12 December, 2019

Blog

ෆෙඩරල් ක‍්‍රමය සහ බලය බෙදාහැරීමේ දීර්ඝ අතීතය දෙස ආපසු හැරී බැලීමක්

සී. වී. විවේකානන්දන්

2013 ඔක්තෝබර් 11 වැනි දා පැවති උතුරු පළාත් සභා මැතිවරණයේ දී ‘දෙමළ ජාතික සන්ධානය’ ස්වකීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වූයේ ෆෙඩරල් ක‍්‍රමයේ තෙස්තමේන්තුවක් වශයෙනි. එය මුළුමණින් අනුමත කළ එහි පදිංචි ඡුන්දදායකයෝ ආසන 38 න් 30 ක්ම එම පක්ෂයට ලබා දුන්හ.

එක්තරා කාලයක සිංහල නායකයන් ෆෙඩරල් ක‍්‍රමයේ පුරෝගාමීන් වන විට දෙමළ ජාතිකයෝ ඊට බලවත් සේ විරෝධය පෑහ. එහි දී දෙමළ ජාතිකයන් ඉල්ලා සිටියේ, ඒකීය රාජ්‍යයක් තුළ, වාර්ගික අවශ්‍යතා මත පදනම් වන පාර්ලිමේන්තුවාදී නියෝජනයකි.

SWRD and SJVදැන්, ඒ රැුල්ල කණපිට හැරී ඇත. දෙමළ නායකයන් ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලා සිටින විට සිංහල නායකයන් ඒ දෙස බලන්නේ සැකයෙනි. ෆෙඩරල්වාදය, වෙන් වීමකට පාර කපන්නකැ යි සිංහලයන් අද සිතන නිසා, එවැනි ක‍්‍රමයක් මත බලය බෙදාහැරීමකට ඇති ඉඩකඩ ඇහිරී ගොස් තිබේ.

බණ්ඩාරනායකගේ ෆෙඩරල් සංකල්පය

මහ මුදළිඳු ශ‍්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ එකම පුතා වන එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ඔක්ෆෝර්ඞ් විශ්ව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි. 1925 දී උසස් අධ්‍යාපනය අවසන් කොට ඔහු ආපසු දිවයිනට එන විට, එදා ‘සිලෝන්’ නමින් හැඳින්වුණු ලංකාවේ ප‍්‍රධාන දේශපාලනික කතිකාව තුළ ෆෙඩරල් සංකල්පය හඳුනාගෙන තිබුණේ යාන්තමිනි. එම වසරේම, රටේ ජාතික නිදහස එල්ල කොටගෙන ඔහු ‘ප‍්‍රගතිශීලී ජාතික පක්ෂය’ නමින් නව පක්ෂයක් පිහිටුවා ගත්තේය.

මේ ‘ප‍්‍රගතිශීලී ජාතික පක්ෂයේ’ ව්‍යවස්ථාව තුළ ෆෙඩරල් ක‍්‍රමයක ස්වභාවයත්, එහි පරිමාවත් සවිස්තරාත්මකව සඳහන් විය. එම ෆෙඩරල් ක‍්‍රමය පළාත් නවයක් මත පදනම් විය යුතු බවත්, ඒ සෑම පළාතකටම පූර්ණ ස්වායත්ත භාවය තිබිය යුතු බවත් එයින් කියැවිණ. එසේම, ෆෙඩරල් ආණ්ඩුව මණ්ඩල දෙකකින්, එනම්, ‘සෙනේට් සභාව’ සහ ‘ව්‍යවස්ථාදායක සභාව’ වශයෙන් සමන්විත විය යුතු බවත් දැක්විණ.

‘‘අපේ රටේ ජීවත් වන විවිධ ජාතීන් අතර පවතින වෙනස්කම් හේතුකොටගෙන, අපට ඔබින එකම විසඳුම වන්නේ ෆෙඩරල් ක‍්‍රමයේ ආණ්ඩුවක් ස්ථාපිත කර ගැනීම’’ බව, එම ‘ප‍්‍රගතිශීලී ජාතික පක්ෂ’ ව්‍යවස්ථාවේ සඳහන් විය.

