3 May, 2024

Blog

ජේ ආර් හරිද? අපි වැරදිද?

චරිත හේරත්

ආචාර්ය චරිත හේරත්

මේ මාසයේ 29 දින ආරම්භ වීමට නියමිත පාරලිමේන්තු විවාදයත් සමග මේ රජයේ අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදිම පිළිබද ක‍්‍රියාදමය තීරණාත්මක තැනකට ගමන් කිරීමට නියමිතය. මේ පාරලිමේන්තු විවාදය මගින් පමණක් මේ රටට අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදෙන්නේ නැති වුනාට මේ රජය පසුගිය වසර දෙක හමාර පුරා කරමින් සිටින ව්‍යවස්ථා මංගල්‍යයේ තීරණාත්මක කඩයිමක් මේ පාරලිමේන්තු විවාදයත් සමග නිමා වීමට නියමිත බව මගේ අදහසය. මේ විවාදය මගින් එක්කෝ ව්‍යවස්ථාදයක සභාවේ වාර්තාව කෙටුම්පතක් දක්වා ගමන් කරන්නට ඉඩ ඇති අතර එසේ නොවුනහොත් මේ වැඩේ මෙතනින් ම නවතින්නට ද ඉඩ ඇත. ඒ කෙසේ වෙතත් මේ වන විට රටේ බහුතර සිංහල බෞද්ධ සමාජය මේ ව්‍යවස්ථා හැදිමේ ක‍්‍රීයාවලිය පිළිබදව බරපතල ලෙසින් සිය විරෝධය පලකරමින් සිටින බව නම් ඉතාමත් පැහැදිලිය. පසුගිය සති කීපය තුළ සිදුවූ දේවල් දෙස බලන විට මා කියන්නේ කුමක්දැයි බොහෝ අයට තේරුම් යා හැකිය. බෞද්ධ සමාජයේ නායකත්වය යැයි සිතිය හැකි මල්වතු සහ අස්ගිරි පාර්ශවය මේ අලුත් ව්‍යවස්ථාවක් හැදිමේ ව්‍යාපෘතිය ගැන සැක පහළ කළේ මීට ටික කාලයක පටන්මය. ඒ සංඝ සභාවන් දෙකම ඒකාබද්ධ ප‍්‍රකාශයක් කරමින් මේ වැඬේ නැවැත්විය යුතුයැයි කීවේ ඊට පසුවය. පසුගිය සතියේ කොළඹ ජාතික පුස්තකාලයේ පැවති යුතුකම සංවාද කේන්ද්‍රය සංවිධානය කළ සමුලුවකදි අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් මේ කාරණය නිශ්චිතවම ප‍්‍රකාශ කළේය. තුන්වෙනුව මහාචාර්ය බෙල්ලන්විය විමලරතන නාහිමියන් ඇතුලු මහා සංඝරත්නය ස්වකීය අත්සනින්ම මේ ව්‍යවස්ථා හැදිමේ ක‍්‍රියාවලියට උන්වහන්සේලාගේ එකගතාවක් නැතැයි ප‍්‍රකාශ කළේ මේ සතියේය. මේ අනුව පෙනී යන්නේ පාරලිමේන්තුවේ මන්ත්‍රීවරු මේ මාසයේ 29 දින සාකච්ජා කරන්නට යන ‘ව්‍යවස්ථාව පිළිබද අගමැතිතුමාගේ වාර්තාව’ මේ රටේ බහුතර සමාජය දැනටමත් ප‍්‍රතික්ෂේප කර ඇති ආකාරයක්ය.

