ආදරණීය ජනාධිපති තුමනි,
මා මේ ලිපිය ඔබට එවන්නේ, ෆූල්බ්‍රයිට් වැඩසටහන ශ්‍රී ලංකාවේ ආරම්භ වී වර්ෂ හැටක් පිරීමේ සංවත්සරය සමරන්නට, ශ්‍රී ලංකාවේ ෆූල්බ්‍රයිට් කොමිසම විසින් ආරම්භ කරන ලද වැඩසටහනක අංගයක් වශයෙනි. එම වැඩසටහන, ගත වූ වසරවල ෆූල්බ්‍රයිට් ශිෂ්‍යත්ව ලාභියන්ගෙන් අපේක්ෂා කරන ලද්දේ, තමන් එතෙර ගත කළ කාලය තුළ දී ලබා ගත් ශාස්ත්‍රීය අධ්‍යාපනයත්, එක්සත් ජනපදයට එහි රජයට, සභ්‍යත්වයට, හා පුරවැසියන්ට අනාවරණ වීමෙන් ලබා ගත් පුළුල් අත්දැකීමත්, තදනන්තරව තමන්ගේ අපදානයට බල පෑවේ කෙසේ දැයි පැහැදිලි කරමින් තම රටවල ජනාධිපති වරුන්ට ලිපියක් යැවීම ය.
මා සම්බන්ධව කිව හොත්, ඇමෙරිකාව මට හඳුන්වා දුන් නිව්යෝර්ක් ජනපදයේ බාර්ඩ් විද්‍යාලයේත් මිචිගන්හි ඈන් ආබෝර්හිත් මා ගත කළ මගේ තරුණ ජීවිතයේ සංවේදී මාස කීපය තුළ මා දුටු දෑ, රාජ්‍ය සේවකයෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය කේන්ද්‍රයේත්, වසර කීපයකට ප්‍රත්‍යන්තයේත් මා කළ සේවාව මහත් සේ නියාමනය කළේ ය – දැනුවත් කළේ ය.
අවුරුද්දක් තුළ එක්සත් ජනපදයේ දී ශාස්තී‍්‍රය අධ්‍යාපනයක් ලැබීමට 1952 දී තෝරා ගන්නා ලද ෆූල්බ්‍රයිට් ප්‍රතිලාභීන් දෙදෙනාගෙන් එවකට 22 වියෙහි සිටි මම ද එක් අයෙක් වූයෙමි. ඊට පෙර 1951 දී ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා සිටි මම මිචිගන් විශ්වවිද්‍යාලයෙන් සමාජවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය ලබා ගැනීමට ෆූල්බ්‍රයිට් ශිෂ්‍යත්වය උපයෝගී කර ගතිමි. පොතට පතට සෑහෙන ගැඹුරු අවධානයක් යෙදවීම එයින් ගම්‍ය වූ අතර, එවකට ඇමෙරිකාව අභ්‍යන්තරයෙහි සිදු වෙමින් තිබුණු ඇතැම් භාර දුර සිදුවීම්වල ගැඹුරු අරුත් වටහා ගැනීම සඳහා අදහස් හුවමාරු කර ගැනීමට නො මසුරු වූ සගයන් හා ආචාර්යවරුන් ආශ්‍රය කිරීමට මං සැලැස්වීමෙන් අසාමාන්‍ය අත්දැකීමක් ලබන්නට එය උපස්ථම්භක විය. ඒ සිදුවීම් වලින් දෙකක් විශේෂයෙන්ම මට අර්ථවත් විය.
