21 October, 2020

Blog

මිනිස් ඝාතනය ගැන කටුස්සෙක් එක්ක සංවාදයක්

බැසිල් ප‍්‍රනාන්දු

බැසිල් ප‍්‍රනාන්දු

බැසිල් ප‍්‍රනාන්දු

මං උඹ එක්ක අද කතා කරන්නේ, ඒ ගැන කතා කරන්න උනන්දුවක් තියෙන කිසි මිනිස් ප‍්‍රාණියෙක් මට හොයාගන්න නැති කාරණාවක් ගැන. ඒක සමහර විට, උඹේ වරිගේ එවුන්ට අත්දැකීමක් නැති, මිනිස්සු වෙන අපිට විතරක් බලපාන විශේෂ ස්වභාවයක් වෙන්න ඇති. ඒ තමයි, මරන්න තියෙන ආශාව සහ හැකියාව. තමන්ගේ එවුං මරන එක, මිනිස්සුන්ගේ විශේෂ ස්වභාවයක්. උඹලත් වෙලාවකට ගස්වල අතු උඩ කා ගන්නවා මං දැකලා තියෙනවා. තවත් වෙලාවක, ගහෙන් ගහට පන්නගෙන ගිහිල්ලත් ගහගන්නවා මං පොඩි කාලේ දැක්කා. හැබැයි ඒ වගේ රණ්ඩු හුඟාක් වෙලාවට ඇති වෙන්නේ, තමන්ගේ සීමාවට එන වෙන එකෙක්ව පන්නලා දාන්න. ඒක, අනික් එකෙක්ව මරලා දාන්න තරං දුර දිග යන්නේ නැහැ.

ඒ විදිහට අනුන්ව මරණ එක පව් කියලා හිතන්න, අපේ අපොයි කියලා හිතන්න, මිනිස්සු කාලයක් උත්සාහ කරලා තියෙනවා. ඒත් මෑත කාලේ මට පෙනිලා තියෙන විදිහට, ඒ හැඟීම යටපත් වෙලා, නැත්තටම නැති වෙලා ගිය ගානයි. සමහර විට, කෙනෙක් තවත් කෙනෙක්ව මරණ එකට, මිනිස්සු පෞද්ගලිකව විරුද්ධ ඇති. ඒත් මේ කාලේ, ඒ අකමැත්ත ප‍්‍රසිද්ධියේ පෙන්නන්න මිනිස්සු කිසි උත්සාහයක් ගන්නේ නැහැ. මිනිස් ඝාතනය වගේ බරපතල දෙයක් ගැන පවා තමන්ගේ අපුල පළ කරන්න බැරි ගතියක් මිනිස්සුන්ට බෝ වෙලා. ඒ වෙනුවට ඔවුන් පුරුදු වෙන්නේ, එහෙම ඝාතනයකට තමන් බිළි නොවී ඉන්න අවශ්‍ය කරන ආරක්ෂණ පියවර ගන්නයි. අපි ජීවිත බේරගන්න බලන්නේ, එහෙම ගන්න ආරක්ෂණ පියවරවල සාර්ථකත්වය උඩ විස්වාසය තියලා කියලයි පේන්න තියෙන්නේ. සමහර විට, ඉස්සර කාලෙක මේ ආරක්ෂණ පියවර වුණේ, තමන් සන්නද්ධ වීම හෝ ප‍්‍රහාරයකට මුහුණදීමට සූදානම් වීම. එතකොට හැම කෙනෙක්ම තවත් කෙනෙකුට පෙන්නුම් බය දාලා, අනිකාව වළක්වනවා, තමන්ට පහර දීමෙන්.

ඒත් අද කාලේ වෙන්නේ, මිනිස්සු පුලූවන් තරං සමාජෙන් ඈත් වෙන එක. මොකද, එතකොට ඝාතනයක එල්ලයක් නොවී ඉන්න පුළුවන් නිසා. අනිත් මිනිස්සු එක්ක සහයෝගෙන් සහ සමාගමෙන් ඉන්නවට වැඩිය ආරක්ෂාවක්, අනිත් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න තරමට තියෙනවා කියන හැඟීම තමයි මෙතන තියෙන්නේ. මිනිස්සු එකිනෙකා ගැන කොච්චර බයකින් ඉන්නවා ද කියනවා නං, මිනිස්සු අතර සහයෝගයේ තියෙන වාසිය ගැන විශ්වාසය, එන්න එන්නම හීන වෙනවා. සමහර විට, ඒකට හේතුව වෙනවා ඇත්තේ, අනුන්ව සැක කරන එක, අනුන්ව විශ්වාස කරනවාට වැඩිය හොඳයි කියලා ගන්න අදහසක් වෙන්න ඇති.