රජයේ ඇතැම් අය මේ තත්වයට ප‍්‍රතිචාර දක්වන්නේ රටේ මහා සංඝරත්නයේ මේ මතය එච්චර ගානකට නොගතයුතු ආකාරයටය. මහානායක හිමියන් විදේශගතවී සිටින නිසා සංඝ සභාවේ තීරණය සළකා බැලිය යුතු දෙයක් වත් නොවෙන බවට ආණ්ඩුවේ සමහර නායකයින් කියන්නේ මේ නිසාය. එක ජනාධිපතිවරයෙක් බලවත්වීම ප‍්‍රජාතන්ත්‍ර​වාදයට හොද නැතැයි කියන ගමන් සහ ලිච්චවී ක‍්‍රමයට හැමෝම එකතුවී තීරණ ගතයුතු යැයි නිතර කියන ගමන් සංඝ සභාවේ පොදු තීරණයන් කොසළකා හැර මහානායක හිමියන්ගේ එක මතයක් පමණක් විමසන්නට යාම පෙන්නුම් කරන්නේ දේශපාලන බංකොලොත්භාවයක් මිස වෙන දෙයක් නොවේ. ‘පාරලිමේන්තුවේ පොදු තීරණයන්’ එක ‘ජනාධිපතිවරයෙකුගේ’ තීරණයක්ට වඩා වැදගත් බව උදේ හවස මතුරන ගමන් සංඝ සභාවේ පොදු තීරණයට වඩා මහානායක හිමියන්ගේ එක මතය වැදගත් යැයි කියන්නේ කෙසේදැයි තේරුම් ගැනීම සාමාන්‍ය බුද්ධියට නම් නොහැකිය. මේ මගින් පෙන්නුම් කරන්නේ සාමුහික තීරණ ගැනීම ගැන කියන කථා නිකම් නිකම් ඥාන කථා මිස වැඩක් ඇති දේවල් නොවන බවය.

දැන් මේ තත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ සහ නිල ශී‍්‍රලනීපයේ මන්තී‍්‍රවරුන් කළ යුත්තේ කුමක්දැයි විමසීම මගේ මේ සටහනේ ප‍්‍රධාන අරමුණය. අගමැතිතුමා විසින් පාරලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවට ප‍්‍රතිචාර වශයෙන් ශ‍්‍රීලනීපයත් ඒකාබද්ධ විපක්ෂයත් වෙන වෙනම තම තමන්ගේ නිරීක්ෂණ ලිඛිතවම ඉදිරිපත් කර තිබීම මෙහිදි ඉතාමත් වැදගත්ය. මේ පක්ෂ දෙකට අමතරව ටීඑන්ඒ, ජාතික හෙළ උරුමය, ජවිපෙ යන පක්ෂ විසින් ද මේ වාර්තාවට නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන නිසා ඒ ඒ පක්ෂ මේ වාර්තාව සම්බන්ධයෙන් දරන ස්ථාවරයන් පැහැදිලිව හදුනාගත හැකි වීම මෙහිදි විශේෂයෙන් සැළකිය යුතු කාරණයක්ය. මේ වාර්තාවට කිසිම නිරීක්ෂණක් ඉදිරිපත් කර නැති එකම ප‍්‍රධාන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය ය. එයට හේතුව කුමක්දැයි මා දන්නේ නැත. එහෙත් එජාපයට හිතවත් පුරවැසි පෙරමුණක මහතෙකු රූපවාහිනි විවාදයකදි පැවසුවේ අගමැතිතුමාගේ වාර්තාව තවමත් එකගතාවක් නැති දෙයක් නිසාත් එජාපයේ අගමැතිතුමාගේ වාර්තාව එහෙම පිටින්ම පිළිගන්නා නිසාත් වෙනම නිරික්ෂනයක් ඉදිරිපත් කර නැති බවය. මේක නම් මහ පුදුම කථාවකි. අගමැතිතුමාගේ වාර්තාවේ ඇත්තේ එකම කාරණයට විකල්ප කීපයක් යෝජනා කිරීමය. උදහරණයක් ලෙසින් සැළකියහොත් රටේ ස්වභාවය කුමක් විය යුතුද යන කාරණයට මේ වාර්තාවේ කියා ඇත්තේ එක්කෝ රට ඒකීය විය හැකි බවත් එක්කෝ රට එක්සත් රටක් ලෙසත් තැබිය හැකි බවත් ඒ දෙකම නැත්නම් දකුනට ඒකීය විදියටත් උතුරට ඔරුමිත්තනාඩු ලෙසින් තිබිය හැකි බවත්ය. දැන් මේ විකල්ප තුන අතරින් එජාපය දරන්නේ කුමන මතය දයි කියන්නේ නැති නිසා ඒ අයගේ ස්ථාවරය ලෙසින් අපි පිළිගත යුත්තේ කුමන එක දැයි සොයා ගත හැකි මාර්ගයක් කොහේවත් නැත. පෙරලෙන පිට හොදයි කියනවාක් මෙන් මේ ඕන එකකට අපි එකගයි කියාවත් කියන්නේ නැති නිසා ඒ අයගේ මතය ගැන යමක් පැවසීමේ කිසිම ඉඩක් මේ තුළ නැති බව නොකියාම බැරිය.

