25 April, 2024

Blog

හමුදාව සහ බුද්ධාගම

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ඉරණ මඩු ප‍්‍රදේශයේ ඉදි වෙන බුදු පිළිමයකට විරුද්ධව උතුරු පළාත් සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කළහ. උතුරේ හමුදාව රඳවා තිබිම සහ බුද්ධ ප‍්‍රතිමා ඉදිකිරිම ගැන දෙමල දේශපාලනඥයන් අමෙරිකානු තානාපති අතුල් කේශාප්ට පැමිණිලි කර තිබිණ. තානාපති වරයා ඒ ගැන ලංකාණ්ඩුව සමග කතා කරන බවක් වාර්තා විය. මේ ප‍්‍රවෘත්ති හරහා හෙට සිට, රාජ්‍ය ආගම බුද්ධාගමටද යන ප‍්‍රශ්නය නගනු ඇත. බුද්ධාගමට සහ රටේ ආරක්‍ෂාවට එරෙහිව අමෙරිකාව කුමන්ත‍්‍රණය කරති කියනු ඇත.

නාගදිපයේ ඉදි කෙරෙන බුද්ධ ප‍්‍රතිමාව පිළිබඳ ආන්දෝලනයක් පසුගියදා ඇතිවිය. එකී ඉදි කිරිමට මුල් ගල් තැබුවේ කැබිනට් ඇමති වරයෙකි. එකී පිළිමය ඉදි කිරිම යාපනේ දිසාපති වරයා තහනම් කළ බවට පුවත් පතක් වාර්තා කළේය. එහෙත් පැහැදිලිවම එය සත්‍ය නොවීය. යාපන දිසාපති වරයා කර තිබුණේ ඉදි කිරිම වෙරළාශ‍්‍රයෙහි සිදුවන හෙයින් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නියාමන අනුගමනය කරන ලෙස උපදෙස් දීමකි. මෙකී පුවත නැවත නැවත දලූ ලා පළ කෙරිණ. එය වහා නිවැරදි කිරිමට ආණ්ඩුව උනන්දු නොවිය. ඒ වාර්තාව එක් දහස් නවසිය පනස් හැට ගණන්වල පළ වුනා නම්……..? දකුණේ හින්දු කෝවිල් කිහිපයක් බිම සමතලා විමට ඉඩ තිබිණ. දකුණේ සිංහල බෞද්ධයන් එදාට වඩා අද වෙනස්ය. තිස් අවුරුදු යුද්ධය හරහා අප බොහෝ අත්දැකීම් ලබා ඇත්තෙමු. තම වාසියට දේශපාලනඥයන් රටේ සන්හිඳීයාව විනාස කළ නිසා, මේ රටට අහිමිවූ ජීවිත අල්ප ස්වල්ප නොවේ. ඒ ගැන කාටත් ඇත්තේ ගැඹුරු අවබෝධයකි. ‘‘කියන්නා කෙසේ කිවත් සිහි බුද්ධියෙන් අසන රටේ බහුතරය මේ තත්වය තේරුම් ගෙන ඇත. ජනවාරියේ වෙනස සිදු වුණේ ඒ නිසාය. නැවත සමහරු ජාතිවාදය පට්ටි ගැස්වීමට දරණ වෑයම ගැන කවුරුත් ඇස ගසා සිටියු යුතුවේ.

1956 පෙරළිය සංස්කෘතික විප්ලවයක් ලෙස දකිති. එහෙත් ඒකාන්ත ප‍්‍රතිපලය සිංහල දෙමළ වෛරයක් බිහි වීම පමණකි. කලු ජූලිය, තිස් අවුරුදු යුද්ධය ඉතිහාසයේ සෝචනීය කලු පැල්ලම් වෙති. ඒ සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පුංචි රටේ අසරණ ජිවිත දස දහසක් බිලිවිය. ඒ කැප කිරිම් සිද්ධ වුණේ රට ජාතිය උපන් දේශය වෙනුවෙන් නොවේ. තුට්ටු දෙකේ දේශපාලනය වෙනුවෙනි. එදා සිංහල දෙමල නායකයන් දෙපිරිසම ඊට නිර් ලජ්ජීව සම්මාදම් වූ බවට සාක්‍ෂි බොහෝය. මේ දෙ පිරිසම අද සිංහලේ ව්‍යාපාරය සහ එකම ලේ ව්‍යාපාරය නමින් නැවත විදි බැස සිටිති. මෙතෙක් කල් රටේ ඍජුව පැවතියේ සිංහල දෙමල එදිරිවාදුවකි. දැන් එය තවත් දිසානතියක් වෙත යොමුවී ඇති බවකි.

