18 September, 2018

Blog

ශ‍්‍රී ලාංකීය මුසල්මානුවන්ව අන්තවාදයට තල්ලූ කරන බෞද්ධයන්ගේ ධර්ම යුද්ධය

ඊලාමේ නේෂන්’ වෙබ් අඩවියේ සංස්කාරක –

සිංහල සමාජ සංස්ථාවේ ජාතික ස්වෝත්තමවාදී කොටස් හීනමානයේ නරකම ව්‍යාධියෙන් පෙළෙත්. ඔවුන්ට ස්වකීයත්වයේ සුපිරි ප‍්‍රමෝදයෙන් සැනසෙන්නට, නිරන්තරයෙන්ම වෙනත් ජාතියක, සමාජයක හෝ ආගමක මිනිසුන්ව පීඩාවට පත්කෙරෙන ව්‍යාපෘතියක කොටස්කරුවන් වීම අවශ්‍ය කෙරේ. මේ තල්ලූව ඔවුන්ට සැපයිය හැකි නායකයෝ, ඔවුන්ගේ වෙන මොන දුබලතා මැද්දේ වුවත්, රාජ්‍ය බලය හෙබැවීමට සමත් වෙත්.

දෙමළ භාෂාව කතා කරන බහුතරයකින් සමන්විත ශ‍්‍රී ලංකාවේ මුසල්මානුවන් ඔවුන්ගේ සාමූහික අනන්‍යතාව සොයන්නේ භාෂාව තුළවත්, සංස්කෘතිය තුළවත් නොව, ඉස්ලාම් ආගම තුළ යි. මුල්කාලීන මුස්ලිම් සංක‍්‍රමණිකයෝ බොහෝ කොට වෙළෙන්දෝ වූහ. ඔවුහූ දේශීය දෙමළ සහ සිංහල කාන්තාවන් විවාහ කොටගෙන මෙහි පදිංචි වූහ. සමහර මැලේ ජාතිකයන් ලංකාවට ආවේ ලන්දේසි යුගයේ කුලී හේවායන් වශයෙනි. මුස්ලිම්වරුන්ගේ ජීවිකා වෘත්තිය, බොහෝ කොට වෙළඳාම මත රැුඳුණු යැපීමක සිට, කාලයාගේ ඇවෑමෙන් අද වන විට වෙනත් විවිධ වෘත්තීය ඉසව් දක්වා ව්‍යාප්තව තිබේ. ඔවුන්, විශේෂිත වූ වාර්ගික කොට්ඨාශයක් නොවන මුත්, මේ රටේ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපනික වපසරිය විශාල වශයෙන් පෝෂණය කොට තිබේ. ඉස්ලාම් ආගම ප‍්‍රබල දේවවාදයක් වන අතර, බුද්ධාගම දෙවියෙකුගේ පැවැත්මක් පිළිබඳ විශ්වාසයක් නොතබන දර්ශනයකි.

බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන්, ගොවියන්, ධීවරයන් ආදී වන පුළුල් සමාජ හරස්කඩක් නියෝජනය කරන ශ‍්‍රී ලංකාවේ වෙසෙන මුසල්මානුවන් සාමයට ලැදි, වර්ගාගමික ජන කොටසකි. දේශපාලනික වශයෙන් ඔවුන් බොහෝ සෙයින් ගතානුගතික ය. වෙනස් වන දේශපාලනික වටාපිටාවෙන් ප‍්‍රයෝජන ගැනීමට බැලූවත්, අඩුවෙන්ම ගැටුම්කාරී ය. නිජභූමියක් වශයෙන් ගත හැකි විශේෂිත ප‍්‍රදේශයක් ඔවුන්ට නැත. ඒ නිසා, ප‍්‍රහාරයන්ට ලක්වීමට ඇති ඉඩකඩ වැඩි ය. ඔවුන් කිසි විටෙක ආගමික අන්තවාදයකට නතු වී නැති අතර, ඔවුන්ගේ ආගමික ප‍්‍රතිපදාවන් සහ ව්‍යවහාරයන් අන්තවාදී මුල්ලාවරුන්ගේ අධිකාරයකට කිසි විටෙක භාරකොට ඇත්තේ ද නැත.

