28 March, 2024

Blog

මාධ්‍යකරුවා ජාවාරම් කරුවෙකු නොවිය යුතුය

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා සිය ප‍්‍රකාශය හරහා කියා සිටියේ ජනමාධ්‍ය විසින් අනුගමනය​ කළ යුතුයයි තමන් විශ්වාස කරන අදහසක් තමා සමාජ ගත කළ බවය. ලේකම්වරයා ඒ නිවේදනය නිකුත් කළද නොකළද මාධ්‍ය අනුගම්‍ය රීතින් හඳුනා ගත යුතු තැනට තල්ලුලවි ඇත. එකී නිවේදනය ආන්දෝලනාත්මක වුනේ ඔහු පොදු විපක්‍ෂය යන එකම උදාහරණයක් පමණක් දැක්විම හේතුවෙනි. සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය හැර තවත් දේවල් නැත. මේ කියන පොදු විපක්‍ෂය ගැන බොහෝ විවාද කෙරිණ. අද වනවිටද පාර්ලිමේන්තුව නිල වශයෙන් පොදු විපක්‍ෂය යන්න පිළිගෙන නැත. එය රජයේ මුදලින් වීරකැටියේ රාජපක්‍ෂ සොහොන් ඉදි කළා වැනි රාජපක්‍ෂලාට පමණක් අනන්‍ය එකකි. එකී රජයේ මුදල් ආපසු ගෙවිමට මහින්ද රාජපක්‍ෂ පොරොන්දු වී ඇත. පොදු විපක්‍ෂයද ඒ ආකාරයටම පාරේ පත්තු කළ නිලා කූරක් මෙන් එහිම කැරකි කැරකී තිබි නිවි අළුවී යනු ඇත. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක හෝ විපක්‍ෂ සංවිධායක මේ පොදු විපක්‍ෂයේ සාමාජිකයන් නොවෙති. ගැටළුව වන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය සමග හිට ගන්නා සමහරු පාර්මේන්තුවෙන් පිටතදී පොදු විපක්‍ෂය සමග කි‍්‍රයා කිරිමය. එහි පිළිකුල් සහගත තත්වය නම් පොදු විපක්‍ෂයේ මූලිකයා වන මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුව මග හැර ආණ්ඩුව විවේචනය කිරිමට පොදු විපක්‍ෂය යොදා ගැනිම සහ තමා පොදු විපක්‍ෂ නායකයා ඒ බව නො පිලිගැනිම ය.

පොදු විපක්‍ෂ කි‍්‍රයා ධරයන්ට අනුව, රාජ්‍ය නිලධාරියකු නිසා, ජන මාධ්‍ය ලේකම්ට දේශපාලන ප‍්‍රශ්නය ගැන ප‍්‍රකාශ කළ නොහැක. ඒ නිසා වහා ලේකම් වරයා ඉල්ලා අස්විය යුතුවේ. එහෙත් මහින්ද රාජපක්‍ෂ යුගයේ ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් හැටියට, විමල් විරවංශ, උදය ගම්මන්පිල ආදි රාජපක්‍ෂ වාදින්ගේ දේශපාලන වේදිකාවේ කතා පැවැත්වීම වැරදි නැත. රාජපක්‍ෂ වාදින් විශ්වාස කරන්නේ යුද්ධය අවසන් කිරිම නිසා, රාජපක්‍ෂවරු රෙදි නැතිව පාරේ ගියත් අනේ ලස්සන කියා වර්ණනා කළ යුතු බවය.

