24 April, 2024

Blog

මැතිවරණ ජිල්මාර්ට්වලින් ගැලවීමට නම් …

ඔස්ටින් ප්‍රනාන්දු –

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

සැම මැතිවරණයක්ම පරාජිත වුවිට ඊට හේතුවක් ලෙස දේශපාලන පක්ෂ පවසනුයේ ජයග්‍රාහකයා මැතිවරණ ප්‍රතිපලය කොල්ලකා ඇති බවය. පසුගිය ජනාධිපතිවරනයෙදී ඊට “කොම්පියුටර් ජිල්මාර්ට්” නම් අලුත් නමක්ද පටබැඳුණි.

මෙවරද ජනාධිපති තුමා පවසා තිබුනේ කොම්පියුටර් ජිල්මාර්ට් එකකින් හෝ ජයගන්නා බවය. මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම යහපත් ඇම්බැට්ටයෙකු ලෙස එය තහවුරු කොට වත්මන් මැතිවරණ කොමසාරිස්වරයාද නමින්ම ඊට දායකයෙකු කරගති. සත්‍යය කුමක්දැයි සැක සිතෙන්නේ එය දේශපාලනයකුගේ මුවින් ගලා ආ හෙයිනි! ඊට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා පැවසුයේ ජිල්මාර්ට් කිරීමක් කිසිදා නොසිදුවන බවය.

ජිල්මාර්ට් මගින් දිනන බව ජනාධිපහිවරයා පැවසුවිට, විපක්ෂයේ චන්දදායකයින් “අප චන්දය දුන්නත් පලයක් නැතියි” සිතා චන්දය නොදමතියි සිතා විපක්ෂ අපේක්ෂකයා ජිල්මාර්ට් බැහැර කරනවා විය හැකිය. පරිපාලනයට ඇඟිලි ගැසීමට වඩා හැකියාවක් ඇතියි සැක සිතිය හැකි ජනාධිපතිවරයා එසේ පවසනවිට, ඔහුට එරෙහිව චන්දය පාවිච්චි කිරීමෙන් පලක් නැතියි චන්දදායකයින් සිතනු ඇත. එහෙයින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම දෙපැත්තකින් ඉලක්ක කරන්නේ එකම චන්දදායක කණ්ඩායමය.

‘විශ්වමිත්‍ර’ නමින් ලේඛකයෙකු මෑතදී ලිවූ ඉංග්‍රීසි ලිපියක උලුප්පා දැක්වුණේ මැතිවරණය කොල්ලකා ගැනීමට ඇති ප්‍රවනතාවයය. කුමන උපාය මාර්ගයකින්වත් එය මුළුමනින්ම අතුගාදැමිය නොහැකිවුවද, සත්‍ය ලෙසම ලද චන්ද ප්‍රතිපලයට වෙනස් ප්‍රතිපලයක් ප්‍රකාශවෙතියි ජනතාවගේ සන්තානයේ තිබීම හේතුවෙන්, ප්‍රශ්නය බලගතු හා ලුහුකළ නොහැකි කරුණක් බව ඔහු සිතයි. බොහෝවිට රජයේ මෙහෙයුමක් ලෙස මෙය සිදුවෙතියි සිතීමට කරුණු ඉදිරිපත්කළ ඔහු මේ සැකය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මුලිනුපුටා දැමිය යුතුබව පෙන්වාදුනි.

මා කලකට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවේදීත්, පසුව මැතිවරණ කොමසාරිස්වරයාගේ ආරාධනයෙන් මැතිවරණ ක්‍රියාවලියේ නියැලුනෙකු ලෙසත් මීට යම් තරමක පිලියමක් ලබාදීමට හැකිදැයි මගෙන්ම විමසුවෙමි. මැතිවරණ ක්‍රියාදාමයේ ගරාවැටීම වැළැක්වීමට හැකිදැයි අවධානය යොමු කළෙමි.