මා මුළින් කී පරිදිම ශ‍්‍රීලනීපයත් එකාබද්ධ විපක්ෂයත් දෙකම වෙන වෙනම ඉදිරිපත් කර ඇත්තේ තරමක් සමාන වූ නිරීක්ෂණයන් වීමද එක් පැත්තකින් වැදගත් දෙයකි. මේ දෙගොල්ලෝම කියන එක් ප‍්‍රධාන කාරණයක් වන්නේ රටේ ස්වභාවය ‘ඒකීය’ විය යුතු බවය. එපමනක් නොව ඒ දෙගොල්ලන්ම පෙන්වා සිටින්නේ රටේ ඒකීයභාවය සහ විධායක ජනාධිපතිධුරය අතර ව්‍යවස්ථාමය හා නෛතිකමය වූ සම්බන්ධයක් තිබෙන බවය. විශේෂයෙන් මේ තත්වය තේරුම් ගැනීම ඉතාමත් වැදගත් ය. අපි මේ කථාකරන දැනට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැදුවේ 1978 බව හැමෝම දන්නා කාරණයකි. ඒ කාලයේ ඒ ව්‍යවස්ථාවට විධායක ජනාධිපතිධුරය එක්කළේ එවකට සිටි රාජ්‍ය නායකයාට තිබූ ‘සිංගප්පුරු පන්නයේ’ තනි විධායකියකින් ආර්ථිකය සහ දේශපාලනය යන දෙකම හැසිරවීමේ උවමනාව නිසා බව සැබෑය. එහෙත් 1987 හදුන්වාදුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග මේ තත්වය වෙනස් වූ බව මෙහිදි තේරුම් ගත යුතු වැදගත් කාරණයය. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ විභාගවු පෙත්සම් ගනනාව අතරින් ඉතාමත් වැදගත් වූ කාරණයක් ලෙසින් විධායක ජනාධිපතිධුරය හා පළාත්සභා අතර ඇති සම්බන්ධය මතු කළේ ඒ පෙත්සම් අතරින් එකක් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නැසීගිය අධිනිතීඥ ගාමිනී ඊරියගොල්ල මහතා විසින්ය. ඔහුගේ තර්කයට අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වන තත්වයක් තුළ රටේ ඒකීයභාවය ස්ථාපිතවීමට නම් පලාත් සහ මධ්‍යයේ බලය අතර ව්‍යවස්ථාදයකයේ සම්බන්ධතාවය පමණක් නොව විධායකයේ සම්බන්ධතාවයක් පැවතීම අනිවාර්ය සාධකයක් වන බවයි. මේ නිසාම පළාත් සභා පිහිටවීම හරහා ජනතාව වෙන වෙනම තම තමාගේ පලාත් වල පාලනය සදහා ජන්දය පාවිච්චි කළත් ඒ වෙන වෙනම ගොඩ නැගෙන ජනතා අභිලාසයන් රටේ ඒකීයභාවයට හාකිකර ලෙසින් යෙදවීම නැවැත්විය හැක්කේ රටම එකට ජන්දය දි පත් කරන විධායකයක පැවැත්ම විසින් සහ එම විධායකයේ නියොජනයක් පළාත් සභා තුළ ආන්ඩුකාරවරයා හරහා පිහිටවීමෙන් බවයි. ඇත්තටම 13 ව්‍යවස්ථාවට එද ජනමත විචාරයකින් ජනතාවගේ එකගතාවය ලබා ගැනීම අවශ්‍ය යැයි මතු කළ පෙත්සම්වලට තීරණය ලබා දිමේදි පක්ෂව හා විපක්ෂව ශේෂ්ඨාධිකරණය දෙකට බෙදෙද්දි මැද අදහසක් ඉදිරිපත් කළ පාරින්ද රනසිංහ විනිශවකාරතුමාගේ තනි වාර්තාවේද මේ කාරණය යම් ආකාරයකට මතු තිබූ බව ඒ ගැන​ දන්නා අයට මතක ඇත. 13 සංශෝධනයට ජනමත විචාරයක් අවශ්‍ය නැතැයි තීරණය වූයේ පළාත් සභා මගින් රටේ ඒකීයභාවය බෙදිම වලකාලන විධික‍්‍රමක් ලෙසින් විධායක ජනාධිපතිධුරය පවතිනවාය යන අදහස එකට කියවීමෙන්ය. ඒ අර්ථයෙන් ගත් විට විධායක ජනාධිපතිධුරය හා පළාත්සභා අතර ඇත්තේ දේශපාලන මෙන්ම නෛතිතමය වූත් සම්බන්ධතාවක් යැයි තර්ක කිරීමේ වැරුද්දක් නැත. දැන් පලාත් සභා තියාගෙන විධායක ජනාධිපතිධුරය අහෝසි කල නොහැක්කේ මේ කාරණයත් නිසාය. ශ‍්‍රීලනීපයත් ඒකාබද්ධ විපක්ෂයත් මේ තර්කය නිශ්චිතව මතුකිරීම ඉතාමත් වැදගත්ය.