ජනමාධ්‍ය ලේකම් 1954 වනවිට ඉපදිලාවත් නැතුවා විය හැකිය. 1954 සුර්ය ග‍්‍රහණය අවස්ථාවේ වදකහ ශරීර ගත කිරිමෙන් රූපත් වන බවට ලංකාදිප පත‍්‍රය ප‍්‍රචාරය කළේය. ඒ බෙහෙත් වට්ටෝරුව අප‍්‍රකට පුද්ගලයෙකු ගෙන් ලබාගත් එකකි. මේ නිසා ලස්සන විමට වදකහ පානය කළ විශාල පිරිසක් රෝහල් ගත කෙරිණ. සත්‍ය වශයෙන්ම මේ ප‍්‍රවෘත්තියෙන් අපේක්‍ෂා කළේ ජනතාව අතර, ජනපි‍්‍රයවී පත‍්‍රයේ අලෙවිය වැඩි කර ගැනිමය. කළු පැහැති රෙදි කඩක් පොරවා ගත් මානසික රෝගියෙක් එක් රාති‍්‍රයක ඉබාගාතේ ගමන් කරමින් සිටියේය. ආහර පිසිමින් සිටි කාන්තාවක් හදිසියේ ඒ පිස්සා දුටුවේය. මේන් කළු යකෙක් කියා අර කාන්තාව යටි ගිරියෙන් කෑ ගැසුවාය. ආරංචිය කටින් කට යමින් රසවත් මාධ්‍ය පුවතක් නිර්මානය විය. දෙදිනක් යන විට අර පිස්සා රටම දන්නා ගී‍්‍රස් යකෙකු බවට පත් විය. පුවත් පත් කියවූ ගැහැණු රාති‍්‍රයේ වැටී කෙලින් තිබුණ පොල් අත්ත පවාග‍්‍රීස් යකා සේ සැක කළහ. බොහෝ රස්තියාදුකාර තක්කඩියන් ගි‍්‍රස් යකාට ආවේසවි රාති‍්‍රයේ ගම් දනව් බියපත් කරමින් පිළිකණු ගානේ කරක් ගැසූහ. මාස ගණනක් අපේ මාධ්‍ය ව්‍යාපාර වලට ගී‍්‍රස් යකා හොඳකෑමක් විය. මෙවැනි මාධ්‍ය වාර්තා හරහා අනුගම්‍ය මානසිකත්වයන් සහිත පුද්ගල චරිත ප‍්‍රති නිර්මානය වේ.

මුහුණු පොත් සිද්ධිය නිසා දිවි නසා ගත් කුරුණෑගල පාසල් සිසුවිය මාධ්‍යට තරු පහේ කෑමක් විය. සති ගණනක් ඊට විශාල ප‍්‍රචාරයක් ලැබිණ. දෙසතියක් ඇතුලත තවත් එවැනි අවාසනාවන්ත සිද්ධින් ගණනාවක් වාර්තා විය. දුර්වල සිත් ඇතියන් මෙබඳු සිද්ධින් අනුගමනය කරන වග තහවුරු වූ සත්‍යයකි. වියපත් කාන්තාවනන් දූෂණය කිරිම, කිරි දරුවන් අපහරණය කිරිම පියවරු දියනියන් විනාශ කිරිම විකෘති ලෙස සිදු කළ මිනි මැරිම් ආදිය ගැන කරන වාර්තා කරණය බොහෝ විට සමාජ අවදානම් නිර්මානය කරයි.

තමන් වාර්තා කරන සිද්ධීන්ට පාදක හෝ ගොදුරුවූ හැම දැරියක්ම, තරුණීයක්ම, කාන්තාවක්ම රූමත් බවට මාධ්‍ය සහතික කරයි. එහි දිගුවක් ලෙස සමහර විපතට පත් කාන්තාවන්ගේ ස්ති‍්‍ර නිමිත්තේ විකෘතින් පවා විස්තර කරන තරමට අපේ මාධ්‍ය ලිබරල් වී ඇත. මේ විස්තර වාර්තා වලින් කියවන්නාට ලැබෙන සෙතක් නැත. එහෙත් ඒ හරහා වැඩෙන රෝපනය වන සමාජ අවදානම් බොහෝය.

