30 September, 2020

Blog

හම්බන්තොට ගැටුම හා ජීඑස්පී+ හිමි වීම

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

දකුණින් මුහුදෙන් හා උතුරින් වනයෙන් වට වූ, කොළඹ සිට කිලෝමීටර් 240ක් ඈතට වන්නට පිහිටි හම්බන්තොට ඉකුත් සති අන්තයේ “ගිනියම්” කිරීමට විපක්ෂයේ විරෝධතාවක් සමත් විය. එම ගිනියම් වීමේ තරම කෙතරම් ද කියතොත් එය යුද පිටියක සිරි ගෙන ආවේ ය. දේශප්‍රේමය භෞමික අඛණ්ඩතාව “තොග” පිටින් අලෙවි කරමින් සිටින, එය හැර තාර්කික අන් යමක් දැකගත නොහැකි රාජපක්ෂ කඳවුර විසින් මෙහෙවන ලද මේ විරෝධතා‍වේ අරමුණ සුපැහැදිලිය. හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීනයට ලබාදීමට සැරැසෙන බව කියමින් ඔවුන් ආමන්ත්‍රණය කළේ ජනතාවගේ හදවතටය. ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ගේ වගකීමක් නැති ඇතැම් ප්‍රකාශ එම ඇවිළෙන ගින්නට පෙට්‍රල් වක් කළේය.

සැබැවින්ම ඉඩම් යනු අතිසංවේදී කාරණයක්මය. ඉඩම් වෙනුවෙන් කළ සටන්වලින් ලෝක ඉතිහාසය පිරී පවතී. වැඩිදුර යෑමට අවශ්‍ය නැත. උතුරු නැගෙනහිර යුද්ධයට ප්‍රධාන නිමිත්තක් වූයේ එම දෙපළාතේ ජනතාවට නිසි ඉඩම් හිමිකමක් නොතිබීමය. අනෙක් අතට රටේ අධිකරණ පද්ධතියට පවා වැඩි වශයෙන් තීන්දු තීරණ ලබාදීමට සිදුව ඇත්තේ සීමා මායිම්, වැටකඩුලු වෙනුවෙන් ගොනුකර ඇති නඩුවලටය. ඒ අනුව බලද්දී දේශපාලනිකව රාජපක්ෂ හිතවාදීන් තෝරාගෙන තිබුණේ, පහසුවෙන් කුළුගැන්විය හැකි කාරණයකි. ඉඩම් පිළිබඳ භීතියක් නිර්මාණය කරමින් දැවැන්ත ප්‍රචාරාත්මක වාසියක් මේ ඔස්සේ ලබාගැන්ම ඔවුන්ගේ අභිප්‍රාය විය. රාජපක්ෂවරුන්ගේ දේශපාලන බළකොටුව වන හම්බන්තොට දී ඊට ඉහළ සහයෝගයක් අනිවාර්යයෙන්ම ලැබෙනු ඇතැයි ඔවුන් ඇස්තමේන්තු කර තිබිණි. එහෙත් හත් වැනිදා රාත්‍රිය එළඹෙද්දී ඒ බර තැබීම් වැරැදි බව පැහැදිලිවම පෙනෙන්නට විය. අපේක්ෂා කළ ආකාරයටම තම විරෝධතාවට “ප්‍රහාරයක්” එල්ල කර ගැනුමට සමත් වුවද ඒ හරහා හෝ ලබාගත හැකි “වාසිය” අත්පත් කර ගැනුමට ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායමට නොහැකි විය. විරෝධතාවේ ‘සැර’ අඩු කිරීමට ඊට පෙර දිනයේ අග්‍රාමාත්‍යවරයා කළ “වෘත්තීය” මැදිහත් වීම සමත් වූ අතර, හිටපු කථානායකවරයා සමඟ ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා ඔහු කළ සාකච්ඡාව සෑහෙන ප්‍රතිඵල ගෙන ආ බව පෙනෙන්නට තිබිණි. අක්කර 15000ක් චීනයට ලබාදීමට යනවා යැයි කියන ප්‍රචාර සම්බන්ධයෙන් “ඇත්ත” පැහැදිලි කිරීමට එහිදී හැකියාව ලැබුණු අතර ඒ තේරුම් ගැනීම තුළ පසු දිනයේ පැවැති විරෝධතාවෙන් වැළකී සිටීමට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා රැසක් තීරණය කරන ලදී. සෙනසුරාදා පැවැති විරෝධතාවේ පෙරමුණේ සිටියේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස වැනි සමාජ පිළිගැනුම අඩු හම්බන්තොටට ඓන්ද්‍රීය සම්බන්ධයක් නොමැති භික්ෂුන් වහන්සේලාය. හුදු මාධ්‍ය නිර්මිතයක් පමණක් වන ඉත්තෑකන්දේ හිමි, විමල් වීරවංශ, නිවාස අමාත්‍ය ධුරය දැරු සමයේ ඉහළම ආමීස පූජා භුක්ති විඳි භික්ෂුවක බව මේ වන විට අනාවරණය වී ඇත. නාගරික ජනාවාස අධිකාරියේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙන්ම, ඕෂන් විව් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද කටයුතු කර ඇති මේ හිමියන් වීරවංශ ඇමැති ධුර දැරු සමයේ සිවුරු මාරු කරන වේගයෙන් වාහන මාරු කර ඇත. ඒ සියලු බරපැන දරා ඇත්තේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවය. HO – 6514, JS – 9725, HN – 2194, PD – 2563, CAE – 3327 යන ලියාපදිංචි අංක දරන වාහන කෙටි කාල පරාසයක් තුළ ආගම ජාතිය ගැන පැය විසි හතරේම දේශනා කරන මේ භික්ෂුව භාවිත කර තිබේ. ඈත ගම්බද, දුෂ්කර ප්‍රදේශවල ඇතැම් භික්ෂුන් වහන්සේලා “දානය” සොයා ගැනීමට අනන්ත දුෂ්කර ක්‍රියා පුරද්දී සද්ධාතිස්ස හිමි වැනි භික්ෂුන් කොළඹට වී ආමිස පූජා රිසි සේ භුක්ති වින්දේය. රට, ජාතිය, ආගම ගැන කථා කරමින් ජනතා බදු මුදල් විනාශ කළ භික්ෂුන් වහන්සේ නමක් හම්බන්තොට විරෝධයේ පෙරමුණ ගෙන සිටීම එහි විහිළු සහගත බව පෙන්වූ කැඩපතක් බඳු විය.

