30 October, 2020

Blog

හතරවන ඉඩම් කොමිසම හෙවත් නංගි පෙන්නා අක්කා දීග දීම!

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

1995-3-4 දින ‘බලය බෙදාහැරීම් පිළිබඳ ඉන්දු- ශ්‍රී ලංකා සම්මන්ත්‍රණයේදී’ කළ ආරම්භක කථාවේදී මහාචාර්ය ජී එල් පීරීස් පැවසුවේ බලය බෙදාගැනීම සාර්ථකවීමට නැතිවම බැරි මූලික හා පූර්ව අවශ්‍යතා පහක් ඇතිබව අත්‍යවශයෙන්ම සිහියේ තබාගතයුතු බවය. මේ රැස්වීමට ශ්‍රීලංකා දේශපාලනයේ විශිෂ්ඨයෙකුවූ ලක්ෂ්මන් කදිරගාමර් හා එස් තොන්ඩමාන් ඇමතිවරුන් සහභාගීවූබවද මට මතකය.  ඔවුන් අප හැරගියද, (1) අවංකභාවය (2) පැහැදිලිබව (3) සංසක්තිය [cohesion] (4) බලාත්මක කළහැකිබව, හා (5) ගැටුම් විසඳීමට ප්‍රමාණවත් සාධනීය යාන්ත්‍රණයක් තිබීම යන විශිෂ්ට සාධක අප සිත් හැරගොස් නැත.  අදද, මම එතුමාගේ චින්තනයට ගරුකරමි.

දේශීයව හා අන්තර්ජාතිකව බලයබෙදා ගැනීම දැඩිව ඉල්ලාසිටින, බලයබෙදීම පිළිබඳව මිශ්‍ර පණිවුඩ ඇසෙන වකවානුවක මේ සාධක සිහිපත්කිරීමේ වරද කීම?

සංසිද්ධියට ප්‍රවේශවීමට මට අවසර.

බලධාරීන්ගේ ප්‍රකාශ

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග උපුටමින් ‘අයිලන්ඩ්’ පුවත්පත (2013-2-13) වාර්තාකළේ “2009 මැයි මස ගැටුම නිවාරණයෙන් අනතුරුව ඉඩම්වලට අදාළ ගැටළු ආමන්ත්‍රණයට” වසර හතරක් තිස්සේ රජය දැඩි වෙරක් දරන බවය.  පශ්චාත් යුද ප්‍රතිප්‍රාප්ති ක්‍රියාවලියේදී, රජය මේ සංකීර්ණ ගැටලුව උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ අනුව ආමන්ත්‍රණය කරනබවද ඔහු ප්‍රකාශ කළේය. බලය බෙදාගැනීම ප්‍රියකරන්නන්ට අපේක්ෂාවේ සහන් එළියක් විහිදුවමින් ඔහු පැවසුවේ “හතරවෙනි ඉඩම් කොමිසමක් මගින් ඉඩම් ගැටළු විසඳීමට රජය හැකියාව සොයමින් සිටින” බවය.

මෑතදී ජිනීවාහිදී මහාචාර්ය ජීඑල් පීරීස් ඊට අලගුතැබුවේ “හතරවැනි ඉඩම්කොමිසමේ විෂයපථයන් සැකසෙමින් පවතින “ බව පවසමිනි. රජය මේ සඳහා දරන දැඩි වෙර කොතරම්ද කිවහොත් ගැටුම අවසන්ව වසර පහක් සහ සංහිදියා කොමිසම් නිර්දේශ ලැබී වසර දෙකකට පමණ පසුත් තවමත් විෂයපථය නිර්ණය කරගැනීමට රජය අපොහොසත්ය. විරෝධතා කොතරම් බලවත්ද යයි කෙනෙකු ප්‍රශ්න නොකරන්නේ කාගේත් මැලිකම් හොඳින් දැනගෙනය.

