17 September, 2019

Blog

ත්‍රස්තවාදයේ දේශපාලනය

ආචාර්ය චරිත හේරත්

ආචාර්ය චරිත හේරත්

මේ සටහන ලියන්නට සිදුවී තිබෙන්නේ සිදුවූ අතිශයෙන්ම භයානක හා විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් මුළු සමාජයම කැලැඹී සිටින මොහොතකය. ඒ සිදුවීමේ කම්පනයෙන් මුළු සමාජයම හිරි වැටී තිබෙන මොහොතකය. තවත් පැත්තකින් බැලුවහොත් ඊළඟට කරන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකිව මුලු රටම එකතැනක හිරවී ඇති මොහොතකය. අනෙක් අතට මේ ගෙවෙන්නේ රටක් ලෙසින් අප සැනසිල්ලේ සිටින කාලය මෙතරම් ඉක්මනින් නිමාවේද වන ප්‍රශ්නය හැමගේම උප විඥානයේ වද දෙමින් සිටිනා මොහොතකය. මේ ත්‍රස්ත ප්‍රහාරය සිදූවූයේ කෙසේද යන කාරණය රූපවාහිනී තිර මගින් බලමින් සහ මේ මහා විනාශයෙන් අනතුරට පත්වූ සිය සහෝදර ජනතාවට තමා හැකි සෑම ආකාරයකින්ම උදව් කරමින් මේ රටේ ජනතාව සිටින්නේ කරන්නේ කුමක්ද වැරදුණේ කොතැන දැයි හරියට හිතා ගන්නටවත් නොහැකි අමාරු තත්ත්වයකය. මා මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ පසුගිය සතියේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බවල ස්වභාවය හෝ ඒ විනාශකාරි ත්‍රස්ත පහරදිම්වලින් සිදූවූ විනාශයේ තරම ගැන නොව අලුතින් පටන් ගත් මේ ත්‍රස්තවාදයේ දේශපාලනය ගැන කරුණු කීපයක් පිළිබඳය.

ත්‍රස්තවාදයක් කියන්නේම දේශපාලනමය සංසිද්ධියක් මත පදනම් වූ විනාශකාරි ම්ලේච්ඡත්වයක් වන බැවින් එහි ඇති දේශපාලනය තේරුම් ගන්නේ නැතිව මේ ම්ලේච්ඡත්වය පරාජය කිරීමේ හැකියාවක් නැති බව මගේ අදහසය. අනෙක් අතට බිහිසුණු ත්‍රස්තවාදයකින් බේරා ගත් රටක් නැවතත් එවැනිම ව්‍යයසනයකට තල්ලු කර දැමීම පසුපස තිබෙන දේශපාලනය තේරුම් ගන්නේ නැතිව ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමේ හැකියාවක් නැති බවද ඒ වගේම සත්‍යයක්ය. ඒ නිසා මේ සිදූවීමේ දේශපාලනය තේරුම් ගැනීමත් මේ මොහොතේ අපේ රටේ මෙවැනි ත්‍රස්තවාදයක් ගොඩ නැගෙන්නට හේතු වූ කාරණා කවරේද යන්න විමසා බැලීමත් මේ ව්‍යසනයෙන් ගැලවීම සඳහා අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය.

මේ රටේ වැසියන් 1980 සිට 2009 දක්වාම වසර 30 ආසන්න කාලයක් ජීවිතය ගෙව්වේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ගොදුරක් නොවී සැඟවෙමින් බව කාටත් තවම හොඳින් මතකය. ඒ ත්‍රස්තවාදයෙන් තමන්ගේ දූදරුවන් බේරා ගැනීමට ඒ කාලයේ මවුපියන්ට සිදූවී තිබුණේ තම තමන්ගේ රැකියාවෙන් නිවාඩු දමා දරුවන් යන පාසල මුරකරන්නට යන්නටය. මහ මඟදී බෝම්බයකට ගොදුරු නොවීම ගැන වගකීම ඒ යුගයේ තිබුණේ උඩ දෙවියන් අතේ පමණක් යැයි සිතෙන තරමට හැමෝම සිටියේ ඊළඟ දවසේ පැවැත්ම පසෙකලා අද දවසේ ජීවිතය ආරක්ෂා කරගන්නේ කෙසේද යන කාරණය ගැන සිතමින්ය.

