21 September, 2018

Blog

ත්‍රිකුණාමල තෙල් ගබඩා සංකීර්ණයේ නිදාන කථාව

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

ඉඳහිට කථාබහට ලක් වන ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි පිළිබඳ කතිකාවක් ගෙවුණු සතියේ රටේ ඇතිවුණේ, ඛනිජ තෙල් සංස්ථා සේවකයන් දියත් කළ එක්දින වැඩ වැරුමත් සමඟය. වර්ජනයට විෂය වූ කරුණු කාරණා අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ කාරණයක් ද විය. නැ‍ඟෙනහිර පළ‍ාතේ පිහිටි ත්‍රිකුණාමලය අතිශය වැදගත් මර්මස්ථානයක් වී ඇත්තේ මූලිකවම එහි භූදේශපාලනික වැදගත්කම නිසා ය. මේ වැදගත්කම අද ඊයේ ඇතිවූවක් නොවේ. සියවස් ගණනක් ආපස්සට ගමන්කරන්නකි. ත්‍රිකුණාමලයේ අයිතිය ඇත්තා ඉන්දියන් සාගරය හසුරුවන බවට ප්‍රබල මතයක් සමාජගත වී පැවතීමෙන් මෙහි ඇති භූ දේශපාලනික වැදගත්කම මනාව පිළිබිඹු වෙයි. ඒ නිසාම ඍජුව කෙසේ වෙතත් වක්‍රාකාරයෙන් හෝ ත්‍රිකුණාමලය තම පාලනය යටතේ තබා ගැනීමට බොහෝ දෙනා උනන්දු වූහ. ඒ සම්බන්ධව අපගේ අසල්වැසි ඉන්දියාවට තිබූ උනන්දුව අතිශය තාර්කික වූවක් ම විය. වෙනෙකක් තබා උතුරේ සිට වෙනම රාජ්‍යයක් බිහි කිරීමට සිහිනදුටු ප්‍රභාකරන් පවා තම ඊලාම් රාජ්‍යයේ අගනුවර ලෙස තෝරාගෙන තිබුණේ ත්‍රිකුණාමලය ය.

ත්‍රිකුණාමලයේ භූ දේශපාලනික වැදගත්කම ඉහළ නංවන ප්‍රධානතම කාරණය වනුයේ, එහි ඇති වරාය ය. කිලෝමීටර් 56ක් පුරා පැතිරුණු වෙරළ තීරයක් සහිත ත්‍රිකුණාමල වරාය, ලොව හොඳම හා විශාලතම ස්වාභාවික වරායන් අතරින් එකක් ලෙස සැලකෙයි. නැ‍ඟෙනහිර පළාතේ අගනුවර සේ සැලකෙන ත්‍රිකුණාමලයට විශේෂත්වයක් ගෙනෙන තවත් කාරණයක් වනුයේ චීන වරායෙහි පිහිටි තෙල් ගබඩා සංකීර්ණය ය. බටහිර ආසියාව හා සිංගප්පූරුව අතර ඇති විශාලතම තෙල් ගබඩා සංකීර්ණය එයයි. ඓතිහාසික හා ඉහළ උපායීක වටිනාකමක් සහිත ත්‍රිකුණාමල තෙල් ගබඩා සංකීර්ණය දෙවැනි ලෝක යුද්ධයේ දී මිත්‍ර හමුදා විසින් දකුණු හා අග්නිදිග ආසියාවේ මෙහෙයුම් සඳහා ප්‍රයෝජනයට ගැනීමට මනා සැලැස්මක් යටතේ ඉදිකරනු ලැබූ අතර, 1924 වසරේ දී පමණ ඉදිකිරීම් වැඩ අරඹා නවසිය තිහේ දශකයේ අගභාගය වන විට තෙල් ගබඩා සංකීර්ණයේ වැඩකටයුතු අවසන්ව ඇත. මුල් සැලැස්මට අනුව තෙල් ටැංකි 102ක් ඉදිකිරීමට නියමිතව පැවති මුත්, මිථ්‍යා විශ්වාස පෙරදැරිව 100 වන ටැංකිය ඉදිකර නොමැත. දැවිතෙල් ඩීසල් හා භූමිතෙල් ගබඩා කළ හැකි මෙහි එක් ටැංකියක ඉන්ධන ‍ටොන් 12000 ක් පමණ ගබඩා කිරීමේ හැකියාව පවතී. ඒ අනුව එහි සමස්ත ධාරිතාව මිලියන 1.2 සීමාව ඉක්මවයි. එම ඉහළ ඉලක්කම්, ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන ගබඩා පහසුකම් අඟුටුමිට්ටෙකු බවට පත් කර ඇත. අක්කර 850ක වපසරියක් පුරා පැතිර ඇති ගබඩා සංකීර්ණය Lower Tank හා‍ upper Tank යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර, ජැටියේ සිට කිලෝමීටර් දෙකක් ඇතුළත upper Tank හී අවසන් තෙල් ටැංකිය පිහිටා ඇත. සෙස්ස ඇත්තේ ඇතුළට වන්නට ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති, අප්‍රිකානු රටවල්වල කම්කරුවන්ගේ ශ්‍රම දායකත්වය මතින් ගොඩනැඟුණු ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය II ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය භාරයේ පැවති විශාලතම තෙල් ගබඩාව විය. මිත්‍ර හමුදාවන් හා සම්බන්ධ අතිශය තීරණාත්මක සැපයුම් හා මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූ නිසාම මෙය II ලෝක යුද්ධයේදී ප්‍රධාන සතුරු ඉලක්කයක් බවට නිතැතින්ම පත්විණි.

