Colombo Telegraph

ඇත්පොරෙන් තැලෙන්නේ තනබිස්සය!

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

මේ දිනවල ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය ගැන සාකච්චාවෙන ප්‍රධාන මාතෘකා දෙකකි. එනම්: කොළඹ නැංගුරම්ලූ සබ්මැරීන හා චීනය හඳුන්වා දුන් 21 සියවසේ සාමුද්‍රික සේද මාවතය.  සබ්මැරීන ඍජුවම යුද්ධ ක්‍රියාවලියට අනුබද්ධිතය. යුද ක්‍රියා අනිස්ථිතිකය. ඒවා බාහිර අන් කරලියන් කරා විහිදේ. මේ දෙකරුණම කලක් තිස්සේ චීන ක්‍රියාවලියක ප්‍රතිපලය.

සාමුද්‍රික සේද මාවතට සීමිත අවධානයක් යොමුකරමින් මේ ලිපිය සබ්මැරීන ගැන වැඩිමනත් අවධානයක් යොමු කෙරෙන්නේ මතුවට සේදමාවත ගැන ලිවීමේ අභිලාෂයෙනි. .

සබ්මැරීන පිලිබඳ ගැටළු  

මෑතදී සබ්මැරීන ගැටළු දෙවරක් මතුවීය. පළමුවැන්න සැප්තැම්බර් 7-13 දක්වා චීන ජනාධිපති සී ජින්පින් ලංකාවට පැමිණීමට ආසන්නයේම කොළඹ මුලින්ම සබ්මැරීනයක් නැංගුරම් ලෑමය. මෙය ඉන්දියානුවන් කැළඹවීය. සාවද්‍යව හෝ නිරවද්‍යව හෝ වාර්තාවන පරිදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය ආරක්ෂක ඇමති අරුන් ජයිත්ලේ සමුවූයේ අන් කරුණු (මිලදීගැනීම් හා ද්විපාර්ශවික සම්බන්ධතා) අතර සබ්මැරීන නැංගුරම්ලෑම පැහැදිලි කිරීමටය.

කෙසේවතුදු, පසුගිය වසරේ ඉරේනියානු සබ්මැරීනයක් හා නැව් දෙකක් කොළඹ නැංගුරම්ලූවිට ඉන්දියානු බිය ප්‍රකාශයක් නොවීය!  ඒ අන්තර්ජාතික සම්බන්දතා හේතුවෙනි. මේ අතරතුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා පවසා ඇත්තේ රජය චීන සබ්මැරීන කොළඹ නැංගුරම්ලීම පිළිබඳව ඉන්දියාව සමග සාකච්චා නොකරන බවය. එය අවසන් තිතක් තැබීමක්ද? රටවල් දෙක අතර පැවතෙතයි කයිවාරු කෙරෙන ම්ත්‍රශීලීභාවය මින් තහුවුරුවේද?

එහෙත්, ආරක්ෂක ලේකම්වරයාට අනතුරුව නාවුක හමුදාපති අද්මිරාල් ජයන්තා පෙරේරා ඉන්දියාවේදී මෙහි වැඩිමනත්ව චීන හමුදා සිටීම පිළිබඳ අනියත බිය තුරන්කිරීමට උත්සාහ කරමින් කිසිවිටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට හානිවන අන්දමින් ක්‍රියා නොකරන බවට පොරොන්දුවීය. චීන ගමන් (ඉන්දියානුවන්ද අත්දැක ඇති) මිත්‍රශීලී ඒවාබව අද්මිරාල්වරයා ඉන්දියාව සමග ඔහුගේ “පුද්ගලික මිත්‍රත්වය” හුවාදක්වමින් පැවසුවද ඉන්දියානුවන් එය පිලිගත්තේයයි නොසිතේ.

ඉන්දියානුවන්ගේ එවන් නොපිළිගැනීම චන්සේන්ග් – 2 හා සින්ග් දෝ යුද නැව නොවැම්බර් 5 දින ඉවත්ව යාමට ඔක්තෝබර් 31 කොළඹට ඒම හෙළිවීම සමග තහුවුරුවීයයි සිතිය හැකිය.