සාමාන්‍ය ජනතාව ඒ ටික තේරුම් ගත යුතුව ඇත. ජාති වාදය මෙන්ම ආගම් වාදයද නූතන ලෝකයේ පැවැත්මට කරන තර්ජනය අල්ප ස්වල්ප නොවේ. යුරෝපයේ සහ මැදපෙරදිග පැතිර යන මුස්ලිම් ත‍්‍රස්ත වාදය ආගම මුල් කරගත් එකකි. ඒ ව්‍යාපාරය මුස්ලිම් වරුන්ද බිලි ගනිමින් සිටිති. අම්ජාඞ් සබ්රි නම් පකිස්ථාන ජාතික ගායකයා ඝාතනය විය. ලෝකය ඔහු දැන සිටියේ ඉස්ලාමික භක්ති ගීත ගායකයෙකි. පකිස්ථානයේ මලාලා යුසෆ්සායි ඉලක්කයට හසු නොවී තවමත් ජීවත්වන වන්නීය.

ඉරණ මඩු වාර්තාව සන්හිඳීයා ව්‍යායාමය පන ගන්වන සීනු හඬක් කරගත යුතුව ඇත. එය පලදායි සාරවත් සංවාදයකට යොදා ගත යුතුව ඇත. නාග දීපයේ බුද්ධ ප‍්‍රතිමාව ගැන සමහර පුවත් පත් පලකළ පට්ටපල් බොරුවකි. එහෙත් රටට සහජිවනයට අහිතකර එවැනි කරුණු ඇදගෙන යාමට සමහරු සැදී පැහැදි සිටිති. වර්තමාන පාලකයන් මාධ්‍ය ගණන් නොගෙන සිටීමේ අභ්‍යාසයක නිරතව සිටිති. එහි ප‍්‍රතිපල අත් වින්දාට අපෙන් කිසිදු දෝසයක් නැත. 2015 ජනවාරි ජයග‍්‍රහණය සඳහා මාධ්‍ය අත්වැලක් තිබුණේ නැත. එහෙත් මහා සම්මත මාධ්‍ය බිම හෙළා සමාජ මාධ්‍ය බොරුව දෙපයින් මැඩ පෑ ප‍්‍රාතිහාර්ය, විශිෂ්ඨ මෙහෙය බලධාරින් අවතක්සේරු නොකළ යුතුවේ. මාධ්‍ය යයි කී විට එහි අඩු වැඩි හෝ බාල වැඩිමහල් කණිෂ්ඨ ජ්‍යෙෂ්ඨ ජාතික විකල්ප ආදි ලෙස ප‍්‍රභේද නැත. සකි‍්‍රය වූ විට ඉතිරි වන්නේ විනාසය පමණකි. රාජපක්‍ෂ පාලනය මහින්ද චින්තනය වැටුණේ විසි වුණේ එහෙමය. අද වනවිට සමාජ මාධ්‍ය ජාලවල හැසිරිිම තරමක් ප‍්‍රශ්න සහගතය.

