18 September, 2018

Blog

උමා ඔය විනාශයෙන් ණයට මඟුල් කෑ රාජපක්ෂලාට අත සෝදා ගත හැකි ද?

චාමර ලක්ෂාන් කුමාර –

චාමර ලක්ෂාන් කුමාර

1818 දී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ව ගෙදර යැවීමට වීදී බට ඌව වෙල්ලස්සේ ජනතාව ඉන් වසර දෙසීයක් ගත වුණු තැන යළි වීදි බටහ. ඌව වෙල්ලස්සෙ නූතන උරුමක්කාරයන් පසුගිය 28 වැනි බදාදා බණ්ඩාරවෙල නගර මධ්‍යයේ දැවැන්ත හර්තාලයක් පවත්වමින් පාරට බැස්සේ රැකියා, වැඩි වැටුප් ඉල්ලමින් එසේ නැතිනම් තවත් පිරිසකගේ අවස්ථාවන් කැප කරන ලෙස ඉල්ලමින් නොවේ. ඒ, තම පානීය ජල ළිං, ජල උල්පත් සිඳලන, කුඹුරු ඉඩම් හා සාරවත් වගා භූමි කාන්තාර බවට පත්කරන ගේදොර වතුපිටි විනාශ කරමින් ජනජීවිත අඩාළ කරන අසාර්ථක උමාඔය ව්‍යාපෘතියට එරෙහිවය. සැබැවින්ම එම හර්තාලය දේශපාලනික අවශ්‍යතා පෙරදැරිව සිදු වූවකට වඩා පෞද්ගලික බලමුළු ගැන්වීම් තුළ සිදු වූ දෙයක් විය. කෙටියෙන් පැවසුවහොත් දැන් නාසය අසලටම වතුර පිරී තිබේ. උමා ඔය ව්‍යාපෘතිය එදා උත්කර්ෂයට නැංවූ තක්කඩි දේශපාලනඥයන් හා ඔවුන්ගේ අන්තේවාසිකයන් බඳු වූ මාධ්‍යවේදීන් මේ ව්‍යාපෘතිය හැඳින්වූයේ සමකාලීන ඉතිහාසය තුළ මෙරට සිදුකරන විශාලතම ව්‍යාපෘතිය වශයෙනි. එහෙත් සංවර්ධනය යනු, එක් කොටසක් අන්ත අසරණ තත්ත්වයට පත්කර පීඩාවට පත් කිරීම නොවේ.

මේ වන විට, මකුළු ඇල්ල, හීල් ඔය, වෙහෙරගලතැන්න, එගොඩගම, පල්ලෙපෙරුව, උඩපෙරුව, කුරුඳුගොල්ල, බොරලන්ද ඇතුළත් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව සංවර්ධනයේ නාමයෙන් සිදුවන මේ විනාශයේ ගොදුරක් බවට පත්ව සිටී. මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවීම විෂයෙහි වගකිව යුත්තේ කවුරුන් ද? ඒ පිළිබඳව කරන සොයා බැලුමකදී සුපැහැදිලිවම පැහැදිලි වන්නේ මේ පවෙන් ගැලවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පදයට නැටූ මීට සම්බන්ධ වූ ඉහළ රාජ්‍ය නිලධාරීන්ට කිසිදු ඉඩකඩක් නැති බවය.

