28 January, 2021

Blog

අපේ කාලයේ ඇත්ත වීරයෙක්

චන්ද්‍රරත්න බණ්ඩාර

චන්ද්‍රරත්න බණ්ඩාර

චන්ද්‍රරත්න බණ්ඩාර

මැදි විය ගෙවන අපේ ජීවිතවලට නෙල්සන් මැන්ඩෙලා කෙතරම් සමීපද? වයස්ගතව ලෝ දම්  අනුව ඔහු මියගියත් ඔහු නැති ලෝකය පියෙකු අහිමි වූ නිවසක් සේ අපට දැනෙන්නේ ඇයි? සිය ජීවිතයෙන් තමන්ගේ ජනතාව වෙනුවෙන් විසි එක් වසරක් සිරබත් කෑ ඔහු ඉන් නිදහස්ව පැමිණි විගසින්ම වාගේ දකුණු අපි‍්‍රකාව සියතට ගැනීමට සමත් විය. එ් අපි‍්‍රකාවේ බොහෝ පාලකයන් විසින් අත් හදා බැලූ ප‍්‍රචණ්ඩත්වය උපයෝගී කරගෙන නොවේ. ජනතාවගේ හෘද සන්තානගත කැමැත්ත හැර අන් සකලවිධ මැතිවරණ යාන්ත‍්‍රණයක්ම ඔහුට විරුද්ධව බල මුළු ගැන්වූ තත්ත්වයක් යටතේය.

ලෝකයේ බටහිර වාසින් සමහරක් කල්ලන් හා දුඹුරන් යනු ම්ලේච්ඡුත්වය යාවත් කාලීන කරන ජනවර්ගයන් ලෙස සලකන යුගයක් තිබිණ. අදද එ් තත්ත්වය මුළුමනින්ම වියකී ගොස් නැත. එහෙත් සුදු දරුවන්ගේ පාඩම් පොත්වල ලෝකය යහපත් ලෙස වෙනස් කළ කල්ලෙකු හා දුඹුරෙකු ගැන සඳහන් වේ. එ් දුඹුරා නම් මහත්මා ගාන්ධිය. කල්ලා නම් නෙල්සන් මැන්ඩෙලාය. මහත්මා ගාන්ධි ජීවත් වූයේ අප උපදින්නට පෙරය. එහෙත් මැන්ඩෙලා ජීවත්වූයේ අපේ යුගයේදීය. ඔහුගේ කි‍්‍රයාකාරිත්වයේ රුව – ගුණ – වරුණ මනාසේ දැක ගන්නට අපද පින් කර තිබිණ.

ඔහුගේ සමස්ත තරුණ ජීවිතයම කළු අපි‍්‍රකානු අඳුරු සිරගෙයක සිරකළ සුදු පාලකයන් කෙරේ පෘතග්ජන මිනිසෙකු වූ ඔහුටද නිම නොවන වෛරයක් තිබෙන්නට ඇත. එහෙත් රටක අනාගතය භාරගන්නා මහජන නායකයකු වශයෙන් පරිනතව කල්පනා කළ මැන්ඩෙලා එ් වෛරය වෙනුවට සාමය හා සංහිඳියාව වෙනුවෙන් කැපවීමේ මාවත තෝරා ගත්තේය. එමගින් ඔහු අන් අපි‍්‍රකානු රටවල පවත්නා ගෝති‍්‍රක ම්ලේච්චත්වය වෙනුවට සුද්දන්ටවත් හිතාගන්නට බැරි සාමවාදී මාවතක් තෝරා ගත්තේය. එ් තෝරාගත් මාවත නූගතුන්  හා වෛරයෙන් කැළඹුණු තම අනුගාමිකයන්ටද වටහා දෙන්නට තරම් පටිසෝතගාමි මහා මිනිසෙකු විය. මේ දැවැන්ත මිනිසා ඊයේත් අදත් අනාගතයේදීත් සඳුන් රුකක් ලෙස සුවඳ දෙන්නේ, දේශපාලන අවිඳු අඳුර දුරලන පහනක් වන්නේ එහෙයිනි.

Nelson Mandela Courtesy - Wikipediaදකුණු අපි‍්‍රකානු කළු මිනිසුන් විෂයෙහි බි‍්‍රතාන්‍ය සම්භවයක් සහිත සුද්දෝ කළ ම්ලේච්ඡුත්වයන් කියා නිම කළ නොහැකි තරම්ය. එ් ම්ලේච්ඡුකම් කළ සුද්දෝ හඳුනා ගත හැකි පරිද්දෙන් මැන්ඩෙලාගේ පාලනය තුළත් සැරිසැරුහ. එ් විත්තිකරුවන්ගේ හෘද සාක්ෂිය තමන් කළ වැරැුද්ද වෙනුවෙන් හඬවා පාප මෝචනය කරන ක‍්‍රම වේදයක් මැන්ඩෙලාගේ ‘සත්‍ය කොමිසම්’ විසින් හඳුන්වාදෙන ලදි. ලෞකික රාජ්‍යයක් අලෞකික ක‍්‍රමවේදයක් දඬුවම් ක‍්‍රමයක් ලෙස හඳුන්වාදීමේ චිරන්තන ගෞරවය අද මියගොස් සිටින මැන්ඩෙලාට හිමිවිය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැඹුරු අත්දැකීම් සහිත බටහිර රටවලටවත් එ් හපන්කම කළ හැකි යයි සිතිය හැකිද?