මෙවන් නැංගුරම්ලෑමක් ඉන්ධන හා ආහාරපාන සැපයීම සඳහා වූ බව පැහැදිලිකිරීමක් ලෙස නාවුක ප්‍රකාශක ගෙන් ප්‍රතිචාරවුනි.  ශ්‍රී ලංකා ස්ථාවරයට සමවෙමින් සබ්මරීනයන් ඉන්ධන හා ආහාර සඳහා පැමිණිබව චීන ආරක්ෂක අමාත්‍යංශයෙන්ද පැවසුනි. ඒඩන් බොක්කේ හා සොමාලියාවෙන් ඔබ්බේ මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කිරීමට සබ්මැරීනයන් යෙදුනුබවද ප්‍රකාශිතය. කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ ව්‍යයාමයන්ට සබ්මරීනයන්ගෙන් වන සේවාව අල්පබව ඉන්දියානුවෝ පැවසූහ. එහෙත් පසුගිය සතියේ අද්මිරාල් පෙරේරාද එයම ප්‍රතිරාව කළේය.

ඉන්දියන් සයුරේ චීන නාවුක පැතිකඩ නොවහලාම වැඩෙනු ඇත. චීන සබ්මැරීන කඳවුරක් ශ්‍රී ලංකාවේ විවෘත කරතැයි ඉන්දියාව සැක කරයිද? චීන හමුදා, ආයුධ හා ආම්පන්න සටනට යොදාගැනීමට එවැන්නක් ස්ථාපනය කිරීමට චීනය හෝ ශ්‍රී ලංකාව අදහස් කරතැයි නොසිතමි.

ද්විපාර්ශවීය උපායාත්මක ආධ්‍යාශය ලෙස ඉන්දීය විරෝධීවීම, දීර්ඝකාලීන යුදමය සහයෝගීතාවය, චීන යුද ආයුධ හුවමාරුව සහ අලුත්වැඩියා හා නඩත්තුකිරීමේ පහසුකම් තිබීම වැනි හේතු නිසා විශාල ද්විත්ත්ව පහසුකම් සහිත වරායක් සඳහා කොළඹ නොව කරච්චිය වඩා සුදුසුවේ.   1987 ගිවිසුම නිසා ශ්‍රී ලංකාව මුහුණ දෙන බැඳීම් නිසාද තවත් ද්විත්ත්ව පහසුකම් චීනයට සපයතයි ඉන්දියාව ශ්‍රී ලංකාව සැකකළ යුතුද?

තම භූගෝලීය මායිම්වලට ඔබ්බෙන් සමුද්‍ර ප්‍රවාහන මාර්ග පවත්වාගැනීමේ වැදගත්කම තම පියාපත් විදහන චීනය මෙන්ම ඉන්දියාවද හඳුනා ගෙන ඇත.  චතුර්වේදි, හිටපු ඉන්දීය විදේශ ලේකම් රන්ජන් මතායි මෙසේ උපුටා දක්වයි. “නැගෙනහිර අප්‍රිකානු වෙරළේ සිට දකුණු චීන මුහුද දක්වා මුළු ඉන්දීය සාගරය අපගේ විදේශ වෙළඳාම, බලශක්තිය හා ජාතික ආරක්ෂා අවශ්‍යතා සඳහා ඉතා තීරණාත්මක වේ.” “සිය වාසිය සඳහා චීනයද එසේ සිතීමේ වරද කුමක්ද?” යයි කෙනෙකුට තර්ක කළහැකිය. බොහෝවිට, මහා  සාගර ජල ස්කන්ධය “චීන සාගරය” නොව “ඉන්දීය සාගරය” ලෙස පවත්වා ගැනීමට ඉන්දියාව උනන්දුවනවා විය හැකිය!

මුහුදු කොල්ලකරුවන්ට එරෙහිවෙමින් දුරස්ථව විහිදෙමින් ක්‍රමයෙන් ඉන්දියානු සාගර වෙරළාසන්නයට (කොළඹ, කරච්චිය හා සීෂෙල්ස් ඇතුළුව) චීනය ප්‍රවිෂ්ටවී ඇත. දකුණු චීන මුහුදේ සිට අරාබියානු මුහුද දක්වා චීන නාවුක හමුදාවට වරාය රාශියකට ප්‍රවේශවීම පරමාර්ථකරගත් යුදමය ඇරඹුමක් ලෙස ලෙස “චීන මුතුපට” සංකල්පය බොහෝවිට සැලකුණි. මෙය තම දේශය “වටකර තැබීමට” මගක් ලෙස සලකමින් ඉන්දියාව සලිතවී ඇත. නව සාමුද්‍රික සේද මාවත ආසියාන් කලාපයේ හා ඈත අපරදිග සාමුද්‍රික මතුව්‍යුහයන්හි ආයෝජනය කිරීමට චීනයට උපායයික අනුබලයක් දෙයි.

