
මෑත කාලෙය් ලැජ්ජාව හොඳටම දැනුනේ ස්වර්ගයේ කන්‍යාවන්ගේ කතාව ඇසීමෙනි. තමාට කන්‍යාභාවය දුන් ගෙදර ගෑනිත් දරුවනුත් පුපුරුවා මරා තමනුත් පුපුරුවාගැනීමට තරම් බලවත් වූ ස්වර්ගයේ කන්‍යාව ය. පාස්කු දිනයේ සියදිවි නසාගත් උගත් මුස්ලිම් තරුණයින්ගේ මේ අසාමාන්‍ය මෝඩ හැසිරීම සමස්ථ උගතුන්ටම මහා ලැජජාවක් විය. මිත්‍යාව තුලින් ලෝකය කියවාගැනීමේ අතීතය පසුකරමින් ලෝකය දැන් බොහෝ දුරක් පැමිණ ඇත. ඒත් තවමත් සිය රහසග යකඩ කූඩුවකින් ආවරණය කරගනිමින් නිරුපද්‍රිතව ස්වර්ගස්ථ වීමට සිතා සියදිවිනසාගන්නා අය සිටීම පුදුමයකට වඩා මහා ලජ්ජාවකි. මේ මුග්ද බව වනාහී ඉතා පැහැදිළිව මහා කාම අසහනයක ප්රථිපලයකි.
අප අසා ඇත්තේ රසෙන් වැඩි තහනම් ගසේ ගෙඩි බවය. මුස්ලිම් සමාජයේ කාම අසහනය යනු සියළු අගපසග වාසාගත් මුස්ලිම් කාන්තාව සේම බොහෝ ලිංගික හැසිරීම් හරාම් වීමේ අනිසි ප්‍රථීපලයකි. ශාරීරික හා මානසික ලිංගික අවශ්‍යතාවය සමාජ සංස්කෘතික නියමයන් හා නිරන්නරයෙන් ගැටීමේ ප්රථිපලයකි. මෙම ගැටුමේ කෙළවර බහුතරයක් මුස්ලිම් තරුණ ප්‍රජාව ඉතා සීඝ්‍ර ලෙස සමලිංගික සේවනයට යොමුවන අතර සීමිත පිරිසක් ස්වර්ගයේ කන්‍යාවන් පතාගෙන සියදිවි නසාගනිති.
එය වෙනම කතාවකි. කන්‍යා සිහිනය වෙනුවෙන් ජීවිත සිය ගණනක් බිලිගත් පාස්කු සිදුවීම පිළිබඳ අපේ සමාජ දේශපාලන හැසිරීමේ ලැජ්ජාසහගත බව ඊට හපන්ය.
ලැජ්ජානැති කම මහ මුදලි කමටත් වඩා ලොකු බව අප අසා ඇත. දැන් මේ රටේ සියලු මහ මුදලිලාට තමන් ගැන කිසිම ලජ්ජාවක් නැත. මහමුදලිකම වෙනුවෙන් සියලු ලැජ්ජා නහර කපාගත් ඔවුන් මේ විකාරරූපී රටේ ලජ්ජාවෙන් ජීවත් වෙන මිනිසුන්ට විහිලු තහලු කරමින් සිහින දකිමින් දොඩවමින් කමින් බොමින් සුවසේ වෙසෙති.
ලජ්ජාවෙන් පෙළෙනවුන් කෝපයෙන් වියරුවෙන් විළිබියෙන් නොඉවසිල්ලෙන් හා අසහනයෙන් වෙසෙති. මේ දෙපාර්ෂවයේ ගැටුම වැඩිකල් නොගොස් එක්කෝ දියාරු වන්නේය. නැතිනම් පුපුරා යන්නේය. කොහොමත් හොඳ අතට හැරෙන බවක්නම් පෙනෙන්ට නැත. බලු කුණ වටේට බඩගින්නේ දගලන කිනිතුල්ලන්ය. ඇට පවා දිරා යන තුරු පොළවටම පස් වෙන තුරු බලු කුණ අතහැර කිණිතුල්ලන් යන්නේ නැත.
