27 April, 2024

Blog

කොතලාවල පනතට එරෙහි සජබ ස්ථාවරය සහ ‘විපක්ෂයේ පොරොන්දු’  ගැන කෙටි සටහනක්

අතුලසිරි සමරකෝන්

ආචාර්ය අතුලසිරි සමරකෝන්

සමඟි ජන බලවේගය යෝජිත කොතලාවල පනතට සිය දැඩි විරෝධය පළකිරීම සහ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සහ සෙසු බොහෝ මන්ත්‍රීවරු එම පනත සම්බන්ධ විරෝධතා ව්‍යාපාරවල සහභාගී වීම පිළිබඳ මුහුණුපොත හරහා විවිධ විමතික ප්‍රතිචාර ලැබෙමින් පවතී. එජාපයෙන් ඛණ්ඩනය වූ, සහ සිය පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ස්ථාවරය එජාපයෙන් සුපැහැදිලි කොට නිර්මාණය කරගැනීම පිළිබඳව නිරන්තරයෙන් ක්‍රියාකරන පක්ෂයක් වශයෙන්, සහ මෙරට ප්‍රධාන විපක්ෂය වශයෙන් කොතලාවල පනතසංශෝධනය නොකොටම පරාජය කළ යුතුය යන මතයට සමඟි ජන බලවේගයට පැමිණිය හැකිවීම ඉතා වැදගත් සහ අවධානයට ලක්විය යුතු තත්වයකි.

කොතලාවල පනත සම්බන්ධයෙන්, මෙවර පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමේ දී, අද පවතින තරම් පුළුල් කතිකාවක් නිර්මාණය වී නොපැවතිණ. 2018 දී පාර්ලිමේන්තුවට ඉදිරි පත්කිරීමකින් තොරවම හකුළා ගත් පනතක්, හදිසියේම, අතිශය ව්‍යාකූල මොහොතක අනුමත කර ගැනීමට රජය ගත් උත්සාහය දැන් ව්‍යර්ථවී තිබේ. පළමු අවස්ථාවේ පනත කියවීමේ දී නොපැවති පිබිදීමක් සහ දැනුමක් මෙම පනත සම්බන්ධයෙන් දැන් සිවිල් සමාජය තුළ පවතී.

මේවන විට සජබය (SJB) සිය ස්ථාවර පැහැදිළි ලෙසටම ජනතාවට කියා ඇති අතර පාර්ලිමේන්තුව තුළ එය පරාජය කිරීමට උත්සාහ ගන්නා අතරම සෙසු පක්ෂ සහ කණ්ඩායම් සේම වීදි සටන් හරහා එම පනත පරාජය කිරීමේ මඟට එම පක්ෂය පැමිණ තිබීම සමස්ථ වාමාංශික කඳවුර, සරසවි සිසුන් සහ අනෙකුත් සිවිල් සමාජීය කොටස් ගනිමින් සිටින උත්සාහයට විශාල ශක්තියක් බව නොකිවමනාය.

සම්ප්‍රදායික වාමාංශික හෝ දක්ෂිණාංශික යන ලේබල් කිසිවකට හසු නොවී නවමු මැද මාවතක් මෙරට දේශපාලනය තුළ සලකුණු කිරීමට සමඟි ජන බලවේගය යම් උත්සාහයක් ගනිමින් සිටින බව එම පක්ෂයේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් දෙස සමීපව බලන විට දැකිය හැකි බව යෝජනා කළ හැක. නමුත් විපක්ෂයේ සිටින විට හැමෝම ඔහොම තමයි වැනි වර්ගයේ විචාර හරහා පමණක් විපක්ෂයක භූමිකාව විචාරක්ෂියට (critique) නතු කළ නොහැකි බව සහ නොකළ යුතු බව පමණක් ආරම්භයේ දී සටහන් කරමු. එසේම දේශපාලනය යනු කිසිම ආකාරයකින් බලයෙන් විනිර්මුක්ත ක්‍රියාවක් නොවන නිසාත්, සදාචාරය පිළිබඳ මිණුම් හරහා පමණක් දේශපාලනය දෙස බැලිය නොහැකිය යනු මහා සත්‍යක් වග මතක් කර ගැනීම මේ මොහොතේ වැදගත් විය හැක.

කෙසේ මුත්, වත්මන් සන්දර්භය තුළ සමඟි ජන බලවේගය (SJB) නිදහස් අධ්‍යාපනයට අත නොතබනුයන දැඩි සටන් පාඨය වෙනුවෙන් පෙනී සිටිමින් ක්‍රියාත්මක වෙයි. එය සම්ප්‍රදායික සහ රනිල් වික්‍රමසිංහ යටතේ පැවති එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තියෙන් ගැළවීමට ගන්නා උත්සහයක් වශයෙන් යමෙකුට දැකිය හැකිය.

