22 October, 2020

Blog

මහින්ද හා මෛත්‍රීගේ කුමන්ත්‍රණයේ ආර්ථික ප්‍රතිඵලය​

පාඨලී චම්පික රණවක

පාඨලී චම්පික රණවක

අද සමහරු බොරු දේශමාමක සටන් පාඨ කියනවා. විදේශ රටවල් එක්ක අපට වෙළඳාම ඕනි නෑ, විදේශ රටවල් අවශ්‍ය නෑ ආදී වශයෙන් සටන් පාඨ කියනවා. අපි බොහොම පැහැදිලිව මතක තියාගන්න ඕනි, රටකට යම් යම් ප්‍රතිපත්ති තියෙනවා. අද මේගොල්ල මේ කතා කරන්නේ ආර්ථික හුදකලා වීමක් ගැන. ආර්ථික හුදකලා වීමකින් මොකද්ද රටකට වෙන්න පුළුවන් ව්‍යසනය කියන එක වෙනිසියුලාව, උතුරු කොරියාව හා මියන්මාරය කාලයක් අපිට පෙන්වාදුන්නා. වෙනිසියුලාව කියන්නේ ලෝකයේ ඉහලම තෙල් හා ගෑස් සංචිත තියෙන රටක්. නමුත් අද උද්ධමනය සියයට දස ලක්‍ෂයේ (1000000%) සීමාවට ඇවිත්. අත්‍යාවශ්‍ය ආහාරවත් නැතුව ඉතාම බරපතල විදිහට බිඳ වැටිච්ච ආර්ථිකයක් ගොඩනැගී තිබෙනවා මේ හුදකලා වීමේ ප්‍රතිඵලයක් හැටියට. බොරු දේශමාමක සටන් පාඨ වලට රටක් ගොඩනගන්න බැරි බව ඔප්පුවෙලා ඉවරයි. අන්න ඒ වගේ ආර්ථික හුදකලා වීමකට රජාපක්ෂ ජුන්ටාව මේ රට රැගෙන යනවා.

ඒ වගේම ඇතැම් අවස්ථාවල රටවල් ආර්ථික ආරක්ෂනවාදී පියවර අනුගමනය කරනවා. දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න, විදේශ සංචිත ටික ඉතුරු කරගන්න, ආනයන ආදේශක හදන්න යම් යම් ආරක්ෂනවාදී පියවර ගන්නවා. ඒකෙ වරදක් නෑ. හැබැයි සම්පූර්ණයෙන්ම රටක් හුදකලා වෙලා ආරක්ෂනවාදී වෙන්න ඕනි කියල කියන රාජපක්ෂ ජුන්ටාවේ සටන් පාඨය කිසිසේත්ම අපිට පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. එය රට සම්පූර්ණයෙන්ම ව්‍යසනයක් කරා රැගෙන යාමක්.

ඒ වගේම දේශීය ආර්ථිකයක් ගොඩනගන්න ඕනි, විශේෂයෙන්ම දේශීය ව්‍යවසායකත්වයක් ගොඩනගන්න ඕනි. ඒ ගැන අපේ කිසිම විවාදයක් නෑ. රටක් ඉදිරියට යන්න නම් ඒ රටේ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක්, ඒ ආර්ථිකය මත ගොඩනැගිච්ච සේවා ආර්ථිකයක්, ඒ වගේම ශක්තිමත් දියුණු කෘෂි කර්මාන්තයක් රටට අවශ්‍යයි. රටක් ධනවත් වෙන්න රටට වෙළඳාම් කරන්න පුළුවන් වෙන්න ඕනි. ලෝකයේ අනෙකුත් රටවල් එක්ක තරඟ කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ අතරේ අපේ ඒ දේශීය ආර්ථිකයේ ව්‍යවසාය දායකත්වයත්, ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට බෙදී යාමත් අත්‍යාවශ්‍යයි. ආර්ථික වශයෙන් හුදකලා වෙලා, ඔය එකක්වත් අපිට අත්පත් කරගන්න බැරි බව අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා.

පළමුවෙන්ම මේ ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනය එහෙම නැත්නම් ජාතික ආර්ථිකයට විදේශ වෙළඳාමේ බලපෑම ඔබට අපි පෙන්වල දෙන්න කැමතියි. අපේ දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් විදිහට ගත්තහම 2017 ද.දේ.නි.ට සාපේක්ෂව අපි පිට රටට යවන භාණ්ඩවල වටිනාකම වෙලා තියෙන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 13%ක්, අපි ආර්ථික වශයෙන් හුදකලා වෙන්න යනවා නම් පීටරටට භාණ්ඩ සපයන්නේ එහෙම නැතුව යනවා නම් ආර්ථිකයෙන් අපිට ඔය 13%න අහිමි වෙලා යනවා.

