20 April, 2024

Blog

මානව පැවැත්මට එදිරිව කොන්ක‍්‍රීට් ඩයිනසෝරයන්

පාඨලී චම්පික රණවක

පාඨලී චම්පික රණවක

පාඨලී චම්පික රණවක

‘‘මං හිතන්නේ, මං පල්ලියට යන්න ඕනේ පයින්.’’ වසර සීයකට පමණ කලින් මේ කියමන ඇමරිකාවේ සෑම පුවත්පතකම පාහේ උද්ධෘතයක් බවට පත්විය. එය, එදා ජනාධිපති වුඞ්රෝ විල්සන් කී කතාවකි. ප‍්‍රථම යුරෝපීය (හෝ ලෝක) යුද්ධයේ දී ඇමරිකාව තෙල් හිඟයකට මුහුණදුනි. ඊට මුහුණදීමට ‘තෙල් රහිත ඉරිදාවක්’ එදා ඇමරිකානු ආණ්ඩුවෙන් ප‍්‍රකාශයට පත්කෙරුණි.

රටට ආදර්ශයක් වීමට සිතූ ජනාධිපතිවරයා සහ එම ආර්යාව ඉරිදා පල්ලියට පයින් ගියහ. මේ අවුරුද්දේ ‘මිහිකත දිනය’ (අපේ්‍්‍රල් 22) වෙනුවෙන් ‘එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස පිළිබඳ විද්‍යාත්මක මණ්ඩපය’ එහි පස්වැනි අගැයුම් වාර්තාව ඉදිරිපත් කොට ඇත. විශේෂයෙන්, කාර්මික රටවල් හෙවත් ඊනියා පළවැනි ලෝකයේ රටවල් තමන්ගේ පෙට‍්‍රල් පරිභෝජනය අඩු කිරීමට වහා පියවර නොගතහොත්, ආපසු හැරවිය නොහැකි පරිසර විනාශයකට ජගත් කාලගුණ වෙනස්කම් බලපානු ඇති බවට එම වාර්තාව අනතුරු අඟවා තිබේ. මිනිස් වර්ගයා ගලවා ගැනීම සඳහා බරක් ඔබාමා ‘තෙල් රහිත ඉරිදාවක්’ ප‍්‍රකාශයට පත්කරයි ද? ලෝකයේ වැඩියෙන්ම පෙට‍්‍රල් පරිභෝජනය කරන නගරය වන නිව්යෝර්ක් නුවර, ‘මිහිකත දිනයේ’ තේමාවෙන් කියැවෙන හරිත නගරයක් බවට පත්කිරීමට, ඔහු පියවර ගනී ද? අනිත් අයට ආදර්ශයක් වශයෙන් බරක් ඔබාමාත්, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙන්නාත් නිව්යෝර්ක් සහ වොෂින්ටන් නුවරවල පයින් යයි ද?

අපේ‍්‍රල් 22 ‘මිහිකත දිනයයි’. එය මුලින් සැමරුණේ 1970 දී ඇමරිකාවේ ය. තරුණ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයෙකු වන ඩෙනිස් හේස් එම අවස්ථාව සංවිධානය කළ අතර ඇමරිකාවේ සතරදිග් භාගයෙන් මිලියන 20 ක් ඇමරිකානු පුරවැසියෝ ඊට සහභාගී වූහ. මේ මිනිසුන් එසේ ඇවිස්සුණේ, 1969 දී කැලිෆොර්නියාවේ ඇති වූ මහා තෙල් පිටාර යාමක් නිසා ය. රසායනික අපද්‍රව්‍ය නික්ෂේපණය, විදුලි බලාගාර සහ කර්මාන්ත ශාලා නිසා ජලය සහ වාතය අපවිත‍්‍ර වීම, මහාමාර්ග, වරායවල් සහ ගුවන් තොටුපොලවල් ඉදිවීම හේතුවෙන් පරිසර පද්ධතියට හානි පැමිණීම ආදී කරුණු ඔවුන්ගේ මැසිවිලි විය. ඇමරිකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් කෙරෙහි ඔවුන් ඇති කළ බලපෑම කරණකොටගෙන ඇමරිකාවේ නව පරිසර නීතිරීති සකස් වුණු අතර, 1970 දී ‘පරිසර ආරක්ෂක කාර්යාංශය’ ස්ථාපිත කෙරුණි.