මෙහිදි මතුවන තවත් වැදගත් කාරණයක් වන්නේ මෙතෙක් කාලයක් පත් කළ පළාත් ආණ්ඩුකාරවරුන් වැඩකර තිබෙන ආකාරය නිසාම ඒ ධුරයට යම් විරෝධයක් සමාජයෙන්ම මතුවී තිබීමය. දැනට සිටින පළාත් ප‍්‍රධාන ඇමතිවරුන් විසින්ද මේ කාරණය මතු කර ඇතැයිද පසුගිය ද වාර්තා වි තිබුනි. මා සිතන ආකාරයට මේ කාරණයේ ප‍්‍රධාන ඇමතිවරුන් නිවැරිදි බව අප විසින්ද පිළි ගත යුතුය. පලාත් සභාවක ආණ්ඩුකාරයා ඉන්නේ දේශපාලන අධිකාරීමය වූ බලයක් දැරීමට මිස දේශපාලනය කිරීමට නොවේ. ජන්දයකින් පරාජයට පත් වූ මන්ත‍්‍රීවරුන් පසුව ආන්ඩුකාරවරුන් බවට පත් කිරීමේ විකාරය එජාපයත් ශ‍්‍රීලනීපයත් දෙකම හරි හරියට හැමදම කළ වැරද්දකි. අමරා පියසිලි රත්කායකලා රෝහිත බෝගල්ලාගමලා රෙජනෝල්ඩ් කුරේලා මේ වැඩේට එන්නේ ඒ වැරුද්ද නිසාය. ඒ අය හදන්නනේ ජන්දයෙන් පත්වූ ප‍්‍රධාන ඇමතිට වඩා තමන්ට බලතල තිබෙනවා යැයි පෙන්වා නිළධාරීන් බිය ගන්වමින් එක එක දේවල් කිරීමටය. මේ තත්වය වෙනස් කිරීමට නම් කල යුත්තේ විධායක ජනාධිපතිධුරය හෝ ආණ්ඩුකාරධුරය අහෝසිකිරීම නොව වැදගත් ඇති හා විධිමත් පිරිසක් ආණ්ඩුකාරවරුන් ලෙසින් පත් කිරීමය. පළාත් නමයට අවශ්‍ය වැදගත් හා විධිමත් ගැහැනුන් හෝ මිනිසුන් 9 සොයා ගැනීමට මේ රටේ නොහැකි යැයි කාටවත් කිව හැකි යැයි මා සිතන්නේ නැත. අනෙක් අතට දැනටමත් සමහර පළාත්වල සිටින ආණ්ඩුකාරවැන් ඒ වැදගත් මට්ටින් කටයුතු කරන බවද මෙහිදි සිහිපත් කළ යුතුය. තමන්ගේ ඇමති පුතුට වත් තම රාජකාරි වාහනයෙන් වෙනත් ගමනක් යන්නට ඉඩ නොදෙන හා තම නිලයෙන් පලාතේ නිළධාරීන් කිසිවෙකු බිය නොගන්වන ආණ්ඩුකාරවරුන් සිටින බව ඌව පලාතේ අපේ මිත්‍රයෙකු මා සමග පවසා ඇත. දැන් ශ‍්‍රීලනීපයක් එකාබද්ධ විපක්ෂයත් විධායක ජනාධිපතිධුරය සහ පළාත් සභා අතර ඇති මේ සම්බන්ධතාවය නිසි පරිදි මතු කිරිම ඉතාමත් වැදගත් වන්නේ මේ තත්වය තුළදිය.

