25 April, 2024

Blog

ජනාධිපති උපදේශකයන් නිදි ද?

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

නවීන ලෝකය වෘත්තීය සමිති ව්‍යාපාරය සලකන්නේ ‘‘සමාජ ප‍්‍රගතියේ කොටස්කරුවන්’’ වශයෙන්ය. යල් පැන ගිය සටන් පාඨවලට යටවෙමින් දියව්, ගසව්, පෙරලව් කියමින් වීදි බැසීම්, කැරළි ගැසම් තවදුරටත් එම ව්‍යාපාරය තුල ක‍්‍රියාත්මක වන ලක්ෂණ හැටියට නොපවතී. ඒවා වෘත්තීය සංගම් ව්‍යාපාරයේ අතීත ඉතිහාසයට එක් වෙමින් පවතින න්‍යායයන් පමණක් බවට පත්වී ඇත. විවිධ රටවල පවතින කම්කරු නීති ප‍්‍රඥප්ති හා සංකල්ප වලට අනුව එම රටවල කම්කරු පන්ති ව්‍යාපාර සකස් වෙමින් තිබීමත්, ජාත්‍යන්තර වශයෙන් ජගත් සංවිධානය තුල පිහිටුවා ගෙන ඇති ලෝක කම්කරු සංවිධානයේ පුළුල් නීති රෙගුලාසි හා පිළිවෙත් රාමුව තුල එම ව්‍යාපාරයට ආවරණ සැලසී තිබීමත් එයට හේතු වී ඇත.

ආයතනය හෝ වැඩපොල පාදක කර ගනිමින් ගොඩනැංවෙන වෘත්තීය සමිති විවිධාකාර ඒක​රාශි වීම් තුළින් වඩා පුළුල් සංවිධාන හා සන්ධාන බවට පත්වේ. දේශපාලන ලෝකයේද එය එසේය. බලය වැඩිකර ගැනීම සඳහාත්, තහවුරු කර ගැනීම සඳහාත් එය සිදු වේ. කම්කරු සංවිධානයකට බලය අවශ්‍ය වන්නේ වෘත්තීය ගැටළුවලදී කේවෙල් කිරීම සඳහාය. එය සාමූහික කේවල් කිරීම යනුවෙන් පිළිගත් සම්ප‍්‍රදායයක් බවට මේ වන විට පත්ව ඇත. ප‍්‍රධාන වශයෙන් එම පිළිවෙත භාවිතයට එන්නේ වෘත්තීය සමිතියක සාමාජිකත්වය දරණ අයගේ සේවා තත්ත්වයන් හා කොන්දේසි කාලීනව අදාල පරිද්දෙන් සංශෝධනය කර ගැනීම සඳහාය. සාමූහික කේවෙල් කිරීම තුලින් වෘත්තීය සමිති ව්‍යාපාරය කටයුතු කෙරෙන ආකාරය පිළිබඳවත්, ඒ සඳහා රජය, හාම්පුතුන් හා සේවකයන්ට බල පවත්නා කොන්දේසි ගැනත්, ජගත් සංවිධානය විසින් සම්මත කරන ලද ප‍්‍රඥප්ති ගණනාවක්ම ඇත. ඒවා ජගත් සංවිධානයේ සාමාජික රටවල් විසින් සම්මත කිරීම මඟින් පිළිගැනීම නිසා එබඳු සාමූහික කේවෙල් කිරීම් සඳහා නෛතික ආවරණයක්ද ලැබී ඇත.

අප රටේ ප‍්‍රධාන පෙළේ වෘත්තීය සමිති සංගම් රාශියක්ම මෙම නෛතික රාමුව තුළත්, පිළිගත් සම්ප‍්‍රදායයන් තුළත් පිහිටා කටයුතු කරමින් සිය වෘත්තීය ක්ෂේත‍්‍රයේ සේවා තත්ත්වයන් සහ කොන්දේසි කාලීනව නිතිපතා සාමූහික කේවල් මාර්ගයෙන් සංශෝධනය කර ගැනීම සිදු කරයි. ඒ ඒ කර්මාන්තයට අනුකුල වන ආකාරයට ප‍්‍රමිතීන් හා නිර්ණායක හඳුන්වා ගනිමින්, සිය වෘත්තීය සංගම් සාමාජිකත්වයේ සාමූහික ශක්තියද උපයෝගී කර ගනිමින් මෙම ක‍්‍රියාදාමය සිදුවේ.

