25 April, 2024

Blog

භික්ෂුහු රතු එළි දල්වති: මේ අවස්ථාවත් අහිමි කර ගමු ද?

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

“විවේක සමය”, නිම කරමින් බෞද්ධ භික්ෂුහු රජයට රතු එළි දැල්වීමට පටන්ගෙන තිබේ. යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි බව අස්ගිරි මහා විහාරයේදී බුද්ධ ශාසන කාර්ය සාධක බළකා නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කර තවම ගතව ඇත්තේ දින කිහිපයකි. සමීකරණය ගොඩනැ‍ඟෙමින් ඇති ආකාරයට පෙනෙන්නට ඇත්තේ ඉදිරි කාලය, රජයට එතරම් පහසු නොවනු ඇති බවය. එකවර සටන් පෙරමුණු කිහිපයක සටන් කෙරුමට අනාගතයේදී රජයට සිදුවන බව බැලු බැල්මට පෙනෙන්නට ඇත. අස්ගිරි මහා විහාරයේදී අඟහරුවාදා රැස්වුණු බෞද්ධ භික්ෂුන් වහන්සේලා මතුකර තිබූ ප්‍රධාන දුක්ගැනවිලි වූයේ ඉදිරිපත් කිරීමට සැරැසෙන යෝජිත ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන අහිමි කරමින් බෙදුම්වාදය ශක්තිමත් වන බව හා විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම තුළ ඒකීය රාජ්‍ය ව්‍යුහය දිය කරමින් ඊට ඍණාත්මක බලපෑමක් ගෙන එමින් බෙදුම්වාදයට පාර කැපීමක් සිදුවන බවය. එසේම උන්වහන්සේලා එහිදී මතු කර තිබූ වැදගත්ම කාරණය වූයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා රජයට ජනවරමක් හිමිව නොමැති බවය. ඉදිරිපත් කර ඇති මෙම තර්ක කෙතරම් යුක්ති සහගත ද යන්න මඳක් විමසා බැලීම වටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් රජයට උනන්දුවක් ඇතිමුත්, තවම එය පවතිනුයේ සාකච්ඡා මට්ටමේය. තවමත් ඒ පිළිබඳ අවසන් ලියවිල්ලක් සකසා නොමැත. අනෙක් අතට, රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම යනු හොර රහසේ කඩිමුඩියේ සිදුවන්නක් නොවේ. එය පැහැදිලි විවෘත ක්‍රියාවලියක් තුළ සිදුවන්නකි. දැනට පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදන තුළ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියට අමතරව ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ද හිමි විය යුතුය. ව්‍යවස්ථා කෙටුම් පතක් සම්බන්ධයෙන් යමෙකුට අභියෝග කළ හැක්කේ එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. තමන් ඊට විරුද්ධ නම් එය පරාජයට පත් කිරීම වෙනුවෙන් එවිට කටයුතු කළ හැකිය. නමුත් එවැනි කෙටුම් පතක් හෝ තවම නිකුත්ව නොමැති පසුබිමක ඒ සම්බන්ධව ඉදිරිපත් කරන විරෝධතා සමාන කළ හැක්කේ මුහුද හත්ගව්වක් තිබියදී අමුඩය ගැසීමකටය. එය ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතුය.

අනෙක් අතට, එම භික්ෂුන් වහන්සේලා මතු කර ඇති ව්‍යවස්ථා වෙනසකට ජනතා අනුමැතිය ලැබී නොමැති බවට වන කථාව ද මුසාවකි. 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී මේ රටේ අතිබහුතරයක් ජනතාවගේ ඡන්දයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වෙද්දී ඒ සමඟ පැහැදිලි දේශපාලන අභිලාෂයන් රැසක් ගැට ගැසී තිබිණි. එදා ජනතාව විරුද්ධ වූයේ රාජපක්ෂලාගේ හොර, මැරකම්, තක්කඩිකම්වලට පමණක් නොවේ. ශීලාචාර, ප්‍රජාතන්ත්‍රීය රටක් පිළිබඳව අහිංසක වූ බලාපොරොත්තු ද ඒ සමඟ විය. මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් සමාජය වෙතින් මතුවූ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලීම වෙනුවෙන් වූ යෝජනාවට හා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම වෙනුවෙන් වූ යෝජනාවට ජනතාව දැක්වූයේ ඉහළ ප්‍රතිචාරයකි. කවුරුන් කෙසේ කීව ද ඇත්ත එයයි. අද ජනවරම පිළිබඳව ආණ්ඩුවට සිහිපත් කිරීම් කරන මේ එකඳු හෝ බලවේගයක් එදා එම තීරණාත්මක මොහොතේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් නොවේ. අමතක නොකළ යුතු වැදගත්ම කරුණ එයයි.