fonseka-with-dumped-votes-colombo-telegraphගරාවැටීම ප්‍රචලිතව ප්‍රදර්ශනය කරන අසීමිත “කටවුට්” ප්‍රදර්ශනය, චන්ද පත්‍රිකා මුද්‍රණයේදී වියහැකි දූෂණ හා නව පත්කිරීම්, ජාතික හැඳුනුම්පත් හොරෙන් මුද්‍රණය, ලංගම බස් අයථා පරිහරණය, රාජ්‍ය සේවකන් ප්‍රගති සමාලෝචනයට කැඳවා සංග්‍රහ කිරීම මගින් චන්දය ලබා ගැනීමට තැත්කිරීම ආදිය අද සාවද්‍යව හෝ නිරවද්‍යව හෝ “දූෂණ” ලෙස සමාජගතව ඇත. මේවා අසත්‍ය චෝදනා බව රජය පවසයි. චන්ද පොළ හා ගණන් කිරීමේ ක්‍රියාවලීන්ගේද මෙවැනි දූෂිත ක්‍රියා සිදුවෙතියි පොදු අපේක්ෂක කුමක් කීවද විපක්ෂයේ බොහොමයකගේ මතයයි. කෙසේ වුවද කුරුණෑගල වැනි දිස්ත්‍රික්කයන්හි “කටවුට් “ ප්‍රදර්ශනය අවම කර ඇති අන්දම අනුව පෙනී යන්නේ නිලධාරීන්ට අවශ්‍යනම එය සිදුකළහැකි බවයි.

මේ සියලු “දූෂණ” කරන්නේ රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ආදියේ පරිපාලනයත්, සේවකයිනුත්ය. සමහර වැරදි නිවරද කරතත්, නීති කඩකරන්නවුන් නැවැත්වීමට ඍජු බලතල නොමැතියි පවසා මැතිවරණ කොමසාරිස්වරයාට අත පිසදා ගත හැකිද? මේ දේවල් ගැන විමසා, යම් පරිපාලනයක් කිරීමට අන් මාර්ගයක් ඇත්ද යන්න ඔහු විසින් විමසා බැලීම නුසුදුසුද? පසු ගිය දිනක ඉරිදා ටයිම්ස් පුවත් පත පැවසුවේ මේ මැතිවරණයට සමහර රාජ්‍ය ආයතන නොපෑහෙන වියදම් දැරීම පිලිබඳ විරෝධයක් මුදල් අමාත්‍යංශයෙන්ම පැනනැගී ඇති බවය. එයම පොදු විරෝධයකට අත්තිවාරම් දැමූබවක් ආරංචි නැත. බලධාරීන් නිදිවත රකිතියි සිතේ. නිලධාරෙඑඑඞෙ අනවශ්‍යතාවය මීට හේතුවීද?

සියලු රාජ්‍ය අංශ සඳහා රජයේ අයවැයෙන් වන විශාල දායකත්වයක් ඇත. ජනරජ ව්‍යවස්ථාවේ 144, 145 මගින් රාජ්‍ය මූල්‍ය පාලනය පිලිබඳ මූලික මාර්ගෝපදේශ දෙති. රාජ්‍ය මූල්‍ය පරිපාලනයට සහායට විගනකාධිපතිවරයෙකු ව්‍යවස්ථාවේ 153 යටතේ පත්කෙරේ. ඔහුගේ කාර්යභාරය වනුයේ රාජ්‍ය අංශයේ අන් අංශ මෙන්ම, “මැතිවරණ කොමසාරිවරයාගේ කාර්යාලයේ”ගිණුම්ද විගනනයයි. එය සිදුනොවන්නේනම් මැතිවරණ කොමසාරිස්වරයාට එකාබද්ධ අරමුදලින් වෙන්කර ඇති මුදල් නිසිලෙස නොයොදාගනීම පිලිබඳ විගනාධිපතිවරයා අනීවාර්යයෙන්ම මැදිහත්විය යුතුවේ.

මීට සරල උදාහරණයක් ගනිමු. කටවුට් ඉවත්කිරීම සඳහා කොමසාරිස්වරයා රුපියල් මිලියන 50ක් පොලිසියට නිදහස් කළබව ප්‍රසිද්ධ විය. ඒ සත්‍යයි සිතමි. ඒ මුදල් නිසි ලෙස අදාළ කරුණට යොදවන්නේද, අපේක්ෂිත ප්‍රතිපලය ලැබුනේද, කොමසාරිවරයා විසින් විෂය සමාලෝචනය කරන්නේද යන්න මෙහිදී විමසිය යුතුය. එලෙසම චන්ද පොලක හෝ ගණන් කිරීමේ ශාලාවක සිදුවිය යුතු කාර්ය පටිපාටිය ගැනද, නිලධාරීන්ගේ හා පොලිසියේ රාජකාරී භාරයද, රාජ්‍ය මාධ්‍ය ආයතනද විමර්ශනයට භාජනය කළ හැකිය. ඒ සියලු ආයතනම රාජ්‍ය අයවැයට බැඳෙන හෙයිනි.

