26 April, 2024

Blog

සමු ගනිමි: මට ඔස්ටින් ප්‍රනාන්දු ලෙස දිවි ගෙවීමට ඉඩ දෙන්න!

ඔස්ටින් ප්‍රනාන්දු –

ඔස්ටින් ප්‍රනාන්ඳු

1942 ජුනි 12 දින ඉපිද, හික්කඩුව සිංහල පාසැලේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා, පශ්චාත් අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ලද මම පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයට 1960 ජුලි මස ඇතුලත් වුණා. තරුණ උපාධිධාරියෙකු ලෙස ගුරු වෘත්තියට 1963 මැයි මස ඇතුළත්වූ මම ලංකා පරිපාලන සේවයට 1967 ඔක්තෝබරයේ ඇතුලත් වුණා.  

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඇරඹු මගේ ලංකා පරිපාලන සේවා කාලය රසවත් හා අමතක නොවන සිද්ධින් බහුල වූ සමයක් වූ අතර නොයෙකුත් තත්ත්වයේ තනතුරු දැරූ මා අවසානයේදී අවුරුදු 44 ක් වැනි සාපේක්ෂකව නොපැසුණු වියේදී අමාත්‍යංශ ලේකම් ධුරය දැරීමට වාසනාවන්ත වුනා. මෙයට බොහෝ රාජ්‍ය සේවකයින් ඊර්ෂ්‍ය කරනු ඇති වුනත් ඉන් පසු මට මුහුණ දෙන්නට සිදු වූ දේවල් ගැන යමෙක් එතරම් ඊර්ෂ්‍යා කරනු නැති වෙයි. 

අවුරුදු 54 ක් වූ තරමක නොපැසුණු වියේදී, එනම් 1996 අගෝස්තුවේදී හදිසියේ රාජ්‍ය සේවයෙන් බැහැරවීමද අත් දුටුවා . එයට හේතුව වූයේ මගේ ජීවිතය සමග අවියෝජනීය වන රාජ්‍ය සේවයේ පාරදෘශ්‍ය භාවය වෙනුවෙන් මා නැගී සිටීමයි. එසේ රාජ්‍ය සේවයෙන් ඉවත්වීමෙන් මට යහපතක්ද වුනා. පකිස්තානයේ උගත් මාගේ දියණියට සරසවියට මුදල් ගෙවා ගැනීමට බැරිව සිටි මට රාජ්‍ය සේවයෙන් අස්වීම නිසා පුද්ගලික අංශයේ ලද රැකියාවෙන් කරදරයකින් තොරව අයගේ අධ්‍යාපනයට වියදම් කරන්නට හැකි වුනා. ඇය අද ඔක්ස්ෆර්ඩ් සරසවියේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබන විට රාජ්‍ය සේවයෙන් එළවා දැමීමෙහිද සැපක් ඇති බව මට හිතෙනවා! මා අදත් රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී යන්නේ හැම දේම වන්නේ හොඳටය යන අදහසින්මයි.  

1996 දී මා සේවයෙන් නික්ම ගියේ මාගේ නිසසලිත අවංකභාවය ඉතා ඉහලින්  රැකගනිමින්. 2018 දී මාගේ වෙන්ව යාමද  හදිසියේ සිදුවූ ලෙස ඔබට සිතෙනු  ඇති. තවද මේ ගැන නොයෙක් අර්ථකතනද   නොයෙක් දෙනා පවසනවා   නියතයි. පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය එසේ පවසාද තිබුණා. එහෙත්,, එය පිලිබඳව 2018 මැයි මස 22 දින- අතිගරු ජනාධිපතිතුමා ගේ කාර්යාලයේදී- එතුමන් සමග සාකච්ඡා කර, මාගේ  තීරණයට මම  එළඹුණා.  මා අද සේවයෙන් ඉවත්ව යන්නේ අවුරුදු 76 වූ ඉතා මුහුකුරා ගිය වයසකදීය. වයස 76ක් යනු ලෝකය දෙස දාර්ශනිකව බැලිය හැකි වයසක්.    

1996න් පසුව මා දෙවරක් – 2001 දෙසැම්බරයේ ආරක්ෂක ලේකම් හා 2015 ජනවාරියේ දී පිළිවෙලින් ජනාධිපති උපදේශක හා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පෞද්ගලික අංශයේ සිට රාජ්‍ය සේවයට බැඳුණා. අනතුරුව 2017 ජුලි මස ජනාධිපති ලේකම් තනතුරට පත්වුණා. මේ තනතුර රාජ්‍ය සේවය තුල රජයේ සේවකයෙකුට පත්විය හැකි උසස්ම, ගරුත්වය ලබන, සම්මානනීය මුදුන් මල් කඩයි.   

මාගේ මෙවර සේවා කාලය තුල ප්‍රසන්න හා අප්‍රසන්න අත්දැකීම් සිහිවටන තිබෙනවා. ඒ අප්‍රසන්න සිහිවටන ගැන කතාකිරීමෙන් වැලකී ඉන්නම්. ඉන් සමහරක් රාජ්‍ය සේවයේ නොරැඳී සිටීම වඩා යෙහෙකැයි මා පෙලඹවූ අතර ලේකම්  කාර්යාලයෙන් හා ධුරයෙන් මා ඉවත්වීමට කාලය එළඹ ඇතියි මග පෙන්වීමට හේතු වුවා. රාජ්‍ය සේවයෙදී මීට කලින්ද මට අපහසුකම් සිදුවූ විට. මාහට පිළිසරණ දැඩිව අවශ්‍ය වූ විට, සෙවන දුන් පුද්ගලික ආයතන දෙකකට මාගේ කෘතඥතාවය පළකරනවා. වසර පහකට වැඩිකලක් එසේ කළ රිසෝසස් ඩිවෙලොප්මන්ට් උපදේශක සමාගම හා වසර 11 කට මට සෙවන දුන් ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයත් යන දෙකට.  