ලංකාව 1948 දී නිදහස ලැබුවේය. දැන් එවැන්නක් ලබා වසර හැටපහක් ගෙවී ගොසිනි. එ් වසර හැට පහ යනු සාතිෂය වේදනාකාරී සමාජයක් ලබා දෙමින් කොල්ලකාරී පාලනයක් අප මත හෙළීමට වරින්වර බලයට පත් වූ සෑම පාලකයෙක්ම කටයුතු කළෝය. හැම නිදහස් දවසකමත් මීට වසර හැට හයකට පෙර අපව අතහැර දැමූ බි‍්‍රතාන්‍යයන්ටත් මීට වසර පන්සියයකට පෙර අපව අතහැර දැමූ ලන්දේසි සහ පෘතුගීසින්ටත් සාප කිරීම පුරුද්දක් කරගෙන තිබේ. එමෙන්ම තමන් විසින් අවුළුවා ගිනි තැබූ රටේ ප‍්‍රශ්න මීට හැට හය වසරකට පෙර අප අතහැර ගිය ජාතීන්ට බාර කරමින් ජනතාව රවටති.

එහෙත් නිදහස් ලංකාවේ ප‍්‍රථම නායකයා ඞී.ඇස්. සේනානායක  සිට මහින්ද රාජපක්ෂ දක්වා වූ නායකයන් කිසිවකුට ඔය කියන අධිරාජ්‍යවාදී මුව හමෙන් වාසියක් මිස අවාසියක් වූයේ නැත. ඞී.ඇස්. ගිය පාසල, ඇඳුම පැළඳුම හා පාලන රටාව සුද්දන්ගෙන් ලැබුණු ත්‍යාගයක් වන්නා සේම රාජපක්ෂ පවුල කල එළි බසින්නේ අධිරාජ්‍යවාදී සුද්දන්ගේ මුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී හඳුන්වාදීමක් වන රාජ්‍ය මන්ත‍්‍රණ සභා ක‍්‍රමයත් සමගය. රට නොනවතින ජාතිවාදී ගින්නකට හසු කළ බණ්ඩාරනායක ඍජු අධිරාජ්‍යවාදයේ ආශිර්වාදලත් පරම්පරාවක සුජාත පුත‍්‍රයා පමණක් නොව ආසියාවේ රිදී දිව ලෙස බෞතීස්ම කළේ සුදු අධිරාජ්‍යවාදයේ මහා විද්‍යායතනය වන ඔක්ස්පර්ඞ් සරසවියය.

එහෙත් මැන්ඩෙලාට ඞී. ඇස් සිට මහින්ද රාජපක්ෂ දක්වා වන කිසිදු පාලකයකුට ලැබුණු අනුග‍්‍රහයක් අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබුණේ නැත. අඳුරු සිරගෙයක සිරකරමින් ඔහුගේ වටිනා යෞවනය ඔහුගෙන් සොරාගත්තේය. එහෙත් ඔහු පාලනයේ පහසුවට අධිරාජ්‍යවාදී මුව හම පරෙස්සමට ළඟ තබා ගත්තේ නැත. තමාට බලය ලැබුණේ තමන්ගේ ජනයාට අනාගතයක් ලබා දීමට විනා අතීතයේ අඳුරු සෙවනැලි සමග කටයුතු කිරීමට නොවන වග ඔහුගේ මුනිවර සිතට පහළ විය.

නෙල්සන් මැන්ඩෙලා යනු දේශපාලන අත්පොතකි. එ් අත්පොතෙහි මාක්ස්වාදයේ සාරාර්ථයනුත් ලිබරල්වාදයේ සාරාර්ථයනුත් අන්තර්ගතය. එමෙන්ම ආගම් දහම්වලින් ලද මිනිස් ගෞරවය පිළිබඳ චින්තාවන්ගෙන්ද පොහොසත්ය. මැන්ඩෙලා චින්තනය හුදු ත්‍යායක් පමණක් නොව ප‍්‍රායෝගික දේශපාලන දහමකි. දකුණු අපි‍්‍රකාව වැනි අහිමිවීම් බොහොමයකට හිමිකම් කියන ආවේගශීලී ජනතාවක් සමග අත්හදා බලා සාර්ථක කර ගැනීමට හැකි වූවානම් ලෝකයේ අනෙක් කොටස්වලට ඒ දහම උචිත නොවන්නේ කෙසේද?

මැන්ඩෙලා යනු අසමසම පාලකයෙකි. ඇතැම් විට ඔහු සියවස් කිහිපයක් තුළ බිහිවුණු ශ්‍රේෂ්ඨතම කල්ලා විය හැකිය. ඔහුට බලය ලැබීම හා බලය අතහැරීම යන කාරණා දෙකම එක සමාන සරල සාමාන්‍ය දෙයක් වූයේ මනුෂ්‍යත්වය අබිබවූ ගුණයක් නිසා විය හැකිය. අධිරාජ්‍ය විරෝධී සටනක නියැලී බලවත් පීඩාවට පත් තවත් නායකයකු වන අල්ලපු රටේ රොබට් මුගාබේ තිරිසනෙකු සේ ලෝකයා හමුවේ වර නැගෙද්දී, මැන්ඩෙලා දෙවියකු සේ වර නැගෙන්නේ නූතන දේශපාලනයේ ගමන් මගට හරයක් සහිත මෘදු බවක් එක් කළ නිසාය.

මැන්ඩෙලා ගැන අපට සිතෙන මේ සත්‍යයන් සංවේදනාවන් අපේ රටේ පාලකයන්ට පාලනය බලාපොරොත්තු වන නායකයින්ට හිතෙන්නේවත් නැති බව සත්‍යයකි. එය නම් අපේ අවාසනාවය.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    නෙල්සන් මැනඩේලා යනු කවරෙකුද යන්න අවබෝධ කරගැනීමට මෙම වචන කීපය ඉතා අගනේය.විධග්දව විචාෂණශීලීව අප මැන්ඩේලා අද්‍යනය කිරීම යහපත් හෙට දවසකට මාවතක් වනු ඇත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.