30 September, 2020

Blog

වී වෙනුවට රෝස මල්

චරිත හේරත්

චරිත හේරත්

චරිත හේරත්

රටේ ආර්ථිකය ගැන පැරණි එජාප රජයේ ප‍්‍රතිපත්තිය පැහැදිලි කරන්නට 2003 පමණ ඈත දි අපගේ මිත්‍ර​යෙකු යොද ගත් තේමාවක් වූ වී වෙනුවට රෝස මල් යන කියමන යටතේ මේ සටහන ලියන්නට සිතුවේ ආර්ථිකය මේ වන විට රටේ ප‍්‍රධාන දේශපාලන මාතෘකාව බවට යලිත් වරක් පත් වී තිබෙන නිසාය. අනෙක් අතට 2002 රජයේ මෙන්ම මෙවර පත් වූ එජාප රජයේත් ආර්ථිකය සමිබන්ධවත් අපූරුවටම මේ යෙදුම යලි යලිත් ගැලපෙන නිසාය. මෙහෙම කියන්නේ ඇයි කියා පසුවට කථාකරන්නට තබාගෙන මුළින්ම කිවයුතුව ඇත්තේ ආර්ථිකය ගැන අද රටේ සාමාන්‍ය මහජන මතය තිබෙන්නේ බරපතල අවුලක බවයි. සමාජයේ සමහරුන් කථා කරන්නේම රටේ ආර්ථිකයේ තත්වය ලගදි කඩාවැටෙන ගානට ඉතාමත් බරපතල බවයි. ඇත්තටම පසුගිය සති කීපයේ කොටස් වෙළදපොළ කඩා වැටෙමින් තිබෙන්නනේ ලැබ්බුගිනි කාරයක වේගයෙනි. සමහර ඇමතිවරුන් උදේ හවස ඉදිරිපත් කර තමන්ටවත් නොතේරෙණ බදු ගැසීම් ගැන අනාගත වාක්‍ය නිසා තත්වය තවත් නරක අතට හැරෙමින් පවතින බවද පෙනී යයි. එවැනි ආර්ථික අර්බූදයක් තමන්ට නොපෙනෙන බව පසුගිය දිනක පැවති රූපවාහිනී සාකච්ජාවකදි ජනාධිපතිතුමන්ටත් සදහන් කරන්නට සිදුවුනේ රටේ පවතින මේ අස්ථාවර තත්වයට තමන්වත් පිළිතුරක් දිය යුතු යැයි එතුමා කල්පනා කරන නිසා විය යුතුය. එහෙත් පසුගිය දිනක පැවති සම්මන්ත‍්‍රණයකදි ආර්ථික විද්‍යා මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂමන් පැවසුවේ මේ රජයේ මුල්‍ය කළමනාකරණය ඉතාමත් අකාරාක්ෂම තත්වයක පවතින බවත් අගමැතිතුමාගේ මුල්‍ය උපක‍්‍රම හරිම පරණ ඒවා බවත්ය. එකිනෙට යා බද ගොඩනැගිලි දෙකක සිටියත් මුදල් ඇමතිතුමා සිතන දේවල් සහ ආයෝජන ඇමතිතුමා කරන දේවල් අතර ඇත්තේ ඇමරිකාවත් ඉතියොපියාවත් අතර ඇති ආකාරයේ බරපතළ දුරක් බව සාර්ව ආර්ථිකය ගැන ප‍්‍රමානික දැනුමක් නොමැති අපට වුවත් තේරෙන කාරණයකි.

