12 November, 2018

Blog

ලලිත්ට අකාරුණික වීම

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදි කළ නේවාසිකාගාරයක් දිවංගත අමාත්‍ය “ලලිත් ඇතුළත්මුදලි” ගේ නමින් නම් කිරීම පිළිබඳව එහි ශිෂ්‍ය ප්‍රජාව උරණ වීමෙන් පෙන්නුම් කරනුයේ රටේ අනාගතය භාර ගැනීටම සූදානමින් සිටින පරපුරක චින්තනයේ දිළිඳු බව මිස වෙනෙකක් නොවේ. එක් අතකින් මේ පිළිබඳව අප කම්පා විය යුතු නැති තරම් ය. ඒ, රටේ බුද්ධිමත් ප්‍රජාවක් යැයි හැඳින්වෙන “ඇකඩමියාවේ” නෛසර්ගික ගති සොබාව වී ඇත්තේ මෙය බැවිනි. මීට වසර 10කට කලින් ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් නමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, නේවාසිකාගාරයක් නම් කරන ලද අවස්ථාවේ ඊට විරෝධය පළ කළේ අද ලලිත්ගේ නමට බිය වී ඇති මේ ඊනියා ශිෂ්‍ය ප්‍රජාවේ පූර්වගාමීන් ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවමින් නූතන විශ්වවිද්‍යාල සංකල්පය ශ්‍රී ලංකාව තුළ තහවුරු කළ ජෙනිංග්ස් වැන්නකුට විරුද්ධ වන්නේ නම් ඇතුළත්මුදලි වැන්නකු ගැන කවර කථා ද? එසේ කියමින් මේ සිදුවීම පිළිබඳ සංවාදය නතර කිරීමට සූදානම් නැත. සැබවින්ම, අප මේ සිදුවීම, පරිස්සමින් කියවීම වැදගත්ය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු කවරෙක්ද ඔහුගේ ගති සොබාවන් මොනවාද? යන්න ගැන එහිදී ප්‍රථමයෙන් අප විමසා බැලිය යුතුය.

ළමාවිය ඉක්මවූ වයස්ගත නොවූවන් වන විශ්වවද්‍යාල ශිෂ්‍යයෝ, ස්වභාවයෙන් ම ආවේගශීලී ය. වෙනසක් වෙනුවෙන් වැඩ කරන බව නිතර පිටතට පෙන්වයි. ඇඳුමෙන්, පැලඳුමෙන්, හැඩයෙන් පමණක් නොව කෑමෙන් ද ඔවුන් තුළින් පෙනෙනුයේ උප සංස්කෘතික ලක්ෂණ ය. “ලෝකය” වෙනස් කිරීමට දඟලන මේ කණ්ඩායම සාමාන්‍ය මොළයට වඩා හදවතට වැඩි තැනක් දෙති. “දේශපාලනය” ඔවුන්ගේ විලාසිතාව ය. ඒ තුළ පවා පොරක් විය හැක්කේ වැඩි වැඩියෙන්, “විප්ලවවාදීන්” ලෙස පෙනී සිටින තරමට ය. කෙසේ වෙතත්, මොවුන්ගේ දේශපාලනය පදනම් වනුයේ න්‍යාය මතවාද මත නොවේ.

අතීතයේ දී මෙයට ව්‍යතිරේක තත්ත්වයන් දැකගත හැකි වුවත් මේ වන විට එය නේවාසිකාගාරය එසේත් නැත්නම් තම ආදරවන්තිය හෝ ආදරවන්තයා වැනි සිල්ලර කාරණා මත පදනම්ව දිගහැරෙයි. මෙබඳු පසුබිමක් සහිත පුද්ගල කණ්ඩායමක් වෙතින් මතු වන අතාර්කික හැසිරීම් පිළිබඳ අප පුදුම නොවිය යුතු බව ආරම්භ‍යේ දී ම පැවසුවේ එබැවිනි.

පේරාදෙණියේ සිසුන්, ලලිත් ඇතුළත්මුදලිගේ නමින් නේවාසිකාගාරයක් නම් කිරීමට විරුද්ධ වනුයේ ඔහු ‘මිනීමරුවකු’ යැයි කියමිනි. එය නම් කදිම විහිළුවක්මය! ශාන්ත බණ්ඩාර යනු ජවිපෙ දෙවැනි කැරැල්ල තුළ සිටි ප්‍රධාන නායකයන්ගෙන් කෙනෙකි. රට ලේ සාගරයක ගිල්ලූ එම අසාර්ථක කැරැල්ලේදී මිනිස් ජීවිත අහිමි වූයේ දහස් ගණනිනි. උත්තරීතර යැයි කියන රටේ පාර්ලිමේන්තුවට පවා බෝම්බ එල්ල වූයේ ඒ සමයේය. ඒ පිළිබඳ වගකීමෙන් ජවිපෙට මිදිය නොහැකි අතර, අඩු වැඩි වශයෙන්, ඔවුන් ඒ පිළිබඳ වගකීම භාරගත යුතුය.