රාජපක්ෂ යුගයේ සිදුවූ නොපනත්කම් හමුවේ කසාය පානය කළ ගොළුවන් සේ නිහඬව සිටි මර නින්දක වැටී සිටි කණ්ඩායම්, අද උස් හඬින් ඝෝෂා කිරීමට පටන්ගෙන තිබේ. යුද ජයග්‍රහණය කරා හමුදාව මෙහෙයවූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට අඩන්තේට්ටම් කරද්දී, ශිරාණි බණ්ඩාරනායක මහත්මියව අගවිනිසුරු ධුරයෙන් එක රැයින් ගෙදර යවද්දීත්, මාධ්‍යවේදීන් බුරුතු පිටින් ඝාතනය කරද්දී අවම තරමින් ඒවා හෙළා දකිමින් පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීමට හෝ අද මාධ්‍ය වීරයන් වී ඇති මේ ඇතැමුන් කටයුතු කළ බවනම් අපට මතක නැත. ලෝක උරුම නගරයක් වන මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියස රාත්‍රී මෝටර් රථ ධාවන තරග පවත්වද්දී ඔවුනගේ මේ හෘද සාක්ෂිය එදා අවදි නොවුණි. එවැනි පසුබිමක් අද මේ නඟන විරෝධය පසුපස “පැහැදිලි දේශපාලනයක්” ක්‍රියාත්මක වන බව හඳුනා ගැනුම ඒ හැටි අසීරු නැත.

ඉතිහාසයේ ප්‍රථම වතාව සම්මුති බද්ධ ආණ්ඩුකරණයක් වෙනුවෙන් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක්වූ පසු රටේ ඉදිරි ගමන වඩාත් යහපත් වනු ඇතැයි බොහෝ දෙනා සුබ සිහින දුටුවේය. විශේෂයෙන්ම දේශපාලන බලලෝභීත්වය තුළ දශක ගණනාවක් තිස්සේ අතපසු වූ ජාතික සමඟිය ගොඩනැඟීමේ ක්‍රියාවලිය මේ සමඟ, යහපත් වනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කළේය. පටු දේශපාලන අවස්ථාවාදය නිසාවෙන් බොහෝ දේ නැතිකර ගත් ජාතියකි අප. නිදහසින් පසු යුගයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හා ඩඩ්ලි සේනානායක වැනි දේශපාලනඥයන් ජාතික සමඟිය ගොඩනැංවීම වෙනුවෙන් ගත් උත්සාහයන් පටු දේශපාලන අවස්ථාවාදය තුළ ආපසු හැරවීම සිදු විණි. තම ලාභ පංගුව පෙරදැරිව දේශපාලනයේ නිරත වූ බලලෝභි, ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනඥයන් සමඟ එක්ව එම උත්සාහයන් ආපසු හැරවීමේදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා ද තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ බව රහසක් නොවේ.

එක්සත් ජාතික පක්ෂය මෙන් ම ශ්‍රී.ල.නි. පක්ෂයද එම ඓතිහාසික වරදට වරින්වර මාරුවෙන් මාරුවට දායක වුණි. එම මැදිහත්වීම් තුළ පසුකාලීනව අපට ගෙවීමට සිදුවූ වන්දිය අති මහත්ය. එය උතුරේ හා දකුණේ ජීවිත දසදහස් ගණනින් බිලි ගත්තාට අමතරව රටේ කීර්තිය නැති කරමින් ලෝකය තුළ අප හුදකලා තත්වයට පත් කළේය.

වාර්ගික සමඟිය ඇති කිරීමේ අරමුණ පෙරදැරිව සිදු කරන්නාවූ දේශපාලන මැදිහත්වීම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා බොහෝවිට දකිනුයේ බෞද්ධාගම හා සිංහල ජාතිය නැති කිරීමට සිදුකරන කුමන්ත්‍රණය ලෙසය. එවැනි හැඟුම්බර විරෝධයන් කුළු ගැන්වීම අසීරු නොවේ. විශේෂයෙන් ම, ජාතියේ “මුරදේවතාවුන්” වහන්සේලා ලෙස එවැනි මොහොතක මැදිහත්වීමක් කිරීම තම යුතුකම යැයි ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශ්වාස කරති. නමුත් එහිදී මතුවන ගැටලුව වනුයේ එම මුරදේවතාවුන් වහන්සේලාගේ රාජකාරිය ඉටු කරලීමට ඔවුන්ට ඇති “සුදුසුකම්” පිළිබඳවය.