මේ තත්වය නිසාම මාධ්‍ය හෙළි දරව්ව සමබර විය යුතුවේ. මාධ්‍ය භාවිතය ගැන කතා කිරිම සමාජ ද්‍රෝහිකමක් හෝ අපරාධයක් නොවේ. තීරු බදු රහිත වාහන වරප‍්‍රසාදය ගැන ලියන මාධ්‍ය කරුවන් තමන්ට නොලැබුණ බයිසිකලය ගැන සටන් කරති. සීමා රහිත වාර්තා කරණය හරහා, අහිතකර උත්තේජන ඇබ්බැහිකම්, සමාජ ස්ථරය තුලට එන්නත් වන බව බොරුවක් නොවේ. මෙයින් දශක කිහිපයකට පෙර හොරණ ප‍්‍රදේශය බියපත් කළ මං පහරන්නෙකු නීතියට කොටුවි බන්ධනාගාර ගත විය. ඔහු පසු කලෙක ප‍්‍රකාශ කළේ තුවක්කුවක් අතින් ගත් තම පින්තූරයක් පත‍්‍රවල පළවනු දැක්ම මූලික ආශාව වූ බවය. ගමේ පරිභවයට ලක්වූ අසල්වාසින් දැකිමට අකමැති චරිත ගම්වල සිටිති. ඔවුන්ගේ හැසිරිම් විපරිතය. සමහරු රාති‍්‍ර ගත කරන්නේ එළි මහනේය. රාති‍්‍රය පුරා ඇවිදිති. ඇලේ මාලූ අල්ලා අමුවෙන් බුදිති. එවැනි චරිත වර්තමාන මාධ්‍ය හරහා අනවශ්‍ය ලෙස ඉස්මතු කෙරෙයි. සේයා සිද්ධීයේ කොණ්ඩයා සැක කරුවෙකු පමණකි. එහෙත් ඔහු ගැන කළ හෙළිදරව්ව රස කෑමකට වඩා යමක් නොවිය. ඉන්දියාවේ සමුහ දූෂණයට බිලිවි ඝාතනයවූ වෛද්‍ය ශිෂ්‍යාව අපට අමතක නැත. ඇයගේ සත්‍ය නාමය ඉන්දිය මාධ්‍ය ලෝකයට හෙළි කළේම නැත. කොටකෙතනදී එක මොහොතක දුෂණයවූ මව සහ දියණිය? ඔවුන්ගේ ආත්මයන් එවැනි කුප‍්‍රකට ප‍්‍රසිද්ධීයකට ලක්විම සාධාරණද? සේයා දැරිය….? දිගු කලක් යන තෙක් ඒ ගීතවත් කාන්තා නාමය තවත් දැරියකට නොතැබෙනු ඇත. දැනට ඒ නම ලබා ජිවත්වන දැරියන් සමාජයෙන් සැඟවෙති. මේ කතා කරන්නේ මානව හිමිකම් ගැනය. පුද්ගල ගෞරවය ගැනය. සේයා ඝාතනයට සැක කළ අයෙකු වාසය කළ ප‍්‍රදේශය පළාත් වාසින්ගේ පිළිකුලට ලක් වූ බව අපේ මාධ්‍ය ලෝකයට ඇසෙන්නට කීය. ඒ නිසා උක්ත ගම්වාසින් ලෝකයේම අවමානයට ලක් නොවිද? සේයා ඝාතනය කළ නරුමයා දඬුවම් ලැබිය යුතුය. එහෙත් ඒ පුද්ගලයා බිහිකළ මවගේ පින්තූර සහිත ප‍්‍රකාශ ඇයට ගෞරවයක් වන්නේ නැත. අම්මලා වදන්නේ දරුවන් මිස සර්පයන් අධමයන් නොවේ. ඒ වරදකරු ජීවත්වූ ගමේ මිනිස්සු ඒ නිසා අවමන් විඳීය යුතුද? එක් අපරාධයක සැකකරුවෙකුගේ දර්ශන රූපවාහිනි නාලිකාවක ප‍්‍රචාරය වෙමින් තිබිණ. ඔහුගේ කොණ්ඩා මොස්තරයට සමාන කොණ්ඩා මෝස්තරයක් සහිත මිතුරෙකු ඇමතූ මිතුරෙකු කිවේ අරූගේ කොණ්ඩය උඹෙ වගේ කියාය. ඉතින් ඌ මගේ සහෝදරයාද? ලැබුණ මේ උත්තරය ඉතා වැදගත්ය. ඒ කාලකන්නියන් මාධ්‍ය හරහා දැකීමෙන් ඇති වන සමාජ ආලෝලනය එවැන්නකි. ඒ තුල ගැබ්වූ පිළිකුල කෝපය අධ්‍යයනය කළ යුත්තේ මාධ්‍ය වේදින් විසිනි. මාධ්‍ය නියාමනය අවශ්‍යව ඇත්තේ සමාජයටය. පාරිභෝගිකයන් භාණ්ඩ තෝරා ගැනීමේදී අන්තර්ගත දේ විමසා බලති. ලංකාවේ සමහර සති අන්ත පත්තර මිලට ගන්නා දෙමාපියන් ඒවා සමග නොමිලේ දෙන සමනල අතිරේක දැන්විම් කලාප මග දමා යන බව ප‍්‍රකට කරුණකි. අපේ මාධ්‍ය කර්මාන්තය තුල කියවන්නාට බලන්නාට තෝ්රා ගැනීමේ අවකාශය සපුරා අවුරා ඇත. මාධ්‍ය නියාමනය අවශ්‍ය වන්නේ ඒ නිසාය.