මේ අසාර්ථක විරෝධය නාමල් රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයාගේ සැබෑ හැකියාව ද පිටතට පෙන්නුවේය. ඒ මෙබඳු ජන අරගලවලට සම්බන්ධ වීමට මත්තෙන් ඉගෙන ගත යුතු බොහෝ දෑ ඔහුට ඇති බවය. විරෝධතාව පිළිබඳව ගෙයින් ගෙට යමින් ජනතාව ප්‍රකෝප කළ තරුණ රාජපක්ෂ පොලීසිය එය මැඬලීමට තැත් කරද්දී තම ආධාරකරුවන් තනි කර ආරක්ෂාව පතා පලා යෑම පෙන්නුම් කරනුයේ නායකයෙකු වීමට නම් තවත් බොහෝ දුර ඔහු ගමන් කළ යුතු බවය. කොතරම් සීමාසහිතකම් හා දුර්වලකම් පැවැතිය ද මහින්ද රාජපක්ෂ සැලකෙනුයේ හොඳ වීදි සටන්කරුවකු ලෙසය. පාද යාත්‍රාව, ජන ඝෝෂාව ආදි විරෝධතා තුළදී මහින්ද ඒ වග පෙන්වා ඇත. කඩිමුඩියේ සංවිධානය කළ ඒ හම්බන්තොට විරෝධතාව, තවත් විහිළුවක් වූයේ තම යුගයේදී ජනතා අවශ්‍යතා නොතකමින් ඉඩම් ලබාදීම හා අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයක් රාජපක්ෂවරුනට ඇති බැවිනි. ගාලු මුවදොර ඉතාම ඉහළ වටිනාකමක් ඇති භූමියක් හා හම්බන්තොට අක්කර 125 ක භූමි භාගයක් සුප්‍රසිද්ධ ෂැංග්‍රිලා හෝටල් සමූහයට විකුණුවේ රාජපක්ෂවරුය. හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපළ හා සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී පවුල් සිය ගණන් පලවා හැරි බවට සාක්ෂි එමටය. අසාර්ථක රන්මිණිතැන්න වැනි ව්‍යාපෘති ඉදිකිරීමට ගොවිපළවල් වසා දැමු ඒ ඉතිහාසය රාජපක්ෂලාට අමතක වුවද රුහුණේ බත් කන ජනතාවට අමතක නැත. රාජපක්ෂලාගේ නෙතගින් මේ වැටෙනුයේ කිඹුල් කඳුළු බව අප පවසනුයේ ඒ නිසාය.

