Colombo Telegraph

ශ්‍රීලනිප අර්බුදය: මෙතැනින් කොතැනට ද?

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ආධිපත්‍යය’ නතු කරගැන්ම වෙනුවෙන් වන මෛත්‍රී – මහින්ද ගැටුම තීරණාත්මක කඩඉමකට පැමිණ ඇති බව පෙනෙන්නට ඇත. හිටපු ජනාධිපතිවරයාට හිතවත් ආසන සංවිධායකවරුන් තනතුරුවලින් ඉවත් කරමින් එම ඇබෑර්තු තම විශ්වාසවන්තයන්ගෙන් පුරවමින් පක්ෂ අභ්‍යන්තරය තුළ තම “තැන” තහවුරු කරගැනීම වෙනුවෙන් වන ජනාධිපතිවරයාගේ උත්සාහයට පෙරළා, පිළිතුරු ලැබෙමින් පවතී. දින දෙක තුනකට වරක් ශ්‍රීලනිප ආසන සංවිධායකවරයකු ධුරයෙන් ඉවත්වීම මේ වන විට සාමාන්‍යකරණය වී තිබේ. එසේ කරමින් මාධ්‍ය අවකාශයේ ඉඩ අල්ලා ගැනීමට තැත්කරන මේ බොහෝ දෙනා, සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට නියමිතව සිටි අය බැවින් එහි ඒ හැටි ප්‍රවෘත්තිමය වටිනාකමක් නොමැති වුවද මාධ්‍ය කේන්ද්‍රීය ලෝකයක් තුළ ලබාගත හැකි සුළු වාසිය හෝ ලබා ගැනීම හිටපු ජනාධිපතිවරයාව ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායමේ උපාය උපක්‍රමය වී ඇත. ඒ කෙසේ වෙතත් එක දෙයක් නම් සුපැහැදිලිය. ඒ ශ්‍රිලනිපයේ බෙදීම අනිවාර්ය බවය.