මධ්‍යතන භික්ෂූන් වහන්සේලාගේ කාර්යභාරය පිළිබඳව මීට අවුරුදු 18ට ඉහතදී මහාචාර්ය එච්.එල්. සෙනෙවිරත්න වැදගත් කෘතියක් රචනා කළේය. The work of kings: The New Buddhism in Sri Lanka හෙවත් රජවරුන්ගේ කාර්යය: ශ්‍රී ලංකාවෙහි නව බුදු සමය කෘතියෙහි නම විය. වත්මන් ශ්‍රී ලාංකික බෞද්ධ නූතන වාදය විසින් ඉවසීම, අවිහිංසාව හා බහුත්වවාදය වැනි ලෝක ව්‍යාප්ත ගුණාංගවලින් යුතු ලෞකික සමාජයක් බිහිකිරීමෙහිලා අපොහොසත් වූයේ කවරක් නිසාද යන්න විමසීම එම කෘතිය රචනා කිරීමෙන් මහාචාර්ය සෙනෙවිරත්න අපේක්ෂා කළ ප්‍රධාන කාරණය විය. පැවිදි ජීවිත පරමාදර්ශය හුදෙක් වචනයට පමණක් සීමා කරමින් ධනය හා බලය සපිරි ආරාමික මධ්‍යම පන්තියක් බිහිවීම පිළිබඳව මහාචාර්ය සෙනෙවිරත්න එහිදී කදිම ලෙස විස්තරයක් ඉදිරිපත් කර ඇත. භික්ෂුව‍කගේ සැබෑ අභිප්‍රායන් වනුයේ සංසාරික පැවැත්ම හා සම්බන්ධ පරමාර්ථ සපුරා ගැනීම වුවද ඒවා බැහැර කිරීමත් සමඟ භික්ෂුවක‍ගේ පදනම සැබවින් ම ගිලිහී යයි. භික්ෂුවකගේ කාර්ය ලෙස සමාජ සේවය ලෙස දශක කිහිපයකට පෙර ඉදිරිපත් කරන ලද අර්ථකථනයත් සමඟ ව්‍යාපාරික හා දේශපාලන අරමුණු පෙරදැරිව ලාභ සන්තානයෙන් කටයුතු කරන භික්ෂූණ් පිරිසක් බිහිවූ අතර ඉවසීම බහුත්වවාදය වෙනුවට උන්වහන්සේලා වැඩි වශයෙන් ප්‍රවර්ධනය කළේ ජාතිවාදයය.

නිදහසින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වූ සෑම අවස්ථාවකදීම මේ ජාති වාදි කණ්ඩායම් ගිහි පැවිදි භේදයකින් තොරව එක පෙළට හිට ගත්තේය. කෙසේ වෙතත්, සැබෑ බෞද්ධයෙකු හට තණ්හාව, වෛරය, අගතිය පිළිබඳ කල්පනා කළ නොහැකිය. ඒ, ඒවා බෞද්ධ දර්ශනයට අනුකූල නොවන බැවිනි. මෙහිදි අපි අවබෝධ කරගත යුතු වැදගත් ම කාරණය වනුයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කරනුයේ අතීතය වෙනුවෙන් නොව අනාගතය වෙනුවෙන් බවය.

යෝජිත නව ව්‍යවස්ථාවෙන් දැනට ව්‍යවස්ථාවේ 9 වන වගන්තියේ සඳහන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බව වන වගන්තිය සංශේධනය නොකරන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනටමත් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධාගමේ සුරක්ෂිතභාවය කෙරේ ඇතැමුන් මතු කරන අන්දමේ කිසිදු අවදානමක් පැන නැගීම සිදු නොවේ. ජනතාව මේ සටන් පාඨ දේශපාලනය වෙත ප්‍රතිචාර දැක්විය යුත්තේ ඒ සියල්ල සමඟිනි. කෙසේ වෙතත් මේ මොහොතේ පන්දුව ඇත්තේ රජය අතෙහිය. එබැවින් මෙහිදි වඩාත් වැදගත් වනුයේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයයි. පෙනෙන්නට ඇති අන්දමට නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විරෝධය රජය යම් සසල කිරීමකට සමත්ව ඇත. ජනාධිපතිවරයා කඩිමුඩියේ මහනුවරට ගොස් මහා නායක හිමිවරුන් බැහැදුටු අතර, 5 දා පාර්ලිමේන්තුවට ඉදිකිරීම සඳහා න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබූ බලහත්කාරී අතුරුදහන් කිරීම් වලින් සියළු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පතද විවාදයට ඉදිරිපත් නොකරන ලදි. ඒ ඔස්සේ යුද ජයග්‍රහණය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කළ රණවිරුවන්ට දඬුවම් දිය හැකි තත්ත්වයක් නිර්මාණය වන බව බෞද්ධ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් පමණක් නොව හිටපු ජනාධිපතිවරයා ද අවධාරණය කර තිබුණි.