දේශපාලන, සමාජ, පරම්පරානුගතසම්බන්ධතානොමැතිව, සාමාන්‍ය ලිපිකරුවෙකුගේ පුතෙකු, රාජ්‍ය සේවයේ හිනිපෙත්තට නැගීමට හැකිවීම ශ්‍රී ලංකාව උත්සාහයත්, කාර්යක්ෂමභාවය හා අවංකභාවය ඇත්නම් අවස්ථා පූර්ණ රටක් බව ඔප්පු කරනවා. මාහට වරද කළ, සමහරුන් මා වරදවා වටහාගත් අවස්ථාවල, අහේතුකව, නිදහසට කරුණුවත් නොවිමසා මා දඬුවමට ලක්කළ, කටකතා මගින් සමච්චලයට ලක්වුණු ආදී අවස්තාවලදී වුවද, පූර්ණ අවංක භාවයෙන්, අගතියෙන් තොරව, කිසිවෙකුට වෛරශීලී නොවී, මා මාගේ රාජකාරී කොටස ඉටු කර තිබෙනවා. නැවතත් එවන් කටකතා, සමච්චල්, අපහාස, උපහාස මට එල්ල වනු ඇති. එය අෂ්ට ලෝක ධර්මයේ ප්‍රතිමුර්තියක් ලෙස මා සිනහවෙන් ඉවතලනවා.

අක්‍රමවත් මගින් උපයාගත් වත්කම් මා හට නොමැති හෙයින් මම FCID යට කිසිදාක බිය විය යුතු නැහැ! බියත් නැහැ. කිසිවෙකු මරා, හිංසනයට බඳුන් කර, අතුරුදහන් කර හෝ වැරදි අන්දමින් දණ්ඩනයට ලක් කර නැති හෙයින් හේග්හි අන්තර්ජාතික අපරාධ අධිකරණයට ගෙන යාම ගැන මට බියක් නැහැ. මා වටා සිටින ආරක්ෂක වළල්ලක් නොමැතිව මට ඕනෑම මහමගක ඇවිදින්නට පිළිවනි. මට ආරක්ෂාවක්  සලසා තිබුනු අවස්ථාවේදී වුවද මා ඔවුන් යොදා ගත්තේ අවම ලෙසයි. මම නිදහස් හර්ද සාක්ෂියක් සහිත නිදහස් මිනිසෙක්. මා අද අවසාන වතාවටත් නිදහස්!

මගේ රාජකාරි ජීවිතයේ නැගීම් හා බැසීම් සෑහෙන තරමක් වුනා. ඒවා මට ඉන්දියානු ව්‍යාපාරික රජෙකුවන රටාන් ටාටාගේ කියමනක් සිහිපත් කරනවා.  “ජීවිතයේ නැගීම් හා වැටීම් අපගේ ඉදිරිගමනට ඉතා වැදගත් වෙනවා. කෙලින් ඉරක් ඊ සී ජී වාර්තාවක වුවද දනවන්නේ අප ජීවතුන් අතුරේ නැති බවයි.” කියා ඔහු පැවසුවා. මා සැමවිටම ශක්තිමත්ව ක්‍රියාකාරී ජීවිතයක්  ගත කළා. වයස 76 වුවද, දිගු පැය ගණනක් රෑ බෝවන තුරු වැඩ කළා. දිග රැස්වීම් පැවැත්වූ මා කාර්යාලයේ ලිපි ගොනු ඉතිරිවුයේනම් ඒවා ගෙදර ගොස් වැඩකළා. මා දිනකට පැය දහයක් දොළහක් වැඩකළා. හැමදාම වගේ මේ කාර්යාලයෙන් අන්තිමටම රාත්‍රියේ නික්ම ගියේ මා බව ජනාධිපති ආරක්ෂක අංශය සාක්ෂි දරනු ඇති. මාගේ කාමරයේදී ගොනුවක් ප්‍රමාද වූයේනම් පැය විසිහතරකට අඩුවිය යුතුයි. ප්‍රමාදයන් වූයේනම් ඒ  රජයේ මුදල් සම්බන්ධ විය යුතු වුයේ මා ලේකම් කාර්යාලයේ  ප්‍රධාන ගිනුම්දීමේ නිලධාරියා ලෙස පරිස්සම් විය යුතු වූ හෙයින්. 

මම විශේෂයෙන්ම මේ වත්මන් රජයේ සංහිදියා හා සාමය ගොඩ නැගීමේ නිර්මානාත්මක අපහසු විශේෂ කාර්යභාරයේ නිරතවුනා.  අතුරුදහන්වුවන්ගේ කාර්යාලය පිලිබඳ සංකල්ප වාර්තාවත්, නීති කෙටුම්පත සකස්කිරීමට පත්කර තිබුණු ක්‍රියාකාරී කණ්ඩායමේ මා සම සභාපති වුවා.  හානිපූර්ණය සඳහා යාන්ත්‍රණයක් සඳහා සංකල්පයක් හා නීති කෙටුම්පතක් සකස් කිරීමට පත්කරන ලද ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපති වුයේ මමයි. මම ශ්‍රී ලංකාව සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කීරීමේ මූලික සුදානම්වීමේ කටයුතු සිදුකළ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ උප කමිටුවට දායක වුනා. ඒ, මා  සන්හිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය කෙරෙහි දැඩි විශ්වාසයක් පැවැත්වූ  හෙයින්. 

ගුරු වෘත්තියට ඇතුලත්ව අවුරුදු 55 කට පසුව මහජන සේවාවෙන් මා නික්ම යන අද, ඊ එෆ් ඩයස් අබේසිංහ, ඩී බී අයි පී එස් සිරිවර්ධන, ධර්මසිරි පීරිස්, බ්‍රැඩ්මන් වීරකෝන්, ෂෙල්ටන් වනසිංහ, බාකු බහාදේව ආදී උත්තුංග රාජ්‍ය සේවකින් හා ගාමනී ජයසුරිය, රත්න දේශප්‍රිය, ජේ ආර් ජයවර්ධන, ආර්  ප්‍රේමදාස, ඩී බී විජේතුංග  මැතිදුන් වැනි මට එකට රාජකාරි කිරීමේ වාසනාව ලද ශ්‍රේෂ්ට දේශපාලන බලධාරීන්  අගය කිරීමට මට සිදුවෙනවා. 