ඇමරිකාවේ නූතන පරිසර ව්‍යාපාරය ආරම්භ කෙළේ රෂෙල් කාසන් ය. 1962 දී ඇය පළ කළ ‘නිහඬ වසන්තය’, පසුව පරිසරවේදීන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් බවට පත්විය. රසායනික පදනමකින් කෙරෙන කෘෂිකර්මාන්තය ජීවීන්ට බරපතල තර්ජනයක් වන්නේ කෙසේ දැ යි එම පොතේ ඈ පැහැදිළිව පෙන්නා දුන්නාය. දෙවැනි ලෝක (යුරෝපා) යුද්ධයෙන් පසු ගොවිපොළවල්වලට වින කරන පලිබෝධ මැඩලීමට, ඞී.ඞී.ටී, විශ්වකර්ම රසායනිකයක් වශයෙන් සැළකිණ. කාලයක්, හිරගෙවල්වල සහ කැලෑ යුද්ධවලදී, එය කෘමි නාශකයක් වශයෙන් ද පාවිච්චි කෙරුණි. ඞී.ඞී.ටී. වල අඩංගු එදිරිජීව ශක්‍යතා හේතුවෙන් ‘රොබින්’ කුරුල්ලා ගොළු වන බව කාසන් නැමැති ජනමාධ්‍යවේදිනිය විද්‍යාත්මකව පෙන්වා දීමෙන් පසු, ඇමරිකාවේ රසායනික කර්මාන්තකරුවන්ගේ යෝධ කවයේ අනුග‍්‍රහයෙන් ඈට එරෙහිව බොහෝ ප‍්‍රතිතර්ක ගොඩනැගුණි. කෙසේ වෙතත්, 1963 දී කාසන් හදිසියේ මියයාමෙන් පසු, නූතන පරිසර ව්‍යාපාරයක් ඇමරිකාවේ ගොඩනැගුණු අතර, ඞී.ඞී.ටී. වල අඩංගු මාරාන්තික පසුවිපාක පිළිබඳ සොයා බැලීම සඳහා විද්‍යාත්මක කමිටුවක් පත්කිරීමට ඇමරිකානු ආණ්ඩුවට බල කෙරුණි. ඞී.ඞී.ටී. තහනම් කිරීමට එම කමිටුව නිර්දේශ කළත්, දීර්ඝ කල් මැරීමකින් පසු එය යථාවක් බවට පත්වුණේ 1972 දී ය.

අනර්ථකාරී වල්නාශක සහ කෘමිනාශක, ඊනියා හරිත විප්ලවයක් සඳහා වන ආශ්චර්යමත් ඔසුවක් වශයෙන් සැළකුණු කාලයක, ඇමරිකාවේ පුරවැසි ව්‍යාපාරය ඊට එරෙහිව සාර්ථක ව්‍යාපාරයක් ගෙන ගියේය. රජරට වකුගඩු රෝගයට හේතුකාරක වෙතැ යි සළකන, විනාශකාරී කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීම සඳහා ගෙන ගිය අපේ සිවිල් ව්‍යාපාර නොතැකී යාම අවාසනාවකි. කෘෂිරසායන ව්‍යාපාරික ප‍්‍රජාව, අපේ සමාජය සහ දූෂිත දේශපාලන ක‍්‍රමය මත අභ්‍යාස කරන ලද බලය ඊට හේතු විය.