පිටතට කුමක් කීව ද පක්ෂ කැඩීම යනු මහින්ද රාජපක්ෂට අමුතු දෙයක් නොවේ. ඔහුගේ ඉතිහාස කථාව පිරි ඇත්තේ එබඳු සිදුවීම්වලිනි. ජනාධිපති ධුරයේ සිටියදී තම පැවැත්ම වෙනුවෙන් එජාප, ජවිපෙ ඇතුළු ප්‍රධාන දහරාවේ පක්ෂ කිහිපයකම බෙදීම් ඇතිකළ මහින්ද අද තම පැවැත්ම වෙනුවෙන් තව දින කිහිපයකින් හැටපස් වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ඒ ආනිසංසයම කිරීමටම සූදානමින් සිටී. සැබැවින්ම එය දෛවෝපගතය. මෙරට පරම්පරා තුන හතරක ඉතිහාසය සමඟ බැඳී ඇති ශ්‍රීලනිපය, මෙම අර්බුදය සමනය කරගන්නා ආකාරය මත එහි ඉදිරි අනාගතය තීරණය වන බැවින් වර්තමානයේ ඇතිව ඇති මෙම ගැටුමට වැඩි වටිනාකමක් හිමිව පවතී.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ නායකත්වය, ප්‍රශ්න කරන රාජපක්ෂ හිතවාදීන් තමන්ගේ එම තර්කය සාධාරණීකරණය කරනුයේ ඔහු එජාපය සමඟ හවුලේ ආණ්ඩු කිරීම දැඩිව ප්‍රශ්න කරමිනි. ඔවුන්ගේ මූලික විරෝධය ගොනුව ඇත්තේ එම කාරණය කේන්ද්‍රගතවය. එය කෙතරම් සාධාරණ ද? වත්මන් ජනාධිපතිවරයාව බලයට රැගෙන ඒම වෙනුවෙන් අවම තරමින් අබ ඇටයක හෝ දෙයක් නොකළ කණ්ඩායමකට එබඳු ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හැකි ද? සදාචාරමය මානයෙන් ගත් කල පිළිතුර නැත යන්නය. නමුත් සදාචාරමය නියමයන්ට ඒ හැටි තැනක් නොමැති ජනප්‍රියවාදී දේශපාලනය තුළ මෙවැනි තර්ක ඉල්ලීම් මතුවීම අරුමයක් නොවේ. සාධාරණ අසාධාරණ භාවය කෙසේ වෙතත් යමෙකුට එවැනි ඉල්ලීමක්, තර්කයක් ගොඩනැගීමේ ඉඩකඩ පවතී. වත්මන් ජනාධිපතිවරයාව බලයට රැගෙන ඒමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළේ එජාපය බව ප්‍රශ්න විරහිතය. පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේදී තම අපේක්ෂකත්වය කැප කරමින්, පොදු අරමුණු පෙරදැරිව පොදු අපේක්ෂකයකු තරගයට ගෙන එමින් එය සාර්ථක කරගැන්ම වෙනුවෙන් තම සියලු ශක්තීන් ක්‍රියාවේ යොදවමින් සටනක් නොතිබූ තැනක සටනක් නිර්මාණය කළේ එජාපයය. සිවිල් සමාජ කණ්ඩායම් සංවිධාන සෙසු පක්ෂවලින් ලැබුණු සහයෝගය එය මහා සමාජ බලවේගයක් බවට අවසානයේ පත්කළේ කිසිදා පැරදවිය නොහැකි බවට පුරාජේරු කථා කියමින් ආත්ම වර්ණනාවන්හි නිරත වූ පාලකයකු “ගෙදර” යවමිනි. තමන් බලයට ගෙනා එම බලවේගය සමඟ ඇති ජනාධිපතිවරයාගේ බැඳීම සුළු සුළු මත ගැටුම් මධ්‍යයේ වුවද තවමත් ශක්තිමත්ය. මෙහිදී අමතක නොකළ යුතු වැදගත්ම කාරණය වනුයේ එම සහසම්බන්ධය නිර්මාණය වූයේ ඔහු ශ්‍රීලනිප නායකත්වයට පත්වීමට පෙර සිටම බවය. ජනාධිපතිවරණයට තරග වැදීමට ඇති තම සූදානම ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රීලනිපය ගැන අද කිඹුල් කඳුළු හෙළන ඊනියා නායකයන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සැලකු ආකාරය තවම රටට අමතක නැත. ශ්‍රීලනිපය තුළ තාර්කිකව ගොඩනැඟුණු ඔහුගේ දේශපාලනය, පක්ෂය වෙනුවෙන් කළ සේවාව, එක රැයකින් අමතක කිරීමට එදා ඇතැම්හු කටයුතු කළහ. එජාපය සමඟ ඇති මිත්‍රත්වය එම සම්බන්ධය නතර කළ යුතු බව කියමින් ජනාධිපතිවරයාට “තර්ජනය” කරමින් සිටිනුයේ එබඳු කණ්ඩායමකි. ශ්‍රීලනිපයට එජාපය සමඟ හැමදාමත්, ඓතිහාසික වෛරයක් “ඇරියස්” එකක් පැවතිය යුතු බව විශ්වාස කරන මෙම කණ්ඩායම, අමතක කරන එක් කාරණයක් සිහිපත් කිරීමට කැමැත්තෙමු. ඒ මෛත්‍රීපාල සිරිසේනට පෙර මහින්ද රාජපක්ෂ ද එජාපය සමඟ ගිවිසුම්ගතව රට පාලනය කළ බවය. එය හොර රහසේ අත්සන් කළ ගිවිසුමක් නොවූ අතර, ජය සක් හඬ මධ්‍යයේ මාධ්‍ය ඉදිරිපිට සිදු වූවකි. මීට වසර දහයකට පෙර 2006 වසරේ ඔක්තෝබර් විසිතුන් වැනිදා අරලියගහ මන්දිරයේදී ඒ සඳහා වූ අවබෝධාත්මක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මහින්ද රාජපක්ස මහතා පැවසුවේ එය සමස්ත දකුණු ආසියාවටම දිදුලන ආදර්ශයක් බවය. ජාතික වශයෙන් වැදගත්කමක් සහිත කාරණා කිහිපයක් පාදක කරගනිමින්, එදා ඇතිකර ගත් එම ගිවිසුම සම්බන්ධයෙන් අද ගිරිය පුප්පගෙන උස් හඬින් එජාපයට එරෙහිව කෑගසන මහින්ද පිලේ එකදු හෝ සාමාජිකයෙකු කිසිවක් කීවේ නැත. එම නිසා ඔවුන්ගේ මෙම එජාප විරෝධය යනු කිසිදු පදනමක් නැති බැරැරුම්ව ගත යුතු තර්කයකට වඩා වැඩි දෙයක් නොවේ.