මේ කාලයේ යළිත් සිහිපත් කිරීමටත් බය හිතෙන ඒ අමිහිරි යුගයේ සමහර පවුල්වල මව සහ පියා එක බස් රථයෙන් රැකියාවට යන්නට පවා බිය වූයේ මහ මඟ පුපුරා යන බෝම්බයකට දෙදනාටම එකට ගොදූරුවීමේ තර්ජනයෙන් ගැලවීම පිණිසය. සමහරුන් මේ දවස්වල කියන්නේ මේ කියන බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය 2009 නිමාවට පත් වූ බවය. ඒ දවස්වල යුද්ධයට එරෙහිව ගත් හැම පියවරකටම විරුද්ධව වැඩ කළ දේශපාලන නායකයනුත් කොළඹ සිවිල් සමාජයේ කාණ්ඩයත් හරිම සැහැල්ලුවෙන් සිල්ලරට කියන්නේ 2009 ත්‍රස්තවාදය නිමා වූ බවය. මේ කථාව මේ විධියට කීම වැරැදිය. 2009 ත්‍රස්තවාදය නිකම්ම නිමා වූයේ නැත. ඒ සඳහා බරපතළ දේශපාලනමය මැදිහත්වීමක් කරන්නටත් යුදමය මැදිහත්වීමක් කරන්නටත් 2005 පත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සිදූ වූ අතර, ත්‍රස්තවාදය නිමා කරන්නට ඒ සමහර නායකයන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදූවූ බව අප හැමෝම දන්නා කාරණයක්ය.

ඒ ත්‍රස්තවාදය නිමා කරන්නට හැකි වූයේ උතුරෙන් එන මිනිස් බෝම්බවලින් බේරෙමින් පමණක් නොව දකුණේ සමහර දේශපාලන නායකයන් ත්‍රස්තවාදයට උල්පන්දන් දෙන ආකාරයෙන් සිදූ කළ දේශපාලනයද පරාජය කරමින්ය. ඒ අර්ථයෙන් බලන විට 2009 ත්‍රස්තවාදය නිමා වුණා යැයි අද ලාබෙට කියන සමහර දේශපාලනඥයන් සහ කොළඹ සිවිල් සමාජයේ නායකයන් කිව යුත්තේ ‘ඒ අයගේ දැඩි විරෝධය හමුවේ එවකට සිටි රාජපක්ෂ රෙජිමය ත්‍රස්තවාදය පරාජය කළා’ කියා මිස ත්‍රස්තවාදය නිකම්ම නිමා වුණා කියා නොවේ. කොටින්ම වර්තමාන එජාපයේ නායකයන් වන කරු ජයසූරිය හා නවීන් දිසානායක වැනි මහත්වරුන් ඒ දවස්වල පක්ෂයෙන් ඉවත්වී ආණ්ඩුවට එක්වන විට කීවේම ඒ කාලයේ තමන් සිටි පක්ෂයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉඩක් නොමැති නිසා මහින්දගේ ආණ්ඩුවට එක්වෙනවා යැයි කියා බව අපේ මතකයට ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය.

ඒ නිසා මේ මොහොතේ රට මුහුණ දෙන තත්ත්වයට හේතූ සහ එයින් ගැලවීමේ මාර්ගය තේරුම් ගැනීමට නම් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරවේ ආණ්ඩු කරන පක්ෂ සහ පුද්ගලයන් පිළිගත යුතු එක කාරණයක් වන්නේ මේ නැඟී එන ත්‍රස්තවාදය සමඟ ‘මැතිවරණ ඩීල් දමන්නේ නැතිව’ එය පරාජයට පත් කළ යුතු බවය. ත්‍රස්තවාදයේ දේශපාලනය තේරුම් ගත යුත්තේ එය පරාජය කිරීම පහසු කිරීමට මිස ඒ හරහා ඡන්ද කුට්ටියක් කඩා ගැනීම පහසු කිරීම නොවන බව තේරුම් ගැනීම මෙහි ඇති වැදගත්ම කාරණයය.

මීළඟට අපේ අවධානය යොමු විය යුත්තේ මේ මොහොතේ මේ රටේ මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළේ ඇයි ද යන ප්‍රශ්නය වෙතය. මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් විසින් භාර ගෙන ඇති අතර මේ පහරදීම් සඳහා මරාගෙන මැරෙන්නට ගිය හැමෝම වගේ මේ රටේ ජීවත් වූ මුස්ලිම් ජාතිකයන් බවද මේ වන විට සනාථ කරගෙන හමාරය.

එම කරුණුවලින් පැහැදිලි වන්නේ මේ පහරදීම පසුපස ජාත්‍යන්තර ISIS ත්‍රස්ත ජාලය ඝෘජුවම සම්බන්ධතාවක් තිබෙන බවත්, ඒ සම්බන්ධතාවය නඩත්තු කරන මුස්ලිම් අන්තවාදී සංවිධානයක් හෝ සංවිධාන සමුහයක් මේ වනවිටත් මේ රටේ තිබෙන බවත්ය. ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක ඉලක්කයක් ලෙසින් මේ රට පත්වූයේ කෙසේද යන කාරණය විභාග කරද්දී අපේ අවධානය නිතැතින්ම යන්නේ පසුගිය වසර දෙකක කාලය තුළ මේ රටේ මතුවූ දේශීය වූ මුස්ලිම් මුලධර්ම සංවිධාන කෙරෙහි වගකිව යුත්තන්ගේ තිබූ ඇල්මැරුණු ස්වභාවය සහ එවැනි සංවිධානයන්ට සම්බන්ධ අයට එරෙහිව නිශ්චිතව කිසිදු පියවරක් නොගැනීම කියන කාරණය.