අනෙක් වැදගත් කාරණය වන්නේ මේ සංවාදය තුළ ඒකාබද්ධ විපක්ෂය අනවශ්‍ය ආකාරයෙන් මේ රටේ සුලු ජන සමාජයේ විරුද්ධකාරයන් බවට පත් නොවීමට වග බලා ගැනීමය. මෙතැන තත්වය ඉතාමත් සංකීර්ණය. අපි කැමති වුවත් නැතත් මේ රටේ සිටින දෙමළ ජනතාව කල්පනා කරන්නේ යටත් විජතයෙන් පසුව අපි හැදු රාජ්‍යයේ ඒ අයගේ අභිලාෂයන් යටපත් කිරීමේ ඉඩක් හැමදම තිබුන බවය. මේ කල්පනාවේ හරි වැරදි කෙසේ වෙතත් ඒ අය එහෙම සිතන බව නම් සැබෑය. මුලින්මල මේ ගැටලූව එක ක්ෂේත්‍රයක නොව ක්ෂේත්‍රයන් ගනනාවක වෙලී පවතින කල්පනාවක් බව පිළිගැනීම ඉතාමත් අවශ්‍යය. ඒ වගේම මේ රටේ සිටින සිංහල ජනතාවට තමන්ගේ අනාගත පැවැත්ම සම්බන්ධයෙන් බරපතල බියක් පවතින බවද අපි අමතක කළ යුතු නැත. දැන් සුලු ජනවර්ගයේ අභිලාෂය ගැන ඒ අයගේ ඇති වේදනාවත් අනෙක් අතින් මහජනවර්ගයේ අනාගතය පිළිබදව ඇති සැකයේ වේදනාවත් දෙකම එක ලෙසින් තේරුම් ගැනීමට හා ආමන්ත්‍රණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදනම් විය යුතු බව මගේ අදහසය. අනෙක් අතට සුලු ජනවර්ගවල අභිලාෂය තේරුම් ගන්නේ එජාපය පමණක් යැයි සිතෙන්නට හැරීම දේශපාලන වශයෙන්ද ඉතාමත් වැරදි තක්සේරුවක් බවද පිලිගැනීම නිවැරදිය​.