මාගේ සේවාකාලය තුල දුකේදීත් සැපේදීත් මා සමග සිටි ඉතාම කුඩා සුළු සේවකයා පවා මාව මෙතන  සිටුවා තැබීමට තමාගේ ජීවිතයෙන් කොටසක් කැප කර තිබෙනවා. ඔවුන් සැමට ස්තුතියි. මා සමග ආසන්නයෙන් රාජකාරි කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හා අන් නොයෙකුත් ශික්ෂණයන්ට අයත් විධායක ශ්‍රේණිවල නිලධාරීහු රැසක් වුණා. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.  මට හැකි පමණින් ඔවුන්ට සේවා තත්ත්වයන් ගොඩනැගීමට ආධාරක වුනු බව පරිපාලන සේවාවේ සැමදෙනා දන්නවා. අමාත්‍යංශ ලේකම්වරුන්ට මාසිකව රුපියල් 50,000 දීමනාවක් ලබාදීමේ ප්‍රමුඛයා වුනෙත් මමයි. මා අධිකරණයට  වුවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණ ලේකම් සමග එකතුව එසේම කළා. අග විනිසුරු තුමාත්, නීතිපතිතුමාත් මීට හොඳම සාක්ෂි කරුවන්. අන් සේවාවක් මට කරුණු ඉදිරිපත්කළා නම් ඔවුන්ටද එසේම කරනවා. .  

මාගේ මුලු සේවා කාලය තුල මම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, තානාපතිවරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති හා සංගම්, මාධ්‍ය සංවිධාන, ඉහලම හා පහල මට්ටමේ ආගමික නායකයින්, ගරු අග්‍ර විනිශ්චකාරතුමන්, උපරිමාධිකරණ විනිසුරන්, නීතිපතිතුමන්  ඇතුළු නොයෙක් මට්ටමේ නීති නිලධාරීන්, ස්වාධීන කොමිසම් ආදී නොයෙකුත් අංශ සමග රාජකාරි කර තිබෙනවා. මාහට ඉහලම සහාය අවශ්‍යවුවිට එය නොවලහා හිත පුරා දුන් ඔවුන්ට මම ස්තුති කරන්නට කැමතියි.  

මාගේතුරුණු වියේදී මම පක්ෂ දේශපාලනයේ ක්‍රියාකාරී වුවා. මා රාජ්‍ය සේවයේ හිනි පෙති නගින විට පක්ෂ දේශපාලන සම්බන්ධතාවයන්ගෙන් ඉවත්වුණා. ඒ ලංකා පරිපාලන සේවයට බැඳීමෙන් අනතුරව දේශපාලන අයිතිවාසිකම් අහිමි වූ නිසයි. ඉන්පසු, මා වඩා උනන්දු දේශපාලන පක්ෂයට වඩා, හොඳම දේශපාලන චරිතය තෝරා ගැනීමට පෙළඹුනා. දේශපාලන දර්ශනවලට ආකර්ෂණය නොවී සිටීමට එනිසා මට හැකිවුණා. මා ඕනෑම අයෙකුට පිළිගත හැකිවුනා. කොටින් කිවහොත්, මට 2001 එක්සත් ජාතික පක්ෂ රජයේ ආරක්ෂක ලේකම්ව සිට, 2017 දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විරුද්ධවාදී පක්ෂයට නායකත්වය දුන් ජනාධිපතිවරයාගේ ලේකම් වීමට හැකිවුණා.    

ජනාධිපති ලේකම් තනතුරට පත්වූ පසුවත්, එකල එක්සත් ජාතික පක්ෂය සමග කළ රාජකාරිය, වත්මන් දේශපාලන ඇඟ ඈලිකම්වලට පටලවා අර්ථකථනයට සමහර දේශපාලනඥයින්ට ව්‍යාජව ඇලීගැලී සිටින්නවුන් (fake hangers-on) පෙළඹී  සිටිනවා. මේ විචාරකයින් මගේ “My Belly is White” පොතෙහි මා ආරක්ෂක ලේකම් ලෙස පත් කළ අන්දම කියවා එය විශ්වාස කරන්නේ නම් එවැනි විචාරයන්ගේ සාවද්‍යභාවය පැහැදිලිවම අවබෝධ කරගනු ඇති. 

ජනාධිපතිතුමන් විසින් මා වත්මන් තනතුරට පත්කිරීම මාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති ඇඟ ඇලිකම් ගැන සදහනට සමහරු විචාරයන් කර තිබෙනවා. පත්වීම සිදුවුයේ කෙසේද යන්න ගැන හොඳින්ම දන්නේ  අතිගරු ජනාධිපතිතුමාමයි. 

ඔවුන්ගේ දේශපාලන පක්ෂයන්හි ඇබිත්ත්යෙකු නොවුවද, ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට විශාල ගරුත්වයක් මා තුල තිබෙනවා. මා ජනාධිපතිතුමා හා අගමැතිතුමා පිළිවෙලින් අවුරුදු 43 හා 30 පමණ ඇසුරු කළේ රටේ මිතුරෙකු ලෙස හා සත්‍ය හා ස්වාධීන හඬක් දැරූවෙකු ලෙසය. ඔවුන් ඔවුන්ගේ දේශපාලනය මගින් සාමය, සංහිදියාව, යහ පාලනය හා සාධාරණය සඳහා සටන් කරමින් සිටි අවස්ථා වලදී  මා ඔවුන්ගේ එම ක්‍රියාදාමයන්ට උපකාරී වුනා. ඔවුන් බලයේ නොසිටි, දේශපාලනයේ නියැලුණු  සමයේදී අද ඔවුන්ගේ කාර්යාල හා නිවෙස්හි දිනපතාම රැස්කකා සිටින බොහෝදෙනා දක්නට සිටියේ නැහැ. සමහරු ඔවුන්ට දැඩිව එරෙහි වු අයයි. ඔවුහු දේශීයව හෝ විදේශීයව උසස් තනතුරු දරමින් සැප සම්පත් පරිභෝජනය කළා. කෙසේවුවද, මා නිලදරුවෙකු ලෙස රජයට රාජකාරි කිරීම ඇරඹු පසු දේශපාලනයෙන් ඇත්වුයේ කිරෙන් දිය වෙන්ව හඳුනා ගන්න හංසයෙකු ලෙස මට පරිපාලනයෙන් දේශපාලනය වෙන් කරගත හැකිවූ හෙයිනි. මේ වෙනස තේරුම් නොගත් සමහර දේශපාලන ක්‍රියාකාරීන් මා ප්‍රතිගාමියෙකු ලෙස දුටු බව මම දන්නවා. එහෙයින් මා අප්‍රසිද්ධියේ දැඩි විවේචනයටද ලක්වූ බවද  මටත් මම දන්නවා.  