කෙසේවුවද, (මෝඩි අගමැතිතුමන් ජනාධිපති සීගෙන් විමසා සිටි පරිදි) ඉන්දියාවට උතුරු පෙරමුණේ ඇති ආරක්ෂක ගැටළු සමගින් දකුණු සාමුද්‍රික පෙරමුණේ චීන නාවුක බලඇණි දක්නට ලැබීම අතිශයින්ම ආරක්ෂක සංවේදී තත්ත්වයක් ඇතිකරයි. චීන නාවුක හමුදා පැමිණීම චර්යානුගත බව “වග උත්තරකරුවන්” දෙපොලම පවසනවිට, එය වක්‍රව පවසන්නේ එක්කෝ ඉන්දියාව එම තත්ත්වය සමග විසිය යුතුබව හෝ අපහාසාත්මකව සිතුවහොත් ‘ඔබේ වැඩක් බලාගෙන් සිටින්න’ හෝ යන්නයි! ඉන්දීය විදේශ කාර්යාලයට මෙය දිරවිය හැක්කක් නොවේ. එහෙයින්, ඉන්දියානු ප්‍රවෙශය වියහැක්කේ ‘ගොඩින් බේරාගැනීමය’ එසේනම්, (අමාත්‍ය යාපා පවසනසේ) ශ්‍රී ලංකාව ඉන්දියාවට ‘කතා නොකිරීමට’ අපේක්ෂා නොකරතත්, ඉන්දියාව සිය ගැටළු දැන්වුවහොත් කතා නොකිරීමට තරම් ශ්‍රී ලංකාව මුරණ්ඩු වේද?  හොඳ රාජ්‍යතාන්ත්‍රිකත්ත්වය අනීර්වාර්යයෙන්ම සාකච්චාවට පොළඹවයි..

ඉන්දීය පෙළඹවීම්වලට අන් හේතු

ඉන්දීය පෙලම්බවීම් සබ්මැරීන සිද්ධිවලට සීමිතද?

න්‍යෂ්ටික සබ්මැරීනයක් වීම මූලික ගැටලුවක් විය හැකිය. චීන මුදල්වලින් කරගෙන යනු ලබන වරාය හා අන් සංවර්ධනයන පසුබිමේ, ඉන්දියාව යලි යලිත් කොළඹ වරායේ න්‍යෂ්ටික හෝ අන් සබ්මැරීන නැංගුරම්ලීමට ඉල්ලා සිටියොත් එය ශ්‍රී ලංකාවට අසීරු තත්ත්වයක් ඇතිකරනු ඇත.  එවන් ගැටගැසුණු සටකපටකම් දිල්ලියෙන් අනාගතයේදී සිදුවෙතැයි ප්‍රක්ෂේපනය කළ හැකිය.

ශ්‍රී ලංකාවට වාසිදායක අන්දමින් ණය කොන්දේසි වෙනස්කිරීමට හුවමාරුවක්සේ මාගම්පුර වරායේ නැංගුරම් ස්ථාන හතරක් චීන කළමනාකරණයට පැවරීමද තවත් ගැටලුවක් වූවා විය හැකිය. කෙසේවුවද, එය අභ්‍යන්තරික සංසිද්ධියක් යයි ශ්‍රී ලංකාව තර්ක කරනු ඇත.

රජයෙන් දිගුකාලීනව චීනයට පැවරුණු අක්කර 1, 200 භූමිභාගයක පිහිටුවන “ආරක්ෂාවට සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය” පිළිබඳවද ඉන්දියාව සැකිලිමත් වූවා වියහැකිය. එය ඉන්දීය ආයෝජනයක්වන සාම්පූර් ගල් අඟුරු බලාගාරයට බලපෑමක් සිදු කිරීමට ඉඩද ඇත. රජය මේ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. කෙසේවුවද, ගැටුම්කාරී ආකල්ප මතුවනවිට ඉන්දියාව සැක උපදවාගනු ඇත.