සත්‍ය විකෘති කරන තෙක් බලා සිටීම නුවනට හුරු නැත. ඉරණමඩු බුදු පිළිම ගැටලුව අප ආගමික ආරවුලක් කර නොගෙන යථාරථය වෙත සමීප විය යුතුවේ. ඒ සඳහා සරල ප‍්‍රශ්නයක් මතු කළ හැකිය. ඉරණමඩුවට බුදු පිළිමයක් උවමනාද? ඉරණමඩුවේ ජිවත්වන බෞද්ධ ජනගහනය කොපමණද? බුදු පිළිමය ඉදි කරන බිම්කඩ කා සතුද? මේ වනවිට බෞද්ධයන් ශූන්‍ය උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පිහිටවූ පන්සල් පමණක් නොව සිංහල බෞද්ධ ජනාවාස පවා විවිධ ප‍්‍රශ්න වලට මුහුණ දෙමින් සිටිති. යුද හමුදාවට බෝධි පුජා පැවත්විය හැකිය. බෞද්ධ සිද්ධස්ථාන ඉදි කළ හැකිය. හමුදා කඳවුරු පවත්නා තාක් එකී ආරාම වාසි භික්‍ෂුන්ට සිව් පසය ලැබෙනු ඇත. ඉන්පසු තත්වය කුමක්ද? යහ පාලන ආණ්ඩුව නිසා උතුරු නැගෙනහිර පන්සල් වැසි යති යන අඩක් සත්‍ය අඩක් අසත්‍ය මතයකට පියාපත් ලැබෙනු ඇත. එසේ පියා පත් ලබා අහසට නැග පියාඹන්නේ වැහි කුරුල්ලෙකු නොවේ. අසමගිය වෛරය පතුරුවන ගිජු ලිහිණීයෙකි. එය ආගමේ රස තැවරූ ජාතික මෙන්ම දේශපාලන ව්‍යසනයක් විය හැකිය.

මේවා සරල තර්ක නොවේ. පා ගමනක් ජන රැුළියක් ලෙස අමතක කළ යුතු නැත. ඉරණමඩුව සිද්ධිය ගැන අමාත්‍ය එම්.ඞී. ස්වාමිනාදන් කීවේ බෞද්ධ සිද්ධස්ථාන හෝ බුදු පිළිම විනාස කිරිමට ඉවත් කිරිමට කිසිවෙකුට බැරි බවය. ඒ ප‍්‍රකාශය දේශපාලන උත්තරයකි. ස්වාමිනාදන්ගේ ප‍්‍රකාශය ඉරණමඩුව සිද්ධීයට උත්තරයක් නොවේ. ප‍්‍රමාණවක් බෞද්ධයන් පිරිසක් නොමැති ප‍්‍රදේශයක හමුදාව බුදු පිළිම බෞද්ධ වෙහෙර විහාර ඉදි කිරිම යහ පාලන ආණ්ඩුව අනුමත කරන්නේද?

උතුරු නගෙනහිර පිහිටි හමුදා කඳවුරු යම් දවසක ඉවත් කළ යුතුවේ. ඉන් පසුව හින්දු භක්තිකයන් ජීවත්වන, ප‍්‍රදේශවල හමුදාව මුල්ව ඉදි කළ බෞද්ධ සිද්ධස්ථාවලට කුමක් වේද? හැම හමුදා කඳවුරුකටම බලූ බළල් සුරතල් සතුන් සත්කාර ලබති. හමුදා කඳවුරු ඉවත් කළ පසුව ඒ බල්ලන්ට බළලූන්ට යන එන මං නැතිවේ. උන් කෑම සොයා ගම් වදිති. ගම්මුන් සත්ව කරුණාවන් උන් බලා කියා ගනිති. හමුදා කඳවුරේ ඉඳුල් කමින් සිටි බල්ලන්ට බළලූන්ට ගමෙන් ලැබෙන ආරක්‍ෂාව බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධව අපේක්‍ෂා කළ හැකිද? හමුදා උදව් අහිමිවූ ඒ ආගමික ස්ථාන අභාවයට යයි. ඉන් පසුව කතා කරන්නේ ආණ්ඩුව හමුදා කඳවුරු ඉවත් කළ බව නොවේ. ආණ්ඩුව බෞද්ධ සිද්ධස්ථාන විනාස කරන බවය. එය දකුණට බරපකල කතාවකි. ආණ්ඩුව ඒ හඬට අවනත වුනොත්…..? දකුණේ ආණ්ඩුව සහ උතුරු නැගෙනහිර ඇයි හොඳයිකම් අවසන් විය හැකිය. එය බුද්ධාගමටත් කැළලකි. මේ කරන්නේ සැබෙවින්ම කුමන්ත‍්‍රණයකි.

