26 April, 2024

Blog

ඔය කියන සංවර්ධනය කුමක්ද​?

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

පෙරේදා සවස ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී සිදු වූ විපත දැන් කවුරුත් දනිති. එනිසා මිය ගිය සත් දෙනාගේ හා තුවාල ලැබූ පිරිසගේ මතකය තව ටික දිනකින් සියල්ලන්ට ම අමතක වන්නේ ය. ජීවිත අහිමි වීම තමුන්ට පාඩුවක් මිසක් ජීවත් වන්නන්ට අබ මල් රේණුවක පාඩුවක් නොවේ. වෙළෙද පළ විසින් නිර්මාණය කර ඇති අවකාශයක මිනිස් ශරීර හුදු භාණ්ඩ පමණි. මිනිස් දූවිලි වලට වටිනාකමක් නැත.

නගර නිර්මාණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින්නේ නොදියුණු මට්ටමක ය. ඒ විෂයය සම්බන්ධයෙන් දියුණු දැනුම් පද්ධතියක් ඉතිහාසයේ තිබුණි. එහෙත් නාගරීකරණය හා ධනේෂ්වර සංවර්ධනය සීග්‍රයෙන් වර්ධනය වීම නිසා නගර නිර්මාණය ක්‍රමවත් ව සිදු නොවුණි. උදාහරණයකට අප දන්නා නගරයක් සලකා බැලුවහොත් අවිධිමත් ව මාර්ග හා ගොඩනැගිලි ඉදි වූවා මිස ක්‍රමවත් සැලැස්මකට අනුව කිසිම නගරයක් ඉදි කර නැත. ඊට හේතු වී ඇත්තේ ආර්ථික දරිද්‍රතාවට වඩා දැනුමේ දරිද්‍රතාවකි.

උදාහරණයකට මහනුවර නගරය සලකා බැලුවහොත්, පසුගිය විසි වසර තුළ නගර සංවර්ධනය වී ඇත්තේ අක්‍රමික ලෙස ගොඩනැගිලි ඉදි කිරීමෙනි. ඒ නිසා මහනුවර ජන ජීවිතය ම සංකීර්ණ වී අවුල් ජාලාවක් බවට පත් ව තිබේ. ඒ අවුල් ජාලාව නිවැරැදි කරන්නේ කොයි කොනෙන් දැයි පවා තීරණය කිරීම අපහසු කරුණකි. එනිසා දිනෙන් දිනම තත්ත්වය බැරෑරුම් ව වර්ධනය වේ.

බොහෝ විට ලංකාවේ සෑම නගරයක ම ඇත්තේ ඉතා පැරණි ගොඩනැගිලි ය. ඒවා තැනින් තැනින් කඩමින් අවශ්‍ය පරිදි පුළුල් කිරීම නිතර සිදු වේ. විශේෂයෙන් කොළඹ පිටකොටුවේ, ගෑස්පහ හන්දියේ, කොම්පඤ්ඤ වීදියේ, ආමර් වීදියේ, ග්‍රෑන්ඩ්පාස් හා වෙනත් තදාසන්න ප්‍රදේශයන්හි ඉතා පැරණි ගොඩනැගිලි තිබීම භයානක තත්ත්වයකි. මේවා ක්ෂණික ව කඩා ඉවත් කිරීම පමණක් නොව අලුතින් ඉදි කිරීම ද ආර්ථික ගැටලුවකි.

එහෙත් රටක් ලෙස මේ පැරණි ගොඩනැගිලි සමඟ ඉදිරියට යන්නට හැකි දැයි ප්‍රශ්නයක් තිබේ. විශේෂයෙන් කොළඹ මෙට්රොරපොලිටනයේ නගර නිර්මාණය ක්‍රමවත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොමැති වුවහොත් කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි වල හාවුන්ගේ ගුල් වැනි අපිරිසුදු, මිනිස් වාසයට නොසුදුසු තැන් ජනාවාසකරණය වීමත් සමඟ ජන ජීවිතය තල්ලු වන්නේ විනාශයකට ය.

නගර නිර්මාණයේ දී මේ සියල්ලට සැලසුමක් තිබිය යුතුය. කොළඹ නගරයේ කල් ඉකුත් ඉකුත් වූ ගොඩනැගිලි වහා කඩා ඉවත් කළ යුතුය; ඒ සදහා නීති නොමැති නම් නීති සම්පාදනය කළ යුතුය; එසේම අනවසර ඉදි කිරීම් නවතා සැලසුමකට අනුව නගරය සංවර්ධනය කිරීම ආරම්භ කළ යුතුය.

ධනේශ්වර සංවර්ධනයත් සමඟ මිනිස් ජීවිතයට ලැබෙන වටිනාකම අහෝසි වේ. එවිට වෙළෙද පළ තර්කනය ශක්තිමත් ව තබා ගැනීම ප්‍රමුඛ වේ. එහෙත් සියල්ල කරන්නේ ජීවත්වීම සදහා ය. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අවතක්සේරු කරන්නේ නම් සංවර්ධනය යන්න මිත්‍යාවකි. වෙළෙද පළ ප්‍රවර්ධනය විය යුතුය; ගනුදෙනු සිදු විය යුතුය. එහෙත් පරිසරය නිර්මාණය කර ගත යුත්තේ මිනිස් ජීවිතයට සුවපහසු වන පරිදි ය.

