
මා මේ තීරු ලිපි පෙළ ලියන්නට පටන් ගත්තේ රාවයේ කතෘ ජනරංජන මහතාගේ ඉල්ලීමකට අනුවය. අපට තිබෙන ආරංචිවලට අනුව ඒ මහතා මේ වනවිට රාවයේ කතෘකම දරන්නේ නැත. එයට හේතුව කුමක්දැයි රාවයේ පරිපාලනය පැත්තෙන් පැහැදිලි කිරිමක් තවමත් සිදුවී නැතත් අපට තිබෙන ආරංචිය වන්නේ ජනරංජනට කතෘකමෙන් ඉල්ලා අස්වන තැනට රාවයේ ඉහල බලධාරින් (ඉහල බලධාරියා?) වැඩ කළ බවයි. ඇත්තටම එය ඉල්ලා අස්වීමකට වඩා ‘ඉල්ලා අස් කරවීමක්’ යැයි මා කීවේ ඒ හේතුවත් නිසාය.
සමහර විටෙක අලූතින් රාවයේ කතෘත්වය භාරගන්නා අය මගේ කොළම මෙතැනින් එහාට රුගෙන නොයාමටත් ඉඩ ඇති නිසා මේ සටහනින් ලියන්නේ ජනරංජන ඉවත් කිරීම සම්බන්ධ ක්‍රියාවලියේ ඇති ‘ව්‍යුහාත්මක දේශපාලනයේ’ ස්වභාවය ගැන කරුණු කීපයක් පමණක්ය. රාවයට ලියන්නට කියා මට ඇරයුම් කළ අවස්ථාවේ ජනරංජන සමග මගේ තිබූ එකගතාවය වූයේ යම් ලෙසකින් රාවයේ ඇත්තෝ මගේ තීරු ලිපිය නවත්වන්නට ඒකපාක්ෂිකව තීරණය කළහොත් අවසාන සටහනක් ලියන්නට මට ඉඩක් දිය යුතු බවයි. ඔහු එයට එකග විය. අලුත් රාවයට අවශ්‍ය නම් මේ සටහන ඒ අවසාන සටහන බවට පිලිගනිමින් හෝ පළකරන්නේ නම් මම ඉතාමත් කෘතඥ වෙමි.
මෙහිදි මුළින්ම කිව යුත්තේ ජනරංජනගේ දේශපාළන භාවිතයට මගේ කිසිම එකගතාවක් නොමැති බවයි. මා විසින් මීට මේ සටහනටම ලියා ඇති පරිදි රාවය පුවත් පත සතුව තිබූ විශේෂත්වයක් ලෙසින් මා දකින්නේ තිබෙන ආණ්ඩුවලට එරෙහිවීමට හා අලුත් ආණ්ඩු හැදිමට වගේම තමන් හැදු ආණ්ඩුව වැරදි කරද්දි එයට වහාම විරුද්ධවීමට තිබූ හැකියාවය. 1994 ආණ්ඩුව හදන්නට රාවය මහන්සි වූ නමුත් ඊලග වසරේම ඒ ආණ්ඩුවට විරුද්ධ ස්ථාවරයකට යන්නට තරම් ඝෘජු වූ බව මා පිළිගන්නා කාරණයක්ය. ඒ අර්ථයෙන් 2015 අලුත් ආණ්ඩුව හදන්නට රාවය මහන්සි වූ නමුත් ඒ ආණ්ඩුව මහ බැංකුව කඩද්දි ඇස් පියාගනෙ සිටියේ යැයි මා කියුවේ ජනරංජනගේ දේශපාලන භාවිතාව ගැන විවේචනයක් ලෙසින්ය. අයිවන් 1994 කළ දේ ජනරංජනට 2015 කරන්නට බැරි වුනේ ඇයි දැයි මා විමසුවේ ඒ නිරීක්ෂණයේ සිට ගෙනය.