ඒත්, අපි ගැන අපි කියාගන්න වරුණාව, අපේ දේශපාලන සංවිධාන ඇතුළු අපේ සමාජ සැකැස්ම ගැන අපි කරගන්න පාරට්ටුව, මීට හාත්පසින් වෙනස්. අපි එකිනෙකා කෙරෙහි සහයෝගෙන් ඉන්න අවශ්‍ය කරන යම් සමාජ සම්මුතියක් ගහලා තියෙනවා කියලයි අපි කියන්නේ. සහයෝගය කියන එක, මනුෂ්‍යත්වය කියන අදහසේ අරටුවට බැහැපු දෙයක්. හැම කෙනෙක්ගේම සුභසිද්ධිය තකා, හැම කෙනෙක් එක්කම සහයෝගෙන් ඉන්න පුලූවන් වර්ගයක් විදිහටයි, අපි අපිව සළකන්නේ. කොහොම වුණත්, එකිනෙකා ගැන විස්වාසය තියන ඒ සත්ක‍්‍රියාවට හේතු වෙන සහයෝගය පිළිබඳ ආකල්පය සහ විශ්වාසය පැත්තකින් තියලා, අද අපි සහයෝගයක් නැතිව ඉන්න එක හොඳයි කියන අදහසට යට වෙලා, කාගෙනුත් අතේ දුරින් ඉන්න එක ඇඟට ගුණයි කියලා හිතන තත්වෙට පත්වෙලා. ඒ වගේ සැකයක තියෙන සදාචාරමය ප‍්‍රශ්නය තමයි, අනිත් අයගේ යහපැවැත්ම ගැන නොතකා ඉන්න පුලූවන් වෙන එක. ඒ විදිහට අහක බලාගෙන ඉඳීම කොච්චර දුර දිග යනවා ද කියනවා නං, කෙනෙක්ව ඝාතනය වීමක් වළක්වාගන්නවත් අපිට පුලූවන් කියලා අපි හිතන්නේ නැහැ. ඇස් ඇරං බලා ඉන්නවට වැඩිය, ඇහැට ඇහැක් මුණගැහුනත් අහක බලාගෙන යන එක හොඳයි කියලයි අපි හිතන්නේ. මොකද, ඒ විදිහට තමන්ට හානියක් ඇති වෙන්න තියෙන ඉඩ අවමයි කියලා අපි හිතෙනවා. අනිත් අයගෙන් උදව්වකට වැඩිය හානියක් වෙන්න පුළුවන් කියලා හිතන ගතිය කොච්චර ඇටුවම් බැහැලා ද කියනවා නං, සමාජයෙන් ඉවත් වීමේ සංස්කෘතියක් අපි දැන් ගොඩනගාගෙන. ඒක අපිට ගැලපෙන සහ අපිට යහපතක් වෙන සංස්කෘතියක් කියලා අපි හිතනවා.

උඹලාගේ වගේ නෙවෙයි, අපේ වරිගේ ඉස්සර හිටියා, වීරයෝ කියලා කොටසක්. වීරයෙක් කියන්නේ, වෙනත් බොහෝ දෙනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨ දෙයක් කරපු කෙනෙක්. ඒ කියන්නේ, වෙනත් බොහෝ දෙනා කරන්න බය වෙන දෙයක් කරපු කෙනෙක්. අපි අගේ කරපු ඒ වගේ එක වීර ක‍්‍රියාවක් තමයි, අපිව යහමගට ගන්න, අපි අතරේ හිංසනය ඇති කෙරෙන පුරුදු අධෛර්යමත් කරන්න, මිනිස් ඝාතනය, ස්ත‍්‍රී ¥ෂණය සහ තව කෙනෙකුට හානියක් විය හැකි ක‍්‍රියාවන් පිළිකෙව් කිරීමට අපිව හැඩගස්වන්න ඉදිරියට ආපු මිනිස්සුන්ගේ තිබිච්ච ධෛර්යය. උදාහරණයක් විදිහට, යුදෙව් ශිෂ්ඨාචාරය තුළ අපිට හිටියා, හැමෝම පිළිපැදිය යුතු දස පනතක් ප‍්‍රකාශයට පත්කරපු, මෝසස් කියලා කෙනෙක්. ඒ දස පනතේ මුල්ම විධානය තමයි, ‘මිනී නොමරව’ කියන එක. ඒකෙන් පේන්නේ, මිනී මැරීමෙන් වළකින සහ අනිත් අයවත් වළකන පොදු සම්මුතියක් ඇති කරගන්න උත්සාහයක් අරගෙන තියෙනවා කියන එකයි. ඒ කියන්නේ, වෙනත් මිනිසුන්ව මැරීම අපි අනුමත කළේ නැහැ. පොදුවේ හෙලාදකින ඒ වගේ දේවල් කරපු අයට දරුණු දඩුවම් පවා නියම කිරීමෙන් එදා කළේ, අර සාමූහික විරෝධය පළ කිරීම.

