16 December, 2018

Blog

ලාංකීය දේශපාලනයේ චින්තන ත්‍රිකෝණය​ – ඇඩම් ස්මිත්, කාල් මාක්ස් සහ ධර්මපාල

චරිත හේරත්

ආචාර්ය චරිත හේරත්

අපේ රට බ්‍රිතාන්‍ය​ පාලනයෙන් මිදි වසර 70 ගෙවෙන්නට ඇත්තේ තවත් දින කීපයක් පමනක්ය. ආණ්ඩුවේ එජාප පාර්ශවය මේ වර නිදහස් උළෙල මහ ඉහලින් සමරන්නට ලැහැස්ති වෙන බව පෙනෙන්නට තිබේ. ඒ සදහා බ්‍රිතාන්‍ය​යේ රජ පවුලේ සාමාජකයෙක් වන එඩ්වඩ් කුමරු ලංකාවට පැමිනි බව නිවේදනය වූයේ ඊයේ පෙරේදාය​. යටත් විජතයෙන් මිදිම සමරන්නට රට යටත් කළ අයවම ගෙන්වීම මගින් පෙන්වන්නේ අපේ තියෙන බයාදුකමේ තරමය. මීට පෙර 2002 කාලයේ පැමිනි එජාප ආණ්ඩුව පෘතුගීසින් මෙරටට පැමිනීමෙන් වසර 500 ගතවීම උත්සවාකාරයෙන් සමරන්නට සුදනම් වූ ආකාරය සමහර අයට තවමත් මතකය. අපි පසුගිය වසර 70 පුරාම කර ඇත්තේ මේ වගේ වැඩමය. මේ අය කරන්නනේ ‘යටත්වීමෙන් නිදහස් වී වසර 70 ගතවූ පසුත් අපිව යටත් කළ ස්වාමියා අත්හරින්නට බැරි රෝගයකින් පෙළන්නන් යැයි’ ලෝකයට පෙන්වීමට දැයි මා දන්නේ නැත. සමහරුන් කියන්නේ බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමෙන් අපි 1948 කර ගත්තේ වැරුද්දක් බවය. ආණ්ඩුවේ සමහරුන් තවමත් සිතන්නේ එහෙමදැයි පැහැදිලි නැතත් රජ පවුලේ කුමාරයෙක් එක්ක ඒ අයට යටත්වී සිටි බව සිහිපත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ එවැනි මානසිකභාවයක් බව නම් පැහැදිලිය.

මෙවර මගේ සටහනින් ලියන්නේ නිදහසින් පසු කාලයේ අපේ රටේ දේශපාලනය ගැනය. බ්‍රිතාන්‍යන්ගේ පාලනයෙන් පස්ව අපි තනියම රට පාලනය කර අද ඇවිත් තියෙන තත්ත්වය​ කුමක්දැයි කියන කාරණය ගැන යම් නිරීක්ෂණයක් කිරීමය. මේක හරියට සමාන වන්නේ කොම්පැනියක් විදේශීය අධ්‍යක්ෂ මණ්ඩලයක් පාලනය කරගෙන ගොස් අපේ රටේ අධ්‍යක්ෂවරුන්ට භාරදි අපේ පාලනයක් යටතේ වසර 70 ගතවූ පසුව කොම්පැනියේ තත්ත්වය නිරීක්ෂණය කිරීම වැනි කාරණයකටය. බැලූ බැල්මටම පේන්නේ ලාභ ලබමින් තිබූ කොම්පැනියක් අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් කිරීමෙන් පසු කොම්පැනියම නැත්තටම නැතිවී ගිය සේයාවක් ය. ලාභ ලැබීම නැවතුනා පමණක් නොව පාඩු ලැබීමේ සීමාවත් පැන ගොස් ණය ගැනීමේ සිමාවත් නැතිවන තැනට වසර 70 ක් අපේ පාලනය යටතේ කොම්පැනිය පත් වී ඇත. දැනටත් අධ්‍යක්ෂවරුන් ලෙසින් මන්ත්‍රීවරුන් 225 වසර 6 වරක් රටේ ප්‍ර​තිපත්ති හා නීති සදන්නටත් නිසි උපකමික තීන්දු තීරන ගැනීම පිනිස පත්වෙන අතර ඒ අය වැඩි වශයෙන් උනන්දු වන්නේ තව තවත් ණය ගනිමින් තම තමන්ට හොද වාහන හොද ගෙවල් නිතර විදේශ සංචාර වැනි දේවල් ලබා ගැනීම ගැන මිස කොම්පැනියේ අනාගතය (රටේ අනාගතය) ගැන නොවේ.