වීරතුංගයන්  “හැකියාව සොයමින්” සිටිනවිට පීරීස් මැතිතුමන් විෂයපථ  “සැකසෙමින් පවතින” තත්ත්වයට තත් ක්‍රියාවලිය මසක්තුල උත්ශ්‍රෙනිගත කර ඇත්තේ, සංහිදියා කොමිසමේ වාර්තාව දිගුකල මුලුගන්වා සිටීමෙන් අනතුරුවය.  උත්තේජකය ජිනීවා විය හැකිය!

අන් අතකින් බලනවිට, ‘හතරවැනි ඉඩම් කොමිසම’ පිළිබඳව සංහිදියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ  ජාතික සැලැස්ම මගින් (2012-7-26) අන්තර්ජාතිකයට ප්‍රකාශිතවී ඇත. වීරතුංග හා පීරීස් මැතිතුමන් දෙපොළටම පොදුසාධකයක්ව ඇත්තේ “හතරවැනි ඉඩම් කොමිසම”ය. එය 13 ව්‍යවස්ථාවේ අන්තර්ගත ‘ජාතික ඉඩම් කොමිසම’ නොවේ. එතුමන් දෙපොලම එහි වෙනස දන්නා බවට මට සක්සුදක්සේ සහතිකය. අන්තර්ජාතිකයෝද එය දනිති. ඔව්හු කිරිදරුවන් නොවෙති!

සංහිදියා කොමිසම, ජාතික ඉඩම් කොමිසම හා ඉඩම් බලය අයැදීම් 

මම නීතිඥයකු නොවෙමි. එය පසෙක තබා, රජයේ ඉඩම් පිලිබඳව- එනම්, ජාතික ඉඩම් කොමිසම සබැඳිව- සංහිදියා කොමිසම් වාර්තාව සූක්ෂමලෙස  ව්‍යවස්ථාමය අනුමානීයත්ත්වයක් නිර්මාණය කර ඇතිබව පවසමි

සංහිදියා කොමිසමේ ජාතික ඉඩම් කොමිසම පිලිබඳ අදාළ නිර්දේශය මෙසේවේ.

“9.150 උචිත අනාගත ඉඩම් ප්‍රතිපත්ති මාර්ගෝපදේශ යෝජනා කරනු සඳහා ජාතික ඉඩම් කොමිසමක් ස්ථාපනයට පියවර රජය විසින් ගතයුතු බවට කොමිසම අදහස් කරයි. ඉඩම් ප්‍රතිපත්තිය සකස්කිරීමේදී රජයේ ඉඩම් සාධාරණ ලෙස බෙදාහැරීමට මාර්ගෝපදේශ යෝජිත ජාතික ඉඩම් කොමිසම විසින් අන්තර්ගත කළයුතුය.  මෙය 13 ව්‍යවස්ථාව පරිදි අවශ්‍යතාවයක්වුවද, පනත් කෙටුම්පතක් සකස්කර තිබුනද, අනුයාත රජයන් විසින් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට අපොහොසත්වී  ඇති බව කොමිසම කනගාටුවෙන් සටහන් කරයි” (පරිවර්තනය කර්තෘගෙනි.)

මේ නිර්දේශය සමානත්ව සිද්ධාන්තයට අති ගරුත්වයක් දී ඇත. උතුරු, නැගෙනහිර මෙන්ම දකුණේද ජනතා නියෝජිතයෝද රජයේ ඉඩම් පිළිබඳව සමානත්වය අයදිති. රජය විසින් සිය ඉඩම් අයිතීන් “රාජසන්තක කර” ඇතියැයි උතුරු නැගෙනහිර ප්‍රකාශකයෝ චෝදනාකරති. දකුණේ ඉඩම් හිඟයට ප්‍රතිකර්ම සඳහා (1927 ඉඩම් කොමිසමද සඳහන්කළ) සහ පොදු ජාතික වත්කමක් ලෙස (ජාතික ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය චෝදනාකරන පරිදි) රජයේ ඉඩම් යොදාගැනීම, පලාත්සභා මගින් ඉඩම් බලතල පරිපාලනයෙන් නෂ්ට වෙතැයි දකුණේ ප්‍රකාශකයෝ චෝදනාකරති.

