25 April, 2024

Blog

රාඩා මංකොල්ලය හා ටිරාන් අලස්

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

වසර 10කට පෙර සිදු වූ ගනුදෙනුවකට අදාළව හිටපු මන්ත්‍රී ටිරාන් අලස්ව බන්ධනාගාරගත කර ඇත. උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශයේ නිවාස 1200ක් ඉදිකිරීමට නැවත ඉදිකිරීම් හා සංවර්ධන ආයතනයට (රාඩා) ලබා දුන් මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළව ටිරාන්ව අත්අඩංගුවට ගෙන තිබේ. කථාබහට ලක්වුමුත් කාලයක් තිස්සේ කිසිදු අවධානයකට ලක්වූ මේ පිළිබඳ පරීක්ෂණ යහපාලන රජය බලයට පැමිණීමෙන් පසු කඩිනම් වූ මුත් එසේ පරීක්ෂණ පැවැත්වෙද්දී තමා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ටිරාන් අලස් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. ඒ නිසාම “ටිරාන්”ව ඇතුළට ගැන්ම දිනෙන් දින කල්ගියමුත්, ඔහුට එරෙහිව මහාධිකරණය අධි චෝදනා භාරදීම නිවැරැදි යැයි පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත්කරන ලදී.

මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම සිදුවීමක් ලෙස සැලකිය හැකි රාඩා මුදල් වංචාවේ සැබෑ වටිනාකම තවම හරිහැටි පැහැදිලි නැත. රාඩා ආයතනය සතුව මහා භාණ්ඩාගාරයෙන් ලද මුදල් ප්‍රතිපාදන ද ඇතුළුව ලක්ෂ විසිහතර දහස් හාරසීය දහයක ප්‍රතිපාදන පැවැති බව කියැවෙන අතර ඉන් ලක්ෂ දහයක් හැර සෙසු සියල්ල වියදම් කර තිබේ. රාඩා ආයතනය උතුරු නැ‍ඟෙනහිර දෙපළාතේ නිවාස 1200ක් ඉදිකිරීම සඳහා මුදල් වියදම් කළ බව පැවසුව ද කිසිදු නි‍ෙවසක් ඉහත කී මුදලින් ඉදිකර නොමැත. නිවාස ඉදිකිරීම පෞද්ගලික ආයතන තුනකට පැවරු බව කියනමුත් ඒවා ලිපි ශීර්ෂවලට පමණක් සීමා වූ ව්‍යාජ තොරතුරු සහිත සමාගම්ය. එල්ටීටීඊය සමඟ හවුලේ හෝ තනිව මෙම මුදල් කොල්ලකෑ බවට චෝදනා එල්ල වී ඇත.

Tiran Alles 1 colombotelegraphජනාධිපතිවරයාගේ 2015. 11. 28 විධානය යටතේ පිහිටුවමින් පසුව ගැසට් කරන ලද රාඩා ආයතනයේ සභාපතිවරයා හා ප්‍රධාන විධායක නිලධාරියා වූයේ ටිරාන් අලස්ය. එහි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ සෙසු සාමාජිකයන් වූයේ බී. අබේවර්ධන, තිලක් අමුණුගම, ශාන්ති ප්‍රනාන්දු හා සාලිය වික්‍රමසූරියය. ඔවුන් සියලු දෙනාම පාහේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවත්තු විය. සාලිය වික්‍රමසූරිය රාඩාහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වූ අතර ඔහු වරාය අධිකාරියේ සභාපති ධුරය භාර ගත් පසු එම තනතුරට පත් වූයේ ශාන්ති ප්‍රනාන්දුය. ඇය හිටපු ජනාධිපති රාජපක්ෂගේ විශේෂ උපදේශකවරයකු ලෙස කටයුතු කළ සිරිමල් ප්‍රනාන්දුගේ බිරිය විය. 2006 – 2007 තරම් වූ කෙටි කාල පරාසයකට සිය වපසරිය සීමා වුමුත් වැදගත් වැඩ කටයුතු රැසක් රාඩා වෙත ආරම්භයේදී පවරා දී තිබිණි. ස්වභාවික හේතුන් හා මනුෂ්‍ය මැදිහත් වීම තුළ නිසා පීඩා විඳි ප්‍රදේශවල ජනතාව සඳහා නව නිවාස ඉදිකිරීම වෙනුවෙන් ජය ලංකා නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ඔවුන් වෙත එසේ පැවැරී තිබු ප්‍රධාන කටයුත්තක් විය. මුලතිව් හා කිලිනොච්චියේ ද ඒ යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම් කර තිබු බැවින් ඒ සඳහා එල්ටීටීඊයේ සහයෝගය ලබාගත යුතු වීම අනිවාර්ය විය. ඒ එම ප්‍රදේශවල පාලනය එල්ටීටීඊය සතුව පැවැති බැවිනි. එල්ටීටීඊය සමඟ වූ එම ගනුදෙනුව මහින්ද රාජපක්ෂ භාර දුන්නේ ටිරාන් අලස්ටය. ඔහු ඒ සඳහා 2005 වසර අවසන් වීමට පැය කිහිපයක් ඉතුරුව තිබියදී එනම් දෙසැම්බර් තිස් වැනිදා සාලිය වික්‍රමසූරිය හා එමිල් කාන්තන් සමඟින් කිලිනොච්චිය බලා පිටත් විය. එහිදී ඔවුන් පුවන්නන් නමැති එල්ටීටීඊ නායකයා මුණ ගැසුණු බව කියැවේ.