මගේ තක්සේරුව නම් එජාපය මුල්වී කරන ව්‍යවස්ථා හැදිම් යනු කවරදවත් මේ සමාජයේ පැළ කළ හැකි දේවල් නොවන බවය. රටේ මහ ජාතියේ බහුතරය ප්‍රේමදාස​ මහතාගෙන් පසුව කවදවත්ම එජාපයට හිටියේ නැත. විධායක ජනාධිපති ධුරය හදුන්වා දුන්නේත් එජාපය බවත් එය අහෝසි කිරීමට 2000 චන්ද්‍රිකා රජය ගෙනා ව්‍යවස්ථාව පාරලිමේන්තුව තුළ දිම පිලිස්සුවේද එජාපයම බව මතක ඇති බොහෝ අය හිතන්නේ මේ කරන්නේත් ඒ වගේ තවත් එක් සන්දර්ශනයක් බවය. ඒ සන්දර්ශනය පාවිච්චි කර හෝ ශ‍්‍රීලනීපයේ හා ඒකාබද්ධ විපක්ෂයේ අය අතර එකගතාවක් හැදුනොතින් මේ සන්දර්ශනයෙන් යම් ප‍්‍රයෝජනයක්වත් ලබා ගත්තා යැයි සිතිය හැකිය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 1
    1

    ජේ ආර්ගේ ව්‍යවස්ථාව ගැන කතා කරන්න ඉස්සෙල්ල ජේ ආර්වත් නොදීපු 13ටත් එහා ගිහින් ස්වයං පාලනයක් උතුරු නැගෙනහිරට දෙන්න හදන ජේ ආර් ගේ බෑනා රනිල් 30 වෙනිදා පාර්ලිමේන්තුවට ගේන “ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා කෙටුම්පත” පරාද කල යුතුයි.
    .
    සිංහ කොඩිය අත දරාන
    සිංහ එඩිය හිත දරාන
    සිංහලේට පණ දෙන්නට
    නැගිටලා වරෙව්!
    .
    සිංහල රජවරු රැකි රට
    රණවිරුවන් පණ දුන් රට
    සිංහල ලේ වල සවියෙන්
    දිරි අරන් වරෙව්!
    .
    දෙපා තබන මව් පොලොවට
    ඔබ ණය ගැති බව සිහිකර
    ලක් මෑණිව සුරකින්නට
    පසු නොබා වරෙව්!
    .
    පන්දහසක් පැවතුන රට
    පන් දහසක් පවතින රට
    ඉපදුන රට රැක ගන්නට
    එක හඬින් වරෙව්!
    .
    එකම රටක් එකම බිමක්
    එකම දැයක් එක කොඩියක්
    එක පවුලක දරුවන් වී
    එක ලෙසින් වරෙව්!
    .
    දෑත දෙපා දන් දුන්නා
    ජීවිත සහසක් පිදුවා
    රණවිරුවන් සිහි කරගෙන
    සවි අරන් වරෙව්!
    .
    දිනා දුන්නු මේ මව්බිම
    රැක ගැනීම අපෙ යුතුකම
    රට වෙනුවෙන් දිවි දෙන්නට
    සැරසිලා වරෙව්!
    .
    හුස්ම පොවා ලක් මෑණිට
    හුස්ම තියෙන තුරු රැකගමු
    හුස්ම වැටෙන සිංහලයන්
    හැමදෙනා වරෙව්!