දැන් මේ තත්වයට සම්බන්ධ දේශපාලන චින්තනය සහ එජාපයේ වර්තමාන ආර්ථික උපාය මාර්ගවල ඇති දේශපාලන පසුබිම සාකච්ජා කිරීම මේ මොහොතේ ඉතාමත් අත්‍යාවශ්‍ය තත්වයක් වන්නේ මෙම වැරදි ආර්ථික කළමනාකරණය සහ එය පසුපස ඇති දේශපාලනය නිසා එක් අතකින් රටේ අද ඇතිකරණ තෙරපුම අනාගතයේ් දි විශාල සමාජ අර්බූදයක් (87-89 වැනි) ලෙසින් ගොඩ නැගිය හැකි නිසාත් අනෙක් අතට මෙම රජයේ එක පාර්ශවයක් ලෙසින් සිටින නිළ ශී‍්‍රලනීපයේ කාණ්ඩයට මේ ආර්ථික අර්බුදයේ කොටස් කරුවන් වන්නට සිදුවීමෙන් එම පක්ෂයට ද ගොඩට පැමිනිය නොහැකි වලකට වැටීමට ඇති ඉඩ ක නිසාත්ය. ආණ්ඩුවේ සිටින ශී‍්‍රලනීප මන්තී‍්‍රවරුන්ගේ පැත්තේන් එය හරියට මහින්ද හොල්ලන ගහෙන් වැටුනු මිනිසාට ගොනෙක් ඇන්නා වැනි කි‍්‍රයාවක් විය හැකි නිසාය.

එජාපයේ ආර්ථික දර්ශනය 1977 සිටම පැවතියේ හුදු සරල විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියක බව කවුරුත් දන්නා කරුණකි. J.R. බලාපොරොත්තු වූයේ මේ විවෘත කිරීම හරහා රාජ්‍යයට පිටින් ආර්ථිකය හසුරුවන වෙළද ප‍්‍රජාවක් රට තුළ ගොඩ නැංවීම විය යුතුය. එහෙත් එය සැබෑ නොවු සිහිනයක් වූවා පමණක් නොව එම සිහිනයට ගැලපෙන ආකාරයෙන් රාජ්‍යය තද කොට තබා ගන්නට කියා හැදු 78 ව්‍යවස්ථාව නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතළ අර්බූදයකද පත් වූයේය. විවෘත ආරථිකය සහ මෙම ව්‍යවස්ථාව හරහා මුදහරිනු ලැබූ එකාධිපති තෙරපුම නිසා නිර්මාණය වූ ආර්ථික සහ දේශපාලන ගැටුම නිමා වූයේ උතරේත් දකුනේත් ජවිත දහස් ගණනක් බිලි දෙමිනි. එද සිට මේ දක්වාම එජාපයේ නායකයා කවුරු වුවත් ඔවුන් ආර්ථිකය ගැන ඉදිරිපත් කරන්නේ 77 ඉදිරිපත්වු මේ නිර්බාධකරණය හෙවත් රාජ්‍යයෙන් ආර්ථිකය ගැලවීමේ මේ උපක‍්‍රමය සමග එකට යන අදහසකි. 89දි පේ‍්‍රමදස මහතා යටතේත් 2002දි වික‍්‍රමසිංහ මහතා යටතේත් ආර්ථිකය ගමන් ගත් ආකාරය විමසීමෙන් මේ තත්වය හොදින්ම තේරුම් ගත හැකිය.

දැන් මෙවර පත්වු ‘යහපාලන එජාපය’ ආර්ථිකය හසුරුවන බව පෙනෙනනේ එද සිටි ‘ධර්මිෂඨ එජාපයේ’ ආර්ථිකයේ තිබු සියලූ මිත්‍යා දෘෂ්ඨීන් එලෙසින්ම ගුරුතන්හි තබා ගනිමිනි. අද මෙහි තිබෙන වෙනස වන්නේ ආර්ථිය විවෘත කිරිමේ දේවභාෂිතය තවත් එහාට ගෙන යමින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසීවලට අනුව ආර්ථිකය රජයේ වපසරියෙන් සම්පූර්ණයෙන්ම ගළවා වෙළදපොළට අනුව කරන්නට හැකිවන පරිදි කළමනාකරණය කිරීමය. පසු කාලයේ කි‍්‍රයාවෙන්ම ඔප්පු වූයේ වු පරිදි රවී කරුණානායක මහතා ඉන්නේ වෙන මොකකටවත් නොව එම ජාත්‍යන්තර මුල්‍ය ආයතන ඉදිරිපත් කරන කොන්දේසි දන්න සිංහලෙන් අපට කියා දිමටය.

