24 April, 2024

Blog

ඉතිහාසය එයාකාරයෙන් යළි රඟ දැක්වෙනු නොවනු වස්

හරීම් පීරිස්

හරීම් පීරිස්

තුන් කොන් සටනක් දියත්ව ඇති අවස්ථාවක, ඇත්තෙන්ම නිල විපක්ෂ පාර්ශ්වයන් වන ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයත් සැලකිල්ලට ගන්නේ නම් පක්ෂ පහක තරගයක් දියත්ව ඇති අවස්ථාවක, පසුගිය දා කොස්ගම පැවති මහජන රැුළියක් ඇමතූ ජනාධිපතිවරයා, ආපසු අතීතයට යාමෙන් වළක්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ ඉල්ලීම වුණේ, සුදු වෑන් සංස්කෘතිය, මර බිය, දීනත්වය සහ වාර්ගික අසමගියෙන් අනූන අතීතයට නැවත නොයන ලෙස ය. එදා ලංකාව ලෝක වේදිකාවේ නීච රාජ්‍යයක තත්වයට ඉතා වේගයෙන් ආසන්න වෙමින් තිබුණි. පාලක ප‍්‍රභූ පැලැන්තියේ නෑසියන්ගේ දූෂණය රටේ සතර දිග් භාගයේ ඔඩුදුවමින් තිබුණි. එබැවින් එවැනි අතීතයකට යළිත් වරක් රට ඇද වැටීමෙන් වැළැක්වීම සඳහා සිය ඡන්දය ඥානාන්විතව පාවිචචි කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රාජපක්ෂලා කිසි දවසක වරද පිළිගෙන නැත

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය තුළ වේවා, ඊට පෙරාතුව වේවා, රාජපක්ෂලා හෝ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂික අනුකාරකාදීන් හෝ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ඔවුන්ගේ අතිජාතයන් හෝ, රාජපක්ෂ පාලන කාලය තුළ, විශේෂයෙන් ඔවුන්ගේ දෙවැනි පාලන කාලය තුළ, තමන් අතින් කිසි වරදක්, ප‍්‍රමාදයක් හෝ ඇදකුදක් සිදු විණැයි මේ දක්වා පිළිගෙන නැත. අගවිනිසුරුවරියක් පළවා හැරීම, ප‍්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයෙකු හිරේ ලෑම, යුද කාලීන හමුදාපතිවරයාගෙන් පලිගැනීම, පුවත්පත් කතුවරුන් මහ දවල් ඝාතනය වීමට ඉඩ හැරීම, මුස්ලිම් පල්ලි සහ කඩ සාප්පු ප‍්‍රහාරයට ලක්වෙනු බලා සිටීම, බරපතල මානව හිමිකම් උල්ලංඝණය වීම්, ආර්ථික අවපාලනය, රට අරක් ගත් දූෂණය සහ ණය කන්දරාව ගැන අහක බලාගෙන සිටීම ආදී කිසිවක් පිළිබඳ කණගාටුවක් මේ දක්වා ඔවුන් ප‍්‍රකාශ කොට නැත. අපේ සංස්කෘතික ඌරුව තුළ, අඩු වශයෙන් බහුතරයකගේ චර්යාව තුළ, සිදු වූ වරදක් ගැන පසුතැවීම හෝ සංතාපයට පත්වීම අමුත්තක් නොවන අතර, වැරදි හදාගෙන අලුත් මාවතක ගමනක් ඇරැුඹීමේ දේශපාලනයක සාක්ෂි ද අප සතුව ඇති බවත්, එවැන්නක් තදින්ම අවශ්‍ය කරන බවත් මෙහිදී පෙන්වා දිය යුතුය.