හේතූන් ගණනාවක් නිසා 1960-70 විප්ලවීය දශකයක් වශයෙන් සැළකේ. සිලිකන් ට‍්‍රාන්සිස්ටර් සහ සංකලිත විද්‍යුත් පරිපථ, පරිඝණක සහ සන්නිවේදන තාක්ෂණයන් සඳහා වන සහක‍්‍රියාකාරිත්වයකට තුඩුදුනි. නූතන පරිගණක, චන්ද්‍රිකා සන්නිවේදනය සහ අන්තර්ජාලය බිහිවුණේ ඒ දශකයේ ය. ශිෂ්‍ය නායකත්වයෙන් යුතු ප‍්‍රති-සංස්කෘතික ව්‍යාපාර, ‘ටයි කෝට්’ ප‍්‍රභූ සංස්කෘතිය බැහැර කෙළේය. සම්භාව්‍ය සංගීතය සහ ඔපෙරාව පසෙකට කොට, ‘බීට්ල්ස්ලා’ සාමාන්‍ය ජනතාව අභිනන්දනය කළහ. විප්ලවීය ව්‍යාපාර, සන්නද්ධ අරගල දියත් කළහ. ඇමරිකානු දේශපාලනික තලයත්, සමාජයත්, වියට්නාමය සහ යුද-විරෝධී ව්‍යාපාර විසින් ග‍්‍රහණයට ගැනුණි. කතෝලික පල්ලිය පවා, විමුක්තිදාන දේවධර්මය නමින් ප‍්‍රතිසංස්කරණ ඇති කරගත්තේය.

නූතන කාන්තා ව්‍යාපාර, පුරුෂ ආධිපත්‍යය ප‍්‍රශ්න කළ අතර, කළු ජාතික සවිඥානක ව්‍යාපාර, සුදු මිනිසාගේ ආධිපත්‍යය හැම අංශයකින්ම අභියෝගයට ලක්කෙළේය. පශ්චාත්-නූතනවාදී දර්ශනයේ බීජ ද රෝපණය කෙරුණි. තවද, ඊළඟ පරම්පරාව සඳහා වන තිරසාර අනාගතයක් ඉල්ලා සිටිමින් නව පරිසර ව්‍යාපාර බිහි වුණි. මේ දශකයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ 1968 පැවති ‘රෝම සමුළු මණ්ඩපයයි’. පරිසර දූෂණය සහ සම්පත් හිඟකම හේතුවෙන් නූතන ශිෂ්ටාචාරය මුහුණදෙන බරපතල අර්බුදයක අනාවැකි පළවුණේ ඒ හරහා ය. ‘මිහිකත දිනයේ’ සැමරුම් තුළ, ඊළඟ පරම්පරාව සඳහා පිරිසුදු ජලය, වාතය සහ සරුපසක් ඉල්ලා සිටින්නේ එම සන්දර්භය තුළ ය.

21 වැනි සියවස තුළ තෙල් සහ වෙනත් පාෂාණ ඉන්ධන වියැකී යනු ඇතැ යි ‘රෝම මණ්ඩපය’ අනාවැකි කීවේය. ඇමරිකානු නාවුක හමුදාව සඳහා න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියාත්මක වන සබ්මැරීනයක් දියත් කළ රිකෝවර් නැමැති ඊශ‍්‍රායල් ජාතික මහා ඉංජිනේරුවා 1957 දී කළ අනාවැකියකට අනුව, තෙල්, ගෑස් සහ අඟුරු ඊළඟ ශතවර්ෂය තුළ (හෝ 2057 වන විට) අවසන් වනු ඇත.