ඉන් පළමු වැන්න ඩිමෝක්‍රටික් පක්ෂයේ අපේක්ෂක අඩ්ලායි ස්ටීවන්සන් පරදා, රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩ්වෛට් ඓසන්හොවර් ජය ගත්, 1952 ජනාධිපති මැතිවරණය යි. මා එක්සත් ජනපදයට සැප්තැම්බර මස පැමිණි අතර මැතිවරණය නොවැම්බර මාසයේ මුල් සතියේ පැවැත් වුණු බැවින් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වූ තමන්ගේ කැපවීම ගැන උදම් අනන රටක පැවැත්වුණු මේ වැදගත් මැතිවරණය ඊට සම්බන්ධ සියලු ම පක්ෂ විසින් ඇත්ත වශයෙන් කෙසේ මෙහෙයවනු ලබන්නේ දැයි හැදෑරීමට මට මහඟු අවස්ථාවක් ලැබුණේ ය. අනිත් විද්වතුන් බොහෝ දෙනෙකු මෙන් මා ද විද්වත් ස්ටීවන්සන්ට වඩා ලැදි වූ නමුත්, ගත වූ යුද්ධයේ වීරයෙකු වූ ඓසන්හොවර් පුද්ගලික හා ප්‍රාන්ත ඡන්ද බහුතරයක් ලබා ගෙන පහසුවෙන් ජයග්‍රහණය කළේ ය. මූලික වශයෙන් පිරිසිදු, පාරදෘශ්‍ය එකක් වූ තරඟය ප්‍රජාතන්ත්‍ර බලයේ ජයග්‍රහණයක් ද විය. ප්‍රතිඵලයෙන් ජන මතය සත්‍ය වශයෙන් පිළිබිඹු වූ බව සියලු ම නිරීක්ෂකයන්ගේ හා විශ්ලේෂකයන්ගේ ඒකමතික තීරණය විය. පාරදෘශ්‍ය භාවය, නීතියේ ආධිපත්‍යය, නියමිත ක්‍රමවේදය, රජයේ නිලධාරීන්ගේ වගකීම වැනි, රජයේ තනතුරු වලට තෝරා ගැනීමේ දී අනුගමනය කෙරෙන බොහෝ කරුණු මෙයින් මට උගත හැකි විය. ඒවා මම උගත්තෙමි.
අනිත් භාරදුර සිද්ධිය වුයේ, එම 1952 වර්ෂයේ දී ම මා අර්කන්සාස් ලිට්ල් රොක්හි ඇසූ, දුටු, කළු ජාතීන්ගේ උද්ඝෝෂණයේ රාවය යි. අර්කන්සාස් ප්‍රාන්තයේ පාසල්වලට කළු සිසුන් ඇතුළත් කිරීම හා පාසල් පද්ධතියේ වර්ණ සීමා අවිහිංසාවාදී ව ඉවත් කිරීම තුළින් කළු ජාතීන්ගේ අරගලය උද්යෝගී ව ආරම්භ වී තිබිණ. මේ අවස්ථාවේ කැපී පෙනුණේ බහුතරයේ ඡන්දයෙන් පත් වී සිටි ඓසන්හොවර්, ප්‍රාන්ත ආණ්ඩුකාරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ෆෙඩරල් රජයේ හමුදා යොදවා, ඔවුන්ගේ සුදු සහෝදර සහෝදරියන් භුක්ති විඳින අයිතිවාසිකම් කළු දරුවන්ට ද අත් කර දෙන්නට වග බලා ගැනීම යි. ඔබ ද ඔබ ද අනු දත හැකි පරිදි, ලිට්ල් රොක්හි ආරම්භ වූ ඒ පියවර මහා පරිමාණ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයකට වර්ධනය වී ඒ හරහා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා සමානත්වය සඳහා කළ අරගලයේ පරිසමාප්තිය 2008 දී බරක් ඔබාමා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස පත්වීම යයි කිව හැක. අපේ වර්ගවාදී ප්‍රශ්නය ක්‍රමයෙන් උත්සන්න වෙද්දී මට සිතුණේ ජනාධිපති ඓසන්හොවර් පෙර කී අවස්ථාවේ දැක්වූ එඩිතර කමෙන් අපේ රටට ද බලවත් පාඩමක් උගත හැකි බව ය.