‘‘දේශීය තත්වයන්, විශේෂයෙන්, ජාතික වෙනස්කම් ගැන සළකා බැලීමේ දී, එවැනි වෙනස්කම් අවම කිරීමටත්, ඒවා කෙමෙන් සමනය කිරීමටත් දායක විය හැකි වඩාත් පිළිගත හැකි ක‍්‍රමය වන්නේ ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් බව අප බොහෝ දෙනාගේ හැඟීම’’ යැයි බණ්ඩාරනායක ප‍්‍රකාශ කෙළේය. තවදුරටත් ඔහු මෙසේ ද කීය: ‘‘එවැනි ආණ්ඩු ක‍්‍රමයක්, විශේෂයෙන් ස්විට්සර්ලන්තය වැනි වෙනත් රටවල ජාතික සමගියට තුඩු දී ඇත. ලංකාවේ වර්තමාන පළාත් නවය එසේම තිබිය යුතු බවත්, ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමය ඒ මත පදනම් විය යුතු බවත් අපි විශ්වාස කරමු.’’

ඒකීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධ වූ ඔහු, ලංකාවේ තත්වයන්ට ගැළපෙන්නේ ෆෙඩරල් ක‍්‍රමයක්ම බව පෙන්වා දුන්නේ එලෙසිනි.

ඔස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව සහ කැනඩාව වැනි ස්වයං-පාලනයක් සහිත ඩොමිනියන් රාජ්‍ය සියල්ලකම ඇත්තේ ෆෙඩරල් ක‍්‍රමයකි. ශ‍්‍රී ලංකාවට වඩාත් ගැළපෙන නිදර්ශනය වුණේ ස්විට්සර්ලන්තයයි. එය කුඩා රටකි. එහෙත් එම රටේ ජාතීන් තුනක් -ප‍්‍රංශ, ජරමානු සහ ඉතාලි- වශයෙන් ජීවත් වෙත්. එහි සෑම කැන්ටනයක්ම (පළාත් ඒකකයක්ම) තමන්ගේ කටයුතු තමන්ම පාලනය කරගත්තේය. විදේශ කටයුතු, මූල්‍ය සහ ආරක්ෂාව පමණක් ෆෙඩරල් ආණ්ඩුවෙන් මෙහෙයැවුණි.

ඒ. ගොඩමුණේ නායකත්වය සැපයූ ‘උඩරට ජාතික සභාව’ සහ එකල විසූ වෙනත් දේශපේ‍්‍රමීන් ද, ඩොනමෝර් කොමිෂන් සභා කාලයේ සිට සෝල්බර් කොමිෂන් සභාව දක්වාම ඉල්ලා සිටියේ ෆෙඩරල් ක‍්‍රමයකි.

දෙමළ විරෝධය-යාපනේ කොන්ග‍්‍රසය

බණ්ඩාරනායක රට පුරා ඇවිදිමින් ෆෙඩරල්වාදයේ උසස් ප‍්‍රතිපත්ති ප‍්‍රචාරය කරමින්, ඒ ගැන ජාතික පුවත්පත්වලට ලිපි ලේඛන සපයමින් සිටින අතරේ, ‘උඩරට ජාතික සභාවත්’ ලංකාවට ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලමින් සිටින අතරේ, දෙමළ ජාතිකයෝ ඊට ඉඳුරාම විරෝධය පෑහ. එස්. එච්. පෙරියනායගම්ගේ නායකත්වය යටතේ පිහිටුවා ගත් ‘යාපනේ ශිෂ්‍ය සංගමය’ හෙවත් ‘යාපනේ තරුණ කොන්ග‍්‍රසය’ වශයෙන් පසුව හැඳින්වුණු ව්‍යාපාරය, ෆෙඩරල් ක‍්‍රමයට විරුද්ධ වෙමින් ඒකීය ආණ්ඩු ක‍්‍රමයක් ඉල්ලා සිටියහ.

දෙමළ කොන්ග‍්‍රසය

මේ අතර ජී. ජී. පොන්නම්බලම් 50-50 ඉල්ලීම ඉදිරියට දැම්මේය. එනම්, ඒකීය ව්‍යවස්ථාවක් තුළ සමාන නියෝජනයකි. ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ගැන 1937 සළකා බැලෙන අවස්ථාවේ එවක ආණ්ඩුකාර ශ‍්‍රීමත් ඇන්ඩෘ කැල්ඩෙකොට් වෙත පොන්නම්බලම් ඒ යෝජනාව ඉදිරිපත් කළත් එය ප‍්‍රතික්ෂේප කෙරුණි. පොන්නම්බලම් කවදාවත් ෆෙඩරල් ක‍්‍රමයකට කැමැත්තක් නොදැක්වීය. ඔහුගේ ප‍්‍රතිපත්තිය වුණේ, ඒකීය රාජ්‍ය ව්‍යුහයක් තුළ, ‘ප‍්‍රතිචාරාත්මක සහයෝගයකි’.