මේ අක්කර පහළොස්දාහේ කතාව යනු මුළුමනින්ම ගොතන ලද අසත්‍යයකි. සී. එම්. පෝට් සමාගම සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හවුල් ව්‍යාපාරයක් ලෙසින් වරාය ආශ්‍රිත ගොඩනැ‍ඟෙන කර්මාන්ත පුරයේ මුළු වපසරිය අක්කර එක්දහස් දෙසීයක් වන බව රජය පැහැදිලිවම පවසයි. එබැවින් විපක්ෂය මතු කරන තරම් “චිත්‍රය” අඳුරු නැත.

රටේ සෙසු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු නොකරමින් හම්බන්තොට කෙරෙහි මේ තරම් උනන්දුවක් රජය යොමු කර ඇති කරුණ තේරුම් ගැනීම අපහසු නැත. රාජපක්ෂ සමයේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් හම්බන්තොට අවට සිදු වූයේ මූලිකවම දේශපාලන අරමුණු පෙරදැරි කරගනිමිනි. සහතිකවම ඒ පිටුපස වැඩ කළේ තම දේශපාලන පංගුව උපරිම කර ගැනීමේ පටු දේශපාලන අරමුණය. ඒ වෙනුවෙන් ලෝකයට ණය වී මහා යටිතල පහසුකම් ප්‍රවර්ධනයක් රාජපක්ෂලා හම්බන්තොට අවට සිදු කළේය. කෙසේ වෙතත් මේ මහා පරිමාණ සංවර්ධනයෙන් ප්‍රතිලාභ ලැබුණේ නොඑසේනම් සාක්කු පිරුණේ රාජපක්ෂලාගේ පමණි.

එසේ නැතිව හම්බන්තොට ජනතාවට ඉන් අත්වූ සුගතියක් නොමැත.

රටක යටිතල පහසුකම් දියුණු විය යුත්තේ කර්මාන්ත හා සේවා අංශයේ දියුණුවට සමගාමීවය. කර්මාන්ත හා සේවා අංශ දියුණු නොකර සිදු වන සංවර්ධනයකින් අත්වන ප්‍රයෝජනයක් නොමැත. සංවර්ධන ක්‍රියාවලියක් තුළින් බහුතර ජනතාවගේ ජීවන තත්ත්වයේ යහපත් වෙනසක් සිදු විය යුතුය. සේවා නියුක්තිය, ආදායම් වැඩි විය යුතුය. එහෙත් රාජපක්ෂ සමයේ හම්බන්තොට සිදු වූයේ එවැන්නක් නොවේ.

