්සු නටන විට බියගුලු ලෙස මුණිවත රකින පොලීසියක් අතුරුදන් කරවන ලද තම සැමියාට “මොකද වුණේ?” යැයි අසන නිරායුධ, සිවිල් ගැහැණියක ඉදිරියේ සකලවිධ පුරුෂාධිපත්‍යයෙන් සන්නද්ධව නැගී සිටීම ශිෂ්ට සමාජයක් ලෙස අප තේරුම් ගන්නේ නිවටකමේ අන්තිම ඉම වශයෙනි! අනෙක් අතට, මේ පැහැදිලි ලෙසම පුරවැසියන්ගෙන් පළි ගැනීමකි. කාන්තා විමුක්තිය වෙනුවෙන් හඬ නගන්නන්ටද මේ නිසා පැහැදිලි සදාචාරාත්මක වගකීමක් මේ සම්බන්ධයෙන් පැවරේ.

මයුරි අරඩුම තරමින් සටන් පාඨයකුදු හඬ නගා කීවේ නැත. ඇය බිම එළාගෙන සිටි සහ ඇගේ සහායට සිටි හතර පස් දෙනා විසින් මහජනතාවට කියවා ගැනීමට පහසු වන පරිදි අල්ලා ගෙන සිටි කටවුට්වල තිබුණු වාක්‍යයන්ද සාමාන්‍යයෙන් විරෝධය පෑම්වලදී අප දකිනවා මෙන් ‘සටන්/විරෝධ පාඨ’ මාදිලියේ ඒවා නොවීය. “මගේ මධුෂ්ක කෝ?” යැයි එකක සඳහන් කර තිබුණි. ඒ හැර අඩුම තරමින් මහමග යනෙනවුන් නතර කොට කොළ බෙදීම වැනි දෙයක්වත් එහි සිටි කිසිවෙකු සිදු කළේ නැත. මේ විරෝධය පෑම සකලාර්ථයෙන්ම සාමකාමී, නිහඬ හා ‘හුදෙකලා’ එකකැයි කට පුරා කියන්නට හැකි වන්නේ එබැවිනි. පොලීසිය බැන් කී මූන්ට තර්ජනයක් ලෙස ගන්නේත්, මයුරි වෙනුවෙන් එහි සිටි හතර පස් දෙනෙකු ජගත් මහ ලේකම් සිටි තරු පහේ හෝටලයකට කඩා පනින්නට උත්සාහ කළ බවට ඉතාම විහිළුසහගත විකාරයක් අධිකරණය හමුවට ගෙන යන්නේත් මේ අහිංසක උත්සාහයට ප්‍රතිචාරයක් වශයෙනි. හන්දියක් හන්දියක් ගානේ මහින්ද රෙජීමය විවේචනය කොට එහි මූලික ලක්ෂණ වශයෙන් මර්ධනය, භීෂණය, ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය, ප්‍රඩාපීඩකත්වය ආදිය උළුප්පා දක්වමින් බලයට පැමිණි යහපාලනය ආණ්ඩුවක් යටතේ අපට බලාපොරොත්තු වන්නට සිදු වන්නේ මෙවැනි නිවට පොලීසියක්ද?

පසු විපරමක් කරන විට විශේෂ හේතු දෙකක් මත මේ සිද්ධිය අපට වැදගත් වේ. එක, ගාලු මුවදොර පිටිය දිගේ “කෝ මගේ මධුෂ්ක?” යි අසන පෝස්ටරයක් ගෙන ඉදිරියට ඇදෙන මයුරි ජයසේන නමැති ගැහැණිය මර්ධනය කරන්නට පොලිස් කාන්තාවන් යෙදවූ ‘පිරිමි පොලීසිය’ පසෙකට වී බලා සිටියේය. දෙක, මයුරිගේ සහායට පැමිණි කිහිප දෙනාද ඉහත චෝදනාවලටද ලක් කොට අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. මින් පළමු කාරණය අතිශයින්ම දෛවෝපගත එකකැයි අපට සිතේ. පොලීසිය යනුම රාජ්‍යයේ ප්‍රජා පීඩක මර්ධක උපකරණයක් බව අපි දනිමු. මෙහිදී ගැහැණියක පීඩනයට ලක් කිරීම සඳහා පිරිමින් විසින් යොදවනු ලබන්නේද තවත් ගැහැණුන් පිරිසකි. වෙනසකට ඇත්තේ ඔවුන්ට නිල ඇඳුම් අන්දවා තිබීම පමණි. බැරිම තැන ඔවුන් දෙදෙනෙකුට මැදි වන මයුරි මෙසේ අසයි: “ඔයාලටවත් තේරෙන්නැද්ද මගේ දුක?” අදාළ වීඩියෝ පට නරඹන අයෙකුට ‘ගැහැණුන් වශයෙන් ඒ පොලිස් කාන්තාවන් දෙදෙනා මුහුණ දෙන උභතෝකෝටිකය’ ඔවුන්ගේ මුහුණුවලින් වටහා ගැනීම අපහසු නැත. ඔවුහු නිරුත්තර වෙති. මේ මොහොතේ අප ඔවුන් සියලු දෙනාට මතක් කළ යුත්තේ ‘පාලකයන් වෙනුවෙන් ප්‍රජා පීඩක උපකරණ යාන්ත්‍රණයක ඇණ සහ මුරිච්චි ලෙස යොදවා ඇති ඔබලාද යුනිෆෝමයෙන් මුක්ත වූ විට ඔතැනටම ඇද වැටීමට අවකාශ ඕනෑ තරම් ඇත!’ යන්න පමණි. මිනිසුන්ට තමන්ගේ පන්තියේ එකා ලවාම පහර ගැසීම තරම් සාංකේතික බල ගනුදෙනුවක් තවත් තිබිය නොහැක.