අතීතයේදී මේ සඳහා පැවති ප‍්‍රධානතම බාධකය වූයේ හාම්පුතුන් එබඳු සාකච්ඡාවලට එළඹීමට දැක්වූ විරෝධය හා අකමැත්තය. ලෝකයේ කම්කරුවන් වැඩි දියුණු වීමත් සමග එම තත්ත්වය බොහෝ දුරට වෙනස් වී ඇත. අද ශ‍්‍රී ලංකාව තුළ බැංකු, මුල්‍ය අංශ, රක්ෂණ, නිෂ්පාදන, කර්මාන්ත, වරාය වැනි විවිධ කාර්මික ක්ෂේත‍්‍ර රාශියක් තුල නිතිපතා ස්වාමි – සේවක දෙපක්ෂය අතර ඇතිකර ගන්නා සාමූහික ගිවිසුම් මඟින් සේවක වරප‍්‍රසාද හා අයිතිවාසිකම් වැඩි දියුණු කර ගනිමින් පවතී.

කම්කරුවන්ගේ ස්ථානීය කාර්මික ප‍්‍රශ්න ඉක්මවා යන කාරණා සම්බන්ධයෙන්ද වෘත්තීය සංගම් මැදිහත්වන අවස්ථා උද්ගත වේ. බොහෝ විට එබඳු අවස්ථා සඳහා පාදක වන්නේ ජාතික වශයෙන් බලපෑමක් ඇති කෙරෙන කරුණු කාරණාවන්ය. උදාහරණයක් හැටියට ආයතනයේ රාජ්‍ය අයිතිය වෙනස් වීම, ආයතනය තුල පවතින නාස්තිය හා දූෂණය, ක්ෂේත‍්‍රයට අදාලව සැකසෙන රජයේ නව ප‍්‍රතිපත්ති කිසිවක අහිතකරභාවය යනාදී පුළුල් විෂයය ක්ෂේත‍්‍රයක් මේ යටතට වැටේ. එබඳු අවස්ථාවලදී ද ඇතැම් වෘත්තීය සමිති තමන් සතු සාමූහික කේවෙල් කිරීමේ බලය උපයෝගී කර ගනිමින්ඒ වාට මැදිහත් වේ. මෙම මැදිහත්වීම් විවිධ උද්ඝෝෂණ, පෙළපාලි හා රැුස්වීම් දක්වාද, ඇතැම් අවස්ථාවලදී විරෝධතාවය ඉස්මතු කරන ක්ෂේත‍්‍රයේ වැඩ වර්ජන දක්වාද වර්ධනය වන බව පෙනී ගොසේ ඇත. ඒවා සමාජයට ප‍්‍රශ්න හා අපහසුතාවයන් ඇති කෙරෙන තරමට වර්ධනය වීමක්ද දක්නට ඇත. ජනතාවට පුද්ගලිකව හෝ සාමූහිකව කිසියම් දෙයක් සම්බන්ධයෙන් මැදිහත්වීමට, අදහස් ප‍්‍රකාශ කිරීමට සහ විරෝධය ප‍්‍රදර්ශනය කිරීමට ව්‍යවස්ථානුකුලව සැලසී තිබෙන ඉඩකඩ තුල මෙම ක‍්‍රියාදාමය සිදුවේ. ඇතැම් අවස්ථාවලදී විරෝධතාවයට භාජනය වන විෂයය කෙළින්ම තම වෘත්තියට පමණක් අදාල වෘත්තීමය ප‍්‍රශ්නයක් නොවෙන්නේය. අද සමාජය පුරා ඉතා වේගයෙන් පැතිර යමින් පවතින එබඳු ප‍්‍රවනතාවයක් නිසා පුළුල් ජන සමාජය ප‍්‍රබල ලෙසින් පීඩාවට භාජනය වී ඇත. ඇතැම් අවස්ථාවලදී එබඳු දේ වලින් ඇති කෙරෙන සමාජ බලපෑමට ගොදුරු වී ඇත්තේ සියලු දෙනාගේම සානුකම්පිත අවධානයට යොමුවිය යුතු මානුෂික වශයෙන් අසරණ වී සිටින සමාජ කොටස් වීම අතිශයින් ශෝකජනක කාරණයකි.