මගේ රාජ්‍ය සේවා කාලය සියලුම දේශපාලන පක්ෂවල බලවතුන් සමග යහ සබඳතා ගොඩ නගා තිබු අතර, ඔවුන් ද බිම්මට්ටමේ දේශපාලන කරුනු පැහැදිලි කරගැනීමට මාගෙන් විමසීම් කළා. මගේ හදවත දේශපාලනයට වඩා පුළුල්. මා  උනන්දු වුයේ රටට හොඳ දෑ කිරීම හෝ පැවසීම හෝ සිදුවේද යන්නයි ; එය සියලු ප්‍රජාවන්ට සාධාරණය ඉටුකරයිද යන්නයි;  එය සාමය හා සැනසුම ගෙන දේද යන්නයි; සැමට ප්‍රේමය හා කරුණාව වැඩිකරයිද යන්නයි; එය පරිසරයට හිතවත්ද යන්නයි. මාගේ දිවිමගෙහිදී හදවතට එකඟව ක්‍රියා කිරීම හා පුද්ගලානුබද්ධ දේශපාලනයට වඩා මාගේ රටට කළහැකි සේවයට ප්‍රමුඛත්වය මා දුන්නා. රාජ්‍යය රජයට වඩා බලගතු ශ්‍රේෂ්ට සංකල්පයක් බව මතක තබා ගත යුතුයි. දනින් නැමී වරදට  වන්දනීය වීම වෙනුවට රාජ්‍ය සේවකයන් ලෙස නිවරද වන්දනීය පූජනීය කිරීම, නීතියේ පරමාධිත්‍යය රජයනය, වගවීම හා පාරදෘශ්‍යභාවය තහවුරුව රාජ්‍ය පරිපාලන උධෘත පාඨ විය යුතුයි මා සිතනවා.  

රාජ්‍ය සේවයේ තවත් ව්‍යසනයක්ව ඇත්තේ “ජ්‍යේෂ්ටතා ප්‍රමුඛතාවය” හා “දේශපාලන සුහදතාවයයි”. මෙය කාර්යක්ෂමව, සාපල්‍යව ව හා ලාභදායීව රටට සේවය කළ හැකි නිලධාරීන් කණ්ඩායම් කලකිරීමට පත් කර තිබෙනවා.  දේශපාලනඥයින් වටා එක්රොක්ව සිටින ව්‍යාජ​ රැවටුම්කරුවන් (fake hangers-on) පිරිසක්ද සිටිනවා . ඔවුන් දේශපාලනඥයින්ටත් නිලධාරීන්ටත් හිසරදයක්. මෙය සැම දේශපාලන සහ පරිපාලන මට්ටමකම දක්නට තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලික හා දේශපාලන න්‍යාය පත්‍රයන් තිබෙනවා . ඒවාට දේශපාලනඥයින් හා පරිපාලකයින් නතු කර ගැනීමට ඔවුන් ක්‍රියාකරනවා. මෙවන් ව්‍යාජ රැවටුම් කරුවන් නිසි හේතු මත ඉවත් කරනු විනා, සුදුස්සන් ව්‍යාජ රැවටුම් කරුවන්ගේ බොරු කරුණු ඉදිරිපත් කීරීම් මත ඉවත් කිරීම නිසි පිළිතුර නොවේ. මෙමගින් කෙදිනක හෝ බැටකනු ඇත්තේ එම දේශපාලන බලධාරීන්මයි. එම ආයතනමයි.  

මෙවන් රැවටුම්කරුවන් සමඟ​ ක්‍රියාකිරීමේදීමාගේ ප්‍රතිපත්තියක් තිබුනා. එනම් හැකිතාක් දුරට කෙලින්ම කතාකිරීමයි. සමහරවිට එසේ කිරීමෙන් සමහරුන් සිත් තැවුල් ඇතිකරගත් බව මම දන්නවා. මා එය මගේ ශක්තියක් ලෙස සැලකුවද, සමහරෙකු එය දුබල කමක් ලෙස සිතන්නට ඇති. කෙසේ වුවත් 76 වියැති මා ජීවත් වනුයේ කෙටි සීමිත වසර කිහිපයක් හෙයින් දැන් මම මගේ ජීවත් වීමේ කලාව වෙනස් කරන්නේ නැහැ. මට සාමාන්‍ය ඔස්ටින් ප්‍රනාන්දු ලෙස දිවි ගෙවීමට ඉඩ දෙන්න යයි ඕනෑම කෙනෙකුට පණිවිඩයක් දෙනු කැමතියි. ඒ මා ස්වාධීන මිනිසෙකු නිසා . 

ඉන්දියාවේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වූ ටී එන් ෂෙශාන් ලියූ Degeneration of India නම් පොතේ ඉන්දියාවේ පිරිහීමට නම්කළ හේතු හතර වුයේ දේශපාලනඥයින්, අවරාජ්‍ය සේවය (Unpublic Service), අධිකරණය හා මාධ්‍යයයි. ශ්‍රී ලංකාවේත් රාජ්‍ය සේවය අවරාජ්‍ය සේවයක් නම්, අන් කාණ්ඩ තුන පිලිබඳව කෙරෙන විවේචන සලකා බලන විට, අඩුම තරමින් රාජ්‍ය සේවය බල නොගැන්වුවහොත්, ශ්‍රී ලංකාවද ජරාජීර්ණ වීමෙන් වලකාගන්නට බැහැ. ඒ සඳහා දේශපාලනඥයන්, පරිපාලන නායකත්වයන්, නීති බලගන්නවුන්, අධිකරණය, මාධ්‍යය හා සිවිල් සමාජය එකිනෙකාත්, සාමුහිකවත් ප්‍රතිසංස්කරණයන්ට දැඩිව කර නොදුනහොත් අපහසු වනු ඇති . මා 2015 දී ජනාධිපති උපදේශක තනතුරේ රාජකාරි භාරගත්තේ ජනාධිපතිතුමන්ගේ කැමැත්තටය. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධුරය මා භාරගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ  නිර්දේශයක් මත ජනාධිපතිතුමාගේ ප්‍රත්‍යෝපකාරයක් නිසාය. උපදේශක ධුරය මා ඉටුකළේ නිර්වේතනිකවය. ජනාධිපති ලේකම් ධුරයට මා පත්වුයේ ජනාධිපතිතුමන් විසින් කරන ලද ඉල්ලීම් කිහිපයක්ම මග හැර, අවසානයේදී 2017 අප්‍රේල් මස 30 දින එතුමන්ගේ ඉල්ලීමට නතුවෙමිනි. මේ බව WJS කරුණාරත්න මහතාත්, අනුරාධා ජයවික්‍රම මහත්මියත් හොඳින් දන්නවා. 