එජාපය තුළින් පැමිණි, පෞද්ගලික අධ්‍යාපනය සඳහා කෙළින්ම පෙනී සිටීමට බිය නැති බොහෝ දෙනෙක් මෙම පක්ෂය තුළ සිටිය හැක. නමුත් ඔවුන් සියළු දෙනාම තමන්ගේ පුද්ගලික ස්ථාවරයන් වෙනුවට මේ මොහොතේ එක පොදු ස්ථාවරයකයට පැමිණ තිබීම පළමු කොටම අගය කළ යුතු තත්වයකි. මුහුණුපොතේ (facebook) රාජිත සේනාරත්න පිළිබඳ පළවන විචාර සහ විවේචන සමහරක එල්ලය යොමුවී ඇත්තේ ඔහුගේ අතීත සහ වත්මන් ස්ථාවර අතර පවතින පරස්පරයන් පිළිබඳවය. වාමාංශික මූලයක් සහිතව දේශපාලනයට බට රාජිත සේනාරත්න වැනි දේශපාලකයන් ඉලක්ක කොට විවේචනය කිරීම හරහා සජබය විසින් ගෙන ඇති කොතලාවල පනතට එරෙහි ස්ථාවරය වැරදි බව ඔප්පු නොවෙයි. වෙනුවට බොහෝවිටසමඟි ජන බලවේගයට ඇත්තටම නිදහස් අධ්‍යාපනය ඕනෑද?’ වැනි පැනයක් එම විවේචන පසුබිමේ තිබේ. එහි දී අපට කිව හැක්කේ කුමක්ද?

මූලිකවම කිවහැක්කේ සමඟි ජන බලවේගය මෙරට නිදහස් අධ්‍යාපන පද්ධතියේ පවතින පෘථුල වැදගත්භාවය සහ එය අනාගතයට උරුම කරදීමේ වගකීම වටහා ගනිමින් සිටින වග වත්මන් සටන හා බද්ධවීම තුළින් පැහැදිළි වන බවත්, එසේම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන් පාඨය වටා ගොනුවන සමස්ථ  ප්‍රජාතන්ත්‍රීය බලවේගවල ශක්තිය එම පක්ෂය වඩාත් හොඳින් හඳුනාගෙන අනුව ක්‍රියාත්මක වන බවයි. පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමේ දීපනත සංශෝධනය විය යුතුයයන ස්ථාවරයේ සිටිමින් ක්‍රියාත්මක වුවත් අද වන විට පනත මුළුමනින් අහෝසි කොට නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කළ යුතු බවට ත්, මිලිටරි සහ සිවිල් අධ්‍යාපනය අතර පවතින වෙනස නිසාම ඒවා කිසි ලෙසකින් හෝ මිශ්‍ර නොකළ යුතුය යන ස්ථාවරයට ත් පැමිණ තිබේ.

මෙම දේශපාලන ස්ථාවරය අනාගතයේ බලයට පැමිණි මොහොතක සිය ප්‍රතිපත්තිමය  ස්ථාවරය වශයෙන් ගෙන ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම අනාගතය සම්බන්ධ අදහසකි. පිළිබඳව පුරෝකථනය කළ හැක්කේ විපක්ෂය පිළිබඳ පොදුවේ ගොඩ නඟා ඇති උපකල්පනයන් හරහා පමණි. එහි දී අතීතයේ දී රාජපක්ෂලා ක්‍රියා කළේ කෙසේද? රනිල් ක්‍රියාත්මක වුනේ කෙස්ද? එම මාර්ගයේම සජිත් ප්‍රේමදාස ත් ගමන් කරයිද? ආදී ප්‍රශ්න ඇසිය හැක. නමුත් ඒවාට නිශ්චිත පිළිතුරු ලබා දීමට වර්තමානයේ දී නොහැක. අපට සිදු කළ හැකි එකම දෙය නම් වර්තමාන භාවිතාව දෙස බලා සිටිමින් ගැන කතා කිරීම පමණි. මෙය වමට සහ දකුණට සේම දේශපාලන මැද මාවතක් සොයන සජබයටත් එක සේ වලංගු යතාර්ථවාදී කියවීමකි. නමුත් සජබය සිය දේශපාලන ස්ථාවරයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව පමණක් අපට මේ මොහොතේ සාකච්ඡා කළ හැක.