ඔවුන් බලවත්ව සිටින ආර්ථික ක්ෂේත‍්‍රවලින් ඔවුන්ව පලවා හැරීමේ ප‍්‍රයත්නයන්, 1915 මුස්ලිම්=විරෝධී කැරලි කෝලාහලවල සිටම, විටින් විට දියත්ව තිබේ. යාපනය, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චි යන උතුරේ දිස්ත‍්‍රික්කවල විසූ 80,000 කට ආසන්න මුස්ලිම් ප‍්‍රජාවක්, 1990 ඔක්තෝබර් මාසයේ එක් ඉරණම්කාරී දවසක දී, පැය 48 ක් වැනි කෙටි කාලයක් තුළ, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එම පළාත්වලින් පන්නා දැමීමේ ඒ නොමග ගිය ක‍්‍රියාව, මේ කොලමේ මීට පෙර කොන්දේසි විරහිතව හෙලාදැක තිබේ. එම ක‍්‍රියාන්විතය මොන තරම් ක්ෂණිකව සහ කෲර කාර්යක්ෂතාවකින් සිදු කරන ලද්දේ ද යත්, ඊට එරෙහිව විරෝධය පෑමේ අවකාශයක් එම ජනතාවට තිබුණේම නැති තරමි.

ඕනෑම ආගමක් අදහන අයවළුන්ගෙන් වැඩි දෙනා එසේ කරන්නේ, එම ආගම අදහන සමාජයක ඉපැදීම නිසා ය. බහුත්වවාදී ලෞකික සමාජයක පවා, තමන්ගේම වූ ස්වාධීන විශ්වාසයන් සහ ප‍්‍රතිපත්ති මත ආගමක් හෝ භක්තියක් තෝරාගන්නේ ඉතා සුළුතරයකි. සෙස්සන්ට එවැනි ගවේෂනයක් වෙත යොමු වීමේ ඉඩක් නැත. ශ‍්‍රී ලංකාව බහුත්වවාදී සමාජයක් නොවීම නිසා, එවැනි අවසරයකට ඇති සීමාවන් ඉතා පටු ය. එබැවින්, කෙනෙකුගේ කැමැත්තෙන් කෙරෙන ආගම මාරු කිරීමක් දෙස පවා සමාජය බලන්නේ වපර ඇසිනි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම බෞද්ධ රජතුමා එසේ ආගම වෙනස් කරගත් අයෙකු බව මතක තබාගත යුතුය.

අළුතෙන් පිහිටුවාගෙන ඇති සිංහල=බෞද්ධ ස්වෝත්තමවාදී බොදුබල සේනා ව්‍යාපාරයේ ක‍්‍රියාකාරකම්, 1956 එක්සත් භික්ෂු පෙරමුණේ ක‍්‍රියාකාරකම් සිහිගන්වයි. ඒ ආසන්නයේ, අගමැතිවරයා ඝාතනය කිරීමට වැරදිකරු වූ බලවත් භික්ෂුව, සිංහල පමණයි පනත සම්මත කර ගැනීමට එරෙහි සාමකාමී උද්ඝෝෂණ සංවිධානය කළ දෙමළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ ඊට සහභාගී වූ දෙමළ ජනයාට එල්ල කළ කෲර පහරදීම්වලට වගකිව යුත්තෙකු විය. මෙය, රජයේ අනුග‍්‍රහය ලත් වෙනත් ස්වෝත්තමවාදී සිංහල=බෞද්ධ සංවිධාන මගින් දෙමළ ජනයාට එරෙහිව පසු කලෙක දියත් කළ මෘග ප‍්‍රහාරයන්ට පූර්වාදර්ශයක් විය. එසේ 1983 දක්වා විටින්විට දියත් වූ විවිධ ප‍්‍රහාරයන්ගෙන් දහස් ගණන් දෙමළ ජනයා ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන්ගේ දේපළ කොල්ලකන ලදි. දෙමළ කැරලිකාරීත්වයේ හිස එසැවීමේ ප‍්‍රධාන හේතුකාරකයක් වන්නේ, මර්දනීය අවියක් වශයෙන් මෙසේ පාවිච්චියට ගන්නා ලද වාර්ගික වධක පීඩාවන් ය.