ජවිපෙ ඉදිරිපෙළ නියමුවකු වූ ශාන්ත බණ්ඩාර යනු කිසිසේත් ම, එහිදී “අහිංසකයෙක්” නොවේ. ඔහු විප්ලවයට දායක වූයේ “නවගුණවැල” අතැතිව නොවේ. එහෙත් “මිනිමැරීම්වලට” විරුද්ධ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට එය ගැටලුවක් වී නැති බව පෙනී යයි. ඒ නිසාම ඔහුගේ නමින් රාජගිරියේ දේශීය වෛද්‍ය විද්‍යා විද්‍යායතනය තුළ නේවාසිකාගාරයක් නම් කිරීම ගැටලුවක් නැත. ඇතැම් විප්ලවවාදී වාමාංශික පක්ෂ මෙන් ම ශිෂ්‍ය ප්‍රජාව ද “ඝාතකයන්” පිළිබඳ කියවීම් කරනුයේ තමනට වාසිදායක ලෙස පමණි. ඒ පිළිබඳව මේ දෙපාර්ශ්වයට ම ඇත්තේ කබරගොයත් තලගොයා කිරීමේ න්‍යාය පමණි.

ජවිපෙ, චන්ද්‍රිකා රජය සමය එක්ව පරිවාස ආණ්ඩුවක් ගොනැඟූ සමයේ ශිෂ්‍ය ප්‍රජාව “71 මිනිමරුවන්” සමඟ එක් වන්න එපා යැයි ජවිපෙට කීවේ නැත. 2010 ජනාධිපතිවරණයේදී අද පෙරටුගාමි හා ජවිපෙ ලෙස බෙදී සිටින සියලු දෙනා එක්ව සරත් ෆොන්සේකා ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීම් කරද්දි “මිනිමරුවන්” සමඟ එක් නොවන ලෙස ඉල්ලීම් ශිෂ්‍ය ප්‍රජාව වෙතින් මතු වූයේ නැත. එබැවින් ලලිත් ඇතුළත්මුදලිට එරෙහිව මේ මතු කරන “මිනීමැරුම්” චෝදනාව යනු විහිළුවක්ම ය. එය අමුම අමු තක්කඩිකමක් ය.

ඕනෑම කෙනකු වීරයකු වනුයේ, බෝඩ් ලෑලිවලින් නාම පුවරුවලින් නොවේ. රට වෙනුවෙන්, ජනතාව වෙනුවනේ, කළ කී දෑ අනුව යමකු වීරයකු ද නැද්ද යන්න තීරණය වේ. ලලිත් ඇතුළත්මුදලිගේ දේශපාලන ක්‍රියාකාරීත්වය දෙස බලන විට ඔහුව වීරයකු ලෙස, සැලකීමට අනන්තවත් හේතු කාරණා තිබේ. දේශපාලනඥයකු ලෙස ලලිත් ඇතුළත්මුදලි සර්වසම්පූර්ණ චරිතයක් නොවේ. ඔහු තුළ ද දුර්වලතා විය. විශේෂයෙන් ම මේ රටට ශාපයක් වී ඇති විධායක ජනාධිපති ක්‍රමය රට තුළ තහවුරු කිරීමේ දී ලලිත් කැපී පෙනෙන කාර්යභාරයක් සිදු කළ බව රහසක් නොවේ. එහෙත් වඩාත් වැදගත් වනුයේ, වැරදි කිරීම නොව, සිදු කළ වරදි පිළිගැනුමට තරම් නිහතමානී වීමය.

දේශපාලනඥයන් තුළ ඒ ගතිය දැකගත හැක්කේ ඉතා කලාතුරකිනි. ලලිත් තමන් අතින් වූ වැරදි පිළිගැනීමට තරම් හැකියාවක් තිබූ දුර්ලභ ගණයේ දේශපාලනඥයෙක් විය.