නිදහසින් වසර 70 පසුව රටට මෙහෙම වූයේ ඇයි සහ අපි කළ යුත්තේ කුමක්ද යනු අපි මේ මොහොතේ ඇසිය යුතුම ප්‍ර​ශ්නය විය යුතු වන්නේ ඒ කාරණා සියල්ලම නිසාය.

මගේ අදහසේ හැටියට අපි මුලින්ම​ තේරුම් ගත යුතු කාරණයක් වන්නේ ලැබුණු දේශපාලන නිදහසත් සමග අපේ රටේ නිසි ආකාරයෙන් ගොඩ නගන්නේ කෙසේ දැයි මෙරට සිංහල සමාජයේ සිදුවූ සාකච්ජාව ප‍්‍රධාන දර්ශනික ධාරාවන් තුනක් මත පදනම් වූ බවය. මේ දර්ශනික පදනම් තුන මා නම්නරන්නේ එක් පැත්තකින් වෙළදපොළ ආර්ථිකය පදනම් වූ ධනේශවර අර්ථ ක‍්‍රමයෙන්ද දෙවනුව එම ධනේශ්වර සාමාජ ආර්ථික ක‍්‍රමයට ප‍්‍රතිපක්ෂ ව්‍යාපෘතිය ලෙසින් මතුවූ මාක්ස්වාදි දේශපාලනද තුන්වෙනුව යටත්විජත පාලනයට එරෙහිව නැගී සිටි ස්වදේශිකවාදි දේශපාලනයද ලෙසින් වූ ස්ථාවරයන් තුනක් අපේ රටේ ප‍්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි බරපතල අයුරින් බපලානු ලැබු බවය. හැමෝටම තේරුම් ගැනීමට පහසුවන පරිදි කිවහොත් මේ දර්ශනික ස්ථාවර තුන මේ රටේ සාකච්ජා වන්නේ පිළිවෙලින් ඇඩම් ස්මිත්, කාල්මාක්ස් සහ අනගාරික ධර්මපාල යන චින්තකයින්ගේ මතවාද හැහා යැයි සරළව කීමේ වැරුද්දක් ද නැත. නිදහසින් පසු මේ රටේ දේශපාලනය සංවිධානය කළ මුරගල් තුන වන්නේ මේ තුන්දෙනාගේ දර්ශනික ධාරාවන් තුනය. එජාපය හැමදම සිටියේ වෙළදපොළ ධනවාදය පැත්තේය. ඇඩම් ස්මිත්ගේ පැත්තේය. සාම්ප‍්‍රධායික වාමාංශය හා ජවිපෙ වැනි පක්ෂ ආරම්භ වූයේ ම මාක්සවාදය පැත්තෙන්ය. කාල් මාර්ක්ස්ගේ පැත්තේය. ශ්‍රීලනීපය හා ජාතිකමය වූ පක්ෂ මතුවුනේ ස්වදේශිකවාදයේ පැත්තෙන්ය. ඒ කියන්නේ ධර්මපාලගේ පැත්තෙන්නය. මේ බෙදිම තනිකරම නිශ්චිත හා ‘හරි හතරුස්’ දෙයක් නොවුවත් පසුගිය වසර 70 මේ රටේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලනය සංවිධානය වූයේම මේ චින්තන ත්‍රිකෝණයේ සීමාව ඇතුළේය. දැන් මේ සීමාවන් ඇතුලත නිදහස් ශ‍්‍රීලංකාවේ ප‍්‍රතිපත්ති සහ නීති සම්පාදනය පැත්තෙන් අපි සිටින්නේ එහාට යන්නත් බැරි මෙහාට එන්නත් බැරි බරපතල අවුලක පැටලිලාය. එක කාණ්ඩයක් හදන්නේ රාජ්‍ය හකුලූවා වෙළදපොල පමණක් තියා ගන්නටය. අනෙක් කාණ්ඩය හදන්නේ වෙළදපොළ නිර්ධනපන්තිය අතට ගෙන ඒ අයගේ පන්ති ආඥදයකත්වයක් හරහා රට පාලනය කරන්නටය. මේ දෙකටම නැති අය හදන්නේ සුභසාධනයට ප‍්‍රමුකත්වය දිමට එක් පැත්තකිනුත්, යටත් විජතය පටන් ගත් කාලයේ තත්වයට යලිත් ගමන් කිරීම තව පැත්තකිනුත් එල්ල කරගත් පාලනයකටය. 1948 සිට 1977 වෙනකල්ම පැවතුනේ මේ වගේ විසම කෝනී ත්‍රිකෝණයක් ආකාරයේ දේශපාලන හුවමාරුවක් බව පැහැදිලි කාරණයක්ය. එක්කෝ අපි නැවතුනේ ඇඩම් ස්මිත් ලගය. නැත්නම් කාල් මාක්ස් ලගය. එහෙමත් නැත්නම් ධර්මපාල ලගය.