දහහත් වසරක් තිස්සේ විපක්ෂයේ රස්තියාදු වීමෙන් අනතුරුව 1994 දී යළි බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව, 1970-1977 කාලයේ එම පක්ෂය ගෙන ගිය විනාශකාරී වූත්, අසාර්ථක වූත් සමාජවාදී පිළිවෙත්වලින් කැඞී වෙන්ව, පාලිත විවෘත ආර්ථික මාර්ගයකට පිළිපන්නේය. අනිත් අතට එක්සත් ජාතික පක්ෂය, 1982 දිස්ත‍්‍රික් සංවර්ධන සභා මැතිවරණ කාලයේ උද්ගත වූ වාර්ගික ගැටුම්කාරී තත්වයන්ට මුහුණදුන් ආකාරයෙන් වෙනස්ව, යාපනේ පුස්තකාලය ගිනිලෑම සහ 1983 සිදු වූ දෙමළ සංහාරය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළ ප‍්‍රතිපත්තියෙන් වෙනස්ව සිතීමට පසු කලෙක පටන් ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ පවා, සමාජවාදය ස්ථාපිත කිරීමේ මාර්ගයක් වශයෙන් 1971 දී සහ 1988/89 දී ඔවුන් භාවිතයට ගත් සන්නද්ධ විප්ලවීය දෘෂ්ටිවාදය අත්හැර ඇති අතර, ඊටත් වඩා ජාතික සංහිඳියාව සහ සමාජ සංගතියක ඇති වැදගත්කම අද වන විට පිළිගෙන ඇත. තවද, කොටි සංවිධානයේ සමස්ත නායකත්වයේ විනාශයෙන් පාඩමක් උගත් දෙමළ ජාතික සන්ධානය, බෙදුම්වාදය සහ සන්නද්ධ මාවත යන දෙකම අතහැර, සිංහල සමාජය සමග ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රීය බැම්මක් ඇති කර ගැනීමට උර දී ඇත.

මීට ප‍්‍රතිපක්ෂව, සිදු වූ කිසි වරදක් ගැන වගක් නැතිව, දේශපාලනික ගමන් මාවත නිවැරදි කර ගැනීමකින් තොරව හැසිරෙන එකම පාර්ශ්වය රාජපක්ෂලා සහ ‘ඒකාබද්ධ විපක්ෂයේ’ සිටින ඔවුන්ගේ සහචරයෝ ය. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිටින ඔවුන්ගේ අනුගාමිකයෝ ය. රාජපක්ෂලාගේ දේශපාලනික ව්‍යාපෘතිය උදක්ම අඳුරු අතීතය යළි කැඳවන බවක් පෙනේ. එය මොන තරම් අන්ධකාරයක් ද යන්න අපි දනිමු. ජනාධිපති සිරිසේන අපෙන් ඉල්ලා සිටින්නේ එම අතීතයට පසුනොබසින ලෙසයි.

රාජපක්ෂ පුනරාගමනයක් සඳහා, සිදු වූ වැරදි, විශේෂයෙන් ඔවුන්ගේ දෙවැනි ධුර කාලය තුළ සිදු වූ වැරදි අවංකව හඳුනා ගනිමින් සහ ඒවායේ වගකීම ප‍්‍රසිද්ධියේ භාර ගනිමින්, ඒ අඳුරු විනාශකාරී කටයුතු යළි ඇති නොවෙන බවට වගබලා ගැනීමේ දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය කෙරේ. ඒ සඳහා, අලුත් තරුණ නායකත්වයක් මිස, නාමල් රාජපක්ෂ වැනි ‘කුරක්කන් සාටකය’ දැරීමේ තරුණ නායකත්වයක් මිස, සහෝදර අංක එක හෝ සහෝදර අංක දෙක ඊට යෝග්‍ය නොවේ.

ගෝඨාභය කොහේද?

බලය සම්බන්ධයෙන් වන රාජපක්ෂ පවුලේ උරුමය පිළිබඳ ප‍්‍රශ්නය නිරාකරණය වී නැත. ළඟ එන පළාත් පාලන මැතිවරණ කාලය තුළ රටෙන් පිටව සිටීමට ගෝඨාභය රාජපක්ෂ තීරණය කිරීමෙන් ඒ බව මොනවට පැහැදිළි වෙයි. ඔහුගේ දේශපාලනික සංවිධානය වන ‘එළිය’, මේ වන විට මුළුමණින් නිහඬව සිටින අතර, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ‘පොහොට්ටුවට’ සහාය දීමෙන් වැළකී සිටිනු පෙනෙන්ට තිබේ.