  • 1
    0

    NGO කාරයන්ගෙන් පඩි කන, ඩොලර් වලින් යැපෙන, UN එකෙන් පඩි ගෙවන, අවුරුද්දෙන් වැඩි කාලයක් පිටරට ජීවත් වෙන, ජාත්‍යන්තරයේ කොන්ත්‍රාත් වලට වැඩ කරන, සුද්දන්ගේ සපත්තු ලෙවකන, රටේ කිසි පිළිගැනීමක් නැති, එහෙන් මෙහෙන් අහුලා ගත්තු, උපතින්ම ෆෙඩරල් වාදීන් වුනු දෙතුන් දෙනෙක් හදන ව්‍යවස්ථා කෙටුම්පතක් ගැන සාකච්චා කරන්න සිංහල අපි බැඳිලා නැහැ.
    .
    අපේ රටේ ව්‍යවස්ථාව හදන්න ඕනේ අපි, අපේ උගත්තු, අපේ වියත්තු, අපේ ආචාර්ය, මහාචාර්ය හාමුදුරුවරු. එහෙම නැතුව NGO කාරයෝ, සුද්දෝ, UN එක නෙමෙයි.
    .
    1978 ව්‍යවස්ථාව හැදුවේ J. R. Jayewardene තනියම. පොඩි කාලේ අහලා තියෙනවා 1970 වේ පැරදුන දවසේ ඉඳන්, 1977 වෙනකම්, J. R. ව්‍යවස්ථාව හැදුවා කියලා අවුරුදු 7ක් තිස්සේ.
    .
    එහෙව් ව්‍යවස්ථාව වෙනුවෙට කොත්තු රොටි වගේ මාස කීපෙකින් හදපු ව්‍යවස්ථා කෙටුම්පතකට එකඟ වෙන්න නෙමෙයි සාකච්චා කරන්නවත් නැතුව වීසි කරන්න ඕනේ කුණු කූඩෙට

    • 1
      0

      Ranil wicirmsinghe also planning something like that since the day he became the party leader. Within the 100 day govt, he was caught. Now he is absconding.

  • 1
    0

    How about thieves in Jackal opposition. Prasanna Ranatunga has taken kappam (some money by threatening). Even that Accusation, which is proven beyond doubt, is not heard in the courts, instead keep on posponing. That shows the quality of the politicians in that party. Why do they talk about constitution. Only in a deranged country, they can be opposition.

  • 3
    0

    ආචාර්ය චරිත හේරත් මහත්මය, ඔබේ ලියල තියෙන්නේ හොඳ විචාරාත්මක ලිපියක්. දැනුයි කියැව්වේ ඇත්තටම කලින් වෙන comments එව්වට. මට මේ ලිපියේ අන්තර්ගතය ගැන ලියන්න වෙලාවක් හොයා ගන්න බලනව.

    ඔබ වගේ අය මේ විදියේ ලිපි නිතර නිතර ලියන්න ඕනේ. සිංහල මිනිස්සුන්ට මේ වගේ හොඳ සමබර ලිපි සිංහලෙන් කියවන්න ලැබෙන්නේ කලාතුරකින්. ඔක්කොම වගේ ඒවා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. පුවත්පත්වල වුනත් සමහර ලිපි ඒකාකාරියි. අනිත් අතට ලියන්නේ දේශපාලන සම්බන්ධකම් උඩ. ඒ පැත්තට බර වෙන්න. ඔබ ඔබේ මතය බලෙන් පාඨකයා පිට පටවන්න යන්නේ නැහැ. ඔබ ඉඩක් දෙනවා ඔබ කියන දේට එහාට යමක් හිතන්න. ඔබේ ලිපිය මම ඉතාම අගය කරනවා. ඔබට හුඟක් ස්තුතියි.