ඉහත සදහන් දෙවන කාරණය මේ මර්ධන විලාසයේ ම්ලේච්ඡත්වය කදිමට විදහා පාන්නකි. අසාධාරණයට ලක් වූ මතු නොව ඊට යදින සාධාරණය නොසලකා හරින ලද පුරවැසියෙකු වෙනුවෙන් අනෙක් පුරවැසියන් පෙනී සිටීම කූට ලෙස වළක්වාලමින්, පොදුවේ යුක්තිය ගරු කරන අය මර්ධනය කිරීමට ඇති පහත් ආශාවක් අපට මෙයින් ගම්‍ය වේ. සිද්ධ විය යුත්තේ වින්දිතයන් තවදුරටත් පීඩනයට ලක් කරමින් ම්ලේච්ඡ හැසිරීමක් ප්‍රකට කිරීම නොව ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට කටයුතු කිරීමයි. සාමාන්‍යයෙන්, පාලක පන්තිය සෑම විටම තම හෙජමොනිය ආරක්ෂා කර ගැනීම සඳහා පොලීසිය, හමුදා සහ වෙනත් මර්ධන උපකරණ මෙන්ම සමාජ මතයට බලපෑම් කළ හැකි, තම පන්තියට ඈඳා ගෙන සිටින බුද්ධි වෘත්තිකයන් යොදා ගෙන උත්සාහ කරන්නේ පාලිත ජනයා අතර පොදු සමාජ සවිඥානිකත්වයක් ගොඩ නැගී ප්‍රති-හෙජමොනියක් (Counter-Hegemony) සංවිධානය වීමට ඇති ඉඩකඩ හැකි සෑම අයුරින්ම අහුරා ලීම බව අන්තෝනියෝ ග්‍රාම්ෂි නම් අති විශිෂ්ට පශ්චාත්-මාක්ස්වාදී චින්තකයා පෙන්වා දී ඇත. මේ සඳහා යොදා ගැනෙන පහසුම කූටෝපාය නම් එකී පාලිත පන්ති අතර ගොඩනැගෙන්නට ඉඩ ඇති පොදු පන්ති සවිඥානිකත්වය (class consciousness) සහ ‘තමන් නිර්දය ලෙස මර්ධනය කරනු ලබන්නේය’ යන හැඟීම මග හැරවීම සඳහා පාලිත කණ්ඩායම් සියුම් ලෙස ඛණ්ඩනය කොට තබා ගැනීම (fragmentation) බව ඔහුගේ සිර මැදිරි සටහන් පොත් (Prison Notebooks) හි සඳහන්ය. මේ ඇසුරින් බලන කල ලංකාවේ පොලීසිය මේ සිදුවීමට අදාළව එකී ප්‍රජා-පීඩක, යහපාලන විරෝධී මර්ධන කාර්යභාරය මොනවට ඉටු කර ඇති බව දැන් නොපෙනේද?

මහින්දගේ කාලේ සුදු වෑන්වලින් පැහැර ගැනීම්, මිනිසුන් අතුරුදන් කරවීම්, මරා දැමීම්, පහර දීම් ආදී මෙකී නොකී සිදුවීම් ගැන ජනවාරි 08 හැරවුම්කාරකය හමුවේ සාධාරණය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගේ ලේ ඇවිස්සූ පුද්ගලයන් වශයෙන් මෙවැනි පහත් හා අමානුෂික ප්‍රජා මර්ධනයන් වළක්වාලීමට කටයුතු කිරීමේ වගකීමෙන් ගැලවීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට නොහැකි බව සිහිපත් කරන්නට අපට සිදු වන්නේ මේ අයුක්තියේ අවසානය මිනිසුන් හුස්ම ගැනීමත් වරදක් ලෙස ගෙන මර්ධනය කරන තැනට පිරිහුණු තක්කඩි පොලිස් සේවයක් බිහි වීමද? යන සංශය නැගෙන හෙයිනි.

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.