පාස්කු ඉරිදා කතාව දැන් ටිකක් විතර පරණ කතාවකි. ඒත් ඒ ඉරිදා ස්වර්ගස්ථ වී කන්‍යාවන් 70 ක් සමග යහන් ගත වන්නට සිතාගෙන තමා විසින් තමාවම පුපුරුවාගත් මිත්යාදුෂ්ඨික කල්ලිය ලංකාවට ගොඩබැස්ස කතාව සැලකිය යුතු තරම් පරණ කතාවකි. පවතින ශාක්ෂිවලට අනුව අඩුම තරමේ අවුරුදු හයක් හෝ හතක් පරණය. අවුරුදු හයක් හෝ හතක් ආපස්සට ගිය විට අපට හමුවන්නේ රාජපක්ෂ ආණ්ඩු සමයයි. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිය ප්‍රචාරණ කටයුතු පාස්කු සුභ මුහුර්ථියෙන් ආරම්භ කළ රාජපක්ෂ සහෝදරයා පවසන පරිදි දක්ෂතම හා කාර්යක්ෂමම බුද්ධි අංශ සිටි සමයයි. ජාතික ආරක්ෂාවට පියල්ලට වඩා ප්‍රමුඛතාව ලැබුණ සමයයි. ආරක්ෂක අංශ වල මොරාල් එක ඉහලටම නැංවී තිබූ සමයයි. මේ මුස්ලිම් අන්තවාදී කල්ලිය සිය බීජ වැපිරූවේ එවන් සුරක්ෂිත දේශයකයි. 2014 මාර්තු 24 වෙනිදා ඩේලි මිරර් පුවත්පත උපුටා දක්වමින් මේ පිළිබඳව ඉන්ග්‍රීසි මාද්‍ය ලිපියක් පළ වී තිබිණ.
එයින් දැක්වෙන පරිදි මෙරට සාමයට ලැදි මුස්ලිම් සංවිධාන විසින් තවුහිඩ් ජමාත් අන්තවාදී ඉස්ලාම් කල්ලිය ගැන රාජපක්ෂ රජයට අනතුරු අගවා තිබේ. තවුහිඩ් ජමාත් කල්ලිය මෙරට සිවිල් නීතියට උඩින් ශරියා නීතිය ස්ථාපනය, බුර්කාව ඇඳීම හා අරාබි භාෂා අධ්‍යනය අනිවාර්ය කිරීම, මද්රාසා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම, අන්තවාදී මතවාදය ප්‍රචාරය කිරීම සඳහා වෙනම පල්ලි ස්ථාපනය හා ඒවාට සහභාගී වීම අනිවාර්ය කිරීම වැනි ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව ද ආණ්ඩුව දැනුවත් කර ඇත. එහෙත් ඒ පිලලය එදා නියපොත්තෙන් කපා දැමුනේ නැත. මන්ද ඒ වන විටත් ජනාධිපතිවරණය කලින් පැවැත්වීමට රාජපක්ෂ රජය තීරණය වී තිබූ අතර ඉස්ලාම් ජන්ද වලට අත තැබීම අවාසියක් වනු ඇතැයි මහ මුදලිලාට සිතෙන්නට ඇත. ඒත් අන්තවාදී සිංහල බෞද්ධ කල්ලි විසින් රාජපක්ෂ රජයට බහුතර මුස්ලිම් ජන්ද අහිමි කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට අනුව එහි ප්‍රතිෂතය සියයට අනූව ඉක්මවයි. එහි වාසිය මෝඩිට ඇඳගනිමින් බහුතර එක්සත්ජාතික පාක්ෂකයින් මෝඩයාට ඇන්දවූ සිරිසේන ජනාධිපතිවරයාට හිමි වූ අතර ඔහුගේ හා අක්රමිකව අටවාගත් ජාතික ආණ්ඩුවේ විකට විකාරරූපී දේශපාලනය හැදෙමින් වැඩෙමින් පැවති මුස්ලිම් අන්තවාදී පිලලයට ඉතා හොඳ පරිසරයක් සැකසීය.
පාස්කු ප්‍රහාරයෙන් පසු ගෙවී ගිය දින කිහිපය තුළ එක එක දේශපාලකයින් එක එක කතා කියමින් සිය පිල ගොඩදාගැනීමේ මෙහෙයුම් අරඹා ඇත. ඒ අස්සේ කාලයකට පසු සිරිසේන ජනාධිපතිවරයා නව ආරක්ෂක ලේකම්වරු පත්කරන්නේය, පොලිස්පතිවරු අනිවාර්ය නිවාඩු යවමින් අලුත් අය පත්කරන්නේය. අගමැතිවරයා සිනාමුසු මුහුණින් සම්මුඛ සාකච්ඡා පවත්වන්නේය. නීතියේ හිල් පෙන්වන්නට ගොස් ආණ්ඩුවේ නිරුවත පෙන්වන්නේය. තාත්තාගේ අනාවැකිකීමේ හැකියාව පෙන්වන්නට ගොස් හරීන් ඇගේ හලාගත්තේය. රාජපක්ෂ සහෝදරවරු නැකත් බලා ජන්ද ව්‍යාපාර අරඹලාය. මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම තමා ඉදිරි ජනාධිපතිවරණයට තරගකරණ බවට ඉන්න ජනාධිපතිවරයා හා වෙන්න හිතාගෙන ඉන්න අය සිරස්තල දෙන්නේය.