මිගලෑවේදී පැහැර ගත් දරුවාගේ කතාව ආන්දෝලනාත්මක එකක් විය. අපේ පොලිසියේ විශිෂ්ඨ කැපවිම නිසා දරුවා බේරා ගත හැකිවිය. බේරා ගත් දරුවා ගැන වාර්තා කිරිමට පැමිණි මාධ්‍ය වේදියෙකු පොලිසිය සමග කීවේ කුමක්ද?

‘‘දැන් ඉතින් අපිට තව කතාවක් සොයා ගන්න වේවි. මේ ප‍්‍රකාශය කියන්නේ දරුවා සොයා නොගත්තා නම් හොඳය යන්න නොවේද? පැතිරෙන අපරාධ රැුල්ල හා ලංකාවේ මාධ්‍ය භාවිතාව සහාය දිවීමක් (රිලේ රේස් එකක්) නොවිය යුතුවේ. මේ තත්වය වෙනස් නොවේ නම් වෙනස් කළ යුතුව ඇත. ඉහතින් උපුටා දක්වා ඇත්තේ උක්ත මාධ්‍යකරු කළ සත්‍යම ප‍්‍රකාශය නොවන බව සමාව අයදිමින් සටහන් කරමි. ඒ මාධ්‍ය වේදියා කී හැබෑ ප‍්‍රකාශය එවකට සිටි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගෙන් අසා දැන ගත හැකිය. පොදු විපක්‍ෂය යන වචනය නිසා නව මාධ්‍ය ලේකම් කම්බස් කළ බව සැබෑය. එහෙත් ඒ නිවේදනය තුල පවත්නා සැබෑවට අප මුහුණ දිය යුතුවේ. සත්‍ය වශයෙන්ම මාධ්‍ය ලේකම් ආරම්භ කළේ කවුරුන් හෝ කළ යුතු පටන් ගත යුතු දෙයකි.