ඈත ගම්බද ප්‍රදේශවල තවමත් සිදු කරන “ණයට මඟුල් කෑම” වැනි කිසිදු අර්ථයක් නොමැති දෑ සිදු කරමින් බිලියන ගණන් ණය ගිනි පොලියට ගනිමින් ඊනියා සංවර්ධන ව්‍යාපෘති රාජපක්ෂලා ක්‍රියාත්මක කළේ තම පෞද්ගලික දේශපාලන ප්‍රතිරූප ප්‍රවර්ධනයට විනා සැබැවින්ම ඒවායින් ජනතාවට සහන සැලසීමට නොවේ. තම දේශපාලන බලකොටුව වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවිධිමත් ආකාරයෙන් සිදු කළ වැඩකට නැති සංවර්ධන ව්‍යාපෘති සඳහා ජලය ලබා ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තිබුණේ පුදුමාකාර හදිසියකි. එය අදහාගත නොහැකි මට්ටමක විය. සම්මත විධිවිධාන, නීතිරිති තම සිතැඟියාව මුඳුන් පමුණුවා ගැනීම වෙනුවෙන් හෙතෙම වුවමනාවෙන්ම අමතක කළේය. නොසලකා හැරියේය. ඒවාට සමච්චල් කළේය. මහින්ද කියූ ඕනෑම දෙයක් දේව භාෂිතයක් ලෙස භාරගත් දූෂිත තක්කඩි නිලධාරීහුද හිටපු ජනාධිපතිවරයාගේ තාලයට පාද සෙලවීම සිදු කළේය. මධ්‍යම පරිසර අධිකාරිය, අතිශය දුර්වල හා සම්පූර්ණ නොකරන ලද මේ පිළිබඳ පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාවකට එදා අනුමැතිය ලබා දුන්නේ ජාතික පාරිසරික පනතේ විධිවිධාන අමු අමුවේ උල්ලංඝනය කරමිනි. රාජපක්ෂවරුන්ගේ බලපෑම් හමුවේ එසේ කිරීම හැර වෙනත් විකල්පයක් එම නිලධාරීන්ට එදා නොවීය. කෙසේ වෙතත් දැන හෝ නොදැන නියමින් හෝ අනියමින් ඔවුහු මේ විනාශයේ කොටස්කරුවන්ව සිටිති. අද බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු ඌවේ ජනතාව වන්දි ගෙවමින් සිටිනුයේ හිටපු ජනාධිපති රාජපක්ෂ හා ඉහත කී දූෂිත නිලධාරීන් අනුගමනය කළ වැරැදි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය.

ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගලින් ඇරැඹෙන උමා ඔයේ ජල ද්‍රෝණිය වර්ග කිලෝමීටර් 720ක් පමණ වන අතර ඉන් 65%ක් ඌව පළාතට වන අතර 35%ක් මධ්‍යම පළාතටත් අයත් වේ. මේ අතර යෝජිත ව්‍යාපෘතියට ඉහළින් උමා ඔයේ ජල පෝෂක ප්‍රදේශය කිලෝමීටර් 350ක් පමණ වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ වසරකට ජලය කියුබික් මීටර් මිලියන 145ක් කිරිඳිඔයට හරවා යැවීමට සැලසුම් සකස් කරන ලදී. උමා ඔයේ ජලය දකුණට ගෙන යෑම වෙනුවෙන් සැලසුම් සකස් වීමේ ඉතිහාසය වසර ගණනාවක අතීතයට දිව යන්නකි. උමා ඔයේ අතිරික්ත ජලය ලුණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන යෑම පළමු සැලසුම සකස් වූයේ මීට වසර 26කට ඉහත 1991 වසරේදීය. මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය විසින් ඊට අදාළ ව්‍යාපෘති සැලසුම් සකස් කර මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂාවෙන් එය ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කළමුත් එම ව්‍යාපෘති වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් කටයුතු කළේය. සාමාන්‍යයෙන් ආසියානු සංවර්ධන බැංකුව කිසියම් ව්‍යාපෘතියක් සඳහා ණය ආධාර ලබා දීමේදී සාමාන්‍ය ජන ජීවිතයේදී සිදුවන්නා වූ හානි හා ඒවා වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය බලවත් අවධානය යොමු කරනු ලබයි. එසේ සිදු කරන ලද ඇගැයීමේදී ඔවුනට පෙනී ගියේ මේ ව්‍යාපෘතිය බරපතළ ගැටලු රැසක් නිර්මාණය කරන්නක් බවය. විශේෂයෙන්ම ජල ද්‍රෝණි දෙකක් අතර ජලය රැගෙන යෑමෙන් නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීමකට අමතරව ව්‍යාපෘතිය පවත්වාගෙන යාම තුළ මතු වන්නා වූ තාක්ෂණික දෝෂ පිළිබඳ තක්සේරුවක් ද ඔවුනට විය.