කන්දරෝඩෙයි හෙවත් ඉපැරණී කදුරුගොඩ ස්තූප සමූහය යුද්ධයෙන් විනාස නොවි අදටත් නිරුපද්‍රිතව පවතී. එහි අවට පදිංචි පාරම්පරික දෙමල බෞද්ධ පවුල් කිහිපයක් ඉතිහාසය පුරා ඊට වන්දනාමාන කළහ. අද එහි හමුදා මැදිහත් වීමෙන් නේවාසික භික්‍ෂුන් වහන්සේ නමක් සහිත බෞද්ධ විහාරයක් පවතී. හමුදා කඳවුර ඉවත් වූ පසුව අර කී දමිල බෞද්ධයන් එය නඩත්තු කරනු ඇත. කන්දරෝඩෙයි අත්දැකීම ඉරණමඩුවේදී යථාර්ථයක් නොවනු ඇත. බෞද්ධයන් නැති ඉරණමඩුවේ එය ඉදි වන්නේ ඉරණමඩු කනකඅම්බිගෙයි අම්මාන් කෝවිලේ අසලය. රටේ ආරක්‍ෂාව පිණීස පේවී සිටින, යුධ හමුදාවට පන්සල් තැනිමේ අයිතියට අභියෝග කළ නොහැකිය. එහෙත් මඩු දේවස්ථාන පරිශ‍්‍රයේ හෝ නල්ලූර් කෝවිල අසල බෞද්ධ ස්මාරක ඉදි කරයි නම්….? ඒ හරහා නිර්මානය වන සංවේදිභාවය කිසිවෙකුට අව තක්සේරු කළ නො හැකිය. එහෙත් රටේ කොහෝ ඉබේ පැලවෙන බෝ ගසක් ගැන කිසිවෙකු එසේ කල්පනා නො කරනු ඇත. මෙහිදි අවශ්‍යතාවය සහ අවකාශය ඉතා වැදගත් වේ. ඉරණමඩු කනකඅම්බිගෙයි අම්මාන් කෝවිලේ අසල වන්දනා කරුවන් සඳහා ලැගම් ගෙයක් ඉදි කරයි නම්…? තත්වය වෙනස්ය. ති‍්‍රකුණාමලේ බුදු පිළිමයක් ඉදි කිරිම නිසා ඇතිවූ ආරවුල, මහනුවර නගරයේ මුස්ලිම් දේවස්ථානයක අහසට විහිදෙන උස සම්බන්ධ ප‍්‍රශ්නය, මේවා හුදෙකලා සිද්ධි නොවේ. මිනිස් සංහිඳීයාවට බද්ධ ප‍්‍රශ්න නිසා, සන්සුන්ව ගැඹුරෙන් හැදෑරිය යුතුව ඇත. මහින්දාගමනය සිදුවන විට ලංකාවේ බෞද්ධයන් නො සිටියහ. එහෙත් අද ලංකාව බෞද්ධ රටකි. කාලීන ජන ව්‍යාප්තින් අනුව, අද යාපනයේ බෞද්ධ ජන ගහනය තුනීවි ගොස්ය. බෞද්ධ ස්ථාන හුදෙකලා වී ඇත. නැවත උතුරේ බුද්ධාගම ව්‍යාප්ත කළ හැකිය. ඒ ධර්ම ප‍්‍රචාරය අනුව මිස, හමුදා අනුග‍්‍රහයෙන් නොවේ. භාරතය දිග් විජය කළ අශෝක බුද්ධ ධර්මය පතුරුවන ලද්දේ ධර්ම දූත ව්‍යාපාර මගිනි. මහින්දාගමනය ඊට නිදසුනකි.