හැම ව්‍යාපාරයකම ලාභය මුල් වේ. අද වන විට දේශපාලනය ආගම පවා ලාභය ඉලක්ක කර භාවිතාවේ. එහෙත් සතුන් මරා විකුණන මස් කඩ කාරයාත් විෂ නැති පරිභෝජනයට සුදුසු මස් පමණක් අලෙවි කිරිමට බැඳී සිටිති. අපේ රටේ මාධ්‍ය එවැනි වාරණයක් ඇති කර නොගනී නම්, ඊට මැදිහත්විමට සමාජයට ඇති අයිතිය හෝ අප සුරක්‍ෂිත කළ යුතුවේ. හෝ කවුරුන් හෝ මැදිහත්ව එය අතිකළ යුතුව ඇත. මාධ්‍ය විසින් සමාජයට සැපයිය යුත්තේ තොරතුරු පමණක් නොවේ. නිසැකවම සමාජයද දැනුවත් කළ යුතුවේ. අද මාධ්‍ය හරහා, ලේඛනයන් කලා කාරයන් බිහි නොකරති. ඕපපාතිකව බිහිවූ එවැනි රටේ සම්පත් දේශපාපලනයට හෝ කබල් කට කතාවක් හරහා විනාශ කිරිමට පමණක් දායක වෙති. රෝහණ වීරසිංහගේ නීලා වික‍්‍රමසිංහගේ දේශපාලනය………? දික්කසාදය පිළිකුල් කිරිම සංස්කෘතික බලපෑමකි. බටහිර මෙන් ඇඳුම් මාරු කරන්නාසේ සහ කරුවන් මාරු කරන දේශීය නළු නිලියන් ගැන ලිපි පළ කරන මාධ්‍ය අපේ සංස්කෘතියට කැරන බලපෑම අති මහත්ය. මේ උදාහරණයක් පමණකි. දික්කසාද නොවිය යුතුය හෝ අයහපත් යන්න මෙයින් අදහස් නොකෙරෙයි.. මාධ්‍ය කරණයේදී දේශපාලනයට වඩා සංස්කෘතියද පැවැත්මක් තිබිය යුතු ය. හේතුව දේශපාලනය ඇමති කමකින් වෙනස් වුනාට සංස්කෘතිය එසේ නොවන හෙයිනි. ජනාධිපති අපේක්‍ෂක මෛති‍්‍රපාල සිරිසේනට ගැහැණු ඇන්දවූ දැන්විම පළ කළ අපේ මාධ්‍ය සදාචාරය මහින්ද රාජපක්‍ෂ අමුඩය ගසා සිටි දැන්විම පළ කිරිම ප‍්‍රතික්‍ෂේප කිරිම අප මෙහිදී සිහිපත් වේ.

අද වන විට පාඨකයා කියවිය යුතු දේ තිරණය කරන්නේ මාධ්‍ය විසිනි. එහිදී නිර්නායකයන් ලෙස ගැනෙන්නේ අති පොෟද්ගලික රුචියකි. අමු මාළු බුදින රාති‍්‍රයේ කාමර වලට එබෙන අපතයන්ගේ තොරතුරු රටට පෙන්වන බෙදන, නිදහසට සිමා පැවතිය යුතුවේ. වරක් හරවත් ග‍්‍රන්ථයක් ගැන ලියැවුණ පොතක් විවේචනය පිණීස මාධ්‍ය මිත‍්‍රයෙකුට යැවිමි. ඒ ඉල්ලීම ඉටු වුණේ නැත. පසුව කළ විමසීමකදී ලැබුණ පිළිතුර කුමක්ද? ඒ පොත නම් හොඳයි. ඒ වුනාට මිනිහා එන්ජී ඕ කාරයෙක්නේ. එහෙත් ඒ මාධ්‍ය හිතවතා රාජ්‍ය රහස් ලබා ගන්නේ එන්ජී ඕ ඔස්තාර් කෙනෙකු ගෙනි.