1977 පසුව මේරට ගමන් කරන්නේ 1948 සිට පැමිනි ගමනට සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් ආකාරයකටය. එතෙක් කාලයක් පැවති සුභසාධනය පදනම් වූ දේශපාලනය තනිකරම වෙළදපොළ මත පදනම් වූ ත්තවයකට වෙනස් වූයේ 1977 හදුන්වා දුන් විවෘත වෙළදපොල ආර්ථිකයත් සමගය. එතැන් සිට මේ දක්වාම පැමිනි හැම ආණ්ඩුවක් වාගේ කළේ ලෝක බැංකුව හා අන්තර් ජතික මුල්‍ය අරමුදල වැනි ආයතන මගින් ඒ ඒ ව්‍යාපෘති පෙන්වමින් ණය ආධාර ලබා ගැනීමය. මේ අය විදේශ සංචිතවල මුදල් පෙන්වුයේ මුළික වශයෙන්ම ලැබෙන ණය හා ආධාර එකතු කරමින් මිස ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් හෝ සේවා ආර්ථිකයක් හරහා ලබා ගන්නා විදේශ මුල්‍ය වටිනාකම් මගින් නොවේ. මේ ආණ්ඩුවේ අය කියන්නේ මේ වන විට රටක් වශයෙන් අපට ලබා ගතහැකි උපරිම අගය දක්වා අපි ණය අරන් ඉවර බවය. දැන් තියෙන්නේ ණ්යට අරන් හැදු ‘සංවර්ධන ව්‍යාපෘති’ විකුනා ණය ගෙවන කාලයකටය. හම්වන්තොට වරාය චීනයට දෙන්නේ ඒ සදහාය. මත්තල ගැවන් තොටුපල ඉන්දියාවට දෙන්න යන්නේ ඒ සදහාය. ණය අරන් හැදු අධිවේගී මාර්ග විකුනන්න හදන්නේ ඒ සදහාය.

නිදහසින් පසු කාලයේ රටේ බල දේශපාලන ක්ෂේත‍්‍රයේ තියෙන පැටලිලි සහගතභාවය මේ ආර්ථික අර්බුදවලට දෙවෙනි වන්නේ නැත. යටත් විජතයෙන් පසු අපි හදන රාජ්‍යය කුමක්ද කියා වසර 70 පසුව වත් අපිට තවමත් පැහැදිලි අදහසක් හෝ අයුරක් නැත. සමහරුන් කියන්නේ 1815 සුද්දන්ට රට භාර දෙන විට තිබුන රාජ්‍යය යලිත් වරක් තැනිය යුතු යැයි කියාය. තවත් සමහරුන් කියන්නේ රාජ්‍යයෙන් ආගම හෝ සංස්කෘතීන් අයින් කරමින් තනිකරම ලෝකායතවාදි හා අනාගමික රාජ්‍යයක් හැදිය යුතු බවය. මේ දෙකටම එහාට ගිය සමහරුන් කියන්නේ වෙළදපොළට ඉඩ දි රාජ්‍යය දිය වෙන පරිදි වැඩ කළ යුතු බවය. මේ කාලයේ ආන්ඩු කරන්නේ ‘ආණ්ඩුව දියකර හරින්නට’ කැස කවන කාණ්ඩයේ අගමැතිවරයෙකුගේ යටතේය.