කොළඹට බෝම්බ හෙළා දින 04කට පසු ත්‍රිකුණාමලය තම ඉලක්කය විය යුතු බවට ජපනුන් තීරණය කළේය. ඇතැම්විට කොළඹ ප්‍රහාරය, ත්‍රිකුණාමල ප්‍රහාරයේ පෙරහුරුවක් ලෙස අනුමාන කළ හැකි ය. ත්‍රිකුණාමල ප්‍රහාරය තුළ දී ජපනුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ වරාය හා තෙල් ටැංකි සංකීර්ණය ය. ඒ අනුව 1942 අප්‍රේල් නමවැනිදා, ජපන් ප්‍රහාරක යානාවක් තෙල් ටැංකි සංකීර්ණයට ප්‍රහාර එල්ල කළ මුත්, ප්‍රතිප්‍රහාර සඳහා ද සූදානමක් තිබූ බැවින් එය අසාර්ථක විය. ප්‍රතිප්‍රහාර දරුණුවෙත් ම ජපන් යානාවේ නියමුවා වූ ෂිජෙනෝරී වටනාබේ, තම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු ද සමඟින් 91 වන ටැංකියේ තම යානය හැප්පවීමට කටයුතු කළ බව කියවෙයි. එය එක්තරා ආකාරයක සියදිවි නසාගැනුමක් විය හැකි බව බොහෝදෙනාගේ අදහසයි. ගුවන් යානය කඩා වැටීමත් සමඟ වනාන්තරයේ කෙළවරට වන්නට පිහිටා තිබූ 91 වන ටැංකියට‍ දරුණු හානි ගෙන දෙමින් විනාශයට පත්විය. ඒ නිසා ඇතිවූ ගින්න දින 07ක් අල්ලාගෙන සිටිමුත් මේ ටැංකි ඉදිකිරීමේදී එහි සැලැස්ම එකිනෙකට වෙනස් වූ බැවින් එක් ටැංකියක් ගිනි ගත්තාය කියා එය අනෙක් ඒවා කරා පැතිරුණේ නැත. අඟලක් පමණ වන ඝන වානේ තහඩුවක් සහිතව ටැංකි ඉදිකර තිබූ අතර වරාය ආසන්නයේ ඇති ටැංකි අඩියක් පමණ ඝන කොන්ක්‍රිටි කවයකින් වැසිය හැකි ආකාරයට නිර්මාණය කර තිබිණි. අප මේ සියලු ඉතිහාස විස්තර ඔබට ඉදිරිපත් කරනුයේ මෙහි ඇති උපායික වැදගත්කම විස්තර කෙරුමට ය.