1988 දී සේවකයන් දස දෙනෙකු සමඟ සී.බී.ඊ. නමින් සන්නිවේදන හා ව්‍යාපාර උපකරණ වෙළෙඳාමේ නියුතු සමාගමක් ඇරැඹු ටිරාන් අලස් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ ගියේ ටැක්සි මීටරයක් කැරකෙන්නාක් බඳු වේගයෙනි. කෙසේ වෙතත් අලස් රටේ දේශපාලනය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ 2004 මහ මැතිවරණයෙන් පසුවය. එම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස පත්වූ මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙසට අලස්ව පත් කරන ලදී. ටිරාන් මංගල හා මිතුරු වී ඒ වන විට වැඩි කලක් ගත වී නොතිබිණි. නමුත් තම පැවැත්ම වෙනුවෙන් අලුතෙන් මිතුරන් ඇතිකර ගැනීමට ටිරාන්ට අවුරුදු ගණනාවක් අවශ්‍ය නොවේ. ඔහුට ඒ සඳහා අවශ්‍ය සුළු කාලයකි. කෙටි කලක් ඇතුළත ඔහු මංගලගේ ඉතාම විශ්වාසවන්ත මිතුරෙකු බවට පත් විය. අලස්ගේ සමයේදී, මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ක්‍රියාත්මක විය.

නව ගුවන් පාලම් තැනීම්, පැමිණීමේ පිටවීමේ පර්යන්ත ඉදිකිරීම් ඒ යටතේ සිදු විය. ලකුණු වැටුණාට අමතරව ටිරාන්ගේ කරල ද ඉන් හොඳට පැහුණි. ඊට සමාන්තරව විවිධ අංශ කෙරේ ඔහු තම ව්‍යාපාරික වපසරිය ව්‍යාප්ත කළේය.