සංවර්ධනය ආර්ථික විශේෂඥයන් සමඟ පමණක් කෙරෙන ගනුදෙනුවක් නොවේ. ඊට සියලු පාර්ශ්වයන් සම්බන්ධ විය යුතුය. ආර්ථික සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනය ද ඒ හා සමගාමී ව සංස්කෘතික සංවර්ධනය ද ඇති විය යුතුය. මේ අන්දමින් සංවර්ධනය යන්න පුළුල් අර්ථයෙන් විය යුත්තකි.

නමුත් තවමත් අප සමාජයක් ලෙස මුහුණ දෙන අබග්ගය වී ඇත්තේ අපේ එදිනෙදා පරිසරය හෝ මිනිස් වාසයට ගැළපෙන පරිදි සකස් කර ගැනීමට නොහැකි වීමයි. පැරණි ගොඩනැගිලි බිම ඇද වැටී මිනිසුන් අමු මුවේ මිය යන්නේ නම් විශාල විස්තෘත සංවර්ධනයක් ගැන කතා කිරීම විහිළුවකි. එනිසා පළමුව කළ යුත්තේ මූලික තත්ත්ව පාලනයකින් යුතුව නගර ආශ්‍රිත ගොඩනැගිලි කළමනාකරණය කිරීමයි. එමෙන්ම නගර සැලසුමක් අනුව සංවර්ධන කටයුතු තීරණය කිරීමයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    චාමරගේ මෙන්න මේ ලිපිය නම් හුඟක් හොඳයි, ඉතාම හොඳ අදහසක්.
    .
    හැම ප්‍රධාන නගරයකම අක්‍රමවත් ඉඳිකිරීම් සම්පූරනයෙන් තහනම් කරන්න ඕනේ. පරණ ගොඩනැගිලි කඩා දාන්න ඕනේ. පිටත අපිරිසු ගොඩනැගිලි අයිතිකාරයන්ට නඩු දාන්න ඕනේ.
    .
    කොළොඹ ඉවක් බවක් නැතුව අහස උසට හදන ගොඩනැගිලි පාලනය කරන්න ඕනේ. කොළොඹ වාතය හරිම අපිරිසිදුයි. ගමේ මිනිහෙක් උදේට කොළොඹ ඇවිල්ල පැය කීපයක් කොළොඹ ඇවිදලා shopping කරලා බඩු අරන් හවසට ගෙදර ගිහින් නහය ඇතුල සුදු ලේන්සුවකින් පිහදලා බැලුවොත් පෙනෙයි කොයි තරම් කළු පාටයිද කියල. උදේ ගෙදරින් එන මිනිහ නෙමෙයි කොළොඹ අවිද්දට පස්සේ හවස ගෙදර යන්නේ, විරූප වෙච්ච මිනිහෙක්.
    .
    කොළොඹ අහස වහගෙන ගොඩනැගිලි ඉඳිවෙලා නිසා බිම ඉන්න මිනිස්සුන්ට හොඳ වාතාශ්‍රය ලැබෙන්නේ නැහැ. මම කියැව්වා කොහෙද රටක වාතය පිරිසුදු කරන කුළුණක් හදලලු. අර නෙලුම් කුලුණ මොකොටද හැදුවේ දැන් මට මතක නැහැ. නිව්යෝක් නුවර තියෙන Empire State Building Observatory එක වගේ සංචාරකයන්ට ආකර්ෂණයක් විදියට හොඳයි ගානක් අය කරලා. වෙන මොකක්ද මේකෙන් බලාපොරොත්තු වුනේ? මට මතක නැහැ දැන්. අපි කොච්චර ණයක් ගත්තද නෙලුම් කුලුණට? පොලිය කීයද? අහල වැඩක් නැහැ, විගණකාධිපතිතුමා මට කියයි මගෙන් අහන්නේ, අහපන් (අහන්න) ශක්‍රයාගේ මල්ලි වයිමගෙන් කියලා. ඒකාබද්ධ විපක්ෂෙට තද වුනා විගණකාධිපතිතුමා ඇත්ත කිව්වහම. මම හිතන්නේ වයිමගෙ වාසගම රාජපක්ෂ වෙන්නැති. අනේ මම නම් දන්නේ නැහැ ඔන්න. අනුමානෙට කිව්වේ. නැත්නම් ඒකාබද්ධ විපක්ෂෙට වෙන මොකක්ද ඕනෙකම අපක්ෂපාතී විගණාධිපතිතුමාව බය කරන්න විශ්වාස භංගයක් ගෙන්න තරම්?
    .
    නෙළුම් කුළුන ආධාරයෙන් කොළොඹ වාතය පිරිසිදු කරන ක්‍රමයක් තියෙනවද කියල (අර රටේ වගේ, මට රට මතක නැහැ) මම වගේම පරිසරයට හුඟක් ආදරය කරන ජනාධිපතිතුමා හොයා බැලුවොත් හොඳයි නේද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.