අනෙක් අතට ශ්‍රීලනිපය වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුවද සූදානම් බව කියන මහින්ද රාජපක්ෂ බලයේ සිටියදී පක්ෂය පාලනය කළේ අමුතුම ආකාරයටය. ඔහුගේ නව අවුරුදු පාලන කාලය තුළ ශ්‍රීලනිපය වෙනුවට නිරතුරුවම මතු වූයේ රාජපක්ෂ සන්නාමයය. තම නව වසරක පාලනය කාලය තුළ එකදු හෝ මැතිවරණයකට පක්ෂයේ “අත” ලකුණින් තරග නොකිරීමට වග බලාගත් හිටපු ජනාධිපතිවරයා, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කපා දමමින් තම හිතවතුන්ගෙන් පක්ෂයේ තනතුරු පිරෙව්වේ විදුලි වේගයෙනි. අතිදුෂ්කර දැඩි අවාසිදායක කොන්දේසි මධ්‍යයේ වුවද දේශපාලන සන්ධාන ගොඩනැඟීමේදී එජාපයට තම අනන්‍යතාව වූ “අලියා” ලකුණ රැකගැන්මට තිබු උනන්දුව හා හැකියාව “අත” ලකුණ සම්බන්ධයෙන් මහා බලසම්පන්න යැයි කියූ ජනාධිපතිවරයකුට එදා නොතිබිණි. පවතින දේශපාලන සන්දර්භය තුළ දේශපාලන සන්ධාන ගොඩනඟා ගැනීම යනු බැහැර කළ නොහැකි සංසිද්ධියක් වන මුත් එහිදී තම පක්ෂ අනන්‍යතාව විනාශ කර නොගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට තිබු ධෛර්යය හා පෞරුෂය මහින්ද රාජපක්ෂට තිබුණේ නැත. තම ශක්තිය මතින් පක්ෂය ගොඩනඟනවා වෙනුවට ඔහු ඊට ඔහේ යන්නට ඉඩ හැරියේය. තම දෙමවුපියන් සිහි කර රජයේ මුදලින් කෞතුකාගාර ඉදිකිරීමට තිබු උනන්දුව අවම තරමින් පක්ෂ මූලස්ථානය ඉදිකිරීම සම්බන්ධයෙන් හෝ ඔහුට තිබුණේ නැත. රාජපක්ෂ සමයේ, ශ්‍රීලනිපය තුළ එහි සාම්ප්‍රදායික නායකයන්ට කිසිදු තැනක් හිමි නොවුණ අතර, පිටතින් තම නායකත්වය සම්බන්ධයෙන් පීඩනයක් එල්ල වීම වළක්වා ගැන්ම වෙනුවෙන් තම හිතවතුන්ගෙන්, ඥාතින්ගෙන් එය පිරවීමට හිටපු ජනාධිපතිවරයා වුවමනාවෙන්ම කටයුතු කළේය.

“ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු” නමැති අලුත් තනතුරක් හඳුන්වා දෙමින් රත්නසිරි වික්‍රමනායක, ඒ. එච්. එම්. ෆවුසි වැනි ශ්‍රීලනිප දේශපාලනය තුළ තාර්කික ඉතිහාසයක් සහිත නායකත්ව පසුපසට දැමු, මහින්ද ඒ වෙනුවට වැඩි විශ්වාසයක් තැබුවේ එජාපයේ සිට තමන් වෙත ආ “අලුත් මිත්‍රයන්” කෙරෙහිය. ප්‍රමෝෂන් වෙනුවට ඒ ඇතැමෙක්ට ඩබල් ප්‍රමෝෂන් ලැබිණි. පාලන තන්ත්‍රයේ වැදගත් තැන් ලැබුණේ එසේ පැමිණි අයටය. රනිල් වික්‍රමසිංහ සමයේ සාමාන්‍ය ඇමැතිකමක් දැරු රෝහිත බෝගොල්ලාගමට විදේශ අමාත්‍ය ධුරය පිරිනැමීමට තරම්, මහින්ද ත්‍යාගශිලී විය. ජී. එල්. පීරිස්, මහින්ද සමරසිංහ, එම්. එච්. මොහොමඩ්, ගාමිණි ලොකුගේ, මිලින්ද මොරගොඩ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පී. දයාරත්න, ධර්මදාස බණ්ඩා, රාජිත සේනාරත්න, බන්දුල ගුණවර්ධන, දුමින්ද සිල්වා, හේමකුමාර නානායක්කාර වැනි එජාපයෙන් කරණම් ගැසුවන්ට ලොකු ලොකු වගකීම් හිමිවෙද්දී 2005 දී මහින්දව ජනාධිපති පුටුවට රැගෙන ආ බලවේගයට ඉතුරු වූයේ සුසුම්ලෑම පමණි. මහින්ද දේශපාලනිකව කෙතරම් “ගුණමකු” පුද්ගලයකු ද යන්න ඔහු අනුර බණ්ඩාරනායකට සැලකු ආකාරයෙන් පෙනී යයි. අනුරගේ දීර්ඝ කාලීන මිතුරෙකු වූ මහින්ද, බණ්ඩාරනායක පවුලේ බඩපිස්සාව රටේ නායකත්වයට ගෙන ඒම වෙනුවෙන් මුලදී පෙනී සිටිම් කළමුත් තමනට දේශපාලන බලය හිමි වූ පසු ඔහු අනුරට සැලකුවේ ඊට සපුරා වෙනස් ආකාරයටය.