1965 දී උපන් පරම්පරාව, පාෂාණීය ඉන්ධන සමග ජීවත් වන අවසාන පරම්පරාව වනු ඇතැ යි කියැවේ. ‘රෝම මණ්ඩපයෙන්’ ප‍්‍රකාශයට පත්කළ ‘වර්ධනයේ සීමා’ යන ප‍්‍රකාශනය මගින් බටහිර ශාස්ත‍්‍රාලීය චින්තනය පැහැදිළිවම වෙනස් කෙරුණි. දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් සහිත විද්‍යාඥයන්ගේ මතය වුණේ, සම්පත්වල හිඟයක්වත්, මිනිස් සංහතියේ විනාශයක්වත් සිදු නොවන බවයි. මන්ද යත්, දෙවියන් වහන්සේට බය පක්ෂපාත මිනිස් වර්ගයාගේ සදාතන පැවැත්ම සඳහා දෙවියන් වහන්සේ විසින් නව තාක්ෂණයන් සහ සැඟවුණු නියාමයන් හෙළිදරව් කෙරෙති යි ඔවුන් විශ්වාස කරන බැවිනි. අනිත් අතට, සම්පත් පවතින්නේ මිනිසාගේ මොළයේ මිස මහ පොළොවේ නොවන බවට, මානවවාදීහු තර්ක කළහ. එබැවින් ඔවුන්ට අනුව, පරිසරයේ නිර්මල භාවය පවත්වා ගැනීමට අවශ්‍ය කරන ක‍්‍රමවේදයන් සහ නව බලශක්ති ප‍්‍රභවයන් අසීමිත මිනිස් නිර්මාණ ජවය තුළින් සොයා ගනු ඇතැ යි ඔවුන් පෙන්වා දුනි. කෙසේ වෙතත්, ‘රෝම මණ්ඩපයේ’ නිරීක්ෂණ නිවැරදි බව ඔප්පු විය. 1973=74 කාලයේ දී ලෝකය තෙල් හිඟයකට මුහුණදුනි. අනතුරුව, ලෝක උෂ්ණත්වය ඉහළ ගියේය. ඒ අනුව, සම්පත් කළමනාකරණය සහ ලෝක උෂ්ණත්වයේ වර්ධනයන පිළිබඳ නව ඇස්තමේන්තු ඉදිරිපත් කෙරුණි. වැඩි වැඩියෙන් විද්‍යාඥයෝ සම්ප‍්‍රදායික යුරෝ-කේන්ද්‍රිය චින්තනයට අභියෝග කරමින් ලෝක නායකයන්ට අනතුරු ඇඟවූහ.

ඒ අර්ථයෙන් ගත් විට, ප‍්‍රථම සාර්ථක ව්‍යායාමය වන්නේ, ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමට ගෙන ගිය අරගලයයි (1989). සමහර විට, සුදු ජාතිකයන් එම ප‍්‍රශ්නය ජය ගැනීමට මුල් තැන දෙන්ට ඇත්තේ හේතු සහිතව ය. ඕසෝන් ස්ථරය ආරක්ෂා කර නොගත්තොත්, පාරජම්බුල විකිරණය හේතුවෙන් වඩාත්ම හානියට පත්වන්නේ සුදු හම ය. 1970 දී ‘මිහිකත දිනය’ ප‍්‍රකාශයට පත්කොට, ලෝකයේ උෂ්ණත්වය වර්ධනය වීම නිසා ඇති විය හැකි විනාශය පිළිබඳ ලෝකයා දැනුවත් කිරීමට මහා ව්‍යාපාරයක් දියත් විය. එකල හරිතාගාර ප‍්‍රතිඵල, ධවල මන්දිරයේ ප‍්‍රතිඵලවලින් නිෂේධ විය හැකි යැයි ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) කීවේය. රසායන විද්‍යාඥවරියක් වන මාගරට් තැචර් එම ව්‍යාපාරයට අනුග‍්‍රහ දැක්වූවාය. 1992 රියෝ සමුළුව එහි සන්ධිස්ථානයක් විය. ඉන් පසු 1997 දී කියෝතෝ ප්‍රොටෝකෝලය ආවේය. එහි දී කෙරුණු යෝජනාවට අනුව, හඳුනාගනු ලැබූ රටවල් 29 අතරේ සිටි සෑම රටක්ම, 1990 ට සාපේක්ෂව, වාතයට මුදා හැරෙන තමන්ගේ විපේ‍්‍රෂණයන් සියයට 5.6 කින් අඩු කළ යුතු විය. බිල් ක්ලින්ටන් යටතේ ඇමරිකාව මේ සම්මුතියට අත්සන් කළත්, පසුව ඇමරිකානු සෙනේට් සභාව එම වගකීම නොතකා හැරියේය. තමන්ගේ පරිභෝජනය සහ ලෝක වෙළඳ පොළේ තමන් සතු තරගකාරීත්වය ආපස්සට ගැනීමට බල කෙරෙන කිසි ජාත්‍යන්තර ප‍්‍රඥප්තියකට තමන් එකඟ නොවන බව ඔවුන්ගේ ස්ථාවරය විය. ලෝකයේ ඉහළම පෙළේ පරිසර දූෂකයන් වන ඔස්ටේ‍්‍රලියාව සහ කැනඩාවත් ඒ මගම අනුගමනය කෙළේය. මිනිස් වර්ගයා ආරක්ෂා කර ගැනීමේ ජගත් පරිමාණයේ උත්තම ව්‍යායාමයක් ඇංග්ලෝ-ඇමරිකාව කඩාකප්පල් කෙළේ එලෙස ය. පාෂාණීය ඉන්ධන පරිභෝජනය එන්න එන්නම වැඩි වීම නිසා ජගත් උෂ්ණත්වය ආපසු හැරවිය නොහැකි මට්ටමකින් වැඩි වෙමින් ඇති බව දැන් පෙන්වා දී තිබේ. එහි ප‍්‍රථම බිල්ල වන්නේ ජලයයි. ඊළඟට, ආහාරයි. කාලගුණයට සම්බන්ධ මේ විනාශයන්ට ඔරොත්තු දීමට දිළිඳු ජනතාවට සහ දිළිඳු රටවල්වලට නොහැකි වන්නේය.