වඩා හොඳින් කටයුතු කිරීමට තරුණ අයෙකුට ඉඩතැබීමටත්, තිරසාර භාවයටත්, වේගවත්ව කටයුතු කිරීමටත්, ආරම්භයේදීම වසරකින් පසුව මේ රැකියාවෙන් ඉවත්ව යාමටත් මම අදහස් කළෙමි. අතර තුර මට වැටහුණු අන්දමට බාහිර නුසුදුස්සන් විසින් මා සඳහා විකල්ප සෙවීම සදාචාරාත්මක නොවීයයි මට සිතුනා. එය නම් මට සතුටක් ගෙන දුන්නේ නැහැ. එය පෙරකී ආරම්භක ප්‍රාර්ථනය ස්වේච්චාවෙන් ඉටුකර ගැනීම වේගවත් කළා.

අප කාගේත් තනතුරු පිරුවට වගෙයි. එක නැටුමකට පසු නැට්ටුවෝ එය උනා දමනවා. ඊළඟ නැටුමට අලුත් පිරුවටයක් අඳිනවා. මම සතුටින් පිරුවටය උනා දමන්නේ එවිට ඒ ගැන මට වඩා ප්‍රීතියෙන් ප්‍රමුදිත වන අයගේ සිනහ හඬේ දෝංකාරය අසමිනි. ඉංග්‍රීසියෙන් “One who laughs last, laughs best“ යයි පිරුලක් තියනවා. “අවසානයට සිනහ වෙන්නා හොඳින්ම සිනාසෙනු ඇත” යන්න එහි තේරුමයි. කවුරුන් අවසානයට සිනහ වේදැයි මම දන්නේ නැහැ. 

මාගේ දීර්ඝ රාජකාරි කාලය තුල මට එරෙහිවූ, මඩ ප්‍රහාර එල්ලකළ හා අනීවාර්යයෙන්ම ඉදිරියේදී කළහැකි හෝ කරන හෝ අයට සමාව දීමට තරම් මා පරිණත වී ඉන්නවා. මගේ හදවත තරහ හා ක්‍රෝධය දමා තබන කසල බඳුනක් නොවෙයි.  මගේ හදවත ආදරය, සතුට හා සුන්දර මතක රඳවා තැබෙන අගනා සඳුන් මන්ජුසාවක් ලෙස මම සලකනවා.  මා තරහ, ක්‍රෝධය සිත්හි තබා නොගන්නා ඊර්ෂ්‍යාවෙන් තොර පුද්ගලයෙකු බව ඔබ සියලු දෙනා දන්නවා. තවද, ඔබ සැමට වෙනසකින් තොරව ආදරයෙන් හා ගෞරවයෙන් සලකා, එමගින් සතුට නොබිඳ රඳවා තැබීම, මටත් ඔබ සැමටත් සුන්දර මතක සිහිවටන වෙතැයි මම සිතනවා .  

ඔබ අතර සමහර දෙනා සිතනවා ඇති මේ ජනාධිපති ධූර කාලය අවසන් වන්නට මාස ගණනක් තිබියදී මේ විදිහට මේ වගේ බලවත්  තනතුරක් අතහැර යන්නේ ඇයි කියලා- මෙතන සිටින බොහෝ දෙනා රාජ්‍ය සේවයේ තව දුරක් යා හැකි වයසේ නිසා මම ඉතා නිහතමානීව එක අවවාදයක් දෙන්නම්: බලය තුල ඊට ආවේනික බලයක් නැහැ. එහෙම තියනවානම් කෙනෙක්ව බලයෙන් පහ කරන්නට බැහැ. බලය කියන දෙය ඇතුලේ ඇත්ත බලය තියෙන්නේ එය අත හැරීමට ඇති හැකියාව තුලයි- පෞද්ගලික ජීවිතයේ හෝ, වෘත්තීය ජීවිතයේ හෝ , දේශපාලනයේ හෝ සැබෑ බලය ලැබෙන්නේ එක අතහැරීමට ඇති හැකියාව තුලයි. අතහැරීමෙන් ඔබට ලැබෙන බලය අන් කිසිම ශක්තියකින් ලැබෙන්නේ නැහැ. මේ පාඩම බුදු රජාණන්  වහන්සේ අවුරුදු 2500 කට පෙර උගන්වා තියනවා. රාජ්‍ය සේවකයන් සහ දේශපාලඥයන් දෙගොල්ලන්ම මේ ගැන සිතිය යුතුයි.

මම මට මේ දුර එන්නට මග පෑදූ මගේ දෙමව්පියනට ගුරුවරුන්ට, පූජ්‍ය පක්ෂයට ස්තුතිවන්ත වෙනවා. රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ මගේ වෘත්තීය සඟයන්ටත්, දේශපාලඥයන්ටත්, මා හට කොදේසි විරහිතව ආදරය කල මගේ මිතුරන්ටත් ස්තුතියි. මගේ මිතුරන් මට ශක්තිය අවශ්‍ය විට ශක්තිය දුන්නා; පීඩිත කාල වලදී විහිළු තහලුවෙන් මගේ වේදනාව සමනය කළා. මම මගේ පවුලට ස්තුති කරනවා. විශේෂයෙන්ම මගේ බිරිඳ මා ගත කල පෞද්ගලිකත්වය අඩු අවිවේකී ජීවිතය ඉතා අකැමැත්තෙන් නමුත් ඉතාම සියුමැලි ලෙස සහ නිශ්ශබ්දව ඉවසුවා. මගේ ජීවිතය හා බැඳුන ඉතා වෙහෙසකර දේ මනසින් නොවැටී ඉවසන මගේ දරුවන්ට ස්තුතියි. ඔවුන් මගේ ජීවිතයේ ජයග්‍රහණයන් සහ පරාජයන් දාර්ශනික වින්දයක් ලබමින් බෙදා ගත්තා. මගේ කාලය සහ අවධානය ඇති තරම් නොලැබුණු මගේ අහිංසක මුනුබුරු මිනිබිරියන්ටද ස්තුතියි. මේ ඔවුන්ගේ කාලයයි.