ඒත් අද සිද්ධ වෙන්නේ, ක‍්‍රියාකාරීව යමක් හෙළාදැකීම පිළිබඳ තිබිච්ච ඒ හැඟීම අපෙන් තුරන් වෙලා යන එක. ඒක නිසා ඇතැම් ව්‍යාපෘති පවත්වගෙන යන අය හිතනවා, යම් පරමාර්ථයක් වෙනුවෙන් තවත් කෙනෙක්ව මරණ එක වීර ක‍්‍රියාවක් කියලා. ඒ වගේ කණ්ඩායම් අතරේ විතරක් නෙවෙයි, අපේ ආණ්ඩු ඇතුළෙත් මේ හැඟීම් ඇති වෙලා තියෙනවා. ඒක නිසා, ආණ්ඩු හිතන්නේ නැහැ, ජනතාව අතරේ සහයෝගය බෝ කරලා, ඔවුනොවුන් අතරේ විශ්වාසය, ආදරය හා කරුණාව ජනිත කරවන එක තමන්ගේ වැඩක් කියලා.

ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ, මිනිස් ඝාතනය සඳහා වන තමන්ගේම රහස් යාන්ත‍්‍රණය ගොඩනගා ගැනීම. එහි දී, කාර්යක්ෂම විදිහට මිනීමරන හැටි මිනිස්සුන්ට උගන්වනවා. ඒ කාර්යක්ෂමතාව ඇති කරගන්න බොහෝ සම්පත් පාවිච්චි කරනවා. කොමාන්ඩෝ ඒකක, විශේෂ කාර්ය බලකායවල් සහ තවත් උපහමුදා අංශ පිහිටුවලා, කාර්යක්ෂම මිනිමරුවෝ වෙන හැටි, මාස ගණන් අවුරුදු ගණන්, උගන්නනවා.

ඒ කාර්යක්ෂමතාවේ එක කොටසක් තමයි, මිනීමරපු බවට සළකුණු ඉතිරි නොකිරීමේ කලාව. ඒවාට අවශ්‍ය කරන යානවාහන, සන්නිවේදන පහසුකම්, පඩිනඩි සහ සාර්ථක මිනිමැරුම් වෙනුවෙන් පාරිතෝෂික පවා ගෙවන යාන්ත‍්‍රණ, ආණ්ඩු මගින් පිහිටුවා ගන්නවා. ඊට පස්සේ, ඒ යාන්ත‍්‍රණවල ක‍්‍රියාකාරීත්වය තවත් පහසු කරවන්න, පුද්ගලයන්ගේ සිවිල් අයිතිවාසිකම්වල මුරදේවතාවන් විදිහට ඉස්සර සැළකුණු අධිකණ ආයතන පවා අක‍්‍රීය කෙරෙනවා.

සමාජයත් එක්ක ගනුදෙනුවකට යනවට වැඩිය, සමාජයෙන් පුලූවන් තරම් ඈත් වෙලා ඉන්න එක හොඳයි කියන මිනිස්සුන්ගේ තත්වයට මේ අධිකරණ ආයතනත් පත්කරන ක‍්‍රම සහ විධි අද ඇති කරගෙන තියෙනවා. මිනීමැරීම් සහ වෙනත් හිංසනයන් වැළැක්වීමට සහ ඒවාට දඩුවම් කිරීමට අධිකරණයට තියෙන ඉඩකඩ, ඒ වගේ ක‍්‍රම හරහා අද නැති කරමින් තියෙනවා. කට වහගෙන ඉන්න පුලූවන් නඩුකාරයන්ට තෑගි දෙනවා. ආණ්ඩුවේ ඝාතක කල්ලි ගැන ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න එකේ තියෙන ප‍්‍රඥාව ගැන, සමහර නඩුකාරවරු අළුත් ධර්ම දේශනාත් පවත්වනවා. ඒක නිසා, මං මේ උඹෙත් එක්ක කතා කරන්න බැලූවේ, මෑතක ඉඳං මිනිස්සු තම තමන් අතරේ කතා කරන්න මැළි වෙන දෙයක් ගැන. ඒ තමයි, මිනීමැරීම, අපේ ශිෂ්ඨාචාරය පවත්වාගෙන යාමේ අත්‍යාවශ්‍ය අංගයක් වශයෙන් සළකන්න, අපි පුරුදු වෙමින් සිටීම. ඒ කියන්නේ, පොදු යහපත සඳහා එකිනෙකා සමග සහයෝගයෙන් ඉන්න ශිෂ්ඨාචාරයක් නෙවෙයි, පුලූවන් තරං තමන්ගේ ආරක්ෂාව සහ තමන්ගේ දෙයක් බලාකියාගෙන සමාජයට පිටස්තරින් ඉන්න මිනිස්සුන්ගේ සහ මිනිස් කණ්ඩායම්වල, ශිෂ්ඨාචාරයක්.

*2014 ජනවාරි 8 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ A Conversation With A Chameleon On Murder නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.