ගෝඨාභය රාජපක්‍ෂ පසුගිය දා යුධ හමුදාව යොදා බෞද්ධ විහාර 4000ක් පමණ නගා සිටවූ බව කීය. එය අසා සිටි පින් කැමැත්තෝ අනේ සාදු කීවාට සැක නැත. රටකට හමුදාවක් අවශ්‍ය හේතුව දනී නම් ගෝඨාභය මෙවැනි කතා නොකියනු ඇත. මනුෂය ඝාතන ගණනාවකට සැක පිට සොල්දාදුවන් පිරිසක් අත් අඩංගුවේ පසුවේ. මනුෂ්‍ය ඝාතන ගැන සොයන්නේ, ගෝඨාභය දූෂණ විමර්ශන අංශ වලට කැඳවන්නේ, හෝමාගම අධීකරණයට සැකකාර සොල්දාදුවන් ගෙනෙන්නේ, රාජ්‍ය නීතිය විසිනි. රාජ්‍ය නීතියට භික්‍ෂුන් යටත් විය යුතු බව බුදු දහමෙහි සඳහන් වේ. අධිකරණ නියෝගයක් කඩ කරමින්, ගෝඨාභයට පිරිත් කී භික්‍ෂුන් අධිකරණය ඇප මත මුදා හැරිණ. හෝමාගම උසාවියට පැන කළහ කළ භික්‍ෂු පිරිසක් අත් අඩංගුවට පත් විය. ඒ සමග යහ පාලන ආණ්ඩුව විසින් භික්‍ෂුන් 49 නමක් සිරකර ඇති බවට චෝදනා නැගිණ. ආණ්ඩුව කළ ප‍්‍රකාශයක් අනුව, එකී 49 දෙනාගෙන් 08 දෙනෙකු හෝමාගම අධීකරණයට අපහාස කිරිම නිසාද, තවත් භික්‍ෂුවක් නීති විරෝධීව අලි පැටවෙකු තබා ගැනීම නිසාද, අත් අඩංගුවට පත් විය. එය රටේ රාජ්‍ය නීතියයි. ඉතිරි භික්‍ෂුන් 40 දෙනා ළමා අපචාර සහ නිදන් හෑරීම ආදිය නිසා අත් අඩංගුවේ පසුවේ. උතුරු නැගෙනහිර බෞද්ධයන් නොමැති ප‍්‍රදේශවල යුධ හමුදාව සිද්ධස්ථාන ඉදි කිරිම ගෝඨාභය ක‍්‍රමය අනුව යාමකි. පටු දේශපාලන අරමුණු සඳහා බුද්ධාගම මෙන්ම හමුදාවද යොදා ගැනිම වරදකි. අනුරාධපුර එජාප මන්ත‍්‍රීව සිටි පී.බී. බුලන්කුලම දිසාව ඡුන්ද රැුස්විමකදී තම සිංහල බෞද්ධ උරුමය විස්තර කරමින්, තම පරම්පරාව වසර 2500ක් පුරා ශී‍්‍ර මහා බෝධිය රැුක්ක බව කීය. ඊට පිළිතුරු දුන් මෛති‍්‍රපාල සේනානායක කීවේ ඉතිහාසය පුරා බුලන්කුලමලා බෝධියෙන් රැුකුණා මිස, බෝධිය නො රැුක්ක බවය. හමුදාව සහ බුද්ධාගම ගැන ඊට තවත් විග‍්‍රහ අවශ්‍ය නැත

ආපසු මේ ලිපියේ ආරම්භයට ගමන් කළ යුතුවේ. හමුදාව කරන ඉරණමඩු වැනි ආගමික ඉදි කිරීම් රටේ ජන වාර්ගික සංහිඳීයාවට අනතුරකි. ආගමට අවමානයකි. සැකකාර සොල්දාදුවන් වෙනුවෙන් උසාවියට පැන කැරළි ගැසූ භික්‍ෂුන්ට සරත් පොන්සේකා රණ විරුවෙකු වුණේ නැත. එහි තේරුම රාජපක්‍ෂලා අකමැති සොල්දාදුවන් සමහර භික්‍ෂුන්ට රණ විරුවන් නොවන බවය. හමුදාවේ බුද්ධාගම පටු ජාතිවාදි අරමුණු කරා රට තල්ලූ කිරිමය. හමුදාව ද්‍රවිඪ ප‍්‍රදේශවල විහාරාරාම ඉදි කිරීමත් සමහර භික්‍ෂුන්ට සරත් පොන්සේකා රණවිරුවෙකු නොවීමත් විකෘතීන් වෙති. හමුදාවේ මේ හැසිරීම බුද්ධාගමේ චිරස්ථිතිය නොවේ. මේ තත්වය ගැන ආණ්ඩුව පමණක් නොව මහානායක හිමිවරුන්ද, බෞද්ධ ජනතාවද ගැඹුරෙන් කල්පනා කළ යුතුව ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.