හම්බන්තොට වරාය ඉදිකරද්දී රැකියා පනස්හය දාහක් දකුණට නිර්මාණය කරන බව බලධාරීන් උස් හඬින් පුරාජේරු කතා පැවසුමුත් රාජපක්ෂලාගේ අන් බොහෝ කතා මෙන් එම ප්‍රකාශයත් සුළ‍ඟේ ගසාගෙන යන ලදී. 2010 ඔක්තෝබරයේදී හම්බන්තොට වරාය විවෘත කළ අතර ඊට නැව් සියයක් පැමිණීමට මාස 34 ක කාලයක් අවශ්‍ය විය. ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන රථ වාහන හම්බන්තොට හරහා රැගෙන ආ යුතු බවට නියෝගයක් නොපැනවූයේ නම් තවමත් ඊට නැව් සියයක් පැමිණෙන්නේ නැත. රාජපක්ෂ යුගයේ සිදු වූ සංවර්ධනයේ අසාර්ථක බව පෙන්වන හොඳම නිදර්ශනය හම්බන්තොට වරාය ව්‍යාපෘතියය. ඩොලර් මිලියන තුන්සිය හයක ණයක් එක්සිම් බැංකුවෙන් ලබා ගනිමින් ඇරැඹුණු හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ පළමු අදියර ණය ගෙවීමේදී පළමුව 1.3% ක පොලියකට එකඟ වූ නමුත් හිටි හැටියේ එය 6.3% තෙක් ඉහළ නංවන ලදී. පුදුමයකට මෙන් එම වැඩිවීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂය. ආදායම් උත්පාදනය නොකරන මුත්, රැකියා අවස්ථා අපේක්ෂා කළ මට්ටමෙන් බිහි නොකළමුත් වරාය ඉදිකිරීම වෙනුවෙන් ලබාගත් ණය සඳහා පොලිය ලෙස රුපියල් මිලියන දෙදහස් පන්සිය විසිඅටක් වාර්ෂිකව ගෙවීමට රජයට සිදුව ඇත. එසේම සිරිබෝපුර ප්‍රදේශයේ විවෘත කළ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව යනු තනිකරම සුදු අලියෙකි. ඩොලර් මිලියන පහළොවයි දශම තුනක පිරිවැයක් දරමින් ඉදිකළ සම්මන්ත්‍රණ ශාලාව විවාහ උත්සව පැවැත්වීමට හා පෙර පාසල් ප්‍රසංග පැවැත්වීමට මේ වන විට යොදා ගැනීම එහි අසාර්ථකත්වය පෙන්වයි. ආදායමක් උත්පාදනය නොවුවද රුපියල් මිලියන දහහතක් එය නඩත්තු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මාසිකව වැය කරයි. ගුවන් යානා ගොඩබැස්වීමට රතිඤ්ඤා දැල්විය යුතු මත්තල ගුවන් තොටුපළේ හා ඉඳහිට ක්‍රිකට් තරග පවත්වන සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තත්ත්වය ද මෙයමය. මුළුමනින්ම අසාර්ථක වුවද මේවා තවදුරටත් විනාශ වීමට ඉඩ දිය නොහැකිය. ඒ මේ වෙනුවෙන් දැනටමත් හා ඉදිරියේදීත් අතිවිශාල වන්දියක් ගෙවා හා ගෙවීමට ඇති බැවිනි. දැන් සිදු කළ යුතු වන්නේ රටට හා ආර්ථිකයට ගැළපෙන ලෙස තත්ත්වය කළමනාකරණය කර ගැනීමයි. පොදු පෞද්ගලික සම්බන්ධතාවක් (P. P. P) ලෙස පවත්වාගෙන යෑමට නියමිත හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් රජය තෝරාගෙන ඇත්තේ ඩොලර් බිලියන 1.4ක ලංසුවක් තැබු සී.එම්. පෝට් සමාගමය. ලෝකයේ හොඳම වරාය මෙහෙයුම් සිදු කරන්නෙකු වන එම සමාගම හා හවුල් ව්‍යාපාරයකට එළැඹීම ඉදිරිය පිළිබඳ කල්පනා කිරීමේදී ආර්ථිකමය වශයෙන් අපට අවාසියක් නොවේ. අප්‍රිකාවේ හා මැදපෙරදිග වෙළෙඳාමේ නියුතු තම නැව් සඳහා චීනය හම්බන්තොට වරාය නිසැකවම ප්‍රයෝජනයට ගැනීමේ වාසිය, අවසාන විග්‍රහයේ දී අපට ද ලැබෙනු ඇත. එය අනාගතයේදී හම්බන්තොට වරාය ලාභ ලබන තත්ත්වයට පත්කරනු ඇත.

වත්මන් ලෝක වෙළෙඳාම තුළ වරාය සම්බන්ධව විදෙස් සමාගම් හා හවුල් ව්‍යාපාරවලට එළැඹීම නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එබඳු සිදුවීම් කිහිපයක්ම මෑත කාලයේදී දැකගත හැකි වන අතර චීනය එහිදී ඉදිරියෙන් සිටී. පසුගිය දා චීනයේ ලෑන්ඩ් බ්‍රිජ් සමාගම ඕස්ට්‍රේලියාවේ ඩාවින් වරාය හා මේ මාදිලියේ ගිවිසුමකට ගමන් කළේය. ඒ ඩොලර් බිලියන 0.5ක ගනුදෙනුවක් සිදු කරමිනි.

මීළඟ වසර පහ තුළ ඩොලර් බිලියන 0.74 ක ආයෝජන සිදු කිරීමට ලෑන්ඩ් බ්‍රිජ් සමාගම එම ගනුදෙනුවේදී එකඟතාව ද පළ කරන ලදී. ශ්‍රී ලංකා ආර්ථිකය මේ මොහොතේ පවතින “රෝගී තත්ත්වය” තුළ හම්බන්තොට වරාය වැනි සුදු අලි ව්‍යාපෘති වෙනුවෙන් තවත් අපට මුදල් පොම්ප කළ නොහැකිය. ගිය හකුරට නොහඬමින් දැන් සිදු කළ යුත්තේ අපට ආර්ථිකමය වශයෙන් වාසිදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමය.