රාජ්‍ය අරමුදල් භාවිතයේදී සිදුවූ මුදල් රෙගුලාසි කැඩීම්, පරිපාලන රීති, චක්‍රලේඛ අනුගමනය නොකිරීම් ගැන පදරංගගත විගණන පිරික්සුම් හා වාර්තා කැඳවා, ලැබෙන ප්‍රතිචාරවලින් නොසැහී, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඉදිරියට දෙපාර්තමේන්තු බලධාරීන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා “හමගසන” විගනකාධිපතිතුමා, රටක, ජාතියක, ජනතාවකගේ පරම ප්‍රජාතන්ත්‍රීය ව්‍යවස්ථා බලයන් උරගා බැලෙන ජනාධිපතිවරණයකදී මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග ඉතිහාසගතව උල්ලංඝනය කරන පොලිසියට එරෙහිව මෙතුවක් ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි විමසීම මැනවි. පොලිස් අක්‍රීයත්වය ගැන “මාගේ නියෝග පොලිසිය ක්‍රියා නොකරති” අදෝනා නැගීම හැර අන් කිසිවක් කිරීමට අපොහොසත්වූ සියලු මැතිවරණ කොමසාරිස්වරුන්ගෙන් අක්‍රීයත්වය මත විගනකාධිපතිතුමා කර ඇති විමසීම කවරේදැයි විමසීම මැනවි.

බිලියන ගණනින් පාඩු විඳින ලංගමයේ බස් රජයේ මැතිවරණ ක්‍රියාවලියට සහනශීලීව මුදා හැරීම පිලිබඳ එක විගණන විමසුමක්වත් මැතිවරණ ඉතිහාසයේදී විගණකාධිපති කර ඇත්ද? එසේ කළේනම් මෙසේ බස් නිදහස් කළවුන්ගෙන් අලාභය අය කරගැනීමට කීවරක් ක්‍රියාකර ඇත්ද? විගණකාධිපතිවරයාට හදවතට තට්ටු කිරීමට තවමත් කල් පමාවී නොමැති යයි සිතමි. එයට හිටපු විගනකාධිපති මායාදුන්නේ මහතාගේ රාජකාරි සමයේ සිට සම්මතයට අපේක්ෂිත ‘ජාතික විගණන පනත’ සම්මත කරගන්නාතුරු විගනකාධිපතිතුමා තුන්කල් බලමින් සිටිය යුතුද?

විගණකාධිපතිවරයා එසේ ක්‍රියාශීලීවීමට මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීමක් අපේක්ෂා නොකළ යුත්තේ ව්‍යවස්ථාවේ 154 (1) යටතේ ඒ බලය ඔහුට ඇති හෙයිනි. අවශ්‍ය වේනම් සියලුම පොත්, වාර්තා, ලියකියවිලි ලබාගැනීමට හා ගබඩා වලට හා වෙනත් දේපලවලට (උදාහරණ ලෙස චන්ද මධ්‍යස්ථාන , ගණන් කිරීමේ ශාලාවලට කොමසාරිස්වරයාගේ අවසරයෙන් ඇතුලත්වී රජයේ මුදල් නිසියාකාරව, දූෂණයෙන් තොරව, නීත්‍යානුකූලව යෙදවෙන්නේද යන්න විමසීමට හැකියි.) ව්‍යවස්ථාවේ 154 (5) අනුව ඊට ඉඩ සැලසේ යයි අර්ථකතන කළහොත් නිවැරදිද?