පළාත්සභා හා රජය එකඟතාවයෙන් ක්‍රියාකළ හැකි රාජ්‍යයේ දෑතක් වියයුතු බව දෙපාර්ශවයටම අමතකවී ඇත. ඒ සඳහා අවකාශ ව්‍යවස්ථාවෙන්ම සැකසී ඇති බව (පරිශිෂ්ට II- 1:1 – 1:3) දැකීමට මේ දෙපාර්ශ්වයම අන්ධය.  උතුරේ දේශපාලන බලධාරීහු නිර්හමුදාකරණය සඳහා රජයේ ඉඩම් ප්‍රශ්න යොදාගනිති. දකුණේ බලධාරීහු එයම කණපිට හරවා ඉඩම් බලය මධ්‍යයේම තබා ගැනීමට වෙරදරති. එහෙයින්, වීරතුංගයන් පැවසූ අන්දමට “දැඩි වෙර දැරීම” හා “සලකාබැලීම” දේශපාලනිකව සිතනවිට පුදුමයක්ද නොවේ.

තවද, දෙගොල්ලටම අමතකවී ඇත්තේ ඉඩම් බලතල යනු උතුරු-නැගෙනහිර පළාත් දෙකට පමණක් නොව මුළු දිවයිනටම බලපාන සාධකයක් බවය. මෙහිද හාස්‍යයවන්නේ විරුද්ධ පක්ෂයක් ඉඩම් බලතල පළාත්සභාවලින් උදුරා ගන්නේ යයි උපරිමාධිකරණයට ගිය පක්ෂ හා පුද්ගලයින් මධ්‍යයේ බලපෑම මත ‘පළාත් සභාවලට ඒ බලය අනවශ්‍යයයි’ අලජ්ජීව ප්‍රසිද්ධියේම පවසන තරමට දේශපාලනය නිසා බාල්දුවී සිටීමය.

රජයේ ඉඩම් පිළිබඳව 13 ව්‍යවස්ථාවේ II පරිශිෂ්ටගතය සමග පෙරකී උධෘතය සසඳන්න.

“3:1 ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්, ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටවිය යුතු අතර ඒ කොමිෂන් සභාව රජයේ ඉඩම් පාවිච්චිය හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳව වගකිව යුතුය. මේ කොමිෂන් සභාවට දිවයිනේ සියලුම පළාත් සභාවල නියෝජිතයින් ඇතුලත් විය යුතුය.”

II පරිශිෂ්ටය පරිදි ජාතික ඉඩම් කොමිෂමේ කාර්යභාරය වනුයේ:

  • රජයේ ඉඩම් පිලිබඳව ජාතික ප්‍රතිපත්තිය සකස්කිරීම.
  • තාක්ෂණික ලේකම් කාර්යාලයක් පිහිටුවීම
  • ජාතික ප්‍රතිපත්තිය තාක්ෂනිකත්ත්වයන් මත පිහිටනබව සාක්ශාත්කිරීම.
  • විද්‍යාත්මක සාධක මත ඉඩම් පරිභෝජනය සඳහා පොදු සම්මතයන් පිහිටුවාලීම
  • ජාතික ඉඩම් ප්‍රතිපත්තියට පළාත් මගින් රජයේ ඉඩම් පරිපාලනය අනුගතකිරීම

මේ අනුව, අර්ථ විකෘතිය හඳුනාගැනීම පහසුය. II පරිශිෂ්ටය ජාතික ඉඩම් කොමිසමෙන් අත්‍යවශයෙන්ම “ජාතික ප්‍රතිපත්ති සකස්කිරීම” අපේක්ෂා කරන අතර, සංහිදියා කොමිසම “ඉඩම් ප්‍රතිපත්ති මාර්ගෝපදේශ” යෝජනා කිරීම අපේක්ෂා කරයි. සංහිදියා කොමිසමේ නිර්දේශය පිලිගතහොත් ජාතික ඉඩම් කොමිසමේ අවසන් ප්‍රතිඵලය වෙනස්වනු ඇත; එනම්- “ප්‍රතිපත්ති මාර්ගෝපදේශ” යෝජනාකිරීමට එරෙහිව “ජාතික ප්‍රතිපත්තිය සකස්කිරීම” වේ.