  • 0
    0

    මොන දහන්ගැට ගැහැව්වත් රනිල්ගේ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව හරි යන්නේ නැහැ. මිනිස්සුන්ට නවත්තන්න බැරි දේවල් ස්වභාව ධර්මය නවත්තලා දීපු අවස්ථාවල් ඕනේ හැටියේ අපේ ඉතිහාසයේ පෙන්වලා දීලා තියෙනව. මිනිස්සුන්ගේ සාපෙම ඇති.
    .
    උද්ඝෝෂණයට ආව මහා සංඝ රත්නය ඇතුළු දේශප්‍රේමින් හැමෝටම මගේ ගෞරව ප්‍රණාමය. එක හීනෙන් එලි වෙන්නේ නැහැ. ආණ්ඩුව මාධ්‍ය ඔක්කොම වහල. බයගුල්ලෝ. බොරු news දානවා ඒකාබද්ද විපක්ෂයේ උද්ඝෝෂනයක්ලු. ඒකාබද්ධ විපක්ෂයේ නායකයා බංකොලොත්. නායකයෝ බංකොලොත් වුනහම ඔහොම බාල දේවල් කරනවා. ඇත්ත වහල බොරුව පෙන්වනවා. News දාන කොට පාට වෙනස් කරලා පෙන්වනවා. නිල් පාට කළු පාට කරලා පෙන්වනවා. බංකොලොත් වෙනකොට ලාමක ගති උඩට එනවා.
    .
    රනිලුයි සිරිසෙනයි ආපහු 2015 විදිය වෙනකොට, මිනිස්සුන්ටත් ඒ විදිය වෙන්න වෙනවා. ජනතාවත් ජනාධිපති අගමැති ඉන්න උත්සව ඔක්කොම වර්ජනය කරන්න ඕනේ. මොකොද රටට ද්‍රෝහී වෙච්ච පාලකයන්ගේ හුළඟ වත් වදින්න යන්න හොඳ නැහැ. දෙන්නවම boycott කරන්න ඕනේ. හැමෝම එකම මතයේ වෙනස් නොවී ඉන්න ඕනේ. ඊළඟට එන හැම චන්දෙකින්ම අනිවාර්යයෙන්ම පරද්දන්න ඕනේ. අපිටත් අවස්ථාවක් ආවහම අපිත් කරන්නේ මෙහෙම කියල පෙන්වන්න ඕනේ. 2019 අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණෙ ඉල්ලලා පාරට බහින්න ඕනේ. මේ ව්‍යවස්ථාවේ කොටසක් තියෙනව ඔය මැතිවරණෙ නැති කරන. ඒවා හරි යන්නේ නැහැ. අද නැති වුනාට එදාට ඕනේ තරම් අළුත් මූණු එයි. අපිට ඉදිරපත් කරන්න කෙනෙක් නැති වුනොත් හාමුදුරු කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ ජනාධිපතිවරණෙට. ඒ මොකොද අනිවාර්යයෙන්ම බෞද්ධයෝ සමගි වෙලා සියලු බෞද්ධ චන්ද දෙන්නේ ඕනේ එක් කෙනෙකුට නිසා.
    .
    ෆෙඩරල් ව්‍යවස්ථාවට එදා ඉදන්ම විරුද්ධව සටන් කරන විමල් ඇතුළු ජාතික නිදහස් පෙරමුණ හැර මේ දේශපාලකයන් ඔක්කොම ගෙදර යවන්න ඕනේ. කිසි සමාවක් දෙන්න හොඳ නැහැ. ආයේ කිසි දවසක පාර්ලිමේන්තුව පැත්ත පළාතක එන්න දෙන්න හොඳ නැහැ. ඊලඟට මහා සංඝ රත්නය එකතුවෙලා තෝරන්න ඕනේ පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කවුද කියලා. ඒවා සංවිධානය කරන්න පුළුවන් ඒ වෙනකොට. අද අපිට නැති බලය එදාට අතට අරගෙන මේ කරපුව ඔක්කොම ආපහු හරවන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඊළඟ පාර්ලිමේන්තුව සම්පූරනයෙන්ම අලුත් මුහුණු ඉන්න ඕනේ. ඔක්කොම පරණ මූණු ගෙදර යවන්න ඕනේ. We should not spare anybody. They all should go home. Two stage-speeches will be more than enough to guide people what to do in 2019/2020 and to whom they should vote. We must definitely refresh the Parliament and the Executive with new faces. People will receive the necessary leadership to do this.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.