මේ රජයේ ආර්ථිකය මගින් කි‍්‍රයාත්මක කරන්නට යන වැඩසටහනේ එක පැත්තකින් ඇත්තේ 2002-2004 කාලයේ ශී‍්‍රලනීපය සහ එවකට ජවිපෙ එකතුව පරාජයට පත් කළ යලි පුබුදුමු ශී‍්‍ර ලංකා වැඩ සටහනේම සමහර කරුණුම වෙනත් පිටකවරයක් යටතේ දමා ගැසීමය. බොතලේ අලූත් වූවාට තිබෙන්නනේ පරණ වයින්මය. බීපු අයට හැදෙන්නේ පරණ වෙරියමය. වෙනසකට ඇත්තේ එද තිබු ලේබලයේ වෙනුවට වෙනත් අලංකාරික ලේබල් ගැසීමය. එයට අමතරව ඇති අනිත් වෙනස වන්නේ එද යලි පුබුªමු ආර්ථිකයට විරුද්ධ වූ ශ‍්‍රීලනීපය හා ජවිපෙය නොතේරෙන ගානට මේ පාර මේ වැඬේට එකතු වී සිටීමය.

මෙම නව ලිබරල් ආර්ථකයේ ප‍්‍රධාන සිල් පදයක් වන්නේ රාජ්‍යයයේ නියාමනය හැකි පමණ ලිහා දැමීමය. රජයේ අධිකාරී බලයෙන් සියලූ ආර්ථික කි‍්‍රයා හැකි පමණ නිහස් කිරීමය. මෙසේ නිර්නියාමනය කෙරෙන තරමට ආර්ථිකය ශක්තිමත්ව ගොඩ නැගෙනු ඇති බවත් වෙළදපොළ විසින් රුකියා ප‍්‍රශ්නය විසදනු ඇති බවත් මේ අයගේ කල්පනාවය. මෙය හරියට මහා මාර්ගයේ මාර්ග නීති ඉවත් කර හන්දියේ සිටින පොළිස් රාළහාමිවත් ගෙදර යැවීම හරහා මාර්ග තදබදය නිමා කිරීමට උත්සාහ ගැනීම වැනි ආකාරයේ නිර්නියාමණයකි. නීති නැති සහ රාළහාමිත් හන්දියේ නැති ගානට නියාමනය අඩුකළ කළෙක පාරේ තත්වයට සමාන තැනකට වෙළදපොළ ගෙන ඒම නව ලිබරල් උපක‍්‍රමයේ එක බරපතළ උත්සාහයකි. ශක්තිමත් රටවල්වල රාජ්‍යයේ ආර්ථික මැදිහත්වීම තව තවත් වැඩි කරමින් සිටින මෙවැනි කාලයක අප වැනි පරිධියේ ඇති කුඩාරටවල් බලවතුන්ගේ වෙළදපොළ බවට පත් කරන්නට මෙසේ නියාමනය අඩු කිරීම විශාල වශයෙන් හේතුවන බව අමුතුවෙන් කිව යුතු නැත. (මේ තත්වය ගැන ඉතාමත් වැදගත් සාකච්ජාවක් යහපාලන ආණ්ඩුව වැරදිමකින් මෙරටට ගෙන්වූවා යැයි පෙනී යන ආර්ථික විද්‍යාඥයෙකු වූ Joshep Stiglitz ගේ Freefall සහ Globalization and its discontents කෘතිවල දක්නට ලැබේ). මේ රටේ ආර්ථිකය සක්කයක් ලෙස තබා ගනිිමින් අපි අවට ඇති විශාල රටවලට වෙළදම කරන්නට නිදහස් ගිවිසුම් යොජනා කරන්නනේත් මේ නිර්නියාමනයේම තවත් දිගුවක් ලෙසින්ය.