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වූ පසු මෙහි අයිතිය ලංකාවට හිමි වුවත් එහි සම්පූර්ණ ධාරිතාව භාවිතා කිරීමට තරම් විභවතාවක් අවශ්‍යතාවක් කිසිදා අපට තිබී නොමැත. මුහුදට ළංව පිහිටි තෙල් ටැංකි හැරුණු විට සෙස්ස භාවිතයට නොගැනීම තුළ සැබවින් ම සිදුවූයේ ස්වභාවධර්මය විසින් එය ආක්‍රමණය කෙරුම ඇරඹීමය. ගුවනේ සිට බලන විට පවා තෙල් ටැංකි සංකීර්ණය, පහසුවෙන් හඳුනාගත නොහැකි ආකාරයට ලඳු කැලෑවකින් වැසී තිබීම එම ආක්‍රමණයේ තරම පෙන්වන කදිම සාක්ෂියකි. තමන්ගේ පරණ පිනකට කඩාවැටුණු මෙම තෙල් ටැංකි සංකීර්ණය මහා ධන උල්පතක් වුවද එය කළමනාකරණය කරගැන්ම සම්බන්ධව ශ්‍රී ලංකාවට තිබූ උනන්දුව, සතුටුදායක මට්ටමක නොවුණි. විශේෂයෙන් ම මෙහි සමස්ත ධාරිතාව අපේ අවශ්‍යතාවන්ට වඩා සෑහෙන ඉහළින් පැවතීම තුළ තමනට අවශ්‍ය දේ පමණක් ඉටුකරගෙන මෙය පවත්වාගෙන යෑම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකා රජයට නොවුණි.

