22 September, 2020

Blog

සයිබර් අවකාශය හා දේශපාලන ලොව​ කැලඹූ ජනාධිපතිවරයාගේ කථාව

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අධිකරණයට ගෙන යෑම හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් රිමාන්ඩ් භාරයේ තබා ගැනීම පිළිබඳ විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා පදනම් ආයතනයේදී කළ ප්‍රකාශය රටේ දේශපාලනය කැලඹවීමට සමත්ව ඇත. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ, සී.අයි.ඩී.යේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ක්‍රියාකාරිත්වය ද ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර තිබිණි.

2015 ජනවාරි 08 වැනිදා යහපාලන වෙනස හැබෑවක් බවට පත්කළ කණ්ඩායම මෙන්ම “යහපාලන” විරෝධි කණ්ඩායම් ද ජනාධිපතිවරයාගේ කථාවට ප්‍රතිචාර දක්වමින් සිටිති. මේ දිනවල සයිබර් අවකාශය වැසි ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආවේගාත්මක කතාවට දක්වන්නා වූ ප්‍රතිචාරවලිනි.

Maitreජනාධිපතිවරයාගේ කථාව සම්බන්ධයෙන් යහපාලනය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සාතිශය ජනතාවක් තුළ ඇත්තේ කනගාටුවක් බව ඉදිරිපත් වන ප්‍රතිචාරවලින් බැලු බැල්මටම පෙනෙන්නට ඇත. තීරණාත්මක ජනාධිපතිවරණයකදී මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනතාව බලයට රැගෙන ආවේ තමන්ට පෞද්ගලික ලාභ උපරීම කර ගැනීමේ අරමුණින් නොවේ. ඒ සමඟ ගැට ගැසී තිබුණේ පොදු සමාජ අභිලාෂයන්ය. හොරකමට වංචාවට තිත තබමින් දේශපාලන ඇඟිලි ගැසීම් අවම කරමින් දූෂිතයන්ට දඬුවම් පමුණුවමින් සැබෑ යහපාලනයක් රට තුළ තහවුරු වනු දැකීම ජනවාරි 08 වැනි දින හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගැසු ජනතාවගේ අපේක්ෂාව විය. එසේ නොමැතිව තෝරා බේරා ගනිමින් දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් ජනතා වරමක් එදා ලැබුණේ නැත.

එවැනි පසුබිමක් තුළ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුව බලයට රැගෙන ආ කණ්ඩායම අපේක්ෂා භංගත්වයට පත් වීම යනු ප්‍රශ්න කළ නොහැකි තත්ත්වයකි.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා “ගල” විසි කර ඇත්තේ කා දෙසට යන්න ද අවබෝධ කර ගැනීම අපහසු නැත. මෙම ප්‍රකාශය ඉඟි කරනුයේ සම්මුති බද්ධ දේශපාලනයට මනාව ගැළපීමට නම් තව බොහෝ දුරක් යෑමට අපට සිදුව ඇති බවය. බලය ලබා ගැනීම සඳහා පැවසූ උදාන ගී වෙනුවට අද තැන තැන ඇසෙනුයේ එකිනෙකාට එරෙහිව නන් දෙඩවීම්ය. එය සම්මුති බද්ධ දේශපාලනයට ඇති ඉඩ තවත් අහුරාලයි.

ශ්‍රී ලංකාව වැනි මුල් බැස ගත් ද්වි පක්ෂ ක්‍රමයක් දේශපාලන බලය සමඟ ගැට ගැසී ඇති පරිසරයක සම්මුතිවාදී දේශපාලනයට ඇති ආයුෂ බොහෝ අඩුය. පිටතට කුමක් කීව ද එවැනි තත්ත්වයකදී නිතරම ඉස්මතු වනුයේ තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ අවශ්‍යතාය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය යනු එහි එක් ප්‍රකාශනයකි.