නව ලිබරල් ආර්ථිකයේ දේශිය කණ්ඩායම කෘෂිකර්මාන්තය ගැන සිතන ආකාරය තේරුම් ගැනීම මෙහිදි ඉතාමත් වැදගත්ය. 2002 සිටම එජාපයේ මතය වූයේම මේ යැපුම් කෘෂිකරමාන්තය වෙළද කෘෂිකරමාන්තයක් බවට පත් කළ යුතු බවය. ඒ සදහා එක්කෝ කුඩා ගොවිබිම් මහා ගොවිපොළවල් බවට පත්වන පරිදි පෞද්ගලික අංශයට විකිනිය යුතුය. නැත්නම් බෝග වගාව වෙළදපොළ තර්කණය මගින් මෙහෙයවන මාර්කට් එකේ යටත් වැසියෙකුගේ තත්වයට පත් කළ යුතුය. ඒ දර්ශනයට අනුව කුඹුර යනු වෙළාවේ හැටියට හොදම ආදයම දෙන දෙයක් (බෝගයක් ම විය යුතු නැති) යමක් වගා කළ යුතු තෙත් බිමකි. ආදයම වැඩියෙන් ලැබෙන්නේ බටානා වගාවෙන් නම් වගා කළ යුත්තේ බටානා මිස වී නොවේ. ආදයම වැඩියෙන් ලැබෙන්නේ රෝස මල් වගාවෙන් නම් වගා කළ යුත්තේ රෝස මල් විස වී නොවේ. මේ ආකාරයට වෙළදපොලේ අවශ්‍යතාවයට අපේ සාම්ප‍්‍රධායික කෘෂිකර්මාන්තය තම තමන්ගේ ඉඩමේදිම විකිනීම ඒ අය කල්පනා කරන්නේ ආර්ථිකය දියුණුකිරීම ලෙසය. ලංකාවේ කෘෂි කරමාන්තය වාරීකර්මාන්තය සහ වාපී කර්මාන්තය යනු මෙරට වැසියාගේ ජවන ආකෘයක් මිස විකුනන්නට හදන භාණඩයක් නොවන බව මේ නව ලිබරල්වාදින් දන්නේ නැත. සාම්ප‍්‍රධායික කෘෂි ආර්ථිකයෙන් ගොඩ නැගුණු කුඩා ගොවිපොළවල් හරහා මෙරටට සහල් එළවලූ සහ පළතුරු අවශ්‍යතාවය සම්පුර්ණයෙන්ම සපුරා ගත් කාලයක් අපිට තිබූ බව මේ අයට මතක නැත. මෙරට කෘෂිකරමාන්තයේ ඇති භෝග විවිධත්වයත් ඒ ඒ තත්වයන්ට අනුව භෝග ප‍්‍රමුකත්වයත් තීරණය කිරීමත් කර්මාන්තකරුවාට දි ගොවියා නිරුත්තර කළ විට සිදුවන්නේ රටේ ආහාරයේ සාපේක්ෂ අනන්‍යතාවයත් රටට අහිමි කිරීමකි. මගේ මිතුරෙක් වරක් කී පරිදි එවිට සිදුවන්නනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෘෂිකරමාන්තය සී. අයි.සී. කරණය කිරීමකි. (ඇමරිකාවට ඇපල් කොම්පුටර් හැදෙද්දි අපි ඇපල් සුනිල්ලා හැදිමය)

ආර්ථික කළමනාකරයේදි රාජ්‍යය දරන පංගුකාරත්වය ගැන කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය පැත්තෙන් මා ඉදිරිපත් කරණ මෙම කාරණය මේ රජයේ ආර්ථික කි‍්‍රයාවලිය සම්බන්ධව සමස්ථ වශයෙන් කළ යුතු සංවාදයකි. එවැනි සංවාදයකදි එජාපය මතු කරන රාජ්‍යයේ නිර්නියාමනයට එරෙහි මතය නියෝජනය කරන්නට ශී‍්‍රලනීපයට ඇති අයිතිය නැවත ගොඩ නගා ගන්නේ කෙසේද යන කාරණයත් මෙහිදි තවත් වැදගත් කාරණයකි. මෙය සමස්ථ වශයෙන් දේශපාලන ස්ථාවරය සම්බන්ධව මිස එහි අංශුවක් ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් මෙය විසදිය නොහැකි ප‍්‍රශ්නයකි.