තම බල දේශපාලනික අවශ්‍යතාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂලා යළි කරළියට ගන්නේ එබඳු විසි කරන ලද ව්‍යාපෘතියක්ය. 2005 වසරේදී කැනඩාවේ “ඩබ්ලින්” නම් උපදේශන සමාගම ලවා මේ පිළිබඳ වාර්තාවක් සකස් කළ අතර ඒ අනුව මෙහි සමස්ත වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 155ක මුදලක් විය. එහෙත් අරමුදල් ඌනතාව හා තමනට ලැබෙන ‘කොටස’ කුඩා වීම තුළ මේ ව්‍යාපෘතිය දිගින් දිගටම කල් ගියේය. ඉරානය මේ ව්‍යාපෘතියට තම සිතැඟියාවන් පළ කළේ එවැනි වටපිටාවකය. පළමුව ඇමෙරිකන් ඩොලර් මිලියන 250කට ඇස්තමේන්තු කළ ව්‍යාපෘතිය අවසානයේ ඉරානයේ ‘ෆරාබ්’ සමාගමට භාර දුන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 514.1ක මුදලකටය.

වාරි කර්මාන්ත, ඉදිකිරීම් සම්බන්ධයෙන් ගත් කල නූතන ඉතිහාසය තුළ ඉරානය ප්‍රධාන ජලාශ ඉදිකිරිම් කර ඇත්තේ 1950න් පසු කාලයේදීය. ඉස්ලාමීය විප්ලවයකට දශක දෙකකට පෙර විශාල ජලාශ 141ක් ඉදි කළ ඉරානය විප්ලවයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සුවිශේෂ වර්ධනයක් පෙන්වා ඇත. මේ වන විට ඉරානය තම තාක්ෂණික හා ඉංජිනේරු සේවා වෙනත් රටවල් කරා ද අපනයනය කරමින් සිටින අතර තජිකිස්තානය, ආමේනියාව, අසර්බයිජානය, කෙන්යාව, බොලිවියාව, මාලි, නිකරගුවා හා ශ්‍රී ලංකාව, සිරියාව හා ඇෆ්ගනිස්තානය ආදි රටවල් කරා ද ඔවුන් මේ සම්බන්ධව ආයෝජන කටයුතු සිදු කරමින් සිටිති. ඉරානය වෙනුවෙන් එරට අපනයන සංවර්ධන බැංකුව වසර 20කින් ගෙවා දැමීම සඳහා මේ ව්‍යාපෘතියට ණය ලබා දුන් අතර ඒ ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු තාක්ෂණික ඇගැයීමකින් තොරවය. ඉරානය මේ කටයුත්තට සම්බන්ධ කර ගැනීමේදී ඕනෑම හානිකර ව්‍යාපෘතියකට ණය ලබාගැනීමේ පහසුව හා විශාල කොමිස් මුදල් ප්‍රමාණයක් අපහසුවකින් තොරව අත්පත් කරගැනීමේ කාරණා මූලිකවම වැඩ කළේය. 2008 වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණි ඉරාන ජනපතිවරයාගේ සංචාරයට සමගාමීව මේ ව්‍යාපෘතිය ඇරැඹීමට සූදානම් වූ අතර, එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට මෙරට වෙනුවෙන් ගිවිසුමට අත්සන් කිරීමේ බලය පවරන ලදී. මෑත කාලයේ මෙරට සිටි දක්ෂතම වාරි ඉංජිනේරුවකු වූ ගුණවර්ධන මහතා 1979 වසරේදී පරාක්‍රම සමුද්‍රයේ බිඳීමක් ඇති වූ අවස්ථාවේදී එහි ප්‍රතිසංස්කරණවලට දායක වූ විෂය පිළිබද ඉහළතම දැනුමක් තිබූ වාරි ඉංජිනේරුවරයකු විය.