මෙබඳු ගනුදෙනු සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම ශ්‍රී ලංකාව තුළ පොදු අත්දැකීමක් වී තිබේ. ආරම්භයේදී මේවා දෙස ජනතාව බලනුයේ සැක සංකා සහිතවය. එය ස්වාභාවිකය. මෙවැනි අවස්ථාවක දුරට වඩා ජනතාව බලනුයේ ළඟය. දේශපාලන පෙළඹවීම්, උස්ගැන්වීම් එම තත්ත්වය තවත් උත්සන්න කරනු ලබයි. මේ ලියුම්කරු ජීවත්වන මතුගම ප්‍රදේශයේ දශක ගණනාවකට පෙර අන්තර්ජාතික ගුවන් තොටුපළක් හා ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යෝජනා වූමුත් මහජන අප්‍රසාදය තුළ ඒ සැලසුම් හකුළා ගැනීමට තීරණය කරන ලදී. කෙසේ වෙතත් අද ඒවා අහිමි වීම තුළ ප්‍රදේශයේ ජනතාව බෙහෙවින් පසුතැවිල්ලට පත් වෙති. ගල්ඔය මහවැලි ව්‍යාපෘතිවලදී පමණක් නොව කණ්ඩලම වැව් තාවුල්ලේ හෝටලයක් ඉදිකිරීමේදී පවා ඒවා ජාතික ප්‍රශ්න බවට රටේ ජනතාව පත් කර ගත්හ.

නමුත් ඒවායේ ප්‍රතිලාභ භේදයකින් තොරව අද රටම භුක්ති විඳිති. හම්බන්තොට ජනතාව ද අනාගතයේදී එසේ සිතුවොත් අප පුදුම නොවිය යුතු තරම්ය.

සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනා අතර බෙදී ගොස් ජන ජීවිතවල වෙනසක් සිදු වුවහොත් එය ස්ථිරවම සිදු වනවා ඇත. එබැවින් සිදුවන්නා වූ වෙනස්කම් පිළිබව ධනාත්මකව බැලීම වැදගත්ය. අප අමතක නොකළ යුතු වැදගත්ම කාරණය වනුයේ පසුගිය කාලයේදී සිදු වූ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් නැ‍ඟෙනහිර දිග ලෝකයේ සුපිරි බලවතා වන චීනයෙන් පමණක් ඩොලර් බිලියන අටක පමණ ණය මුදලක් පසුගිය රජය ලබාගෙන ඇති බවය. කිසිවක් නොකර මේ තත්ත්වය දිගටම පවත්වාගෙන ගියහොත් අපට පොලිය ගෙවනු හැර සිදු කළ හැකි අන් යමක් නොමැත. එබැවින් ජනප්‍රිය නොවුවද දැඩි තීන්දු තීරණවලට ගමන් කිරීමට රජයට මේ මොහොතේ සිදුවනු ඇත. මෙම අසාර්ථක ව්‍යාපෘති ඇඳගෙන යෑම වෙනුවෙන් රජයට ආර්ථිකමය සහකරුවෙක් බරපතළ ලෙස අවශ්‍යව තිබිණි. එය බැහැර නොකළ හැකි සත්‍යයකි.

හම්බන්තොට පිළිබඳ උණුසුමෙන් රට වෙළී තිබියදී සුබදායි ආරංචියක් සතිය ආරම්භයේදී යුරෝපයෙන් මෙරටට ලැබිණි. ඒ GSP+ සහනය යළි මෙරටට ලබා දීමට යුරෝපා සංගමය යෝජනා කිරීමත් සමඟය. GSP+ සහනය ඇතැමුන් නම් කරනුයේ කිසිදු වැදගැම්මකට නැති දෙයක් ලෙසිනි. අතීතයේදී අපට GSP+ නොතිබුණු බවත් එබැවින් අනාගතයට එවැන්නක් අවශ්‍ය නොවන බවත් ඔවුහු තර්ක කරති. මෙම සහනය ලබා ගැනීමට එකඟ වීමේදී රටේ ස්වෛරිභාවය පිළිබඳ ප්‍රශ්න මතුවන බවට මෙම පිරිස තර්ක කරති. එහෙත් GSP+ සහනය යනු පවතින ලෝක ආර්ථික තත්ත්වය තුළ එතරම් අඩු ලංසුවක ලා ප්‍රතික්ෂේප කළ හැකි දෙයක් නොවේ.