මෙම කෙටි සටහන තුළ අප අපේක්ෂා කරනුයේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව පුරවැසි දෘෂ්ටි කෝණයෙන් සරල කියවීමක් ඉදිරිපත් කිරීමටය. මූලිකවම ගත් විට ගෝඨාභය රාජපක්ෂ හා හිටපු හමුදා ප්‍රධානින්ව අධිකරණයට රැගෙන යෑම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැක්වූ අදහස් සාධාරණීකරණය කිරීම එස්. බී. දිසානායක වැනි දේශපාලනඥයකුට මිස මෛත්‍රීපාල සිරිසේන මහතාට සැබැවින්ම ආදරය කරන කිසිඳු උපදේශකයකුට සිදුකළ නොහැකි තරම්ය. යහපාලන වෙනස ඇති කිරීමේදී එදා සිරිසේන මහතාගේ කඳවුර සමාජගත කළ රටේ කතාබහට ලක්වූ බොහෝ ප්‍රධාන සිදුවීම්වලදී ගෝඨාභය රාජපක්ෂගේ නම ද ඉහළින්ම තබා කථා කරන ලදී. පුද්ගල ඝාතන, අතුරුදන් වීම් දූෂණ ආදි වූ පුළුල් ක්ෂේත්‍රයක් පුරා ගෝඨාභයගේ නම කියවුණ අතර යහපාලන වේදිකාවේ කථිකයන් පතුරු ගැසු ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකු සම්බන්ධයෙන් හදිසියේ පියවරක් පසුපසට ගැන්මට ජනාධිපතිවරයා ගත් තීරණය එම පසුබිම තුළ විමතිය දනවනසුලුය.

රාජපක්ෂ සමයේ නොනිල ආරක්ෂක අමාත්‍යවරයා වූ ගෝඨාභයගෙන් ඒ සමයෙහි සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම යනු රණවිරුවන්ට එරෙහිව කරන්නා වූ ක්‍රියාවක් නොවේ. සමාජය ඉදිරියේ ගෝඨාභයගේ අතීත වැඩ වාර්තාව සම්බන්ධයෙන් ඇත්තේ ප්‍රසාදයක් නොවේ. එවැන්නකු ආරක්ෂක ලේකම්වරයකු වූ නිසාවෙන් නීතිය ඉදිරියේ විශේෂත්වයක් ලබා දීමට යෝජනා කරන්නේ නම් එය යහපාලනය සමඟ සමපාත වන්නේ කෙසේදැයි විස්තර කිරීමේ යුතුකමක් ජනාධිපතිවරයාගේ මේ කථාව අනුමත කරන්නන්ට පවතී. රණවිරුවන්ට කියා වෙනම නීතියක් ක්‍රියාත්මක කළහොත් එය ආරක්ෂක අංශවල ස්වාධීනත්වය කෙරෙහි දැඩිව බලපාන්නා වූ නරක පූර්වාදර්ශයක් බවට අනාගතයේදී පත්වනු ඇත.

අනෙක් අතට ජනාධිපතිවරයා කියු ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන හිතවත්කම්වලින් තොරව අගතිගාමීව එම කටයුතු සිදු නොකිරීමට ද පරීක්ෂකයන් මෙහිදී වග බලාගත යුතුය. සුළු සුළු කාරණා දක්වන සම්බන්ධයෙන් දක්වන උනන්දුව, සමාජයේ කථාබහට ලක්වූ මහා කාරණා සම්බන්ධයෙන් ද දක්වන්නේ නම් එය සාධනීයය. නීතියක් පැවතීමට වඩා වැදගත් වනුයේ එය ක්‍රියාත්මක වන බව පෙනීමය.