ඊළඟට අපනයන සේවා (Export Services) ඒවත් තියෙනවා 8.9%ක් පමණ. සංචාරක ව්‍යාපාරය, ඒ වගේම විශේෂයෙන්ම මේ රට තුල සිදු කරන ඉදිකිරීම් කර්මාන්ත ආදියෙන්, බැංකු කටයුතු ආදියෙන්, ඒ වගේම කොටස් වෙළෙඳපොල ආදියේ කෙරෙන ආයෝජන සියල්ල අයිති වෙන්නේ මේ සේවා යටතට. එකත් තියෙනවා 8.9%ක් පමණ. දැන් ඔය කියන දේශප්‍රේමී ආර්ථිකය හැදුවහම ඔය 8.9%ත් අපිට නැති වෙනවා.

ඊළඟට විදේශ සම්ප්‍රේෂණ; දැන් අපේ රටේ වැසියෝ විදේශ වල ඉන්නවා, ආසන්න වශයෙන් ලක්‍ෂ 30ක් පමණ. ලංකාවේ ජනගහනයෙන් 15%ක් පමණ විදේශ රටවල සේවය කරනවා. ඒ අය අපිට සම්ප්‍රේෂණය කරනවා දළ දේශීය නිෂ්පාදනයෙන් 8.1% ක් පමණ ප්‍රමාණයක්. දැන් ඔය දේශීය හුදකලා වීම කරොත් ඔය තිස් ලක්ෂයම ලංකාවට එන්න ඕනි. එයාලට පුළුවන් පොළොන්නරුවේ ගිහින් කුඹුරු කොටන්න. ඕක තමයි මේ බොරු ආර්ථික විශේෂඥයන්ගේ යෝජනාව.

ඊළඟට ඒ ටිකේ ඔක්කොම එකතුව ගත්තොත් සහ අපිට තියෙන මේ සෘජු ආයෝජන, ණය ආධාර ඒ සියල්ලේ එකතුව ගත්තහම 6%ක්. මේ ඔක්කොම එකතු කළහම අපට ආසන්න වශයෙන් මේ රටේ සමුච්චිත බලපෑම 36%කටත් වැඩි ප්‍රමාණයක්.

එතකොට මේ රට තුලට වූ සමුච්චිත මූල්යයන්ගේ බලපෑම ආසන්නයෙන් 36%ක්. ඒ කියන්නේ රටේ ආර්ථිකයේ තුනෙන් එකකටත් (1/3) වැඩි ප්‍රමාණයක්. එතකොට මේ විදේශ බලපෑම අපි ඉවත්කර ගත්තොත් මෙන්න මෙච්චර බලපෑමක් අපිට සිද්ධ වෙනවා.

ඊළඟට ආනයන භාණ්ඩ හා සේවා, ඒවා දළ දේශීය නිෂ්පාදනයට සෘජු බලපෑමක් නැති උනත්, ඒ පිටරටින් ගේන තෙල්, ගෑස්, ඖෂධ, පොහොර, ආහාර ආදී මේ ආනයන දිහා බැලුවහම ඒවා ඒවා දළ දේශීය නිෂ්පාදනයෙන් 29%ක් වෙනවා. පොඩි ගානක් නෙවෙයි. එතකොට මේ දේශීය අර හුදකලා ආර්ථිකය හැදුවහම, තෙල් ගේන්නත් විදිහක් නෑ. ගෑස් ගේන්නත් විදිහක් නෑ. අනික් ඒවා ගේන්න විදිහකුත් නෑ. ආර්ථිකයට මේ 29%ත් නැතිවෙනවා. මේකෙන් පේන්නේ මොකද්ද? ආර්ථිකයේ තුනෙන් දෙකක් පමණ (2/3) විදේශ වෙළඳාමත් එක්ක යැපුම් ආර්ථිකයක් හැටියටයි අපි ඉන්නේ. ආර්ථිකයෙන් තුනෙන් දෙකක්. මේ මුග්ධ මෝඩ ආර්ථික නියාම ධර්ම වලින් මේ කරගෙන යන්නේ අපිව ලෝකය තුළ හුදකලා කරලා අපේ ආර්ථිකය ඉතාමත්ම අඩු මට්ටමකට, පහළ මට්ටමකට, හැකිලෙන මට්ටමකට පත් කිරීමයි.