යම් භය-පක්ෂපාතීභාවයක් හෝ රැකියාව බේරාගැනීම පිලිබඳ හෝ සංකාවක් ඇතිනම් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමර්ශන අනුමැතියක් ගෙන්වා ගැනීමත් මැනවි! මැතිවරණ විමර්ශන සංවිධාන විසින් එවන් ඉල්ලීමක් කොමසාරිස්වරයාට ඉදීරිපත් කිරීමෙන් කොමසාරිවරයාගේද අත් බැඳ ඇත්නම් එයද ලිහිල් කළ හැකිය. එවිට මුළුමහත් මැතිවරණ ක්‍රියාදාමයේ යෙදෙන රාජ්‍යබලධාරිත්ත්වයේ ක්‍රියා නීතියට, රීතියට, මැතිවරණ ව්‍යාපාර සමයේත්, චන්ද පොළ හා ගණන් කිරීමේ ශාලාවලත් ඉටුවේද යන්න පිලිබඳ මැදිහත් මතයක් ඒක්ෂණ විගණනයක් (Quick Audit) තුලින් ලොවට හෙලිකළ හැකිවනු ඇත. එම ඒක්ෂණ විගණන වාර්තාවක් යම් අධිකරණයකදී වුවද සාධාරණ හා නිදහස් වාර්තාකරණයක් ලෙස සලකනු ඇත. එහෙයින් මේ ක්‍රියාදාමයට ස්වේච්චාවෙන්ම විගණකාධිපතිවරයා මැදිහත්වීම වඩා මැනවි.

මැතිවරණ ක්‍රියාවලියේදී කාර්යයන් නිසියාකාරව සිදුනොකරතැයි චෝදනා කොමසාරිස්වරයාට එරෙහිව පුවත් පත් මගින්, දේශපාලන පක්ෂ මගින් කරනු දැක ඇත්තෙමු. ජනාධිපතිවරනයකදී කොමසාරිස් වරයාට ඇති දැඩි පීඩනය මනෝ ආතතිය ඇති කරතැයි පවසන රටක මැතිවරණ දෙපාර්තමේන්තුවට පමණක් චෝදනා කිරීමෙන් වැලකී අන් පිළිගතහැකි නිදහස් ආයතනයක් ලෙස සාමාන්‍යයෙන් පිළිගන්නා විගණකාධිපතිවරයා මෙම ක්‍රියාදාමයට මැදිහත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකට තුඩුදෙණු ඇත. ව්‍යවස්තානුකූලත්වයට අසමමිතික ඉල්ලීම වියයුත්තේ 154 (6) ඇති පරිදි මාස දහයක් නොබලා හිඳ එක්ෂණ වාර්තාවක් ලැබීමේ අවශ්‍යතාවයයි.

විගණකාධිපතිවරයා මගින් පාරදෘශ්‍ය මැතිවරණ විගණන ක්‍රියාවලියක් අපේක්ෂාවෙන් පමණක් ජිල්මාර්ට් ඇතොත් පිළිසරණ ලද නොහැකියි සිතමි.

මා අත්දැක ඇති එක පැතිකඩක් සඳහන් කරමි. චන්ද්‍රානන්ද සිල්වා මැතිවරණ කොමසාරිස්වරයා වරෙක මා රත්නපුර දිස්ත්‍රික්කයේ අතුරු මැතිවරණයක ගණන්කිරීම භාරව යැව්වේ, එකල දිස්ත්‍රික්කයේ එජාප දේශපාලන බලධාරියෙකු විසින් ගණන්කිරීමේ ශාලාවතුලට පිස්තෝලයක් රැගෙනවිත් තර්ජනය කොට ඇතියි ශ්‍රීලනිපයේ මහලේකම්වරයා කළ චෝදනාව නැවත සිදු නොවන බවට මට දැනුම්දෙමිනි. එහිදී, මා යොදාගත්තේ: (1) සියලුම නියෝජිතයින් සිරුරු පිරික්සීමකින් පසුව ශාලාවට ඇතුල්කිරීම (එහිදී අනුර බණ්ඩාරනායක මහතා එම රාජකාරිය භාරව සිටි එවකට කනිෂ්ට මැතිවරණ සහකාර කොමසාරිස් වරයෙකු වූ වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සමග සුළු වාචික ආරෝවකට පත්වූ බවද සිහිපත්වේ.) (2) කිසිම දේශපාලන හෝ අන් බලධාරියෙකුගේ ආරක්ෂකයින් ගණන් කිරීම අඩවියට ඇතුල්වීමට ඉඩ නොසැලසීම (3) ගණන් කිරීමේ ශාලාවට ඇති සියලු දොරවල් ලොකු ප්‍රමාණයේ ඉබ්බන් දමා ඇතුළතින් දැඩිලෙස ආරක්ෂා කිරීම (අගුලු සිඳ බිඳලා ඇතුල්වූයේනම් එය රහසිගතව හෝ හදිසියේ හෝ ඝෝෂාවකින් තොරව සිදුකළ නොහැක්කක් වේ.) (4) දේශපාලනික සබඳතා තිබුණු නිලධාරීන් ගණන්කිරීමේ ක්‍රියාදාමයෙන් කලින්ම ඉවත්කිරීම , වැනි ක්‍රමවේදයන්ය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම ක්‍රියාදාමයන්ගේ සාර්ථකත්වය ගැන හොඳින්ම දන්නා නිසා අදට උචිත පරිදි එතුමා එදින ලද අත්දැකීම් යොදාගනිතියි විශ්වාස කරමි.