මට අත්හරින්ට බැරි දෙයක් නැහැ; කෙනෙකු නැහැ; තනතුරක් නැහැ; සැපක් නැහැ; පහසුකමක් නැහැ. අපේක්ෂාද නැහැ. මම දුක හොඳින් දන්නවා. මම සැපත් හොඳින් දන්නවා. ලස්සන දෙයක් දුටුවානම් සතුටින් මම කෙලින්ම එය ඇගයූවා. මා ලඟින් ඇසුරු කළ අය මෙය හොඳින් දන්නවා. මම රජවරුන් මෙන්ම දිළින්දන් ඇසුරු කර තියනවා. අරන්තලාවේ හෝ අලුත් ඔයේදී හෝ පිටකොටුවේ බස් නැවතුම් පොලෙහි දී මියැදුනුවුන් රැසක් එක තැන දුටු විට කඳුලින් නෑවුනු මා, සංගීතයෙන් නැටුමෙන් කුල්මත් විය යුතු තැන ඊට අනුකූලව ඒ සියල්ල රස වින්දා. එය අදද එසේමයි. හෙටත් එය එසේමයි. මට කොළඹ හතේ හෝ පැරිසියේ හෝ සුවඳ විලවුන් වලට වඩා කිලිනොච්චියේ හෝ සාම්පුර් හි අවතැන් කදවුරකින් එන දිළිඳු දහදිය ආග්‍රහණය සතුටක්. එය රාජ්‍ය සේවය තුලින් මා දැක ඇති අත්දැකීමෙන් වඩාත් කැකෑරී උද්දීපනය වී තිබෙනවා. එහෙයින් අද රාජ්‍ය සේවය අත් හැර ගිය විට මට ස්වාභාවික සාමාන්‍ය දිවියක් ගෙවිය  හැකිය. 

පසුගිය වසර තුනක කාලය තුල මා ලිවීමෙන් ඉවත්ව සිටියා. සාමාන්‍යයෙන් මසකට උසස් මට්ටමේ ලිපි දෙකක් පමණ ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ලිවූ මා සිත් තුල කැකැරෙන දේ තිබෙනවා. ඒවා නොලීවේ රාජ්‍ය සේවා බන්ධණයෙන් අත් බැඳ තිබු හෙයිනි. මා අදින් පසු ඒ බන්ධනයෙන්ද මිදෙනවා. මට රාජ්‍ය සේවය, දේශපාලනය ආදිය ගැන ලිවීමට කතාකිරීමට ඇති දේ කෙරෙහි අලුතින් සිත් යොම කළ හැකිවීමද මා සිත් තුල බලාපොරොත්තු ඇතිකරනවා . විශේෂයෙන්ම ශ්‍රී ලංකා දේශපාලන, සමාජ, සංහිදියා ක්‍ෂේත්‍රවල නව නැඹුරු ගැන මා සිත තුල ඇති අදහස් සමාජගත විය යුතු යයි අදහස් කරනවා . 

කෙසේ වුවද, මා උගත් පාඩම් රාජ්‍ය සේවයේ පැවැත්ම සඳහා අවශ්‍ය කෙනෙකු සමග බෙදා හදා ගැනීම සඳහා මගේ සන්තානයේ රඳවා ගෙන තිබෙනවා . සමහර විටෙක ඒ සියල්ලම නොවුනත් බිඳක් හෝ ලිඛිතව එළිදක්වන්නට සිත තුල පැලපදියම් කරගෙන ඉන්නවා . මියැදීමට පෙර ඒ අභිලාෂය ඉටු කර ගන්නට නම් ඉක්මනින්ම මා විවේකී විය යුතුය. ජනාධිපති ලේකම් ධුරය එයට ගැලපෙන රැකියාවක් නොවෙයි. මගේ අත්දැකීම් ලිවීම ඇරඹු මට පිටු 250 පමණ යතුරු ලිවීමට 2017 ජුනි වනවිට හැකිවුවද, පසුගිය වසරේ යතුරු ලිවීමට හැකිවුයේ පිටු 10 ක් පමණයි. දැන් මට ඒ කර්තව්‍යය ඇරඹිය හැකිය. පසුගිය වසර ගැන ලිවීම ඉක්මනින්ම මම අරඹනවා. මේ සියල්ල නිසා මට රාජ්‍ය සේවයෙන් ඉවත්වීම වේගවත් කළ උතුමන්ට මම ස්තුතිවන්ත වෙනවා. එපින් ක්‍රියාව නිසා ඔවුන් ගැන මා සිත් තුල ඇත්තේ බහුමාන කෘතගුණ පූර්වකත්වයක්. 

මේ ළඟදී දිනක කාර්යාලයේ එක් රැස්වීමකදී කෙනෙකු මහා පොලොවට කන තියා හොඳින් ඇහුම්කන් දුනහොත් ඇසෙන දෙය අප සිත් සසල කරනු ඇතියයි පැවසුවා . එවිට මට සිතුණේ පොලොවට කණ තිබීමට වඩා පහසුවෙන් හදවතට අත තියා තට්ටු කොට ස්මරණය කළහොත් ඊට වඩා හොඳ සත්‍යයෙන් පිරුණු දෝන්කරයක් කෙනෙකුට පහසුවෙන් ඇසෙනු ඇති බවයි. මහ පොලොවට කන තැබුවද, හදවතට අතින් තට්ටු කළද මට නම් හද සසල කරන දෝන්කාරයක් නො ඇසෙනු ඇති හෙයින් මට සතුටු විය හැකියි.    