ර‍ටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් තම තනතුරු වරදාන පරිත්‍යාග කරමින්, රජයෙන් පිටතට පැමිණීමට තරම් ධෛර්යයක් ඔහුට විය. දේශපාලන බලය සහිතව සිටියදී නිර්මාණශීලී වැඩකොටසක් ඔහු මේ රට වෙනුවෙන් ඉටු කළේ ඥානවන්ත දේශපාලනඥයකු සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙසිනි.

සාමාන්‍යයෙන් දේශපාලනඥයා ඊළඟ මැතිවරණය දෙස අවධානය යොමු කළ ද ලලිත් නිතර ම අවධානය යොමු කළේ ඊළඟ පරපුර කෙරෙහිය. රටේ අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින තරුණ පරපුර බලවන්ත කිරීම ඔහුගේ සිහිනය විය. තරුණයකු ලෙස, කුඩා කල තමන් අත්විඳි දුක්ගැහැට, තරුණ පරපුරට ලබා නොදීම ‍ඔහුගේ සිහිනය විය. ආර්ථික අපහසුතා සහිත විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් හඳුන්වාදුන් මහපොළ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය එහි කූටප්‍රාප්ති අවස්ථාවක් විය.

මහපොළ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය සමාජීය ඉල්ලීමක් මත බිහි වූවක් ‍නොවේ. එය තනිකර ම පාහේ ශිෂ්‍ය අවධියේ දී තමන් මුහුණ දුන් අත්දැකීම් මත ලලිත් ඇතුළත්මුදලි බිහි කළ නිර්මාණශීලී අදහසක් විය. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය වෙනුවෙන් යෙදවූයේ ලලිත් ඇතුළත්මුදලි නම් දේශපාලනඥයාගේ පෞද්ගලික ධනය නොවුවද, ඒ මාහැඟි සංකල්පයේ නිර්මාතෘවරයා ඔහු ය. ඒ ගෞරවය කිසිවෙකුට සොරාගත නොහැකි ය.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී සිදු වූ සිය පියාණන්ගේ අවමඟුල් උලෙළට සහභාගී වීමට මෙරටට පැමිණි අවස්ථාවේ එවකට සිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා හමු වී ලලිත් ඉල්ලීමක් කළේය. ඒ තමන්ට ඔක්ස්ෆර්ඩ් හි රෝඩ්ස් ශිෂ්‍යත්වය සඳහා අයදුම් කිරීමට අවසර දෙන ලෙසිනි. ලලිත් ඒ ඉල්ලීම කළේ ඒ වන විට ආර්ථික ගැටලු රැසකින් ඔහු පීඩා විඳි බැවිනි.

ලලිත්ගේ හැකියාවන් හොඳින් දැන සිටි බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේ විශේෂ ශිෂ්‍යත්වයක් ඇතුළත්මුදලි ශිෂ්‍යයාට ලබාදීමට පොරොන්දු විය. “රෝඩ්ස් ශිෂ්‍යත්වය ඉල්ලුවොත් ඔබට ඒක ලැබෙනවා සිකුරුයි. ඒත් අපි ඒක වෙන ශිෂ්‍යයකුට ගන්න අවස්ථාව දෙමු. මම ඔබට විශේෂ ශිෂ්‍යත්වයක් දෙන්නම්.” බණ්ඩාරනායක මහතා එසේ පැවසීමෙන් අනතුරුව, ශිෂ්‍යත්වයක් දෙන ලෙස අයදුම්පතක් භාර දී ලලිත් යළි ඔක්ස්ෆර්ඩ් බලා පිටත් විය.

දුන් පොරොන්දුව ප්‍රකාරව දීප්තිමත් අනාගතයක් සහිත මේ තරුණයාට දෙවසරක අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් පන්දහසකට නොවැඩි මුදලක් වෙන් කිරීම පිණිස, 1959 පෙබරවාරි 24 වැනි දින බණ්ඩාරනායක රජය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. අධ්‍යාපන ඇමැතිවරයා වූ විජයානන්ද දහනායක මහතා යෝජනාව ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික විවාදයක් වූ එම විවාදයට අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරු දොළොස්දෙනෙක් එක් වූහ. ස්ථාවර නියෝග 48 යටතේ එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසූ අවස්ථාවේ ඊට පක්ෂව ඡන්ද 33 ක් ද විපක්ෂව ඡන්ද 13 ක් ද ලබා යෝජනාව සම්මත විය.