වෘත්තිය දක්ෂතාවලට අමතරව ඔහු දැක්මක් සහිත ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් විය. ව්‍යාපෘති ගිවිසුම අත්සන් කළ යුත්තේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුව බව ගුණවර්ධන මහතාගේ මතය විය. එසේ කියමින් ඊට අත්සන් තැබීම ඔහු ප්‍රතික්ෂේප කළේය. එබැවින් අවසානයේ එම ගිවිසුමට අත්සන් කිරීමට සිදු වූයේ චමල් රාජපක්ෂ මහතාටය. එවකට වාරිමාර්ග ඇමැතිවරයා ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂය. අවංක දූරදර්ශි නිලධාරියකු වූ ගුණවර්ධන පසුව නොනවත්වා එල්ල වූ දේශපාලන බලපෑම් මත 2009 ජනවාරි 09 වැනිදා සිය ධුරයට ආයුබෝවන් කීවේය. තම ඉල්ලා අස්වීමේ ලිපියේ එක් තැනකදී ඔහු “ලංකා රජයට අතිරේක ඩොලර් මිලියන 248ක වියදමක් දැරීමට සිදු වන ගිවිසුමකට අත්සන් යෙදිය නොහැකි බැවින් තමන් ධූරයෙන් ඉවත් වන බව” සඳහන් කර තිබිණි.
එය උමා ඔය මහා ඛේදවාචකයක් වන බව පෙන්වූ පෙරමඟ ලකුණක් බඳු විය.

වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේදී 2008 අප්‍රියෙල් 29 වැනි දින මුල් ගල් තබමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇරැඹුණ අතර, ආරම්භක උත්සවය සඳහා පමණක් නිරපරාදේ වැය කළ මුදල රුපියල් ලක්ෂ 260ක් විය. මුල්ගල තැබීම සිදු කළේ කිසිම සැලැස්මක්, ශක්‍යතා අධ්‍යයනයක් හෝ පාරිසරික අනුමැතියකින් තොරව වූ අතර, එය තනිකරම දේශපාලනික සිතැඟියාවන් මත පදනම් වී තිබිණි.

මේ අතර, මුල් ගල තබා මාස තුනක් ගත වෙද්දී උමා ඔය ව්‍යාපෘතියට අදාළ පූර්ව ශක්‍යතා අධ්‍යයන වාර්තාව Mahab Ghodss Consulting Engineering සමාගම විසින් සකස් කළ අතර 2010 වසරේ නොවැම්බර් මාසයේදී මීට අදාළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව සකස් කරන ලදී. වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සකස් කළ එම වාර්තාව සඳහා අනුමැතිය දීමට මත්තෙන් වැඩ කරන දින 30ක කාලයක් ලිඛිත මහජන අදහස් සඳහා විවෘතව තැබීමට ඒ සඳහා බලය ලත් ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කළේය. එහිදී මේ පිළිබඳ ලිඛිත විරෝධතා රැසක් විවිධ සංවිධාන හා පුද්ගලයන් වෙතින් ඉදිරිපත් විය. ඉහළ කොත්මලේ ව්‍යාපෘතියට පසු වැඩිම ජනතා ප්‍රතිචාර හිමිව තිබුණේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූවත් බලධාරීහු ඒවා කුණු කූඩයකට විසි කිරීමට කටයුතු කළ බව පෙනී යන්නේ අතිශය දුර්වල තත්ත්වයක පැවැති පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවකට අනුමැතිය දීම තුළය.