මෙහිදී, මැතිවරණ විමර්ශනය කරන සංවිධානවල කාර්ය භාරය ඉමහත්ය. අවාසනාවකට සමහර එවන් සංවිධාන පිලිබඳ සැක පහළවන සඳහන්කිරීම් අසන්නට ලැබේ. වර්තමාන තාක්ෂණික වෘද්ධිය බලනවිට මෙවන් සංවිධානවලට එකී සන්නිවේදන තාක්ෂණික ක්‍රමවේද වාර්තාකරණයට යොදාගැනීමේ අවස්තාවන් කොමසාරිස්වරයා විසින් ලබාදීම පාරදෘශ්‍ය භාවය වර්ධනයට හේතු කාරක විය හැකිය.

මම එවන් විපලවවාදී යෝජනාවක් කරනු කැමැත්තෙමි. එනම්, මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම්වලට ස්මාර්ට් ෆොන් (Smart Phones) හෝ ටැබ්ලට් උපකරණ (Tablet devices) ගණන්කිරීමේ පරිශ්‍රයන්තුල (ගණන්කිරීමේ හෝ චන්ද මධ්‍යස්ථානතුල නොවේ.) සිදුවීම් වාර්තාගත කර ගැනීමට ඉඩදීම එම යෝජනාවයි. එසේ සිදුවන්නේ නම් මෙතෙක් වාර්තාවී ඇති යම් නීති කඩකිරීම් වූයේනම් ඒ පිලිබඳ කරුණු ඔප්පුකිරීමට සෑහෙන සාධාරණ මාර්ගයක් ඉදිරිපත්වේ. එමෙන්ම නීති කඩන්නන් හා සැලසුම් කරන්නන් දුර්මුඛ කළහැකි විධියකි. මෙවැනි උපකරණයක් වුවද හසුවුවහොත් වීඩියෝ උපකරණයක් මෙන්ම විනාශ කරදැමිය හැකිහෙයින් බොහෝ දෙනෙකු මගින් එසේ වාර්තාකරණයට ඉඩ දිය යුතුවේ.

මුල් අවස්ථාවේ චන්ද ගණන් කිරීමේදී ලැබෙන නිළමය වාර්තාවන් මූලික ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයින් විසින් තේරීම්භාර නිලධාරී සමග සිටින බලයලත් නිලධාරී නියෝජිතට ලබාදීමේදී තේරීම්භාර නිලධාරීට ඇති දුරස්ථභාවය හා ප්‍රවේශයට අපහසුකම් නිසා බාධා ඇතිවෙතියයි චෝදනා ඇසේ. නීතියේ බාධාවක් නොමැති හෙයින් මුලික ගණනය සිදුවන ගණන්කිරීමේ කාමරවලට ඉතාම ආසන්නයේම, මූලික ගණනයෙන් ලැබෙන සංඛ්‍යාති පරීක්ෂාකර, අදාළ මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂකයින්ගේ නියෝජිතයින් සමග ආසනයක සමූහ ප්‍රතිපලය සකසා තේරීම්භාර නිලධාරීට ප්‍රතිපල නිගමනයට සැලැස්වීමට සහකාර තේරීම්භාර නිලධාරියෙකු යොදවන්නේනම් හා අවම වශයෙන් පළමු සිට සතරවන ස්ථානය දක්වා නියෝජිතයන්ටවත් ලිඛිත ප්‍රතිපලයක් බෙදාදන්නේනම් අතරමගදී සංඛ්‍යාති ‘ජිල්මාර්ට්’ නොකරතියි විශ්වසනීයත්වය ගොඩනැගිය හැකිය.