ඇතුළත්මුදලි මහතාට ශිෂ්‍යත්වය ලබාදීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂය ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මහජන එක්සත් පෙරමුණ උතුරේ ද්‍රවිඩ මන්ත්‍රිවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ලංකා කොමියුනිස්ට් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

1981 ඔක්තෝබර් 06 වැනිදා, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී ලලිත් තම ශූර කථිකත්වය මනාව විහිදුවාලමින් වෙ‍ෙළඳාමත් අධ්‍යාපනයත් එක් කළ එම අවස්ථාවට ගැළපෙන සේ සාරගර්භ කථාවක් සිදු කළේය. එම දීර්ඝ කථාවේදී ලලිත් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඊට වසර විසිතුනකට පෙර බණ්ඩාරනායක මහතා ඇතුළු රජය කළ මැදිහත් වීම කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් ‍කළේය. මේ එම දේශනයෙන් උපුටාගත් වැදගත් ‍කොටසකි.

“මට ඒ ශිෂ්‍යත්වය දෙන වෙලාවේදී බණ්ඩාරනායක මැතිතුමා මට කළ ප්‍රකාශයක් මම කියන්න ඕනෑ. එතුමා කිව්වා, තමුන්නාන්සේ ආපසු මවු රටට ඇවිත් තමුන්නාන්සේට පුළුවන් සේවයක් රටට කරන්නය කියා. එපමණයි, එතුමා මගෙන් ඉල්ලුවේ. මගේ පක්ෂයට බැ‍ඳෙන්නය, මගේ පවුලට වැඩ කරන්නය, මගේ කණ්ඩායමට උදවු කරන්නය කියන විධියේ පටු හැඟීම්වලින් ‍තොරවයි එදා බණ්ඩාරනායක මැතිතුමා මට උපදෙස් දුන්නේ. බොහෝම පුළුල් අදහසිනුයි, එතුමා උපදෙස් දුන්නෙ. එතුමා තුළ පවුල්වාදයක් තිබුණේ නැහැ.

එතුමා සමඟ සම්බන්ධ ඇතැම් අයට තිබුණත් එතුමා තුළ තිබුණේ නැහැ. එක් කෙනෙක් අහල තිබෙනවා, “අසුවලා ශිෂ්‍යත්වයකුත් ලබාගෙන ඇයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැ‍ඳෙන්නේ නැත්තෙ?” කියා. මම දන්නේ නැහැ, ඒ අදහස හරිද වැරදිද කියා. මම හිතන්නේ නැහැ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මේ මන්ත්‍රීවරුත් එහෙම කරනවාය කියා. මම මේ අවස්ථාවේදී එක් කාරණයක් කියන්නම්.

බණ්ඩාරනායක අගමැතිතුමා මට කිව්වා වගේ මේ මහපොළ ශිෂ්‍යත්වලාභීන් සෑම දෙනෙකුගෙන්ම මම ඉල්ලා සිටින්නේ මේ උසස් අධ්‍යාපනය ලබාගෙන ඇවිත් එක්සත් ජාතික පක්ෂයට බැ‍ඳෙන්න කියා නොවෙයි, කරුණාකර කුමන ආකාරයකින් හෝ මේ රටට සේවයක් කරන්න කියායි. ඒකයි, මෙහි පරමාර්ථය. ඒකයි, මෙහි ක්‍රමය. සම්පූර්ණයෙන්ම පටු අදහස්වලින් තොරව මේ ශිෂ්‍යත්වලාභීන්ට පණිවිඩයක් දෙනවා නම් ඒ පණිවිඩය මේකයි. “මේ සමාජයෙන් තමුන්නාන්සේලාට ලබා දෙන්න පුළුවන් දේ දී තිබෙනවා; තමුන්නාන්සේලා උසස් අධ්‍යාපනය ලබාගෙන ඇවිත් කරුණාකර තමුන්නාන්සේලාගෙන් සමාජයට ඉටු විය යුතු සේවය ඉෂ්ට කරන්න” කියන එකයි.

උසස් අධ්‍යාපනයට එන අය හුඟාක් උසස් අය. සාමාන්‍ය පුද්ගලයන් නොවෙයි. අධ්‍යාපනයෙන් උසස්; ඥානවන්තකමින් උසස්; ඒ අය මේ රට අලංකාර කරන්න පුළුවන් අයයි: මේ රට ශ්‍රේෂ්ඨ රටක් කරන්න පුළුවන් අයයි. මට මේ අවස්ථාවේ දී මතක් වෙනවා, දිවංගත ඇමෙරිකන් ජනාධිපති කෙනඩි මහතා කළ ප්‍රකාශයක්.