ජාතික ඉඩම් කොමිසමට මාර්ගොපදේශ සඳහා මල්ල ඔබා බැලීම අනවශ්‍යය! කළයුත්තේ II පරිශිෂ්ටයේ 1 හා 2 චේද අධ්‍යනයයි. එහි පළමු චේදය රජයේ ඉඩම් පරිහරණ තත්ත්වය හා මධ්‍යයට හා පළාත්වලට පනවා ඇති තහංචි පැහැදිලිව ස්ථාපනය කරයි.  දෙවන චේදය අන්තර් පලාත් වාරිමාර්ග කටයුතු සහ ඉඩම් සංවර්ධන ව්‍යපෘති හා ඒවා යටතේ ඉඩම් පරිහරණය පිලිබඳව මාර්ගෝපදේශ පැහැදිලි කරයි.

පරිබාහිරව බැලුවොත්, සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ජාතික සැලැස්ම, II පරිශිෂ්ටය තහවුරුකරමින් “ව්‍යවස්තාවෙන් පවරා ඇති පරිදි රජයේ ඉඩම් බෙදාදෙනු ඇත” යයි පවසයි.

ජාතික ඉඩම් කොමිසමේ ඵලයවන්නේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සැකසීම නම්, එය ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි; ප්‍රතිපත්ති සම්පාදනයේ ආයතනික වගකීම එමගින් අස්ථානගත කරනහෙයිනි. අස්ථානගතය ඉඩම් අමාත්‍යංශයට, අමාත්‍ය මණ්ඩලයට, විධායක ජනාධිපතිට ආදී වශයෙන් විය හැකිය. එය II පරිශිෂ්ටයෙන් අනපෙක්ෂිතය. මධ්‍යය ඒ මාර්ගයකින් ජාතික ප්‍රතිපත්ති සදන්නේනම් (පරිශිෂ්ට II- 3:1 යටතේ) පළාත් සභා නියෝජිතයින් පත්කරන්නේ කුමටද?

සංවෘත ලැයිස්තුව පරිදි “සියලු විෂයන් සහ කර්තව්‍ය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය” යන සටහන පරිදි ක්‍රියාකරන්නේනම්, එයද පරිශිෂ්ට II පරිදි ගැලපෙන්නේ ජාතික ඉඩම් කොමිසම මධ්‍යයේ ආයතනයක් වන හෙයිනි. එහෙත් එම මධ්‍යය සතු ආයතනය ක්‍රියාකළයුත්තේ පරිශිෂ්ට II හි සඳහන් විධාන පරිදිය.

පරිශිෂ්ට II- 3:1 ඉවතදා මධ්‍යය ඉඩම් ජාතික ප්‍රතිපත්තිය සකස් කළ හොත්, නොයෙක් නිඝණ්ඩු භාවිතාකරමින් ජනාධිපති ලේකම්, ඉඩම් ලේකම් හෝ ඉඩම් කොමසාරිස් ජාතික ඉඩම් ප්‍රතිපත්ති දැනටමත් ප්‍රකාශ කරන තත්ත්වයට සමානවනු ඇත.  එය රටෙහි උත්තමම නීතිය බිඳීමක් නොවේද? එසේවුවත්, පීරීස් අමාත්‍යවරයා ජිනීවාහිදී එවන් ක්‍රියාකාරිත්වය වර්ණනාවට ලක්කළේය.

රජයේ ඉඩම් ප්‍රතිපත්තිය හතරවැනි ඉඩම් කොමිසමකින් නිර්මිතවුනහොත් කෙනෙකුට ව්‍යවස්ථාමය පදනම යටතේ ඊට එරෙහිවිය නොහැකිද?  මා කෙස් පලන්නේනම් කමනු මැනවි! එහෙත්, විවේචකයින් දත යුත්තේ අන්තර්ජාතිකයින් මේ ඇස්බැන්දුම් හසුරු කෙලිය හඳුනාගෙන ඇති බවය!