මාධ්‍ය භාවිතය ප‍්‍රබල සමාජ ප‍්‍රවේගයක්වී අවසානය. මාධ්‍ය වේදියෙකුට බස් රියැදුරෙකුට, නිතිඥයෙකුට පහර දිම තර්ජනය කිරිම ප‍්‍රබල මාධ්‍ය වාර්තා වෙති. පහර දුන් කෙනා අල්ලා ගන්නා තෙක් පිකටින්ය. තර්ජනය. එය යම් තරමකට යහපත්ය. මෙහිදී යම් තරමකට යන වචනය පාවිච්චි කරන්නේ ඒ ප‍්‍රවේග හරහා, සකි‍්‍රයව පවත්නා හානිකර තත්වය හඳුනා ගැනීම පිණීසය. මාධ්‍ය වේදින් කැමති නම් ඕනෑම තොරතුරක් අපරාධයක් රටෙන් සැඟ​වීමේ හැකියාවද මේ අවකාසය තුල පවතී. මහනුවර අම්පිටියේදී මුගුරක හැඩය ගත් කී‍්‍රඩා භාණ්ඩයකින් පහර දි කෙනෙකු ඝාතනය කෙරිණ. මහ දවාලක එළි මහනේදී මේ පහරදිම කළ තරුණ ඝාතකයා හෝ සැකකරු තක්කඩියෙකු නොවේ. ප‍්‍රකට විදුහලක උගත් තවත් තරුණයෙකු පමණකි. එහෙත් ඔහුගේ පියා ප‍්‍රදේශයේ විවාදිත චරිතයකි. මේ ඝාතන සිද්ධිය ලංකාවේ කිසිදු පුවත්පතක හෝ විද්යුත් මාධ්‍යයක ප‍්‍රසිද්ධ කළේ නැත. සත්තකින්ම එය යහපත් තත්වයකි. අහඹු සිද්ධීයක් නිසා පවුලක කිර්තිය හෝ අනන්‍යතාව අපහසුවට ලක් විය යුතු නැත. දිගින් දිගටම බලය ධනය ශක්තිය සමාජ අයහපත පිණිස පාවිච්චි කරයි නම් එය වෙනම තත්වයකි. එහෙත් කණගාටුවන් කිව යුත්තේ ඉහත කී සිද්ධියට ප‍්‍රචාරය නො වීමට බලපෑවේ සද්භාවය හෝ වෘතීය ආචාර ධර්ම නොවන බවය. එකි සිද්ධීය ප‍්‍රවෘත්තියක් නොවී යටපත් වුණේ ඇයි? ඊට හේතුව දන්නෝ දනිති.

රත්ගම ප‍්‍රදේශයේ භික්‍ෂුවක් අපරාධ වරදකට සැක පිට අත් අඩංගුවට පත් විය. ඒ සමග උක්ත භික්‍ෂුව දැරූ ගාලූ දිසාවේ සංඝ නායක පදවිය අදාල නිකාය පාර්ශ්වය විසින් අත්හිටුවනු ලැබීය. දිවයිනේ ප‍්‍රකට ජාතික පුවත් පතක් අර භික්‍ෂුව අධීකරණයට ඉදිරිපත් කළ හැම දවසකම සැකකාර චීවර ධාරියාගේ නමට මුලිග් අදාල නිකාය අත්හිටුවන ලද අර නායක පදවිය යොදා ගත්තේය. එය කොතරම් අයහපත්ද? අසෝබනද? එකී නිකායට තනතුරු පිරි නැමිමට මෙන්ම අවලංගු කිරිමටද බලය අයිතිය ඇත. ඒ බලය අයිතිය මාධ්‍ය විසින් පැහැර ගැනීමට මාධ්‍යය බලය දුන්නේ කවුද? යමක් දිමේ ගැනීමේ අයිතිය සමාජය විසින් සහතික කළ එකකි.

ඉහත සිද්ධීයේදී මහනුවර ප‍්‍රදේශයේ සිද්ධිය යටපත් කිරිමේ උවමනාව සහ රත්ගම ප‍්‍රදේශයේ අහෝසි කළ නායක තනතුර නැවත නැවත උලූප්පා දැක්විමෙන් මාධ්‍ය සදාචාරයේ උස්මිටිකම් අනාවරණය වේ. ඒ 26 පාර වැසීම ගැන මහනුවර බහුතර ජනතාවගේ සතුටක් නැත. ඒ ගැන කෙරෙන උද්ඝෝෂණ ව්‍යාපර බොහෝය. අත්හිටවූ සංඝ නායකකම උපුටා දැක්වූ ජාතික පත‍්‍රයම මහනුවර පාර වැසිමට එරෙහිව උද්ඝෝෂණය ගැන වාර්තා කිරිමට මැලිවෙති. මැලිවෙනවා පමණක් නොවේ. ඒ පැවති උද්ඝෝෂණ වලට එරෙහිව පසුුදාම භික්‍ෂුන්ගේ ප‍්‍රකාශවලට ප‍්‍රසිද්ධීය ලබා දිමට කි‍්‍රයා කරති. අම්පිටිය ප‍්‍රදේශයේ අහඹු මනුෂ්‍ය ඝාතනය මාධ්‍යයෙන් වසන් කිරිම, රත්ගම ප‍්‍රදේශයේ අත් හිටවූ නායක පදවිය අපරාධ කරුවෙකුට නැවත නැවත ආරෝපනය කිරිම, 26 පාර වැසීමට එරෙහි උද්ඝෝෂන යටපත් කිරිම හරහා මාධ්‍ය භාවිතයේ සද් භාවය අභියෝගයට ලක්වේ. කුහක විරූපි සැබෑ මුහුණ හෙළිදරව් වේ. තුවක්කුවක් පිස්තෝලයක් ලෙස තම පෑන කැමරාව හසුරුවන්නෝ සමහර විටෙක බත් පත් පාර්සලයක් හමුවේ හීලෑ විමක් මෙයින් ප‍්‍රකාශ නොවේද? අප අතර එහෙම අයත් ඉන්නවා කියා ඒ තත්වය පවත්වා ගෙන යාමට ඉඩ දිය යුතු නැත.