ෆෙඩරල්වාදය සඳහා දෙමළ පැත්තේ ප‍්‍රථම ඉල්ලීම

දෙමළ කොන්ග‍්‍රසය, ‘සුදන්දිරන්’ නමින් සතිඅන්ත පුවත්පතක් පටන්ගත්තේය. මසකට රුපියල් 60 ක් වැනි එකල ආකර්ශනීය වැටුපක් සහිත ලිපිකාර තනතුරක් සඳහා අයදුම්පත් කැඳවන දැන්වීමක් මේ පුවත්පතේ පළවිය. ලිපිකරුවාට පැවරුණු රාජකාරිය වුණේ, සෝල්බරි කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත 50-50 ඉල්ලීම සඳහා වන සන්දේශය පිළියෙල කිරීම සඳහා පක්ෂ නායක ජී. ජී. පොන්නම්බලම් සහ නියෝජ්‍ය නායක එස්. ජේ. වී. චෙල්වනායගම්ට සහාය වීමයි. මයිල්වාගනම් නාගරතිනම් නැමැති තරුණයෙකු එම තනතුර සඳහා තෝරා ගැනුණි.

ඒකීය රාජ්‍ය ක‍්‍රමයක් තුළ 50-50 ඉල්ලීමෙන් සුළු ජාතීන්ට අත්විය හැකි සේවයක් නැති බව මේ තරුණයාට හැඟුණි. ඒ වෙනුවට ඔහුගේ සිත ගියේ, ස්විට්සර්ලන්තයේ වැනි ෆෙඩරල් ක‍්‍රමයකටයි. අනතුරුව ඔහු, නායකයන්ගේ නිසි අනුදැනුමකින් තොරව ඒ සඳහා වන වෙනම සන්දේශයක් ඉදිරිපත් කෙළේය. මෙයට පුවත්පත්වල පුළුල් ප‍්‍රසිද්ධියක් ලැබුණි. කොන්ග‍්‍රස් නායක ජී. ජී. පොන්නම්බලම් සහ නියෝජ්‍ය නායක චෙල්වනායගම් ඉදිරියේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කෙරුණු අතර වහා ක‍්‍රියාත්මක වන පරිදි ඔහුව රැුකියාවෙන් අස්කෙරුණි.

1945 ජනවාරි 30 වැනි දා සෝල්බර් කොමිෂන් සභාව ඉදිරියට ගිය මයිල්වාගනම්, ෆෙඩරල් ක‍්‍රමයක් සඳහා වන තම සන්දේශය ඉදිරිපත් කොට සිටියේය.

ෆෙඩරල් පක්ෂය පිහිටුවීම

දෙමළ කොන්ග‍්‍රසයෙන් කැඞී වෙන්වුණු චෙල්වනායගම් 1949 දෙසැම්බර් 18 වැනි දා, ‘ෆෙඩරල් පක්ෂය’ නමින් අළුත් පක්ෂයක් පිහිටුවා ගත්තේය. ‘‘ලංකාවේ ෆෙඩරල් රාමුවක් තුළ, භාෂා පදනමක් මත, ස්වායත්ත දෙමළ ඒකකයක් පිහිටුවා ගැනීම හරහා, ලංකාවේ වෙසෙන දෙමළ කතා කරන ජනතාවගේ නිදහස දිනා ගැනීම’’ එහි අරමුණ විය. මෙසේ ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් වෙනුවෙන් ඔහු පෙනී සිටිය ද, චෙල්වනායගම්ට දෙමළ ජනතාවගේ සහයෝගයක් ලැබුණේ නැත. ෆෙඩරල් පක්ෂය පිහිටුවීමෙන් වසර තුනකට පසු 1952 දී මහ මැතිවරණයක් පැවැත්වුණි. එහි දී කන්කසන්තුරේ ආසනය සඳහා තරග කළ චෙල්වනායගම්ව පරාජය කරන ලද්දේ එකල බලවත්ව සිටි දෙමළ කොන්ග‍්‍රස් අපේක්ෂකයා විසින් නොව, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක, ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්ගේ බෑනා වන, එස්. නටේසන් විසිනි.

ෆෙඩරල් පක්ෂයෙන් අපේක්ෂකයන් 7 දෙනෙකු මේ මැතිවරණය සඳහා ඉදිරිපත් කෙරුණි. එයින් ජයගත්තේ, ත‍්‍රිකුණාමලය සහ කෝපෙයි ආසනවලින්, දෙන්නෙකු පමණි.