මහින්ද ජනපති වූ පසු අනුරට අග්‍රාමාත්‍ය ධුරය හෝ විදේශ අමාත්‍ය තනතුර ලැබෙතැයි බොහෝ දෙනා අනුමාන කළ ද ඔහුට පිරිනැමුණේ සංචාරක ඇමැති ධුරයය. පසුව ජාතික උරුමයන් ඇමැති ධුරයට අනුරව පත් කළ අතර 2007 පෙබරවාරි 7 දා එයින් ද ඔහුව ඉවත් කරන ලදී.

එජාපයෙන් ශ්‍රීලනිපයට එක් වූවත් රජය තුළ තහවුරු කිරීමට සමගාමීව මහින්ද ඔවුන්ට ශ්‍රීලනිප ආසන සංවිධායක ධුර පිරිනමමින් දේශපාලනිකව ද එම කණ්ඩායම ශක්තිමත් කළේය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, බෙනට් කුරේ, චන්දන කත්‍රිආරච්චි, එදිරිවීර වීරවර්ධන, ගාමිණි තිලකසිරි, රංජිත් සෝමවංශ වැනි ශ්‍රීලනිප දේශපාලනය තුළ දීර්ඝ ඉතිහාසයක් සහිත පුද්ගල චරිත ගණනාවකටම මේ හේතුවෙන් පියවර ගණනාවක් ආපස්සට යෑමට සිදු විණි. මහ දවාලේ සිදුවුණු එම අසාධාරණයන්ට විරුද්ධව සුළු හෝ ප්‍රතිවිරෝධයක් ශ්‍රීලනිපය තුළින් මතු නොවූ අතර ඉහත කී වින්දිතයෝ ද ස්වකැමත්තෙන් තමන්ට සිදු වූ අසාධාරණය ඉවසා සිටියහ. ඒ තරමටම මහින්ද රාජපක්ෂ පක්ෂය යනු තමන් බව කරගෙන තිබිණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්‍රීලනිප නායකත්වය අද අභියෝගයට ලක් කරමින් සිටිනුයේ එසේ මහින්ද රාජපක්ෂ පක්ෂය තුළ තහවුරු කළ කණ්ඩායම වීම විශේෂත්වයකි.

මහින්ද හිතවාදී කණ්ඩායමෙන් එල්ල වන්නා වූ මේ අභියෝගය පිළිබඳ අවබෝධයක් ජනාධිපතිවරයාට නොතිබුණා නොවේ. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂව දේශපාලනිකව දුර්වල කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උත්සාහයන් කිහිපයක් ගත් මුත් එය ඒ හැටි සාර්ථකත්වයක් අත්පත් කර නොගත් තරම්ය. විනය පරීක්ෂණ පවත්වන බව කියමින්, සාමාජිකත්වය අත්හිටුවන බව කියමින් යම් ක්‍රියාමාර්ග කරා සිරිසේන මහතා එළඹුණ ද පොදුවේ ගත් විට ඒ තුළ දක්නට ලැබුණේ මෘදු ප්‍රතිපත්තියකි. ඒ නිසාම රාජපක්ෂ හිතවාදීහු එය ප්‍රයෝජනයට ගනිමින් අවසානයේදී ජනාධිපතිවරයා පවා දේශපාලනිකව විවේචනය කරන තැනට ගමන් කරන ලදී. තීරණාත්මක තීන්දුවක් ගැනීමට මෛත්‍රීට බල කළේ එම කාරණයය.