වෛද්‍ය ක්ෂේත‍්‍රයේ අද සිදු වෙමින් පවතින්නේ මෙබඳු දෙයකි. එක් පැත්තකින් වෘත්තීය සංවිධානයක් නොවන ශිෂ්‍ය ව්‍යාපාරය, අධ්‍යාපනය මුල් කරෙගන ගෙනයමින් පවත්නා උද්ඝෝෂණ ව්‍යාපාරයකි. ශිෂ්‍ය ව්‍යාපාරය මඟින් පන්ති වර්ජන හැරුණු විට උද්ඝෝෂණ තුලින් වරින් වර ඇති කරන සමාජ පීඩනය එම ව්‍යාපාරයේ සීමාවන් බවට පත්ව ඇත. එයින් ඔබ්බට යන වැඩපිළිවෙල කිසිවක් වේ නම් ඒවාට රටේ සම්මත නීති රාමුව තුලින් අනිවාර්යෙන්ම වැට බැඳෙනු ඇත. එබැවින් පවත්නා ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය එක් පැත්තකින් රටේ අනාගතය අතට ගැනීමට සිටින බලකායේම දුර්වල වීමක්ද තවත් පැත්තකින් සමාජ පීඩාව තුලින් ගොඩනැගෙන ජන විරෝධය, වෛරය සහ විප‍්‍රතිසාරය, අනාගතයේදී ඔවුනට එරෙහිව එල්ලවන ඉතාමත් අහිතකර ලෙසින් සමාජ ගතවූ බාධකයක් බවට පත්වීම නොවැලැක්විය හැකිය. අසීමිත පන්ති වර්ජන ව්‍යාපාර මගින් දිගුකාලීන අහිතකර බලපෑම් ඇතිවන්නේ ඒවාට යෙදෙන සිසු පරපුරට පමණක් නොවේ. ඔවුන්ගේ නිසි කල වයසේදී අධ්‍යාපන කටයුතු අවසන් කර ජන ජීවිතය ඇරඹීම ප‍්‍රමාද වීමත්, අධ්‍යාපනය සඳහා යොමු වීමට අපේක්ෂාවෙන් සිටින එම ශිෂ්‍ය ව්‍යාපාර චිත්ත ස්වභාවයට තවමත් ලඟා නොවූ රටේ සිසු පරපුර තම තමාගේ අනාගත අධ්‍යාපන සැලසුම් සඳහා විවිධ විකල්ප මාර්ගවලට යොමු වීමත් බරපතල ලෙසින් සිදුවේ. මෙය පැති කිහිපයක් අනුවම සැබෑ ජාතික අපරාධයකි. බොහෝ විට විකල්ප අනාගත සැලසුම්වලට යොමුවන සිසු පරපුර එක්කෝ විදේශ ගතවීමට එසේ නොමැති නම් මෙරටදී ලබාගත හැකි වෙනත් අධ්‍යාපන පහසුකම් දෙසට ඉබේම යොමුවීම නිසැකවම සිදුවේ. විරෝධතාවල යෙදුනු ශිෂ්‍ය ව්‍යාපාරය තමන් නොදැනුවත්ව කටයුතු කරමින් සිටින්නේ බාධක වලින් වර්ජන කිරීම් වලින් තොරව අධ්‍යාපන කටයුතු ගෙන යා හැකි ආයතන වඩ වඩා බිහි කිරීමට දායක වීම බව ඔවුනට අවබෝධ නොවීම කණගාටුවකි.

වෛද්‍යවරුන්ගේ සංවිධානය, අනිත් පැත්තෙන් ආරම්භ කර ඇත්තේ දෙයාකාරයකින් එල්ල වූ අරමුණු සහිත සටනකි. එක් පැත්තකින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් වූ රාජ්‍ය ප‍්‍රතිපත්තියට විරෝධය දැක්වීමත්, අනිත් පැත්තෙන් දැනට පවත්වාගෙන යනු ලබන ශිෂ්‍ය ව්‍යාපාර විරෝධතාවයන් ශක්තිමත්ව ගෙන යාමට ඔවුන් දිරිගන්වන ව්‍යාපාරයත් එම අරමුණු දෙකට අයත් වේ. වෛද්‍යවරුන්ගේ සංවිධානය මේ සඳහා යොදාගෙන තිබෙන්නේ අතිශයින්ම වර්තමාන සමාජයට අහිතකර පීඩාකාරී ව්‍යසනකාරී වැඩපිළිවෙලකි.