වැදගත්ම දේ, මේ දේශපාලන කුමන්ත්‍රණයේ ආර්ථික හා මූල්‍යමය ප්‍රතිවිඵාක මොනවද කියල බලන එක. මම මේ ගණන් හදල තියෙන්නේ 2019 වර්ෂය සඳහා මොකද්ද ආර්ථික බලපෑම කියල කියන්න. පළමුවෙන්ම මේ ආණ්ඩුවේ සංචිත වලින් (Government Securities) 2019 වර්ෂයේ එලියට යන මුදල රුපියල් බිලියන 209 ක් වෙනවා. පලවෙනි සති තුනේදී විතරක් බිලියන 45ක් රටින් එළියට ගිහින් තියෙනවා. තව ඉදිරියටත් මේ ප්‍රවණතාව තිබුනොත් බිලියන 209ක් පමණ රටට අහිමි වීමට නියමිතයි.

ඊළඟට සංචාරකයන්ගේ පැමිණීම; විශාලම සංචාරක පැමිණීමත් සංචාරක ආදායමත් තියෙන්නේ මේ කාලේ. සංචාරක පැමිණීමෙන් 40%ක්, සංචාරක ආදායමෙන් 50%ක් අපේ හෝටල් කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට ලැබෙන්නේ මේ කාලේ. එහි සෘජු සේවයේ නියුතු ලක්ෂ තුනකට අධික පිරිසකුත්, අතිරේකව ජීවත් වෙන ලක්‍ෂ 10කුත් තව ලක්ෂ 30ක් විතර මේකෙන් යැපෙනවා. මේ සියල්ලන්ටම මේක බලපානවා. දැනට ඩොලර් බිලියන 04කට මේකෙන් අපිට ආදායම ලැබෙනවා. එතකොට මේ සංචාරක පැමිණීමෙන් 20%ක් අපිට අහිමි උනා කියන්නේ, (ඇත්තටම දැනටමත් ඒ තත්වය උදාවෙලා තියෙනවා) අපිට රුපියල් බිලියන 150ක් ආදායම් ඒ කියන්නේ විදේශ සංචිත ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දීපු රැකවරණයෙන් ඉවත් උනොත්, ඒ වගේම අපේ තියෙන මේ අස්ථාවරත්වය නිසා අඩුම තරමින් 3%කින්වත් විදේශ වලින් අපි ගන්නා ණය සඳහා පොලිය වැඩි වෙනවා. මොකද දැනට ජනවාරි 14 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා ගත්ත ඩොලර් මිලියන 1000ක ණයක් පියවන්න තියෙනවා. ඒ ණය ගත්තේ 5.5% පොලියට. ඒ 5.5% පොලියට ගත්ත එකට දැනට අපි තව ණයක්‌ අරගෙන ගෙවන්න ගියොත් ඒක 4%කින් ඉහළ ගිහින් තියෙනව, ඒ කියන්නේ 9.5%ක පොලියකට තමයි අපිට ඒක ලැබෙන්නේ. ඒ නිසා මේ සියයට තුනකින් හෝ හතරකින් වැඩි වෙනවා කියන එක දැනටමත් සිද්ධවෙලා ඉවරයි.

එතකොට කොච්චරකට තියෙනවද? අපිට තියෙනවා ණය වාරික ආපසු ගෙවීම් (Refinancing) ඩොලර් බිලියන 4.2ක්. ඒ වගේම අපිට තව රට තුළට අවශ්‍යයි කියල හැඟෙන ප්‍රමාණය ඩොලර් බිලියන 1.5ක්. එතකොට සමස්ත විදේශීය මුදල් අවශ්‍යතාවය ඩොලර් බිලියන 5.7ක්. එතකොට 3%කින් පොලී අනුපාත වැඩි උනාම ඩොලර් බිලියන 5.7ක මුදල් අවශ්‍යතාවය සඳහා ඩොලර් මිලියන 171ක් අපිට වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා. දැන් තියෙන ගානට ඩොලර් එක තිබුණොත් ඒක අවුරුද්දකට රුපියල් බිලියන 32ක්. අවුරුදු 10කට තමයි සාමාන්‍යයෙන් බැඳුම්කර ආදිය එකතු කරන්නේ එතකොට රුපියල් බිලියන 324ක් පමණ අපිට වැඩිපුර ගෙවන්න වෙනවා දැනට තියෙන සංඛ්‍යා ලේඛන අනුව.