ත්‍රස්ථවාදයට එරෙහි සටන් කලාවේ නිපුන හමුධා නිලධාරියෙකු හා දේශපානයට නිපුන නොවන පාර්ලිමේන්තු සභික ෆොන්සේකා තමාට හුරුපුරුදු විශය ගැන හඩ අවධි කරමින් ගිලිහී තිබූ අවධානය යළි දිනාගැනීමට සමත්ව සිටින්නේය. කල දුටු කළ වල ඉහගැනීමට අවස්ථාවක් බල බල සිටින්නේය. මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි මැල්කම් කාදිනල් තුමා කීවේ පාස්කු ඉරිදා උපන් දරුවා අතින් අතට මාරුකරමින් වගකීමෙන් මිදීමට සියලු වගකිවයුත්තන් උත්සහ කරමින් සිටින බවකි. ඇත්තවශයෙන්ම ඒ දරුවාගේ උප්පැන්න සහතිකේ පියාගේ නම ලියන තැන තවමත් හිස් තැනකි.
නියපොත්තෙන් කඩා දැමිය හැකිව තිබූ මේ අන්තවාදී පිලලය පොරවෙන්වත් කපාදැමිය නොහැකි තරමට නිදැල්ලේ වැඩී ඇත. දේශපාලන බලලෝභයේ ද, සුලු ජාතික ඡන්ද ගුන්ඩුවේද, අවිචාරවත් නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේද, අන්තවාදී පෙළබවීම්වලද, නොහික්මුනු පිසාචබවේ හා කාමාශාවන්ගේද, සාරය උරාගනිමින් ඒ පිලලය වැඩී ඇත. එහි අතු ඉති පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ දැන්ය. දැන් ඉතින් ජනාධිපති සිරිසේන ලගදී ලයිෂන් කල ඉලෙක්ට්‍රොනික කියතක් හෝ හොයාගත යුතුය. ලයිෂන් කළ හා නොකළ නවීන පන්නයේ කියත් දහස් ගණනින් ඇමති රිෂාඩ් ලග ඇති බව ඇතැම් අය කියති.
රිෂාඩ්ට විරුද්දව ප්‍රසිද්දියේ නැගෙන චෝදනා විභාගකිරීම සඳහා ඔහු ආරක්ෂක අංශ වලින් තවමත් කැඳවා නැත. ඒ වෙනුවට එම ශාක්ෂි විමසා බැලීමට මාධ්‍ය ඉදිරියට රිෂාඩ් බදියුදීන් කැඳවා තිබිණ. නිවේදකයින් තුන්දෙනෙක් එකවර නගන සුපුරුදු ඝෝෂාව පරයා රිෂාඩ්ගේ ඝෝෂාව නැගින. විනාඩි සිය ගණනක ඝෝෂාව කිසිඳු කරුණක් පැහැදිළි කර නොගනිමින්ම සකල දේශපාලනය හා සකල මාධ්‍ය ලජ්ජාවට පත්කරමින් නිමා විය. පල්ලියේ කඩු ගැන මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට උත්තර දෙමින් මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමති කීවේ ඒ කඩු යුද්දයට නොව කොස් කොටන්නට ගෙන ආ බවකි.
ඒ අතර මැල්කම් කාදිනල් හිමිපානෝ පවසා ඇත්තේ ඉස්ලාම් ත්‍රස්ථවාදයට උඩ ගෙඩි දෙන දේශපාලකයින් නීතිය ඉදිරියට ගෙන ඒමට රජය අපොහොසත් වුවහොත් ජනතාව සමග පාරට බහින බවකි. කිතුනුවන් සමග පාරට බැසීමට සිංහල බෞද්ධයින්ද දත කට මැදගෙන සිටිති.
මේ සියලු එකී මෙකී නොකී කල්ලි රගමඩල දෙවනත් කරද්දී සංචාරකයින්ගෙන්ගෙන් යැපුනු උදවිය හාමතේය, ව්‍යාපාර ඇනහිටලාය, විදෙස් ආයොවකයෝ පලා ගොස්ය, කොටස් වෙළඳපළ අඩියේය, ආරක්ෂක හමුදාව සීරුවෙන්ය, ත්‍රස්ථවාදියා මරු විකලෙන්ය, අන්තවාදී නොවන මුස්ලිම් වැසියෝ භීතියෙන්ය, මාධ්‍ය රේස් පිටියේය, පිටරට වැසියෝ අනුකම්පාවෙන්ය, රට වැසියෝ විලි ලජ්ජාවෙන්ය.
Ra / May 5, 2019
Very nicely written the bitter truth. Well done Punya. We all are keeping our eyes wide open to see some miracle solutions happen, which is a miracle.
/
Shehaan / May 5, 2019
Very similar to Thisarani Gunasekara’s style. Well done
/
Dumidu / May 8, 2019
කතාව නම් හරියටම හරි….
මේ රටට හරි හමන් නායකයෙක් පහල වෙනනේම නැද්ද ??
මොන කරුමයක් ද….??
/