පසුගිය වසරේ මාවනැල්ලේ සිදුවූ බුදූ පිළිම කැඩීමේ සිදූවීම් මාලාවත් එයින් පසුව වනාතවිල්ලුව ප්‍රදේශයේ සංවිධානගතව රාජ්‍ය විරෝධී සාකච්ඡා හා පුහුණුවීම් කළ කණ්ඩායමත් මේ සිද්ධිය සමග ඝෘජු සම්බන්ධයක් ඇතැයි මේ දවස්වල කියවෙන ප්‍රධාන කතාවක්ය. එවැනි සම්බන්ධයක් තිබෙන්නේ නම් ආණ්ඩුවේ ප්‍රධානීන් වහාම කළ යුතු කාරණය වන්නේ මේ සිදුවීම් දෙකේම පරීක්ෂණවලට නැවත ගමන් කිරීමත් ඒ පරීක්ෂණ අඩපණ කරන්නට සම්බන්ධ වූ සියලු දෙනාට දේශපාලන භේදයකින් තොරව නීත්‍යනුකූලව කටයුතු කිරීමයි.

මේ සිදූවීම් දෙක සහ පසුගිය සති අන්තයේ සිදූවූ ත්‍රස්ත ප්‍රහාරය අතර සම්බන්ධයක් පවතින බව බැලූ බැල්මට පෙනී යන නිසාත්, ඒ මුල් සිදූවීම් දෙකේ පරීක්ෂණ යට ගහන්නේ ආණ්ඩුවටම සම්බන්ධ කාණ්ඩයක් යැයි මතයක් රටේ තිබෙන නිසාත්, මේ කාරණය ගැන ඝෘජුව හා විවෘතව කටයුතු කිරීම හරහා ආණ්ඩුවේ මධ්‍යස්ථභාවය පෙන්වීමටද හැකියාවක් ලැබෙන බව කිවහැකිය.

මීළඟට විමසිය යුතු වැදගත් කාරණය වන්නේ ආණ්ඩුවේ ඉහළ නායකත්වයේ ඇති දෙපැත්තට ඇදෙන සුළු ස්වභාවය සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන කඩා වැටීම පිළිබදවයි. මේ ආණ්ඩුව යනු ඒ මොහොතේ රාජපක්ෂ ආණ්ඩුව පැරදවීම සඳහා ගොඩනඟා ගත් හුදු එකමුතුවක් මිස ප්‍රතිපත්තිමය වූ එකඟතාවක් තුළ ගොඩ නැගුණු ශක්තිමත් පදනමක් ඇති එකක් නොවන නිසා ආණ්ඩුවේ ඉහළ මාලය යනු හැමදාම සෙලවෙන ආකාරයේ එකක් බව සමහරුන් කීවේ ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේම බව මගේ මතකයය. මාගේ මිත්‍රයකු ඒ දවස්වලම කළ විහිළුවක් වූයේ දින 100 වැඩ සටහනේ පදනම වන්නේ දින 100 කට වැඩි කාලයක් මේ ආණ්ඩුවේ එකඟතාව තියාගත නොහැකි බවයි. ඒ විහිළුව කෙසේ වෙතත් සැබෑව ලෙසින් පෙනෙන්නේ පටන් ගත් දවස්වල සිටම දෙපැත්තට ඇදෙන ආණ්ඩුවක් බවට පත්වීම හේතුවෙන් රටේ ආරක්ෂාව වැනි වැදගත් ක්ෂේත්‍ර ගණනාවක්ම බරපතළ අර්බුදවලට භාජන වී ඇති බවයි. අද රට මුහුණ දෙන්නේ ඒ ලෙහුණු හා විසිරුණු එකඟතාවක් ඇති ආණ්ඩුවක් වෙතට රටේ බලය පැවරීමෙන් බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. මේ පහරදීම ගැන බුද්ධි අංශයේ වාර්තාව ආවේ කාටදැයි ආණ්ඩුවේ දෙපැත්තේ නායකයන් එකිනෙකාට ඇඟිල්ල දිගු කරන්නේ මේ තත්ත්වයේ ප්‍රතිඵලයක් නිසාය.