උතුරුකරයේ හමුදා කඳවුරු සංවර්ධනයට චීන ආධාර දෙතැයි වාර්තා කලින් පළවීය.  චීන රහස් ඔත්තු සේවාවන්ගේ ඉහල තාක්ෂණික දියුණුව දන්නා දිල්ලියට දකුණු ඉන්දියාවේ ඔත්තු බැලීමට එමගින් ඇති විභවය සලකා එයත් පොළඹවන සුළු සිද්ධියක් වීමට ඉඩ තිබුණි.

ඉන්දියන් නෙතට ශ්‍රී ලංකා ධජය යටතේ චීන ජාතිකයින් මසුන්මැරීම පවා සැක ජනිත කළා විය හැකිය.  එල්ටීටිය ගැටුම් සමයේදී ඔත්තුබැලුවේය යන සැකයෙන් චීන ධීවර යාත්‍රාවලට ඔවුන් පහරදුන්නේද එවන් පසුබිමකදීය.

මූලික වශයෙන්, චීනුන් ශ්‍රී ලංකාවේ සතර කොනින්ම හමුදා/ ඔත්තු ශක්තීන් දරාසිටිනවිට ඉන්දියානු කනස්සල්ල සාධාරණය. එහෙයින් සමනය වැදගත්වේ.

චීන සබ්මැරීන හා විභව ප්‍රතිපල

කෙසේවුවද, චීන සබ්මැරීන ගමන් චීන යුදමය බලය ප්‍රදර්ශනය කළේය. විචාරක ජෙරමි පේජ් පැවසූ පරිදි පසුගිය දෙසැම්බරයේ ඉරුදිනක චීන ආරක්ෂක අමාත්‍යාංශය, චීන න්‍යෂ්ටික සබ්මැරීනයක් ඉක්මනින්ම මැලක්කා ඕඩය හරහා යනු ඇතියි රටවල් කිහිපයක මිලිටරි සම්බන්ධීකාරකයින් පිරිසකට පවසා ඔවුන්  විමතියට පත්කළේය. දින දෙකකට පසු මලක්කා ඕඩය හරහා චීන ප්‍රහාරක සබ්මැරීනයක් පැමිණ අතුරුදහන් වීය. එය ශ්‍රී ලංකාව ආසන්නයෙන් මතුවී නැවත පර්සියානු බොක්කේ මතුවී පෙබරවාරියේදී නැවත පැමිණි අතර, එය චීන සබ්මැරීනයක් ඉන්දියන් සාගර ගමනක යෙදුනු මුල්ම අවස්ථාවද විය.

න්‍යෂ්ටික සබ්මැරීන ඇති රටවල් සමූහයට දශක සතරක් තිස්සේ ගත් මහෝත්සාහය චීනය සාක්ෂාත් කරගත්තේය යන පණිවුඩය ඉන් නිකුත් කළේයැයි පේජ් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව අසල නැවතු ඩීසල් සබ්මැරීනයක් දියත්කිරීම ප්‍රකාශ කිරීමට සැප්තැම්බරයේදී නැවතත් චීන ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධීකාරකයන් කැඳවීය.  අප්‍රසන්න, දිල්ලියේ සිත් සසල කළ ප්‍රශ්නාභිමුඛ පළමු සබ්මරීනය  මෙය විය හැකිය. ඔහු වැඩිදුරට‍ත් ප්‍රකාශ කළේ සාගරයේ කිඳෙන සබ්මැරීන සමූහය චීනයේ න්‍යෂ්ටික අවි සංචිතය පුලුල්කරන අතර, භෞමික මායිම් පිලිබඳ ඇයගේ ඉල්ලීම් ශක්තිමත් කරගැනීමට හා ඇමෙරිකානු මැදිහත්වීම් බිඳදැමීමට චීනයේ හැකියාව වැඩිකරනු ඇතිබවය. න්‍යෂ්ටික සබ්මැරීන වැඩිමනත් ලෙස උපායාත්මකව සක්‍රීය හෙයින්  මෙය සංකීර්ණ දේශපාලනයට මුසුවේ.