මෙකී දෝංකාර කෙසේ වුවද දිගු රාජ්‍ය සේවයේ අවසන් භාගයේ නෙත ගැටුණු එක දසුනක් මා සිත්තුල දෝංකාර කරයි. ඒ මාගේ මිත්‍ර ලලිත් වීරතුංග පිලිබඳයි. ඔබද බොහෝ දෙනෙකු එතුමා පුද්ගලිකව දන්නා හඳුනා හෙයින් මා පවසන්ට යන දසුන ඔබ අප සැමගේ ජීවිත සමග හුයකින් බැඳි තිබෙනු ඇති. ඒ නිසා එය පවසන්නට ඕනෑමයි. ඔබ සැම දෙනා පාහේ මට වඩා වයසින් බාල හෙයින් ඔබට ඒ අත්දැකීම අනාගත ජීවිතයේදී ප්‍රයෝජනවත් වනු ඇතියි සිතනවා. 

සිල් රෙදි නීති කෘත්‍යය අවසන්ව ඔහු වැලිකඩ සිර ගෙදරට කැඳවා ගෙනගිය හැටි ඔබ රූපවාහිනියෙන් දැක ඇති. ඔහු අසරණව, නිර්භීත මුහුණක් පෙන්වමින්, එහෙත් අනීවාර්යයෙන්ම තැලුණු පොඩිපට්ටම් වූ මනෝභාවයන් සමගින් සිපිරි ගෙදරට ගියා. මගේ දැඩි විශ්වාසයේ හැටියට, අධිකරණයට ඇති උත්තමාචාරය සහිතව, නිසිලෙසම වරද කරුවිය යුත්තේ ඔහුදැයි මට එදත් අදත් සැකයක් තිබෙනවා. ඔහුට අණ දුන්නවුන් හෝ ඔවුන් සමග සිටි ව්‍යාජ රැවටුම්කරුවන් ඔහු සමග එදින සිටියේ නැහැ. ඔහු සමග සිටියේ මාගේද දිගුකල් ප්‍රිය මිතුරියක්වූ ඔහුගේ බිරිඳ ඉන්ද්‍රානි  පමණයි. අප සැම රාජ්‍ය සේවයේ හෝ මහජන සේවයේදී හෝ යම් අභව්‍ය, අභාග්‍ය  අසහනයකට පත්වූවිට අප සමග සිටිනුයේ අපේ  සොඳුරු සුතනඹුවන් පමණක් බව මේ දසුන යලි යලිත් මට සිහිපත් කරවන්නේ. මෙය ඔබ සැමට සන්තාන ගත කර ගත යුතු මන්ත්‍රයක්ම වේවා! සැමදා ජපකළ යුතු මන්ත්‍රයක් වේවා! 

දශක පහකට අධික රාජ්‍ය හා පෞද්ගලික සේවාවකින් පසු ඔබට සමුදෙන්නේ රාජ්‍ය සේවයේත්, පෞද්ගලික දිවියේත්, ඔබේ සියලු අනාගත කාර්යයන්හිදීත් ජයෙන් ජයම ලැබේවාය යන ප්‍රාර්ථනය සමගයි. බොහෝදුරට මා මින් පසු රාජ්‍ය  සේවකයෙකු නොවනු ඇතියයි මට සිතෙනවා. එය අනාගතයට භාරයි. ඒත් ඔබගේ දුක, සතුට, සාර්ථකත්වය ආදිය හමුවේ සැමවිට විවරවු මගේ හදවත මෙන් මාගේ ගෙදර දොර අගුලුද ඔබට සැමවිට විවෘතව පවතිනවා. ඔබගේ හදවත්හි ගැඹුරින්ම කාවැද්දිය යුතු එක් සමරුවදනක් මා පවසන්නට කැමතියි. එනම් ඔබගේ දරුවන්ට දායාද කළ හැකි අවංකත්වය, නීතිගරුක බව, මානව ගරුත්වය හා සත්‍ය මානව ප්‍රේමයට වඩා වැදගත් මැණිකක් මෙලොව නොමැති බව සිහියේ තබාගන්න. ඒ මැණික දිවි හිමියෙන් රැකගන්න. අවසන් වශයෙන් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවර ලෙසත්, ජනාධිපති ලේකම් ලෙසත් වසර තුනහමාරක් මා ඔබ නිලධාරීන් නිලධාරිනියන් ලෙසත්, සමහර දෙනෙකු මිතුරු මිතුරියන් ලෙසත්, සහෘද්ධයින් සහෘද්ධනීන් ලෙසත්, අතලොස්සක් හෝ මාගේ දිනපතා ඇගයීමට විශේෂයෙන් ලක්වීමටත් සැලසුනා. එවන් විශේෂත්වයන් වුවද ඔබ සැම මට සොයුරු සොයූරියන්, දූ පුතනුවන්ද වූ බව සිහියේ තබාගන්න.   

මෙහිදී විශේෂයෙන්ම අතිගරු ජනාධිපති තුමන් ගැන වචන ස්වල්පයක් හෝ නොපැවසුවහොත් මා මහා වරදක් කරනු ඇති. එතුමා මා දැන හැඳින ගත්තේ වසර 43 ට පෙර. එතුමා දැන් වගේම මනා පෞරුෂයකින් යුතු වුවෙකු වුවා. ඉලන්දාරියෙකු වුවා. එදා මෙන්ම අද දක්වා අප දැඩි අන්‍යෝන්‍ය ආදරයකින්, ස්නේහයකින් හා මිතුරැදමකින්, විශ්වාසයකින්, පුද්ගලිකව බන්ධනයකින් යුතුවුවා. 2015 නොවැම්බර් 18 දින එතුමා දේශපාලන වශයෙන් භයානක පිම්මක් පනින බව විජේරාම පාරේ නිවසේදී මට රහස්‍යව පැවසූ දිනයේදී එතුමා මුහුණ පාන දේශපාලන හා පවුලටද විය හැකි භයානක අභියෝග විභවයන් සිහිපත් කොට, ඒවාට මුහුණ දෙන්නට සුදානම්දැයි මා විමසු විට එසේ යයි මට පැවසූ විට, එසේ නම් ඒ මගටම මාද පිළිපන් බව පිටට තට්ටු කර මා පැවසූ අන්දම එතුමාට මතක ඇති. එතුමාගේ දිලිසෙන දෑසින් හා මුවගින් පිටවූ සිනහව මට තාමත් මතකයි. ජනාධිපති හෙයින් පිටට තට්ටු නොකළත් අද වුවද මා එතුමා කෙරෙහි දැක්වූ ආකල්පය අංශු මාත්‍රයකින් වුවද නොඅඩුවුව තිබෙනවා. ඒ අන්දමට අද දක්වා මා එදින වූ අන්‍යෝන්‍ය ආදරය, ස්නේහය, මිතුරුදම හා කැපවීම අවංකවම දිගු කළා. 