වර්ජනය කර සිය වෘත්තීය කටයුතුවලින් බැහැර වීම, එම වෘත්තියේ ස්වභාවය අනුව මිනී මැරීමකට සමාන ක‍්‍රියාවකි. රෝගීන්ට ඇතිවන අපහසුතාවය බොහෝ සෙයින් ඉක්මවා යන අහිතකර බලපෑමක් එමඟින් ඇති කෙරෙන බව කවුරු කොයි ආකාරයට විග‍්‍රහ කළද නිසැකවම සිදුවන බව පිළිගත යුතුය. වෛද්‍ය වෘත්තිකයන්ට ජාතික වශයෙන් අනාගතයේදී රට වැසියන්ට අහිතකර බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයන් පිළිබඳව මැදිහත්වීමට අයිතියක් ඇත. එය ඔවුන් සිය වෘත්තියේ වගකීමක් වශයෙන් ඉටුකළ යුතුමය.

එමෙන්ම ඔවුන් පෙන්වා දෙන හෙළිදරව් කරන දුර්විපාක ගැන සැලකිලිමත් වීම රජයේද වගකීමක් වේ. එසේම මෙම දෙපාර්ශවයේම කි‍්‍රයාකාරකම් දෙස මහජනතාවද බලා සිටින බව අමතක කළ යුතු නැත. වෛද්‍යවරු පෙන්වා දෙන දුර්විපාක යථාර්ථයන් අවබෝධ කර ගැනීමටත්, රජය ඒ පිළිබඳව ක‍්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමටත් මහජනයාට හැකියාවක් තිබෙන බව මෙම දෙපාර්ශවයම තේරුම් ගත යුතුය. කාගේ පාර්ශවය නිවැරදිද යන්න අවසාන ජන විනිශ්චිය වනු ඇත. එම නිවැරදි ජන විනිශ්චයේදී එයට මැදිහත්වී විසඳුමක් ලබා ගැනීම වෛද්‍යවරුන්ට හෝ ශිෂ්‍ය ව්‍යාපාරයට පමණක් සීමා නොවනු ඇත. මෙම සත්‍යතාවය පිළිබඳව දැනුවත් වෙමින් නිසි අවබෝධයකින් සියලූ පාර්ශවයන් කටයුතු කළ යුතු බව මහජනතාවගේ තීරණය වන්නේය. එහෙත් මොනයම් හෝ තත්ත්වයක් යටතේ දැරිය නොහැකි අසම්මත පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරුවීමට ජනතාව කිසිසේත්ම කැමැති නොවන බව අවධාරණය කළ යුතුය. එබඳු ක‍්‍රියා එල්ල වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන්ද වෛද්‍ය වෘත්තිකයන්නේද රජයෙන්ද යන්න ඔවුන්ට විශේෂයක් නොවනු ඇත. අවසාන තීරණය මහජනතාව සතු බැවින් සීමාව ඉක්මවා සිය බාහු බලය යොදා ගැනීම නිසා ජනතාව පීඩාවට පත් නොකිරීමට සියලු පාර්ශවයන් වගකීමෙන් කටයුතු කළ යුතුය.

ප‍්‍රබල වෘත්තීය අරගලයක් බවට පත්ව ඇති මෙම තීරණාත්මක අවස්ථාවේදී රටේ වෘත්තීය සංගම් ව්‍යාපාරයද සිය යුතුකම සහ වගකීම පැහැර හැර සිටින බවක් පෙනේ. අදාල ජනාධිපති උපදේශකයන්ද ගොළුවතම රකිමින් සිටින බවක් පෙනේ. රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය, ප‍්‍රබුද්ධ සංවිධානාත්මක අංශවලින් සමන්විත බවත් එම ව්‍යාපාරයද පුළුල් වශයෙන් ජනතා නියෝජනයක් කරන බවත්, එම ජනතාවද මහජනතාවගේම කොටසක් බවත්, උද්ගත වන පීඩනය සහ අසාධාරණ අපහසුතාවය ඔවුන්ටද පොදු බවත් මෙම උපදේශකයින් සිහියට නඟා ගත හොත් තනිවුන ස්වභාවයකින් මෙම අසහන රැුල්ලට මුහුණ දෙමින් සිටින ජනාධිපතිවරයාට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.