අපේ පාලකයන් එසේ මේ සම්බන්ධයෙන් දෙලොවක් අතර සිටි මුත් අසල්වැසි ඉන්දියාව නම් මේ වෙත නිරන්තර බැල්ම යොමා තිබුණි. ඉන්දියාවේ එම උනන්දුව කාරණා කිහිපයක් මත නිර්මාණය වී තිබිණි. ඉන්දියාව සැලකෙනුයේ ආසියාවේ විශාලතම තෙල් ආනයනය කරන රටක් ලෙස ය. විශාල නැව්වලින් රැගෙන එන ඉන්ධන ගබඩා කිරීමට හා කුඩා නැව් ඔස්සේ ඒවා රටේ විවිධ ස්ථාන වෙත යැවීමට ත්‍රිකුණාමලය ඉන්දියාවට කදිම තේරීමක් විය. අනෙක් අතට මේ පිටුපස හමුදාමය අවශ්‍යතාවක් ද විය. ත්‍රිකුණාමලයේ උපායික පිහිටීම තුළ තම “සතුරන්” එහි රිංගනු දැකීම ඉන්දියාව නොරිස්සුවේය. අසූව දශකයේ ආරම්භයේදි එල්ටීටීඊය නැඟිටීමට සැරසෙද්දී එය මර්දනය කිරීම සඳහා එවකට පැවති ජයවර්ධන රජය පාකිස්තානයෙන් හා ඊශ්‍රායලයෙන් සහාය ලබා ගත්තේය. ඊට අමතරව ඇමරිකාව සමඟ සහයෝගයෙන් වැඩ කළ ජයවර්ධන රජය “ඇමරිකා හඬ” ගුවන්විදුලි මධ්‍යස්ථානයක් හලාවත ආසන්නයේ ඇති ඉරණවිල ප්‍රදේශයේ ඉදිකිරීමට අවසර දීම වෙනුවෙන් ගිවිසුමක් ද අත්සන් කළේය. ගුවන්විදුලි මධ්‍යස්ථානයක ලේබලය යටතේ බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමක් ලෙස ඉන්දියාව එය සැලකුවේය. මේ අතර, ඇමරිකාවේ මැදිහත්වීම පිළිබඳ සැක උපදවන තවත් සිදුවීමක් එම කාලයේ දීම සිදුවුණි. ඒ, ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අලුත්වැඩියා කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක ඇමරිකානු එක්සත් ජනපද ආවරණ සංවිධානයකට ලබාදීමය. මෙම කොන්ත්‍රාත්තුව ලබා ගැන්ම වෙනුවෙන් ඉන්දියාව ද මහත් උනන්දුවක් දැක්වූ අතර ඒ සඳහා ඇමරිකානු සමාගමට වඩා අඩු ලංසුවක් ද තමන් ඉදිරිපත් කළ බව ඉන්දීය බලධාරිහු එකල පවසූහ. එබඳු පසුබිමක් තුළ තමනට කොන්ත්‍රාත්තුවක් නොලැබීම ඉන්දියාවේ “රතු කට්ට” පැන්නවීමට සමත්විය. ඉන්දියාවේ එම අසහනයට පිළියමක් දෙමින් ත්‍රිකුණාමලය තෙල් ගබඩා කිරීමේ සංකීර්ණය නඩත්තු කිරීමේ අවස්ථාවක් ඉන්දියාවට ලබාදෙන බවට පසුව ශ්‍රී ලංකා රජය ප්‍රතිඥාවක් 1985 දී ලබාදුන් මුත් 1987 තෙක්ම එය ප්‍රායෝගික ඇත්තක් බවට පත් වූයේ නැත. ඒ නිසාම ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය පිළිබඳ ඇති තම අභිලාෂයන් ආන්දෝලනාත්මක ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ සාධනය කරගැනුමට ඉන්දියාව පිඹුරුපත් සැකසුවේය. එම කුප්‍රකට ගිවිසුමේ ඇමුණුමේ කොටසක් ලෙස ත්‍රිකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වූ හවුල් ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක කරනු ඇත, යනුවෙන් සඳහනක් ඇතුළත් කරමින් ඔවුහු එය ඉටුකරගත්හ. 1987 ජූලි 29 වැනි දින ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය වෙත ප්‍රවේශවීම සම්බන්ධව නෛතික අනුමැතියක් හිමිවුවද එය ගිවිසුමකට පමණක් සීමා කරමින් ඔවුහු වසර පහළොවක් කල් මැරූහ.

ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් ප්‍රතිපාදන අනුව යමින් 2003 වසරේදී හවුල් ව්‍යාපාරයක් ලෙස ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇරඹුවේය. 2002 වසරේදී ඉන්දියානු සංචාරයක නිරත වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉන්දියාවට විවෘත ආරාධනයක් සිදු කළේය. සුපැහැදිලිවම එය ඉදිරි අනාගතය දෙස බලමින් කළ ඉල්ලීමක් ම විය. ඒ වන විට සටන්විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙමින් පැවති මුත්, අනාගත යුද්ධයක් පිළිබඳ අවධානය යොමු කරමින් එල්ටීටීඊ ය පාලනය කරගැනීමේ අරමුණින් එය සිදුකළා විය හැකිය. ත්‍රිකුණාමලය වෙත එල්ටීටීඊ ය ලබා දී තිබූ ඉහළ වටිනාකම පිළිබඳ තක්සේරුවක් වික්‍රමසිංහ මහතා තුළ විය. ඒ නිසාම ඔහු උපායික ගනුදෙනුවකට ඉන්දියාවට ඇරැයුම් කළේය. රිලයන්ස් වැනි පෞද්ගලික සමාගමක් ඔස්සේ තෙල් ටැංකි හැසිරවී‍ෙම් බලය ලබා ගැනීමට ඉන්දීය රජය මුලදී උනන්දු වුවද එරට ආණ්ඩුව හා සම්බන්ධ අයි.ඕ.සී, සමාගම ගනුදෙනුව සඳහා ඇතුළුවීම වඩාත් යෝග්‍ය බවට වික්‍රමසිංහ මහතා අවධාරණය කළ කාරණය අවසානයේ ඉන්දියාව පිළිගත්තේය. ඒ අනුව 2003 පෙබරවාරි හත්වැනිදා අස්සන් කළ ගිවිසුමක් මත තිස්පස් වසරක බදු පදනමක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අයි.ඕ.සී. සමාගම වෙත ලබාදීම සිදුවිණි. ගිවිසුම ප්‍රකාරව වාර්ෂිකව ඩොලර් ලක්ෂයක මුදලක් සමාගම ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු විය. ජාතික හා ආරක්ෂක අවශ්‍යතාවලදි ශ්‍රී ලංකා රජයට ප්‍රවේශ වීමේ හැකියාව සහිතව පරිශ්‍රය බදු දී තිබුණි. මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා අයිඕසීය ගිවිසුමට අත්සන් කර තිබූ අතර ඒක පාර්ශ්වීය ගිවිසුම අවලංගු කළ නොහැකිවීම විශේෂත්වයක් විය.

ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය පැවරීම සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය ඒ හැටි ප්‍රසාදයක් නොවූ අතර මුළුමනින්ම එය ඉන්දියාවට ලබාදෙනවා වෙනුවට සිංගප්පූරුව, ජපානය, ඉන්දියාව වැනි රටවල් කිහිපයක් ඒ සඳහා සම්බන්ධ කර ගැනීම වඩාත් සුදුසු බව ඇගේ තර්කය විය. නමුත් ගිවිසුම අස්සන් කර වසර 14ක් ගතව තිබියදීත් එය අවලංගු කිරීමට කිසිවකු කටයුතු කළේ නැත. දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් මත ඉන්දියාවේ සහාය හා පිළිගැනුම අන්තර්ජාතික තලයේ දී තමන්ට අහිමිවීම තුළ ඇතිවූ “විරහ වේදනාව” තුළ, තම පාලනයේ අවසන් සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම පැවරීම පිළිබඳ කඳුළු සැලුමුත් ‍ගිවිසුම අහෝසි කිරීමට ඔහු කටයුතු කළේ නැත. ඒ සඳහා නෛතික හැකියාවක් අන්තර්ජාතික පර්යාය තුළ නොමැති බව ඔහු හොදින් දැන සිටියේය. ගිවිසුම අහෝසි කරන බව පිටතට කියමින් වාර්ෂිකව අයිඕසී සමාගමෙන් රුපියල් ලක්ෂය බැගින් ගාස්තු ලබාගැන්ම ඔහුගේ රජය ද කරගෙන ගියේ ය.

ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයේ සම්පූර්ණ ධාරිතාව අපට භාවිත කළ නොහැකි පසුබිමක එය ඔහේ පැත්තකට කර තබනවා වෙනුවට ඒ සඳහා විභවතාවක් සහිත කණ්ඩායමකට අපට අවාසි නොවන කොන්දේසි යටතේ බදු දීමෙහි වරදක් අපට නම් ‍නොපෙනේ. අයිඕසී සමාගම පසුගිය 2016 – 2017 වසරේදී පමණක් රුපියල් බිලියන 30ක් බදු වශයෙන් ගෙවා තිබේ. ඒ රුපියල් බිලියන 80ක ආදායමක් උපයමිනි. අයිඕසී සමාගම රටේ තෙල් බෙදාහැරීමේ කටයුත්තට එක්වූ පසු ඉන්ධන පිරවුම්හල්හී ඇතිවූ වෙනස “ප්‍රශස්ත” මට්ටමක පවතී, ඒ වෙනසට අනුගතවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්දන පිරවුම්හල්වලට ද අවසානයේ සිදු විණි. ර‍ෙට් මුළු ඉන්ධන පිරවුම්හල්වලින් 1/3ක් පමණක් වන අයිඕසීය රුපියල් බිලියන 30ක් වාර්ෂිකව රජයට බදු ගෙවද්දි එම තෙල්ම ගෙන්වන මුළු සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට වඩා ප්‍රමාණයක් ඉන්ධන පිරවුම්හල් සහිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවමත් වාර්ෂිකව බිලියන ගණනින් පාඩු පිට පාඩු ලබයි. මරාගෙන මැරීමට සූදානම් වෘත්තිය සමිති එම පාඩුව අවම කරගැනීමට උනන්දු නොවීම ගැටලුසහගතය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    චාමර, බොරු ලියන්න එපා. “අයිඕසී සමාගම පසුගිය 2016 – 2017 වසරේදී පමණක් රුපියල් බිලියන 30ක් බදු වශයෙන් ගෙවා තිබේ.” සහ “… ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවමත් වාර්ෂිකව බිලියන ගණනින් පාඩු පිට පාඩු ලබයි.” කියල ලිව්වහම සාමාන්‍ය ජනතාවගෙ ඔලුවට යන්නෙ IOC සමාගම ‘කෝපරේෂන් ටැක්ස්’ වශයෙන් රුපිියල් බිලියන 30 ක් ගෙවනවා සංස්ථාව සත පහක් වත් රජයට බදු ගෙවන්නෙ නැහැ කියලය්.