මැතිවරණ ක්‍රියාවලියකින් බාහිර ලෝකයට වාර්තාවීමට එක මාධ්‍යයක් වනුයේ නිරීක්ෂකයන්ය. දේශීය නිරීක්ෂකයෝ යායුතු මග දනිති. ඔවුන්ගේ විදෙශීය නියෝජිතයින් යොදා ගැනීමද ඔවුන්ගේ වගකීමකි. කොමසාරිස්වරයා ගෙන්වන විදේශීය නියෝජිතයින් මෙහෙයුම කලින් ඉටුකළේ විශ්‍රාමික අපක්ෂපාති දෙටු නිලධාරීන් විසින්ය. මෙවර ඇති දැඩි තරඟය නිසා බාහිර ආයතනයන්ගේ බලපෑමට මැතිවරණ යාන්ත්‍රණය හසුවීමට ඉඩ ඇති හෙයින් ඉන් ගැලවී දෙපාර්තමේන්තුව ක්‍රියා නොකළහොත් විදේශීය නිරීක්ෂක විශ්වශනීයත්වය බිදෙන්නට ඉඩ ඇත. දැනට ඇති ප්‍රචන්ඩකාරිත්වය යටතේ මෙහිදී පාර්ශවීය වීමෙන් ගැලවී ක්‍රියාකිරීමට පරිස්සම් විය යුතුමය.

චන්ද පොළකදී හෝ ගණන් කිරීමේ ජිල්මාර්ට් කිරීම කෙරෙති හෝ නොමැතියි යන්න පාලනයට මෙකී මාධ්‍යයන් ක්‍රියාදාමයන් ලෙස බලපාන මුත් ඒ සඳහා පිරිස් බලය වෙත පැවරී ඇති වගකීම බෙහෙවි. චන්ද පොළ නියෝජිතයින් හා ගණන් කිරීමේ නියෝජිතයින් කොතෙක් දුරට වෙහෙස නොබලා දිගටම මැතිවරණ ක්‍රියාදාමයන් තුලදී අවදියෙන්, සිත් එකාග්‍රතාවයෙන් සිටීද, ප්‍රතිවාදීන් කුමන අවහිරතා සිදුකරයිද යන්න දැන සිටීන, නීතිය හා කාර්යභාර පරිචය හොඳින් දන්නා ඉවසිලිවන්ත නියෝජිතයින් අපේක්ෂකයින් විසින් යෙදවීම අත්‍යවශ්‍යය.

මීට වඩා ඉහලින් සිටින සාධකයක් නම් මැතිවරණ රාජකාරියේ නියුතු රාජ්‍ය නිලධාරීන් කොතෙක් දුරට තම දේශපාලන සිතැඟි අබිභවා, ජනතාවට ව්‍යවස්ථාවෙන් ලද අධිකාරය පරිදි රජයේ, විධායකයේ, ආණ්ඩුවේ ප්‍රධානයා, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා තෝරා ගනීමට ලද අවස්ථාවේදී, අපක්ෂග්‍රාහීව, අයථා බලපෑමට හා බියගැන්වීම්වලට එරෙහිව, මූල්‍ය වාසි, පැලදොරින් ලබා ගත හැකි හා දිගු කොට ඇති ආකර්ශනීය රැකියා, තානාන්තර වැනි අභිප්‍රේරකයන් අමතක කර, සිය නීතිමය රාජකාරිය කිරීමට රජයේ සේවකයින් සූදානම්ද යන්නය. දේශපාලකයින්, ඔවුන්ගේ නියෝජිතයින් පාලනය කර ගැනීමේ වගකීම ඔවුහු උරදරා සිටිති. අපරාධකාරීන් සහ නීති විරෝධීන් පාලනය උරදරා සිටින්නේ පොලිස්, හමුදා ඇතුළු තවත් රාජ්‍ය සේවකයින් පිරිසකි. මේ සියලුදෙනා අප මැතිවරණ රාජකාරීන්හි නිරතවූ අවංක කැපවුණු අන්දමින්ම සිය කාර්යභාරය ඉටුකරතියයි විශ්‍රාමික රජයේ සේවකයකු ලෙස පතමි. අවසානයේදී මා අකම්පිත වෙතයි මහා ප්‍රාර්ථනයක් ඇත. එය ඉටුවේද?

*ඔස්ටින් ප්‍රනාන්දු -හිටපු ආරක්ෂක ලේකම්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.