GSP+ සහනය අහිමි වීම තුළ රටේ ආර්ථිකයට වූ බලපෑම සුළුපටු නොවේ. එය අපේ අපනයන ආදායමට මරු පහරක් එල්ල කළ අතර වෙළෙඳ ශේෂයේ හිඟය අවාසිදායක කිරීමට එය දැඩි බලපෑමක් එල්ල කළේය. 2000 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 33% ක මට්ටමේ තිබු අපනයන මට්ටම 2014 වන විට 17% දක්වා අඩුව තිබු අතර එම වෙනසට බලපෑ තීරණාත්මක සාධකය වූයේ GSP+ සහනය අහිමි වීමය.

බලයට පැමිණිමේදී වත්මන් රජය පොරොන්දු වූයේ GSP+ ගැටලු ආමන්ත්‍රණය කර 2020 දී රැකියා දසලක්ෂයක් බිහි කරන බවය. අපනයනවලට දිරි දෙමින් ආයෝජන ප්‍රවර්ධනය කරමින් අන්තර්ජාතික ප්‍රජාව සමඟ සම්බන්ධතා යළි ශක්තිමත් කරමින් එය සිදු කරන බවට රජය පොරොන්දු වෙන ලදී. එම උපායික වැඩපිළිවෙළ තුළ ප්‍රධානතම කාර්යයක් වූයේ GSP+ සහනය ලබා ගනිමින් යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාවක් ලබා ගැනීමය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ දින සියයේ වැඩපිළිවෙළේ 37 වැනි කාරණයේදී GSP+ යළි ලබා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව කථා කර තිබිණි. “වැඩි වැඩියෙන් රැකියා අවස්ථා බිහි කිරීමට හා අපනයන ප්‍රවර්ධනයට දැනට අහිමිව ඇති GSP+ සහනය අප යළි ලබා ගන්නෙමු” යනුවෙන් එහි සඳහන් කර තිබිණි.

යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන අතර අපේ මුළු අපනයනවලින් 1/3කට වඩා වග කියනුයේ ඔවුන්ය. එසේම අපගේ ඇඟලුම් අපනයන සඳහා විශාලම වෙළෙඳපොළ ඇත්තේ ද යුරෝපය තුළය. යුරෝපයට යවන අපේ අපනයනවලින් 65%ක් සමන්විත වනුයේ ඇඟලුම් නිෂ්පාදනවලිනි. ඇඟලුම් කර්මාන්තය 340,000කට අධික පිරිසකට ඍජු රැකියා අවස්ථා බිහි කර ඇති අතර වක්‍රාකාරයෙන් එය ලක්ෂ දොළහකට සහාය වෙයි. රටේ මුළු ජනගහනයෙන් 5%කට වඩා වැඩි පිරිසක් ඇඟලුම් කර්මාන්තය හා සම්බන්ධ වී සිටීම තුළ එම කර්මාන්තයේ උපායික වැදගත්කම ඉහළ නංවනු ලබයි. බහුකෙඳි ගිවිසුම් කෝටා ක්‍රමය අවසන් වීමෙන් පසු කරළියට පැමිණි GSP+ සහනය හරහා ශ්‍රී ලාංකික නිෂ්පාදන හයදහස් හාරසියකට වැඩි ප්‍රමාණයකට තීරු බදු රහිත ප්‍රවේශයක් ලෝකයේ විශාලතම වෙළෙඳපොළ වන යුරෝපා සංගමය වෙත ලබා දෙන ලදී. අපේ නිෂ්පාදන සමඟ තරග කරන්නන් හට 6% යේ 10% දක්වා බදු පැනවීම්වලට මුහුණ දීමට සිදු වෙද්දී ශ්‍රී ලංකාවේ බොහෝ නිෂ්පාදන සම්පූර්ණ බදු රහිතව යුරෝපීය වෙළෙඳපොළට ගමන් කරන ලදී. ඒ තුළ ආසන්නතම තරගකරුවන්ව අබිබවා යෑමේ හැකියාව අපට පහසුවෙන් හිමි විණි. GSP+ සහනය හඳුන්වා දීමට පෙර වසරේ එනම් 2005 දී අපගේ ඇඟලුම් අපනයන වර්ධනය වූයේ 1%කින් වුවද 2006 වසරේදී මෙම සහනය හඳුන්වා දීමත් සමඟ එය 16% දක්වා වර්ධනය වූයේ රැකියා අවස්ථා දසදහස් ගණනින් බිහි කරමිනි. GSP+ සහනය හිමි වීමත් සමඟම ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයට තිබු තැන යුරෝපා සංගමය විසින් අත්පත් කරගන්නා ලදී. GSP+ සහනය රටකට පිරිනැමීමේදී ප්‍රධාන කාරණා දෙකක් අපේක්ෂා කරන ලදී. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වශයෙන් සහාය වෙමින් යහපාලනය හා මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණු විය. ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට මායිම් නොකරමින් රාජපක්ෂවරු අනුගමනය කළ අදූරදර්ශී පාලනය නිවැරැදි කර ගන්නා ලෙස යුරෝපා සංගමය කිහිප වරක් අවවාද කළ මුත් ඒ සියල්ල අලුයම ලු කෙළ පිඬක් ලෙස බැහැ කිරීම තුළ මෙම සහනය 2010 වසරේ සිට අපට අහිමි විය. එය ශ්‍රී ලංකා ආර්ථිකයට කළ හානිය අතිමහත් විය.

වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන පරිදි ශ්‍රී ලංකාවට මේ සහනය අහිමි වී මුල් වසර හය තුළ පමණක් අහිමි මුළු අපනයන ආදායම යුරෝ බිලියන නවසියයකට අධිකය. රුපියල්වලින් පැවසුවොත් රුපියල් බිලියන 150කට අධිකය. GSP+ සහනය අහිමි වීම තුළ කර්මාන්ත ශාලා සිය ගණනක් වැසි ගිය අතර ඒ තුළ අහිමි වූ රැකියා ප්‍රමාණය ඉලක්කම් පහේ සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකාවේ අපනයනය ආදායම් අඩු වෙද්දී කර්මාන්ත ශාලා වැසි යද්දී, රැකියා දස දහස් ගණනින් අහිමි වෙද්දී අපගේ ආසන්නතම තරගකරුවන් වන බංගලිදේශය, ඉන්දුනීසියාව හා වියට්නාමය යුරෝපා වෙළෙඳපොළ තුළ තම පංගුව ක්ෂණයකින් ඉහළ නංවා ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස පාපැදි, ටයර්, සෙරමික් ආශ්‍රිත නිෂ්පාදන සඳහා කර්මාන්ත ශාලා පිහිටුවීමට විදේශ ආයෝජන ඇද ගැනීමට ඔවුහු සමත් වූහ. ඒ සියලු නිෂ්පාදන සම්බන්ධව යුරෝපා වෙළෙඳපොළෙහි ‘ලකුණ’ තබා තිබුණේ ශ්‍රී ලංකාවය. GSP+ සහනය අහිමි වීම තුළ ඒ සියල්ල අසුරු සැණින් අහිමිව ගියේය.

ඒ අවාසනාවන්ත තත්ත්වය ඇතිවීම විෂයයෙහි වගකිව යුත්තේ රාජපක්ෂ පාලනය මිස අන් කිසිවෙක් නොවේ. රැකියා අවස්ථා අහිමි වෙද්දී, රැකියා අවස්ථා බිහි නොවද්දී, දහස් ගණනින් තරුණ කාන්තාවන් අඩු වැටුපට රැකියා පතා මැදපෙරදිග රටවලට ගමන් කිරීම වේගවත් විය. මේ මොහොතේ අප අවධානය යොමු කළ යුත්තේ විදෙස් වෙළෙඳපොළ තුළ ඇති අපගේ සැබෑ සටන කෙරෙහිය. වියට්නාමය මේ වන විට ට්‍රාන්ස් පැසිෆික් සහයෝගිතාව හරහා තම තරගකාරිත්වය වර්ධනය කරගෙන ඇති අතර ඉන්දියාව යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අවතීර්ණව සිටී. මේ අතර පාකිස්තානය ද GSP+ සහනය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත. පවතින තරගකාරි තත්ත්වය තුළ ඉදිරියට යෑමට නම් අපට GSP+ සහනය වැනි සහන අත්‍යවශ්‍යය. GSP+ සහනය හිමි වීමට යළි අප රට යෝජනා වීම වැදගත් වනුයේ එවැනි පසුබිමකය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.