ඒ වගේම යුරෝපා සංගමයෙන් දෙන ජී.එස්.පී. සහනය අපිට යම් හෙයකින් අහිමි උනොත්, විශේෂයෙන්ම මත්ස්‍ය වෙළඳාම ඇතුළු භාණ්ඩ 4000කට පමණ මේකෙන් පහර වදිනවා. එතනින් අපිට අහිමි වෙනවා රුපියල් බිලියන 76ක්.

ඒ වගේම රාජපක්‍ෂ මහත්තයාගේ මේ සහන මල්ල, ඉන්ධන හා ඒ අනෙකුත් සහන මල්ල ලබන වසරටත් ක්‍රියාත්මක කරන්න ගියොත් මේ වසරට යන්නේ ඒකට බිලියන 30යි. ලබන වසරට ක්‍රියාත්මක කරන්න ගියොත් ඒකෙ බර බිලියන 150යි. ඇත්තටම මේ සහන දෙනවා කිව්වට එතුමා කළේ ගම්පෙරළිය, අපේ අමාත්‍යංශයේ සුඛිත පුරවර වගේ වැඩසටහන් ඔක්කොම නවත්තල ඔය තෙල් සහනයයි බදු සහනයයි ලබා දුන්න එක. ඒ කියන්නේ රටේ ජනතාවගේ සංවර්ධනය කපා හැරලා. පාසල් වලට ලබා දෙන ටැබ් එකත් කපා හැරලා එහෙම තමයි මේ සහනය එතුමා ලබා දුන්නේ. එතකොට ලබන අවුරුද්දෙත් ඒ සහන කරගෙන ගියොත් බිලියන 150ක් පමණ බරක් එනවා.

එතකොට ඔක්කොම එකතු කළහම ලබන වසරට ආර්ථිකයට දරන්න වෙන බර ආසන්න වශයෙන් රුපියල් බිලියන 617ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 4.6% ක්. ඇත්තටම මේ දවස්වල ආර්ථිකය වර්ධනය වෙන්නේ 4%ක් වගේ ගාණක්. මුළු ආර්ථික වර්ධනයක්ම නතර වෙන්න තරම් සමත්වෙලා තියෙනවා. මේ රටේ ජනගහනය ඉන්නේ මිලියන 21 මේක 617න් බෙදුවහම හැම පුද්ගලයෙක්ම රුපියල් 30000ක බරකට 2019දී ලක්වෙනවා. මේ මෛත්‍රී මහින්ද කරපු දේශපාලන කුමන්ත්‍රණය නිසා. ඒ රටේ ඇතිවෙච්ච දේශපාලන අස්ථාවරත්වය හා ආර්ථිකයට කරපු බලපෑම නිසා. සෑම පුද්ගලයෙක්ම රුපියල් තිස් දාහක අතිරේක බරකට (දැනට තිබෙන ණයට අමතරව) යොමු කරලා තියෙනවා.

ඒ වගේම තව සමහර ආර්ථික කෙලතොල්ලෝ කිව්වා මහින්ද මහත්තය ආවහම හුඟාක් ආර්ථිකය නිවැරදි වෙනවා. පට ගාල රට ආර්ථික වශයෙන් වර්ධනය වෙනවා ආදී වශයෙන්. දැන් මහින්ද මහත්තය හම්බන්තොට වරය ජනසතු කරල ද? මත්තල ගුවන් තොටුපල දැන් අපි පවත්වාගෙන යනවා කියල ස්ථිරසාර ප්‍රකාශයක් කරලා තියෙනව ද? සිංගප්පූරු ගිවිසුම දැන් අවලංගු කරල ද? රුපියල අවප්‍රමාණය වීම දැන් වළක්වාල ද? මේ ඔක්කොම මේ ආර්ථික කෙලතොල්ලෝ අපේ රටේ ජනතාවට කරපු පට්ටපල් වංචා, බොරු. අපි ඇත්තටම ඒ අතින් සතුටු වෙනවා මහින්ද මේ රටේ මිනිස්සුන්ට පට්ටපල් බොරුවක් කරගෙන ගිය මහින්දට ආර්ථිකය හදන්න පුළුවන් කියල, ඒ බොරුව මේ මාසේ ඇතුලත එළිදරව් වීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. යැයි පැවසීය.

*ජාතික හෙළ උරුමයේ මහා ලේකම් පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකලේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    The reasons we require a parliament?
    1.To manage constitution (law)
    2. To manage finance (money)

    To successfully perform you need at least a basic education, a good social background and enough energy.

    Remember no individual is more important than our country. My request from you is given below
    1.Don’t vote if the candidate is 65 years of age and above.
    2.Don’t vote if the candidate has pending court cases.
    3.Don’t vote if the candidate is involved in business which can harm someone’s way of life.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.