දෙමළ ජාතිය අතුගා දැමීමට, ඔවුන්ගේ ආත්මය විනාශ කිරීමට සහ ඔවුන්ගේ ජීවිතවල හැම අස්සක් මුල්ලකම දවා හළු කරන ප‍්‍රතිපත්තියක් ගෙන යාමට රාජ්‍යයට උපකාරී වූ සිංහල=බෞද්ධ ස්වෝත්තමවාදය, 2012 අපේ‍්‍රල් 06 වැනි දා, ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂක හමුදා බලා සිටිද්දී දඹුල්ලේ හින්දු ආගමික ස්ථානවලට එල්ල කරන ලද අවිධිමත් ප‍්‍රහාරයන්ට සාපේක්ෂව, දැන් රාජ්‍ය අනුග‍්‍රහය ලත් බොදුබල සේනා නැමැති නව මුහුණුවර යටතේ මුසල්මානුවන්ට සහ කිතුණුවන්ට විධිමත්ව පහර දීමට පටන්ගෙන තිබේ. බොහෝ දේශපාලන විචාරකයන්ට අනුව, බොදුබල සේනා ක‍්‍රියාකාරකම් සංවිධානය කෙරෙන්නේ, ජනාධිපති රාජපක්ෂගේ සහෝදරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ ලේකම් ධුරය දරණ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සෙවණ යටතේ, ජනාධිපතිවරයාගෙන් සැපයෙන ව්‍යංගිත සහායෙන් ය. ළඟදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත ඇමරිකානු යෝජනාවට පක්ෂපාතීව මුස්ලිම් රටවලින් සැපයිය හැකි ප‍්‍රතිචාර ගැන සිතා, එම යෝජනාව අවසන් වන තෙක් තරමක් නිහඩව සිටින ලෙස මෙම ව්‍යාපාරයට උපදෙස් ලැබී තිබේ.

ස්වෝත්තමවාදය සහ ජාතිවාදය වෑහෙන ආණ්ඩුවේ පුවත්පතක පළවූ ලිපියකට පිළිතුරු වශයෙන්, හමීඞ් අබ්දුල් කරීම් ඔහුගේ ‘‘ඉස්ලාම් ආගම සහ මුස්ලිම් භක්තියන් වෙනුවෙන්’’ මැයෙන් ලියන ලද ලිපියේ දී ‘හලාල්’ කෑම පිළිබඳ ප‍්‍රශ්නය මෙසේ විග‍්‍රහ කරයි:

‘‘ඉස්ලාම් ආගම ඇති වූ දා පටන් මුස්ලිම්වරු ආහාරයට ගෙන තිබෙන්නේ හලාල් කෑම ය… හලාල් ලේබලයක අවශ්‍යතාව අද මතුවන්නේ, එක පැත්තකින් ආහාර වර්ග සහ විලවුන් වර්ග නිර්යාත වෙළඳපොල සඳහාත්, තවත් පැත්තකින්, මුස්ලිම් නොවන ව්‍යාපාරික ආයතන වන, මැක්ඩොනල්ඞ්, කේ.එෆ්.සී. සහ පීසා හට් වැනි ආපන ශාලාත් නිසා ය. කෙසේ වෙතත්, මෙහි දී මා විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබේ. තමන්ගේ නිෂ්පාදන මුස්ලිම් ප‍්‍රජාවට විකුණා ගැනීම සඳහා මේ කියන හලාල් සහතිකය ඉස්ලාම් ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටියේ එම ව්‍යාපාර ආයතනම යි. එක කෑම වේලක් සඳහා මේ සහතිතයේ වියදම ශත තුනකට වැඩි නැත… කෙසේ වෙතත්, ඇය (අර කී ජාතිවාදී ලිපිය ලියූ තැනැත්තිය*, මේ විදිහටම සත්ව පරිභෝජනය සම්බන්ධයෙන් හලාල් සහතිකයක් භාවිත කරන යුදෙව්වන්වත් අපහාසයට ලක්කොට හෙලාදකින්නේ දැ යි දැන ගැනීමට කැමැත්තෙමි. ඔවුන් සහ මුස්ලිම්වරුන් අතර ඇති එකම වෙනස, පාරිභාෂික ශබ්දය පමණි. ඔවුන් එය ‘කොෂේ’ නමින් හඳුන්වන අතර මුස්ලිම්වරු ‘හලාල්’ නමින් හඳුන්වති. මොන තරම් මුග්ධ භාවයක් ද..’’

දිළිඳු ජනතාවගේ ආර්ථික අහේනියෙන් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා රාජපක්ෂලා මුස්ලිම් විරෝධයක් අවුළුවති. ඒ මගින් කෙරෙන්නේ මුස්ලිම් ප‍්‍රජාව අන්තවාදී ක‍්‍රියාවන් වෙත තල්ලූ කිරීමකි. එය ශ‍්‍රී ලංකාවේ සාමයේ අභිවෘද්ධියට පමණක් නොව, දකුණු ආසියාවේ පවා නැවත වතාවක් දස දහස් ගණන් අහිංසක ජීවිත බිළිගන්නා විනාශයකට පාර කැපිය හැකිය.

*ලේඛකයා, ‘ඊලාමේ නේෂන්’ නැමැති වෙබ් අඩවියේ සංස්කාරකවරයා ය. 2013 පෙබරවාරි 13 වැනි දා ‘ශ‍්‍රී ලංකා බී‍්‍රෆ්’ වෙබ් අඩවියේ පළවූ  Buddhist Crusade Driving Sri Lankan Muslims Into Radicalism ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.