රාජපක්ෂ පවුලේ මුදුන් පෙළේ කි‍්‍රයාත්මක වන්නේ එකිනෙකට වෙනස් අවශ්‍යතා ය. එය, ඔවුන්ගේ ක්ෂණික බලය ගැනීමකට බාධාවකි. ජනාධිපති වශයෙන් බලයට පත්වීමේ ව්‍යවස්ථාමය හැකියාවක් මහින්ද රාජපක්ෂට නැත. පොදු පිළිගැනීමක් සහිත ජාතික නායකයෙකු වීමට නාමල් රාජපක්ෂට තව කාලයක් අවශ්‍ය කෙරේ. මහින්දගේ දේශපාලනික ප‍්‍රහාරකයා සහ හෙංචයියා වන බැසිල් රාජපක්ෂට දේශපාලනික හතුරන් එමට ය. ගෝඨාභය යනු, දේශපාලනයේ අත්දැකීම් විරල, ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාජ්‍යකරණයට නුසුදුසු හමුදා චින්තනයක් සහිත, බල කුලක බිඳවන්නෙකි. එකඟතා සම්මුතියේ වටිනාකම නොතකන්නෙකි. සියයට 10 ක් පමණ වන මුස්ලිම් ප‍්‍රජාවට ඔහු අරහං ය.

මේවා ඔවුන් ඉදිරියේ ඇති බරපතල බාධක වශයෙන් සැලකිය හැකිය. ඊටත් වඩා, ඔවුන්ගේ දේශපාලනික ගමන් සගයන්, තනි-ජාතික සිංහල වන අතර, ඔවුන් දේශපාලන පිටියේ මහ පොරවල් නොවන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ වැන්නන්ගෙන් සමන්විත වීම, තත්වය තවත් නරක් කෙරේ. විමල් වීරවංශ හැරුණු කොට ඉහත සඳහන් ඉතිරි සියල්ලන්ට තමන් මිස වෙන කිසිවෙකු තම පක්ෂයකින් පාර්ලිමේන්තුවට පත්කර ගත හැක්කන් නොවේ. ඒ අර්ථයෙන් ගත් කල ඒවා ‘ඒක-පුද්ගල පක්ෂ’ වන අතර, මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකුගෙන් යුත් විමල් වීරවංශගේ පක්ෂයේ සාමාජිකයනුත් මෑතක සිට ජනාධිපති සිරිසේනගේ කඳවුරට ගාල් වීමට පටන්ගෙන තිබේ.

2015 අගෝස්තුවේ සිට 2018 පෙබරවාරිය දක්වා

2018 පෙබරවාරියේ සැබෑ කතාව, 2015 අගෝස්තුවේ කතාවෙන් වෙනස් වෙයි. මන්ද යත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡුන්ද පදනම මෙවර ජනාධිපති සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අතර කැඞී යන බැවිනි.

විපක්ෂ හෝ දේශපාලනික විසම්මුතික අවකාශය තුළ හැසිරෙන රාජපක්ෂගේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ, සිංහල ජාතිකවාදී දේශපාලනික අවකාශය අරක්ගෙන ඇත. අනිත් අතට, ජනාධිපති සිරිසේනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ යාන්ත‍්‍රණය තිබෙන අතර, දූෂණ-විරෝධී වේදිකාව අරක් ගනිමින්, දේශපාලනික වශයෙන් ඉහළ ආචාරධාර්මික අස්ථානයකට හිමිකම් කියයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඡුන්ද බෙදී යන්නේ කෙසේදැයි පුරෝකථනය කිරීම සහ ජනාධිපති සිරිසේනගේ පැත්තට මධ්‍යස්ථ ඡන්දදායකයන් කොපමණ ප‍්‍රමාණයක් ආකර්ශනය වේදැයි කීම අසීරු ය. ඒ වනාහී, සිතියම්ගත නොවූ දේශපාලනික කලාපයකි. පෙබරවාරි 11 වැනි දා ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වූ සැණින් එහි සොබාව අපට දැන ගත හැකි වනු ඇත. ඒ කෙසේ වෙතත්, ජනාධිපති සිරිසේන කියන්නා සේ, අතීතයට පල්ලම් බැසීමෙන් අප වැළැකිය යුතුව ඇත.

*2018 ජනවාරි 23 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “Lest History Repeats Itself” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.