දැන් ‘හරිත නගර’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ අවධානය යොමු වී තිබේ. එහෙත් ශ‍්‍රී ලාංකිකයන් වන අපි තවමත් උස ගොඩනැගිලි, අධිවේගී මාර්ග සහ යෝධ වෙළඳ සංකීර්ණ ආදිය පස්සේ දුවමින් සිටිමු. එහි දී මතුවන වැදගත්ම ප‍්‍රශ්නය වන්නේ, තව දශක දෙකක හෝ හතරක කාලයක දී මේ කොන්ක‍්‍රීට් ඩයිනෝසරයන්ට ඉන්ධන සපයන්නේ කවුරුන් ද යන්නයි.

ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයක ප‍්‍රමුඛත්වය ලැබිය යුත්තේ ජල ආරක්ෂණය සහ සංරක්ෂණයටයි. නල ජල ව්‍යාපෘතිවලට සාකල්‍ය අගයක් නොමැති නිසා අපේ පැරැුන්නන්ගේ වාරි ශිෂ්ටාචාර දැක්ම පිළිබඳ අපේ අවධානය යොමු කළ යුතුව තිබේ. කොන්ක‍්‍රීට් ඩයිනෝසරයන් ගැන තිබෙන කෙටිකාලීන සන්නිය 2020 න් පසු අවසානයකට ළඟා වනු ඇත. නිසි මගපෙන්වීමක් සහ දැක්මක් නැති අතලොස්සක්, මේ රට පරිසර ව්‍යසනයකට ඇද දැමීමට බැලීම අවාසනාවන්ත තත්වයකි. අනාගතයේ දි පැවතිය යුත්තේ, අපේ දරුවන් මිස කොන්ක‍්‍රිට් ඩයිනෝසරයන් නොවේ.

*2014 අපේ‍්‍රල් 2 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Concrete Dinosaurs Vs. Human Existence නැමැති ලිපියේ සිංහල පරිවරතනය 
‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    In Sri Lanka the rulers use high risers or concrete dinosaurs as indicators of development. Corporate giants of the country want to express their identity through iconic concrete dinosaurs. Mr. Ronny De Mel described the Bank of Ceylon Tower as an architectural monstrosity. The professionals in the Green Building Council, while making money out of designing concrete dinosaurs, develop criteria for green rating buildings not for the love for protecting nature but for helping the corporate giants to make more profits.

    Families living in under served settlements are relocated in concrete dinosaurs “enabling” them to enter real estate market and validating Minister Ranawaka’s argument. Expressways, while reducing travel time to capital city, will also reduce the demand for shelter in the capital city. In the next 15-years, demand for concrete dinosaurs will go down and demand for housing clusters with green gardens will go up. People will prefer to walk from home to place of work, market and places of recreation. Foreigners are showing it by example in coastal towns of South, particularly in Galle Fort but the locals are too slow to understand it.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.