අමෙරිකන් ඔත්තුසේවා කාර්යාලය පවසන අන්දමට “චීනය මේ වසරේදී “බූමර් සබ්මැරීනයක්” සාගරගත කරමින් තවත් නව ජයග්‍රාහී පියවරක් මුල්වරට තැබීමට නියමිතය.”  නොනත්වා ඉන්දීය සයුර හරහා චීන න්‍යෂ්ටික සබ්මැරීන ගමන, හවායිහි අමෙරිකන් පැසිෆික් නාවුක හමුදා මූලස්ථානයට ළඟාවීමට හැකියාව ඔප්පුකිරීමකි.  මෙය මා අදහස් කරන පරිදි යාවත්කාලීන චීන ක්‍රියාදාමයකි.  ඇමෙරිකන් සත්වැනි නාවුක හමුදාවේ අණදෙන නිලධාරියාට මෙය සතුටුවිය හැකි පණිවුඩයක්ද?

මේ පසුබිම යටතේ චීන ක්‍රියාදාමය දෙරටටම කරදර ඇතිකිරීම අපේක්ෂා කළ හැකි හෙයින්, ඉන්දියාව ඇමෙරිකාවට වඩා කිට්ටුවේද? මෙය ලෙහෙසියෙන් අමතක කළ නොහැක්කේ දැනටමත් ඇමෙරිකාව හා ඉන්දියාව යුදමය සහයෝගිතාවය සඳහා නිෂ්පාදනය/ එකාබද්ධ ව්‍යවසාය/ අලෙවිකිරීම්/ තාක්ෂණ හුවමාරුව ආදිය  පිලිබඳ සක්‍රීය සංවාදයන් පවත්වන හෙයිනි.  ප්‍රසාද් කාරියවසම් තානාපතිතුමන් මෙම සංකීර්ණ වැඩිදියුණුව සාක්ෂාත් කරගැනීමට, වොෂින්ටනයේ ‘උපායික හා අන්තර්ජාතික මධ්‍යස්ථානයේ (Center for Strategic and International Studies) වැඩසටහන් පසුවිපරමින් අධ්‍යනය කරනු ඇතියි සිතමි.

ඇමෙරිකාව හා ඉන්දියාව අතර එවැනි “සහයෝගීතාවයන්” යුදමය අංශයට සීමාවේද, ශ්‍රී ලංකාවට බලපාන (උද: එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම වැනි ) අන් අංශවලට ව්‍යප්තවේද? මේ සිද්ධීන් නිසා ශ්‍රී  ලංකාවට අමිහිරි තත්ත්වයන්ට මුහුණදීමට  සිදුවේද?

රජීව් ගාන්ධි- ජේආර් ජයවර්ධන ගිවිසුම-1987  

ඉන්දියානු විදේශ අමාත්‍යංශය නිලධාරීන් ඉන්දියානු තැවුල් නියෝජනයේදී රජීව් ගාන්ධි- ජේආර් ජයවර්ධන ගිවිසුම-1987 ලයට තුරුළු කරගෙන සිටිතැයි මම සිතමි.  එය සාරාංශව මෙසේ විය:

(අ) ශ්‍රී ලංකාව හා ඉන්දියාව එකිනෙකාගේ  සමගිය, භෞමික අඛණ්ඩතාවය හා ආරක්ෂාවට හානිකරවන ක්‍රියාවන් සඳහා එකිනෙකාගේ භූමීන් යොදාගැනීමට අවකාශ නොදීමට ප්‍රතිඥාදෙති.

(ආ)  විදේශීය හමුදා හා ඔත්තු සේවා නිලධාරීන්ගේ උචිතභාවය හා යොදාගැනීම පිළිබඳව රටවල් දෙක ඉක්මන් එකඟතාවයකට එළඹෙනු ඇත.

(ඇ) ඉන්දියාවට අහිතකර අන්දමින් ශ්‍රී ලංකාවේ සියලුම වරායන් අන් රටකට යුදමය වශයෙන් යොදාගැනීමට ඉඩනොදෙනු ඇත.

(ඈ) ත්‍රිකුනාමලයේ තෙල් ගබඩා සංකීර්ණය ප්‍රකෘතිය තත්ත්වයට ගෙන ඒම හා ක්‍රියාත්මක කිරීම ඉන්දීය හා ශ්‍රී ලාංකීය බද්ධ-ව්‍යාපාරයක් ලෙස ඉටුකරනු ඇත.