2011 වසරේ අප්‍රේල් 12 වැනි දින රට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට සැරසෙමින් සිටියදී කොන්දේසි සහිත අනුමැතියක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් දෙන ලදමුත් ඒ අනුමැතිය හිමි වීමටත් පෙර මෙහි ඉදිකිරීම් අරඹා තිබීම හාස්‍යජනක කාරණයක් විය.

රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් විශ්වවිද්‍යාලයක් මඟින් සකසන ලද එම පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව පවා ඉතා දියාරු එකක් වූ අතර අද සිදු වෙමින් පවතින සියලු ව්‍යසනයන්ට එය ප්‍රබල හේතුවක්ම විය. ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක් තුළ විකල්ප අධ්‍යයනය ප්‍රධාන අංගයක් ලෙස සැලැකෙනමුත් මේ වාර්තාව තුළ සිදු කර තිබුණේ ඊට පෙර උමා ඔයේ ජලය දකුණු කලාපයට හරවා යැවීම පිළිබඳ යෝජනා වූ ව්‍යාපෘති වාර්තා කිහිපයක සඳහන් දත්ත උපයෝගී කරගනිමින් මේ ව්‍යාපෘතිය යුක්ති සහගත කිරීම පමණකි.

පැහැදිලි තාක්ෂණික පාරිසරික සමාජීය ගැටලු රැසක් මේ ව්‍යාපෘතිය සමඟ ගැටගැසී තිබිණි. එක් අතකින්, මහවැලිය යටතේ වාරි ජලය සපයන ප්‍රදේශවලට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන උමා ඔය වෙනත් බහුකාර්ය ව්‍යාපෘතියක අවශ්‍යතාව සඳහා යොදාගැනීම, මහවැලිය යටතේ ප්‍රතිලාභ භුක්ති විඳින ජනතාවට ඍජු බලපෑමක් එල්ල කරන්නක් විය. උමා ඔය ජල ද්‍රෝණි ප්‍රදේශයට මෙන්ම මේ ව්‍යාපෘතිය ඔස්සේ ජලය රැගෙන යෑමට කටයුතු කළ දකුණු කලාපයට ඊසානදිග මෝසම මඟින් වැසි ලැබීම තුළ අපේක්ෂා කළ පරිදි උමා ඔයේ අතිරික්ත ජලය ගබඩා කිරීමට දකුණු කලාපයේ වැව් හා ජලාශවලට තාර්කික හැකියාවක් නැති වීමද, දුර දිග නොබලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවට හොඳ සාක්ෂියක්මය.

ඊට අමතරව භූගෝලීය සාධක, සමාජීය සාධක වනාන්තර හා ජලාශවලට යටත් වන ප්‍රදේශයන්හි කෘෂිකර්ම හා සත්ත්ව පාලන කටයුතු සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කර නොතිබිණි. මේ ව්‍යාපෘතිය උස් කඳුකර ප්‍රදේශයක ක්‍රියාත්මක කරද්දී භූගත කැණීම්වලදී සිදු වන කම්පන හේතුවෙන් පසට සිදු වන බලපෑම්, ජල උල්පත් සිඳී යෑම් ඔස්සේ දැනෙන බලපෑමක් අනිවාර්යයෙන් සිදු වනමුත් ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් ‍සිදු කර නොතිබිණි. ඒ නොසලකා හැරීමෙහි ප්‍රතිඵලයන්ට හා අදූරදර්ශී දේශපාලනඥයන්ගේ අමනෝඥ තීරණවලට අද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නැති අසරණ ජනතාවටය.

අවිධිමත් සංවර්ධනය “සංවර්ධන අනාථයන්” පිරිසක් මේ වන විට බිහි කර ඇත්තේ සමාජ, පාරිසරික, ආර්ථික ගැටලු රැසක් බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ ගම් රැසක නිර්මාණය කරමිනි.