කොතලාවල පනත හෝ වෙනත් ඕනෑම නීතියක් සම්බන්ධයෙන් සජබ හෝ වෙනත් ඕනෑම විපක්ෂයේ පක්ෂයක ස්ථාවරය සකස් විය යුත්තේ එම පක්ෂයට සහයෝගය ලබා දෙන පිරිස්වල මතයන්, ස්ථාවරයන් සේම බාහිර දේශපාලන යථාර්තයට අනුවය. මා සතු  තොරතුරු සහ අධ්‍යනයේ දී සොයා ගත් කරුණු වලට අනුව සජබය නිදහස් අධ්‍යාපනය සුරකිමින් කොතලාවල පනත අහෝසි කළ යුතුය යන ඉතාමත් ගැඹුරු ස්ථාවරය පැමිණියේපක්ෂය අභ්‍යන්තරයේ පැවති සාකච්ඡා ගණනාවකින් සහ වෙනත් පාර්ශව ගණනාවක් සමඟ පැවති සාකච්ඡා වට ගණනාවකින් අනතුරුවය.

එම පක්ෂය සමඟ මෙම පනත පිළිබඳව සාකච්ඡා වට ගණනාවකටම සහභාගී වූ අයෙකු වශයෙන්ම වත්මන් ස්ථාවරය සම්බන්ධයෙන් මට යම් අවබෝධයක් තිබේ. එසේම එය පුළුල් ප්‍රජාතන්ත්‍රීය සාකච්ඡාවක ප්‍රතිඵලයකි.

සජබය මේ වනවිට කොතලාවල විශ්ව විද්‍යාලය නියෝජනය කරන ආචාර්ය කණ්ඩායම සමඟ වාර දෙකක් සාකච්ඡා කොට ඔවුන්ට තම ස්ථාවරය පැහැදිළි කොට තිබේ. අවසන් සාකච්ඡාවේදී පනතට තම පක්ෂය දැඩි ලෙස විරුද්ධ බවත් එළෙසම 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත විකෘති කිරීම විශාල වරදක් බවත් සජිත් ප්‍රේමදාස ඉතා දැඩිව ප්‍රකාශ කළේය. සම්බන්ධව පවතින සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝ පට හරහා අවශ්‍ය නම් සාක්ෂි සොයා ගත හැක.

එසේම සජබ නායකත්වය විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයන් සමඟ ඉතා දීර්ඝ සාකච්ඡාවක් පවත්වන ලදී. එයට ෆූටාව නියෝජනය කරමින් මහාචාර්ය රොහාන් ෆර්නැන්ඩු සහ අචාර්ය දිලීප විතාරණ සහභාගී වූහ. එහි දී ෆූටා ස්ථාවරයට වඩා සජබ ස්ථාවරය වෙනස් නොවන බවත්, නමුත් මෙරට උසස් අධ්‍යාපන අවශ්‍යතා පුළුල් කිරීමටත්, අධ්‍යාපනය දේශපාලනී කරණයෙන් මුදා ගැනීමටත් (උපකුලපති පත් කිරීමේ සිට), සහ නිදහස් අධ්‍යාපනය වඩාත් ගුණාත්මකව සහ අන්තර්ජාතික මට්ටමින් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය බවත් සජබ පාර්ශවය නියෝජනය කළ විපක්ෂ නායකවරයා, රාජිත සේනාරත්න මන්ත්‍රී වරයා ඇතුළු පිරිස අවධාරණය කළෝය. එසේම ෆූටා නියෝජිතයන් එම සාකච්ඡා සාර්ථක බව මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි.

ජනතාවාදී බුද්ධි මණ්ඩපය (IFP) සජබය සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයයි. වර්තමානයේ එහි සාමාජිකත්වය 400 කට අධිකය. එම සංගමයේ විධායක සභාව සහ අධ්‍යාපනය පිළිබඳ කමිටුව සහ වෙනත් නියෝජිතයන් සමඟ පසුගිය දිනවල කොතලාවල පනත සමබන්ධයෙන් සාකච්ඡාවට ගණනාවක් පැවැත් විණ. මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නියෝජනය කරන අචාර්ය, මහාචාර්ය වරුන්ගේ දැඩි තර්ක විතර්ක මධ්‍යයේ කොතලාවල පනත සම්බන්ධයෙන් සජබය අභ්‍යන්තරය තුළ විශාල සාකච්ඡාවක් නිර්මාණය විය. එහි දී එම පනත ගැඹුරින් විග්‍රහ කරමින් සහ එහි අදීනව විග්‍රහ කිරීම හරහා සහ දේශපාලන නායකත්වයේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත හරහා සජබය කොතලාවල පනත පිළිබඳ සිය මූලික ස්ථාවරයට පැමිණි බව මඟේ නිරීක්ෂණයයි. මෙම සාකච්ඡාවලදී පක්ෂයේ ඉහළම පෙළේ නායකයන් සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනා නිදහස් අධ්‍යපනයේම නිර්මාණයන් ලෙස එය ආරක්ෂා කොට පවත්වා ගැනීමේ වගකීමට දැඩි ලෙස ක්‍රියාත්මක වියයුතු යන ස්ථාවරයට පැමිණියෝය.