(ඉ) ශ්‍රී ලංකාව විදේශීය විකාශන සංවිධාන සමග ඇති සියලුම ගිවිසුම් ඒවා මහජන විකාශන සඳහා පමණක් යොදාගන්නා බවට හා කිසිම යුදමය හෝ ඔත්තුසේවා කාර්යයකට නොයොදාගන්නා බව සහතික කරනුවස් සමාලෝචනය කරනු ඇත.

ඉහත (ඉ) හැර අන් සියල්ලම යුදමය කරුණුවලට සම්බන්ධිතය. චීන සබ්මැරීන නැංගුරම්ලීම “ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකරව”, “විදේශීය හමුදා හා ඔත්තු සේවා නිලධාරීන් යොදාගැනීට ඉඩ සැලසීමක්” ලෙසත්, “ත්‍රිකුනාමලයේ තෙල් ගබඩා සංකීර්ණය ප්‍රකෘතිය තත්ත්වයට ගෙන ඒම හා ක්‍රියාත්මක කිරීම” සිඳලන හා යුදමය හෝ ඔත්තුසේවා කාර්යයකට – යුදමය හා සමහරවිට දේශපාලනිකව- ඉන්දියාවට අහිතකර රහසිගත ක්‍රියාවලීන්හි යෙදීමට ඉඩ සලසන බවට ඉන්දීය බලධාරීන් තර්ක/ අර්ථකතන ඉදිරිපත් කරනු ඇත.

ශ්‍රී ලංකාවට එකිනෙකාගේ නෞකා සඳහානැංගුරම් ලීමට ස්වෛරී අයිතියක් ඇතියයිද, එසේනම් සබ්මැරීන් සඳහා නොවන්නේ කෙසේදැයි කෙනෙකුට තර්ක කළ හැකිය. කලින් සඳහන් කළ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට පනවා ඇති තහංචි එකම බාධාව ලෙස මම දකිමි.

අනික් නියමයන්/ කොන්දේසි ඉන්දියාව පොරොන්දු වූ පරිදි සාක්ෂාත් නොකර ඇතිහෙයින් මෙය පමණක් ක්‍රියාත්මක කිරීම අමතක කළයුතු යයි ගිවිසුම මත තර්ක ඉදිරිපත් කරන අයවලුන් විවේචනයට ලක්කරන සමහරු තර්ක කරති.  මෙය අධිකරණ විනිශ්චයකට ලක් කළ යුතුවේ. ගිවිසුම නොමැතිනම් මෙකී ස්ථාවරය වෙනස්වේ. ඉන්දියානු විරෝධතා නොසලකා, චීනයේ හා ශ්‍රී ලංකාවේ රළු ප්‍රතිචාර ඔසවාතබමින්, චීන යුදනෞකා නැංගුරම් ලන ප්‍රවේගය දකිනවිට අප මේ එළිපත්තට පැමිණ ඇතිද?

චීනයේ මහා උපාය

චීනය සමග ගනුදෙනුවේදී සබ්මැරීන හුදකලා මැදිහත්වීම් නොවෙති. චීනයට “මහා උපාය” නම් ක්‍රියාත්මක සැලැස්මක් ඇත. එය “ඇයගේ දිගුකාලීන විදේශීය හා ආරක්ෂක ප්‍රතිපත්ති පරමාර්ථ හඳුන්වාදෙමින්, අන්තර්ජාතික පද්ධතියේ ජාතික ඉලක්ක ලඟාකරගැනීමට රටෙහි පුළුල්ම ප්‍රවේශ ඊට අන්තර්ගත වේ.   එනම්::

  • “ලොව විශිෂ්ටතම බලය” සාක්ෂාත් කරගැනීමට අත්‍යවශ්‍ය “පරිපූර්ණ ජාතික බලය” නතුකරගනීම;
  • චීන ආර්ථික ව්‍යාප්තිය නඩත්තුවට ගෝලීය ස්වභාවික සම්පත්, අමුද්‍රව්‍ය හා එතෙර වෙළඳපොළවලට ප්‍රවේශ වීම;
  • ප්‍රවාහනයට අදාළ අත්‍යවශ්‍ය සාගර මාර්ග හා  පටු මුහුදු කොරිඩෝවන් ඇතුලත් කරගන්නා යුදමය වෘද්ධිය, බහුපාර්ශවීයත්වය  හා බහුධ්‍රවීයත්වය හඹායාම; හා,
  • මෘදු බලැති රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශ, වෙළඳාම හා වෙළඳ ගිවිසුම් මගින් ආර්ථික යැපීම්කරණය, අන්‍යොන්‍ය ආරක්ෂක සම්මුති ඇතිකිරීම, ඔත්තුසේවා සහයෝගිතාවය සහ ආයුධ විකිණීම ආදිය මගින් ගෝලීය මිත්‍ර ජාලයක් ගොඩනැගීම.    