පැහැදිලිවම වඩා වැදගත් වනුයේ තරාතිරම පැටිකිරිය නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමටය. ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන අදහස් ද ගැටලු සහගතය. ස්වාධීන කොමිෂන් සභා පත් කරනුයේ තමන් බැවින් ඒවා පෙරළා ඔහුට වගකිව යුතු බව ජනාධිපතිවරයා කල්පනා කරන්නේ නම් එය රාජපක්ෂ යුගයේ පැවැති තත්ත්වයෙන් වෙනස් නොවේ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් මහින්ද සිදුකළ බරපතළ වරද නිවැරැදි කිරීමක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවූ අතර ඒ සමඟ පරිපාලන තන්ත්‍රයේ වැදගත් කොමිෂන් සභා සියල්ල නිර්දේශපාලනිකරණය සිදු වූ බව සිහි තබා ගත යුතු ය. එසේම, කොමිෂන් සභා ද කිසිවෙකුගේ බලපෑමකට නතු නොවී ස්වාධීනව තම පැවැත්ම සහතික කර ගැනීම ද එකසේ වැදගත්ය. මේ ආකාරයටම ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක කථාව පිළිබඳ දිගින් දිගටම ලිවීම කාලය නාස්ති කිරීමකි. බරපතළ ස්වයං විසංවාදී කාරණා රැසක් ඒ සමඟ ගැට ගැසී පවතී.

යහපාලන වෙනස ඇති කිරීම සඳහා රට හමුවේ තැබූ ආකර්ෂණීය පොරොන්දු මේ ආකාරයට වාෂ්ප වෙමින් පැවතීම සැබැවින්ම කනගාටුදායකය. ජනාධිපතිවරයා පමණක් නොව එජාපය ඇතුළු රජයේ සෙසු හවුල්කාර පක්ෂ ද මෙහිදී බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්ය. ඒ බොර දියේ මාළු බෑමට හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම දඟලන බැවිනි.

මේ තීරණාත්මක මොහොතේදී ජනාධිපතිවරයා විශ්වාසය තැබිය යුත්තේ තමන් බලයට රැගෙන ආ කණ්ඩායම වෙතය. ජනාධිපතිවරයාම වරෙක කියූ පරිදි පොළොව යට අඩි හයක් වැළලීමට නියමිතව සිටි කණ්ඩායමක් ඔහුව බලයට රැගෙන ආවේය. එතරම් අවදානම් සහගත තත්ත්වයක සිටිමින් තමන් බලයට ගෙනා කණ්ඩායම, ඒ සමාජ බලවේගයේ අභිලාෂයනට සාධාරණයක් ඉටු කිරීමේ වගකීමක් ජනාධිපතිවරයා සතුව පවතී. ජනාධිපතිවරයා ඊට මුළුමනින්ම පිටුපා ඇතැයි අපි කිසිසේත් නොකියමු. නමුත් ශ්‍රීලනිප නායකත්වය නමැති කැරට් අලය පෙන්වමින් ඇතැමුන් ඔහුව නොමඟ යැවීමට උත්සාහ කරන බව නම් බැලු බැල්මට පෙනෙන්නට ඇත.

ඒ අතරින් අති බහුතරය ජනවාරි 08 වැනිදා සිදු වූ නිහඬ විප්ලවයට එරෙහි වූවන්ය. තනතුරු අපේක්ෂාවෙන්, අධිකරණය ඉදිරියේ තමන්ට ඇති නඩු බේරා ගැනීමේ පටු අරමුණු ඇතිව ජනාධිපතිවරයාට සමීපව සිටින මෙම කණ්ඩායමට ඇත්තේ කෙටි කාලීන දුෂ්ට අරමුණුය. එසේ නොමැතිව යහපාලනය ඔවුනට වැදගත් නැත. තමන් අසල දැවටෙමින් මුසාබස් දොඩන මෙම රැවටිලිකාරයන් පිළිබඳව ජනාධිපතිවරයා වඩාත් බැරෑරුම්ව තේරුම් ගැනීම වැදගත්ය. මතු දිනක දේශපාලන සුළඟ වෙනත් පසෙකට දෝලනය වුවහොත් මුලින්ම කරණම් ගසනුයේ තමන් අසල දැවටෙමින් අද ආල කථා කියමින් සිටින මේ, කේවට්ටයන් බව ඔහු තේරුම් ගත යුතුය.