ඒ දේශපාලන විවේචනය තවමත් එහෙමම තියෙද්දිම මා කියන්නේ ජනරංජනව කතෘකමෙන් ඉවත් කර ඇත්තේ ඒ වැනි දේශපාලන නිරීක්ෂණයක පළල් සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙසින් නොව ඉතාමත් තක්කඩි හා ආධිපත්‍යධාරි ආකාරයෙන් බවය. මේ රටේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිටින ‘පෞද්ගලික අංශයේ’ යැයි කියන හුගක් ආයතන පෙනී ඉන්නේ දේශපාලන සමාජය සම්පුර්ණයෙන්ම දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් සිවිල් අවකාශයක වැඩ කරන මේ පුවත්පත් හා නාලිකා හරිම පිරිසිදු හා ප්‍රජාතන්ත්‍රවාදි බවත් කියමින්ය. ඒ බව කියන්නේ නැතිනම් මේ හුගත් අය වැඩ කරන්නේ ඒ වගේ ‘සුදු පාට’ ගතියක් තමන්ගේ චර්යාවට ගා ගනිමින්ය. දැන් රාවය පුවත් පතේ හුගක් අය කරන්නේ ද මේ වැඩේමය. වික්ටර් අයිවන් මහතාගේ පිටුවක් පුරා දිවෙන සතිපතා ලියවෙන ලිපියෙන් කියන්නේ එක්කෝ වෙන කාගේ හෝ භාවිතාවක තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධි ගතියය. එසේත් නැතිනම් වෙන කාගේ දේශපාලන භාවිතාවක තියෙන ‘ඇදයක්’ ගැනය. එහෙත් ප්‍රශ්නය තමන්ගේ වත්තට පැමින විට ඔහු හැසිරෙන්නේ ද ඒ කියනප්‍රජාතන්ත්‍ර විරෝධි හා සම්ප්‍රදාය විරෝධී ආකාරයෙන් බව මෙහිදි නොකියාම බැරිය. ජනරංජනගේ දේශපාලන භාවිතාව ගැන හෝ පරිපාලන භාවිතාව ගැන ගැටලුවක් තිබුනේ නම් ඒ සදහා විධිමත් ආකාරයෙන් හා ප්‍රජාතන්ත්‍රවාදි භාවිතාවෙන් වැඩ කර ඇති බවක් දැනට අපිට තිබෙන ආරංචිවලට අනුව නම් සිදු කර නැත.
ආයතනය තමන්ගේ වුවත් පත්තරයක් කියන්නේ ‘පොදු අවකාශයේ යම් වපසරියක’ පිහිටන සමාජමය වූ භාණ්ඩයක් මිස තමන්ගේ ගෙදර තියෙන ‘බැක් යාඞ්’ (backyard) එකක් නොවන බව අනෙක් පෞද්ගලික මාධ්‍ය ලොක්කෝ නොදැනගත්තත් අයිවන් මහතා නොදැන සිටින්නට හේතුවක් නැත. ඒත් ඒ මහතා හැසිරෙන්නේත් ‘මයි කාර් මයි පැට්ට්‍රෝල්’ (my car – my petrol) ආකාරයෙන් වීම මෙහි තිබෙන කනගාටුදයකම කාරණයය. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු තනතුරෙන් ව්‍යවස්ථාවේ තියෙන ආකාරයෙන් වුවත් ඉවත් කිරීම සදචාර නොවන බව කියන ගමන් තමන්ගේ පත්තරයේ සිටින අය කෙසෙල් ගෙඩියක ලෙල්ලක් වගේ මහරගම- පිලියන්දල පාරට විසිකරන්නේ කෙසේදැයි මට නම් තේරෙන්නේ නැත.
රාවය පුවත් පත හැදුවේ අයිවන්ය. එය රටේ වැදගත් මතයක් හදන්නට පුලුවන් තැනක් බවට පත් කළේ ත් ඔහුමය. මා යෝජනා කරන්නේ ඒ පුවත් පත විනාශ කරන්නේත් ඔහු මය කියා කියන්නට අපිට ඉඩ නොදෙන ලෙසය.