ඉහත පැහැදිලිකිරීම පරිදි ‘මහා උපාය’ බලවත් ජාතියක් ගොඩනැගීමට අදාළ සියලුම ප්‍රධාන අඩවියක්ම ආවරණය කරයි. චීනය දකුණු ආසියා විශේෂඥ මහනාස් ඉස්පහානි පවසන “විදේශ මතුව්‍යුහ ආධාර තීරණ ගැනීමේදී, ආර්ථික, දේශපාලනික, උපායික හා භූගෝලීය අවශ්‍යතා සැලකිල්ලට ගැනේ. මතුව්‍යුහ ප්‍රවේශය, පිහිටීම හා පිරිවිතය මත ද්විත්ව ප්‍රයෝජන ලාභීය. ආර්ථික සංවර්ධන මෙවලමක් හෝ අභ්‍යන්තර හෝ බාහිර ආරක්ෂක මාධ්‍යයක් මත එය රඳා පැවතිය හැකිය” කියමන ඔප්පුවන පරිදි, චීනය ලංකාව මත “මහා උපාය” සක්‍රීයව යොදා ඇත.  .

ශ්‍රී ලංකාව මත චීනය බලපා ඇති අන්දම විශාල මතුව්‍යුහ ආයෝජනයන්, වෙළඳාම උත්තේජනයන්, ඉක්මන් නිදහස් වෙළඳ ගිවිසුම් අනුමත ලැබීම්, අන්තර්ජාතික රැස්වීම්වලදී (උදා: එක්සත් ජාතීන්) රාජ්‍යතාන්ත්‍රික සහාය දැක්වීම්, යුද සමයේදී යුද ආධාර දීම් ආදියෙන් උපුටා දැක්විය හැකිය.   ඉන්දියාව සමගද ජනාධිපති සී ඩොලර් බිලියන ගණනක ආයෝජන පොරොන්දුවීය. මේ “මහා උපාය” සක්‍රීයව ක්‍රියාත්මකවන අයුරුය. මේ පසුබිමේදී සබ්මැරීන, “මහා උපාය”, “සාමුද්‍රික සේද මාවත” හුදකලා සංකල්ප ලෙස සැලකිය නොහැකිය.

චීන මෘදු -බල රාජ්‍යතාන්ත්‍රිකත්වය

මහා බල උපාය හා සාමුද්‍රික සේද මාවත සංකල්ප යුද ක්‍රියාදාම ප්‍රවේශ නොවෙති. යුද ක්‍රියාකාරීන් නොමැතිව ඒවා සමාන්තරව දේශපාලනික සබඳතා ගොඩනගන හෙයිනි.

උදාහරණයකට චීන ජනාධිපති සී ජින්පින් සැපතැම්බර් මැදදී මාලදිවයින් බලධාරීන් සමුවුවිට සාමුද්‍රික සේද මාවතට අනුමැතිය ලබාගෙන, ද්විපාක්ෂික ගිවිසුම “මාලදිවයින චීනය  ඉදිරිපත් කළ 21 වන සියවසේ සාමුද්‍රික සේද මාවත යෝජනාව සතුටින් පිළිගෙන සහාය දක්වන අතර සක්‍රීයව එහි යෙදීමටත්, අදාළ පරිදි සහයෝගීතාවය දීමටත් සූදානම්ය. සාමුද්‍රික කරුනුවලදීත්, ආර්ථිකය හා ආරක්ෂාව වැනි අන් අංශවලත් සහයෝගීතාවය වර්ධනයට දෙපාර්ශ්වය එකඟ වූහ” ලෙසින් ලියැවුණි. “අන් අංශවල සහයෝගීතාවය” ගිවිසුමට ඇතුලත්වීම පුදුමයක් නොවන්නේ මාලදිවයින විශාල ආර්ථික ප්‍රශ්නවලට මැදිව සිටීම හා චීනය නිර්ලෝභී “දානපතියෙකුවන” හෙයිනි.

නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්හි සේදමාවත “උපායික ආර්ථික ව්‍යාපෘතියක්” බව පවසන චීන ප්‍රතිපත්ති පර්යේෂණ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලුආන් ජියන්සාන්, වැඩිමනත්ව “අපට ඉන්දියාවේ ක්‍රියා ප්‍රදේශයට  ඇතුළත්වීමට අනවශ්‍යය” යි පවසයි.  දැනට එහි කිසිම ආරක්ෂක සැලකිල්ලක් නොමැති බව ඔහු පවසයි. “දැනට” යන්න මා යලි සටහන් කරගන්නේ “අන් දිනකට” වියහැකිය යන සැකයෙනි!

මේ අතරතුර චීන උප අගමැති සාන්ග් ගෝලී 11 වැනි චීන- ආසියාන් එක්ස්පෝ සමුළුවට පැමිණි සිංගප්පූරු හා කාම්බෝජ අගමැතිවරුන්, ලාඕස් හා බුරුම උප ජනාධිපතිවරුන්, තායිලන්ත හා වියට්නාම් නියෝජ්‍ය අගමැති/ විදේශ ඇමතිවරුන් සමුවිය.  ඔවුන්ට නොයෙක් ආධාර පොරෝන්දුවූ ඔහු “සපිරි උපායික සහයෝගීතාව” සිද්ධාන්තයටද ඔවුන්ගේ අනුමැතියද ලබාගති.

ශ්‍රී ලංකාවේදී ජනාධිපති සී ජින්පින් ආර්ථික වර්ධන සම්මුති රාශියකට එකඟවන අතරතුර, සාගරික සේද මාවතටද ශ්‍රී ලංකාවේ කැපවීම ලබාගති. එය  21 සියවසේ සාගරික සේද මාවතට විදේශ ඇමති ජී එල් පීරිස් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සමග 2014 පෙබරවාරි මැදදී “සේද මාවත චීනය සමග එකතුව ව්‍යාප්තියට හා ගොඩනැගීමට”වූ පොරොන්දුව තහුවුරු කිරීමකි.  බටහිර රටවල් ශ්‍රී ලංකාවේ ගෙල හිරකරන විටෙක, නව දිල්ලිය යම්තරමකට සලිතව හා “මෝසම් ව්‍යාපෘතිය” දියත් කරන විටෙක වුවද මෙවන් තහුවුරුවක් වීම පුදුමයක් නොවේ.

අවසානය

නව නම්දෙමින්, තාක්ෂනය, රාජ්‍යතාන්ත්‍රිකත්ත්වය, මෑතදී ලද ආර්ථික සවිය යොදමින් “ගෝලීය මහා බලය” වීමේ ඉලක්කයට ලඟාවීම සඳහා චීනය දිගු ක්‍රියාවලියක නිරත වී ඇති බව ඉහත කරුණු ඔප්පු කරයි.  මේ වෘද්ධිය ඉන්දියාව සලිත කර ඇතියයි සිතෙන අතර, චීනය පිළිබඳව අමෙරිකාවටද අපහසුවක් විඳීමට ඉඩ සලසයි.

කෙසේවුවද, අප ජීවත්වන්නේ ආර්ථිකය හෝ දේශපාලනය හෝ රාජ්‍යතාන්ත්‍රිකත්වය හෝ යුදමය ක්‍රියා හෝ තනිව ක්‍රියාත්මක නොවන, මින් ඔනෑම දෙයකට හොඳට හෝ නරකට බාහිර අනුපානු එකතුවිය හැකි සංකීර්ණ ලොවකය.  එහෙයින් අපට හැම අන්තර්ජාතික බලයක්ම අවශ්‍යබව සිහිතබා ගෙන රාජ්‍යතාන්ත්‍රිකව හා සුරක්ෂිතව ක්‍රියා කිරීම වැදගත් වේ.

මෙහිලා, “ඇත් පොර වලින් තැලෙන්නේ තනබිස්සය” යන ස්වාහීලි ආප්තෝපදෙෂය අප සිහියේ තබාගැනීම මැනවි.

*ඔස්ටින් ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම්

Back to Home page