    IOC සහ සංස්ථාව යන සමාගම් දෙකම ඉන්දන සඳහා එක හා සමාන ‘Excise duty’ යක් ගෙවනවා. 2014ට පෙර මහින්ද කාලයෙදී බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල US$ 110/- කට වැඩිය්. 2014 නොවැම්බරයේ දී මහින්ද රජය ඩීසල් ලීටරයට රු.3.46 ක සහ පැට්රෝල් ලීටරයට රු. 9.20 ක ‘Excise duty’ අය කලා. 2015 (රනිල්/සිිරා බලයට පත් උන දා සිට) ලොව බොරතෙල් මිල සීග්‍රයෙන් අඩු උනා. 2017 ජනවාරි 19 බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල US$ 28.0 කට බැස්සා. ලෝක වෙළඳපොලේ තෙල් මිල සීග්‍ර ලෙස පහල ගියත් රනිල්/සිරිසේන රජය ඒ හා සමානව පැට්රෝල් සහ ඩීසල් මිල අඩුකලේ නැහැ. 2016 මාර්තු වන විට සිරිසේන/රනිල් රජය ‘Excise duty’ 200% ක් සහ 500% ක් වැඩි කර ඩීසල් වලින් රු. 17.33 ක්ද පැට්රෝල් වලන් රු. 21.48 උපයා ගත්තා.

    2015 අප්‍රියෙල් මාසයට පමණක් සමාගම් දෙකෙන්ම රජය ‘Excise duty’ ලෙස රු. බිලියන 2.4 ක් උපයාගෙන තිබෙන අතර 2016 අප්‍රිියෙල් මාසයේදී පමනක් එම අාදායම රු. බිලියන 17.2 ක් ලෙස ඉහල ගිය බවත් Economy Next 2017 අප්‍රියෙල් 30 කලාපය කියනවා. ඒ කියන්නෙ 2016 වසර සඳහා IOC සහ සංස්ථාව ඉන්දන බදු (Excise duty) US$ බිලියනයකට වඩා ගෙවා තිබෙනවා. ඒ සල්ලි වලට යහපාලනය මොකද කලේ?

    තෙල් ටැංකි ඉතිහාසයක් ගැන ලියමින් චාමරල මේ කරන්නෙ පාඩු ලබනවා කියමින් සංස්ථාව විකිනීමට කරැපය්යලට පාර කපා දීමය්. සංස්ථාව වෙළදාමෙන් පාඩු ලබන්නෙ සහන දීම සහ දේසපාලන අැඟිලි ගැසීම් සහ අකාර්යක්ෂම පාලනය නිසා බවත් සහ IOC ලාබ ලබන්නෙ කපටි විදියට බිස්නස් එක අඹරන නිසා බවය් මගේ අදහස. කල යුත්තෙ මෙයය්: සංස්ථාවට ලාබ ලබන්න බැරි අැයි කියල කොමිසමකින් සොයා බලා පිළියම් යෙදිම මිස රටේ දේපොල විකුනාගෙන කෑම නොවෙය්.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.