එතුමා ශිෂ්‍යත්වලාභීන්ට අවවාද කරමින් කී දේ මට උපුටා දක්වන්න පුළුවන් නම් මෙන්න මේ අදහසයි එහි ඇත්තේ. “අද පටන් ශිෂ්‍යත්වලාභීන් කල්පනා කළ යුත්තේ රටින් තමන්ට ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැන නොව, තමන්ගේ රටට දෙන්න පුළුවන් සේවය ගැනයි” එය ඉංග්‍රීසියෙන් කියනවා නම් මෙහෙමයි:

“From now on you must ask not what your country can do for you but What you can do for your country”

සැබවින්ම, මහ‍ෙපාළ සංකල්පය ඉතා කුඩා අදහසකින් නැඟී, ජනතාවගේ ආකල්ප හා අදහස් කැටි කරගනිමින් වර්ධනය වූවකි.

“මට ඇත්තේ පුංචි අදහස්. ‘මහා සංකල්ප’ නොවෙයි. එක් පුංචි අදහසක් ඉදිරිපත් කළාම මිනිසුන් තමන්ගේ අදහස් එකතු කරනවා. ඉන් පසු එහි අයිතිය මට ‍නොවෙයි; රටට යි. ජනතාවට යි. 1987 දී බෝම්බයෙන් මළා නම්, මගේ ජීවිතය ඉවරයි. එහෙත් මහපොළ හැමදාමත් අප උපන් මහපොළවේ උරුමයක් ව පවතීවි” ඇතුළත්මුදලි මහතා එසේ පවසා තිබිණ. අන්‍යයන්ගේ අදහස් උදහස් සොරාගෙන, තම සංකල්ප සේ හුවා දක්වමින් අදහස්වල සැබෑ හිමිකරුවන්ට නිර්දය ලෙස පහර දෙන පුද්ගලයන්ගෙන් පිරි දේශපාලන ක්ෂේත්‍රයෙහි තම අදහස්වල උරුමය පවා සෙස්සන් හා බෙදා හදා ගන්නට සූදානම් වීම උතුම් ගුණාංගයක් නො වේද?

1981 නොවැම්බර් මාසයේ දී ඇරඹුණු මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ප්‍රතිලාභ හිමි වූ මුල්ම කණ්ඩායම සාමාජිකයන් 422කගෙන් සමන්විත විය.

අන්ධ ශිෂ්‍යයකු වූ මාවතගම යූ.ඩි.ජී.එන්. ජයරත්න, එහි පළමු ශිෂ්‍යත්වලාභියා වූ අතර ගෞරව උපාධියක් සහිතව සරසවියෙන් පිට වූ ඔහු ගුරුවරයකු බවට පත් විය. පසුකාලීනව රටේ නාමධාරී උගතුන් වූ බොහෝදෙනකුගේ ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය සඳහා මහපොළ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයෙන් ලැබුණු පිටිවහල අතිමහත් විය.

මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය සම්පත් අමරතුංග වැන්නන් එය ප්‍රසිද්ධියේ සිහිපත් කළ වග මේ ලියුම්කරුට මතක ය. ඒ වන විට පැවති ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය අ‍හෝසි කරමින්, රුපියල් තුන්සිය පනහක දීමනාවක් ලෙස ඇරඹි මහපොළ ශිෂ්‍යත්වයේ වටිනාකම මේ වන විට රුපියල් 5000ක් දක්වා වැඩි වී ඇත.

වාර්ෂිකව එහි ප්‍රතිලාභ ලබන පිරිස 12,500ක් පමණ වන බව කියවෙයි. ඒ සියලු ඉලක්කම් පෙන්නුම් කරනුයේ වැඩසටහනක් ලෙස “මහපොළ” කෙතරම් සාර්ථක හා ප්‍රායෝගික ද යන්නය. ලලිත් ගේ නාමපුවරුවට විරුද්ධ ශිෂ්‍යයන් පවා තම ජංගම දුරකථන බිල්පත් ගෙවනුයේ තම ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරගනිමින් කුස පුරවාගන්නේ “මහපොළින්” බව ප්‍රකට කාරණයකි.

“මහපොළ” ගෙවන දිනය සරසවි ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රබෝධවත් දිනයක් බව මේ ලියුම්කරු හොඳින් දනී. එබඳු පසුබිමක ලලිත් ඇතුළත්මුදලි වැනි සරසවි ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂ සේවාවක් ඉටු කළ පුද්ගලයකුට එරෙහි වීම හැඳින්වීමට අකෘතඥකමට වඩා හොඳ වචනයක් මට හමු නොවේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.