ඒ නිසා ආර්ථිකය සම්බන්ධ දේශපාලන ස්ථාවරය සහ රාජ්‍යයට එහි ඇති කාර්ය්‍යභාරය ගැන තරමක් ගැඹුරු සාකච්ජාවක් මේ රටේ අකාගතය සම්බන්ධයෙන් සිදුවිය යුතුම කාලය පැමිණ ඇති බව අපි පිළිගත යුතුය. ආර්ථිකයේ අපේ ස්ථාවරය විය යුත්තේ වෙළදපොළ අයිති සහ ආධිපත්‍ය හිමි අයගේ පැත්තෙන්ද නැතිනම් දක්ෂතාවය සහ සුදුසුකම මත පදනම් පැත්තෙන්ද එසේත් නැත්නම් දරීද්‍රතාවය යන සාධකය මතද යන්න පැහැදිළි තර ගැනීම එහිදි වැදගත්ය.

මේ සදහා සහාය වන කදිම නිදර්ශනයක් නොබෙල් ත්‍යාගය හිමි කරගත් මහාචාර්ය අමාත්‍යා සෙන් (Amartya Sen) විසින් ලියූ The Idea of Justice කෘතියෙහි දක්නට ලැබෙයි. ඔහු එය ඉදිරිපත් කරන්නේ යුත්තිය (justice) යන්න පැහැදිළි කිරීමටය. අපේ සන්දර්භය පැහැදිලි කිරීමට ගැලපෙන පරිදි එම කථාව යොද ගත හැකිය. මහාචාර්ය සෙන් පැහැදිලි කරන ආකාරයට ඈන් කාල් සහ බර්නි යන දරුවන් තිදෙනෙකු අතර බටනලාවක අයිතිය සම්බන්ධයෙන් වූ බරපතල සංවාදයකි. ඈන් කියන්නේ මෙම බටනලාව තමන්ගේ ඉඩමේ බට පදුරකින් තමන්ම කපා ගෙන හිල් විද නිර්මාණය කර ගත් එකක් වන බැවින් එම බටනලාව අයිතිවිය යුත්තේ තමාට බවයි. කාල් ගේ තර්කය වන්නේ වෙනස් එකකි. ඔහුට අනුව ඈන් මෙම බටනලාව හැදුවාය කියන කාරණය ඇත්ත නමුත් මේ තිදෙනා අතරින් බටනලාවක් වාදනය කළ හැක්කේ එකම කෙනා තමන් පමණක් බැවින් එය හිමිවිය යුත්තේ තමාට බවයි. බර්නිගේ තර්කය මෙයට සම්පූර්ණයෙන්ම වෙනස්ය. බර්නි කියන්නේ ඈන් සහ කාල් යන දෙදනාම කියන කාරණා ඇත්ත නමුත් ඒ දෙදනාටම ඇති තරම් සෙල්ලම් බඩු තිබෙන අතර මේ තිදෙනා අතරින් එවැනි කිසිම භාණ්ඩයක් නැත්තේ තමන්ට බැවින් බටනලාව හිමිවිය යුත්තේ තමන්ට බවයි. දැන් මේ සංවාදයේ තර්කයන් තුනක් තිබේ. ඈන් නියොජනය කරන්නේ දෙයක අයිතිය එහි හිමිකාරත්වයට ඇති සම්බන්ධතාවය (උරුමය) ඇති මත හිමිවිය යුතු බවයි. කාල් නියෝජනය කරන්නේ යමක හිමිකාරත්වය සුදුසුකම මත තීරණය කළ යුතු බවයි. බර්නිගේ ස්ථාවරය වන්නේ යමක හිමිකාරත්වය තීරණය කිරීමේදි නැති බැරිකම මත බවයි.

ඇත්තටම බටනලාව හිමිවිය යුත්තේ ඈන් ටද කාල් ටද බර්නිටද යන්න තීරණය කිරීම අපි අද අත් විදිමින් ඉන්නා පළල් දේශපාලන ප‍්‍රශ්නයේම තවත් එක් ප‍්‍රකාශනයක්ද යන්න විමසීම ඉතාමත් වැදගත්ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.