ජනාධිපතිවරයාගේ දේශපාලන පැවැත්ම වඩා දීප්තිමත් එකක් බවට පත් කිරීමට එම අවබෝධය සමත් වනු ඇත. මතු වෙමින් ඇති තත්ත්වය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ භූමිකාව පිළිබඳව සුළුවෙන් හෝ සඳහනක් තැබීම වැදගත්ය. ප්‍රසිද්ධියේ නොගැටුණ ද ජනාධිපතිවරයා හා එජාපය අතර ඇති සම්බන්ධය ක්‍රමයෙන් තුනී වීමක් පෙනෙන්නට ඇත. මහින්දට එම ගැටුම නැටුමක් වී ඇති බව පෙනී යයි. මහින්ද ඇඟිලි ගණිමින් බලා සිටියේ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන තෙක්ය. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයින් මහා නින්දකින් අවදි වී ආණ්ඩු පිහිටුවීමට අද දින ගනිමින් සිටී. ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමඟ පසුපසට විසි වූ ඊනියා ජ්‍යොතිෂවේදීන් ඊට තාලය අල්ලමින් සිටිති. ආණ්ඩුවේ අර්බුද ගැන කියමින් දින වකවානු නියම කරමින් පුවත් මැවීමට ඔවුන් පටන්ගෙන තිබේ. ඊට අමතරව, ජනමතය පිළිබඳ තවමත් විශ්වාසය නොතබන මහින්ද රාජපක්ෂ උපාය උපමාරු හරහා බලය වෙනස් කරන බවට ආඩම්බර ප්‍රකාශ ප්‍රසිද්ධියේ සිදු කරනු ලබයි. මේ තත්ත්වය සිහිබුද්ධියෙන් යුතුව යහපාලන රජයේ ප්‍රබලයන් කියවිය යුත්තේ යළි භීම සමයකට ඉඩ නොතැබීම වැදගත් බැවිනි.

චාමර ලක්ෂාන් කුමාර –

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    කථානායක කරු ජයසූරිය

    “හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අධිකරණයට ගෙන යෑම හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් රිමාන්ඩ් භාරයේ තබා ගැනීම පිළිබඳ විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා පදනම් ආයතනයේදී කළ ප්‍රකාශය රටේ දේශපාලනය කැලඹවීමට සමත්ව ඇත. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ, සී.අයි.ඩී.යේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ක්‍රියාකාරිත්වය ද ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර තිබිණි.”

    ස්වාධීන කොමිෂන් සභා පත් කරන ලද්දේ කතානායකතුමන්ගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකින් පසු ස්වාධීන කොමිෂන් සභාවන්හි ක්‍රියාකාරිත්වය නිසා පහර වැදුනු තක්කඩි දේශපාලකයන් විසින් ස්වාධීන කොමිෂන් සභා ඉලක්ක කරමින් අවලාද නැගීමේ ව්‍යාපාරයක් ගෙන යමින් සිටිති.

    Gon Gamarala Gedera Yavanna!

  • 0
    0

    ජනවාරි ජයග්‍රහණය නිර් දේශපාලන එකකි. එහි සංඛේතය මෛත්‍රිපාල සිරිසේන විය. ඔහු කොන්දේසි විරහිතව ගාල කඩා ගෙන ගොස් හමාරය. දැන් ඔහු නොදැනුවත්වම කන්නේ යහ පාලන කෙහෙල් පැල බව ජනතාව ගෙන ඇත. සත්‍ය නම් ජනවාරියේ මෛත්‍රි නාවා නම් රනිල් අගමැති වන්නේ නැත.2020දී තනි සටනකින් එජාපයට ජයගත නොහැකිය. රනිල් වටා සිටින්නෝද කරන්නේ කීය කීය හෝ සාක්කුවේ දමා ගැනිමේ ක්‍රීඩාවකි. සිවිල් සමාජ සංවිධාන කරන සෙල්ලම නින්දිතය. ඔවුන් ප්‍රශ්නය නිරවුල් කරනවා නොවේ. මැදට පැන වැඩේ තවත් අවුල් කරති. මෙහෙම ගියොත් රනිල්ගේ දෙ අවුරැදු සීමාව ක්‍රියාත්මකව රාජපක්ෂ කෙනෙකු අගමැති වනු නියතය. එදාට පළමුව මැරැම් කන්නේ සිවිල් සංවිධාන වේ. හේතුව මධ්‍යස්ථ නොවි රනිල්ට ්‍රකඩේ යාම නිසාය

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.