‘ජනාධිපති කොමිසමට’ එරෙහිව ‘ආයතනගතවූ ජාතික ඉඩම් කොමිසම’ 

මේ ආයතන දෙකෙහි අනන්න්‍යතා පුවරුද වෙනස්ය. එකක්- හතරවෙනි ඉඩම් කොමිසමය. අනික ජාතික ඉඩම් කොමිසමය. හතරවෙනි ඉඩම් කොමිසම වසර තිහකට පමණ වරක් පාකෙරෙන තාවකාලික අභ්‍යාසයකි. ජනාධිපති කොමිසමක් වන එය පවත්නා නීතියවන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් පනතේ 2 චේදය යටතේ පත්කෙරේ. සාක්ෂි විමසේ. උත්සවාකාරයෙන් වාර්තා භාරදේ; භාරගැනේ. සමහර වාර්තා භාරදුන් වග හා භාරගත් බව හැර මතුවට කෙදිනකවත් සිහිපත් නොකෙරේ. එසේ වීමට හේතු ජනතාව නොදනිති.  එහෙත් දෙවැන්න ව්‍යවස්ථාවෙන් පැන නැගෙන, නීතිය යටතේ පිහිටුවාලීමෙන් අනතුරුව ක්‍රියාත්මකවන ස්ථිරසාර සංවිධානයකි.

යථාර්ථයනම්, ඉඩම් කොමිසම කාර්ය භාරය අවසන් කළපසු සිය කාර්යාලය වසා දමයි. එහෙත්, ජාතික ඉඩම් කොමිසම තාක්ෂණික ලේකම් කාර්යාලයක් (පරිශිෂ්ට II- 3:2 ) මගින්, පළාත්සභාවලට සේවා සපයමින් (පරිශිෂ්ට II- 3:3 හා 3:4) පැවතෙනු ඇත.  ඉඩම් කොමිෂන් වාර්තා ජාතික ලේඛනාගාරයේ හා ගොනු රාක්කයන්හි රැඳෙනු ඇත. ජාතික ඉඩම් කොමිසම සප්‍රාණික සංවිධානයක්ව, තාක්ෂණික පදනමක පිහිටා,  ප්‍රතිපත්ති , නීති සමාලෝචනය කරමින්, උචිත පරිදි ඉඩම් කළමනාකරණය වැඩිදියුණුවට කටයුතු කරනු ඇත. මේ අනන්‍යතා ප්‍රභේදය අමතක නොකළ යුතුය. ජනාධිපති ලේකම් හා අමාත්‍යවරයා මෙය මිශ්‍ර කරගැනීම මා පුදුමයට පත්කරයි. දෙදෙනාම ප්‍රමුඛ බුද්ධිමතුන්වන හෙයිනි. ඔවුන් අප රවටන්නේද?

ජනාධිපති කොමිසම් නිර්දේශ සැමෙකක්ම සැමවිටම ක්‍රියාත්මක නොකෙරේ.  මෙය පෙර ඉඩම්  කොමිසම්වලට මෙන්ම අන් කොමිසම්වලටද පොදුය. 1985 ඉඩම් කොමිසම යෝජනාකළ, දේශපාලනික හා පරිසරාත්මක වශයෙන් උපකාරීවිය හැකි හා සංවේදී ගැටළු විසදාගනීමට හේතු කාරක වියහැකි  නිර්දේශවූ ජලපෝෂක කළමනාකරණ අධිකාරිය හෝ මායිම් නිර්ණ කොමිසමක් පිහිටුවීම ක්‍රියාත්මක නොකිරීම උදාහරණ ලෙස දැක්විය හැකිය. එහෙත්, 1927 ඉඩම් කොමිසමේ නිර්දේශවල ප්‍රතිපලයක් ලෙස ඉඩම් සංවර්ධන පණත සම්මතය හා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව පිහිටුවීම දක්වත හැකිය.