2005 ජනාධිපතිවරණයට පෙර ඔහු මංගල සමරවීරගේ ඉල්ලීමකට ඉංග්‍රීසි පුවත්පතක් ද ඇරැඹුවේය. 2005 අගෝස්තුවේදී වීක්එන්ඩ් ස්ටෑන්ඩඩ් පුවත්පත ඇරැඹුණේ ඒ අනුවය. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම වෙනුවෙන් පුවත්පත බිහි කළ ද පසුව රාජපක්ෂ හිතවාදීන් චෝදනා කළේ ජනාධිපතිවරණය ඉදිරියට දමමින් එය සමරවීරගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට වෙනුවෙන් කරළියට ගෙනා ව්‍යාපෘතියක් කියාය. ගලඋඩ සටනක් වූ 2005 ජනාධිපතිවරණයේදී මහින්දගේ ජය තහවුරු කිරීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ උතුරේ සිදුවූ ඡන්ද වර්ජනයයි. එම ඡන්ද වර්ජනය වෙනුවෙන් එල්ටීටීඊය එකඟ කරවා ගැනීමේ මෙහෙයුමේ මහ මොළකරු වූයේ ටිරාන්ය. එල්ටීටීඊය සමඟ ශක්තිමත් සම්බන්ධතා ජාලයක් ඒ වන විට ටිරාන්ට විය. ආසියානු හා යුරෝපීය රටවල පැවැති සාම කතා සඳහා එල්ටීටීඊ නායකයන් පිටව ගියේ කටුනායක ගුවන් තොටුපළ හරහා බැවින් ඔවුනට අවශ්‍ය පහසුකම් සපයා දීම හරහා පුලිදේවන්, තමිල් සෙල්වන්, නඩේසන්, පාරා, බාල කුමාරන් වැනි නායකයන් සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඔහුට තිබිණි. 2005 ජනාධිපතිවරණය නිම වී ඊළඟ දිනයේ ටිරාන් අරලියගහ මන්දිරයට ගියේ වීරයෙකු මෙනි. මහින්ද රාජපක්ෂ ඉදිරියට පැමිණ ඔහුව වැලඳගත්තේ “මේ දිනුම හැබෑ කළේ උඹයි” කියමිනි. රාඩා වැනි ආයතනයක් බාර දීමේදී ටිරාන් පිළිබඳ උපරීම විශ්වාසයක් රාජපක්ෂට තිබුණේ ඒ නිසාය.

එමිල් කාන්තන් සමඟ කිලිනොච්චියට ගොස් ඇතිකර ගත් එකඟතාවයෙන් පසු නිවාස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බී ඇන්ඩ් කේ. හෝල්ඩින්ග්ස් සමාගමට පැවරීමට තීරණය විණි. පුදුමයකට මෙන් එය සමාගමක් ලෙස සංස්ථාගත වී තිබුණේ ඊට දින හතකට ඉහතදීය. ශාන්ති කුමාර් ගජන් කුමාර්ගේ නමින් ලියාපදිංචි කර තිබුණත් එහි සැබෑ හිමිකරු වූයේ එමිල් කාන්තන්ය.

ගජන් කුමාර්ට අමතරව එහි සෙසු අධ්‍යක්ෂවරු වූයේ ශාන්ති කුමාර් කිෂෝ කුමාර්, බර්කාජ් ශාන්ති කුමාර්ය. ගජන් කුමාර් ‘ඕම්ප්’ නමින් කුඩා ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන ගිය අතර ඉදිකිරිම් කර්මාන්තයට ඔහුගේ කිසිම සම්බන්ධතාවක් නොවීය. ඉදිකිරීම් පුහුණු හා සංවර්ධන ආයතනයේ (ඉක්ටාඩ්) සහතිකය පවා ඊට නොතිබිණි. එබඳු අපකීර්තිමත් වාර්තාවක් සහිත සමාගමකට 2006 වසරේ අප්‍රියෙල් විසි වැනි දින ත්‍රිකුණාමලයේ නිවාස හාරසියයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පවරන ලදී. ලොතරැයි වාසනාව ඇදුණු අනිත් සමාගම වූයේ එවරස්ට් සිවිල් ඉංජිනියරින් සර්විසස් සමාගමය. අවම තරමින් එය සංස්ථාපිත සමාගමක් හෝ නොවීය. සමාගමක් ලෙස එය ලියාපදිංචි කර ඇත්තේ 2006 වසරේ පෙබරබාරි 13 වැනි දිනය. කරුපයියා ශෂිකුමාර් හා කන්දසාමි සෝනිරාජා එහි සහකරුවෝය. මඩකළපුවේ නිවාස හාරසීයයක් ඉදිකිරීම වෙනුවෙන් රාඩා ආයතනය 2006 වසරේ අප්‍රියෙල් විසිවැනි දින ඔවුන් සමඟ ගිවිසුම් ගත වෙන ලදී. ඒ එක් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට රුපියල් 780434ක් ගෙවීමට එකඟ වෙමිනි. කෙසේ වෙතත් ඒ එකඟ වූ ආකාරයට එකදු නිවසක් හෝ ඉදිකර නැත. එහෙත් රාඩා ආයතනය මෙම සමාගම්වලට රුපියල් මිලියන එකසිය හැට නවයක් ගෙවල් හැදුවා යැයි ගෙවා තිබේ. චෙක්පත් නවයකින් රුපියල් මිලියන 124ක ගෙවීම් කටයුතු සිදුකර ඇත. ඉන් දෙකකටම අත්සන් තබා ඇත්තේ ටිරාන් අලස්ය. ආන්දෝලනයට ලක්ව ඇති මෙම සමාගම් දෙක ගැන සුළුවෙන් හෝ මඳක් අවධානය යොමුකර බැලීම වැදගත්ය. බී. ඇන්ඩ් කේ. හෝල්ඩින්ග්ස් ආයතනය සංස්ථාපනය කිරීමට ඉදිරිපත් කර තිබු නො. 45/4, පල්ලිය පාර, වත්තල යන ලිපිනය ව්‍යාජ ලිපිනයක් වූ අතර නිවාස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමේදී කැබිනට් සංදේශයේ සඳහන් කර තිබූ ඔවුනගේ වවුනියාවේ ලිපිනය ද ව්‍යාජ එකක් විය.