නීති විරෝධිව සන්තකයේ තබා ගත් අලි පැටවෙකු ගැන චෝදනා ලැබුව භික්‍ෂුව පන්සල අසල දමා ගොස් සිටි අලි පැටියා ගැන කළ හුරතල් කතාව අපේ මාධ්‍ය බැරෑරුම් ලෙස වාර්තා කළහ. එය සිහි බුද්ධිය ඇති සාධාරණ සමාජයට කරන නිගාවකි. ඒ භික්‍ෂුව අධීකරණයෙන් එළිියට පැමිණ බුද්ධාගම බේරා ගන්න කියා ප‍්‍රකාශයක් කළේය. පිණ්ඩපාතික පාත‍්‍රයක් කරෙහි එල්ලා ගත්තාට, බුද්ධාගම හෝ භික්‍ෂුත්වය ආරක්‍ෂා වේද? මේ ප‍්‍රශ්නය මාධ්‍ය විසින් සමාජ ගත කළ යුතුව තිබිණ. අපේ මාධ්‍ය සමහරක් දේවල් හිතා ගන්ට ඉඩදී නිහඬ වේ.

නීතිය කඩා අධීකරණයේදි හමුවන භික්‍ෂුන් මාධ්‍ය භාවිතය අනුව චීවර ධාරින් වෙති. මත්පැන් පානය කොට, රියක් පදවා පුද්ගලයෙකු යටකොට අධිකරණයෙන් දඬුවම් ලැබූ චීවරධාරියා පසුව, විවෘත අධීකරණයට පැන යකා නැටිමද සාපරාධ වරදකි. අවස්ථා දෙකේම චේතනාන්විතව රටේ නිතිය කැඩූ එකම චිවරධාරියා දෙවන සිද්ධීයේදී රටේ ගැලවුම්කරුවා ලෙස ඔසවා තබති. එය රටේ නිතිය අධීකරණය සමාජය තුල පාච්චල් කිරිමකි. ප්‍රගීත් එක්නැලිගොඩගේ වැන්දඹු භාර්යාවට ප‍්‍රසිද්ධියේ නින්දා කළ සිද්ධිය සමාජ පරිභවයකි. මනුෂ්‍යත්වයට නිගාවකි. සේයා දැරිය දූෂණය කිරිමට මුවාවී දැරියගේ නිරුවත් සිරුර පෙන්වූ සමහර මාධ්‍ය එක්නැලිගොඩ වැන්දඹුවට බැන වැදිම විර කි‍්‍රයාවක් ලෙස හුවා දැක්වීය. අවසාන වශයෙන් කිව යුත්තේ නිමල් බෝපගේ නිකුත් කළ නිවේදනය ගැන කතුවැකි ලියූ මාධ්‍යවේදින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පත‍්‍ර කතුවරියකට තිත්ත කුණුහරුපෙන් බැන වැදුණ දින හෝ ගම්මන්පිලගේ විරවංශගේ ඡන්ද රැුස්විම් ඇමතු අවස්ථාවල ඒ ගැන කතා කළේ නැති බවය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.