ජාතික ඉඩම් කොමිසම පිහිටුවීම

හතරවැනි ඉඩම් කොමිසම පිහිටුවීමට් අදාළ නීතියවන්නේ ජනාධිපති පරීක්ෂණ කොමිසම් පනතය.  ජාතික ඉඩම් කොමිසම් නීතියක් සැදීමට ප්‍රයත්නයක් වුවද තවමත් නීතියක් නොමැත. ජාතික ඉඩම් කොමිෂන් කෙටුම්පත ඉඩම් අමාත්‍යවරයා විසින් 1992 -7- 21 පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.  1994-6-24 දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නිසා කෙටුම්පත අවලංගු විය. වර්තමාන රජය මෙන්ම පෙරවූ රජයන් සියල්ලම ජාතික ඉඩම් කොමිසම නීතිගත කිරීමට මැලිවූහ. මින් සැමගේ අවංකභාවය ප්‍රශ්නාභිමුඛ නොවේද?

රජය කරවන නිලධාරී ඒජීඑම් ෆ්ලෙචර් පත්කළ 1929 ඉඩම් කොමිසමේ කොමසාරිස්වරුන් වූයේ නීතිපති, සොලිසිටර් ජෙනරාල්, ආදායම් පාලක, මිනුම්පති, නිරවුල් කිරීමේ නිලධාරී හා තෝරාගත් ව්‍යවස්ථාදායකයින් පිරිසක්ය. 1985 කොමිසම වෘත්තිකයින්ගෙන් සැදුනි.

1992 කෙටුම්පත අනුව කොමිසමේ සාමාජිකයින්, බලතල හා කාර්යයන්, නිලධාරීන්, තාක්ෂණික ලේකම් කාර්යාංශය ආදිය සඳහන් වීය. කොමසාරිස්වරුන් වූයේ ඉඩම්, කෘෂිකර්ම, වතු, පරිසර අමාත්‍යංශ ලේකම්වරුන්, ජනාධිපතිවරයා  විසින් තීරණය කළ දැනුමැති සාමාජිකයින් හයදෙනෙකු, පළාත් සභා නවයෙන් සාමාජිකයින් නවදෙනෙකුය. පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු, පළාත් සභා මන්ත්‍රීවරු හා පලාත්පාලන නියෝජිතයෝ කෙටුම්පතේ 3(2) වගන්තිය යටතේ කොමසාරිස්වරුන් වීමට නුසුදුසුවූහ. සංසක්තිය පනගැන්වින. බලාත්මකබව සහතිකවිය. පරිශිෂ්ට II- 3:3 හි පරමාර්ථ පිලිගැනින.

ජාතික ඉඩම් කොමිසම ක්‍රියාත්මකවීමට අවශ්‍ය තාක්ෂණික හැකියාව තාක්ෂණික ලේකම් කාර්යාංශයෙන් සපයනු ඇත.  කලින් ඉඩම් කොමිසම් (උදා: 1927 ඉඩම් කොමිසම) එවකට පැවතුනු දෙපාර්තමේන්තුවලින් සහ උප-කමිටුවලින් සේවා ලබාගති.  තාක්ෂණික ලේකම් කාර්යාංශයෙන් ජාතික ඉඩම් කොමිසමේ අවිච්චින්නභාවය පවත්වාගනු ඇත.  ජාතික ඉඩම් ප්‍රතිපත්තියට දේශපාලනික හෝ වාර්ගික බැඳීමෙන් තොරව (පරිශිෂ්ට II- 3:3) විද්‍යාත්මක තාර්කිකත්වය දැරීමට නම් හොඳම හා නිදහස් ප්‍රවීනයන් බඳවා ගැනීම අවශ්‍ය වේ.

කෙසේවුවද, ප්‍රතිපත්ති සැකසීම පරිපාලන හා තාක්ෂනාධිපත්‍යට යටපත් කිරීමට සූදානම් නොවීම 1994දී  කෙටුම්පත නෂ්ටත්වයට පත්වීමට හේතුවීයයි සිතති.  ව්‍යවස්ථාමය අපේක්ෂා (පරිශිෂ්ට II- 3:3) භංගත්වයට පත්කරතත්, දේශපාලන අගතිය සහිතව, සියල්ල දත් අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්ති සකස් කළ යුතුය යන සිතිවිල්ල ඊට හේතු වීයයිද සමහරු සිතති.  මදක් සිතන්න; ශ්‍රී ලංකා නීතියේ / පරිපාලනයේ ජාතික ප්‍රතිපත්ති සාධනය නීතියෙන්ම පවරා ඇති එකම ආයතනය ජාතික ඉඩම් කොමිසමබව. මෙය අමතක කිරීම පැහැදිලිබව හා බලාත්මකබව අප්‍රානික කරයි.