1956 වන විට භාෂා ප‍්‍රශ්නය මතුවෙමින් තිබුණි. පැය 24 ක් තුළ සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට බණ්ඩාරනායකට අවශ්‍ය විය. කැළණියේ පැවැත්වූ ස්වකීය පක්ෂ සම්මේලනයේ දී එක්සත් ජාතික පක්ෂය ද ‘සිංහල පමණයි’ ප‍්‍රතිපත්තිය පිළිගත්තේය. ‘සිංහල පමණයි’ ප‍්‍රතිපත්තිය මගින් ශ‍්‍රී ලංකාවට කලින් සිටියාට වඩා ශක්තිමත්, එක්සත් සහ වඩාත් ප‍්‍රගතිශීලී ජනතාවක් වශයෙන් ඉදිරියට ඒමට හැකි වෙතැ යි බණ්ඩාරනායක කියා සිටියේය.

ඇත්ත වශයෙන්ම, මේ ප‍්‍රතිපත්තිය මගින් ‘ශක්තිමත් සහ එක්සත් ජාතියක්’ වශයෙන් ශ‍්‍රී ලංකාවට මතුවන්නට ලැබුණේ නැත. ඒ මගින් එම රට දුර්වල කෙරුණි. හතුරු භාවය සහ අපේක්ෂා භංගත්වය මගින් විනාශ කෙරුණි. ශක්තිමත් රටක් වශයෙන් නැගෙන්නට නම්, ශ‍්‍රී ලංකාවේ එකම ප‍්‍රජාව සිංහලයන් ය යන හැඟීම ශ‍්‍රී ලංකාවේ මහ ජාතිය තුළින් තුරන් කළ යුතුව තිබේ.

විශේෂිත වූත්, එකිනෙකාගෙන් වෙනස් වූත්, වාර්ගිකමය වශයෙන් සවිඥානක වූත් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප‍්‍රජාවන් විසින් ශ‍්‍රී ලංකාව බහු-වාර්ගික රටක තත්වයට පත්කොට ඇති නිසා, ඒ සියළු ප‍්‍රජාවත් තෘප්තිමත් කෙරෙන විසඳුමක් සපයා ගැනීමට රටක් වශයෙන් අසමත් වන්නේ නම්, ‘එක රටක්, එක ජාතියක්’ යන ප‍්‍රතිපත්තිය නිරර්ථක අභ්‍යාසයක් වන්නේය. මේ අතරින් කිසිම තනි ප‍්‍රජාවකගේ අපේක්ෂාවන්, ‘ඒකීය ගණිතමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්’ හෝ පාර්ලිමේන්තුවාදී යාන්ත‍්‍රණයන් හෝ ඔවුන් මත පැටවීමෙන් මැඩපැවැත්විය නොහේ.

සැබෑ ජාතික රාජ්‍යයක් වීමට නම්, දේශපාලන බලය සිංහල-දෙමළ-මුස්ලිම් ප‍්‍රජාවන් අතර බෙදාහදා ගන්නා තෘප්තිමත් දේශපාලන වාතාවරණයක් ඇති කර ගැනීමට සෑම දේශපාලඥයෙකුම අත්වැල් බැඳ ගත යුතුව තිබේ.

ෆෙඩරල් ක‍්‍රමයක් මගින් ශ‍්‍රී ලංකාව කෑලිවලට කැඞී යතැ යි යන අතීතාහෘත භීතියට ඉතා හොඳින් පිළිතුරු දී ඇති සිංහල නායකයා ද බණ්ඩාරනායකම ය. 1926 ජුලි 27 වැනි දා යාපනේ පැවති, ආචාර්ය ඉසාක් තම්බයියා මුලසුන දැරූ රැුස්වීමක දී ඔහු මෙසේ කීය:

‘‘මේ ක‍්‍රමයට එරෙහිව දහසකුත් එකක් විරෝධතා මතුවිය හැකියි. එහෙත් ඒ විරෝධතා සමනය කළ පසු, ලංකාවට ඇති එකම විසඳුම වන්නේ, යම් ආකාරයක ෆෙඩරල් ක‍්‍රමයක්ම බවට මට සැකයක් නැත.’’

ඔහුගේ මේ අනාගතවක්තෘ සඳහන, ෆෙඩරල් ක‍්‍රමයක් මත බලය බෙදා ගැනීමේ අදහසට අද විරෝධය පාන දකුණේ නායකයන් වෙත ඉදිරිපත් කළ යුතුව තිබේ.

*2013 නොවැම්බර් 28 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Taking A Long View of Federal Formula & Power Sharing” ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    “ෆෙඩරල් ක‍්‍රමය සහ බලය බෙදාහැරීමේ දීර්ඝ අතීතය දෙස ආපසු හැරී බැලීමක්”

    INTERNALIZE THE SITUATION- EAST TIMOR AND SUDAN….

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.