නමුත් මේ පනත යුද්ධය හා අදාළ වනුයේ කෙසේ දැයි අපට නොවැටහෙයි. මෙය පාදක කර ගනිමින් යමෙකුට දඬුවම් දෙන්නේ නම් එය සිදු වනුයේ අතුරුදහන් කිරීම්වලට එරෙහිව මිසක, යුද්ධ කළාය කියා නොවේ. යුද්ධය හා අතුරුදහන් වීම් අතර ඇති සම්බන්ධය අපට නොවැටහෙන්නේ එබැවිනි. මේ ආකාරයට ම මේ ආණ්ඩුව රණවිරුවන්ට දඬුවම් කරන බවට මතයක් පසුගිය කාලයේ සමාජ ගත විණි. නමුත් ඒ එකඳු හෝ අවස්ථාවක ඔවුනට දඬුවම් පමුණුවා තිබුණේ යුද්ධ කිරීම නිසා නොවේ. වැරදි ක්‍රියා සිදු කිරීම නිසාය. එසේ නැතුව යුද්ධයට සම්බන්ධ වූ නිසා පසුගිය කාලයේ සිරභාරයට පත්වූ එකඳු හෝ “රණවිරුවකු” ගැන අපි නම් අසා නොමැත.

පෙර සඳහන් කළාක් මෙන් ඉතිහාසයේ “ස්වර්ණමය” අවස්ථා කිහිපයක් ම අප අහිමි කර ගත්තේය. පසුතැවීම පමණක් නොව ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය ද විශාල විය. මෙවර හෝ ඒ වරද සිදුනොකර ගැන්ම ඒ වෙනුවෙන් වග බලා ගැනීම සියලු දෙනාගේ ම යුතුකමක් හා වගකීමක් වන්නේ එබැවිනි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    2

    ලංකාවේ ජාතික ප්‍රශ්නය කියමින් ජනවාර්ගික ප්‍රශ්නය,අපට දැනට ඇති ප්‍රධාන ප්‍රශ්න ලෙස හුවා දක්වමින් බෙදුම් වාදින් මොරගාමින් සිටි. නමුත් අපේ ජාතික ප්‍රශ්නය වන්නේ රටේ ආර්ථිකය ගොඩනැගිමයි එය පසක තබා වෙනත් දිශාවන්ට පාලකයෝ ජනතාව මෙහෙයවමින් සිටී.ජාතික හා ජනවාර්ගික යන වචන දෙකේ තෙරුම පවා ඔවුන් පටලවමින් සිටි හුදෙක්ම දෙමල බෙදුන්වදය ලංකාවෙන් තුරන්වි හමාරය. එය නැවත මොදුවිමට සැහෙන කලක් ගතවෙවි.පාලකයො කේසේවෙතත් ජනතාව නිවරදි දැක්මේ සිටි එම දැක්මේ සිටින තුරු පාලකයො රැදෙවී

  • 0
    2

    The writer is just another who is adding fuel to the fires that have been slowly burning through the years.
    Lets get it straight. A country needs to feed its people today, tomorrow and for ever. Thats about the most basic need I can think of . But take the front pages of our national dailies or main TV channels any given day. Is there any mention of Production, Export, import substitution, job creation, savings ? Noo. But they are all full of issues like the one above. Division, division,division on all lines possible ethnic, religious,linguistic etc. Grab whatever you can NOW seems to be the motto !!!
    Buddhism does not a need a protector . Its just a path expoused by the Lord Buddha.If understood and followed In its purest form, it will lead you to Nirvana in this very life. You really need to have some extra
    grey matter for that.
    In its all other diluted forms, like Sinhala Buddhim, created by King Devanam Piyatissa, the Buddhist Priest has been enshrined as the Guadian of Sinhala Buddhism. This 2500 year old tradition & culture is what the present government is trying to change in 2 years.Do we need to talk any more. Of course they will fight back tooth & nail . And the people WILL just follow. Will these Colombians & their puppet masters ever learn. The Diaspora, other divisive groups better think again.
    Meanwhile, The house is on fire and the wolves are right behind waiting to grab their pounds of flesh – and the RW & His crony Colombians are forever reconsidering garbage issue, saitam,issue, constitutional change, legitimising gay marriage, etc, etc, enjoying the merry go round.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.