පූර්වෝක්ත එකකට එකක් බැඳුණු අවස්ථා දෙකේ ම වර්ධනය මා මිචිගන්හි ගත කළ කාලය තුළ පමණක් නොව ඉන් පසුව ද ඉමහත් උනන්දුවෙන් නිරීක්ෂණය කෙළෙමි.
රටේ නැගෙනහිර හා දකුණේ දිස්තිරික්ක 3 ක දිසාපති වශයෙන් ගත කළ අවුරුදු 7 ට අමතරව, අග්‍රාමාත්‍ය වරුන් කීප දෙනෙකුගේ ලේකම් වශයෙන් හා ජනාධිපති වරුන් තුන් දෙනෙකුගේ අන්තර්ජාතික විෂය උපදේශක වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ මා නිරත වූ කාලය තුළ, එක අතකින් මහ මැතිවරණ ක්‍රමවේද හා ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමට හා අනිත් අතින් සුළු ජාතීන්ගේ ප්‍රශ්න නිරාකරණය කිරීමට ද එක්සත් ජනපදයට නිරාවරණය වීමෙන් ලත් අත්දැකීම්වලින් මා උගත් මූලික පාඩම් අදාළ බව මම සැම විට ම සිතුවෙමි.
කලින් කල දැරීමට මා වාසනාව ලත් බලතල උපයෝගී කර ගෙන, ඒ ප්‍රතිපත්ති හා සංකල්ප ශ්‍රී ලංකාවේ ද සම්මත ආචාර ධර්ම ලෙස ස්ථාපනය කිරීමට මම උත්සාහ කළෙමි. සාමාන්‍යයෙන් කිව හොත්, පුද්ගලයෙකු හා වෘත්තිකයෙකු වශයෙන්, මා ලත් ෆූල්බ්‍රයිට් අත්දැකීමේ නියම වටිනාකම හා සාරය පිළිබිඹු විය යුත්තේ මගේ නිලය දැරූ ආකාරයෙන් හා මගේ සේවා කාලය පුරා මගේ රාජකාරිය ඉටු කළ විලාශයෙනි. අවසාන ප්‍රතිඵලය මා බලාපොරොත්තු වූ මට්ටමට නො පැමිණි අවස්ථා තිබුණ බව ඇත්ත ය. ඊට බල පෑ බාහිර සාධක තිබුණු නමුත්, මා නිතරම මා උගත් විශිෂ්ට ක්‍රියා මාර්ග අනුගමනය කරන්නට මට හැකි තරම් උත්සාහ දැරූ බව මට විශ්වාස ය. මගේ රාජ්‍ය සේවාව තුළ ඇසුරු කරන්නට ලැබුණු තරුණ සගයන්ගෙන් ඇතමෙකු ඔවුන්ගේ චින්තනයෙන් හා පොදු සේවාවෙන් මා ආදර්ශයට ගත් බව කියන බැවින් මා ලත් ෆූල්බ්‍රයිට් අත්දැකීම තවමත් ජීවමාන බව අනුමාන කළ හැක.