කෙසේමුත් නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වශයෙන් සමඟි ජන බලවේගය වර්තමානයේ ගෙන ඇති දැඩි ස්ථාවරය එක් අතකින් එම පක්ෂයට සහාය දක්වන පිරිස් වල සේම බල දේශපාලන යථාර්ථයේ ගැටීම හරහා සකස් වුවකි. විවෘත ආර්ථිකය වඩාත් සමාජීයව ඵලදායී ලෙස සකසා ගැනීම මිසක සමාජවාදීන් විශ්වාස කරන ලෙස මුළුමනින් අහෝසි කිරීමකට සජබය, එජාපය හෝ අනෙකුත් ප්‍රධාන ධාරාවේ පක්ෂ වලට එකඟ විය නොහැක. විවෘත ආර්ථිකයේ සහ නව ලිබරල්වාදයේ  දැඩි ග්‍රහණය හමුවේ ජාතිකවාදී පොදුජන පෙරමුණ අද සියළු ජනතා අයිතීන් ආපස්සට හරවමින් සිටී. ඔවුන් එදා එජාපය දියත් කළාටත් වඩා දැඩි මිලිටරිවාදී ආකාරයකින් සියල්ල වෙනස් කරමින් සහ විනාශ කරමින් සිටී.

කොතලාවල පනත හරහා අධ්‍යාපනය මිලිටරීකරණය වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන අනතුර පිළිබඳව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කොටස් වඩාත් විචාරශීලීව පරීක්ෂා කළ යුතුය. තුනෙන් දෙකේ බහුතරය තිබූ පමණින් සියළු දේ කෙළසා දැමීමට එම බලය නොයෙදිය යුතුය. විපක්ෂය මේ අනතුර තේරුම් ගනිමින් සහ අධ්‍යනය කරමින් වත්මන් ස්ථාවරයන්ට පැමිණ තිබේ. එය එක් අතකින් ප්‍රජාතන්ත්‍රවාදයට ශක්තියකි. කෙසේමුත් ජනතාවගේ අයිතීන් සැමවිටම ආරක්ෂා කර ගැනීමට නම් සක්‍රීයව ජනයා දේශපාලන ක්‍රියාවලියට සහභාගී වියයුතුය. සජබය හෝ වෙනත් කිසිම පක්ෂයක කට වඩා අප විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ ක්‍රියාකාරීත්වයයි. ජනතාව සක්‍රීය වන විට දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රතිචාර දැක්විය යුතුය. කොතලවල පනත පරාජය කොට නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීමේ සටන් මඟට ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගය ඉදිරිපත්වීම සියලුජන බලවේගශක්තිමත් කරන සංසිද්ධියක් සේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    ගෝඨා මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බව පෙනේ. නැවත පැමිණීම සඳහා උසාවියේ නඩු හැසිරවීමේ නිපුණයා නිශ්ශංක සේනාධිපති ය. සියල්ල දැන් හෙළිදරව් වෙමින් පවතී. අමූලික බොරුව ඉදිරි දිනවල එළියට එනු ඇත.
    වෙලාවේ සැබෑ ගැටලුව කෙරෙහි ඔහුට අවම සංවේදීතාවයක් නොමැති නම්, ඔහු සෞඛ්‍ය නිලධාරීන්ට සහ ප්‍රවීණයන්ට සවන් දිය යුතුය. ගෝඨාගේ සහ ඔහුගේ මිලිටරි මිනිසුන්ගේ ඕනෑම වැරදි තීරණයක් නිසා මිනිසුන්ගේ ජීවිත අහිමි වේ. මෙය ඉතාමත් කණගාටුදායක වන අතර ඒවා රූපවාහිනී තිර වල දකින විට අපේ දෑස් තෙත් වේ. ඉදිරි දින කිහිපය තුළදී රාජපක්ෂවාදී කවයන් තුළ සිටින ඕනෑම අයෙකු මිනිසුන් මරා දමන අතර ඔවුන් කෙරෙහි වෛරය xray වේගය වැඩෙමින් තිබේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.