ආරක්ෂක ක්ෂේත්‍රයේ අද ඇතිවී තිබෙන කඩා වැටීම් ගණනාවකගේම වගකීම මේ ආණ්ඩුව සහ ආණ්ඩුව සම්බන්ධ කොළඹ සිවිල් සමාජයේ කණ්ඩායම් අනිවාර්යයෙන්ම භාරගත යුතු බව මගේ අදහසයි. 2015 ආණ්ඩු මාරුව සිදූ වූ දින පටන් ආණ්ඩුව හා ආණ්ඩුවේ සිවිල් සමාජය උත්සාහ කළේ ලංකාවේ ආරක්ෂක අංශය යනු ලෝකයේ බරපතළම ත්‍රස්තවාදයක් පරාජයට පත් කළ හමුදාවක් නොව ලෝකයේ බරපතළම වැරුද්දක් කළ චූදිතයන්ගේ කණ්ඩායමක් ලෙසින් විවිධ ආකාරයේ අර්බුදවලට ඒ අය පත් කිරීමයි. හිටපු ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන් කූඩුවට නංවා ප්‍රශ්න කිරීමේ පින්තූරය පවා සමහර සිවිල් සමාජ නායකයන් පළකළේ උජාරුවෙන් හා විවිධ වහසි බස් දොඩමින්ය. හිටපු නාවික හමුදාපතිවරයා පැය අටක් තිස්සේ පොලිසියට සාක්ෂි දූන්නේ මේ බෝම්බය පිපිරෙන්නට සතියකට පමණ කලින්ය. මේ අඩම්තේට්ටන් කිරීම මෙරට තුළ පමණක් නොව ජිනිවා සැසිවාර දක්වා ම විසිරී ගිය හැටි හැමෝටම මතකය. එපමණක් නොව බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයේ සේවයේ සිටි හමුදා නිලධාරියා දෙමළ ඩයස්පෝරාවේ උද්ඝෝෂණයට තර්ජනාත්මක ලෙසින් ඇඟිලි පෙන්නුවා යැයි කියා නැවත මෙරටට කැදවීම වැනි දේවල්වලින් මේ කාර්තුවම පිරී තිබෙන බව දත්තමය වශයෙන් ඉදිරිපත් කළ හැකි සාක්ෂිය. මෙවැනි තත්ත්වයක් තුළ මේ රටේ ආරක්ෂක අංශ රටේ ආරක්ෂාව සහ ගැටුම් කළමනාකරණය සඳහා දක්වන කැපවීමට රටේ ජනතාවගේ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය.

මේ තත්ත්වය හමුවේ රටේ දේශපාලනයේ මූලික මාතෘකාව මෙතෙක් කාලයක් පදනම් වී තිබූ ‘උතුරේ අයිතීන්’ හෝ ‘අලුත් ව්‍යවස්ථාවක්’ වැනි දේවල් තුළින් ඉවතට විසිවී ‘ඉස්ලාම් අන්තවාදයට හා ජිහාඞ් ත්‍රස්තවාදයට එරෙහිවීම’ වැනි අලුත් මාතෘකාවක් වෙතට ගමන් කිරීමේ හැකියාවක් ඇති බව මගේ මතයයි. ආචාර්ය නිව්ටන් ගුණසිංහ වරක් පැවසූ පරිදි 1980 දශකය දක්වා පන්ති දේශපාලනය (Class Politics) අපේ රටේ ප්‍රධාන මාතෘකාව වශයෙන් තිබූ අතර 1983 දෙමළ විරෝධයත් සමගින් එය ජනවාර්ගික දේශපාලනය (Ethnic Politics) ලෙසින් අධිනිශ්චය (over-determined) වූවාක් මෙන් මේ සිද්ධියත් සමඟින් මෙරට දේශපාලනයේ ඊළඟ දිසානතිය තීරණය වීමේ ඉඩක්ද පවතින බව අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.

අවසාන වශයෙන් කිව යුත්තේ මේ අවුල් සහගත තත්ත්වයට මේ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක්ද වගකිව යුතු බවය. දේශපාලනමය හැඟීමකින් තොරව ස්වකීය හැඟීම් පිට කරන්නට ඡන්දය පාවිච්චි කිරීමෙන් ඇති කරන පලවිපාක ලෙසින් මේ තත්ත්වය දැකිය යුතු බව මගේ පෞද්ගලික කල්පනාවය. සදය උපහාසයකින් මේ කාරණය කියන්නේ නම් කිවහැක්කේ ‘වහින්නට එන බව කී විට එය ගණන් නොගෙන සිටිමින් තෙමිලාම බලා වහින බව ස්ථිර කරගන්නා ආකාරයේ ජන්දදායකයන් බහුතරයක් සිටින රටක’ අප ජීවත් වෙන බවය.

*ආචාර්ය චරිත හේරත් – දර්ශන අංශය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.