දැනට 82 වියෙහි ගත වන මගේ ජීවිතයේ ශරත් සමයේ සිටින මගේ මේ ලිපිය අව්‍යාජ අදහස් කීපයකින් අවසන් කරන්නට දයාබර ජනපති තුමා මට අවසර දෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඉපදී, ජිවත් වී, මැරෙන්නට මා වාසනාව ලැබූ මේ අපූරු රට පිළිබඳ ව ආඩම්බර වන්නට මට බොහෝ කරුණු ඇත. ලෝකයේ අන් කිසි ම රටක එසේ කරන්නට මට රිසි නොවේ. එහෙත් මේ ලිපියෙහි මා සඳහන් කර ඇති ක්ෂේත්‍ර දෙකෙහි කාලයත් සමග වර්ධනය වී ඇති ප්‍රවණතා පිළිබඳ ව මගේ බලවත් මුසුප්පුවත්, සංවේගයත්, මෙහි ලා සඳහන් නො කළ හොත් මගේ අවංක කමට කැළලක් වෙනු ඇත. එකක් ප්‍රජාතන්ත්‍ර වාදයේ මුලික අංගයක් වූ, මැතිවරණ ගැන ය. අනික සුලු ජාතීන්ගේ සමානාත්ම අයිතිවාසිකම් හා ප්‍රෞඩත්වය ගැන ය. ගත වූ දශක තුන හතර ඇතුළත රට කර වූ, පාලකයන් මේ ක්ෂේත්‍ර දෙකේ දී අසමත් වී ඇති බවට මෙරට බොහෝ පුරවැසියන් මා සමග එකඟ වනු ඇත. මට ෆුල්බ්‍රයිට් අත්දැකීම් දුන් එක්සත් ජනපදය ද බොහෝ අංශවලින් මන්දගාමී බවට සැකයක් නැත. එහෙත් ඒ රටේ දේශපාලන සභ්‍යත්වය හා සමාජය ස්වයංපාලක යන්ත්‍රණයකි. එබන්දක් අප රටේ ඇතයි නො පෙනෙන බැවින් අපේ දේශපාලන නායකත්වයට වඩා ගැඹුරු වගකීමක් පැවරී තිබේ.
මට බලාපොරොත්තු වන්නටත්, අපේක්ෂා කරන්නටත් හැක්කේ, ජනාධිපති වශයෙන් ඔබ දරන ඓතිහාසික තනතුරේ ඉදිරියට ඇති කාලය තුළ, කාර්යශීලී ක්‍රියාත්මක ප්‍රජා තන්ත්‍රයක ජීවත් වන සංතෘප්ත සාමකාමී සමුදායක් ය, රටක් ය, යන ශ්‍රී ලංකාවේ ප්‍රතිබිම්බයට හානි පමුණු වන වැරදි හා ඌනතා නිවැරදි කරන්නට, සම්පුර්ණ කරන්නට ඔබට ශක්තියත් ධෛර්යයත් ලැබේවා යන්න පමණි.
ඔබගේ විශ්වාසී,
බ්‍රැඩ්මන් වීරකෝන්
Nelun / February 10, 2014
Why no Article?
/
Bhante Sila / February 11, 2014
මහත්තයො, ඔබතුමා කියන තරමේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි කිරීමට සාධාරණව හිතන්ඩ පුළුවන් මොළයක් අවශ්යයි. කරන වැඩවලින් ඉතාම පැහැදිළියි අපේ මහින්ද රාජපක්ෂ මහතාට නැත්තෙත් එවැන්නක් පමණක් බව. අඩුම තරමේ ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු තුමන් ලියූ දකුණු අප්‍රිකානු සංහිඳියා කොමිසමේ අත්දැකීම් පිළිබඳ මා හැඟි “No Future without Forgiveness” පොතවත් කියවා තිබුණා නම්, එයට හාත්පසින් ම සමාන අපේ රටේ පශ්චාත් යුද සමය හා ඊට පසු සිදුවූ දේවල් ඔය විදිහට වෙන්නේ නෑ. එසේ වී නම් එතුමා කරනු ඇත්තේ,18 වන ව්‍යවස්ථා සංශෝධනයට යාම නොවේ,ලෝකයා ම තම දෙපතුලට ගෙන්වාගෙන ත්‍රස්තවාදය තුරන් කිරීම පිළිබඳ උපදෙස් ඉල්ලා සිටින ලොක පුජිත නායකයකු වීමයි. ඇඟෙන් ප්‍රශ්න විසඳන එතුමාට මොළයක් මේ ආත්මයේ නම් ලැබෙනු ඇතැයි නොසිතේ.
/
Sirimal / February 11, 2014
Great – you are spot on. Mr.
If MR would ever change his towards democracy -pigs might fly.
/