26 April, 2024

Blog

ජනපති තුමනි, අගමැති තුමනි, කථානායක තුමනි, රාජ්‍ය සම්මාන දිනූ කවියකුගේ ඉරණමට මැදිහත් වන්න!

චාමර ලක්ෂාන් කුමාර සහ​ තිඹිරියාගම බණ්ඩාර –

ටිම්රාන් කීර්ති නව පරපුරේ විශිෂ්ට කවියෙකි. ඔහු 2015 වසරෙහි විශිෂ්ටතම කවියා ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද ගොඩගේ ජාතික සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. ඔහු පන්නල ප්‍රදේශයේ රත්මහර නම් දුෂ්කර ගම්මානයෙහි ජීවත් වන්නෙකි. ජාතික මට්ටමෙන් අවධානයට ලක් වුව ද, සම්මාන නිවසෙහි මුල්ලකට දමා ඔහුට අද සිදු ව ඇත්තේ ජීවත්වීම සඳහා දුෂ්කර සටනක යෙදෙන්නට ය. දෛනික වේතනයක් සඳහා අධිකව බර එසවීම හේතුවෙන්, ඔහුගේ දකුණතෙහි හිරි වැටීමේ ආබාධයක් ඇතිවෙමින් පවතී. කිරි එකතු කෙරෙන මධ්‍යස්ථානයක ඔහුගේ ගතේ ඩාබිඳු පොළොව උරද්දී පිරිසුදු කිරි විශාල බඳුන්වලින් කිරිපිටි කම්හල වෙත යයි.

ටිම්රාන් කීර්ති

ටිම්රාන් කීර්ති

රසික හදවත් කම්පනයට පත් කරන ගැඹුරු සියුම් කවි පද ලියැවෙන ටිම්රාන් තරුණ කවියාගේ ජීවන අරගලය දෙස සානුකම්පිතව බැලිය හැකි හදවතක් දේශපාලන අම්බරයෙහි තව ම පායා නොමැතිවීම සැබවින් ම කනගාටුදායකය.

ප්‍රදේශයෙහි දේශපාලන පක්ෂ ක‍ාර්යාලයක ක්‍රියාකාරිකයන් ටිම්ගේ රැකියා අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇත්තේ පක්ෂයට වැඩකර ඇති බවට ලියුමක් අවශ්‍ය බව කියමිනි. පක්ෂය හැදීමට වඩා රට හැදීම වැදගත් යැයි ප්‍රකාශ කරන නායක දෙපළක් යටතේ සම්මුතිවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක වන සමයක රාජ්‍ය සම්මාන ලාභී තරුණ කවියකු පක්ෂ දේශපාලනයේ කෙවිටෙන් තළා පීඩාවට පත් කිරීම පැහැදිලිවම දුෂ්ට ක්‍රියාවකි.

දේශපාලන අනුග්‍රහයෙන් රාජ්‍ය සේවා පත්වීම් ලැබූ ඇතැම් නූගතුන්ට වඩා සංවේදීකමක් කුසලතාවක් මෙන් ම සුදුසුකම් ද ටිම්රාන්ට නොඅඩුව තිබේ. ඔහු අපොස උසස් පෙළ කලා අංශයෙන් ඉහළින් සමත් ය. කාව්‍ය සංග්‍රහ දෙකක් පළ කර තිබේ.

පසුගියදා රජයේ පාසල් සඳහා කම්කරුවන් වශයෙන් ස්ථිර පත්වීම් ලබාදී ඇති දහස් ගණනක් අතරට ටිම්රාන් කීර්තිගේ නම ද ඇතුළත් වූවා නම් ඔහුට අවම මට්ටමේ යුක්තියක්වත් ඉෂ්ට වූවා යැයි හිත හදා ගන්නට තිබිණ. එය ද සිදුවුනේ නැත. රාජ්‍ය සම්මාන දිනූ තම පළාතේ තරුණ කවියකු ජීවත් වීමේ අර්බුදයකට මුහුණ පා සිටින බව සංස්කෘතික කටයුතු ඇමතිවරයා ද නොදැන සිටිනවා වන්නට බැරි ය. එසේම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කථානායකවරයාට සමීපව සිටින ලේඛකයන් හා මාධ්‍යවේදීන් ටිම්රාන් කීර්ති පත්වී සිටින දුෂ්කර තත්ත්වය නොදන්නවා වන්නට බැරිය.

ටිම්රාන් ශිෂ්ට සම්පන්න රටක ජීවත් වූවා නම් මෙසේ අනුකම්පාවට ලක්වනු වෙනුවට ආත්ම ගරුත්වය ඇතිව සුදුසු ජීවන වෘත්තියක යෙදීමේ භාග්‍ය උදාවනු ඇත. මේ රටේ සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ කුමකට ද? ටිම්රාන් කීර්ති කවියාට තම ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයෙහි සුදුසු වෘත්තියක නියැළීමේ අයිතියක් නැද්ද? කවියා ප්‍රජාපතී යැයි පෙරදිග සාහිත්‍යයෙහි හැඳින්වේ. එහෙත් අපේ කවියා තම බිරිය, සිඟිති පුතු හා නූපන් දරුවා වෙනුවෙන් කුලී මෙහෙවරෙහි යෙදෙන අතරතුර, පුස්සෝ දේශපාලන අනුග්‍රහය ලැබ යෙහෙන් වැජඹෙති. ගරු ජනපති තුමනි, අගමැති තුමනි, කථානායක තුමනි, අනෙකුත් වගකිව යුතු මහජන නියෝජිතයනි, මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ කවියාගේ හෘදය සාක්ෂියේ හඬට කන් දෙන්න. ඔහුගේ විශිෂ්ට කවිත්වය සහ ජීවන පසුබිම සලකා මේ මොහෙතෙහි ඔබේ දයාබරත්වය ඔහුට පුදන්න. ඔහුට ජීවිතය දීම සඳහා ඔබේ යහපාලන ආකල්පය අවදි කර ගන්න!!

Print Friendly, PDF & Email

Latest comment

  • 3
    0

    api meyata salakamu… me wage watana aya kopamana mage rate innawada o.l wath nethi desapalakayange daruwan windina sepa waradana kopamanada? kawadawath me pawatina kramaya yatate ape rata thula sadarana yuktiya rajawenne nehe. arun elawala munta sepa windinna api harak wage rawume
    yamin katiraya gahanawa. paraddala elawapu ewun aragena ematikam denawa. thun lokayema mehema ratak thiyenawada????????????????????

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.