ශ්‍රීලනිපය තුළ තම බලය තහවුරු කරගැනීමට සිරිසේන මහතා දරන උත්සාහය තුළ ඔහු ගත් යම් යම් පියවර සම්බන්ධයෙන් විවේචන එල්ල වී නැත්තේ නොවේ. විශේෂයෙන්ම රාජපක්ෂ සමයේ බලය අයුතු ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වූ නිමල් ලංසා, එරාජ් ප්‍රනාන්දු වැන්නන්ට ආසන සංවිධායක ධුර පිරිනැමීම සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේ දැඩි පිළිකුලකි. නමුත් මේ තීරණාත්මක මොහොතේ පක්ෂය තුළ තම ආධිපත්‍යය තහවුරු කරගැනීමට යන ගමනේදී එබඳු අමිහිරි තීරණ ද ඔහුට ගැනීමට සිදුව තිබේ. දේශපාලන බලයේ ස්වභාවය එයයි. බලය අත්පත් කරගැනීමට කරන සටන අහිංසක වෙතැයි අනුමාන කිරීම විහිළුවකි. පක්ෂ නායකයා ලෙස ඔහුට ගනුදෙනු කිරීමට සිදුව ඇත්තේ පවතින පක්ෂය හා එහි ක්‍රියාකාරීන් සමඟය. එබැවින් බරපතළ වෙනස්කම් පිළිබඳව අපේක්ෂාවන් මේ මොහොතේ තබා ගැනීමට නොහැකි තරම්ය.

මෙම අර්බුදය තුළ වඩාත් වැදගත් වනුයේ මහින්ද රාජපක්ෂ කුමක් කරාවි ද යන්නය. ඔහු වටා සිටින බොහෝ දෙනා විශ්වාස කරනුයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය තුළ හිටපු ජනාධිපතිවරයාට හා තමන්ට තවදුරටත් ගමනක් නොමැති බවය.

එබැවින් ඔවුන් යෝජනා කරනුයේ හා වැඩි කැමැත්තක් දක්වනුයේ නව පක්ෂයක් පිහිටුවීම කෙරෙහිය. එහිදී පැන නඟින ගැටලුව වනුයේ මහින්ද ඊට කැමැති වේද නැද්ද යන්නය. පිටතට මහා කථා කීව ද මහින්දගේ දේශපාලන අරමුණ පටුය. ඔහුට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ තම පුත් නාමල් රාජපක්ෂව දේශපාලනිකව නායකයකු ලෙස ඉදිරියට ගෙන ඒමය. පිටතට ප්‍රසිද්ධියේ නොකීව ද ඇත්ත එයය. එබඳු අරමුණකින් කටයුතු කරන්නෙකු ශ්‍රීලනිපයෙන් පරිබාහිරව නව පක්ෂයක් පිහිටුවීමකට කැමැති වෙතැයි යන්න සිතීම ගැටලු සහගතය. එය පැහැදිලිවම අවාදනම් සහගත තීන්දුවකි. කෙසේ වෙතත් මෙහිදී තමන්ව ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායමේ අවශ්‍යතාවට පිටුපෑමේ හැකියාවක් ද හිටපු ජනාධිපතිවරයාට නොමැත. එම තත්ත්වය තුළ නව පක්ෂයක් පිහිටුවීම නමැති කාරණය සම්බන්ධයෙන් ඔහු සිටිනුයේ ‘ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තා නසි’ අස්ථානයේය. පළාත් පාලන මැතිවරණය ද තව මාස කිහිපයකින් පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඔහුට මේ ගැන තව දුරටත් දෙකට දෙවාරයේ සිටිය නොහැක. සැබැවින්ම මෙය හිටපු ජනාධිපතිවරයා හමුවේ ඇත්තේ “ලිට්මස්” පරීක්ෂාවකි. නව පක්ෂයක් පිහිටුව‍ුවහොත් සිදුවන එක දෙයක් නම් ස්ථිරය. ඒ ශ්‍රීලනිපය නියෝජනය කළ සාමාජිකයන්ට ඒ තුළ තැනක් නොලැබෙන බවය. නව පක්ෂයක් පිහිටුවුවහොත් තම පක්ෂ විසුරුවා හැර විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඊට එක් වීමට වැඩි ඉඩක් ඇති අතර පෙනෙන්නට ඇති ආකාරයට දිනේෂ් ගුණවර්ධන ද එහි ඉදිරිපෙළ නායකයකු වනවා ඇත. ශ්‍රීලනිප දේශපාලනය තුළ මේ වන විට පසුපසට විසි වී ඇති බැසිල් රාජපක්ෂ ද ඒ හරහා යළි ඉදිරියට ඒමට වැඩි විභවතාවක් ඇති පසුබිමක විමුක්තිය ඉල්ලා හඬා වැටෙන සැබෑ ශ්‍රීලනිප සාමාජිකයන්ට ඉන් යහපතක් වෙතැයි අපේක්ෂා කළ නොහැකි තරම්ය. අනිවාර්යයෙන්ම මෙහි වාසිය හිමි වනුයේ එජාපයටය. ශ්‍රීලනිපයේ ගැටුම එජාපයට නැටුමක් බව අප පවසනුයේ ඒ නිසාය.

Back to Home page