තම සිතැඟියාවන් ආශාවන් ඉටු කරගැනීම වෙනුවෙන් ජනතාව බිල්ලට දීම රාජපක්ෂ ක්‍රමය විය. සයිටම් ගැටලුවේදී, උමා ඔයේදී, රතුපස්වලදී, මත්තලදී මෙන්ම තවත් බොහෝ තැන්වලදී ඔහු සිදු කළේ එයයි. එසේ පවසමින් මේ ව්‍යාපෘතිය මුළුමනින්ම අත්හැරදැමීමේ හැකියාවක් නැත.

ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සෑහෙන දුරක් මේ වන විට ගමන් කර ඇති බැවිනි. 2017. 06. 15 වන විට මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදල වන ඇමෙරිකන් ඩොලර් මිලියන 514.1න් අමෙරිකානු ඩොලර් මිලියන 382.2ක් ගෙවා තිබූ අතර තවත් ගෙවීමට ඒ වන විට ඉතුරුව පැවැතියේ අමෙරිකානු ඩොලර් මිලියන 131.9ක් එනම් රුපියල් බිලියන 20ක් පමණි.
ඉහත දිනය වන විට මූලස්ථායි වැඩවල ප්‍රගතිය 77%ක මට්ටම් පැවැති අතර පහළ නිම්න සංවර්ධන වැඩවල ප්‍රගතිය 48%ක මට්ටමක විය.

කැණීම් කටයුතු පිළිබඳ අවධානය යොමු කිරීමේදී කිලෝමීටර් 15.4ක් පමණ වන ඩයරබා සිට රන්දෙණිය දක්වා වූ ප්‍රධාන උමඟේ කිලෝමීටර් 10ක පමණ කැණීම් මේ වන විට අවසන්ව තිබේ. ඩයරබා අන්තයේ සිට කිලෝමීටර් 1.85ක් කුරුකුදේ දක්වා කැණීම් කටයුතු අවසන්ව ඇති අතර රන්දෙණිය විදුලි බලාගාර අන්තයේ සිට උමගේ කැණීම් කටයුතු බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ බිඳුණුවැව ද පසු කර කිලෝමීටර් 8.1ක් මේ වන විට ගමන් කර තිබේ.
මේ ව්‍යාපෘතිය ඉදිරියට යෑම සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති ප්‍රධානතම, ගැටලුවක් වී ඇත්තේ කැණීම් කටයුතු නිසා තත්පරයට උපරිමය ලීටර් 1087ක ජල කාන්දුවක් රන්දෙණිය විදුලි බලාගාර අන්තයේ සිදුවීමය. මේ ගැටලුවලට පිළියම් යෙදීම වෙනුවෙන් ජර්මන් විශේෂඥයකුගේ සේවාව මේ වන විට ලබාගෙන ඇති අතර මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා නෝර්වේ විශේෂඥ කණ්ඩායමක්ද ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතය.

රාජපක්ෂලාගේ අමනෝඥ තීරණ නිසා ඇති වූවක් වුවද මේ ප්‍රශ්නයෙන් අත සෝදාගැනීමේ හැකියාවක් නම් රජයට නැත. ඔවුන් මීට මුහුණ දිය යුතුය. සෑහෙන පමණින් වැඩ කටයුතු අවසන්ව ඇති බැවින් හා ඉරානයෙන් ලබාගත් ණය ආපසු ගෙවිය යුතු නිසාත් මෙය මුළුමනින්ම අත්හැරීමේ හැකියාවක් මේ මොහොතේ රජයට නොවේ.

එබැවින්, රජය මේ මොහොතේ සිදු කළ යුත්තේ මේ අවාසිදායක තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරමින් මේ ඔස්සේ ජනතාවට, පරිසරයට සිදුවන්නා වූ නිෂේධනාත්මක බලපෑම් හැකිතාක් අවම කිරීමට කටයුතු කිරීමය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.