දේශපාලනයේ ඇති මේ අවුල් සහගත තත්වය විසින් නිදහසින් පසුව අපි ගත කළ වසර 70 පුරා බිලිගත් ජවිත ගනන අතිවිශාලය. ලේ බිදක්වත් නොසොල්වා ලබා ගත්තා යැයි කියන නිදහස රකින්නට කියා ඊට පසුව පැමිනි හැම වසර විස්සකටම වරක් දහස් ගනනකගේ ලේ සොලවන්නට රාජ්‍යයට සිදුවී තිබෙන්නේ මේ නිසාය. 1971 සහ 1989 දකුනේ තරුණයන් ගැසූ කරලි මර්ධනය කළේ අසූ දහසක් පමණ තරුණයන් මරා දමලාය. 1983 සිට 2009 දක්වා උතුරේ කැරල්ල නිසා මරණයට පත්වූ සංඛ්‍යාව තවම කවුරුවත් දන්නේ නැති ගානය. මේ ගැටලූවලට විසදුම් සොයන්නට කියා මේ වන විට ආණ්ඩු ක‍්‍රම ව්‍යාවස්ථා තුනක් අත්හද බලා ඇති අතර සම්මත කරගන්නට නොහැකිවූ ව්‍යවස්ථා කෙටුම්පත් ගනන ඊටත් වඩා වැඩිය. ව්‍යවස්ථා සංශෝධනය හා අලූතින් ව්‍යවස්ථා හැදිම මේ වන විට අපේ රටේ හැමදම කරන දෛනික කාර්යයක් බවට පත්ව ඇතිවා පමණක් නොව මෑත භාගයේ සිටි හැම ආණ්ඩුවකටම වාගේ කැබිනට් මණ්ඩලය හදද්දි ව්‍යවස්ථාව හදන එකටත් අමාත්‍යංශයක් වෙන් කරන්නට සිදුවී තිබෙන්නේ මුලූ ක‍්‍රමයම හාස්‍යයට ලක් කරමින්ය. ව්‍යවස්ථාව හදන්න හැම ආණ්ඩුවෙන්ම ඇමතිවරයෙක් පත් කරන රටක් ලෝකයේ කිසිදු දියුණු හෝ නොදියුනු රටවල් අතර තිබෙනවා යැයි මා සිතන්නේ නැත. ඒ අතින් නම් අපි ඉන්නේ අද්විතීය තැනකය. ඒ අතින් නම් වෙනත් කිසිම රටකට අපිව දෙවෙනි කරන්නට හැකියාවක් නැති ගානය.

මා තේරුම් ගන්නා ආකාරයට අපි අද පැමින සිටින්නේ නිදහසින් පසු මෙරට දේශපාලනයේ බරපලම අවධි ලක්ෂ්‍යයටය. ඒ කියන්නේ අපි අද පැමින සිටින්නේ නිදහසින් පසු අත් හද බැලිය හැකි සියලූම ආකාරයේ ක‍්‍රම අත්හදා බලමින් යා හැකි උපරිම දුර ගොස් ඉදිරියට යන්නට නොහැකි බිත්තිය හැප්පෙන තැනකය. මෙතැනින් එහාට යන්න නම් අපේ දේශපාලනයේ භාවිතයේ වෙනසක් වගේම දේශපාලන චින්තනයේම වෙනසක් අවශ්‍ය වන තැනකට අපි පැමිණ තිබෙනවා යැයි කීමේ වරදක් ඇත්තේ නැත. ප‍්‍රශ්නය තියෙන්නේ හොද ව්‍යවස්ථාවක් නැති කමේ නොව දේශපාලනයට අලූතින් සිතීමක් නැති කම තුළය. සාම්ප‍්‍රදයික පක්ෂ කීපයම හිරවී සිටින්නේ එක්කෝ ඉතාමත් පැරනි චින්තනයන් තුළය. එසේත් නැතිනම් මේ කපේ තමන්ගේ අදහස් වෙනස් කරන්නට අකැමැති වියපත් දේශපාලකයින් කණ්ඩායමක් සමගය. මන්ත‍්‍රීවරුන්ගෙන් භායගකටවත් හරි හමන් අධ්‍යාපනයක් හෝ හික්මීමක් නැත. නීති සහ ප‍්‍රතිපත්ති හදන්නට පාරලිමේන්තු යන අය හදන්නේ පාලම් හෝ බෝක්කු හැදිමටය. මේ තත්වයෙන් රට අලූත් තැනකට ගෙනයාමේ හැකියාවක් මේ තියෙන දේශපාලන පක්ෂ යාන්ත‍්‍රණයේ ඇතැයි මා සිතන්නේ නැත.

අපිට අවශ්‍යව ඇත්තේ ආකෘතියට පිටින් සිතන නායකයාන් සිටින නව තාක්‍ෂණික ඥාණය​ හිමි පන්තියක් විසින් රාජ්‍ය පාලනයේ වගකීම ගත යුතු කාලයකය. රාජ්‍ය ප‍්‍රතිපත්ති සැදිම යනු තාත්තාගෙන් පුතාට හිමිවිය යුතු යුගය නිමා වෙමින් පවතින අතර එය නිශ්චිත වපසරියක් ඇති වෘත්තියක් ලෙසින් විශේෂඥභාවයක් යටතේ තැබිය යුතු කාලයට අපි හැමෝම පැමින ඇති බව මගේ අදහසය. මේ කාරණය තේරුම් නොගතහොත් නිදහසින් වසර 100 සමරන්නට වෙන්නේ රුවන්ඩාව හෝ බුරුන්ඩිය වගේ තැනකින්ය.

ආචාර්ය චරිත හේරත් – පේරාදේණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යන අංශයේ අංශාධිපති

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    I CAN’T read Sinhala, but from the picture where Mahinda bends in front of a statue,
    I feel that more you bend more crooked you are.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.