අනෙක් අතට එවරස්ට් සිවිල් ඉංජිනියරින් සමාගම යනු බී. ඇන්ඩ් කේ. සමාගමේම කාබන් කොපියක් විය. ශෂිකුමාර් ක්‍රිෂෝකුමාර් එහිදී කේ. ශෂිකුමාර් ලෙස තම මාරු කිරීමක් පමණක් සිදුකර තිබුණි. මඩකළපුවේ නිවාස හාරසියයක් ඉදිකිරීම වෙනුවෙන් වූ එකඟතාවයට සාලිය වික්‍රමසූරිය රාඩා වෙනුවෙන් අත්සන් තබද්දී එවරස්ට් සමාගම වෙනුවෙන් ඊට අත්සන් තබා තිබුණේ කේ. ශෂි කුමාර්ය.

නිවාස නොමැති අසරණ ජනතාවට නිවාස තනා දීමට යැයි කියමින් පැහැදිලි වංචාවක් මෙම ව්‍යාපෘතිය තුළ සිදුව තිබේ. මෙම මුදල් එමිල් කාන්තාන් හරහා එල්ටීටීඊයට ගියේ ද නොඑසේනම් සියලු දෙනා එක්වී සොරකම් කළේ ද යන්න පිළිබඳව පරීක්ෂාවක් සිදු කිරීම සැබැවින්ම වැදගත්ය.

රාජ්‍ය වත්කම් අයථා පරිහරණය සම්බන්ධ කාරණා ගැනෙනුයේ පොදු දේපළ පනත යටතේය. එය පහසුවෙන් ඇප දිය නොහැකි වසර විස්සක බරපතළ සිර දඬුවම් පැමිණවිය හැකි වරදකි. වරදකරු වුවහොත් සැකකරුවන් හට සොරකම් කළාක් මෙන් ‍ෙතගුණයක මුදල් යළි ආපසු ගෙවීමට සිදුවේ. ඒ මේ, පිළිබඳව අප දන්නා නෛතික තත්ත්වයයි.

සැබැවින්ම ටිරාන් අලස් යනු අමුතුම මාදිලියේ චරිතයකි. ඔහු තම සේවකයින්, මිත්‍රයන්, ජනතාව පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයේ දශක ගණනක් අත්දැකීම් සහිත හොඳින් තෙම්පරාදු වූ දේශපාලනඥයන්ව ද රැවටුවේය.

චන්ද්‍රිකාව, මහින්දව, සරත් ෆොන්සේකාව පමණක් නොව ඔහු ප්‍රභාකරන්ව ද රැවටුවේය. සටකපටකම අතින් ඔහුට සම කළ හැකි වෙතත් දේශපාලනඥයකු මෑත කාලයේ හමු නොවන තරම්ය. එම මාවතේ තවත් කෙතරම් දුරක් ටිරාන්ට යා හැකි වේ ද යන පැනයට පිළිතුරක් කාලය විසින් ලබා දෙනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.