කල් යත්ම එතුමාට තම දේශපාලන හිනි පෙති නැගීමේදී අපගේ සම්බන්ධතාවයන් උචිත පරිදි අනුගතවීම්වලට ලක් කර ගැනීමට සිදුවුයේයයි මට සිතෙනවා. එවිට ඇසුරට වැටෙන අයවලුන් විවිධ වෙනවා. රාජ්‍ය නායකයෙකු වූ විට ප්‍රමුඛතා වෙනස් වෙනවා. ඒ නිසා යම් හෙයකින් යම් අනුගත වීමේ අඩුපාඩු දේශපාලනේ නොයැලෙන මගෙන් එතුමාට වූයේනම් මා කනගාටුවෙනවා. වැඩිහිටි කෙනෙකුගෙන් යම් අඩුපාඩුවක් සිදුවුවිට ඒ වැඩිහිටියා අතින් වුනු දේ අමතක කරනවායි සිත හදාගන්නට අපට සිදුවන අවස්ථා එමටයි. එම ආකල්පයම එතුමා වෙතින් මට දිගු වෙති යයි  විශ්වාස කරනවා. 

විශේෂයක් වශයෙන් ජයන්ති සිරිසේන මැතිනිය ගැන සඳහනක් කළ යුතුමයි මා සිතනවා. මම එතුමිය දැන හැඳින කලක් වෙනවා. එතුමියගෙන් අපට කිසිම දිනක රාජකාරියට හෝ එතුමියගේ සුඛ විහරණයට කිසිම ඉල්ලීමක් ආණ්ඩුකාර ධුරයේ සහ ලේකම් ධුරයේ  සිටියදී ඉදිරිපත් වුනේ නැහැ. දේශපාලන අධිකාරිත්ත්වය හා පවුල් සංස්ථාව ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්නට ඇති විශිෂ්ට උපහැරණයක් වුයේ එතුමිය යයි නිබයව කියන්නට පිලිවන් වීම එතුමියට හා ජනාධිපතිතුමාට ගෞරවයක්. එමෙන්ම අනික් දේශපාලන අධිකාරිත්ත්වයන්ට එතුමිය මාර්ගෝපදේශයක් වෙනවා. ජනාධිපතිතුමන්ටත්, එතුමියටත්, පවුලේ සැමටත් නිදුක් නිරෝගී සතුට හා සෞභාග්‍ය උදාවේවායි මම පතනවා. 

මගෙන් ඔබ කිසිවෙකුට අවාසනාවට හෝ අතපසුවීමක් වුයේ නම් කරුණාකර කමන්න. හිටි අඩියේ මා සමහරුන්ට සැර වැර වී ඇති. සිත් රිදවීමක් වුයේ නම් ඊට කමන්න. ඒ කිසිවක් සිතා මතා කළා නොවේ. පැන නැගුනු තත්ත්වයකට අනුගතව සිදුවූ සිදුවීමක් පමණයි. එහෙයින් අනාගතයේදී යම් දිනක මහා මගදී හෝ මා සමුවුවහොත් මා සමග කතා කරන්න. සිනහ වන්න. වගතුග විමසන්න. මා ඔබගෙන් අපේක්ෂා කරන්නේ ඒ මිත්‍ර සන්තවයයි. 

ඒ වගේම වරදක් සිදුවී මා වෙත කවුරුන් ආවත් වරද වූ අන්දම විමසා ඒ වරද මා අතින් වුවක් ලෙස සලකා ජනාධිපති තුමා ඇතුළු ඕනෑම බලධාරියෙකු ඉදිරියේ මා පලිහක් වුයේ ඔබ සැම මගේ දරුවන් ලෙස සැලකු නිසායි. මගේ හව්හරණය නොමැති වූයේනම් ඔබ අනාථ දරුවන් වෙන්නට ඉඩ තිබුණා. මාගේ පසුගාමික ලේකම්වරයාද ඔබව එසේම රැක ගනිතැයි මම විශ්වාස කරනවා. ඉතා දිගුකලක් මා ආශ්‍රය කර ඇති අතිගරු ජනාධිපතිතුමා හා උපදේශක වබ්ලිව් ජේ එස් කරුනාරත්න, ආචාර්ය සරත් රාජපතිරණ, තිලක් රණවිරාජා ආදීන්ද, සියලුම ලේකම් කාර්යමණ්ඩලය හා ජනාධිපති ආරක්ෂක ඛන්ඩයද, එරික් වීරවර්ධන මහතා ප්‍රමුඛ ජනාධිපතිතුමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයද, එතුමාගේ පවුලේ සාමාජිකයින්ද නව ලේකම්තුමාට මට දැක්වූ අනුග්‍රහාත්මක ආකල්ප හා උපකාර දක්වනු ඇතැයි අපේක්ෂා කරනවා. එසේ කරන ලෙස ආරාධනා කරනවා.  

අවසාන වශයෙන් මා නැවතත් කියන්නේ, ඔබේ නොකිලිටි ආත්ම ගෞරවය තරම් වටිනා ආභරනයක් තවත් නැහැ. ඔබේ නොකිලිටි ආත්ම ගෞරවය ඔබ ඔබේ දරුවන්ට තබා යන වටිනාම දායාදයයි.  

ඔබ සැමට බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි. සැම දෙවි පිහිටයි. සුව, සෙත, සතුට හා සෞභාග්‍ය ඔබ සැමට පිරී ඉතිරේවා!

*ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්ඳුගේ සමුගැනීමේ කතාව​ – 05-07-2018

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.