නිමාව

දේශීයව හා විදේශයන්හිදී කරණ ලද උක්ත ප්‍රකාශ රජයේ ඉඩම් පරිහරණය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය ගැන මිශ්‍ර පණිවුඩ දෙයි. කොටින් කියතොත්, මේ මිශ්‍ර පණිවුඩ “විරූපී අක්කා දීග දීමට සුරූපී නැගණිය පෙන්නූවා”සේ යයි විවේචනයට ලක්වනු නොඅනුමානය. රජයට, ව්‍යවස්තානුගත ජාතික ඉඩම් කොමිසම විරූපී අක්කාය. ඒ වෙනුවට ඉතා සුරුපියයි පෙන්වන්නේ වසර තිහකට වරක් පත්කරන ඉඩම් කොමිසමය. මගුල් කපුවන් කෙසේ සිතුවද, සුරූපී හා විරූපී බව හඳුනාගැනීමට සැවොම අන්ධයයි සිතීම නොවටනේය!

ඩයස්පෝරාව හා රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් මෙම අභ්‍යාසයන්ගේ නීත්‍යානුකූලභාවය පිළිබඳව අන්තර්ජාතිකයන් දැනටත් දැනුවත් කර ඇතියැයි සිතමි. ව්‍යවස්ථා ව්‍යාකූලත්වය සහිතව මිශ්‍ර අදහස් අසන අන්තර්ජාතිකයින්ට පහසුවෙන් සාවද්‍ය සිතුවිලි මවාගෙන රජය විවේචනයට ඉඩ සැලසේ.  එහෙයින්, ව්‍යවස්ථාමය අන්තර්ගතයන් පිළිබඳව පැහැදිලි ස්ථාවරයන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගේ. එසේ නොවුනහොත්, පවත්නා රීතිය ප්‍රයෝගයක් හෝ රැවටීමක්යයි හෝ විවේචනය සිදුවනු ඇත.

උක්ත නිඝන්ඩුමය ඇස්බැන්දුම් දකින විට රජයේ ඉඩම් පරිහරණ පාලන සංසිද්ධියේදී,    අවංක භාවයේ, පැහැදිලිභාවයේ, සංසක්තියේ, බලාත්මකභාවයේ හා  ගැටුම් විසඳීමට ප්‍රමාණවත් සාධනීය යාන්ත්‍රණ ශක්තියේ කුමන ප්‍රතිශතයක් ඉතිරිව ඇත්දැයි ප්‍රශ්න කිරීමට ඉඩ සැලසේ.

සංහිදියාවට සුබ පතන යමෙකු ඇතොත් මෙකී සාධක අගය කරනු ඇත. වාර්ගිකත්වය, ආගම හා දේශපාලන විචල්‍යන් ඉවතදා, මහාචාර්ය පීරීස් දැන් පවසන දෑ වෙනුවට, වසර විස්සකට පමණ පෙර බලය බෙදීම සමග කැපවීමෙන් සිටිමින් එතුමන් විසින් ප්‍රකාශිත උක්ත හරයන් හිස් මුදුනේ තබා ගතහොත් මැනවයි, ඔහුට අබමල් රේණුවකවත් නිගරුවකින් තොරව පතන්නේ, එවැනි ප්‍රබුද්ධයන් එසේ නොසිතුවහොත් සංහිදියාවට වියහැකි අන්තරාකරිත්වය මෙනෙහි කරමිනි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Dear Mr. Austin Fdo,

    Your analysis shows that LLRC is the step father of ugly and old elder sister, the “kapuwas” are Minister Prof. GLP and Prez Sec LW and the UNHRC is the Registrar of Marriage. The only difficulty will be in getting the bridegroom to say “I do”.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.